Thursday, September 30, 2010

අපේ ආදර කතාව


වෙරළේ මාළිගා හදන ගමන්, තෙරක් නොපෙනෙන සයුර දිහා බලාන මම හිතුවේ අපේ ආදරය සදාකාලිකයි කියලා. රෑට ආකහේ එකින් එක මතු වෙන තරු අස්සේ ඔයාගේ ඇස් දෙක හොයන ගමන් මම හිතුවේ ඔය ඇස් මගේ විතරමයි කියලා. ඒත්, ඔයාට බැරි වුණා අහසේ තරුවෙරළේ රළ තරමට තියා පුංචි වැලි කැටයක් තරම්වත්
මට ආදරය කරන්න

ගිණි මද්දහනක අරක්කු බීලා ඇවිද්දමතින් ඔළුව බර වෙලා මෙලෝ අරමුණක් නැතුව එහාට මෙහාට වැනි වැනී ජීවිතේ අරමුණක් හොයාගෙන ගිය වෙලාවක දුම් දාන බයිට් පිඟානක් වගේ මගේ ජීවිතේට ආපු ඔයා මට අරමුණක් උනා. ඒත් ඇල්කොහොල් වලින් මත් වෙච්චබෝතලේකටත් වඩා මගේ හිතේ ඔයාට තිබ්බ ආදරේ ඔයාට තේරුණේ නෑ.

ලියා එව්වේ -  Ansh Lucky Sri Jay (http://mitiyaawatha.blogspot.com/)
                                                      සහ 
                       (http://maranaya.blogspot.com) 

Wednesday, September 29, 2010

අවාසනාවට ඇත්ත කතාවක්!


ඇගේ ප්‍රාණය නිරුද්ධ සිරුර දැණුදු මා ඉදිරිපිට සියුම් ජල පහරේ වැදිවැදී සැලෙයි. මා හට කෙතරම් රිදෙව්වද ප්‍රාණයක් නොවෙත්දැයි යලිත් වරක් සිත මිමිනුවේය. නැවතත් බඩ රිදීමට ගත් බැවින් සියලු සංස්කාර ධර්මයන් පසෙක දමා එම වැඩෙහි නියැලිය යුතුව ඇත.

*******************************************************************************

තකහනියක් සරම කඩාගෙන වැසිකිලියට දුවගත්තේ පෙර දින රාත්‍රියේ කෑ හන්දියේ කඩේ කොත්තුව, බඩේ කනු කුනු ගාන්නට ගත් නිසාවෙනි. නිදහස් නිවහල් රාජ්‍යයක අතරමංව සිටි මට ඇගේ මල වද ඉවසිය නොහැකි විය. දවසේ සොඳුරුම මොහොත ඈ කා දැමුවේය.

********************************************************************************
මනස තවත් නොකැලඹෙනු පිණිස ඝන ටැප් වතුර පහරක් ඇය දෙසට හරවා ඇයව දෘෂ්‍ය පරාසයෙන් ඉවත් කලෙමි. ඈ නම් වූ තවත් එක් මදුරුවාට මට නොවිදිය යුතුව තිබුනි.
ලියා එව්වේ - මුචලින්ද ( http://muchalindha.blogspot.com/ )

Tuesday, September 28, 2010

ස්වභාවය, ධර්මය සහ කෝම් පිට්ටු

මිනිස්සු අළුතෙන් හොයාගත් කිසි දෙයක් මේ ලෝකෙ තියෙනවද කියන ප්‍රශ්නෙ ආයෙත් හිතට ආව.

කලින් කවදාවත් සිද්ධ නොවිච්ච කවදාවත් මිහිපිට නොතිබුනු දෙයක් අළුත් දෙයක්ය කියන අර්ථයෙන් බැළුවොත් විදුලිය, රූපවාහිනිය, සිලි සිලි බෑග් එක, වගේ දේවල් අළුත් දේවල්. මොකද ඒව යම් මිනිසෙක් හෝ කාණ්ඩයක් හදල වපුරන තුරු නොතිබුණු දේවල්.

ඒත් මේ හැමදෙයකම ඇතුලාන්තය, යම් දෙයක් සිදුවෙන විදිහට ද්‍රව්‍යමය දේ යම් රටාවකට පෙල ගැස්සවීම විතරයි නේද?

පොල්කට්ටකට වැලි ටිකක් තද කරල ඩිංගිත්තෙක් හදපු කෝම් පිට්ටුවක් වගේමයි. තවත් සොයාගැනීමක්...!

නේද?

'මෙහෙම කලොත් මෙහෙම වෙනවා' ඒ තමයි දැණුම. කොහොම කලොත් දැයිත් අපැහැදිලියි බොහෝවිට.

වැදගත්ම දේ අපිත්, අපේ හිතුත්, කරන කියන දේත්, මේ ධර්මතාවට පිටින් නොයාමයි.

ලියා එව්වේ - ලොකු ( http://www.ransirimal.com/ )

හීනෙකට නමක් දෙන්න බැහැ!

