Tuesday, December 29, 2015

යනෙන පෙම් සිත් සොරා ගත්තී....

ජීවිතය යනු කුමක්ද? එයට ඔබට අර්ථකථනයක් දිය හැකිද? පුද්ගලයා සමාජය තුළ ජීවත් වීමේදී එකිනෙකාට වෙනස් අයුරින් තම ජීවිතය පවත්වා ගනී. කාන්තාව සේම පිරිමියාද එසේය. තම ජීවිතවල අරමුණු, පරමාර්ථ, අභිමාර්ථ, අවශ්‍යතා, වුවමනා, මේ සියල්ල එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් විය හැකිය. එවැනි සමාජයක් තුළ තම ශරීරය වෘත්තියක් බවට පත් කරගත් තම ජීවිතයෙන්ද වන්දි ගෙවන කාන්තාවෝ ද අද සමාජයේ බහුලව සිටිති.

සුදු මලක් ඇත කටු රැසක් මැද
ප්‍රේම උයනට මදක් නුදුරින්
සුවඳ විහිදන දිලී විකසිත වී....

යනෙන පෙම් සිත් සොරා ගත්තී
ඈ සොබමන් රුවැත්තී
හීන අතුරා ගෙපිල මත
විකුණනා වෙන්දේසියේ....

අඳුරු හිරු රැස් කඳුළු දෙද්දී
ඈ පියමන් කරන්නී
හෙටක් රඳවා දෑස් මත
සැඟවෙනා මන්දාරමේ....

ලියා එව්වේ - ලක්ෂාන් (http://aseniwesi.blogspot.com)

Tuesday, December 22, 2015

බලන් යද්දී අපිත් පට්ටම ආතල් එකක් බන්....

අපේ සමාජෙ ඉන්න සමහර මිනිස්සු දිහා බලනකොට පුදුමත් හිතෙනවා බන්. සමහර වෙලාවට අපි ජීවත් වෙන්නෙ මේ වගේ සමාජෙකද කියලා අපිටම ලැජ්ජ හිතෙනවා. කුඩයක් ගෙනියන්නැති මිනිස්සු අන්තිමට වැස්සට දොස් කියනවා වගේ තමයි ගොඩක් මිනිස්සු තමන්ගේ වැරදි, වහාගන්න අනිතු වුන්ට දොස් කියන්නේ. සමහරු අතේ කීයක් හරි තියෙනව නම් තමන් කවුද කියලත් අමතක කරයි බොහෝ වෙලාවට වැඩකරන්නේ. අතේ සල්ලි නැති වුණාම තමයි ආයෙ මතක් වෙන්නෙ තමන් කවුද යන වග කියලා.

ඒ අතර පෙම් හිලව් නිසා බූට් කාල හිරවෙච්ච එවුනුත් නැතුව නොවේ. ඔය අතරෙ අතරින් පතර හිතේ සතුටෙන් කාටවත් ඊරිසියා නොකර කුහකකම් කුප්ප වැඩ නොකර සමාජෙටත් ආදර්ශමත් අහිංසකව ජීවත්වෙන මිනිස්සුත් මේ සමාජෙ ඇතුළෙම ඉන්නවා.

ලියා එව්වේ - ලක්ෂාන් (http://aseniwesi.blogspot.com)

Friday, December 18, 2015

නිදුකින් ඉනු මැන ඔබ සතුටින් නම් මගේ සතුටද එයමයි…

ආදරය කරන ප්‍රේමවන්තියන්, ආදරයෙන් පැරදුණු ආදරවන්තයන්, තමන්ගේ කරන් ආදරය කරලා තමන්ටත් හොරෙන් තව කෙනෙකුටත් තුරුළුවෙලා ඒ ආදරයෙන් රැවටිලා විඳවන, පොරොන්දම වේලාවල් නමැති දෙමවුපියන් ඉදිරියේ තම ආදරය අවසන් කිරීමට සිදුවුවත්, තම ආදරය ප්‍රකාශ කිරීමට නොහැකිව විඳවන නැත්නම් තමන් ආදරෙයි ඒත් වෙනකෙකුගේ වූ ආදරයක්.

මෙහෙම සිය දහස් වාරයක් තම හිතෙන් විඳවන අය කෙතෙක් ඇත්ද? ඒ ආදරය අමතක කරන්න බැරුව සමහර විට ඇස්වල කඳුළු තමන් නොදැනුවත්ව වැටෙනා, තමන්ගේ හිතවත් තමන්ට පාලනයක් නැතුව, තමන්ට පවා අමතක වෙන තරම් වූ හිත පුරා ආදාරය කරලා ඒ ආදරය අමතක කරන්න බැරුව විඳවන දහසකුත් දෙනා ස්ත්‍රී/පුරුෂ භේදයකින් තොරව මේ ලෝකයේ හැම තැනම ඔවුන් ආදර සුසුම් හෙළනු බව නොඅනුමානය.

ලියා එව්වේ - පී.සෙහානි රංගිලා පෙරේරා (http://aseniwesi.blogspot.com)

Monday, December 14, 2015

මට කලින් පිපි මලක් වේ

සීමා මායිම් කියන්නේ ප්‍රේමයට අනිවාර්ය දෙයක්. කුලය, මුදල, වයස, ජාතිය, ආගම වගේ ගොඩක් සීමා මායිම් ප්‍රේමය හමුවට එනවා. ඒත් මේ හැම සීමාවක්ම හැම මායිමක්ම බිඳගෙන සෑබෑ ආදරයක් නම් ඇති වෙනවමයි. නමුත් ඒ ආදරය ඇති වුණත් ඒක හැම වෙලාවෙම සඵල වෙනව කියල හිතන්න අමාරුයි. ප්‍රකාශිත අප්‍රකාශිත ආදර කතා ගොඩක් ඒ අතර තියෙනවා. වියපත් බඹරෙකුට පුංචි රෝස මලකට පෙම් කරන්න බැරිද? ඒ වගේ.....

