හත... අට.. නවය..මම අන්ධකාරෙ ඇස් ඇරගෙන, තත්පර ගණිමින්, ඈට සවන් දෙන වගත් හඟවමින්.
ඈම මට අරන් දුන්නු ඔරලෝසුව. මගේ ඇඳ ගාව බිත්තියේ එල්ලපු...
ළඟදි ඉදල ඒකෙ තත්පර කටුව දුවන සද්දෙ මට ඇහෙන්න පටන් අරගෙන... දුරකථනයෙන් එන ඇගේ කටහඬත් මකාගෙන.
විසි එක.. විසි දෙක... විසි තුන....ඇය දවසේ සිදුවීම් ගැන දොඩවනව.
උදේ අම්ම බැන්නලු. බස් එක කැඩිල අද ගෙදර එද්දිත් රෑ උනාලු.
තිස් අට.. තිස් නවය.. හතලිහ....මම ඈට හූමිටි තියමින්ම තත්පර ගණිනව.
හැමදාම දහස් ගණනක් ගැන්නත් එකම වටයකම දුවන තත්පර.
පණස් පහ... පණස් හය...
“ශානි”පණස් අට වෙනි තත්පරේදි මම ඈව ඇමතුව.
“ම්ම්..”
“අපි මේ සම්බන්ධෙ නතර කරමු.”ලියා එව්වේ - Raven (http://www.sihinasewanali.blogspot.com)