Wednesday, February 29, 2012

ලොස්ට් අයිඩෙන්ටිටි!

මම ජනප්‍රිය මනුස්සයෙක් නෙවෙයි. ඉස්කෝලෙදිවත්, ක්ලාස්වලදිවත්, කැම්පස් එකේදිවත්, රස්සාවට ආවමවත් මම විශේෂ කෙනෙක් වුණේ නෑ. බෝඩිමේ යාළුවත්, වෘත්තීය යාළුවො කීපදෙනෙකුත් ඇරුණම මට වෙන යාළුවොත් නෑ.

.........................

ඒත් මට ඒ නොහැකියාවට එහා ගිය කැපෑසිටියක් තියෙන බව මම දැනගෙන හිටිය. ඒ නිසාම මම දැන් වීරයෙක්... සුපර් හීරෝ කෙනෙක්... කවුරුත් මම කියන එකට එහා කතා කරන්න ආවෙ නෑ. මම කතා කරන්න ගත්තම ඔය හාල්පාරුවෙක් දෙන්නෙක් ඇරුණම වෙන කවුරුත් කටගහගෙන එන්නෙත් නෑ. ඒ නිසාම මට දැන් යාළුවො ගොඩයි. මම දැන් කණ්ඩායම් ගොඩක ඇක්ට්ව් මෙම්බර් කෙනෙක්... තව...


.........................

“උඹ තාම ඇහැරලද? වෙලාව පාන්දර 2.00යි. ඕකෙන් ලොගවුට් වෙලා ලයිට් නිවල බුදියගනිංකො.. වැඩ ඇරිල ආ වෙලේ ඉඳන් සෝෂල් නෙට්වර්ක්...”



ලියා එව්වේ - hare :-)

Monday, February 27, 2012

මම මිය ගිහින්

පාළු සීතල රෑක අදුරු වලකුළු අතරේ දිව ඉහිල ගිය අපේ හුස්ම පොඳ. මීදුම් පටල වල තැවරුනු සුසුම් රැළි... ඔය තුරුලෙන් දැණුනු උණුසුම.. ගෙල පුරා දිව ගිය ඔය දෙතොල් පහස. ඔය කෙස්රැළි පුරා දිවගිය මගේ දැඟිලි ඇයි රතු පාට.... හිනැහි හිනැහි උන්න ඔය ඇසුත් උඩදාගෙන.

අපිට ප්‍රයෝග පෙන්වන බයිසිකල් රෝදයට යටවුනු ඔබේ දෙපා මම දැක්කේ දැන්. ඊයේ වෙගන් කැරකෙන රොදේ නතර කරන්න දිගුකල අතත් එක්ක රොදේ වටේ වටයක් කැරකිලා ආපු මට තාමත් තේරුම් ගන්න බැරි ඇයි ඔබ ඔය තරමටම නිහඬ කියලා..

නමක් නොදන්න කවදාවත් නොදැකපු කෙනෙක් ඔයාව අරන් යන්න හදද්දි.. මඟ අහුරපු මගේ සිරුර දෙබෑ කරන් ගියපු කෙනා කෙලින්ම ගියේ රෝහලට...



ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Friday, February 24, 2012

හෙළුවැලි බසය

සැරසිලි මුකුත් නැති හෙළුවැලි බසය
සීත ඉල්ලා අනුන්ගෙන්
තබාගෙන එකපෙළට අසුන් සීයක්
දෙපේලියකට යාන්තමින් දෙකකුලින්
සිටගන්න ඉඩ ඇති

සිටියෝය පිළිම
ගැහැනු ඇදුමින්
පිරිමි ඇදුමින්
සෑම අසුනකම තිදෙනක් බැගින්

සෙනග දෙබෑ කරමින්
ඇවිදින රඟ ඒ සර්කස්කරු
විටෙක වයරයක බයිසිකලයෙන් යන
තවත් විට මකර කටකට අතදමන

කැමති සිහිනයක් බලනු හැකි
අනුන් උර මතද නිදනු යහපති
වීදුරු නම් හරිම දුක්බර

ඩුම් ඩුම් හඬින් දෝංකාරයකි
එවර නිහාල් නෙල්සන
සිහිනයෙන් පිළිම අවදිකර
හොඳම අවවාද දෙන
පිළිම තනි කැමැත්තට
අත් ඔසවා දෙපැත්තට වැනෙන රඟ
බලනු මඟියනි වෙනත් බස්වල

හෙළුවැලි බසයකි මේ පිම්මේ දුවන
නාටකීය සිහිනයෙන් මා ගලවන්න
විසි කරන්න සර්කසාණෙනි
අර ලොකු නා ගස අසබඩින් මාව


ලියා එව්වේ - කාංචනා අමිලානි (www.thinkland.net)

Wednesday, February 22, 2012

ලොකු ලයින්..