මලක් වේ
මට කලින් පිපි මලක් වේ
සිතක් වේ
ඒ මලට මට සිතක් වේ

නුරා සපිරුණු සිහිනයක් නොව
ප්‍රේමයක් පමණයි
සම්මතය බිඳ ලියන්නට සිතෙනා
පෙම් කවක් පමණයි

හදේ ඉපැදුණු රාගයක් නොව
ආලයක් පමණයි
ලොවින් සැඟවී අඳින්නට සිතෙනා
සිතුවමක් පමණයි
 
ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Friday, December 11, 2015

ඔබ සමරන සතුට නිවැරදිද?

තරුණ්‍යය ජීවිතයේ වැදගත්ම කාලපරාසයයි. එනම්, ඔබ මේ ගතකරන කාලය තුළ සතුට වෙනුවෙන් විවිධ දෑ සිදුකිරීමට පෙළඹී තිබේ. නමුත් ඔබ ජීවිතයේ සතුට සොයන්නේ නිවැරදි මාවතකද යන්න ගැටලුවකි. අද සමාජයේ තරුණ පිරිස් සිතට සතුටක් දැනුණු විට හෝ ඕනෑම දෙයක් සැමරීමට තම හිතමිත්‍රයන් සමග මත්වතුර, මත්ද්‍රව්‍ය පානය හා විවිධ දුරාචාර කටයුතුවල යෙදෙති. එයින් ඔබේ සිතට සතුටක් ලැබේද? යන්න ප්‍රශ්නයක් මතුවෙයි. ඇත්තටම එතුළින් ලැබෙන සතුට තාවකාලික බව අවබෝධ කර ගත යුතුයි. ඔබ මොහොතකට තමන්ගේ හදවතින් විමසා බලන්න ඒ සතුට පවතින්නේ කෙටි කලකට පමණක් නොවේද කියා. ඉන් වැළකී මානසික සතුට සදාකාලික බව අවබෝධ කරගනිමින් ඒ ගැන සිතා, ඒ වෙනුවෙන් තම ජීවිතය හැඩගස්වා ගැනීමට උත්සාහ කරන්න.

ලියා එව්වේ - ලක්ෂාන් (http://aseniwesi.blogspot.com)

Monday, December 7, 2015

බස් එකත් විලාසිතා ගාරයක්

ඇහේ ඇනෙයි කොණ්ඩ කටූ
හීල්ස් වලට ඇවිත් තටූ
නීට් එකට යන්න සිතූ
බැලු බැලු අත ෆෝන් කටූ
මේ.......
බස් එකත් විලාසිතා ගාරයක්

වත්සුණු වත උලා....
පැත්තක වැඩිවෙලා
කෝළමක් වගේ
ඒත්
කෝළමක් නෙමේ
මේ අපේ ජීවිතේ.....
සිත් වශී කරයි
බස් එකේ රූ මවන්නියෝ
දපනේ වැටෙයි
බස් රියේ අනංගයෝ...
ඇහේ ඇනෙයි කොණ්ඩ කටූ
හීල්ස් වලට ඇවිත් තටූ
මේ.......
බස් එකත් විලාසිතා ගාරයක්

විලවුන් මුසු වෙලා
සිහිය විකල් වෙලා...
පිස්සුවක් වගේ
ඒත්
පිස්සුවක් නෙමේ
මේ අපේ ජීවිතේ.....
සිත් වශී කරයි
බස් එකේ රූ මවන්නියෝ
දපනේ වැටෙයි
බස් රියේ අනංගයෝ...
නීට් එකට යන්න සිතූ
බැලු බැලු අත ෆෝන් කටූ
මේ.......
බස් එකත් විලාසිතා ගාරයක්

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Friday, December 4, 2015

කඳුළුවලට වටිනාකමක් අවැසිද?

විවිධ හේතු නිසා ඔබේ සිත ගොඩක් රිදුම් දෙන අවස්ථා අතීතය මෙන්ම වර්තමානයේද තියෙන්න පුළුවන්. එය ඔබට දරා ගැනීමට නොහැකි තරම් සිත් පතුල තුළ තැන්පත්ව ඇති අවස්ථාද තිබෙනවා. එම අතීතය ආවර්ජනය කිරීමේදී ඔබට නොදැනීම ඔබගේ නෙත් අගින් කඳුළු කැට වැහැරෙනු බව නම් නොඅනුමානයි.

නමුත් තමන්ගේ කියලා හිතෙන කෙනෙක් ගාව ඇඬුවත් පිට කෙනෙක් ඉස්සරහ කවදාවත් ඔබේ සිතේ ඇති දුක කියා අඬන්න එපා. අපේ කඳුළුවලට හැමෝම වටිනාකමක් දෙන්නේ නෑ. එයින් සිදුවෙන්නේ ඔහුගේ වචනවලින් අපේ දුක තවත් වැඩි වෙන එක විතරයි. ඒනිසා කඳුළුවලට වටිනාකමක් දෙන්න පුළුවන් කෙනෙක් ළඟ විතරක් අඬන්න. නැත්තම් හිතේ දුක සුළඟට කියන්න... ඒ කියන්නේ ඔබේ දුක ඔබටම කියලා තුනී කර ගන්න.....

