Showing posts with label ජීවිතය. Show all posts
Showing posts with label ජීවිතය. Show all posts

Wednesday, February 5, 2014

නිර්වාණයේ දොරකඩ හිඳිමි

බිම වැටිච්ච චොකලට් කොල වලට කූඹි එකා දෙන්න එන්න පටන් ගන්නකොට උඩට යන දුම් වලා අතරින් මට එයාගේ රූපේ මැවිලා පෙනුනා. ඒ කාලේ වෙච්ච සුන්දර, දුක්බර දේවල් මතක් වෙලා ඔළුව තවත් මත් උනා. ඒ දවස් වල දැනිච්ච නැති දුකක් දැන් දැනෙනවා, ඒක ඒ කාලේ දැනුනා නම් දැන් දුක නැතුව ඉන්න පුළුවන් කම තියෙන්න ඉඩ තිබ්බා. ඒත් ඒක එහෙම උනේ නැහැ. ආයි ආයි මන් මගෙන්ම ප්‍රශ්න කරන්නේ ඇයි මම එහෙම වෙන්න ඉඩ දුන්නේ කියලා. ලඟ තියෙන දේවල් වලට වඩා ලඟ නැති දේවල් අගේ වැඩියෙන් දැනෙන එක කොහොමත් හිතේ ස්වභාවයනේ.

බිම තිබ්බ බෝතලේ "කමෝන්" අකුරු ටික කඳුළු වලට බොඳ වෙන්න පටන් ගත්තා.

ලියා එව්වේ - (http://magemaranaya.blogspot.com)

Friday, June 22, 2012

ඔයාගෙ ආදර ජීවිතේ සම්පූර්ණද?

ජීවිතේ කියන්නෙ මහ පුදුම දෙයක්. ආදරේ කියන්නෙ ඊටත් වඩා අරුම පුදුම දෙයක්.
ආදරේට බ්‍රේක් නෑ වගේම ජීවිතේට රිවස් නෑ.
ඒත් මේ ආදරේටත් රිවස් නෑ නේද කියල මට වෙලාවකට හිතෙනව.
මෙහෙමත් කියනවනෙ ජීවිතේකට ආදරයක් එකතු වුනොත් ඒ ජීවිතේ සම්පූර්ණයිලු.
ජීවිතයක් සම්පූර්ණ වෙන්නෙ එතන හැමවෙලේම සතුට විතරක්ම තිබුනොත් විතරයි කියලයි මගේ හිතනම් කියන්නෙ.
ඒත් ආදරේ කියන්නෙ හැම මොහොතෙම සතුට විතරක්ම තියෙන දෙයක් නෙවෙයිනෙ.
අනිවාර්යෙන් කොයි මොහොතක හරි දුක කියන අපි අකමැතිම දේත් ඒකට එකතු වෙනව.
ඒ වෙලාවට කල්පනාවෙන් වැඩ කලොත් සතුට වගේම හිතේ සතුටින් දුකත් භාර ගත්තොත් අන්න එයාගෙ ජීවිතේනම් සම්පූර්ණවේවි.
කන්දක් නැග්ගනම් පල්ලමකුත් තියනවනෙ කියල හිතුවනම් හරි.
මේ මට හිතුන හැටි!

ලියා එව්වේ - හිම කුමාරි (http://himakumari.blogspot.com/)

Wednesday, May 2, 2012

හිඟන්නෝ

“මහත්තයෝ මට පිලිකාවක්…” බස්‍ රියට නැඟුනු හිඟන්නා මට ඇහිලම කටපාඩම් වුණු සුපුරුදු දේශනාව පටන්ගත්තා…

“…මගේ පවුලටත් ඇදුම…” අතපාමින් පැමිණි ඔහු නැවතුනේ මට පසෙකින් වාඩිවී උන් මනුස්සයා සාක්කුවට අත දැමූ නිසයි…

“මිනිහා අලි හොරෙක්… මම දන්න කාලේ ඉඳන් පිලිකාවක් කියලා සල්ලි ඉල්ලනවා...”