මම දන්නවා උඹලට වෙනස දැනෙනව කියල, ෆෝන්එක ඔබ ඔබ හිනාවෙනව, අඬනව, කෑගහනව ‍උඹලට ඇහෙනව, රෑ මැද ෆෝන්එක කනේ එල්ලගෙන වත්ත පුරා ඇවිදින ඒව උඹලට පේනව කියල.

තව, මම දන්නව උඹලත් අගක් මුලක් හොයාගන්න බැරිව ඉන්නෙ කියල. ඒකනෙ "අඩුම ගානෙ බෝඩිමේ එවුන්ටවත් කියපං" කියල චාටරේ දාන්නෙ.

මාත් කැමතියි උඹලට ඔක්කොම කියන්න, හිත හෑල්ලු කරගන්න...

ඒත්,

උඹල කියාවි "ඉතින් උඹල දෙන්නට දෙන්න කැමති නං එච්චරයි" කියල, එහෙම නැත්තං "උඹ කරල තියෙන්නෙ මහ බලු වැඩක්" කියල

එකෙක්වත් මාව තේරුම් ගනීද?. හයියට ලඟ ඉඳීද? දේවල් ඔය තරම් සරල වෙන්න කියල මම හිතපු වාර ගාන උඹල දන්නවද? කමක් නෑ බං චාටරේ දාපං, මට මෙහෙම හොඳයි...



ලියා එව්වේ - බූටා

Monday, February 20, 2012

රොන්ග් නම්බර්

"ඔයා මට ඊයෙත් කතා කරනව කියල කතා කරේ නෑනෙ. හරීඊඊඊ නරකයි. මම කොච්චර වෙලා ෆෝන් එක ළඟට වෙලා බලන් හිටියද.."

"කොහෙ කතා කරන්නද? ඔයාලගෙ තාත්තා ආන්සර් කරොත් මම මොනා කියන්නද?"

"අපේ තාත්තට බයයිනේ.. (සමච්චල් සිනා)"

"මම? පිස්සුද? ඔයාට ප්‍රශ්නයක් උනොත් කියලයි බය"

"නෑ එහෙම නෑ. ඔයා හවස ගෙදර ෆෝන් එකට කතා කරන්නකො හොඳේ.."

"ම්ම් බලමුකො. තාත්තා ගත්තොත්?"

"තාත්තා ගත්තොත් ඔයා වැරදි නොම්බරේකට කතා කරා වගේ මොනාහරි කියලා තියන්නකො"

-------------------------------------------------------

ට්‍රිං.... ට්‍රිං.... ට්‍රිං.... ට්‍රිං....

"(ගැඹුරු කටහඬින්) හෙලෝ.."

"..............."

"(තරහින්) හෙලෝ.. හෙලෝ.."

"(සිහින් කටහඬින්) හෙලෝ.."

"කාටද කතා කරන්න ඕනෙ?"

"ම්ම්.. හෙලෝ.. අ.. මේ.. රෝන්ග් නම්බර් එකක්ද.."

"මොකක්? කව්ද ඔය කතා කරන්නෙ?"

"ඌප්ස්."

දඩස්.



ලියා එව්වේ - පිණිබිඳු (http://lakmisher.blogspot.com/)

Friday, February 17, 2012

මගේ කුමාරි.

හැමදාම පරක්කුයි. කවදාවත් වෙලාවට එන්නේ නෑනේ.
ඇයි වදේ දැන් කී දවසක් බොසාගෙන් බැනුම් ඇහුවද?
බොරු කියනව කියලා හැමදාමත් මෙහෙම බොරු කියන්න පුලුවනෑ.....

