Wednesday, December 31, 2014

සල්මානු කහනුත් පනී

ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ අබමල් රේණුවක් නොදැන සිටියදී සල්මානු කහනුට ලංකාවට ආරාධනා ලැබුණේ ලංකාවේ කිංගෙනි. තමන්ට ලැබුණු අනගි අවස්ථාවක් මෙන්ම අතටද ගාණක් ලැබෙන වැඩක් බැවින් ඔහු දෙවරක් නොසිතා ලක්දිවට වැඩම කළේය.

මුල් දවසේ ඇස් කණ්නාඩි බෙදා දුන් හෙතෙම පසු දින බත් පැකට් බෙදා දී වේදිකාවේ මහරාජ්කී සින්දාබාද් කීවේය.

එහෙත් දින කීපයකදී ෆේස්බුකිය ඔහුගේ දෑස් විවර කළේය. ඔහුගේ සිරුර කහන්නටද විය. අසාධාරණයට අයුක්තියට එරෙහි භාරත රුධිරය රත්ව පැසවන්නට විය. තමා තවත් නාට්‍යයක නළුවෙක් පමණක් බව ඔහුට සිතෙන්නට විය. එකම වෙනස වූයේ මෙවර ඔහු දුෂ්ඨයකු වීමයි. එය දරාගන්නට කහනු අසමත් විය.

ඉතින් ඔහු වීරයාගේ චරිතයට ආදේශ විය. 

ඔහුද විපක්ෂ වේදිකාවට ගොඩ විය.

ලියා එව්වේ - hare :-) (http://www.hartstuff.com/)

Wednesday, December 10, 2014

උමතු කත




පාන්දරම වැඩට යන්න බස් ස්ටෑන්ඩ් එකට ආපු මට දැනුණෙ තද සීතලක්. ගොරෝසු රෙද්දක් පෙරවන් බිම නිදන් ඉන්න මේ උන්දැ කොහොම මේ සීතල දරන් ඉන්නවද? පිස්සි පිස්සි කියලා හැමෝම උන්දැට ගැරහුවට බුදුදහමට අනුව පෘතග්ජන අපි හැමෝටම පිස්සු. මටත් බැඳීම් වෙනුවෙන් වෙහෙසෙන්න නොවුණ නම් මේ උන්දැගෙයි මගෙයි ලොකු වෙනසකුත් නෑ.

තුසර පිනි බිඳු හඬ නගා
සීතලේ ගීතය ගයන්නේ
බස් නැවතුමේ රළු පෙරවුමේ
කවුද මේ නිදි සුව සොයන්නේ

නීල සිකිපිල නේක සුවඳින් සරසවා
සේද සළු හැඳ හංස අඟනුන් සරන්නේ
කවුද මේ වැරහිලි අඳින්නේ
දුහුලියෙන් හිස සරසවන්නේ

සදාචාරය ශ්වේත සළුවෙන් ගත වසා
උමතු සිත්ගත් පෘතජනයන් සරන්නේ
කවුද මේ ගැරහුම් ලබන්නේ
උමතු කත යැයි කියන්නේ

ලියා එව්වේ - වර්ණ

Wednesday, December 3, 2014

අලුත් තැනක්

එළඹෙන වර්ෂාවෙන් ආරක්ෂා වීමට නව වාසස්ථානයක් සොයාගත් පසු කළු කුහුඹු නායකයා සිය රැල ඇමතීය. ආදරණීය ජනතාවෙනි. අද අප අලුත් තැනකට පැමිණියා. ළඟ එන වර්ෂාවෙන් බේරී සිටීමට මෙතැන ඉතා සුදුසුයි. රැගෙන ආ කෑම සුරක්ෂිතයි. බිත්තර ආරක්ෂිතයි. නමුත් එන අතරමග අප අතර සිටියවුන් බොහොමයක් මියගියා. ඇතමුන් මගහැරුණා. ඔවුන්ද මතු දවසක මිය යන බව අපගේ අදහසයි. එනමුත් අහිමිවූවන් වෙනුවෙන් ලතැවී සිට පළක් නොවන බව අපගේ අදහසයි. එමෙන්ම අප හැර ගිය අපේ සහෝදරයන් අපි අතරම යළි ඉපදෙන බව අපේ විශ්වාසයයි. ඔබත් ඒ විශ්වාසයට පැමිණෙන්න. මිය ගිය වුන් අපි අතර යළි ඉපදේවායි ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවෙන් මේ වස්සානයේ වැඩි වැඩියෙන් සංසර්ගයේ යෙදෙන්න. ඔබ සැමට ජය.