ලියා එව්වේ - ලක්ෂාන් (http://aseniwesi.blogspot.com)

Wednesday, November 18, 2015

රාත්‍රී හුදකලාව

රාත්‍රී හුදකලාව අතීතයට යන්න පාර කියනවා. කොච්චර යන්නෑ කියල හිතුණත් තනිවුණු හැමවෙලාවකම හිත මාවත් දාලා අතීතයට යනවා. අතීතය ඇතුළෙ තියෙන්නේ ආදරේ. ආදරේ කෙළවර අහිමි වීම. ආදරේ කරන කාලේ සතුටු මතකයන් අද දුක්බර මතකයන් වෙලා. කොච්චර දුක්බර වුණත් ඒ මතකයන් සිහිපත් කරන්න හිතෙන්නේ මූණ කැත වෙනවා කියලා දැනදැනම කුරුලෑවක් කඩන්න හිතෙනවා වගේ. ඊට පස්සේ වේදනාව. වෙනස් කරන්න බැරි අතීතය ළඟ මොහොතකට අසරණ වෙනවා. ඒත් ඒ අසරණකමින් මිදෙන්න මොකක් හරි කරන්න වෙනවා. එක එක්කෙනා එක එක දේ තෝරගනිද්දි මම කවියක් තෝරගත්තා. ඒක කෙනෙකුට ගොඩක් හරසුන් පදවැලක් වෙන්න පුළුවන්. ඒත් ඒක ඇතුළෙ තියෙන්නේ මගෙ වේදනාව. මගේ ආදරේ. මගේ අතීතේ. කොටින්ම කිවුවොත් මගේ ජීවිතේ..

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Monday, November 16, 2015

ඒ කෙල්ල

ඔව් මමයි ඒ කෙල්ල
විහිලුවට පද හදපු
පද වලින් පදමට හැදුන
හිත හොද කමට අත පාපු
මෝඩ කෙල්ල
බොරුව ඇත්ත කරන
ඇත්ත බොරු කරන
මුලාවට රැවටුන කෙල්ල
කප්පරකට හීන මවලා
හීන අතරේ පණ අදින
මල් මල් ලෝකේ
ගල් වලින් ගුටි කාපු කෙල්ල
රොන් ගන්න ආපු බබරගේ
විස වැදිලා මැරුනු
විස විසෙන් නැති කරපු
පොළොවේ පෑගෙන කෙල්ල
පාරේ දිගේ ඉබාගාතේ ඇවිදින
ජීවිතයට හුස්ම දෙන්න හිතන්
ගිය පාරෙ අතරමං වුන
මගක් හොයන කෙල්ල
ජීවිතෙ තැනක හිර වෙලා ඉන්න
ලැබෙන දේට වඩා
නොපෙනෙන නොදැනෙන
නොලැබෙන දේට
ආදරේ කරන
අමුතු ජාතියේ කෙල්ල
නාහේට නාහන හිතට
බොරු කරලා
ඇතුලේන් මැරි මැරි ඉපදෙන
මමයි ඒ කෙල්ල

ලියා එව්වේ - කල්හාරි

Thursday, October 15, 2015

සමාවෙයන් අයියෙ

ඒක හෙනගහන අපරාධයක්. ඒ වුණත් ඒක කළේ මගෙ අයියා වුණු උඹ. උඹ ඒ අපරාධෙ කරපු බව මම හොඳටම දැනන් හිටියා. ඒත් පොලීසියෙන් අහපු වෙලාවෙ මම ඒ අපරාධෙ කළා කියලා බොරු කිව්වෙ උඹ හිරේ යනවා බලන්න අකැමැති වුණු නිසා. ඇරත් උඹ එල්ලුම් ගහට ගියාම උඹේ පොඩි එකාට යන කල මොකක්ද? මමත් මීට කලින් ජරා වැඩ කරල තිබුණු නිසා පොලීසියෙ අවධානෙ ගන්න ලේසිවුණා. හැමතැනින්ම මගෙ මරණෙ ඉල්ලද්දි මම හිතුවෙ හරි උඹ බේරුණා කියලා. ඒත් මගෙ වචන එහෙමෙහෙ වුණා. අනික ඩී.එන්.ඒ.වලින් පරීක්ෂාවෙන් කොහොමත් මගෙ බොරුව අහුවුණා. අවසානෙ උඹ අහුවුණා. ඉතින් උඹ එල්ලුම් ගහට නියම වෙයි. මට සමාවෙයන් අයියෙ මට උඹව බේරගන්න බැරිවුණා. 

කොණ්ඩයා  

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Monday, August 17, 2015

වසත් නික්මන

පුරුද්දට මිසක් කැමැත්තෙන් නොආපු තවත් එක වසන්තයක්. ජනේලෙ කෙලින්ම තියෙන්නෙ පේර ගහ. උස පේර අත්තක පැණි කිරිල්ලියක්. ඊට ගොඩක් පහළ අත්තක ගේ කුරුල්ලෙක්. පැණි කිරිල්ලි පහළ අත්තට එන්නයි ගේ කුරුල්ලා උඩ අත්තට යන්නයි හේතුව උන්ගෙ ආදරේද? ඒත් ගේ කුරුල්ලෙකුගෙයි පැණි කිරිල්ලියකගෙයි කූඩුවක් ගැන මම කතන්දරේකවත් අහලා නෑ. කළු පූසා පේර ගහේ ඇතිල්ලෙන්නෙ උන් ගැන හාංකවිසියක්වත් නොදැන. ඒත් බය වැඩිකමට පැණි කිරිල්ලි යන්න ගියෙ ගේ කුරුල්ලෙක් හිටියද නැද්ද කියලවත් මතක නැතුව වගේ.
වලව්ව පැත්තෙන් ඇහෙන රතිඤ්ඤා සද්දෙ සුදු මැණිකෙ යනවා කියලා කියන්න වෙන්නැති. නැත්තම් සුදු මැණිකෙ යන දුකට රතිඤ්ඤාවල පපුව පැලෙන සද්දෙ වෙන්නැති. ඒකෙන් කෝක වුණත් කියන්නෙ සුදු මැණිකෙ යනවා කියලා.

