Showing posts with label බීට්ල්. Show all posts
Showing posts with label බීට්ල්. Show all posts

Wednesday, August 29, 2012

ලොතරැයි කොලුවා

“පුතේ මේකට දිනුමක් තියෙනවද බලන්න”

මෙසේ සතියකට සැරයක් තමන් කලින්දා මිළදීගත් ටිකට්පත දික්කරන මේ මැහැල්ල ලොතරැයි කොලුවාට ආගන්තුක අත්දැකීමක් නෙවෙයි…

“නෑනේ ආච්චියේ…”

හැමදාම පාහේ මේ ආකාරයට පිළිතුරු දෙන ලොතරැයි කොලුවා හිස් ටිකට්පත ඇයට ආපසු දෙන්නේ ඇයගේ මැලවුණු මුහුණ මගහරිමින්…

නමුත් මෙදින ලොතරැයි කොලුවාට වෙනස් දවසක්… මැහැල්ලට පිළිතුරුදීමට වෙනදාට වඩා කාලයක් ඔහු ගතකලේ එහෙයින්… තමා මේ කරන්නට යන්නේ සුදුසු දෙයක්ද, ඔහු තමන්ගෙන්ම විමසුවා… මැහැල්ල තරම් නොවුනත් තමනුත් අන්ත දුප්පතෙක්… අවසන ඔහු තීරණයට එළඹුණා…

“ඔන්න යන්තම් අද දාහක් තියෙනවා… මෙන්න සල්ලි”

“අනේ ඇත්තද පුතේ…”

දෝතින්ම තමා දුන් මුදල ලබාගෙන සතුටු සිතින් නික්මයන මැහැල්ල දෙස ප්‍රීතිමත් නෙතින් බලාසිටි ඔහු ටිකට්පත කුණු කූඩයට විසිකලා…


ලියා එව්වේ - බීට්ල් (http://akurublog.blogspot.com)

Wednesday, August 1, 2012

නයා

“මේක හරියයිද..? ෂුවර්ද..?”

“අනිවා බොස්! ටෙස්ට් කරලා තියෙන්නේ…”

ෆාමසියෙ කැහැටු කොල්ලා විශ්වාසෙටම කියපු නිසා නොවෙන්න පොඩිරත්න ආයෙමත් ඔය බේත් ගන්නේ නෑ කියලමයි හිතාගෙන හිටියේ…

අන්තිම පෙත්තත් ගත්ත පොඩිරත්න තවපාරක් මැනලම බැලුවා… අඟල් තුනයි තව පොඩ්ඩයි… නූලකවත් වෙනසක් නෑ…

“මෙහෙම ජීවත් වෙනවට වඩා හොඳයි එකපාර මේ පෙති ගොඩක් බීලා මැරිලා යනවා…” එහෙම හිතපු පොඩිරත්න තිබුන සල්ලි ටික ඉවර වෙනකල්ම ටවුමේ ෆාමසි වලින් ඒ පෙත්ත ගත්තා…

පහුවදා විනාශ වුණු නගරේ මැද ඉඳන් සජීවීව ගෙනෙන ප්‍රවෘත්ති විකාශය අහන්න පොඩිරත්න ජීවත් වෙලා හිටියේ නැහැ…

“ඇනකොන්ඩෙක්ද, පිටසක්වල ජීවියෙක්ද හරියට කියන්න බෑ.. බිල්ඩින් කඩා බිඳගෙන ඇදිලා ගියා… තනිකඩ මනුස්සයෙක් ජීවත්වෙන බෝඩිං කාමරේකින් තමයි සතා මතුවෙලා තියෙන්නේ…”

ලියා එව්වේ - බීට්ල් (http://akurublog.blogspot.com)

Monday, June 25, 2012

ජීවිතේ ගැටගහන මන්තරේ

“කපුරුබෝල විසිපහක් දහයයි…”

දුම්රිය වේදිකාව ඔස්සේ පැමිණි වෙලෙන්දා මා ඉදිරියේ නැවතුණා…

“මහත්තයා කපුරුබෝල..?”

“එපා..!”