ලියා එව්වේ - වර්ණ

Wednesday, November 26, 2014

අතීතය දෙස හැරී බැලුවා මං

සල්ලිම හොය හොයා නැවතීමක් නැතිව දුවපු, සාද සැණකෙළිවල ජීවිතේ දිය කරපු මම එක විරාමයක අතීතය දිහා හැරිලා බැලුවා.
එතකොටයි මං ඔයාව දැක්කේ. මහගෙදර වැලේ තාමත් වනල තියෙන පාට පිච්චුණු මල් මල් චීත්තෙන් ඔයාගේ සුවඳ මට දැණුනා... සාලෙ බිත්තියෙ එල්ලලා තියෙන බොඳවෙලා ගිය පින්තූරෙන් එදා හිනාවම අදත් මම දැක්කා.. අනේ මම ඔයා ගැන හොයල බැලුව හොඳටම මදි අම්මේ...
රිදී සුළඟට රුවල් බැඳගෙන
දිවි සයුර යන අනවරත ගමනේ
අතීතය දෙස හැරී බැලුවා මං...
දිරා ගිය මහ ගෙදර හෙවණේ පාට පිච්චුණු චීත්තේ
සුපිපි කුසුමක් සොයා වෙහෙසුණු
නුඹව දුටුවා මං.....
තුරුණු සැණකෙළි සාද අතරේ මගෙන් ගිලිහුණු ජීවිතේ
බොඳව ගිය සිතුවමක හිනැහෙන
නුඹව දුටුවා මං....

ලියා එව්වේ - වර්ණ

Wednesday, November 19, 2014

පාර වෙනස් කරමුද?

%අපි යන්නේ කොයි පාරේ
ත්‍රිමා බාලෙ ගිය පාරේ....^
එහෙම කියද්දි සමහර අය කිව්වා ඒ පාර වැටිල තියෙන්නේ වළට කියලා... මහ හයියෙන් කිව්වට ත්‍රිමා, බාලෙ, වෙනුර, නිෂ්මි ගිය පාරේ ඇත්තටම ගියෙ කීයෙන් කී දෙනාද? එහෙම කෑගහපු හැමදෙනාම ඒ පාරෙම ගියා නම් අධ්‍යාපනේට උසස් අධ්‍යාපනේට මේ තරම් හෙන ගහල තියෙයිද?....
%කපා කපා කෑලි කපා
අප වළකනු සිතනු එපා....
ලේ හැලුණත් පාරදිගේ
අපේ ගමන අපි යනවා....^
ඒත් අදත් ත්‍රිමා බාලෙ ගිය පාරෙම ගිහින්, ලේ හලලා අධ්‍යාපනේ නිදහස දිනාගන්න, නිදහස් අධ්‍යාපනේ රැකගන්න පුළුවන්ද? එහෙම නැත්තම් ඒ පාරෙන් හැරිලා අද දවසට ගැළපෙන සාර්ථක, සැලසුම්සහගත පාරක යනවද? එහෙම ගිහින් සිසු විරුවො එදා රැකගත්ත නිදහස් අධ්‍යාපනේ රැකගන්නවද? 

ලියා එව්වේ -
වර්ණ

Wednesday, November 12, 2014

මව් සෙනෙහස

අලුත උපන් බිළිඳෙකුට, නව යොවුන් තරුණයෙකුට, මරණාසන්න මහල්ලෙකුට යන මේ හැමදෙනාටම තමන්ගෙ අම්මව දැනෙනවා. කාලයාගේ ඇවෑමෙන් අම්මගෙ රූපෙ ටිකෙන් ටික ක්ෂය වෙලා ගියත්, අම්මගෙ සෙනෙහස තව තවත් වැඩිවෙනවා මිසක් කවදාවත් අඩු වෙන්නෙ නෑ.

කිරි පබළුවක් අතින් ගෙන
පළමු වර මා පැමිණි දවසේ
රූපයෙන් මෙන් සෙනෙහසින්
කිරි සයුර සේ දැකගතිමි ඇය

පන්හිඳක් ගෙන ඇය බලන්නට
දෙවැනි වර මා පැමිණි දවසේ
රූපයෙන් ඇය කලා වැව වැනි
සෙනෙහසින් සත් සයුර වී

සුදු මලක් ගෙන ඇය දකින්නට
තෙවැනි වර මා පැමිණි දවසේ
රූපයෙන් ඈ සුළං රොද වැනි
සෙනෙහසින් මහමෙරක් වී

තව දෙයක්, දරුවෙක් වැදූ පමණින් උතුම් මව් පදවිය ලබන්නත් බැරි බවත් අද පේන්න තියෙනවා.

ලියා එව්වේ - වර්ණ

Wednesday, November 5, 2014

තනිනොතනි

ඉස්පිරිතාලෙ ගිය තාත්ත ආපහු එනකම් ඇඳිරි වැටෙන ජාමෙ දොරකඩට වෙලා හිටපු මැණිකට ගේ ඉස්සරහ තිබුණු එරමිණියා ගාල පෙනුණේ නමක් දන්නැති යෝධ සතෙක් තමන් දිහා බලන් ඉන්නවා වගේ.
කකුල් වටේ දැවටි දැවටි හිටපු කළු පූසත් එළිපත්ත දිගේ යන්න ගියාම මැණිකට තනිකමක් දැනුණා. තනියම උයන්න බැරි උනත් මැණික පොල් ගාල, ලූනු මිරිස් කපලා, වළං හෝදල තිබ්බෙ තාත්තට ඇවිත් උයන්න පහසුවට.
සැරින් සැරේ ගෙට ඇතුළු වෙන හුළඟ සාලෙ තිබුණු කුප්පි ලාම්පුව නිවන්න හදන්නෙ තමන්ව බය කරන්නමයි කියලා මැණිකට හිතුණෙ.
අඩි පාර දිගේ ගේ පැත්තට එන්නෙ තාත්තා කියල දැනගත්තම මැණිකට දැනුණෙ ලොකු සැහැල්ලුවක්.
&ඔන්න දැන් චූටි මැණිකෙටත් මල්ලියෙක් ඉන්නවා* තාත්තා ගෙට ගොඩවෙන ගමන් කිවුවා.
ලියා එව්වේ - වර්ණ