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Wednesday, August 12, 2015

මතක මල් සුවඳ

මලක් නොව නුඹ මට
දිනෙක පරව යන
මල් සුවඳක්ය සිතෙහි
සදහටම රැඳෙන......

පරණ පොත් ගොන්නක් අවුස්සද්දි හදිසියෙන් දැකපු කවියක මුල් පද පෙළ තිබුණෙ එහෙම. ඒ කවිය මට දුන්න කෙනා මට ගොඩාක් ආදරේ කළා. ඒත් මම ආදරේ කළේ මට ගොඩාක් ආදරේ නොකළ කෙනෙක්ට. එයාට මම ගොඩාක් ආදරේ කෙරුවා. හරියට කවිය දුන්න කෙනා මට ආදරේ කෙරුවා වගේ. මම එයාට ගොඩාක් ආදරේ කරපු හින්දම එයාට පිටුපාල මට ගොඩාක් ආදරේ කරපු කෙනාගෙ වෙන්න මට හිතුනෙ නෑ. හිතපු විදියටම මට ගොඩක් ආදරේ නොකළ කෙනා දවසක මාව දාල ගියා. එදා මට මතක් වුණේ මට ගොඩාක් ආදරේ කළ කෙනාව. ඒත් ඒ වෙනකොට එයත් මගෙන් ගොඩාක් ඈතට ගිහින්.

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Tuesday, August 4, 2015

ගමන් මල්ලක මිය ගියෙමි

මා මෙහි පැමිණියේ මියෙන්නට නොවේ. ජීවත් වන්නටය. ජීවිතය විඳින්නයට. එය මිථ්‍යාචාරයකැයි මා නොදැන සිටියෙමි. එය එසේ වුවද මට ඉන් පලක් නොතිබුණි. මා දුර ගෙවා පැමිණියේ අහිමි වූ ජීවිතය කිනම් අයුරකින් හෝ ලබන්නටය. නමුත් ජීවිතය තුළ තිබූ අහිමි වීමද අහිමි වෙමින් මා හට ජීවිතය අහිමි විය.

මම මගේ ජීවිතය ඔහු තුළ ඇතැයි සිතුවෙමි. නමුත් මගේ ජීවිතයෙන් ඔහු සතුව තිබුණේ මාත්‍රයක් පමණි. එය පමණ ඉක්මවා ගිය තැන මා ඔහුට පිළිලයක් විය. ඉනික්බිති ඔහු සතුව තිබුණේ මගේ මරණය පමණි. ඔහු නොපැකිලව එය මට ලබාදුන්නේය.

දෙනෝදාහක් ගැවසෙන තැනෙක ගමන් මල්ලක මා සිරකර දමා ඔහු මගහැර ගොස් ඇත. තව මොහොතකින් මිනිසුන් මා සොයා ගනු ඇත.

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Thursday, July 9, 2015

සිවලෝගනාදන් විද්‍යා කවුද බන් ඒ?

විද්‍යා වෙනුවෙන් හඬ නැගූ බොහෝ දෙනෙකුට අද ඇයව අමතක වී ගොස්ය. ඇයට මතු නොව සියලු දෙනාට එය පොදු ධර්මතාවකි. වඩා වැදගත් වන්නේ ලක්මවු තුරුලෙන් සමුගත් විද්‍යා නොව තවමත් ලක් පොළව මත කෙලිදෙලෙන් දුව පනින දහස් ගණනක් වූ අහිංසක විද්‍යාවන්ය. අසැබි සලරූ බලා මොළ මළපහෙන් පුරවා ගත් අවිද්‍යාවෙන් ඇස් වැසුණු අසංවේදී කැනහිළුන්ගෙන් ඔවුන් රැකගැනීමට පියවර ගත යුතුය. එසේ නොවී තවත් විද්‍යාවක කෙලෙසුණු පසු මහ හඬින් මහ වදන් කියමින් කෑ ගසා තවකෙකුට චෝදනා කිරීමෙන් කිසිවෙකුට කිසිදු සෙතක් නොවේ. සර්වසම්පූර්ණ නොවූවත් කළ හැකි උපරිමය කිරීමට හැකි පිරිස් කටයුතු කළ යුතුය.

විද්‍යා නිසා යම් පියවරක් විද්‍යාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගැණුනේ නම් එහි කුසලය විද්‍යාටම අත්වේවා! 

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Wednesday, June 10, 2015

වෙනස් එකියක්

අතීතය අවි අමෝරා විත් හදවතට ඇන සැඟව ගිය දිනයෙක අවසන් හෝරා කිහිපයේ මම ගලා යන වේදනාවක් ගැන සිහි කරමි. මා හා බැඳී සිටි මා පමණක් සියල්ල එකවර දන්නා නම් කිහිපයක්ම ඇත. ඒ සියල්ලටම මා නොවනස්ව පෙම් කළ බව දනිමි. නමුත් මා ඔවුන්ගෙන් ආදරේ ලැබූයේ එක හා සමානව නොවේ. ඉන් එක් ඇත්තියක් ඉතා උච්ච වූවාය. රූපයෙන් අග නොවුණද ඇය ආදරය කිරීම අතින් මා අබිබවා ගිය තැනැත්තියකි. ඇය අන් සියල්ලටම වඩා වෙනස් සිනමාමය ප්‍රේමයක් මට තෑගි කළාය. දිනක් ඈ සියක් දෙනා සිටින තෙමංසලේ මහ වැස්සේ තෙමෙමින් මම ඔයාට ආදරෙයි කෑ ගසා කීවාය. නමුත් මහැර යන්නටද ඈ ගත්තේ අසනි වැස්සක් තරම් කෙටි කාලයකි.   

