Showing posts with label අහිමිවීම. Show all posts
Showing posts with label අහිමිවීම. Show all posts

Wednesday, June 1, 2011

මූණේ ලස්සන හදවතේ නැත්නම්..

හදිස්සියේ මාව මුණගැහෙන්න වුවමනායි කියපු නිසා ගියා ශාන්ලගේ ගෙදර.
" බලපන් මචං ශාමි මාව දාලා ගියා. මාව එයාට බෝරිංලු. පහුගිය ටිකේම අපි අතර ප්‍රශ්න තිබ්බා"
 එහෙම කියලා කතාව පටන් ගත්ත එකාගේ හිතේ තිබ්බ දුක පැය 3,4ක් තිස්සේ දොරේ ගැලුවා.
"උඹට කිවනේ එකී හරියන්නේ නෑ උඹට.ඒකිගේ මූණ ලස්සන වුනාට හදවත එහෙම නෑ බං. ඒකිගේ ලස්සනින් ඒකි කොල්ලෝ නටවනවා". 
"ඒක තමයි බං මට ඒකි ගැන දුක. ලස්සන තියෙනකම් ඒකි ඔය සෙල්ලම කරයි. ඒත් ලස්සන නැතිවෙන කාලෙකට කව්ද ඒකිව ආදරෙන් බලාගන්නේ "
 කඳුළු පිරිච්ච ඇස් පිහින ගමන් මගේ මිත්‍රයා ඇහුවා. රතු වෙච්ච ඒ ඇස්දෙකේ ඇය  වෙනුවෙන් තාමත් ආදරය පිරිලා ඉතිරිලා තියනවා මම දැක්කා.

ලියා එව්වේ - ගොඩයා (http://mamagodaya.blogspot.com/)

Wednesday, May 11, 2011

මම කිනිස්ස අතට ගතිමි..

ඔයා මට ඇත්තටම ආදරේද?
ඇය ඇඳෙන් ඉස්සීමට දුබල උත්සාහයක යෙදෙමින් සිටියාය.
මම ඇයගේ ඉණවටේ අතදමා ඇයව ඔසවා තබා ඇය අසලින් හිඳගතිමි.
මම ජීවිත කාලේම ජීවත්වුනේ මේ මොහොත වෙනුවෙන්. 
ඇය සුන්දර සිනාවක් සමග අමාරුවෙන් රාත්‍රියේ අප දෙදෙනා ආවරණය කල ඇඳරෙද්ද ඉවත්කලාය.
පැල්ලම අඳුරු පැහැයට හැරී තිබුනි. අද හවසම අළුත් රෙද්දක් රැගෙන ආ යුතුය.
දැන් ඔයාගේ වාරය. 
ඇය කොලපැහැති මිටක් තිබුන කිනිස්ස මදෙසට දික්කලාය.
පිස්සු හැදීගෙන එනවාද?
මම කිව්වානේ බෑ කියලා. 
මම ඇයට ආදරේ කලෙමි.
ඔයාට ඕනි මාව විඳවලා මැරෙනවා දකින්නද?
මේකෙ අවසානයක් තියෙන්න ඕනි. ඒක වෙන්න ඕනි මෙහෙම.....
ඇයගේ දෑස් ප්‍රීතියෙන් දිලිසේ. මට ඒ දීප්තිය දරාගත නොහැක.
මම කිනිස්ස අතට ගතිමි..

ලියා එව්වේ - ආගන්තුකයා (http://ambarox.blogspot.com)

Saturday, February 19, 2011

මට අහිමි....

සඳ...
අයිති අහසට
මුත්...
සඳ එළිය
ම‌ට දැනුණා...
ඉරට අහසට ‌
හොරෙන්
මං....
සඳ එළිය වින්දා...

සීමා මායිම්
නොපෙනන තරම්ම...
සඳ
මට
ළඟ බව දැණුනා...

උණුසුම වගේම...
උහුල‌ගන්න බැරි තරම්
‌දුක දැණෙන...
අමාවක රෑ වරු ගණන්...
කඳුළු එක්ක
පහන් වූ නමුදු
මම සැනසුණා...