Wednesday, October 29, 2014

නැසෙනසුලු සංස්කාරයෝ

වරිච්චි බිත්තියේ හිදැසක් තුළ වූ හූනු බිත්තර තුන පිළිබඳව දිනපතා සොයා බැලීමට සෝම උනන්දු වූවාය. දිනෙක රාත්‍රියේ එක් බිත්තරයක් ගෙන කුප්පි ලාම්පුවේ එළියට අල්ලා බැලූ ඇය ඒ තුළ වැඩෙමින් සිටින කුඩා හූනු පැටියෙකු සිටිනු දුටුවාය. ලොකු හූනන් දුටුවිට පිළිකුලක් ඇති වුවද සෝමා මේ පුංචි හූනු බිත්තර පිළිබඳව ඇල්මකින් පසුවූවාය.
එක් දිනක සෝමාට දැකගත හැකි වූයේ එම හූනු බිත්තර තුනෙන් දෙකක්ම බිම වැටී බිඳී ගොස් ඇති බවයි. නයි කූඹි රැළක්ම බිඳුණු බිත්තර වටකරගෙන ඒවා ආහාරයට ගන්නා අයුරු ඇය දුටුවාය. තම සිත්ගත් හූනූ බිත්තරවලට අත්වූ ඉරණම පිළිබඳව ඇගේ සිතට දුකක් දැනුණි.
ඉතිරි බිත්තරය හෝ රැකෙනු පිණිස සෝමා එය හිදැස තුළට තල්ලු කළාය.

ලියා එව්වේ - වර්ණ

Wednesday, October 22, 2014

නුඹත් නීරෝ?

හීන මවපු සමන්තිගෙ අත් අකුරු ආදරේ බිඳුණු දවසෙ විසකරු සර්පයන් වුණා. ඉතින් මම ඒවා ගිනි තිබ්බා. සහනයක් දැනෙයි කියලා හිතලා ගත්ත මධු විතත් දුන්නෙ අපහසුවක්. කරගන්න දෙයක් නැතිව මම වීණාව අතට ගත්තා........ 

ආදරය ගිනි ගනී
ඇගේ රුව ඇති ඇගේ සුවඳැති
මා තැනූ රෝමයම
අළු අතර සඟවමින්
ආදරය ගිනි ගනී..........

ඇගේ අත් අකුරු හැඩ විෂඝෝර සර්පයන්
වෙළාගෙන මා සිරුර පෙළයි මා විස දළින්
හෙළා උන් ගින්දරට රුපු විසෙන් මිදෙන්නෙමි
කිසිත් කර ගත නොහී වීණාව වයන්නෙමි

ඇගේ සිහිනිඟට සම පුළිඟු වීදුරු බඳුන්
සොයා විත් මා මුවඟ දවයි මා මී විතින්
හෙළා එය ගින්දර මී විතෙන් මිදෙන්නෙමි
කිසිත් කර ගත නොහී වීණාව වයන්නෙමි

ලියා එව්වේ - වර්ණ

Wednesday, October 15, 2014

උඩුගං යාම

වැස්ස තුරන් වූ පසු ගෙවත්තෙහි වූ කුඩා දිය අගල අසලට පැමිණි දාස, දියේ ගිලුණු තල් පිත්තක් දිගේ ඉහළට රූටා යන ගොළුබෙල්ලෙකු දුටුවේය. දිය පහරට එරෙහිව ඌ යන ගමන ඔහුට කුතුහලයක් ගෙන දුන්නේය.
එදෙස මදක් බලා සිටි දාස තල් පිත්තක් ගෙන ඌ යන මගට ඉහළින් දිය පාර හරස් කර තබා මොහොතකින් එය මුදාහැරියේය. එක්වරම පැමිණි වේගවත් දිය පහරට හසුව ගොළුබෙල්ලා පහළට ගසාගෙන ගියේය.
තම කළ දේ නිසා සිතේ ඇතිවූ යම් පසුතැවීමකින් දිය පහර ළඟින් ඉවත් වන්නට සූදානම් වූ දාස එක්වරම යමක් ඇස ගැටුණි.
තමා සිටි තැනට උඩහට වන්නට තවත් කුඩා ගොළු බෙල්ලන් කිහිපදෙනෙකුම කොළ රොඩු දිගේ උඩුගං බලා යනු ඔහු දුටුවේය.