හීනෙකින් සැබෑ ලෝකයට ඇද වැටෙනවට වඩා හීනයේම ජීවත් වෙන එක හරිම ලේසියි... හීනෙකදී ඒ වගේ දේවල් හිතෙන එකත් ටිකක් පුදුමයි, අඩුවෙන් කිවුවොත්... හීනෙකදී දාර්ශනික අදහස් පහළ වෙන්න පුළුවන්ද? මගෙන් අහන්න එපා මම දන්නේ නැහැ. තාම හීනේ ඉවර නැහැ...

හීනෙකදී සීතල දැනෙන්න පුළුවන්ද? සීතල කොයි තරම්ද කියනවා නම් ඇට මිදුළු වලටත් කාවැදිලා පිච්චෙනවා. ඔන්න මගේ ඉස්සරහම, සීතල ගැන වගක් නැතුව හිටගෙන ඉන්නවා, ඈ... "සීතලයි"... මම කිවුවා...

"හදවත ආදරයෙන් උණුසුම් නම් හීතල දැනෙන්නේ නැහැ"... ඈ කියනවා, හිනාවෙවී...

ඇගේ මූණ හීනෙකදිත් ඒ තරමටම ලස්සනට පේනවද... මට හිතුනා. ඈ තාමත් හිනාවෙනවා... ඈ හිනාවෙලා හිනාවෙලා මොනවද කිවුවා... ඒත් ඒ කියපු දේ අහගන්න කලින් මම මැරුණා...

ලියා එව්වේ - හිපියා  ( http://hippiesjournal.blogspot.com/ )

Monday, September 27, 2010

විස්මෘතිය..

"මම ඔයාට ගොඩාක් ආදරෙයි.."
මා කියනා බස ඇයට නොවැටහෙයි, ඒත් මා දිහා බලාන ඉන්න ලොකු ඇස් දෙකට, ඒ නළලේ තිලකයට මම කවදත් ප්‍රිය කරනා වග කියන්නට මට තවත් සිත් දෙයි.
"මම හමුදාවෙන් පනිනවා, පැනලා ගිහින් අපි දෙන්නා ලබන සතියේ කසාද බඳිමු."
මඳ සිනහවකින් මොහොතක් බලා උන් මම හෙට දින පැමිණෙන පොරොන්දුව මත හුන් තැනින් නැඟිට්ටේ සුපුරුදු බංකරය වෙත පිය නැඟීමටයි.
"ඩෝං"
සිහිය එනවිටත් මා උන්නේ රෝහලේ ඇඳක් මතය. මා කවුද යැයි මටම අමතකව ඇති මුත්, ගොත ගසමින් කී වදන් පෙළ හාත්පස දෝංකාර දෙමින් වියැකිණ.
"මගේ රාජිණි, ආයේ කවදාකවත් මට දකින්න වෙන එකක් නෑ, මේ වෙළුම් පටි වලින් වැහුණු ඇස් දෙකෙන්.."
 ලියා එව්වේ - Ansh Lucky Sri Jay  (http://www.mitiyaawatha.blogspot.com/)

Sunday, September 26, 2010

අභිනිෂ්ක්‍රමණය..

මම මේ ක්‍රමයෙන් හෙම්බත්වෙලා හිටියෙ.
අම්ම තාත්ත, අක්කල, මල්ලිල, යාළුවෝ... රස්සාව.. හැම දේකින්ම ගැලවිල අන්තිමේ මගෙනුත් ගැලවෙන්නයි මට ඕන කලේ...
මම කැලේට වැදුණ දවසක් එපාම වුණ වෙලාවක ආයෙ නොඑන්න හිතාගෙන...
ගල් ගුහාවක සීතලේ ගැහි ගැහී දවසක් හිටිය. තවත් දවසක් ගහක් යට වැස්සෙ තෙමෙමින් ගුලි වෙලා හිටිය. කූඩැල්ලො මදුරුවො එක්ක තවත් සත්තු ගොඩකට මම ලේ දන් දුන්න. ඵල වැල තියා වැලේ වැල්වත් නැති කැලේ කන්න දෙයක් හොයාගෙන තවත් දවස් දෙකක් ඇවිද්ද...
මට මාවම එපා වුණා. ඒත් මම අතහැරපු අනිත් දේවල් ඕන වුණා...
මම ආයෙත් ගමට ආව...
ගම කෙලවර පිට්ටනියෙන් ගමට මතුවෙද්දි මගේ යාළුවො ටික හිනා වෙවී ෆුට් බෝල් ගහනව මම දැක්ක.


(කේ.එස්.ගනේගොඩ මහතාගේ අදහසක් ඇසුරින් )
ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

Friday, September 24, 2010

ආදරේට කෝටු කෑලි..

මට මුලින්ම ආදරේ දැණුනෙ ඒ ගෑණු ළමයට තිබුණ සුන්දර මුහුණ නිසා... ඒ ඇස් දෙක ම‍ගේ ඇස්වල ගැටුණ හැම මොහොතකම මගේ ඇඟ පුරා සියුම් විදුලියක් දිව්වා.
ඊලඟට මට දැණුනෙ වෙනත් ගෑණු ළමයෙක්ට තිබුණ දිගත් නැති කොටත් නැති කේෂ කල්‍යාණයක දැවටීමේ ආසාවක්.
දිනපතා උදේ බස් එකේ පැයකට හමුවුණ තව කෙනෙක් එක්ක යහන්ගත වෙන්න තදින් උවමනාවක් තිබුණත් ඒක ආදරේ තිරයෙන් වැහිල තිබුණ.
අධ්‍යාපනික මට්ටමෙන් හමුවුණ ආදරයක් තුල දැණුමත් ඒ එක්කම ආපු තරගයත් නොඅඩුව තිබුණා.
දුරකථන ප්‍රේමය අසාර්ථක නොවුණත් ඒක ලිංගිකව දැණුනෙ නෑ.
ඔහොම ගියා මම...
දැන් ඉතිං ආදරේ ඔය හැම දෙයක්ම...
ඇත්තටම ඒක වචනයක්...
ඒක වචනෙකින් කියවෙන ජීවිතේදි හමුවෙන බොහෝ දේ අඩංගු සම්බන්ධයක්...