මම ඔහුට කිව්වේ හිඟන්නා ගියාම…

“හැමදාම රෑට අර බාර් එකෙන් කුණුවෙන්න බීලා ඉස්ටේශමේ නිදාගන්නේ… ඇදුමක් හැදෙන්න ඔය මිනිහට ඇති පවුලක් නෑ… අපරාදේ සල්ලි…”

මම අනුකම්පාවෙන් කියද්දී අසුනින් නැගිටලා රාක්කයෙන් ගමන් මල්ල ගත් ඔහු පළවෙනි වරට කටහඬ අවදි කලා…

“මමත් දන්නවා මල්ලී…”

“එහෙනම් සල්ලි දුන්නේ…???” මට එහෙම අහන්න බැරිවුනේ ඔහු තෙරපෙන සෙනග අතරෙන් සුළඟක් වගේ දොර දෙසට අතුරුදහන් වුණ නිසයි...



ලියා එව්වේ - බීට්ල් (http://akurublog.blogspot.com)

Friday, March 23, 2012

වැලි කැටයයි, තරු එළියයි

මගේ ජීවිතේට ඔයා ලස්සන තරු එළියක් වගේ.. මම ඒ එළිය විඳිනවා.. ඒත් ළඟට ගන්න අමාරුයි.. ගොඩක් ඈතයි.. ඒත් මම දන්නවා ඒ තරුව මගේමයි කියලා.. මුළු ලෝකෙටම ඒක විහිලුවක් වෙන්න ඇති. මම කවුද ඔයා කවුද.. ඔයා තරුවක් නම් මම වැලි කැටයක්..

දිස්නේ දෙන තරුවක් එක්ක වැලිකැටයකටත් බැඳිමක් ඇති කර ගන්න පුළුවන් කියලා ඔයාවත් තාම දන්නේ නෑ.. ඒ කොහොමද දන්වාද.. ඈත ඉඳන් බබළන ඒ තරුවේ අහිංසක එළිය මේ වැලි කැටේට පරාවර්ථනය වෙලා, තරුවකට ලන් වෙන්නවත් අදහසක් නොතිබුනු මේ පුංචි වැලි කැටේට දිස්නයක් ඇවිත්.

(අනේ දෙයිවියනේ පව් අර අහිංසක වැලි කැටය තාම දන්නේ නැහැ ඒ තරුව මිය ගිහින් දැන් ශතවර්ශ ගණනාවක් වෙනවා කියලා.)

ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Friday, December 16, 2011

ඔයයි මමයි විනාඩි 1000යි!

ටෙලිෆෝන් කොම්පැණියෙන් විනාඩි දාහක් නොමිලේ දුන්න ගමන් මම ඒ පැකේජ් එක ඇක්ටිව් කළේ අපි ගැන හිතලා.
ඒ දවස්වල තිබුණ ලොකුම ප්‍රශ්ණෙ විනාඩි දාහක් අපිට ඇති වෙයිද කියන එක.
එක්සෙල් වල වගු ඇඳල ගණන් හදල මම එක එක කොම්පැණියෙන් දෙන පැකේජ්වල වෙනස්කම් හෙව්ව. අරකට වඩා මේක තමයි හොඳ, ඒකෙ SMS 50කුත් නිකං දෙනවා කිය කිය ඔයා අනිත් පැත්තට තර්ක කළා.
අන්තිමේ නිකං විනාඩි 1000ක් දෙන එකම අපට හොඳ වුණා.
ඇත්තටම ඒ විනාඩි 1000 ඒ දවස්වල දැණුනෙවත් නැති තරම්...
..........
.......
දැන් කාලයක් ගෙවිල ගිහින්.
අද බිල ආවමයි දැක්කෙ පහුගිය මාසෙ නොමිලේ කතා නොකරපු විනාඩි 300කට වඩා ඉතිරි වෙලා කියල.
මොනව කරන්නද?
ජීවිතේ එහෙමයිලු! 
 