ලියා එව්වේ - වර්ණ

Wednesday, October 8, 2014

මිතුරු රුව

උක්කුවා නෙළුම් ගොල්ලේ වහන් වූයේ තදියම ඉවසාගනු බැරිම තැනය. ගොම්මන් කරුවල ඔහුගේ කෘත්‍ය තවත් පහසු කළේය. නමුත් සුළු මොහොතකින් දුටු දසුන උක්කුවාට සිය කටයුත්තද අමතක කළේය.
ඒ සයිමාය. මීට අවුරුදු පහළොවකට කලින් වැවේ කට්ටි වළක ගිලී මිය ගිය සයිමාය. ගමේ සැලකිය යුතු පිරිසකට නූල් බැඳ තොවිල් නැටීමට හේතු වූ සයිමාගේ හොල්මනය.
නමුත් උක්කුවා සයිමාගේ හොල්මන දකින්නේ මේ පළමු වතාවටය. තමාගේ පුංචි සන්දියේ සිටි හොඳම යහළුවා වූ සයිමාට බිය වීමට උක්කුවාගේ හිත නැමුණේ නැත. තම දෙසට සෙමෙන් පැමිණ අඩි පහක් පමණ දුරින් නතර වූ සයිමා,
&අනේ උක්කුවො අපේ අම්මාව බලා ගනින්.* යැයි පවසා නොපෙනී ගියේය.
ඉන්පසු ගමේ කිසිවෙකුට සයිමා පෙනී නොතිබුණි.

ලියා එව්වේ - වර්ණ

Wednesday, October 1, 2014

ආශා මාරුතය

පින්සාරි පන්සලට අවෙ අවුරුදු පහළොවකට විතර පස්සෙ. පන්සලට ගොඩවෙනකොටම අතීත මතකයත් ඇගේ හිත ගොඩවුණා.
මංගල පොඩි සාදු පූජා කරපු මල් උඩින්ම තියල මල් පූජා කරපු හැටි, පොඩි සාදු පස්සෙන් බුද්ධ පූජාව අරන් යද්දි වැලි මළුවෙදි උන්වහන්සෙගෙ අඩි උඩම පා සටහන් තියපු හැටි ඇයට මතක් වුණා.
ආවාස ගෙයින් එළියට වඩින මංගල ලොකු හාමුදුරුවන්ගෙ පින්සාර මූණ දැකපු පින්සාරිට මතක් වුණේ දහම් පාසල් පොතක් අස්සෙ දාලා දීපු ලියුමට උන්වහන්සෙගෙන් ලැබුණු උත්තරේ,
ආශා මාරුත ඉඳුරු සිදුරකින්
රහසේ ඇදිලා රල නංවන කල
සිත් වෑ බැම්මේ වදිනු නොදී
මා ගුරු හිමියන් සිත රුව තුළ වී
මසිත රකී රළ පනාව වී...........
පින්සාරි ලොකු හාමුදුරුවන්ට දණ ගහලා වැන්දා.
ලියා එව්වේ - වර්ණ

Wednesday, September 24, 2014

ආශා මාරුතය

පින්සාරි පන්සලට අවෙ අවුරුදු පහළොවකට විතර පස්සෙ. පන්සලට ගොඩවෙනකොටම අතීත මතකයත් ඇගේ හිත ගොඩවුණා.
මංගල පොඩි සාදු පූජා කරපු මල් උඩින්ම තියල මල් පූජා කරපු හැටි, පොඩි සාදු පස්සෙන් බුද්ධ පූජාව අරන් යද්දි වැලි මළුවෙදි උන්වහන්සෙගෙ අඩි උඩම පා සටහන් තියපු හැටි ඇයට මතක් වුණා.
ආවාස ගෙයින් එළියට වඩින මංගල ලොකු හාමුදුරුවන්ගෙ පින්සාර මූණ දැකපු පින්සාරිට මතක් වුණේ දහම් පාසල් පොතක් අස්සෙ දාලා දීපු ලියුමට උන්වහන්සෙගෙන් ලැබුණු උත්තරේ,
ආශා මාරුත ඉඳුරු සිදුරකින්
රහසේ ඇදිලා රල නංවන කල
සිත් වෑ බැම්මේ වදිනු නොදී
මා ගුරු හිමියන් සිත රුව තුළ වී
මසිත රකී රළ පනාව වී...........
පින්සාරි ලොකු හාමුදුරුවන්ට දණ ගහලා වැන්දා.

ලියා එව්වේ - වර්ණ

Wednesday, September 17, 2014

නොදත් තනුවක්

පොල් අතු වහල තත් භාණ්ඩයක් කොට ගත් අනෝරා වැස්ස වයන තනුව මේ කුමක්දැයි නොදන්නා නමුත් එහි යම් මිහිරි බවක් කුසුම්ට දැණුනි. කුඩා කල සිටම ඇය මේ හඬට ආශා කළද එවැනි මතකයක් සිහි නොකළේ එය දුරදිග ගොස් පෙර වැරැද්දක් සිහිවනු ඇතැයි සිතූ නිසාවෙනි.
චීත්තයක් හිසේ සිට පෙරවාගෙන ලොකු කෙලී නිදනු දුටු කුසුම් සෙස්සන් දෙස නොබලාම උන් නිදන බව තීරණය කළාය. සිතෙහි පිරුණු මිහිරි හැඟීමකින් කුප්පි ලාම්පුවට එබී සිනාසුණු ඇයට එය නිවා දමන්නට සිතුණත් අඳුරේ ගිලෙන්නට මෙය වේලාව නොවන බව සිතුවාය.
&කුසුමේ*...  
කරුණෙගේ දයාබර විඩාබර හඬ ඇයට ඇසුණි.
එකණෙහිම වහලයේ සිදුරක් සොයා ගත් වැහි බිඳක් ලාම්පුවට පැන %චොස්^ හඬින් එය නිවා දැමුවේය.