ලියා එව්වේ -  h (http://living.hartstuff.com/)

Thursday, September 23, 2010

අනේ අපිටත් කොම්පියුටරයක්..

ලොක්කට වෙනසක් කරන්න හිතිල එක එක්කෙනාව කැ‍ඳවනව පුද්ගලික සම්මුඛ සාකච්ඡා වලට.
සෙක්ෂන් එකේ සෙට් එකම තම තමන්ගෙ වාරෙදි අළුත් කොම්පියුටරයක් ඉල්ලලා. දැන් මගේ වාරය.
“අනුෂ්ක අයියත් අළුත් කොම්පියුටරයක් ඕනෙ කියල කියන්න ඕන හරිනේ...?”
නංගි කෙනෙක්ගෙ ඉල්ලීමක්.
මට ගෙදර ඉන්ටර්නෙට් තියෙනව වුණාට මුන් සේරම මේල් චෙක් කිරීම්, බුකියෙ රේස් දැමීම් සහ අනිත් සියළු දේ කරන්නෙ සෙක්ෂන් යන්තරේ වෙනුවෙන් මරාගෙන. ඇත්තටම දවසකට ලියුම් 5-6ක් ටයිප් කරනව ඇරුණම ඒකෙන් වෙන වැඩෙත් එච්චරයි. ටෙන්ඩර් ගුලි ගිලල ගත්තු ලියුම් ගහන යන්තර නිසා ඉන්ටර්නෙට් වැඩේට ප්‍රමාණවත් මදි.
..................
මම ලොක්ක ඉදිරියෙ ඉඳගත්තා. ලොක්ක ප්‍රශ්ණ අහල ඉවර වුණාම දාගත්ත හිනාවක්.
“සර් අපටත් අළුත් කොම්පියුටරයක් තියෙනවනම් හොඳයි”
 ලියා එව්වේ -  h (http://living.hartstuff.com/)

Wednesday, September 22, 2010

මමත් දැන් categorized

කාලයක් තිස්සෙ නොලියපු බ්ලොග් එක ආයෙත් ලියන්න උවමනාවක් සෑහෙන්න ඈතක ඉඳන් ළඟටම ඇවිත්.
බ්ලොගර් වලින් වර්ඩ්ප්‍රෙස් වලට import කලාම ‍දාල තිබුණ සටහන් සේරම uncategorized කියන ප්‍රවර්ගයට එකතු වෙලා තිබුණ.
මනෝ තෘප්තියටත් එක්ක මම category cloud කියන විජට්ටුවත් දැම්ම.
මුලින්ම ඒකෙ uncategorized කියල විතරක් ලොකුවටම තිබුණ.
එක එක සටහන නැවත කියවන ගමන් එක එක ප්‍රවර්ග වලට වෙන් කලා.
එතකොට වෙනත් ප්‍රවර්ග එකතු වෙලා uncategorized කියල ලොකුවට පෙන්නපු ප්‍රවර්ගය පුංචිම වුණා ටිකෙන් ටික.

................

මමත් මටවත් අයිති නැති මනුස්සයෙක් වෙලා හිටිය ජීවිතේ එක කාලයක්!
දැන් මම එක එක වෙලාවට එක එක අයට ඕන විධියට.
මගේය කියන ලෝකය දැන් ටික ටික පුංචි වීගෙන යනවා...

ලියා එව්වේ -  h (http://living.hartstuff.com/)

Tuesday, September 21, 2010

ආත්මයක වියෝ ගීය..

“වෙඩින් කාර් එක යනවා”.....
ජිල් බෝල වගේ ඇස් දෙකෙන් කඳුළු බින්ඳු කඩන් වැටුනා..
පාරට වෙලා මෙච්චර බලන් හිටියේ මම ඔය කෙහෙල්මල් කාර් එක එනකන් තමා..
දැං ඉතින් ආපු වාහන ඔක්කොම ආයෙමත් යනකන් බලන් ඉන්න ඕනේනෙ...
"ඔයා අඩනවද?"
"නෑ මට දුකයි"
මගෙන්ම අහල මටම උත්තරත් දී ගත්තා..
වාහන ටික පල්ලෙහා පාරෙන් ඇදිලා ගියේ හුගාක් දවල්…..
එතකන් උන්නු මම හිමි හිමින් හිතට හයිය අරන්
මඟුල් ගේ පැත්තට ගියා.. මට මතක් උනේ "අම්මා"
උදේ ඉදන් හිතේ තද කරගේන හිටපු දුක දෙදරලා ගියේ ආත්තම්මා හැමොම පෙරළගෙන දුවාවිත් මාව බදාගෙන අඩන්න ගත්තාමයි.
මඟුල් ගේම මළ ගෙයක් වගේ වෙලා.
"පුතේ"
මගේ සුබ පැතුම් “අප්පච්චී ඔයාලට”