දින ගණන් ගෙවුණා...

එක සඳ මෝදූ වුණ...
ඇසළ මහ රෑක‌
අහස් කුස ‌සඳ එළියෙ
පුං‌චි තරු‌ කැටයක්
දැල්වුවා...
සඳු තුටින්
ආකහේ දිලිහුණා...

මගේ රෑ දිගු වුණා...
කඳුල ඇස් ළං වුණා...

හීන් සීරුවට...

මගෙ වගක්
සඳුට
අමතක වුණා...

අන්තිමට...
හැමදාම මා එක්ක ඉන්න
දිවුරාපු
සඳ...
අහසත්, තරු‌ කැටත් එක්ක
දුර ගියා...

මම
මන්දාරම් අඳුරෙ...
සඳ
මතකයන් එක්ක
තනිවුණා...


ලියා එව්වේ - සු

Friday, February 4, 2011

ප්‍රේමයක් නිමා වූ සඳ..

මගෙ  හොඳම යාලුව ගෝතමී, යාලු වෙලා හිටියෙ  රොෂාන් එක්ක, ඒක රාමා සීතා වගෙ ප්‍රේම කතාවක්,
ඒ ලෙවල් කරද්දි මම ඕස්ට්‍රෙලියාවට ගියා,  පස්සෙ යාලුවො ගැන මොනවත් ආරංචියක් නැති උනා,
ලංකාවට ආවම මම කලේ මුලිම්ම ගෝතමී ඉන්න තැන හොයපු එක,
පස්සෙ ඔන්න ආරංචියක් ආවා,
මම ගෙදර හොයාගෙන ගියා, ගෝතමී දොර ඇරියා,
"අජන්තා"  
එයා මාව බදාගෙන ඇඬුවා,
"මොකද ලමයෝ,උනේ"  
මම ඇගේ දෑසට එබිලා ඇහුවා
"ඔයා දන්නවනෙ රොෂානුයි මමයි කොච්චර ආදරෙන්ද හිටියෙ කියල? අපි දෙන්නම කැම්පස් ගිහිල්ල අවුට් වෙනකනුත්  පුදුම සන්තෝසෙකින් හිටියා "
"ඉතිං?" 
මම ඇහුවා,
"ඊට පස්සෙ අපි දෙන්න බැන්දා,"
මොනවද කියන්නෙ කියල හිතාගන්ඩ බැරිව, මම ඇඟේ කඳුලු පිරි දෑස දිහා බලං හිටියා,

ලියා එව්වේ - රවී වීරසිංහ

Monday, January 17, 2011

ඔයයි මමයි..

පොලොව මත දඟකරපු ලා හිරු කිරණ වසාගෙන ඇදහැලුණු මහා වරුසාවකින් පොළොව තෙමීගියා.

ඔයත් සැණින් වෙනස්වෙන අහස වගේ... මට හිතුණා.

අහස්කුසේ ඇතිවෙන සැම විපර්යාසයකම ප්‍රතිපල භුක්තිවිඳින මහපොලොව මං වගේ.

ඔයා මොනතරම් ඈත වුණත් කිසිදාක හිමි නොවුණත් ඔය ඇහිපිල්ලමක වුණත් වෙනසක් මට දැනෙනවා.

වෙරළේ හැපෙන රැල්ල මොහොතකින් ආපහු මුහුදට යනවා.

ඔයත් මේ රැල්ල වගේ. වෙරළ බලාගෙන ඉන්නවා රැල්ල ආයෙත් එනකම්, හරියට මම වගේ.

කිසිදාක ළග නොරැ‍ඳෙන බව දැනුණත් ඔයා ළඟට එනකොට මගේ හිත පිරෙනවා,

එනකන් මගේ හිත ඇඟිලි ගණිනවා.

දකින්න මගේ ඇස් දැවෙනවා.

ඒත් වෙරළ රිද්දල යන රැල්ලවගේ මාව රිද්දලා ඔයා ආයෙත් යන්න යනවා.

