Showing posts with label අම්මා. Show all posts
Showing posts with label අම්මා. Show all posts

Tuesday, February 14, 2012

ආදරවන්තයෝ

කෝපිහලේ තවත් සාමාන්‍ය සෙනසුරාදා සවසක්…

කෝපි නිවෙන්නට හැරි පෙම්වතුන් යුවළක්…තම දියණියට කිසිවක් කවමින් සිටි මවක්…පොළවට සවිකල ලී මේසය පිසදමමින් සිටි තරුණ සේවිකාව…සහ කෝපි දුමාරයට සිගරැට් දුමාරය මුසු කරමින් හිටි මම…එයට කිසිත් වෙනසක් එක්කලේ නැහැ…

පරිසරය වෙනස් වුණේ ඇසිල්ලකින්…මුදුනතේ එල්ලා තිබූ සුළං චයිමය හැඬවෙන සේ විවෘත වූ දොරෙන් ඇතුළු වූයේ අත්වැල් පටලාගත් මැදිවියේ මිනිසෙකු සහ හීන්දෑරි කොළුගැටයෙක්…

මොකද්දෝ විහිළුවකට සිනාසුනු ඔහු අනෙකාගේ මුව සිපගත්තේ ඒවනවිටත් එල්ල වෙමින් තිබූ දුසිමක් ඇස් ගැන වගේ වගක් නැතිවයි…

“ඇයි අම්මේ ඒ අන්කල්ලා දෙන්නා කිස් කලේ..?”අවට පරිසරයට අතිශය සංවේදී කුඩා දැරිය ඇසුවේ අවන්හලම නිහඬතාවයේ ගිල්වමින්…

කාන්තාව පිළිතුරු දුන්නේ මඳ නිහඬතාවයකින් පසුවයි… “ඒ දෙන්නා ආදරේ නිසයි දුවේ…”
 
ලියා එව්වේ - බීට්ල් http://akurublog.blogspot.com

Friday, October 28, 2011

අවියෝජනීය බන්ධන

මම: අම්මේ කෙල ගිලින්න බෑ උගුර රිදෙනවා.

උගුර: එක එක දේවල් කනකොට නිකමටවත් ගිලෙන්නෙ කොහොමද කියල හිතුවද? ටිකක් විඳවනවා මාව මතක හිටින්ඩ.

අම්මා: ඔය නහය බුරුල් කරන්න වෙන්නැති. මේ තිප්පිලි ඇටේ හපන්න. නාරං ගෙඩියකුත් මිරිකල දෙන්නං.

මම: හච්චෝස්! හච්චෑස්! අබ්බේ හෙබ්බිරිස්සාව ඉඩ්ඩ බෑ ඩහය.

නහය: මාව මතක් වුණාද? තව ටිකක් සුරුස් සුරුස් ගානවා මතක හිටින්ඩ.

අම්මා: ඉඟුරු කොත්තමල්ලි ටිකක් හදල දෙන්නං. ඒකෙන් ඇරිල යයි.

මම: ඉන්න බැරියෝ කන රිදෙනවෝ. අම්මේ......

කන: හැමදේම ඇහෙන්නෙ කනෙන් කියල කවද්ද ඕනැකමින් හිතුවෙ? විඳවනවා මතක හිටින්ඩත් එක්ක.

අම්මා: මේ සුදුළුණු ගෙඩිය කනේ රඳවං ඉන්න. ළමයෝ උගුර රිදෙන්නෙ හෙම්බිරිස්සාව හැදෙන්න. සෙමට කන් කැක්කුම. මමම ඉන්නෙපැයි සාත්තුවට.
 