ලියා එව්වේ - වර්ණ

Friday, September 12, 2014

ලොක්කිගෙන් ලියුමක්

බුදුසරණයි! පොඩ්ඩී වෙත ආදරෙන් ලියමි
ආදරණීය පොඩ්ඩි,
උඹට කොහොමද? අපි නම් හොඳින්. ඒක නෙමේ අපිටත් ආරංචියි උඹේ පලහිලව්ව. මාත් දැක්ක දවසක් දෙකක් උඹ කොල්ලත් එක්ක අත් අල්ලන් යනවා. මල්ලි නම් ලස්සනයි. උඹේ ඇස් වල ආදරේ පිරිල තියෙනව දැක්කම අපිටත් සතුටුයි. උඹත් ඉතින් කවදහරි ආදරේ කරන්නත් එපැයි.
හැබැයි උඹ කොල්ලත් එක්ක රවුම් ගහනව වැඩියි කියල අම්ම කිව්වා.. කමක් නෑ පොඩ්ඩියෙ ආදරේ කරපන්. ඒත්...සිහිකල්පනාවෙන්. සමහර සමනල්ලු මල්වලට වහල පැණි බීල පෙති තලල ඉගිලිලා යනවා. ඒ නිසා පරිස්සමින්. පොඩි අක්ක වගේ හැමදේම වැරදුණාම අනේ අක්කේ... කියාගෙන ඇවිත් මාව බදාගන්න තැනට වැඩ කරගන්න නම් එපා.
අදට නවතින්නම්.
මං ඔයාගෙම ආදරණීය ලොකු අක්කා
යාල් දේවි
ලියා එව්වේ - වර්ණ

Tuesday, September 9, 2014

කාක බෝධිය

කාක වසුරක මුහුව විත්
තෙමංසල පවුර රැඳි ඇසතු බීජය
සිමෙන්ති පොළවේ වූ ක්ෂුද්‍ර පෝෂණයත්, වැසි දියත් අහර කොට
ලෝකයට රිදී මුල් දිඟු කළේය......
වෙර දරා පවුර බිඳ පැලුම් ඉරි දිගේ මුදුන් මුල
ටිකෙන් ටික මහ පොළවටම ගෙනගියේය....
යවුල් පහරට වැහැරුණත් තැනෙක
හේ තිරසරව යමුල් ලා ගත්තේය...

ඇවෑමෙන් හේ මහා බෝධියක් විය..
බැලු බැලුවන්ගේ සිත් පිනවමින් රන්වන් පත් ළෙලවන්නට විය.
කෙනෙක් බුදු පිළිමයක් තැබුවේය. තවකෙක් බාරයක් ගැටගැසුවේය.
%මහා අනුහස් ඇති බෝ රජෙක්^
ඉනික්බිති පවුරකින් වටවිය. පාමුල මුනිඳු පිට දී හිඳින සුඟන්ධ කුටියක් ඉදිවිය.
මලින් පහනින් සුවඳ දුමින් නිතර නිතරම පිදෙන්නට විය.
දහස් ගණනක් කාකයෝ ඔහු ඵල ගිල සතර අත ඉගිලී ගියහ.

ලියා එව්වේ - වර්ණ

Friday, September 5, 2014

මව් ගසේ උපදෙසේ

ළමයිනේ බලාපල්ලා පිරුණු හඳ. අද තමා ඒ දවස. පෙති හොඳට දිග ඇරගෙන ඉඳපල්ලා. සුවඳ විහිදෝපල්ලා.
මුලින්ම එන්නෙ වයසක උන්දෑ. උන්දැ උස අතුවලට ළං වෙන්නෑ. ඒ හින්දා පාත අතුවල අය හොඳට මූණ දීගෙන ඉඳපල්ලා. උන්දැගෙ වට්ටියෙ සීයකට විතර ඉඩ තියෙනවා. මාත් පුළුවන් තරම් අතු පාත් කරන්නම්.
ඊළට එන්නෙ දුවයි පුතයි. එයාල නම් උස අතු පාත්කරල හරි කඩයි. එයාලත් දෙසීයකටවත් වග කියයි.
මේ තමා උඹලගෙ ජීවිතේ ලැබෙන උතුම්ම අවස්ථාව. ඒ නිසා පුළුවන් තරම් ඒ අයට පේන්න ඉඳපල්ලා.
උඹලා වගේ තවත් අය සියදහස් ගාණක් එයි. උඹලත් කොහොමහරි මල් ආසනේට නැගපල්ලා.
උඹලත් පින් කරගෙන මටයි, නිකම්ම පරවෙලා වැටිලා ගිය අයියලා අක්කලාටයිත් පිං අනුමෝදන් කරපල්ලා 