අනේ මේ හිත හැමදාම එකම තැන ඉඳන් විඳවනවා.


ලියා එව්වේ - පබලු (http://magethanikama.blogspot.com/)

Saturday, January 8, 2011

සඳේ පිළිබිඹු.

චුරු චුරු....
මඩ වලේ හරි මැද දිදුලන හඳේ ඡායාවට එල්ලකර මුත්‍රා පහර මුදාහරින ගුණේගේ සිතුවිලි කළඹවන්නේ මොහොතකට පෙර සුරාසලේදී වූ දොඩමලුවීම් වල දෝංකාරයන්ය..
“මංම උඹට කී ගමනක් කියල ඇද්ද ඒ වේස ගෑණිව කරගහගන්න එපා කියල”
සඳ කැළතී දිය මත බොඳවෙද්දී මතකය නොනැවතී අතීත කටහඩවල් වලට පණ පොවයි.
“දඩාවතේ ගිය එකී ගියාදෙන්.. ආපහු ඕකිව වැද්දගන්නවා එහෙම නෙමෙයි”
“ඔය දරුවත් උඹේය කියල උඹ නිච්චියටම දන්නෙ නෑ නෙවද?”
සැහැල්ලුවක් හඟින ගුණේ සරම් කොන පහත දමා සිය සිතුවිලි එක්රැස් කරගන්න තැත් දරයි.
“දරුපැටිය මගේ. ඌව මං කොහොමහරි බලාගන්නව”
ඉන්පසු ස්ථිර හඩින් තමාටම කියාගනී.
එවිටම, මුත්‍රාද මඩද කැළඹුණු දියෙහි සඳ නැවත මතුවෙන්න තැත්දරනු ඔහු දකී.

Tuesday, December 28, 2010

ආයෙත් කසාද බඳිනවද ?

"සිරි, ඔයා මට කොච්චර ආදරේද..?"

"මම ඔයාට ගොඩාරියක් ආදරෙයි ළමයෝ......!"

"සිරි, මම බැරිවෙලා හරි මැරුනොත් ඔයා ආපහු කසාද බඳිනවද...?"

"පිස්සුද....?, ඔයාට ඇරෙන්න මට වෙන කෙනෙකුට ආදරේ කරන්න බැහැ.....!"

"එහෙම උනොත් ඔයා පව් සිරී, මම මැරුනොත් ඔයා ආපහු බඳින්න....."

"ම්ම්ම්, ඔයා ඔච්චර කියනවනං මම බඳින්නං...."

"ඔයා බඳිනවා...?"

"ඔයා කියන හින්දා...."

"එතකොට ඔයගොල්ලෝ බැඳල ඉන්නෙ කොහෙද....?"

"මට ඉතින් වෙන තැනක් නෑනෙ, මේ ගෙදර ඇරෙන්න...."

"එතකොට ඔයගොල්ලො නිදාගන්නෙත් මේ ඇඳේමද...?"

"ම්ම්ම්... වෙන ඇඳක් නෑනේ....."

"එතකොට ඔයා එයාට මගේ රත්තරන් බඩුත් දෙනවද...?"

"ඉතින් ඒවා නිකන් අල්මාරියේ තියාගෙන ඉඳල වැඩක් නෑනෙ..."

"එතකොට ඔයා මගේ සාරි ටිකත් එයාට දෙනවද...?"

"නෑ..... එයා සාරි අඳින්නෙ නෑ....!"

"ඈහ්....?"

"ඌප්ස්...!"


ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

Sunday, December 12, 2010

අත්තම්මා.

මුලු රැය පහන් වන තුරා මම ඇගේ හිස අද්දරට වෙලා උන්නා..

විටින් හිස අතගැවා…
මූණට අත තියලා බැලුවා…
හුගාක් සීතල වෙලා....
දවසට දහ දොළොස් වතාවක් බුලත්විට කෑ ඇගේ දෙතොල් සුදුමැලි වෙලා....