ලියා එව්වේ - මගේ ජීවිතය

Tuesday, August 23, 2011

මෙගා

එහා ගෙදර ඇන්ටනාව
නිතර මෙහා පැත්තට නැවෙන

අම්මාටම උසුළු විසුළු කරන
අපිට නෑසෙන්න
හෙමිහිට

'කෝ දැන් නැෂනල් ජියොග්‍රැ‍ෆික්
ඇයි ඉංගිරිස් බයිස්කෝප් යන
ස්ටාර් මූවීස් '
අම්මා රකියි මුණිවත
ගෙතුළට වැදී
ලක්හඩ අහමින්

රාත්‍රියට සද්දෙ වැඩිවන
සංසලා සද්දෙන් එහා ගෙදරින් හිනහෙන
අම්මා එවිටත් ලක්හඬ අහන

'ටීවී නම් නැතුවත් කම් නැත
බලන්න තියෙන නිදහස
අර ඇන්ටනාව තමයි මට කරදර
ඊයේ පෙරේදා සිට
මටම හිනාවෙන '

ඩයලොග් ටීවී උදාරම් ලෙස
වහලයේ පැත්තක මළකඩ කන
'හිටපන් ගෙවනකන් කවුරුම හරි බිල'
දත් කූරු කමින්
ඇන්ටනාවට බණින

අම්මා වැඩිපුර ගෙතුළ ‍රැදෙන
කුරුල්ලන් බලන්නත්
දැන් එළියට නොයන
ඉදහිට සංසලාවත් මතක් කරන
මෙගා ළඟ අසරණ හරි පුංචි කත

ලියා එව්වේ - කාංචනා අමිලානි (www.thinkland.net)

Wednesday, July 20, 2011

මම උන් වගේ වුනානම්.......

මම පොඩි කලේ අපේ අම්මා මට අපේ එහා ගෙදර උන්ගේ ළමයි පෙන්නලා කිව්වා අන්න ඒ වගේ හැදෙන්න කියලා. මොකද එතකොට උන් විද්‍යාඥයෝ දොස්තරලා ආකිටෙක්ට්ස්ලා. ඒත් මට උන් වගේ වෙන්න කිසිම උවමනාවත් තිබ්බේ නෑ. අම්මා කියපු එක ඔහේ අහගෙන හිටපු මම මමම වුනා උන් උන්ම වුනා.

අද වෙනකොට අවුරුදු කීපයක්ම ගිහිල්ලා.

උන්ගේ බඳින වයසත් පහුවෙලා. එකෙක් ගේ ගෑණි දාලා ගිහින්, තව එකෙන් බඳීන්නේ නෑලු, අනිත් කෙනාට හොයන එක්කෙන්ක්වත් හරි නෑලු.

දැන් අපේ අම්මා වැරදිලාවත් මට කියන්නේ නෑ උන් වගේ වෙන්න කියලා. අම්මා කියන්නෙ අඩුම ගානේ එහා ගෙදර මනුස්සයෙක්ගේ මූණ බලලා වචනය කතා නොකරන ඔය මහා උගත්තු පොල් පිත්තකින් කපාගන්න පුළුවන් කියලා.

ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.cඔම්/)

Sunday, June 5, 2011

නම් තැබීම...

මේ කතාවේ පසුබිම, අවරුදු 35 කට විතර ඉස්සර බණ්ඩාරවෙල. ඒ කාලේ මං වගේ ලංගම ඉංජිනේරු අංශෙ වැඩ කොරපු, මං ඇප්රෙන්ටිස් ෂිප් එක කොරපු තැනින්ම අවුට් වෙච්ච, අපේ සෙට් එකක් ගෙදරක බෝර්ඩ් වෙලා හිටිය. ගෙදර හිටියේ, ගෙදර අයිතිකාර අම්මයි එයාගේ තරුණ වයසෙ දුවල හතර දෙනයි. ගෙදර හිටිය ස්ත්‍රී පරාණ පහට අරුන් දාල තිබුන නම්...

(1) අම්ම = මහානාම (ගෘහ මුලිකය නිසා)
(2) ලොකු දුව = බද්දිය (ගෙදර කුස්සිය ඉන් චාර්ජ්. කොටින්ම බත් දීම)
(3) දෙවෙනි දුව = කොණ්ඩඥ්ඥ (දිග කොණ්ඩයක් තිබූ නිසා)
(4) තෙවැනි දුව = අස්සජි (පෝනි ටේල් එක නිසා)
(5) බාලම දුව = වප්ප (පොඩි පහේ වපරයක් තිබූ නිසා)



ලියා එව්වේ - Observer (http://observer-nireekshaka-observer.blogspot.com)

Friday, February 25, 2011

මේ අම්ම හැමදාම ප්‍රාර්ථනා කළේ...