ලියා එව්වේ - අහිංසකී (http://ahinsaki.blogspot.com/)

Sunday, September 19, 2010

හිමි අහිමි

“ඒ වුනාට ඔයා මල්ලි කෙනෙක්නේ... මං වැඩිමල්“
“ අපෝ මාස හතයිනේ වැඩිමල් “
“ඒ වුනාට....“
“එහෙනං පිරිමි අවුරුදු පහ, දහය බාල කෙල්ලො බඳින්නේ....“
“අපිට අනික් අයගෙ එව්වා වැඩක් නෑනේ...... මං යන්නද?“
“ඇයි යන්න හදන්නේ....තව ටිකක් ඉන්නවද?“
“ම්ම්............“
“මම ඔයාට ෆෝස් කරන්නේ නැහැ... ඔයා කැමති දෙයක් කියන්න ඔයාට පුලුවන්“
“අපි වලව්නේ , ඔයා දන්නවනේ“
“ඉතිං අපිත් එහෙමනේ........ මගේ වාසගමත් ඔයාගෙ එකමනේ“
නිශ්ශබ්දතාවය.............................................
“හ්ම්ම්.......“
“ඇයි ?“
“අනේ මන්දා......................................“
මහ බඹා මගෙ නලලෙ කෙටුහැටි කියන එක හරි මදිද මන්දා
රටේ හැමතැන කරක් ගහලා නුඹට හිතගියෙ මොකද මන්දා
උපන් වසරට වසක් කලියෙන් නොඉපදුනේ කරුමයද මන්දා
ඒ වැරැද්දට අහිංසක මට ලැබුන පිළිතුර අනේ මන්දා..

ලියා එව්වේ - තීර්ථ යාත්‍රිකයා (www.tirthayathrava.blogspot.com)

Saturday, September 18, 2010

(ගෑණු) පිරිමිකම.

මේ...!
ඇයි...?
මොකෝ අපි එක්ක කතානැත්තේ..? අපි කලුද..?
නෑ..! අලුපාටයි..!
ඔයාට මාව දැනෙනවද..?
නෑ. මගේ හදවත ගලක් වෙලානෙව.
හ්ම්ම් ඒකත් එහෙමද..?
මගේ ළඟ තියෙනවා සැනසිල්ලක්..! ඕනෙද?
"හා..!"
මා එක්ක බුදියන්න වේවි.
ඒ මොකටද..?
සැනසිල්ල ගන්න.
බුදියගත්තම මොන සැනසිල්ලක්ද?
එහෙනං..?
කළකිරීම් රොත්තක් එක්ක වෛරයක් එනවනෙව..!
එහෙනං මොකද කරන්නේ අපි..?
මොනා කරන්නද.., වෙන්වෙමු.. .
වෙන්වෙන්න අපි එකතුවෙලා හිටියැයි..?
එහෙනං බුදියගන්න හැදුවෙ මා එක්ක..?
ඒ ඔහේට සැනසිල්ල දෙන්නනෙව..!
බොරුකාරයා.!
වල්ගෑණි..!
වල්ගෑණි..? තෝනෙ බොල මා එක්ක නිදිවදින්න හැදුවෙ..?
මම නිදිවදින්න හැදුවේ තොට සැනසිල්ල දෙන්න නෙව..!
එහෙනං මට වල්ගෑණි කියන්නේ..?
මට තෝ එක්ක බුදියන්න නොලැබුණු හින්දා..!
ඔන්න පැන්න..!
දැං කියහං කවුද වල්කං කොලේ..?
තෝද ..?
මම ද..?

ලියා එව්වේ - ලිෂාන් පුවක්ඕවිට(http://lishwish.blogspot.com)

Friday, September 17, 2010

ජීවිතේ සුන්දරද මෙතරම්...

ම්හ්... මෙතරම් සුවයක්...
හොර කෙල්ල...
වෙනදට මූන ලං කරද්දිත් ලැජ්ජාවෙන් ඇඹරෙන මගේ කෙල්ල කොහෙන්ද මෙහෙම ප්රංකශ හාදු දෙන්ට ඉගෙන ගත්තෙ ඈ...
ඔහ්... මෙච්චර උණුසුම් සුසුම් ඔය සීතල නහයෙන්...
ඇස්දෙක අරින්ටත් ලෝබයි මට...
ලෝකය මෙහෙමම මෙතැනම නැවතිලා තියෙනවානම් කොච්චර දෙයක්ද කියලා මට හිතුනා...
ජීවිතේ... සුන්දරද මෙතරම්...
කොහෙන්ද කොහෙන්ද මේ වැස්සක් පාත්වුනේ එක පාරට...
දී දී.... දීයන්ට වල් බල්ලා...
ඈ අම්මාගෙ කටහඬ නේද ඒ...
මල කෙලියයි අම්මා කොහොමද පාර්ක් එකට ආවේ...
එනවා මෙතැන ජරාව බීලා බිලා...
හොරිකඩ බල්ලෝ කට ලෙව කාල නෙවෙයි කටේ රීලා ගියත් ඔච්චරයි...
දොර ඇරගන්ටවත් සිහියක් නෑ...
බල්ලෝ...
වතුර බාල්දිය විසිකරලා ගේ ඇතුලට යන අම්මා කියවනවා හීනෙන් වගෙ ඇහුනා...