මූණ පුරාම හෙව්වේ හිනාවක් එත් පුංචිම හිනාවක්වත් එහි තිබුනේ නෑ.

මාව මඟ බලන් ඉන්නවා වගේ මට දැනුණා.

"උදෙන්ම මගේ කෙල්ල එවී....ඊට පස්සේ මම මැරුණට කමක් නෑ"

"අන්තිමට කිව්වේ එච්චරයි.."

"උඹ එනකන් බලන් හිටියා දුවේ"

කව්දෝ එහෙම කියනවා ඇහුණා.

"පැය දෙකක් ඉවසුවේ නැත්තේ ඇයි මගේ අත්තම්මේ...........!!!
එහෙම උනා නම් ඔය ඇස් මෙහෙම බලන් ඉන්නේ නෑ"

මහ පාන්දර ඒ කෑගැහිල්ලට හැමෝම අවදි උණා.. එත් මගේ අත්තම්මා තාමත් ඇස් වහගෙන නින්දේ...

ලියා එව්වේ - අහිංසකී (http://ahinsaki.blogspot.com/)

Thursday, December 2, 2010

නිල් මානෙල්..

දළදා මලිගාව ඉසව්වෙදිම හුගාක් සංසුන්……

වැව වටේම ඇවිද්ද…

"නිල් මානෙල් වලට මම ආසයි”

ඒ වචන අයෙමත් ඇහෙනවා වගේ.......

නුඹ මතක් කරලා මල් පුජා කළා

මල් ආසනේ මල් පිරිලා…....

සැනින් කොනක ඉදලාම මල් අස්කලා

මම පුජා කල මලත් කව්දෝ බින් එකට දැම්මා....

නැවුම් ආසනේ මගේ ලඟින්ම තවත් නිල් මානෙල් මල් ගොඩාක්

මම ඒකට අතගහල... පස්සට වෙනකොටයි දැක්කේ ඒ නුඹ විත්තිය.....

දෙවියනේ...!!!

බුදු හමුදුරුවෝ ඉදිරියේ දෙවියන්ට අඩගැහිල්ලත් හරියට මගේ මල විසිවෙලා ගිහින් නුඹේ මල පූජ උනා වගේ...

ඔහු විවාහය ගිවිස ගෙන මුලින්ම ඈ සමඟ මාළිගාවට ඇවිත්...

දැනගෙනම මාත් මෙතැනට ආවට හිතුවෙ නෑ මෙහෙම නුඹ පූජා කළ මලටම මටත් අත ගහන්න වෙයි කියලා....

ලියා එව්වේ - අහිංසකී (http://ahinsaki.blogspot.com/)

Wednesday, November 17, 2010

මට උදවු කරන්න...

මං අතරමං වෙලා... අතීතයත් වර්තමානයත් අතර අතරමං වෙලා...

එදා  "හැම දෙයක්ම දාලා මං ළගට එන්න.මං පුංචි සුදු රෝස මලක් වගේ ඔයාව බලාගන්නම්" කිව්ව ඔයාම "ඔයත් එක්ක ජීවත් වෙන එක මහ කරුමයක්" කියන්න තරම්," මගේ ජීවිතේ සම්පූර්ණ වෙන්නෙ ඔයා මං ළග නම් විතරයි" කියපු ඔයාම "ඔයා නිසයි මට හැම දෙයක්ම නැති වුනේ.. ඔයා එක්ක ඉන්න එක අමාරුයි නෙවෙයි, ඉන්න බෑ" කියන්න තරම්,මගෙන් වුණු වැරැද්ද මං තාම හොයනවා.

මමත් වැරදි ඇති.. ඒත් මෙච්චර හිත රිද්දන්න තරම්, මගෙන් මිදිලා ඈතට යන්න හිතන්න තරම් වරදක් නම් කරලා නෑ මං.

මට උදවු කරන්න පුළුවන් නම්, ආයෙමත් ඒ ලස්සනම ලස්සන හීනයක් වගේ අතීතයට යන පාර හොයාගන්න..