ලියා එව්වේ - වර්ණ

Tuesday, September 2, 2014

බස් තොරණ

දෙවිවරුන් මැද බුදුරදුන් වැඩ
විහිදුවති රැස් නිවී දැල්වෙන
අසන් මහතුනි වෙසක් නොමැතිව
බසයෙ දිදුලන වරුණ තොරණක....
තිරිංග තද වෙයි
තොරණ පත්තු වෙයි....
ඇන්ඩ්‍රොයිඩ් දැහැනට
සමවැදුණු හිමිනමකි
උන්වහන්සේගේ
උරහිසට බර දී නිදන
මිනිසෙකි
පළමු කොටුවේ.....
ආධාර කරති සැවොම
ලබාගනිති තුන්ඩු
මුදල් දී....
තිරිංග තද වෙයි
තොරණ පත්තු වෙයි....
මැදකොටුවෙ සිටන් යන
මහලුන්, ගැබිනියන්, ආබාධිතයන්
දැක දැකම නිදති
සෙසු කොටු අසුන්වල
බලවත්තු බවලත්තු.....
තිරිංග තද වෙයි
තොරණ පත්තු වෙයි....
අවසනම කොටුවෙහි
මදන නම් වූ
වෙනම ජාතකයක්ය.......
තිරිංග තද වෙයි
තොරණ පත්තු වෙයි....
නගිති.. නරඹති...
නිදති.. බැසයති..
සැදැහැවත් පිංවත්තු.....
ලයිව් ෂෝ විරිඳුවෙන්
කන් බෙර පළති බෆල් රාජයෝ......
තිරිංග තද වෙයි
තොරණ පත්තු වෙයි....

ලියා එව්වේ - වර්ණ

Monday, June 2, 2014

එයයි මමයි

දසක් බලාපොරොත්තු මල් පලගන්වමින් මගේ යෝජනාවට ඈ කැමති වීමෙන් පසු මුල්වරට අප හමුවී, යන්නේ කොහේද කියා අරමුණක් නැතුව අපි දෙදෙනා ඔහේ ඇවිදිමින් සිටියෙමු.

ඇයත් මමත් පියවර මැන්නේ ගිනි මද්දහනේ දූවිළි පිරුණු කොළඹ නගරයේ පාරක වුවත් මට දැනුනේ අපි ඇවිදින්නේ සීතල නුවර එළියේ උද්ද්‍යානයක් තුල හිමිදිරි උදෑසනක කියාය .

මටත් නොදැනීම මම ඇගේ අතැඟිලි වලින් අල්ලා ගතිමි.

අද කවද්ද?.....
සඳුදා.....
නැහැ....
එහෙනම්....
මම ඉස්සෙල්ලාම ඔයාගේ අතින් අල්ලපු දවස...

ඇගේ මුවේ පැතිරුනු සොඳුරු සිනහ රැල්ල මට මුළු ලෝකයම අමතක කලා.

ඇය දෙසට හැරුනු මම සෙමින් "ඔයා දන්නවද,  ලෝකේ තියෙන වටිනාම වස්තුව දැන් මගේ අතේ තියෙනවා, ජීවිතේ තියෙන තුරාවටම රැක ගන්න"  යැයි පැවසීමි.

ලියා එව්වේ - නිෂාන්

Monday, May 12, 2014

සිංගල් කුඩ යට ඩබල් වෙන හීන


වැස්ස දවස් වලට කොහුවල කලර් ලයිට් හරියට වැඩ නෑ. පාර පනින්න නීත්‍යානුකූලව බලාගෙන ඉන්න ඕනෙත් නෑ.මේ වගේ ටයිම් වලට ඇන්ටිලාගෙ මූණු ඉස්කෝල ටීචර් ආවෙ නැති පීරියඩ් එකක ඩෙස් උඩ නටන ළමයින්ගෙ මුහුණු තරම් සුන්දරයි. 

මෙහෙම වහිද්දියි ලංකාවේ පිරිමි ජනගහනයෙන් බාගයක් කුඩ පාවිච්චියක් නෑ කියලා පේන්නෙ. කෙල්ලන්ගෙ කුඩ අස්සෙ හිර වෙලා කොල්ලො දුක් විඳිනවා. ඔය අතරෙ ඉතින් පෙම්වතියක් හෙම ඉන්නවා නම්, ඇගේ ලේඩිස් කුඩේ තමන්ගෙ අතට අරන්, බඳ වටේ අතත් දාගෙන වදයක් නැතිව යන්නත් පුළුවන්. 