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Wednesday, June 3, 2015

ILYFIML

ILYFIML හැම sms එකක්ම අවසානෙ ඔයා මට මේ කොටස එව්වා. මුලින්ම එවපු සැරේ මම ඇහුවා,

මොකක්ද මේ අවසානෙට තියෙන්නේ

පුළුවන් නම් කියන්න

මුල් අකුරු තුන නම් I love you ඉතිරි ටික?

ඔය තියෙන්නෙ I love you forever in my life, මම ඔයාට හාමදාමත් මගෙ ජීවිතෙන්ම ආදරෙයි කියලා

ඒ කිව්වා වගේම ඔයා මට ගොඩක් ආදරේ කළා. ඒත් මම ඔයාගෙන් වෙන්වෙලා ගියෙ මලක් ළඟට මොහොතකට ආපු හුළඟක් වගේ. මම ගියපු ඒ පාර වැරදුණා. ඔයාට දීපු දුක දහගුණයකටත් වැඩියෙන් විඳපු මම අද තනිවෙලා.

කුඩෙත් ඉහළගෙන බිම බලාගෙන තනියම යන ඔයා ගාවට දුවගෙන ඇවිත් I love you forever in my life කියලා කියන්න ඇත්නම්...

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Thursday, May 21, 2015

අලුත් වැස්සක්

පැය ගාණක් වැටුණු වැස්ස පායලා. මම ජනේලෙ ඇරල එළිය බැලුවා. වැහි වලාකුළු තාමත් අහසෙන් යන්න සූදානමක් නෑ වගේ.  වැහි වතුර ගලාගෙන ගිය පාරවල් මිදුලෙ ඇඳිලා. තැනක පුංචි බොර වතුර කඩිත්තක්. තවත් තැනක මතුවුණු පුංචි පුංචි ගල් කැට. තැනින් තැන හුළඟට වැටුණු කොළ. ඒ අතරෙ මිදුලට ඇවිත් ගිය කුරුල්ලෙකුගෙ පා සටහන් ඇඳිලා.

මගෙ හිතත් මේ මිදුල වගේ කියලා මට හිතුණා. අනුරාධි මාව දාල ගිහින් ගොඩක් කල් වුණත් එයාගෙ මතකයන් වලින් තාමත් හිත පිරිලා. තනිවෙන හැම තප්පරේකම ඒ මතකයන් මට ගේන්නෙ දුකක්.  කවදා කොහොම මේ දුක්බර මතකයන් හිතෙන් මැකිලා යයිද කියලා මට හිතාගන්න බෑ.

පුංචියට වැටුණු වැහිපොද එකපාරටම මහ වැස්සක් වෙලා වැටුණා.

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Wednesday, April 8, 2015

ප්‍රථම ප්‍රේමේ

දුමී බබා කාලේ ප්‍රථම ප්‍රේමේ ඇති උනේ මොන්ටිසෝරියේ ඉන්නකොට.....! එයා දමයන්ති........! මුන ගැහුනේ නුගේගොඩ බෝගහ හරියේ තිබ්බ මොන්ටිසෝරියක. පරම පිවිතුරු ආදරයක් ඒක....!

එයාව ඔංචිල්ලාවෙ තියලා තල්ලු කරන්න, කෝම්පිට්ටු හදන්න පොල් කටු හොයන්න, කෝම්පිට්ටු හදනකන් ලඟට වෙලා බාබා බ්ලැක්ශීප් කියන්න වගේ රාජකාරී තමයි දුමීට තිබුනේ.....!

දුමීව වගේම තව බබාලා ගොඩක් එක පාර එක්ක යන්න එන්න පැවරිලා තිබුනේ ආරියවතී ආච්චිට. ආරියවතී ආච්චි එන්නේ ටිකක් පරක්කු වෙලා.

දමයන්තිගේ අම්මා කලින්ම එනවා. ඒ එනකම් දුමී කරන්නේ දමයන්තිගේ අතින් අල්ලගෙන එයත් එක්ක ඔංචිලාව ලඟ බංකුවේ වාඩි වෙලා ඉන්න එක.

ටික දවසකට පස්සෙ මේ සම්බන්දේ දමයන්තිගේ ගෙදරට ආරංච් වෙලා එයාගේ අම්මලා එයාව මොන්ටිසෝරියෙන් අස් කරගෙන ගියා.....!

ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

Wednesday, April 1, 2015

රෝස මල

මම මමය. ඔහු කවියෙකිය. අනෙකා විචාරකයෙකි. අප සිටින්නේ රෝස පඳුරක් ළඟය.

මම
රෝස මලක්
කවියා
සඟවා කටු
පෙන්වා තටු
හිනැහෙන
අපූරුව
විචාරකයා
රෝස මල රුදුරු කටු සඟවා සුමුදු පෙති ලොවට පෙන්වා සිටියි. මිනිස් සමාජය තුළද එවැන්නෝ සිටිති. සිත් තුළ ඇති වෛරය කුහකකම වැනි නුගුණ සඟවා ඔවුහු සොඳුරු සිතැත්තන් සේ සිනහවෙති.

මම
රෝස මල කන දළඹුවෙක්
කවියා
පෙන්වුවද බඹරුන්ට තෙදබල
අසරණය නිර්දය දළඹුවෙකු ළඟ
විචාරකයා
රෝස මල සුළඟට වැනී ඹබරුන් සමනලයන්ට තේජස් පෙන්වති. නමුත් නිර්දය දළඹුවෙකු ළඟ එවන් රෝසමලද අසරණය. මිනිස් සමාජයේද  රෝස මල වැන්නෝ සිටිති. ඔවුහු අසරණ මිනිසුන් ළඟ තම තෙදබල පෙන්වති. නමුත් තමාටද වඩා බලවතෙකු ළඟදී ඔවුහු අසරණ වෙති.