ලියා එව්වේ - Smiles Tears

Friday, November 12, 2010

පූර්ව ජන්මයේ අපූර්වය සොයා ගැනීම

ගොඩාක් කාලෙකට ඉස්සර.
මම ඒ රටේ නායකයා.
මට විරුද්දව ලියන්නෝ ඔක්කෝම මැරෙව්වා.
මගේ නගරේ ලියන්නෝ බිහිවෙන්න දුන්නේම නෑ.

හොයල හොයල අන්තිමට උත්තරේ හම්බුනා.
සුනේත්‍රාගේ පූර්ව ජන්ම අපූර්වයේයි කර්ම අත්පොතේයි තමයි තිබුනේ.

මුලින්ම නමය වසරෙදි.
නවකතාවක්.
පෙම් කතාවක්.
අහුවුනේ නංගීට.
නෝන්ඩි කෝටියයි.
ලිවීම නැවැත්තුවා.

දෙවෙනියට එකොළහ වසරින් පස්සේ.
නිසඳැස්, කෙටි කතා.
අහුවුනේ යාලුවන්ට.
චා මැක්ස් කලා.
කින්ඩි පිට කින්ඩි.
ලිවීම නැවැත්තුවා.

ඊලඟට ඔෆිස් එකේදි.
ඒත් පොඩි කතා.
ඒකත් යාලුවන්ට.
ආයේ පාරක් නැවැත්තුවා.

අන්තිමට බ්ලොග් එක.
අන්වර්ත නමකින්.
ෆිට්ම උන්ට කිව්වා.
පස්සේ මම්ම කිව්වා.
බොක්කෙන්ම ලිව්වා.
හිතේ හිරවෙලා තිබුනු ඒවා එලියට ගියාම පුදුම සනීපයක්.
මේ පාර නෝන්ඩි සමඟ වලි.
මම ලිවීම නැවැත්තුවා.

ලියා එව්වේ - දුකා (http://dukaa.blogspot.com/)

Tuesday, November 9, 2010

හෙටත් වැස්සලු...

ඉස්සරම කාලේක මම වැස්සේ තෙමුනේ හරියට කල්ප කාලයකට වැහි වහින්නේ නෑ වගේ.
එතකොට ඒ වැස්සේ තෙමෙන්න මාත් එක්ක එකතු උනු තවත් කෙනෙක් හිටියා.

සීතලම සීතල දවස් වල උනත් අපි දෙන්නා අත් අල්ලගෙන පාර පුරා වචනයක්වත් නොකියා මේ වැස්සේම තෙමුණා.

සමහර දවස් වලට තෙමිලා ගෙදර ආවම බැනුම් අහගෙන උනත් මගේ කොණ්ඩේ වේලුවෙත් එයා.
හෙට වහිනවද කියල කලින් දවසේම weather report බලන්නේ පහුවෙනිදාට කුඩයක් අරන් යන්න.

දිගට තිබුණු කොණ්ඩෙත් කපලා දැම්මා තෙමුණොත් වේලන්න වෙයි කියලා.
අන්තිමට මට එපා උනේ ඔහු විතරක්ම නෙමෙයි. වැස්සත් මට එපා උනා.

අද වෙනකොට වැස්ස එක්ක මම තරහා වෙලා.

ඔන්න හෙටත් වහිනවා කියල news වලට කියනවා ඇහුණා.


හයියෝ....

ලියා එව්වේ - Il mondo di una povera pazza (http://burubabe.blogspot.com)

Friday, October 29, 2010

මම ඌ සහ ඇය...

මටද ඌටද ඇය සඳලුතලයේ කුමාරිකාවක් විය.

ඌට අවශ්‍ය වූයේ ඇයව දිව්‍යලෝකයට රැගෙන යාමටය.
මට ඇයව පොලවේ තැබීමට උවමනා විය.

සයිවර් කෑම පුරුදු නැති ඇයට සයිවර් කඩයකින් කෑම අරන් දීමට මට උවමනා විය.
නමුත් ඌ ඇයට ගලදාරියෙන් lunch දුන්නේය.