“වැස්ස වෙලාවට ඔය වෙනදාට බනින ඇන්ටිලා අංකල්ලා වුණත් බලනවා විතරයි. බනින්නෙ නෑ.“ කියලා එහෙම වදෙන් පොරෙන් යන ජෝඩුවක් දැකපු කෙල්ලෙක්, තව කොල්ලෙක්ට කියනවා මට ඇහුණා. ;)
ලියා එව්වේ - නීනු (http://neranji-sulakkana.blogspot.com/) 

Monday, May 5, 2014

කලචරල් සෙන්ටර් පොයින්ටර් අංකල්


ඒක ලොකු ආයතනයක්. එතැන ඉන්නවා අවුරුදු හැටක විතර නිතර හිනාවෙන සිකිරිටි අංකල් කෙනෙක්. ඊයෙ හවස නිල් පාට සල්වාර් එකක් ඇඳපු අවුරුදු විස්සක විතර හීනැදෑරි ගෑණු ළමයෙක් අංකල්ව පහු කරගෙන යන ගමං එතැන ටිකක් නැවතුණා.
“අංකල්, ඕස්ට්‍රේලියන් එම්බසියට යන්නෙ කොහොමද?“ ඇය ඇහුවා.
“මේ පාරෙන් හැරුණාම ඉන්දියන් කල්චර් සෙන්ටර් එක“ අංකල් කිව්වා. 
මම ඔල්මොරොන්දම් වුණා. 
ඒත් සිනාසුණු දැරිය, ඇස් ඉදිරියේ තිබූ ඕස්ට්‍රෙලියන් එම්බසිය දෙස ඇහැක්වත් නොහෙලා ඉස්සරහ අතුරු පාරෙන් හැරුණා.
මගේ ලොකු ඇස් දිහා බලලා.“බයවෙන්න එපා මහත්තයා. ඔයාකාරෙ ඇඳුමකින්, ඔය වයසෙ දැරිවියක් වයලින් එකක් උස්සගෙන කවදාවත් එම්බසියක් හොයන්නෙ නෑ.
මේ කලින් හම්බවුණු අය පාර කියලා එවපු විදිහෙ වරද“ කියලා අංකල් තවපාරක් හිනාවුණා.

ලියා එව්වේ - නීනු (http://neranji-sulakkana.blogspot.com/)

Monday, March 17, 2014

1000ක් දේවල්

ඔයාව මුලින්ම දැකපු දවසේ,

             මගේ හිතේ 1000ක් සිතුවිලි උපන්නා.

අපි මුලින්ම කතාකරපු දවසේ,

            මම 1000ක් හීන දැක්කා.

ඔයාගෙන් කැමැත්ත අහපු දවසේ,

            ඔයා මට 1000ක් දේවල් කියුවා.

ඔයා මගේ වෙන්න කැමති වුන දවසේ,

           මගේ ඉහේ මල් 1000ක් පිපුනා.

අරූ එක්ක පාක් එකේ ඉන්නවා අහුවුන දවසේ,

            ඔයා 1000ක් නිදහසට කරුණු කියුවා.

මාව අතෑරලා ගිය දවසේ,

            මම ඔයාගෙන් 1000ක් ප්‍රශ්න ඇහුවා.

ඊලග දවසේ,

            හීන 1000ක් බිදුනු නිසා මම හොදටම ඇඩුවා.

අපි ආයෙත් අහම්බෙන් හම්බවුන දවසේ,

        ඔයා 1000ක් දෙවල් කියන්න හැදුවත් මම තඹේකට මායිම් කරේ නෑ.

අද දවසේ,

      ඔයා ගැන 1000ක් දේවල් වචන 100කින් මම කියලා දැම්මා.

                                                                     දෙවියනේ

                                         දහස් වාරයක් පිං                                              මම බේරුනා !!!

 ලියා එව්වේ - දිනූ දිනේෂා

Friday, March 14, 2014

උත්සාහය VS වාසනාව

එකමත් එක රටක හිටපු රජ කෙනෙකුට ඕනේ උනාලු වැඩිපුරම වටින්නෙ උත්සාහවන්තයද, වාසනාවන්තයද හොයාගන්න. ඉතිං කොහොමදෝ ක්‍රමේකට රටේ හිටපු වැඩිපුරම උත්සාහවන්තයයි වාසනාවන්තයයි හොයාගෙන කාමරේක හිරකරලා පොලවේ ටිකක් යටට වෙන්න කැවුම් මල්ලක වල දැම්මලු. ඒ හැම කැවුමෙම බුරියේ මැනිකක් හැංගුවලු. වෙන්න ඕනෙ විදියටම උත්සාහවන්තයා දමාගෙන පොලව හාරලා කැවුම් මල්ල හොයාගෙන වල ඇතුලෙම ඉදගෙන කන්න පටන්ගත්තලු. වාසනාවන්තයා එලියෙ ඉදගෙන අමාරුවෙන් කංකෙදිරි ගාන නිසා උත්සාහවන්තයා එයාට කන්න කැවුමේ බුරිය විතරක් විසි කරාලු. කොහොමහරි දවසකට පස්සෙ රජතුමා එද්දී දෙන්නම පනපිටින්. උත්සාහවන්තයා හොද ෆිට් එකේ ඉන්නවලු, වාසනාවන්තයා ෆිට් එකේ නොවුනත් සතුටින් ඉන්නවලු. රජතුමා එදා ඉදන් හොයනවලු වැඩිපුර වටින්නෙ උත්සාහවන්තකමද වාසනාවන්තකමද කියලා. මමත් හොයනවා උත්සාහවන්තකම නෙවෙයි වාසනාව!!

