Friday, March 29, 2013

අලි කෙන්ද

මේ බලපන් මගේ අළුත් මුද්ද.

නියමයිනේ. මොකද්ද බන් ඔය මැදින් කළු පාටට තියෙන කෙන්දක් වගේ එක?

උඹට මතකද කාලෙකට කලින් පත්තරේ ගියා හබරණ කැලේ හිටපු මහ භයානක තනි අලියෙක් ගැන. ඌ ඒ පැත්තේ මිනිස්සු බර ගානක් මරලා තියෙනවා. හේන් වලට පැනලා මහ විනාශ කලා ඒ දවස් වල. අන්න ඒ අලියා පණපිටින් ඉන්නකොට උගේ වලිගෙන් ගලෝපු මවිල්  වගයක්. මේක දාගෙන ඉන්න වෙලාවට කාටවත් බය හිතෙන්නේ නැහැ. පුදුම ශක්තියක් හිතට දැනෙන්නේ.

කොහොමද දැන් උඹලාගේ ආච්චිට

එයාගේ ඔළුව හොඳ නැහැ බන්

ඒ මොකෝ

මැරිච්ච්ච සීයගේ කෙස් ගස් ටිකක් වලල්ලක ඔතාගෙන හැමවෙලේම දාගෙන ඉන්නවා, උන්දෑ කියන්නේ ඒක තිබුනම සීයාගේ ආරක්ෂාව ලැබෙනවා, බයක් නැහැ කියලා.

ලියා එව්වේ - නිෂාන්

Monday, March 25, 2013

හැමදාම තියේනම් ෂෝක් නේද අම්මෙ?

වරෙල්ලා මේ කහට ඩිංග බීලා නටාපල්ලා.
සි..ර්යාවතී....... සිරියාතියේ...
ම..ටත්.. ඩිංගක්...
අම්මට ලුණු කැඳ ඇති.
හ්ම්හ්..
ඊයෙ මං.. හීනයක් දැක්කා...
මෙහෙ දානයක් තිබුණා බං...
අපරාදෙ මාස ගානක් කන්ඩ ඇති බං අපට
මට මේං මීට වැඩිය කන්ඩ බැරිවුණා හ්ම්හ්... හැති බං...
හ්ම්... හෙටනං උඩහ නෙළන්ඩ යනවා. දෙසිය පනහක් හම්බුවෙයි.
අම්මේ... අම්මේ....!
අනේ... අම්මේ...!!
ඕනෙ දෙයක් තියෙනවනම් කියන්ඩ සිරියාවතී.
මරණාධාරෙන් කරල දෙනව මහත්තයා....
මොකද වුණේ?
කන්ඩ බැරිවුණා....
අපේ නැන්දම්මටත් ඕකනෙ. සස්ටජන් ටික බීගන්ඩ බැරිවුණා.
මොනව වුණත් වාසනාවන්ත මරණයක්.
එකතැන් වුණේ නෑනෙ.
හ්ම්.....
දැන් උයන්නෙ කොහේද?
බස් ගෙදර...
අම්මෙ අපි බත් කෑවා ජාති ගොඩක් එක්ක.
හරි රහයි අම්මෙ.
හැමදාම මෙහෙම තියේනම් ෂෝක් නේද අම්මෙ?

ලියා එව්වේ - මගේ ජීවිතය

Friday, March 22, 2013

ආදරයද මේ.....

සඳ...
ඔයා දන්නවද පැටියෝ මන් ඔයාට කොච්චර ආදරේද කියලා.....
මන් මේ මුළු ලෝකෙටත් වඩා ඔයාට ආදරෙයි රත්තරන්...
මන් මගේ ජීවිතේටත් වඩා ඔයාට ආදරෙයි....  
ඔයාගෙන් තොර ලෝකයක් මට නැහැ.... 
ඔයාට මොනවා හරි උනොත් මන් මැරෙනකම් ඔයා එක්ක ඉන්නවා..... 
ඔයාව මගේ ඇස් දෙක වගේ ජීවිත කාලෙම බලාගන්නවා.....
ඔයාගේ සතුට තමයි මගේත් එකම සතුට.......