ලොකු දූ: අම්මෙ මාව වොලිබොල් වලට තෝරගත්තා
මම: ඉතිං හොදයිනෙ පුතේ.. කොහොමද තේරුවේ?
ලොකු දූ: අපිට රවුමෙ ඉන්න කියල සර් වොලිබෝලෙ එව්වා එක එක්කෙනාට.... මම ගැහුවම සර්ගෙ අතටම ගියා....
මම: ඉතිං ඊට පස්සෙ?
ලොකු දූ: සර් මිස්ට කිව්වා මෙයාගෙ නම ලියාගන්න කියලා

ප.ලි. මට නැතිවෙච්ච අවස්ථාවන් ගොඩක් ලබන්න තමයි රත්තරන් මේ අම්ම හැමදාම ප්‍රාර්ථනා කළේ... සෑහෙන බලාපොරොත්තු ගොන්නක් එක්ක අලුත්ම අලුත් ඉස්කෝලෙකට දැම්මෙත්…

අනේ ඔය අලුත් ඉස්කෝල කොච්චර කල් තියෙයිද?
ආණ්ඩුව පෙරලුනොත් ඉස්කෝලෙට මක්වෙයිද?
අපේ ළමයින්ට අත්දැකීම් ගන්න බැරිවෙයි.

මට ඕව එකක්වත් ඇහුනෙ නෑ...
මට ඕන වුනේ සත්තකින්ම
අංක 1 මිශ්‍ර පාසලක්..
අංක 2 අමතර දේවලට ගොඩක් අවස්ථාව ලැබෙන පාසලක්....

ලියා එව්වේ - තනෝජා රාජපක්ෂ (http://thanojar.blogspot.com)

Wednesday, February 9, 2011

"අ" යන්නෙන් "අ ල ක් කු"

මේ බලන්න චූටි පුතේ... "අ" යන්න අම්මා..

ආ... චූටි පුතා කියන්න බලන්න "අ" යන්න.... මේ ඉන්නේ අ..ම්.මා

ඊයේ රෑ යාලුවෝ කට්ටිම බෝතල් දෙක තුනක් හිස් කරනකල්ම නට නටා.. හිටපු පොඩි එකා, දැන් මොකද මූ කට හොල්ලන්නෙ නැත්තේ. කට්ටිය වටවෙලා ඉන්න නිසා බයවෙලාද?

"ම්..හ් අම්මා කිව්වේ නැත්තන් අලියාහරි පෙන්නන්න කිව්වා" පොඩි එකාගේ අම්මා මිතුරාගේ කනට කරලා කිව්වා...
මෙන්න පුතා අලියා... "අ" යන්න අලියා

පොඩි එකා පොල්තෙල් පහන දිහා බලාගෙන ඉන්නවා.. සද්දයක් නෑ. අම්මටයි තාත්තටයි ෆුල් අප්සෙට්


මෙන්න පුතේ "අ" යන්න.... පොඩි එකාගේ අම්මා කිව්ව විතරයි ලග තිබුන පොල්තෙල් බෝතලය දිහා බලල හිනාවෙලා පොඩි එකා කිව්වේ එක වචනයයි

"අ ල ක් කු"

ලියා එව්වේ - නොම්මරේ (www.nommaraeka.blogspot.com)

Wednesday, November 3, 2010

"හොරා කෑම"

“අම්මා.... මෙන්න අයියා....”
ඊට වඩා මොනවත් කියන්න ලැබුනෙ නෑ..අයියා අත් දෙකින්ම බදලා මගේ කට වැහුවා... මං දැගලුවේ මට හුස්ම ගන්න බැරිව මැරෙයි කියන බයට..
“කෑ ගහන්නේ නැතිව ඉන්නවා යෝදියේ.. ඔයාටත් කෑල්ලක් දෙන්නම්”
“අන්න එහෙම එන්න.. හැබැයි මට ලොකු කැල්ලක් ඕන”
මම අතින් ලොකු කැල්ල පෙන්නුවා..
“පෙරේති ආ ඉතින්”
කේක් කෑල්ලක් දෙන ගමන් එහෙම කිව්වේ ආදරේට කියලා මං දන්නවා..
“හරි ෂෝක් අයියයි නංගියි”
පිටිපස්සෙන් ඇහුන කටහඩට මං විතරක් නෙමෙයි අපේ සුපර් හීරෝත් ගැස්සුනා....අම්මා ඉනට අත් දෙකත් තියාගෙන බලන් ඉද්දි බොරුවක් හදාගන්නවත් වෙලාවක් තිබුනෙ නැ.
“නෑ අම්මා මේ නංගිට බඩගිනි කිව්වා ඒකයි”
“යකෝ මේකා කියන බොරු.... තරහටම මං වැලමිටෙන් ඇන්නා හොද පාරක්