ලියා එව්වේ - hare :-)

Friday, October 7, 2011

ගින්න...

ගණ අඳුර පීරමින්
අනන්තය තෙක් ඇදුණු
නිසල ඇස් හෙලන එම
හිස් බැල්ම කියයි ඔබේ
සිතේ සිර වූ ගින්න...

රාත්‍රියේ නිහඩ බව
තුනී කරමින් හෙලන
සුසුම් පොඳ කියයි ඔබේ
සිතේ සිර වූ ගින්න...

වියලී ගිය මහ පොලව
තෙමන්නට තැත් කරන
එකක් පසු පස ඇදෙන
කඳුලු බිඳු කියයි ඔබේ
සිතේ සිර වූ ගින්න...

අසරණ වූ ඔබේ සිත
සනසවන්නට තනන
මා සිතත් ගොළු කරයි ඔබේ
සිතේ සිර වූ ගින්න...

මේ සියළු ලබැඳියන්
යලි දිනෙක මේ සසරේ
හමුව යලි වෙන් වෙලා
යලි මවයි ඔබේ
සිතේ සිර වූ ගින්න...

එම නිසා මේ සසර
කෙටි කරන මාර්ගය
සොයා මතු දිනෙක අපි නිවමු
සියළු සිත් දවනා ගින්න...


ලියා එව්වේ - සිත් (http://sithwerala.blogspot.com)

Wednesday, September 21, 2011

බැඳි පෙමක අරුම

මගේ මුලූ ජීවිතේම
මුලු ජීවිතේම
වෙනස් වුනා
ඔයා නිසා.
ඔව්
ඒ ඔයා නිසාම තමයි
ඔයයි දැං
මගේ ජීවිතේ.
මට වෙන කවුරුත් නෑ.
ඔයාම විතරයි.
ඔයාම විතරයි
මට හැමදේම..
හැමදාම...

ඒත් ඔයාට
එහෙම නෙවේ.

ඔයාට,
ඔයාගෙ ජීවිතේට
"මාව ලැබීම",
කියන එක,
ඔයාගෙ ජීවිතේට
තවත් එක දෙයක් ලැබීමක්
විතරක්
වෙන්න ඇති.

ඒක වෙන්න ඇති
මේ දේවල්
මට එක විදියකටත්
ඔයාට වෙනස්ම විදියකටත්
දැනෙන්නෙ.

ඒ වචන ටික සමහර විට
කොල්ලෙක් කියන දෙයක් වගේ
වෙන්න පුලුවන්.
ඒත් දැං කියන්නෙ
"කෙල්ලෙක්".

ඒ නිසා සමහර විට මේකෙ
කිසි වටිනාකමක්
නැතුව ඇති.
නිකන්
වචන ටිකක්
වෙන්න ඇති.

මොකද,
ඔයා
ඒක කියවල,
මට කිව්වෙ
"මට තේරුන් නෑ" කියල.


ලියා එව්වේ - හිම කුමාරි (http://himakumari.blogspot.com/)

Monday, May 30, 2011

වචන 100කින් කියන්න දෙයක් මටත් තියෙනවා

නැවුම් බ්ලොග් කරුවෙකුගේ නැවුම් සිතුවිලි සිය වචනයකින්

වටින් ගොඩින් එලිය වැටෙනවා.. මුලු රෑම නිදාගත්තෙ නැති උනත් හිතට ගතට මහන්සියක් නෑ. බ්ලොගින් වලට ඇවිත් සති තුනයි. බ්ලොග් කලාවට හිතේ තියෙන ආසාව එන්න එන්නම වැඩි වෙනවා.. සති තුනකදී ගොඩක් දේවල් කලා.. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. බ්ලොග් කෙරුවාව දැන් ජීවිතේ කොටසක්...