මුහුණට දමා ගැසු තනි වචනය ඔහුගේ කහට ගැසුණු දසන් වල වැදී ඉවතට විසිවුනේ එහි වූ අව්‍යාජ සිනාවට මඳකිනුත් හානියක් නොකරමින්…

“කපුරුබෝල විසිපහක් දහයයි…”

හඬගාමින් ඔහු මා පසුකර නික්මුණා…

උදෑසන ලැබුණු ක්‍රෙඩිට් කාඩ් බිල හරහා සියවෙනි වරටත් නෙත් යැවූ මම එය සාක්කුවට රුවා ගත්තේ ඉලක්කම් ගණනක පඩිපත මාසික ණයතුරුස් හා සමබර කිරීමට සිතින් උත්සාහා කරමින්…

“කපුරුබෝල විසිපහක් දහයයි…”

කලාතුරකින් කෙනෙකු බර අඩුකරන ලද කපුරුබෝල මල්ලත් රැගෙන වෙලෙන්දා ආපසු ගමනේ…

“මහත්තයා කපුරුබෝල..?”

“කපුරුබෝල නෙමෙයි… ඔහේ දන්න මන්තරේ මටත් කියනවකෝ..?”

“මොන මන්තරේද මහත්තයා…?”

ඔහු ඇසුවේ පුදුමයෙන්…

“ජීවිතේ ගැටගහන මන්තරේ..!”


ලියා එව්වේ - බීට්ල් (http://akurublog.blogspot.com)

Friday, June 15, 2012

ධනාත්මක චින්තනය

"අතෑරලා දාන්න..!"

මම තිගැස්සී ඔහු දෙස බැලුවා...

"මටද කිව්වේ..?"

"ඔව්..."

බස් නැවතුමේ මා හැරුණු කොට සිටියේ ඔහු විතරයි... දිගින් දිගටම අසාර්ථක වුණු වෙළඳ ගනුදෙනුවක් හඹා යෑමෙන් හෙම්බත්ව උන් මා සිත තුල වූ පෙරළිය ඔහු දැනගත්තේ කෙසේදැයි මා දැන සිටියේ  නැහැ..

"මම යකඩයක් වගේ මිනිහෙක්... යමක් හිතුවොත් කරලා තමයි පස්ස බලන්නේ... දුර්වලයෙක් වගේ අතාරින එක මගේ පොතේ නෑ..."

මම කියද්දී ඔහු සිනාසුනා...

ඉතිං ඔහේ හරිම දුර්වලයෙක් නේන්නම්... ඔහේට ශක්තියක් නෑ යමක් අතෑරලා ඒකේ ප්‍රථිපලයට ශක්තිමත්ව මූණ දෙන්න... පරාජයක් හිනාවෙන් පිළිගන්න... අලුත් අභියෝගයක් හඹායන්න...”

ඔහු කියවාගෙන ගියේ මම කට ඇරගෙන අහගෙන සිටිද්දීයි...

“අතෑරලා දාන්න..!”

ඔහු නැවතත් එසේ කියමින් නැවැත්වූ බස්රථය දෙසට පියමැන්නා...


ලියා එව්වේ - බීට්ල් (http://akurublog.blogspot.com)

Wednesday, May 2, 2012

හිඟන්නෝ

“මහත්තයෝ මට පිලිකාවක්…” බස්‍ රියට නැඟුනු හිඟන්නා මට ඇහිලම කටපාඩම් වුණු සුපුරුදු දේශනාව පටන්ගත්තා…

“…මගේ පවුලටත් ඇදුම…” අතපාමින් පැමිණි ඔහු නැවතුනේ මට පසෙකින් වාඩිවී උන් මනුස්සයා සාක්කුවට අත දැමූ නිසයි…

“මිනිහා අලි හොරෙක්… මම දන්න කාලේ ඉඳන් පිලිකාවක් කියලා සල්ලි ඉල්ලනවා...”

මම ඔහුට කිව්වේ හිඟන්නා ගියාම…

“හැමදාම රෑට අර බාර් එකෙන් කුණුවෙන්න බීලා ඉස්ටේශමේ නිදාගන්නේ… ඇදුමක් හැදෙන්න ඔය මිනිහට ඇති පවුලක් නෑ… අපරාදේ සල්ලි…”

මම අනුකම්පාවෙන් කියද්දී අසුනින් නැගිටලා රාක්කයෙන් ගමන් මල්ල ගත් ඔහු පළවෙනි වරට කටහඬ අවදි කලා…

“මමත් දන්නවා මල්ලී…”

“එහෙනම් සල්ලි දුන්නේ…???” මට එහෙම අහන්න බැරිවුනේ ඔහු තෙරපෙන සෙනග අතරෙන් සුළඟක් වගේ දොර දෙසට අතුරුදහන් වුණ නිසයි...