ලියා එව්වේ - වරුණි (http://akikaruhitha.blogspot.com/)

Saturday, October 9, 2010

මග බලාසිටීම....

ගිනි මද්දහනේ කර වෙවී ඉදල
දැන් හවස් වෙන්නත් කිට්ටු වෙලා
දවල් 1.30 ඉදන් තාමත් මෙතෙන්ට වෙලා ඉන්නේ
දවසක් වත් නොදැක ඉන්න බැරි ඔය මූන බලන්න කියලා ඔය හිතට නිකමටවත් හිතෙන්නේ නැද්ද?

දැන් වෙලාව 5.45යි. මේ වෙලාවට නාමල්ගේ සිංදු කෑලිත් මතක් වෙනවා.
මොන මගුලක්ද මදුරුවොත් කනවා....

අද පන්ති යනවා කියලා කිව්වෙත් නැහැ...
වෙනදාට මේ වෙලාව වෙද්දී ගෙදර ගිහින් තුන් හතර පාරක් කෝලුත් කරලා, ඒත් අද මොනවා වෙලාද?

අම්මට සිරි මෙන්න කියන කොටම කෝල් එකක්....

කොහෙද ඉන්නේ...? දැන් වෙලාව කීයද? ඇයි පරක්කු?

ආ අම්මා එක්ක එද්දී අම්මව ඇක්සිඩන්ට් වුනා?
4වැනි වාට්ටුවේ?

ඇයි දෙයියනේ කලින් නොකිව්වේ?
කලින් කිව්වනම් දැන් ඇවිල්ලනේ... ඉන්න මං එන්නම්.

ලියා එව්වේ - ප්‍රසන්න කරුණාරත්න(http://prasanna86k.wordpress.com/)

Saturday, October 2, 2010

මුතු...

මුතු... මුතු...
අනේ කෙල්ලේ තාම තාත්තිගේ පපුව උඩට වෙලා හොඳට නිදි නේද?
ඒ මගේ සදාදර බිරිඳගේ කටහඩයි.
ඒ කතා කලේ,
මගේත් ඈයගේත් එකම ආදර දූ පැටික්කිටයි.
අපේ ජීවිත වලට සතුට අරගෙන,
අපි අතර බැඳීම තවත් වැඩිකරන්නට,
කොහේදෝ ඉඳන් ආ අපේ පුංචි හුරතල් කෙල්ලටයි.
මුතු අපිට වාසනාවකි.
තාත්තිටනම් මුළු ලෝකයකි.
තාත්ති එනකම් අම්මිත් එක්ක,
මග බලන් හිද ආපු ගමන් බෙල්ල බදා ගෙන
ඉඹ ගෙන ඉඹ ගෙන යන
මගේ පුංචි කෙල්ල
ඳඟල ඳඟල ඉඳල නිදිය ගන්නේ
තාත්තිගේ පපුව උඩ
ඉතිං උදේට ඈහැරවන්න ගියාම දුකේ බෑ...
තාත්ති තාත්ති කිය කිය තවත් හයියෙන්
බෙල්ල බදාගෙන නිදා ගන්නවා.
ඉතිං පුංචි මුතු කෙල්ලට ගොඩක් ආදරෙයි මම.
 ලියා එව්වේ - ප්‍රසන්න කරුණාරත්න   (https://prasanna86k.wordpress.com)

Tuesday, September 21, 2010

ආත්මයක වියෝ ගීය..