ඊයෙත් පැයක් පරක්කු වෙලා ගිහින් රතු ඉර ගහලා. ඔයාට ඇයි මං විඳින දුක ගැන ගානක් නැත්තේ?
ඔෆිස් එකේ ගොඩක් පිරිමි අය එයාලගෙ ඈයොත් එක්ක හරිම සතුටෙන් උදේට ඇවිල්ලා හවසටත් තුරුල්වෙලා ඒ ආදරෙන්ම යනවා.

මටත් අනික් පිරිමින්ට වගේ වගේ සල්ලි බාගෙ යහමින් තිබුණනම් ඔයාගෙ ආඩම්බර බලන්න තවත් ඉන්නේ නැහැ මං.
හැඩකාර විසේකාර කෙනෙක් ගාවට මමත් ගිහිල්ලා.
ඒත් ඉතින් කෝ ඒවට සල්ලි. මාසේ රෝල ගහන්නේත් අමාරුවෙන්......

"කොළඹ බලා යන රුහුණු කුමාරී දුම්රිය තව ස්වල්ප මොහොතකින් දෙවන වේදිකාවට ලඟා වෙනවා ඇත...."

ලියා එව්වේ - ගෙහාන් (http://locolanka.blogspot.com/)

Wednesday, February 15, 2012

හිතවත් මාමා වෙත...

මාමා දන්නේ නෑ අපි කීයක් හරි හම්බ කරගන්න වෙන මහන්සිය. අවුරුද්දක් තිස්සේ නිදිමරාගෙන වැඩ කරලා කවුරුත් බලාගෙන ඉන්නේ සැලරි ඉන්ක්‍රිමන්ට් එක එනකම්. මේ දවස් වල එවලුවේශන් පීරියඩ් නිසා කට්ටිය බැහැලා වැඩ. මොකෝ ඉතිං අපියි කියලා 50% ක් වැටුප් වැඩි කරව් කියලා උද්ඝෝෂණ කරන්නයැයි. එහෙම කලොත් ඉතිං පහුවදා ඉදන් ගෙදර තමයි.

අවුලක් නැතුව ජාමේ බේරගෙන ගිය අවුරුද්දේ පුරා බොක්කෙන්ම වැඩ කල නිසා දෙන්න කලින්ම ඉන්ක්‍රිමන්ට් ලැබෙයි කියලා හිතන ගාණ බැලුවම කීයක් හරි යහමින් ඉතිරි කර ගන්න පුළුවන් වෙයි වගේ.

ඒත් ඉතිං මාමි මේ වගේ වැඩක් කරයි කියලා හිතුවේ නැහැනේ!

ඩීසල්.. ප්‍රෙට්ට්‍රල් ගෑස් සේරම වැඩි කරලා මහින්ද මාමිත් අන්තිමට කෙලියේ අපිටමයි නේ?


ලියා එව්වේ - Anonymous

Tuesday, February 14, 2012

ආදරවන්තයෝ

කෝපිහලේ තවත් සාමාන්‍ය සෙනසුරාදා සවසක්…

කෝපි නිවෙන්නට හැරි පෙම්වතුන් යුවළක්…තම දියණියට කිසිවක් කවමින් සිටි මවක්…පොළවට සවිකල ලී මේසය පිසදමමින් සිටි තරුණ සේවිකාව…සහ කෝපි දුමාරයට සිගරැට් දුමාරය මුසු කරමින් හිටි මම…එයට කිසිත් වෙනසක් එක්කලේ නැහැ…

පරිසරය වෙනස් වුණේ ඇසිල්ලකින්…මුදුනතේ එල්ලා තිබූ සුළං චයිමය හැඬවෙන සේ විවෘත වූ දොරෙන් ඇතුළු වූයේ අත්වැල් පටලාගත් මැදිවියේ මිනිසෙකු සහ හීන්දෑරි කොළුගැටයෙක්…

මොකද්දෝ විහිළුවකට සිනාසුනු ඔහු අනෙකාගේ මුව සිපගත්තේ ඒවනවිටත් එල්ල වෙමින් තිබූ දුසිමක් ඇස් ගැන වගේ වගක් නැතිවයි…

“ඇයි අම්මේ ඒ අන්කල්ලා දෙන්නා කිස් කලේ..?”අවට පරිසරයට අතිශය සංවේදී කුඩා දැරිය ඇසුවේ අවන්හලම නිහඬතාවයේ ගිල්වමින්…

කාන්තාව පිළිතුරු දුන්නේ මඳ නිහඬතාවයකින් පසුවයි… “ඒ දෙන්නා ආදරේ නිසයි දුවේ…”
 
ලියා එව්වේ - බීට්ල් http://akurublog.blogspot.com

Monday, February 13, 2012

බූරු අධ්‍යක්ෂගේ සිහින රූප රාමු

ඔන්න මුලින්ම පේන්නෙ රතු, ලේ නහර ඉදිමුණ ඇහැක්... තිරය පුරාම...

