Showing posts with label ආගන්තුකයා. Show all posts
Showing posts with label ආගන්තුකයා. Show all posts

Thursday, May 26, 2011

පිනට වැඩ..

ඔයාට පිස්සුද?
ඇය මා දෙස බලා සිටියේ අමුතු සතෙක් දෙස බලා සිටින්නා සේය.
ඇයි?
ඇයි කියන්නේ? ඇයි එක එකාට පිනට වැඩකරලා දෙන්නේ? ඔයා ඔහොම ඉන්න ඕනි කෙනෙක්ද?
ඇය අනාගතය ගැන සිහින දකිමින් සිටියාය. ඇයගේ අනාගතයේ ෆුල්ඔප්ෂන් ගෙයක්, හොඳ ඉස්කෝලෙකට යන ලමයි දෙන්නෙක් මැරිමැරී ඉපදේ.
ඒක මගේ ආසාව. ඔයාට ඒක තේරුම් ගන්න බෑ. තමන් තෘප්තිමත් දේ කාටවත් කරන්න බෑ. අඩුගානේ මම ඒකට උත්සාහ කරනවා. 
ඇය මුහුද දෙස බලා සිටී. පරාජය පිලිගෙන සෙයකි.
දුරකථනය සාක්කුව තුල දෙදරයි.
අයියේ. හෙට වීඩියෝ Shoot එකක් තියෙනවා‍ පිලිමතලාවේ.
මම එන්නම්.. 
ආයි හම්බ කරලා දෙන්න යනවා නේද? ඔයා හැදෙන්නේ නෑ. 
ඇය දඟකාර සිනාවක් පා මගේ උරහිසට බරවිය..

ලියා එව්වේ - ආගන්තුකයා (http://ambarox.blogspot.com)

Sunday, April 10, 2011

යන ගමන් දොර වහගෙන යන්න...

තමුසෙ කොහොමද ඕයි මට ආදරේ කරන්නේ.. 
ඇය සිය තිසරපට සකස්කරමින් සිටියාය. එලිවීමට තව පැයක් හෝ දෙකක් ඇත.
තමුසේ මහ පුදුම ගෑනියෙක්නෙ.. තමුසෙ මට ආදරේ කරන එකට මම තමුසෙට ඇතිවෙන්න ගෙවනවා. සල්ලි අතට හම්බවුන ගමන් ඒ ආදරේ තමුසෙගෙන් අතුගෑවිලා යන්න ඕනි. තමුසෙලාගේ ආදරේ තියෙන්න පුළුවන් පැය ගාණකට විතරයි..
එහෙනම් ඇයි දෙයියනේ එක දිගටම මාසයක් සතිය ගානේ මම ලඟට ආවේ.. 
ඇය සිය හැට්ටයේ මාරුවී දමා තිබුන බොත්තම් නැවත ගලවා නිවැරදි ලෙස කාසවලට දමමින් සිටියාය..
තමුසෙ ලස්සනයි. එකම හේතුව එච්චරයි. මම හිතුවේ නෑ තමුසෙ මෙහෙම මගුලක් නටන්න ගනී කියලා.. 
ඇය හිස් බැල්මකින් ජනේලයෙන් එලිය බලාගෙන සිටියාය..
මම යනවා... 
යන ගමන් දොර වහගෙන යන්න...
ලියා එව්වේ - ආගන්තුකයා (http://ambarox.blogspot.com)

Monday, February 28, 2011

පීටර් පිස්සෙකි

පීටර් පිස්සෙකි..
විනාඩියකට පමණක සැරය විකාරරූපිව ගැස්සෙන වමත නිසා පීටර් පිස්සෙක් බවට මම පොඩිකාලේ අනුමාන කලෙමි.
පීටර්ට හිටියේ පීටර්ම විතරක්ද නැත්නම් පීටර්වත් නැද්ද කියා මම නොදනිමි.
පීටර් පිස්සෙක් යැයි ඇය කියූ විට මම එය විස්වාස කලෙමි.
පීටර් නිදාගන්නේ ඔරලෝසු කණුව යටය.
එසේ නිදාගන්නට මමත් කැමතිය.
ඒත් පීටරුත් එතන නිදාගන්න නිසා මම එතන නිදාගන්නට නොයමි.
පීටර්ගේ ඇඳුම් පැළඳුම් හිඟන්නෙකුගේ මෙනි. එනිසා පීටර් හිඟන්නෙක් වන්නට ඇත.
ඒත් පීටර් හිඟාකනවා මම තාමත් දැක නැත.
ලෙඩුන් නොමැති වෙලාවල මම පීටර්ට හොරෙන් පීටර් දෙස බලා සිටිමි.
මාසයකට පසුව පීටර් ඩිස්පෙන්සරිය ඉදිරිපිට වැටී සිටියේය.
පීටර්ව වල දැම්මේ මිනිය කුණුවන්නට පෙරය.
දාන දෙන්නට එකෙකු නැත,
පීටර් පිස්සෙකි.