ඇඩ්සෙන්ස් වලින් කීයක් හරි හොයාගන්න පුලුවන් සයිට් එකක් හදන්න හිතාගෙන ආපු මම මේ සීමා මායිම් නැති ඉලෙක්ට්‍රොනික අවකාශයේ කවදාවත් දකින්න නොහිතපු දෙයක් දැක්කා .. ඒ තමයි මනුස්සකම.. මුලින් සල්ලි හොයගෙන ආපු මමමද මේ සල්ලි පැත්තකට දාල මනුස්සකම, අදහස්, දැනුම බෙදාගන්න හදන්නෙ කියලා වෙලාවකට හිතෙනවා.. නොදැකපු මනුස්සයයෙක්ගෙන් මනුස්සකම අත්විදිනවා කියන්නෙ කොච්චර සුන්දර දෙයක්ද?


ලියා එව්වේ - චතූ (http://yasanthaonline.blogspot.com/)

Saturday, May 21, 2011

ආදරේ බැටරියක් වගේ

අපි දෙන්න අළුත් බැටරියක් වගේ සක්‍රියයි ඉස්සර...

ඒ දවස්වල අපිට බොහොම දේවල් තිබුණා නොනවත්වාම කියවන්න.

ලොකු විභව අන්තරයක් තිබුණ අපි දෙන්න අතරෙ...

රෑ දෙගොඩහරියක් වෙනකල් ඉලෙක්ට්‍රෝන ගලපු ගැලිල්ල ගැන හිතද්දිත් පුදුමයි...

දැණුනෙවත් නැති ගානයි...

ඒත්...

තේරෙණවද...?

දැන් බැටරිය පරණ වෙලා... පුංචි බල්බ් එකක් පත්තුකරගන්නත් අපිට ලොකු වෙලාවක් යනව.

ඒක වුණේ අපි දෙන්නගෙම අවිඥානය ඇතුලේ.

කාලයක් තිස්සේ ජීවිතේ අපිව එතනට ගෙනත්...

නැත්තං අපි ඉටිපන්දම් වලින් සැනසෙන්න පුරුදු වෙලාද මන්දා...

අපි ඔය ඉටිපන්දම් වලටත් ලේසියෙන්ම හුරුවෙන්න ඉඩ තියෙනවා.

ඒත් ඒක එහෙම වෙන එකනම් හොඳ නෑ...

අන්තිමේ කළුවර ඉතිරි වෙලා අනිත් හැමදේම නැති වෙයි.

මොකද ඔයා කියන්නේ...?

අපි රිචාජ් කරන්න පුළුවන් බැටරියක් දාගමුද?


-
ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Monday, May 9, 2011

එකම මගක පියවර

දවසින් දවස උදාවෙමින්
ගලාගෙන යද්දි ජීවිතය
සිදුවීම් එකින් එක
උදාවෙයි ආයෙමත්

ඊයේ දවස විඳි විලස මම
අද දවස විඳියි අනෙකෙකු
ඊයේ සිනාසී අද මා හඬන විට
අයෙක් සිනාසෙයි හෙට කඳුල බව නොදැන

ඊයේ මා පියනැගූ මාවතේ
රැව් නැගි ඇගේ සිනාව වෙනුවට
අද එහි පා තබන වෙනකකු හා
ඔහුගෙ පෙම්වතී සිනාසෙනු ඇසෙයි

මට උදාවූ අද දවස
හෙට උදාවෙනු ඇත නුඹට
ඉතින් මා දෙස බලා දැකගන්න
නුඹට උරුම හෙටින් බිඳක්

ජීවිතේ එකම එක ගමනක්
හැරෙනු නොහැකිය කිසිවිට
උදා වූ අද දින ගෙවා
යා යුතුයි හෙට දින වෙත‍ට