ලියා එව්වේ - පුතා (http://dubaiwattakka.blogspot.com/)

Thursday, September 16, 2010

මීඩියා කයිය.

පත්තරයකුයි ටීවී චැනලයකුයි කයියට වැටුණා.

"අග්‍රවාල් කොම්පැනියේ විසාල ස්ට්‍රයික් එකක්ලු. රස්සාවෙන්‍ දොට්ට දමනවලු එකසිය ගාණක්? මම නම් පිටු දෙකක් පුරා දැම්මා."

"අග්‍රවාල් තමයි අපට වැඩියෙම ඇඩ් දෙන්නේ. ඇදලා ප්‍රෝග්‍රෑම් දැම්මොත් ඇඩ් කපල දායි. "

"මම අර ජොබ් නැති වෙච්ච අයගේ ඉන්ටවීව් ටිකක් පත්තරේට දමන්නම්. උඹ අග්‍රවාල් ලොක්කා එක්කල ඉන්ටවීව් එකක් විකාශනය කරපන් රස්සාවල් නැති කරපු එක ගැන සාධාරණීකරණය කරල අපේ පත්තරේට බැනලා."

"එහෙනම් උඹ අපේ චැනල් එකටත් බැනල ලියපන්. අපිත් නිවුස් වලටයි සංවාද වැඩසටහනෙනුයි උඹලයි පත්තරේට බැනල දාන්නම්."

"ඔව් එතකොට පත්තරෙන් ස්ට්‍රයික්කාරයෝ ටික උඩ දමන එක නවත්තන්න අග්‍රවාල් කොම්පැනියෙන් අපේ පත්තරේට ඇඩ් ලැබෙද්දි ස්‍ට්‍රයික්කාරයින්ට බම්බු ගහන්න කියලා අපි‍ දෙගොල්ලම ගොඩ යමු. ".

ලියා එව්වේ - ලලින්ද්‍ර පෙරේරා

Wednesday, September 15, 2010

දුටු සතුට

සුපුරුදු බස් නැවතුමේ සිට අතරැදි ඔරලෝසුවට නෙත යැවුනේ කීවෙනි වරට දැයි මතක නැත. දැන් දින 3කින්ම ඇය නැත. කතාබහ කර නැතත් නමගම නොදැන ගත්තත් ඇගේ එක දසුනක් මාගේ දවසම නැවුම් ප්‍රබෝධයකින් පුරවා තබයි. දින තුනක්ම ඇය එන තෙක් බලා සිටි නිසා කාර්යාලයට ගියේද ප්‍රමාද විය.

ඊළඟ බසය පැමිණුනි. එයින් බැස ගත් පිරිසකි. සියල්ලෝම වාගේ ඇගේ වයසේ පසුවූ තරුණියන්ය.

"පොල්වත්ත පාර කොහෙද"

"ම්..."

"අර තියෙන්නේ දැන්වීමක්. කොඩි තියෙන දිගේ යමු"

"ක්ෂණිකව මගේ දෑස ද ඒ දෙසට යොමු විය"

මගේ දුටුසතුටු මල මට සිනා සෙමින් බිත්තියේ ඇලවී සිටියේ අද දින අවසන් ගමන් යන බව මට දන්වමිනි.
ඒ බසය ද මට මඟ ඇරුණි.

ලියා එව්වේ - වත් ( http://www.sodurusitha.blogspot.com/)

හරිද තොප්පිය

ඩෑඩ් පලමු වරට නිවසට ගෙන ආවේ ලිනක්ස් වැඩ කරනා කම්පියුටරයකි.
එතැන් පටන් වින්ඩෝස් මා සතුරෙකු වූ අතර, ඔපීසියේ එක්ස් පී කම්පියුටරයක වැඩ කරන ඩැඩාද ජන්මාන්තර වෛරක්කාරයෙකු විය.
බිරිඳ යහනට ඇද ගැනීමටත් වඩා උබුන්ටු ට'මිනලයට මා ආශා කරමි.
බ'ගරයක් කමින් කෝක් තොල ගාන මා, විකුණන වින්ඩෝස් හට වෛර කරමි. ඒවා හොරෙන් ගන්න උන්ටද වෛර කරමි.
මා පලමු වරට කම්පියුටරයක් භාවිතා කලා යැයි සිතන්නේ එයට ලිනක්ස් දැමූ පසුය. ඊට පෙර සිදුවූ කිසිවක් මාගේ මෙමරියේ ඉතිරිව නොමැත.
ඇත්තට හඳුනන්නේ පාසැල් පන්තියේ මිතුරන් කීප දෙනෙක් පමණි. ව'චුවල් මිතුරන් තොගයකි. මැෂබල් ඇතිකල් මගේ බ්ලොග ගොඩය.
ආනේ මට කමෙන්ට්ස් ගොඩකි. බියරයක් උස්සා ෆේස්බුක් හිදී සැමරිය යුතුය.