දර්ශනය ක්‍රමයෙන් සූම් අවුට් වෙනවා... දැන් ඇස් දෙකම...

යක්ෂ මූණක් තියෙන මිනිහෙක්...

මිනිහ හති අරිනවා... කටින් කෙල බේරෙනවා....

කැමරාව ටිකෙන් ටික මිනිහගෙන් ඈතට යනවා...

මිනිහ ඉන්නෙ සුදු අත්දිග කමිසයක් ඇඳගෙන... ඒක පුරා ලේ... සුදු සරමෙත් ලේ. ඒක කැහැපටකවාගෙන කරේ දාන සාළුවත් ඉන වටේ බැඳගෙන...

මිනිහගෙ අතක ලේ පෙරෙන කඩුවක්...

කැමරාව ඈතට...

මිනිහ ඉදිරියෙ අතපය, බෙලි කපල මරල දාපු මිනී කන්දක්...

මිනිහ කෑ ගහනවා...

“අඩෝව්... එකෙක් අත තිබ්බොත් බාවනවා. මේව අපේ මුතුන්මිත්තන්ගෙන් ලැබුණු දායාද..”

තිරය අඳුරු වෙන්න කලින් මිනිහට පිටිපස්සෙන් තියෙන පොදියක් පේනවා...

මිනිහ ඒවට අරක්ගත්තු භූතයෙක්....

ඒ භක්තියේ සංකේත ටිකක්!



ලියා එව්වේ - hare :-)

Friday, February 10, 2012

අර ඔයාගෙ හස්බන්ඩ් ද?

දෙන්න කොහෙදිද පාර්ටියකදි අඳුන ගත්ත, ආදරෙන් කොහොම වුනත් රාගෙන් වෙළුන. එදා රෑ නැවතුනෙ කෙල්ලගෙ ඇඳේ….

රෑ තිස්සෙ මහන්සි වෙලා දෙන්නට පාන්දර යාමෙ නින්ද ගියා. කොල්ල නැගිට්ටම දැක්ක කෙල්ලගෙ ඇඳ ගාව තිබුන මේසෙ උඩ, පිරිමියෙකුගෙ රාමු කොරපු පින්තුරක්.

කොල්ලට දැන් අස්පෙට් වැඩේට.

කෙල්ලගෙන් ඇහුව “අර ඔයාගෙ හස්බන්ඩ් ද ?” කියල.

කෙල්ල තව ටිකක් කොල්ලට තුරුල් වෙලා “නෑ ඩාලින්” කිව්ව.

“එහෙනං ඔයාගෙ බෝය් ෆ්‍රෙන්ඩ් ද”

කෙල්ල කොල්ලගේ කන යාන්තමට හපල “පිස්සුද ඩාලින්”

“එහෙනං තාත්තද, අය්යද ?"

කෙල්ල තවත් හුරතල් වෙමින් “නෑ ඩාලින්…ඒත් මං හරි ආසයි, ඔයාට ඊරිසියා හිතුනම”

කොල්ලට මල ටික ටික පනිමින් “එහෙනං මොකාද ඒ?”

“ඒ මං, ඔපෙරේෂන් එක කරගන්න ඉස්සෙල්ල”


ලියා එව්වේ - Observer (http://observer-nireekshaka-observer.blogspot.com)

Wednesday, February 8, 2012

පෙරේරා අයියා

අපේ හිටියා පෙරේරා කියලා.
බුවා හෙන හොඳ එකා.
කොයි තරම් හිත හොඳද කියනවා නම්, මිනිහා අතහිත දෙන්නේම වයසක ඇන්ටිලාට.
මේ තත්වය කොයි තරම් දුර දිග ගියාද කියනවා නම් මිනිසා අවසානේ කසාද බැන්දෙත් බුවාගේ අම්මටත් වඩා අවුරුදු 10විතර වයස කෙනෙක්.