ලියා එව්වේ - ආගන්තුකයා (http://ambarox.blogspot.com)

Tuesday, December 21, 2010

හයිකු කිහිපයක්

The Rose
The red blossom bends
and drips its dew to the ground.
Like a tear it falls
(Donna Brock)

රතු මලක් විකසිතව නැමී
පිණි බිංදු පොලව සිපගනී
කඳුළු බිඳු මෙන්
...........................................
Covered with the flowers,
Instantly I'd like to die
In this dream of ours!.
(Etsujin)

මලින් වැසී ගිය
අපේ මේ සිහිනය තුල
මියයන්න ආසයි
එක්වරම..
............................................
Green frog,
Is your body also
freshly painted?
(Ryunosuke Akutagawa)

කොල පාට ගෙම්බෝ
උඹේ ඇඟෙත්
තින්ත ගෑවේ දැන්ද?
.............................................
The old pond,
A frog jumps in:
Plop!
(Matsuo Bashô)

පැරණි පොකුණට
ගෙම්බෙකු පනී
"ප්ලොප්"
..............................................
මමයි දුම්රිය
ඇයි ඔබ පිපුණේ
රේල් පීල්ල උඩ
(බණ්ඩාර කේ විජේතුංග)

ලියා එව්වේ - ආගන්තුකයා (http://ambarox.blogspot.com)

Friday, October 29, 2010

මම ඌ සහ ඇය...

මටද ඌටද ඇය සඳලුතලයේ කුමාරිකාවක් විය.

ඌට අවශ්‍ය වූයේ ඇයව දිව්‍යලෝකයට රැගෙන යාමටය.
මට ඇයව පොලවේ තැබීමට උවමනා විය.

සයිවර් කෑම පුරුදු නැති ඇයට සයිවර් කඩයකින් කෑම අරන් දීමට මට උවමනා විය.
නමුත් ඌ ඇයට ගලදාරියෙන් lunch දුන්නේය.

පයින් යන්න නුපුරුදු ඇයට ඌ කාරයක් රැගෙන දෙද්දී මම ඇයත් සමග කිලෝමීටර ගණනාවක් ඇවිද ඇවිද සිටියෙමි.

ඌ ඇයට බණ කියන විට මම ඇයට ආගමක ඇති අවදානම ගැන දේසනා පැවැත්වීමි.

ඌ ඇයව MC රැගෙන යනවිට මම ඇයව ජෝන් ද සිල්වා රඟහලට රැගෙන ගියෙමි.

මමද ඌද ඇයට ආදරය කලෙමු..

අද උන් විවාහ ගිවිස ගනී..
මම කොලයක් ගෙන කුරුටුගාන්නට පටන් ගතිමි..
මම ඌ සහ ඇය....

ලියා එව්වේ - ආගන්තුකයා (http://ambarox.blogspot.com)

Monday, September 6, 2010

ලියන්නයි තියෙන්නේ...

සීය, සෙන්චරිය, හන්ඩ්‍රඩ්, ශතකය, ඔය මොන නම කිව්වත් එකයි බින්දු දෙකයි එකතුකරලා ලියන ඉලක්කමේ අගය එකවසරෙ පොඩි එකෙක්ගෙ ඉඳන් චක්කරේ පාඩම් කරන අටවසරේ එකාවත් පහුකරගෙන ලෝකයේ හොඳම ගණන්කාරයත් දන්න ප්‍රසිද්ද මෙව්වා එකක්. තැඹිලිපාට කලය සාක්කුවේ දාගෙන මාකේස්ගේ සියක්වසක හුදකලාව කියවගෙන එනගමන් ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් බලලා ටී එම්ගෙන් සියක් ආයු ලැබ මගෙත් ආයු ලැබුවත් සීය කියන එක අදත් හෙටත් සීයම තමා. අවුරුදු සීයක් ජීවත් වෙලා ඉන්න සීයලාගේ කාලෙ මේ වගේ මලසමයං සිද්ද නොවුනත් මුල මැද අග කෝක කියන්නත් තියෙන්නේ වචන සීය නිසා කෙටියෙන්ම කිව්වොත් මේ බ්ලොග් එක ලියවෙන්නේ මාතෘකාව ඇරුනාම වචන සීයකින් ලියවිලා තියෙන පෝස්ට් විතරයි, ඉතිං හැමෝටම ලියන්නයි තියෙන්නේ.

Related Posts Plugin for WordPress, Blogger...