අද දවස විමසන වි‍ට
පෙනෙයි නුඹෙ ඊයේ ලෙසින්
අද දින ගෙවන අයෙක්
ම‍ට වගේම නුඹට


-
ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Friday, May 6, 2011

රත්තරං දුවේ

උඹ මේ ලෝකෙට ආපු දවසේ මට හිතුනේ දිව්‍යලෝකෙ පිපුණ මලක් මගේ අතට වැටුනා කියලා. අම්මගෙ වගේම වටකුරු කළු පාට උඹේ පුංචි ඇස් දිහා බලාගෙන හිටපු එක විනාඩියකට හිතෙන් මං උඹව උස් මහත් කරලා ඉස්කෝලෙ යවලා උඹ ආදරේ කරනවා කියලා මට පෙන්නපු හාදයට උඹව බන්දලා දෙන ලස්සන හීනයක් දැක්කා. උඹ බැඳලා මාව දාලා යන දුකට ඇස් වලට කඳුළුත් පිරුනා. අනේ එතකොටයි මතක් උනේ උඹ තාමත් ඉපදුන ගමන්ම මගේ අතේ නේද මේ ඉන්නේ කියලා. මගේ හිත ගිය දුරක්.

මට සමාවෙයන් දුවේ. මං උඹව රැවට්ටුවේ නෑ. මං තාමත් උඹ ළඟින්ම ඉන්නවා. උඹට ඒක නොදැණුනාට. මං දැකපු හීනෙ හැබෑ වෙනකල් මං මේ ලෝකෙන් පිටවෙන්නෑ.



ලියා එව්වේ - ෆා ද බ්ලොගී (http://bloggysdiary.blogspot.com)

Wednesday, April 13, 2011

කෝ මේ ෆෝන් එක?

ඉස්සර පුංචි කාලෙ අවුරුදු නිවාඩුව තමයි අවුරුද්දක් ඇතුලත තියෙන හොඳම නිවාඩුව...

ඒක එනකල් අපි ඉන්නෙ ඇඟිලි ගැන ගැන...

තෙල් සුවඳ ගම වටේ පැතිරෙද්දි එක එක කෑම වර්ගයි, නිලා කූරුයි එක්ක ඔට්ටු වෙන එක ලොකුම ආසාව...

තාත්තලගෙ රතිඤ්ඤ පත්තු කෙරිල්ලයි, අහස්කූරුයි, බඹර චක්‍රයි අනිත් එක...

ඊට පස්සෙ නෑ ගෙවල් වල සහෝදර සහෝදරියො එක්ක සෙල්ලම...

ඒ පුංචි නිවාඩු කාලෙ ඇතුලෙ අපි ජීවිත කාල කීපයක් ගෙවනව වගේ...

ඒත් දැන් සේරම වෙනස් වෙලා...

රාජකාරියෙන් මිදිල ලැබෙන කෙටි නිවාඩුවෙත් කරන්න වැඩ ගොඩයි...

වයසත් එක්ක ලැබෙන වගකීම් ගොඩක් එක්ක අපි හැමෝටම අත්වෙන ඉරණම ඒක...

කරන්න දෙයක් නෑ...

කට්ටියටම සුභපතල SMS යවන්න ඕන...

කෝ මේ ෆෝන් එක?


ලියා එව්වේ - මලී (http://abnormalminds.blogspot.com/)

Saturday, April 9, 2011

මොහොතින් මොහොත...

සුරංගනා කතාවක හිම වැටුණ රැයක විදුලි කණුවක් යට ලා එලියක ඇය නටමින් හිටියා... ඒ නැටුම කෙලවරදි අඳුරු මුල්ලක හිටපු මගේ පපු තුරුලට වෙලා ඈ ඇගේ ආදරේ මට කිව්වා... මම ඒ දෑස් දිහා බලන් හිටියෙ පුංචි මොහොතක්. ඒක ජීවිතේ නැවතුණු මොහොතක් වුණාට මම ඒ මොහොත ඇතුලෙ ජීවිත කාලයක් හිටියා...

ඊළඟ දවසෙ ආයෙමත් උදේ නැගිටල මුහුණ හෝදල පටන්ගන්න ඉරි තලපු ජීවිතේ ඇය සාමාන්‍ය ගෑණියක්... ජීවිත කාලෙන් මොහොතක් ඈත් එක්ක ගෙවන එක කෑම පිඟානක්, පත්තරයක්, චිත්‍රපටියක්, ක්‍රිකට් තරගයක් වගේ සරල දෙයක් වෙලා.