ඔන්න අපිත් මඟුලට ගියාය කියමුකෝ,
ඩාන්සින් ෆ්ලෝඑකේ කස්ටිය නටනවා..,

ඒ අස්සේ එකෙක් සිරා කෑල්ලක් දිහා බලාගෙන අත්පුඩි ගහනවා..,
මම හෙමීට කිට්ටු කලා බුවා ගාවට
සිරා කෑල්ලනේ බන් කවුද දන්නේ නෑනේ..?

ඌ මා දිහා ටිකක් වෙලා බලාගෙන ඉඳලා අත්පුඩි ගහන්න පටන් ගත්තා..,

ඒ අපේ අම්ම බන්..!

එතකොට මේ අපේ එකා බැඳලා ඉන්නේ..?
ආ ඒ අපේ ආච්චි..!

කොල්ලා හිනා වෙලා මා එක්කලා කිව්ව.



ලියා එව්වේ - ලිෂාන් පුවක්ඕවිට (http://lishwish.blogspot.com/)

Sunday, February 5, 2012

බොළඳ කොල්ලා

එක රටක පෙම්යුවලක්  ආදරෙන් හිටියලු, දවසක කෙල්ල  කොල්ලව දාලා ගියාලු. කොල්ලා පිස්සුවෙන් කෙල්ලව හෙව්වලු.. ඒත් බැරි උනාලු.. කෙල්ල හොඳ රස්සාවක් කරගෙන හොඳින් සතුටින් හිටියලු, හැබැයි කොල්ලා, තමන්ගේ අයට, තමන්ටම, දුක්දිදි ජීවිතේ අරමුනු අමතක කරලා.. ආදරේ කරන අයට ගරහලා.. දලා ගිය කෙල්ලෙක් වෙනුවෙන් විඳවනවලු
ගොඩාක් පස්සේ කාලෙක... කෙල්ල හොඳ කෙනක්ව බැඳලා සතුටින් ඉන්නවලු
කොල්ලා..
1. කාත්කවුරුත් නැතිව තනියම ඉන්න බෑ කියලා.. මූදට පනින්න ගියාලු...
2. සේරම එකතු වෙලා අංගොඩ එක්කරන් ගියාලු...
3. වෙන කෙනෙක්ව විවාහ කරනෙ, බිරිඳට දුක් දෙනවලු.. දාලා ගිය කෙනා ගැන කිය කියා..  ගෑණු එච්චර බොළඳ නැති නිසා.. බිරිඳ අර කොල්ලව ඩිවෝස් කරනවලු..

සමහර කොල්ලෝ ඇයි මෙච්චර බොළඳ ?

ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Thursday, February 2, 2012

අරුනෝදය

හිනා කිංකිණි අතර මාව අතරමන් වෙලා,  අද අරුනෝදිගේ විවහය., මගේ පාසැල් මිතුරිය, එක බත් පත කාපු, එක පෑන හුවමාරු කරන් ලියපු, ඇය විවාහ වෙද්දි අදටත් මම තනියම.
නංගී... ඇයි මේ  තනියම..?  විහාරාත් ඉන්නවා එතනට යමු. අරුනොද්ගේ ඇස්  කතාකලා..
කමක්නෑ.. මෙහෙම හොඳයි..
එහෙනම් මම ඉන්නම් ඔයා ලඟ...
 “විහාරා එයි.. අයියා යන්න...
ම් දිලිසෙන දෑස් යන්න ගියා.. මම තනියම..
ට්‍රීං ට්‍රීං...කෙටි පණිඩුඩයක්...
ආදරෙයි.. සංකී....මේ කවුද..?
ආනේ.. සංකී.. දැනුයි දැක්කේ...
ඉතින්.. විහාරා.. කවදද ඔයාගේ වෙඩින් එක..
මම බැන්දා..
අරුනොද් අයියව.. හානේ.. කොච්චර හොඳද..
පිස්සුද කෙල්ලේ.. මම බැන්දේ මගේ මස්සිනාව
අරුනෝද්....??
එයයි SMS කලේ... නම්බර් එක දුන්නේ මම

ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...