ලියා එව්වේ - බීට්ල් (http://akurublog.blogspot.com)

Monday, March 12, 2012

යාලුවෝ

“හැමදාම පරක්කු වෙන්න එපා චූටිබේබි… ලොකුබේබි වගේ කොලීජිය ඇරුණ ගමන් ආවනම් මෙලහට අපි ගෙදර…”

සිරිදාස කියද්දී නංගී ඔලොක්කුවට හිනාවුණා…

“ලොකුබේබිට වගේද සිරිදාස මට… යාළුවෝ කීදෙනෙක්ද? සේරටම බායි කියලා එන්න එපැයි… අක්කට ඉන්නේ යාළුවෝ දෙන්නයි… සඳලියි නිම්ශයි… නිම්ශයි සඳලියි…”

නංගී මහහඬින් හිනාවෙවී කියද්දී සිරිදාස ඒ දිහා බැලුවේ මූණ නොරොක් කරන්…

“ඔන්න සිරිදාස..!!”

මම කෑගහද්දි පැත්තෙන් ආපු වාහනයක් අපේ වාහනේ හැපුනේ ඇසිල්ලකින්…

වාසනාවට කාටවත් තුවාලයක් නැහැ…

“බලනවකෝ මගේ ස්ටේටස් එකට යාලුවන්ගෙ කමෙන්ට්ස් ගොඩ..!”
අපි පොලිසියෙන් එනකල් වාහනයේ ඉන්න ටිකට නංගී අනතුර ගැන මූණුපොතෙත් දාලා…
මම දුකෙන් ඉවත බලාගනිද්දි අපේ වාහනේ ගාව ත්‍රීවීලරයක් නැවැත්තුවා...

කලබලෙන් එලියට බැස්සේ සඳලි..!

ඒත් එක්කම තව ත්‍රීවීලරයක් ආවා...


ලියා එව්වේ - බීට්ල් (http://akurublog.blogspot.com)

Tuesday, February 14, 2012

ආදරවන්තයෝ

කෝපිහලේ තවත් සාමාන්‍ය සෙනසුරාදා සවසක්…

කෝපි නිවෙන්නට හැරි පෙම්වතුන් යුවළක්…තම දියණියට කිසිවක් කවමින් සිටි මවක්…පොළවට සවිකල ලී මේසය පිසදමමින් සිටි තරුණ සේවිකාව…සහ කෝපි දුමාරයට සිගරැට් දුමාරය මුසු කරමින් හිටි මම…එයට කිසිත් වෙනසක් එක්කලේ නැහැ…

පරිසරය වෙනස් වුණේ ඇසිල්ලකින්…මුදුනතේ එල්ලා තිබූ සුළං චයිමය හැඬවෙන සේ විවෘත වූ දොරෙන් ඇතුළු වූයේ අත්වැල් පටලාගත් මැදිවියේ මිනිසෙකු සහ හීන්දෑරි කොළුගැටයෙක්…

මොකද්දෝ විහිළුවකට සිනාසුනු ඔහු අනෙකාගේ මුව සිපගත්තේ ඒවනවිටත් එල්ල වෙමින් තිබූ දුසිමක් ඇස් ගැන වගේ වගක් නැතිවයි…

“ඇයි අම්මේ ඒ අන්කල්ලා දෙන්නා කිස් කලේ..?”අවට පරිසරයට අතිශය සංවේදී කුඩා දැරිය ඇසුවේ අවන්හලම නිහඬතාවයේ ගිල්වමින්…

කාන්තාව පිළිතුරු දුන්නේ මඳ නිහඬතාවයකින් පසුවයි… “ඒ දෙන්නා ආදරේ නිසයි දුවේ…”
 
ලියා එව්වේ - බීට්ල් http://akurublog.blogspot.com

Related Posts Plugin for WordPress, Blogger...