ලියා එව්වේ - මුචලින්ද (http://muchalindha.blogspot.com/)

Monday, September 13, 2010

ප්‍රේමය..

වසන්තයම නොවුනී.
හිරු පහන් කල දින සොදුරුවිය.
වෙනසක් තිබුනා නම් ඒ ඔබව මුණගැසීම පමණකි.
ඉන් එහාට හිස්ය.
කාලය ගෙවී ගියේ මදකුදු වෙනසක් නැතිවමය
පිටුවෙන් පිටුවට දළ රූප සටහන් තිබුනා මතකය.
එහෙත් ඒ මොනවාදැයි මතක නැත....
දිනය නිමා වීමට තවත් හෝරා කිහිපයකි..
සියල්ල සමාන්‍යය උවද හිත නම් එතනමය......
නුඹ සොදුරු දසුනකි…. පන්සලක් බෝධියක් තරම්ම නිසසලය…
හිත නිවන සුළුය.
ආසා කළෙමි නුඹ ලඟ රැදෙන්නට ,... දැවටෙන්නට
"මොකුත්ම කියන්න එපා තව ටිකක් ළං වෙන්න
මගේ උරහිසේ ඔලුව රදවගෙන ඇස් පියාගන්න"
හිත නැවතුනු තරමක්
හුස්ම එකින් එක පැටළුනු තරමක් ...
“ඇයි” අසන්නට ඉතිරි වුයේ එපමණක් පමණි...
පන්සලත් එක්ක ඇවිල්ල රහත් උණාද?
හැදින ගත්තෙමි “ප්‍රේමය”

ලියා එව්වේ - අහිංසකී (http://ahinsaki.blogspot.com/)

ධූරාවලි


එයාට අක්ක කියල කියන්න එපා

කාන්තා කාකාසවරියකට අක්කායැයි ඇමතූ විට විජේසේන මහත්මිය මාගේ කණට කර කීවාය.

ඔයාල අළුත් නිසා මේව දැනගන්න ඕන. එයාලව කරට ගන්න එපා.

අළුත් රාජකාරියට හුරුවන්නට මාස ගණනක් ගතවීමට ඉඩ ති‍බේ. සියල්ලට වඩා මේ බල ධූරාවලිය වටහාගැනීම දුෂ්කරය.

කාර්යාලයේ වසරක් සේවය කර අත්දැකීම් ලැබ මම පසක් කලෙමි.

කණිෂ්ඨ තනතුරුලාභීන්ට මහතකු හෝ මහත්මියක වීමටද වරමක් නැත.

තම මවගේ අභාවයට සහභාගි වූ කාර්යාලයේ සැමට ස්තූති කර ඊයේ එක් කණිෂ්ඨ සේවිකාවක් දැන්වීම් පුවරුවේ දැන්වීමක් පල කර තිබුණි.

දැන්වීම අවසන,
ස්තූතියි
එම්. චන්ද්‍රතිලකා මිය’ 

යනුවෙන් ඇගේ නම සඳහන් විය. 

අද එහි වූ මියකොටස කවුරුන් විසින් හෝ කුරුටු ගා තිබුණි.

ලියා එව්වේ -  h (http://living.hartstuff.com/)

Saturday, September 11, 2010

මණරය

 ඊයේ රෑ මොනා බිව්වද මන්දා….
නැගිටිනකොට මුළු ඇඟම සැහැල්ලුයි හරියට පාවෙනවා වගේ…
මොකද මේ අද කවදාවත් නැතුව ගෙදර කට්ටිය පිරිලා….
සේරම අස් පස් කරනවා, මන් දන්නෙත් නැහැනේ, දානයක්වත් තියෙනවද????
එළ එළ අයියලා සේරම ඉන්නවා දවල්ට සෙට් වෙන්න පුළුවන්…
ආ නැන්දේ කොහොමද??? 
තාම ගඳ එනවද මන්දා කවුරුත් මාත් එක්ක කතා කරන්නේ නැත්තේ?
අන්න මිනිය ගෙනාවා කියාගෙන හැමෝම කලබලෙන් ඉස්සරහට ගියා මාත් පස්සෙන් ගියා…
“ හොඳටම බීලා ඉඳලා තියෙන්නේ.. “  “බයිසිකලේ ගන්න දෙයක් නැහැලු…” 
කවුදෝ කියනවා ඇහුනා….
මාත් ඉස්සරහට ගියේ කවුද අපේ ගෙදර මාත් නොදැනුවත්වම මැරුනේ බලන්න….
පෙට්ටිය ගෙනත් ඇරියා….
මොනවා……
මන් අර මගුල් ගෙදරකට මහපු සූට් එක නේද මිනියට අන්දලා තියෙන්නේ….

