Showing posts with label බඩගින්න. Show all posts
Showing posts with label බඩගින්න. Show all posts

Monday, March 25, 2013

හැමදාම තියේනම් ෂෝක් නේද අම්මෙ?

වරෙල්ලා මේ කහට ඩිංග බීලා නටාපල්ලා.
සි..ර්යාවතී....... සිරියාතියේ...
ම..ටත්.. ඩිංගක්...
අම්මට ලුණු කැඳ ඇති.
හ්ම්හ්..
ඊයෙ මං.. හීනයක් දැක්කා...
මෙහෙ දානයක් තිබුණා බං...
අපරාදෙ මාස ගානක් කන්ඩ ඇති බං අපට
මට මේං මීට වැඩිය කන්ඩ බැරිවුණා හ්ම්හ්... හැති බං...
හ්ම්... හෙටනං උඩහ නෙළන්ඩ යනවා. දෙසිය පනහක් හම්බුවෙයි.
අම්මේ... අම්මේ....!
අනේ... අම්මේ...!!
ඕනෙ දෙයක් තියෙනවනම් කියන්ඩ සිරියාවතී.
මරණාධාරෙන් කරල දෙනව මහත්තයා....
මොකද වුණේ?
කන්ඩ බැරිවුණා....
අපේ නැන්දම්මටත් ඕකනෙ. සස්ටජන් ටික බීගන්ඩ බැරිවුණා.
මොනව වුණත් වාසනාවන්ත මරණයක්.
එකතැන් වුණේ නෑනෙ.
හ්ම්.....
දැන් උයන්නෙ කොහේද?
බස් ගෙදර...
අම්මෙ අපි බත් කෑවා ජාති ගොඩක් එක්ක.
හරි රහයි අම්මෙ.
හැමදාම මෙහෙම තියේනම් ෂෝක් නේද අම්මෙ?

ලියා එව්වේ - මගේ ජීවිතය

Sunday, July 17, 2011

රුපියල් දහය

"ලොකු පුතේ ගිහින් පාං ගෙඩියක් ගේන්න..."

"අම්මේ, මට සව්කොල තුනක් ඕනෙ, සිසිර අයියා හදලා දුන්න සරුංගලේට...”

"සරුංගල්වල අලවන්න දෙන්න සල්ලි නෑ මට....."

බයිසිකල් රිම් එක කෝටුවකින් පැදගෙන මම දිව්වා කඩේට. එහා ගෙදර සුරංගි නංගිගේ තාත්තා අදත් බීලා, වැනි වැනි එනවා පාර දිගේ......

"පාරේ අයිනේ රුපියල් දහයක් වැටිලා... හුරේ... සව්කොල ගැත්තෑකි..."

"ඇන්ටී....!" අපේ දොර ගාව සුරංගි නංගී කෑ ගහනවා...

"මොකද පුතේ....?" අම්මා අහනවා.

"මල්ලි බඩගින්නේ අඬනවා. අම්මා හාල් හුණ්ඩුවක් තියෙනවනම් ඉල්ලං එන්න කිව්වා. හාල් ගන්න දීපු රුපියල් දහය තාත්තා නැති කරගෙන........"

ඉංග්‍රීසි කොඩිය අලෝපු කොම්බුවට රැලි කපන අතරේ මට යාන්තන් ඇහුනා..........

කොහෙන් හරි ආපු මැස්සෙක් පාප්ප පොල් කට්ටට වැටිලා දඟලන්න ගත්තා.........

ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

Sunday, January 2, 2011

දෙදහස් එකොළහ ගෙවන්න පෙර.

ඊයේ අළුත් අවුරුදු....හැම රටකටම අලුත් අවුරුදු..පරණ මිනිස්සු හැමෝගේම ආසාව අළුත් වෙන්න.. අලුත් නොවුණත් අලුත්කමක් පෙන්නන්න. ඊයේ රාත්‍රියෙ පුපුරපු රතිඥ්ඥා හඬ අලුත් අවුරුද්දක් ලබන සතුට වෙනුවෙන් කළ සද්ද පූජාවක් කියලා කෙනෙකුට හිතෙයි... හැම රටකම මේ දේවල් තියෙනවා.. සමහර රටවල් මල්වෙඩි වලින් පැය ගනන් සංදර්ශණ තියනවා... මොහොතක ලස්සනක් හා සතුටක් වෙනුවෙන් මහා විශාල මුදල් කන්දරාවක් වියදම් කරනවා....

ඇමරිකාව, සිංගප්පූරුව ,මැලේසියාව,ඕස්ට්‍රේලියාව වගේ රටවල් ඊයේ රෑ පුච්චපු සල්ලි වලින් ඉතියෝපියාවට සෝමාලියාවට දවස් කීයක් කන්න පුළුවන්ද?

අපි හවස හයේ විතර ඉඳන් පුපුරවපු රතිඥ්ඥා වලින්... අපේ රටේ පවුල් කීයකගෙ බඩගින්න නිවන්න පුළුවන්ද?

මේක අතිසරළ කාරණයක්...මෙන්න අළුත් අවුරුද්දෙ අලුතින් හිතන්න පුළුවන් point එකක්...

ලියා එව්වේ - නීනු (http://neranji-sulakkana.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...