පයින් යන්න නුපුරුදු ඇයට ඌ කාරයක් රැගෙන දෙද්දී මම ඇයත් සමග කිලෝමීටර ගණනාවක් ඇවිද ඇවිද සිටියෙමි.

ඌ ඇයට බණ කියන විට මම ඇයට ආගමක ඇති අවදානම ගැන දේසනා පැවැත්වීමි.

ඌ ඇයව MC රැගෙන යනවිට මම ඇයව ජෝන් ද සිල්වා රඟහලට රැගෙන ගියෙමි.

මමද ඌද ඇයට ආදරය කලෙමු..

අද උන් විවාහ ගිවිස ගනී..
මම කොලයක් ගෙන කුරුටුගාන්නට පටන් ගතිමි..
මම ඌ සහ ඇය....

ලියා එව්වේ - ආගන්තුකයා (http://ambarox.blogspot.com)

Wednesday, October 27, 2010

තවත් මොහොතක්...

“මේ ගෙදරට මං හුගාක් කැමති”
“අපිට කාමර තුනක්  වැඩිත් එක්ක..”
“එකක් තියාගමු පාඩම් වැඩ වලට අනිත් එක “අපි”ට අනික හිස් තියමු “
“දහදාහක් හොදටම ඇති වළං මුට්ටියි උවමනා කරන අනිත් ඒවටයී”
“ඔයා පන්තියක් පටන් ගන්න”
“මම වැඩ ඇරිලා එනකන් බය නැතුව ඉන්න පුලුවන් නේද මගේ කෙල්ලට…?”
“අපි නොබැද මෙහෙම එක ගෙදරක ඉන්න එක..........????”
 “අපි අනිද්දාට පදිංචියට එනවා”
ගෙදර යතුරත් බාරගෙන ආවේ හුගාක් සංතෝසයෙන්....
.............................................................................

"හලෝ"
“කොහේද…….?”
ඇඟේ පටලන් හිටපු සරම පිටින්ම බස් එකක එල්ලුනා
මගේ කෙල්ලට මොකද දෙයියනේ මේ උනේ...??
“මට වෙන කෙනෙක් බදින්න බෑ”
මගේ රත්තරං කෙල්ල රෝහලේ ඇදක් උඩ....
ජිවත් වෙන්න "තවත් මොහොතක්" හරි ඈ මගෙන්  හුස්ම පොදක් ඉල්ලුවා..........

ලියා එව්වේ - අහිංසකී (http://ahinsaki.blogspot.com/)

Wednesday, October 6, 2010

චන්දෝ

සුළං කපොල්ලේ හදාපු කැදැල්ල කෑලි වලට කැඩිල ලෝකාන්තෙන් පහලට වැටුණා විතරක් නම් මදැයි.නතර වුනේ කීන දං පඳුරක් ගාව.
කුරුල්ලන්ට කටහඬ දීපු ගී කිරිල්ලියක් සන්දිරන්ගෙ උණුහුම් පියාපත යටට පියාඹගෙන ආව.
පුරුද්දෙන් වාගෙ!
මේඝා...............................!
සන්දිරන් කෑගැහුවා.
මං චන්දෝ මා බිළිඳා පපුවට තුරුළු කරගත්තා.
කිරි බර ,දුක ,දෝරෙ ගලන්න ගත්තා.

ඒ කඳුළු එකතු වෙලා බලංගොඩ බෑවුම යට වුණා.
ගංවතුර
සූර්යන් ආවෙ මාව බේර ගන්න
දාල යන්න බෑ සන්දිරන්!
මමත් මෙහෙමම ගිලිල මැරෙනව
චන්දෝ විතරක් අරන් යන්න.

..........................................................

"දැන් හෙමිහිට නැගිටින්න"

උකුලෙන් පහල හිරිවැටිල තිබුණා.
වැකුම් යන්තරෙ බාගයකටත් වඩා ලෙයින් පිරිලත් තිබුණා.
සන්දිරන් ඇස්වල කඳුළු පුරෝගෙන මගෙ අතින් අල්ල ගත්ත

"අපි ඉක්මනට බඳිමු මේඝා"

ලියා එව්වේ - වීතරාගී (http://wiitharaagii.blogspot.com/)

Tuesday, September 28, 2010

හීනෙකට නමක් දෙන්න බැහැ!