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Thursday, March 12, 2015

ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ

දින තුනක් පුරාවට ළෙංගතුව ගෙවූ චාරිකාව නිමාව සනිටුහන් කරමින් තිබේ. විනෝද චාරිකාව පුරාවටම වැඩි වාර ගණනන් ගැයූවේ 'ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ' ගීතයයි. ඊට හේතුව වූයේ ඇගේ බලවත් ඉල්ලීමයි.

මා ඇයට සමුදෙන්නේ කෙසේද? යළි ඇය මා හට හමුවේද?

එහෙනම් බායි අයියේ..

මේ නංගි..

ඇයි?

මම මේක ඇහුවට තරහ වෙන්න එපා. ආයෙ අපි හම්බෙයිද දන්නෙ නෑනෙ ඒකයි අහන්නෙ.

මොකක්ද?

තරහ වෙන්නෑ නේද?

නෑ.. නෑ... කියන්නකෝ ඉක්මනට අම්මලා යන්න හදන්නේ

මේ....

ඉතින්...

මේ... ඇත්තටම ගිරිහෙල් මුදුනේ මානෙල් පිපෙන්නෙ නැත්තෙ ඇයි?

පිස්සා.... යැයි සිනාහඬින් පවසා ඈ යන්නට ගියාය.

නිවසට පැමිණ පැය කිහිපයකට පසු මගේ දුරකථනයට නොහඳුනන අංකයකින් කෙටි පණිවිඩයක් පැමිණියේය.

girihel mudune manel nopipe.....

ලියා එව්වේ - හංස සංදීප

Wednesday, March 4, 2015

ප්‍රමාද වූ තිළිණය

මා මිලදීගත් පෙම් සිහිවටනය ආදරවන්තයන්ගේ දිනයේදීම ඇය අතට පත් කළද ඇය මාහට පෙම් තිළිනයක් දෙන්නේ අදය. පෙම්වතුන්ගේ දිනය පසුව දින කිහිපයක්ම ගතවුවත් මාහට තිළිණයක් නොදීම ගැන මා ඇය කෙරෙහි උරණ වී සිටියෙමි. නමුත් එය ආදරණීය තරහවක් බව ඇය දැනසිටියාය.

රටක් දිනූ රැජිනක සේ හිනාවෙමින් මවෙත පැමිණි ඈ දුඹුරු කවරයක් මා අත තැබුවාය.

"අනේ සොරි අයියෙ වැලන්ටයින් එකට දෙන්න බැරි වුණාට. මම ඕක හදන්න ගත්තෙ ජනවාරි මුල. ඔයාව පැන්සලෙන් ඇඳලා එක එක ඒව කරලා හැඩ කරලා ලැමිනේටින් කරපු කාඩ් එකක්. කැතයිද දන්නෑ. දැන් බලන්න එපා ගිහින් බලන්න."

සිතුවිලි බොහොමයක් සිතට පැමිණියද කිසිත් නොකී මම ඇය ළඟට ගෙන හිස්මුදුනට හාදුවක් තෑගි කළෙමි.

ලියා එව්වේ - හංස සංදීප

Wednesday, February 25, 2015

රැයට පෙම් බැඳ

තව පැය කිහිපයකින් හිරු උදාවන්නේ අඳුරත් මා විඳි විරහ රසයත් දෙකම එකවර මගෙන් උදුරා ගනිමිනි. ජීවත් වීම පිණිස රැකියාවකට යනු මිස මා සිත තුළ බලාපොරොත්තුවේ සේයාවක් හෝ නොමැති බව මට දැනේ. ඒ සියලු බලාපොරොත්තු එකමිටට ගෙන පාගා පොඩිකර දමා ඇය මහැර ගොස් දින බොහෝ කල්ය. දහවල රැකියාවත් සවස් කල අත්‍යවශ්‍ය කටයුතුත් සිදුකරන මා මැදියම් රැය උදාවන තුරු බලා හිඳිමි. ඒ ඇගේ මතකයන් සමග තුරුලු වන්නටය.
අතීතයේ මා විඳි ආදරය දැන් ඇත්තේ මගේ මතකයන් තුළ පමණි. එබැවින් ඒ පැරණි මතකයන් හාරා අවුස්සා යළිත් මම ආදරය විඳිමි. නමුත් එය නිස්කලංකව කළ හැකිවන්නේ ලොව නිහඬ රාත්‍රියේ පමණි. එබැවින් මම දැන් රාත්‍රියටද පෙම් කරමි.  

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Wednesday, February 18, 2015

අවසන් හමුව

නුහුරු සිතුවිලි රාශියක් තොරක් නොමැතිව සිතට ගලා එයි. ඇයට මෙය කියන්නේ කෙලෙසදැයි මා නොදනිමි. නමුත් කෙසේ හෝ මෙය අද කිව යුතුය.
නංගි මම මේ.....
මම දන්නවා අයියෙ ඔයා කියන්න යන දේ...
ඒ කොහොමද?
මම ඔයාට කළේ ආදරේ අයියේ වෙන මුකුත් නෙමේ. ඔයාගෙ වෙනස් වීමත් ඒකට හේතුවෙත් මට හිතාගන්න පුළුවන්. ඒත් ඒ ගැන හොයලා, ඔයාට කරදර කරලා බලෙන් ඔයාව ළඟ තියාගන්න මට ඕනෙ නෑ. මෙතන ඔයා දීපු සේරම භෞතික දේවල් තියනවා. කවදහරි ඔයාට මගේ ආදරේ වටිනාකම දැනෙයි. මම යනවා. හැමදාම සතුටින් ඉන්න.
මා හට කියන්නට කිසිත් ඉතිරි වී නැත. ආපසු හැරී නොබලා යන ඇය නොපෙනී යනතුරුම බලා සිට මමද නික්ම ගියෙමි.