ලියා එව්වේ - (http://magemaranaya.blogspot.com)

හුදකලාව


ඈතින් ඇසෙනා සියුම් ගී හඩ
මා සිතට ජීවිතයේ අමිහිරිම වූ මතකයකට මග පාදයි
පෙර දිනයන්හි මා සිහින ලෝකයන්ට ගෙන ගිය ඒ ගී හඩ
අද ඉතා අසුන්දරවූ මතකයක් ගොඩගන්නට සැරසෙයි
ජීවිතයේ බොහෝදේ කියාදුන්
හුදෙක් භෞතික දේකෙරෙහි පමනක් ආලය කල මා
ඉන් මුදවා බොහෝදේ ගැන සිතන්නට හුරුකොට
මා ජීවිතය වෙනස් කල ඔබ

මගේ අසීමිත ආදරය ලබාගත් ඔබ
යලිත් මා දිවිය නොසිතූ සේ උඩු යටිකුරු කොට ඇත
වසර ගනනක් පෙරුම්පිරූ
දිනය උදාවූ පසු ඔබ මා අතැර ගොස් ඇත
වසර ගනනක් සිතමින් පතමින්
 ඔබ වටා ගෙතූ ඒ මගේ ජීවිත කතාව
ඔබත් මමත් ඒක්වූ දා
දුෂ්ටයා ලෙස පැමිනි බීමත් රියදුරු තැන අතින් වෙනස් විය !!

ලියා එව්වේ - සහෝදරයා (http://sahodaraya.blogspot.com/)

Friday, September 10, 2010

මම ඔබේ දෑසින්




ගෙදර සීනුව වදිනවා...

සති ගාණක‍ට සැරයක් දකින එයා ඇවිත් ඉස්සරහා හාන්සි පුටුවේ වාඩිත් වෙලා...

තෙත කොණ්ඩේ පිහිදාමින්ම මම එයා ළගම ප්ලාස්ටික් පුටුවේ වාඩිඋනා.

"මට ‍මොනාද ගෙනාවේ...." කියලා වෙනදා වගේ අද නෑහුවේ මොකුත් එපා කියලා මමම කිව්වනේ...

"ඉතිං..."

"ඔන්න බෑග් එකේ ඔයාට පොතක් ඇති"

සුමන ආලෝකබණ්ඩාරගේ පෑළවිය.. බුක් මාර්ක් එක තිබ්බ තැනට ඉබේම පොත පෙරළුනා..

ඔහු දකින මම, පිටු අතර මට හිනාවෙනවා..

"මම දන්නවා මේ ඔයා නෙවෙයි කියලා... සමහර විට මට ඔයා විදියට පෙන්නේ නැතුව ඇති.. කවදාහරි දවසක මං ඔයාව ඔයා විදියට අඳින්නම්.. අඩු තරමේ උත්සහයක් දරන්නම්"

ආත්ම ගණන් නොවුනට මාස ගාණක් පරණ ආදරේ මගේ හිත ඇතුලේ අළුත් වුනුබව දැනුනද රෝමියෝට?

ලියා එව්වේ - මලී (http://abnormalminds.blogspot.com/)

Thursday, September 9, 2010

උඹ (යි ) මා(යි )

"කෝ කෝ ඔහොම නෙවෙයී"
"එහෙනම් කොහොමද......???"
"මෙහාට වෙන්න"
"ම්ම් ..... හරීද?"
"තව චුට්ටක්, ආහ් දැන් හරී..."
"කෝ ඉතින් දඟලන්න එපා"
"දඟලනව නෙවෙයි.....දැඟලෙනවා..."
"තව චුට්ටක් ලං වෙන්නකෝ ඉතින්"
"දැන් ......???"
"ම්ම් හරි දැන් ඔහොම්ම ඉන්න"
"ම්ම්........"
"ආහ්.......ආ .......... ආහ්"
"දැන් ඇතිද ?"
"මට නම් මදී"
"තව චුට්ටක් ඕනේ...."
"ම්ම් එහෙනම් දඟලන්නේ නැතුව ඉන්නවා පිස්සි ........."
"අනේ මන්දා බන්.........."
"මොනදේ කොහොම උනත් අපි හැමදාම හොද යාළුවෝ විතරයි"
"එතනින් එහාට දෙයක් අපි අතර තියාගන්න බෑ"
"එහෙම කරලා මට උඹව නැති කරගන්න බෑ"
"ම්............ම්ම්"
මුළු ඔලුවම තෙල් වලින් නාවපු උඹ
ආදරෙන් ඔලුව අතගැවා.....
එත් උඹ කිව්වේ "එ ආදරේ නෙවෙයී යාළුකම" කියලයී
මට මතක එච්චරයී....

ලියා එව්වේ - අහිංසකී (http://ahinsaki.blogspot.com/)

"සියක්" ආයු ලැබ.

නිදිගැනුමට මා දොර වසාගත් වනම දොර ලඟට වන් ඈ මතුරන්නට වන්නාය.
"සංසාර සරෝග විනීත නීසං"
ගෙන් පටන්ගෙන තවද දහසකුත් ඈ මුමුනනවා ඇත. මෙය කන වැකුනේ තාත්තා නැන්දා සමග පවසද්දීය.
තවමත් උදෑසන තේ කෝප්පය ඇඳ ලඟට ගෙනත් දෙන ඈ ගෙන ඒමට පෙර එය වතුර භාජනයක තබා නිවයි. ඒ මා උණු කිරට නොකමැති බැවිනි.
කෙදිනකවත් ඈ ඇස නොගැටී මා නිවසින් පිටව නොමැත.
"බිව්වට කමක් නෑ. ගඟේ මූදේ නාන්නෙපා"
ඈ අපල විශ්වාස කලාය. ඈ මට ඇති ආදරයට දේවාල කපුවන් පොහොසත් කලාය.
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වන්නට නොපතමි. ඒ දරු දුක ඔබට දුකක් නොවන නිසාවෙනි.