ලියා එව්වේ - දිනූ දිනේෂා

Wednesday, February 19, 2014

වාත ගුගලා

ගුගලා මුලින්ම ආවේ ඒ කාලෙ තිබුණ හැම ඊ-මේලයකටම වැඩි ඉඩක් නොමිලේ දෙමින්ය. අපි ගොඩක් අය ඊ-මේල් එකවුන්ටෙකේ ගිගාබයිට් තුන හතරකට වඩා පාවිච්චි නොකරත් අපේ පෙරේතකම ගුගලාගේ මේල් ගැටේ උනේය.

ඒ මේලය හදද්දී පරණ මේල් එකක්ද වෙරිෆයි කරන්නට දුන්නේය.

පස්සෙ කාලෙක ගුගලා ටූ වේ වෙරිෆිකේෂන් කියා අටමගලක් හඳුන්වා දී අපේ මොබයිල් පෝන් අංකයද ඩැහැගත්තේය.

අවුරුදු කීපෙක ඉඳන් ඇන්ඩ්‍රොයිඩ් ඉලව්වක් නිසා දැන් අපි යන එන තැන් ගැනත් ගුගලාට ඕනනං හොයන්ඩ පුළුහංය.

ඊයෙ පෙරේදා ඉඳන් මූට කලින් දුන් පෝන් අංකෙ මදි කියා තව එකක් ඉල්ලනවාය.

මුංගෙ රෙද්දෙ සෙකුරුටිය. දැන් නං ගුගලා ඕනවට වැඩිය.

ගුගලගෙ මාළු ගුගලගෙ ඇඟේ තබා කපන්න බැරි නිසා කට පියාගන්නවාය.


ලියා එව්වේ - hare :-) (http://www.hartstuff.com/)

Friday, February 14, 2014

ආදරේට සමීකරණයක්

ඉස්සර කාලෙක තර්කයයි හේතුවයි හැර වෙන දෙයක් පිළිනොගත්ත කාලෙක මම ආදරේට සමීකරණයක් හෙව්වා.

ඒ දවස්වල මම ආදරේ මානසිකව සහ කායිකව වෙන් කරල ඒ විචල්‍ය දෙක ආදරේ කියන ශ්‍රිතය තෘප්ත කරන පොදු සමීකරණයක් සැලසුම් කලා.

දෙන්නෙක් අතර ගැලපීම් ආදරේ ශක්තිමත් වෙන්න කොයි තරම් බලපානවද කියල බලන්න මම ඒවත් සමීකරණයේ විචල්‍ය කලා.

ම්හ්... ඒක එච්චර සාර්ථක වුණේ නෑ...

දැන් මම දන්නව ආදරේ තර්කයට අහු නොවෙන දේවල් ගොඩක් අතර තව එකක් කියල.

ඒක හැමෝටම වලංගු විදියට විග්‍රහ කරන්න බෑ...

දැන් මම දන්නව ආදරේ ශක්තිමත් වෙන්න ගැලපීම් වගේම නොගැලපීම් එක්ක අපි තනි තනිව අරන් නොසලකන ගොඩක් දේවල් අවශ්‍යයි කියල.

ඉතින් මේ මෝඩයට ආදරේ කරන්න.


ලියා එව්වේ - hare :-) (http://www.hartstuff.com/)

Wednesday, February 5, 2014

නිර්වාණයේ දොරකඩ හිඳිමි

බිම වැටිච්ච චොකලට් කොල වලට කූඹි එකා දෙන්න එන්න පටන් ගන්නකොට උඩට යන දුම් වලා අතරින් මට එයාගේ රූපේ මැවිලා පෙනුනා. ඒ කාලේ වෙච්ච සුන්දර, දුක්බර දේවල් මතක් වෙලා ඔළුව තවත් මත් උනා. ඒ දවස් වල දැනිච්ච නැති දුකක් දැන් දැනෙනවා, ඒක ඒ කාලේ දැනුනා නම් දැන් දුක නැතුව ඉන්න පුළුවන් කම තියෙන්න ඉඩ තිබ්බා. ඒත් ඒක එහෙම උනේ නැහැ. ආයි ආයි මන් මගෙන්ම ප්‍රශ්න කරන්නේ ඇයි මම එහෙම වෙන්න ඉඩ දුන්නේ කියලා. ලඟ තියෙන දේවල් වලට වඩා ලඟ නැති දේවල් අගේ වැඩියෙන් දැනෙන එක කොහොමත් හිතේ ස්වභාවයනේ.

බිම තිබ්බ බෝතලේ "කමෝන්" අකුරු ටික කඳුළු වලට බොඳ වෙන්න පටන් ගත්තා.

ලියා එව්වේ - (http://magemaranaya.blogspot.com)

Related Posts Plugin for WordPress, Blogger...