ලියා එව්වේ - හංස සංදීප

Wednesday, February 11, 2015

උග්‍ර වාදියෝ

එකෙක් උග්‍ර මෛත්‍රීවාදියෙකි. අනෙකා උග්‍ර මහින්දවාදියෙකි. ඔවුහු තර්ක කර ගත්හ. බැණ ගත්හ. අනෙකාගේ අපේක්ෂකයාට ගැසිය හැකි තරම් මඩ ගැසූහ. ඒ වචන අතර ‍පොදු සමාජයේ අකැප යැයි සැලකෙන වචනද යහමින් අන්තර්ගත විය. පිටතින් බලා සිටියෙකුට මේ නම් ජන්මාන්තර වෛරක්කාරයන් යැයි සිතෙන තරමට ඔවුහු බැණගත්හ.

නමුත් ඔවුන් දෙදෙනා නිතරම පාහේ සිටියේ එක්වය. තේ එකක් බොන්නට පවා ගියේ එකටමය.

මේ පිළිබඳ උනන්දු වූ අයෙක් මෙසේ විමසීය.

මචන් උඹලා දෙන්නා දෙපැත්තට කතා කරපු විදියට එකට ඉන්නවා දකින එකත් පුදුමයි. වෙන උන් දෙන්නෙක් නම් ගහමරාගෙන හොස්පිටල් ඇඩ්මිට් කරලා.

මචන් මම උග්‍ර මෛත්‍රීවාදියෙක් බවත් ඇත්ත. මූ උග්‍ර මහින්දවාදියෙක් බවත් ඇත්ත. ඒත් අපි ඊටත් වැඩිය උග්‍ර මිත්‍රවාදියෝ...


ලියා එව්වේ - වර්ණ ( http://warnakulakaya.blogspot.com )

Wednesday, February 4, 2015

අසිපතක කඳුළු....

ඉස්සර මම නිකම්ම නිකම් යකඩයක්. උඹයි මට පණ පොවලා, තලලා, මුවහත් කරලා ගත්තෙ. ඒ නරුම හේවාය මාව උදුරගන්නකොට උඹේ ඇස්වල තිබුණු කඳුළු ඌට පෙනුණෙ නෑ. අඩු තරමේ දොයිතුවක්වත් උඹට විසි කළා නම්...
දැන් කියනවා උඹ රාජ්‍ය ද්‍රෝහියෙක්ලු. රාජ්‍ය ද්‍රෝහීන්ට ආයුධ හැදුවලු. කැත්තක් හදපුවාම හම්බෙන වී ටික ගන්නත් දෙකට නැමෙන උඹේ රාජ්‍ය ද්‍රෝහිකම මමනෙ දන්නේ.
කිණිහිර ගිනියම් උනේ උඹේ හිතේ ගින්දරට කියලා මමයි උඹයි උඹේ මනුස්සයයි විතරයි දන්නේ. මුන්ට ඒවාගෙන් වැඩක් නෑ. මට දුක උඹව මරන්න මාවම ගේන එක. මීට වඩා හොඳයි මහ පොළවෙම මළ කාල දිරල ගියානම්. ඇයි තාත්තේ උඹ මාව උදලු තලයක් නොකර අසිපතක්ම කළේ..
මට සමාවෙයන් කම්මල්කාර තාත්තේ....

ලියා එව්වේ - වර්ණ ( http://warnakulakaya.blogspot.com )

Wednesday, January 28, 2015

විශ්වාසය සමග නිදි වැදීම

වැඩි වියක් නොවූ ඒ මුහුණ මත අහිංසකකම මැනෙවින් දැකගත හැකිවුණා. මන්දගාමී සිපගැනීම් වලින් අනතුරුව ලෙහී ගිය සළු මතින් ලැජ්ජාවද ඉපිද තිබුණා.

අපැහැදිලි සියුමැලි හඬින් ඇසුණු වදන් පෙළ තුළ සිතිය හැකි අයෙකුට සිතන්නට බොහෝ දේ රැඳී තිබුණා. නමුත් ඒ කිසිත් නෑසෙන නිර්දය සිතක් ආදරයේ අග්‍ර පල නෙළන්නට වෙහෙසුණා.

අඳුරු තැනක සැඟවී සිටි කැමරා ඇසක් මේ සියලු දේ දෙස අනුකම්පා විරහිතව බලා සිටියා.

නොපිපි කැකුළු වෙත
ලියමි සෙනෙහසින්
බඹරු දෙබරු ගැන
සමනලයින් ගැන
නොදත් නුඹට
ලියමි සෙනෙහසින්........

නමක් නොමැති නවාතැනක
දොරගුලු ලා රොන් ඉල්ලන
වන බඹරුන් ඇත
සමනලයින් ඇත......

සියුම් ඇසක් නුඹට හොරෙන්
සඟව තබා රොනට වඩින
සමනලයින් ඇත
වන බඹරුන් ඇත.....

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Friday, January 23, 2015

සිගරට්ටුවක් කල හදියක්

මම සිගරට් පාවිච්චිය ඇයි කියල කෙනෙක් මගෙන් ඇහුවා,
එයා පෙන්නලා දුන්නා සිගරට් මාව මරන විදිය,
අන්තිමට කොහොමද විඳවන්නෙත් කියලා..
මම එයාට කිව්වෙ "කමක් නෑ නංගි ඔයිට වඩා මගේ මතක මාව ටික ටික මරනවා, මාව නැති කරනවා" කියලා!
"ඒ උනාට ඔයා දෙවිදියකට මැරෙන්න ඕනෙ නෑනෙ? ඇයි ඔයා හිතිනුත් විඳවලා ශාරීරිකවත් විඳවන්නෙ? ඔයාට කවුරුවත් නැද්ද මේ දේවල් කියන්න ඔයාට ආදරය කරන කෙනෙක්?"
"මට ආදරය කරපු එක්කෙනාම තමා අද මාව ටික ටික මරන්නෙ, එයාගෙම මතක, එයාට බැරි උනා එයාගෙ හදවතට ආදර උගන්නපු කෙනාගෙ හදවත දීලා යන්න!
මගේ දෙතොල් මේ සිගරට් ඉඹලා ඇති එයාගෙ දෙතොල් වලටවඩා!"
"අයියෙ අද ඉදලා මම ඔයාව බලාගන්නෙ! ආදරය කරන්නෙ!"