“වෙඩින් කාර් එක යනවා”.....
ජිල් බෝල වගේ ඇස් දෙකෙන් කඳුළු බින්ඳු කඩන් වැටුනා..
පාරට වෙලා මෙච්චර බලන් හිටියේ මම ඔය කෙහෙල්මල් කාර් එක එනකන් තමා..
දැං ඉතින් ආපු වාහන ඔක්කොම ආයෙමත් යනකන් බලන් ඉන්න ඕනේනෙ...
"ඔයා අඩනවද?"
"නෑ මට දුකයි"
මගෙන්ම අහල මටම උත්තරත් දී ගත්තා..
වාහන ටික පල්ලෙහා පාරෙන් ඇදිලා ගියේ හුගාක් දවල්…..
එතකන් උන්නු මම හිමි හිමින් හිතට හයිය අරන්
මඟුල් ගේ පැත්තට ගියා.. මට මතක් උනේ "අම්මා"
උදේ ඉදන් හිතේ තද කරගේන හිටපු දුක දෙදරලා ගියේ ආත්තම්මා හැමොම පෙරළගෙන දුවාවිත් මාව බදාගෙන අඩන්න ගත්තාමයි.
මඟුල් ගේම මළ ගෙයක් වගේ වෙලා.
"පුතේ"
මගේ සුබ පැතුම් “අප්පච්චී ඔයාලට”

ලියා එව්වේ - අහිංසකී (http://ahinsaki.blogspot.com/)

Friday, September 17, 2010

ජීවිතේ සුන්දරද මෙතරම්...

ම්හ්... මෙතරම් සුවයක්...
හොර කෙල්ල...
වෙනදට මූන ලං කරද්දිත් ලැජ්ජාවෙන් ඇඹරෙන මගේ කෙල්ල කොහෙන්ද මෙහෙම ප්රංකශ හාදු දෙන්ට ඉගෙන ගත්තෙ ඈ...
ඔහ්... මෙච්චර උණුසුම් සුසුම් ඔය සීතල නහයෙන්...
ඇස්දෙක අරින්ටත් ලෝබයි මට...
ලෝකය මෙහෙමම මෙතැනම නැවතිලා තියෙනවානම් කොච්චර දෙයක්ද කියලා මට හිතුනා...
ජීවිතේ... සුන්දරද මෙතරම්...
කොහෙන්ද කොහෙන්ද මේ වැස්සක් පාත්වුනේ එක පාරට...
දී දී.... දීයන්ට වල් බල්ලා...
ඈ අම්මාගෙ කටහඬ නේද ඒ...
මල කෙලියයි අම්මා කොහොමද පාර්ක් එකට ආවේ...
එනවා මෙතැන ජරාව බීලා බිලා...
හොරිකඩ බල්ලෝ කට ලෙව කාල නෙවෙයි කටේ රීලා ගියත් ඔච්චරයි...
දොර ඇරගන්ටවත් සිහියක් නෑ...
බල්ලෝ...
වතුර බාල්දිය විසිකරලා ගේ ඇතුලට යන අම්මා කියවනවා හීනෙන් වගෙ ඇහුනා...

ලියා එව්වේ - පුතා (http://dubaiwattakka.blogspot.com/)

Thursday, September 9, 2010

"සියක්" ආයු ලැබ.

නිදිගැනුමට මා දොර වසාගත් වනම දොර ලඟට වන් ඈ මතුරන්නට වන්නාය.
"සංසාර සරෝග විනීත නීසං"
ගෙන් පටන්ගෙන තවද දහසකුත් ඈ මුමුනනවා ඇත. මෙය කන වැකුනේ තාත්තා නැන්දා සමග පවසද්දීය.
තවමත් උදෑසන තේ කෝප්පය ඇඳ ලඟට ගෙනත් දෙන ඈ ගෙන ඒමට පෙර එය වතුර භාජනයක තබා නිවයි. ඒ මා උණු කිරට නොකමැති බැවිනි.
කෙදිනකවත් ඈ ඇස නොගැටී මා නිවසින් පිටව නොමැත.
"බිව්වට කමක් නෑ. ගඟේ මූදේ නාන්නෙපා"
ඈ අපල විශ්වාස කලාය. ඈ මට ඇති ආදරයට දේවාල කපුවන් පොහොසත් කලාය.
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වන්නට නොපතමි. ඒ දරු දුක ඔබට දුකක් නොවන නිසාවෙනි.

ආදරෙයි අම්මේ!

ලියා එව්වේ - මුචලින්ද (http://muchalindha.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...