ආදරෙයි අම්මේ!

ලියා එව්වේ - මුචලින්ද (http://muchalindha.blogspot.com/)

ප්‍රමාදය

ඔරලෝසුව වැඩනැති නිසා මගට යනකොටත් පරක්කුද මන්දා..?

හිතේ තිබ්බ වේගේ එක්ක කකුල් දෙක පොඩිත්තක් සමපාත වෙන්න තිබ්බ ගැහැට බව නිසාම කකුල් ඇවිද්දේ පරක්කුවෙන් ...
හරියට "වැඩක් නෑ.., දැං කොච්චර හයියෙන් දිව්වත් උඹ පරක්කුයි කියන්න වගේ"

"කසුන් මට ඔයාව නොලැබුණත් මේ කරුම කසාදේ කරන දවසට පල්ලිය ගාවට ඇවිත් මට පේන්නවත් ඉන්න"
එයා බෙල්ලේ එල්ලිලා තිබ්බ රත්තරන් සුරුවම මගේ අතට දීලා කිව්වේ එහෙම..,
ඒ මීට සතියකට උඩදී..,

"මහත්තයා පල්ලිය හංදිය ගාව නේ බහිනවා කීවේ.., ඉස්සරහිං බහින්න"
නවත්තපු බස් එකෙන් බැහැපු මම පල්ලියට යනකොටත් ඈත යන වාහන පේලියට මංගල්ලෙට ආපු අමුත්තෝ තාම අත වනනවා.
මම යන්න හැරුණා..!

"ෂහ්...ලස්සන කපල් එක..!!"

කවුදෝ කියනවා ඇහුනා

ලියා එව්වේ - ලිෂාන් (http://lishwish.blogspot.com/)

හොඳම තීරණය

දෙයියනේ මගෙ පර්ස් එක නෑ.
දැන් මොකද කරන්නෙ.
මෙහෙම කරනවා. බස් එකට නගිනවා, කොන්දොස්තරට සිද්දිය කියනවා.
ඒත් අනිත් මිනිස්සුන්ටත් ඇහෙයි. ඒක ලැජ්ජාවක්.

නැහැ. මෙහෙම කරනවා. බස් එකට නගිනවා, කොන්දොස්තර සල්ලි ඉල්ලද්දි බෑග් එකේ පර්ස් එක හොයනවා, " මගෙ පර්ස් එක නෑ. අනේ මගෙ පර්ස් එක නැතිවෙලා.  මං දැන් මොකද කරන්නෙ." එහෙම අසරණ විදියට කියනවා.
ඒක හරියයිද? නොයයිද?
කොහොමහරි ගෙදර යන්න ඕනි.

හෝල්ට් එකේ තව කට්ටිය ඉන්නවා. එක්කෙනෙක්ගෙන් සල්ලි ඉල්ලගන්නවා අසරණකම කියලා.
මට සල්ලි දෙයිද? නොදෙයිද?
ෂික්! රුපියල් පණහක්වත් බිම වැටිල නෑනෙ.
අහ්! බස් එක එනවා.

සෙනග අතරෙන් කොන්දොස්තරට නොපෙනෙන්න නැගල ටික්කො නොපනීවායි හිතාගෙන හොරට යනවා. වාඩිවෙන්න ලැබුණම මූණ හංගන් නිදාගන්නවා.

ලියා එව්වේ - මගේ ජීවිතය (http://apedupatha.blogspot.com/)

Wednesday, September 8, 2010

එයයි මමයි හිතයි


හිතෙනකොට එන්නයි
 හිතෙනකොට යන්නයි
 අම්බලමක් කියල හිතුවද මගේ හිත?”

    “මගෙන්ද අහන්නෙ?”

නෑ.. ඔය මගේ කවියක්, ඕකට නිමිත්ත වුනේ ඉතින්..

    “මොකටද?”

ඔය සිතුවිල්ලට

    “ඔයා මාව පටලවනව

අපෝ එක එක දේවල් පටලගන්නෙ බලාගෙන..

    “ඉතින් ඔය සිතුවිල්ලට මූලික වුනේ මොකද්ද?”

මගේ අතීත ප්‍රේමයක්

    “ඇයි එයාට ගෙයක් තිබුනෙ නැද්ද?”

තිබුන. ඒ වුණාට එයාගෙ හිතට ගෙයක් තිබුනෙ නෑ.

    “ඉතින් එයාගෙ හිත කොහෙද හිටියෙ?”

හැමතැනම..  කාලයක් මගේ හිතේ, ආයෙත් වෙන කෙනෙකුගෙ හිතේ.. ආපහු මගෙ හිතේ..

    “එකපාරක් දාල ගියහම ඇයි ආපහු වැද්ද ගත්තෙ.

ආදරේ කළා ගොඩාක් මං...

    “අමතක කරන්න තිබ්බෙ දාල ගියහම.

ඒක කවදාවත්ම කරන්න බැරි වුණා මට.

    “ඒ ඇයි..?”

ඒ මුරණ්ඩු හිතට මං තාමත් ආදරේ හින්ද.

ලියා එව්වේ - ධනංජි පෙරේරා

Related Posts Plugin for WordPress, Blogger...