ලියා එව්වේ - මලිත් කුෂාන් (http://www.goldzone-tc.blogspot.com/)

Wednesday, January 21, 2015

වෙනස සහ ආදරයක

කොච්චර හොඳට ආදරෙන් හිටපු කපල් එකක්ද අර? දිවෙන් දිව ගාගෙන හිටපු උන් දැන් අඳුනන්නැති එවුන් වගේ. දකින කොටත් පුදුමයි.

හ්ම්ම්.. මාත් දැක්කා. කෙල්ලට වෙන සම්බන්ධයක් තියෙනවා කියලා කවුද කොල්ලට කේලමක් කියලලු. ඒත් කෙල්ලට එහෙම එකක් තිබිලා නෑ. ඕකට දෙන්නා රණ්ඩු වෙලා. අවසානේ සම්බන්ධෙ නතර වෙලාම ගිහිල්ලා.

මට මතකයි දෙන්න හම්බෙනකොටයි ආපහු යනකොටයි නලලට කිස් කර ගන්නවා.

හ්ම්ම්.. ගොඩක් ඔය දෙන්නට ජෙලස් එකේ හිටියෙ. පවු, කොහොම වුණත් නියම මැචින් කපල් එක.

එහෙම දෙන්නෙකුට මෙහෙම උනා නම් අපිට කවර කතාද?

බූරුවා.. අපි උන් වගේ ආදරේ නොකරන එක ඇත්ත. ඒත් අපේ ආදරේ තව ආදරයක් ළඟ බාල්දු කරන්න එපා මැට්ටෝ...

අනේ සොරි සුදූ...

ගොනා..

ලියා එව්වේ - හංස සංදීප

Wednesday, January 14, 2015

හෙට මගේ මංගල දිනයයි

හෙට මගේ මංගල දිනයයි. කවුළුවට බරදී සිටින මට පෙනෙන්නේ සැහැල්ලුවෙන් පාරේ යන කෙලි රංචුවකි. උන්ට මෙන් මටත් දවසක් තිබුණා මතකය.

මා සිටින්නේ ගෙදරින් බොහෝ දුර නිලූ නැන්දාගේ ගෙදරය. නිලූ නැන්දාවත් නොසිටින්නට මම අද මෙලොව නොසිටිනු නොඅනුමානය. 

මගේ මංගල්‍යයට එක්වෙතොත් ඒ අම්මා පමණි. ඇයද නාවොත් පුදුම නොවෙමි. තාත්තා, අයියා, නංගී, අක්කා කිසිවෙකු නොඑනු ඇත. තාත්තාගේ මුහුණ යළි කිසි දිනෙක දකින්නට හැකිවේයැයි සිතන්නට අපහසුය. 

සේනකටවත්, වීඩියෝ කැමරාවටවත්, ඒ නවාතැන් පොළටවත්, අන්තර්ජාලයටවත් දොස් නොකියමි. ද්වේශ නොකරමි. මම ද්වේශ කරන්නේ මගේ ආදරයටයි. ඒ විශ්වාසයටයි. අණුවනකමටයි.

හෙටින් පසු මා මනාළියක්මි. නමුත් මා මෙන් මෙම අඳුරු ඉරණමට මුහුණදුන් සෑමදෙනාටම මේ තත්ත්වයෙන් හෝ සැනසීමක් හිමිවුණේදැයි සැක සිතමි.

ලියා එව්වේ - වර්ණ ( http://warnakulakaya.blogspot.com )

Friday, January 9, 2015

නෙත් මානයෙන් මිදෙන්නෙමි.....

එහා පැත්තේ සීට් එකේ වාඩිවෙලා ඉන්න ලස්සන කොල්ලා දිහා තාරුකී උනන්දුවෙන් තුන්හතර පාරක්ම බලද්දි හංසට දැනුණෙ පුදුම දුකක්. හංසට තමන්ගෙ පපුව හිරවෙනවා වගේ දැනුණා. තමන් එක හිතින් ආදරේ කරන කෙල්ල තමන් ළඟ ඉදිද්දිම වෙන කොල්ලෙක් දිහා උනන්දුවෙන් බලනකොට මොන කොල්ලටද දුක හිතෙන්නෙ නැත්තේ කියලා හංසට හිතුණා. ඒත් ඒ ගැන අහල රණ්ඩු වෙන්න, තාරුකීට දුකක් දෙන්න හංසට හිතුණෙ නෑ.

හංස?

ම්ම්...

අර එහා පැත්තේ සීට් එකේ ඉන්න බෝයිව දැක්කද ඔයා?

ඔව් ඇයි තාරුකී?

එයා මගෙ නැති වෙච්ච අයියා වගේමයි. එයා දැක්කාම මට අපේ අයියාව මතක් වුණා හංස

හංසට දැනුණෙ කලින් දැනුණටත් වැඩිය ලොකු දුකක්. හංස තාරුකීව තමන්ගේ උරහිසට ආදරෙන් හේත්තු කරගත්තා.

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Related Posts Plugin for WordPress, Blogger...