හීනෙකින් සැබෑ ලෝකයට ඇද වැටෙනවට වඩා හීනයේම ජීවත් වෙන එක හරිම ලේසියි... හීනෙකදී ඒ වගේ දේවල් හිතෙන එකත් ටිකක් පුදුමයි, අඩුවෙන් කිවුවොත්... හීනෙකදී දාර්ශනික අදහස් පහළ වෙන්න පුළුවන්ද? මගෙන් අහන්න එපා මම දන්නේ නැහැ. තාම හීනේ ඉවර නැහැ...

හීනෙකදී සීතල දැනෙන්න පුළුවන්ද? සීතල කොයි තරම්ද කියනවා නම් ඇට මිදුළු වලටත් කාවැදිලා පිච්චෙනවා. ඔන්න මගේ ඉස්සරහම, සීතල ගැන වගක් නැතුව හිටගෙන ඉන්නවා, ඈ... "සීතලයි"... මම කිවුවා...

"හදවත ආදරයෙන් උණුසුම් නම් හීතල දැනෙන්නේ නැහැ"... ඈ කියනවා, හිනාවෙවී...

ඇගේ මූණ හීනෙකදිත් ඒ තරමටම ලස්සනට පේනවද... මට හිතුනා. ඈ තාමත් හිනාවෙනවා... ඈ හිනාවෙලා හිනාවෙලා මොනවද කිවුවා... ඒත් ඒ කියපු දේ අහගන්න කලින් මම මැරුණා...

ලියා එව්වේ - හිපියා  ( http://hippiesjournal.blogspot.com/ )

Monday, September 27, 2010

විස්මෘතිය..

"මම ඔයාට ගොඩාක් ආදරෙයි.."
මා කියනා බස ඇයට නොවැටහෙයි, ඒත් මා දිහා බලාන ඉන්න ලොකු ඇස් දෙකට, ඒ නළලේ තිලකයට මම කවදත් ප්‍රිය කරනා වග කියන්නට මට තවත් සිත් දෙයි.
"මම හමුදාවෙන් පනිනවා, පැනලා ගිහින් අපි දෙන්නා ලබන සතියේ කසාද බඳිමු."
මඳ සිනහවකින් මොහොතක් බලා උන් මම හෙට දින පැමිණෙන පොරොන්දුව මත හුන් තැනින් නැඟිට්ටේ සුපුරුදු බංකරය වෙත පිය නැඟීමටයි.
"ඩෝං"
සිහිය එනවිටත් මා උන්නේ රෝහලේ ඇඳක් මතය. මා කවුද යැයි මටම අමතකව ඇති මුත්, ගොත ගසමින් කී වදන් පෙළ හාත්පස දෝංකාර දෙමින් වියැකිණ.
"මගේ රාජිණි, ආයේ කවදාකවත් මට දකින්න වෙන එකක් නෑ, මේ වෙළුම් පටි වලින් වැහුණු ඇස් දෙකෙන්.."
 ලියා එව්වේ - Ansh Lucky Sri Jay  (http://www.mitiyaawatha.blogspot.com/)

Tuesday, September 21, 2010

ආත්මයක වියෝ ගීය..