මන් අද හවසට පොඩ්ඩක් එළියට යනවා.....

ඒ මොකටද.....

අද අපි පොඩ්ඩක් සෙට් වෙනවා..... යාළුවෙක් ගේ උපන්දිනේ....

එපා අද ඒකට යන්න...
ඔහොම ගිහින් බීලා ඔයාට මොනවා හරි ලෙඩක් එහෙම හැදුනොත් මට මොකද වෙන්නේ...
කවුද මාව බලා ගන්නේ....

ඇයි දැන් ඔයා කිව්වේ මට ගොඩක් ආදරෙයි, මොනවා උනත් මාව බලා ගන්නවා කියලා......

ලියා එව්වේ - නිෂාන්

Friday, March 8, 2013

ඇඩිඩාස් නම හදුනා හැටි (ප්‍රබන්ධයකි)

මේක ඇඩිඩාස් අයිති ඇඩොල්ෆ් ඩැස්ලර් මහතා තමන්ගේ සපත්තු සමාගමට නමක් හොයා ගන්න බැරිව අතරමං වෙලා ඉන්දියාවට ගිහිං නමක් හදා ගත්ත හැටි. එතුමා ගියා ඉන්දියාවේ පාපන්දු තරගයක් බලන්න. 

 ඔන්න එක කණ්ඩායමක් ප්‍රතිවාදී ගෝලය අසලට පන්දුව පාස් කරගෙන යනවා. එතකොට එළියේ ඉන්න ප්‍රේක්ෂකයෝ මහා හඬින් කෑ ගහනවා

"අඩි - ඩා" 

කියලා. අනිත් කණ්ඩායම පන්දුව ගෝලය අසලට ගෙනිච්චත් ඇහෙන්නේ

"අඩි - ඩා" 

කියලා. මේ වචන දෙක අන්තිමට ඇඩොල්ෆ් මහත්මයාගේ දෙසවන් වල රැව්-පිළිරැව් දුන්නා. 

අන්තිමට එතුමාට මෙහෙම හිතුනා

"මගේ නම ඇඩොල්ෆ් ඩැස්ලර්, මේ මිනිස්සු කෑ ගහනවා අඩි - ඩා කියලා. මේක ඇඩි - ඩා කියලා ගත්තොත් හරි.

හරි.... හරි..... හරි 

 "ඇඩි-ඩාස්" මේක තමයි නම. 

ලියා එව්වේ - ඇවිද්ද පය (http://awidda-paya.blogspot.com)

Monday, March 4, 2013

බිග් මැච්

ආනන්ද නාලන්ද ගුටි බැට හුවමාරුව පසුදින උදයේත් රුපවාහිණි තිරයේ දිස් විය.

'නංගා මේ ටිවී එක ඕෆ් කරලා දාන්න.'

ජිතේන්ද්‍ර තම නැගණියට කීවේය.

'මචං අරුං අපේ එවුන්ට ගහලා, ඕක නිකං අතෑරලා බෑ අපිත් දෙන්න ඕනේ රිටන් එක.'

බිග් මැචයේ තුන්වන දිනය අවසානයේ ක්‍රීඩා පිටිය අහියස මාර්ගයේ මහා ගාලගෝට්ටියකි. එය වැලැක්වීමට ගිය පොලීසියටත්  විශේෂ පොලිස් බලකායටද ගුටි වර්ෂාවකින් පිලිතුරු ලැබිණි. 

'අම්මෝ'
තඩි පොල්ලක් තම හිස මතට පතිත වීම පමණක් ජිතේන්ද්‍රට මතකය.

පාසල් දෙකක බිග් මැචය මීට වසර තිහකට පෙර එසේ නිමා විය.

'සර් අපි වොශ් කරමුනේ.'

ජෝන්, ජිතේන්ද්‍රගේ කඩා වැටෙන අත පයද සීරුවෙන් තබා තම දෑතින්ම ඔහු ඔසවාගෙන නාන කාමරය දෙසට ඇදුනේය.


ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/

Related Posts Plugin for WordPress, Blogger...