“වෙඩින් කාර් එක යනවා”.....
ජිල් බෝල වගේ ඇස් දෙකෙන් කඳුළු බින්ඳු කඩන් වැටුනා..
පාරට වෙලා මෙච්චර බලන් හිටියේ මම ඔය කෙහෙල්මල් කාර් එක එනකන් තමා..
දැං ඉතින් ආපු වාහන ඔක්කොම ආයෙමත් යනකන් බලන් ඉන්න ඕනේනෙ...
"ඔයා අඩනවද?"
"නෑ මට දුකයි"
මගෙන්ම අහල මටම උත්තරත් දී ගත්තා..
වාහන ටික පල්ලෙහා පාරෙන් ඇදිලා ගියේ හුගාක් දවල්…..
එතකන් උන්නු මම හිමි හිමින් හිතට හයිය අරන්
මඟුල් ගේ පැත්තට ගියා.. මට මතක් උනේ "අම්මා"
උදේ ඉදන් හිතේ තද කරගේන හිටපු දුක දෙදරලා ගියේ ආත්තම්මා හැමොම පෙරළගෙන දුවාවිත් මාව බදාගෙන අඩන්න ගත්තාමයි.
මඟුල් ගේම මළ ගෙයක් වගේ වෙලා.
"පුතේ"
මගේ සුබ පැතුම් “අප්පච්චී ඔයාලට”

ලියා එව්වේ - අහිංසකී (http://ahinsaki.blogspot.com/)

Friday, September 17, 2010

ජීවිතේ සුන්දරද මෙතරම්...

ම්හ්... මෙතරම් සුවයක්...
හොර කෙල්ල...
වෙනදට මූන ලං කරද්දිත් ලැජ්ජාවෙන් ඇඹරෙන මගේ කෙල්ල කොහෙන්ද මෙහෙම ප්රංකශ හාදු දෙන්ට ඉගෙන ගත්තෙ ඈ...
ඔහ්... මෙච්චර උණුසුම් සුසුම් ඔය සීතල නහයෙන්...
ඇස්දෙක අරින්ටත් ලෝබයි මට...
ලෝකය මෙහෙමම මෙතැනම නැවතිලා තියෙනවානම් කොච්චර දෙයක්ද කියලා මට හිතුනා...
ජීවිතේ... සුන්දරද මෙතරම්...
කොහෙන්ද කොහෙන්ද මේ වැස්සක් පාත්වුනේ එක පාරට...
දී දී.... දීයන්ට වල් බල්ලා...
ඈ අම්මාගෙ කටහඬ නේද ඒ...
මල කෙලියයි අම්මා කොහොමද පාර්ක් එකට ආවේ...
එනවා මෙතැන ජරාව බීලා බිලා...
හොරිකඩ බල්ලෝ කට ලෙව කාල නෙවෙයි කටේ රීලා ගියත් ඔච්චරයි...
දොර ඇරගන්ටවත් සිහියක් නෑ...
බල්ලෝ...
වතුර බාල්දිය විසිකරලා ගේ ඇතුලට යන අම්මා කියවනවා හීනෙන් වගෙ ඇහුනා...

ලියා එව්වේ - පුතා (http://dubaiwattakka.blogspot.com/)

Wednesday, September 15, 2010

දුටු සතුට

සුපුරුදු බස් නැවතුමේ සිට අතරැදි ඔරලෝසුවට නෙත යැවුනේ කීවෙනි වරට දැයි මතක නැත. දැන් දින 3කින්ම ඇය නැත. කතාබහ කර නැතත් නමගම නොදැන ගත්තත් ඇගේ එක දසුනක් මාගේ දවසම නැවුම් ප්‍රබෝධයකින් පුරවා තබයි. දින තුනක්ම ඇය එන තෙක් බලා සිටි නිසා කාර්යාලයට ගියේද ප්‍රමාද විය.

ඊළඟ බසය පැමිණුනි. එයින් බැස ගත් පිරිසකි. සියල්ලෝම වාගේ ඇගේ වයසේ පසුවූ තරුණියන්ය.

"පොල්වත්ත පාර කොහෙද"

"ම්..."

"අර තියෙන්නේ දැන්වීමක්. කොඩි තියෙන දිගේ යමු"

"ක්ෂණිකව මගේ දෑස ද ඒ දෙසට යොමු විය"

මගේ දුටුසතුටු මල මට සිනා සෙමින් බිත්තියේ ඇලවී සිටියේ අද දින අවසන් ගමන් යන බව මට දන්වමිනි.
ඒ බසය ද මට මඟ ඇරුණි.

ලියා එව්වේ - වත් ( http://www.sodurusitha.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...