ඒත් හිම පියලි වලින් වැහිල ඇගේ නෙත් දෙක තාම ආරක්ෂිතයි... විශේෂ කෑමක්, හොඳ කාටුන් එකක්, දැණෙන චිත්‍රපටියක්, සික්සර් එකක් වගේ...


-
ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Wednesday, February 23, 2011

සීහලේ අද දවස - හෙට දකින උන්ට ඇහෙන්නට

කහ ඉරිත් නැති ජීවිතේ මග
නැවතුමත් නොපෙනී ගිහින්
දස රියන් උස, මිටි කඳු පවා
දැන් ගිනි වැදී අළුවී ගොසින්
උන් ගිමන් හල ඒ විසල් නුග
අද ලොරි මතින් මළගම් ඇදෙද්දී
නියඳ මල් පිපුණත් මොකෑ බොල
වල් වදින නිදහස තුලින්..

බෝධියෙන් බට දේවතාඑළි
තුට්ටුවට විකුණා යසින්
කොමල මුදු ලැම කෙලසලා දැන්
හෙළුව පෙන්නති සන්තොසින්
කලියුගේ සකිසඳ එසේමැයි
තාලමත් හඬගා කියද්දී
චීවරේ විවරණ මොටෑ බොල
එතෙරවෙන්නට ජීවිතෙන්..

මවු මරා ලියනා අපේකම
බොල් හඬින් වැයෙනා සරින්
ඒ යසයි කියමින් නටන මුත්
සොහොන තම බැව් නොම දනිත්
කල පවින් මිරිකී හඬන උන්
රියසකින් සසරේ ඇදෙද්දී
නිවට නරි රජකම් කැපයි බොල
පණ අදින ජාතිය මතින්...


ලියා එව්වේ - Dilan Dadevil (http://dilandadevil-poems.blogspot.com/)

Sunday, February 20, 2011

ආරච්චිකරණය®....

....................

කවුදෝ ලියපු ආදරේ ගැන සටහනක්...

කියවද්දි දැණෙනව...

ඇත්තමයි... ආදරේ වගේමයි....

මම ඇස් පියාගත්තා.

දැණුනා ඇගේ කෙස් රොදක පහස... මීදුමක් වගේ සියුම්ව...

....................

අදත් උදේ කෑමට ආදරේ...

මම බොහොම නිදහසෙන් ඉගිල්ලුණා මාවවත් නොදැණෙන සැහැල්ලුවකින්...

මල් කිණිති වල සුවඳ අද තරම් දැණිල නෑ මට...

....................

අදත් ආදරේමයි....

ඒත් අඬන්න ළං වෙලා... මොකක්දෝ අවුලක්!

කවුදෝ හිත රිදවල ගිහින්... හිත කීරි ගැහෙන මුස්පේන්තු හැඟීමක් එක්ක තනි වෙලා...

....................

අයියෝ... අදත් උදේ පාන්දරම ආදරේ හොටුත් පෙරාගෙන....

දුක නිවෙනකල් අඬපුදෙන්...

....................

ඇති යන්තං අද ඇඬිල්ල නැවතිලා...

ඒත් වචන වලින් වැලපෙන්න අරන්...

ඉවරයක් නැති කියවිල්ලක්...

....................

ෂිට්!

අද වෙ‍නමම කෙනෙක් දුක කියවන්න අරන්...

මුල ඉඳන්...

...................

හයියෝ...

හැමෝටම ආදරේ දැණෙන විධිය ආරච්චිකරණය® වෙලා...


ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

Wednesday, February 2, 2011

වැස්සට හේදුණු හීන..

මුරුගසන් මහ වැස්ස දෙපත් කපාගෙන ඇද හැලෙද්දි ගොයම ගැබ්බර වෙලා අස්වනු නෙළන්න ඔන්න මෙන්න තිබුණෙ. මාස ගාණක් තිස්සෙ ගොඩ ගැහුව බලාපොරොත්තු සුණු විසුණු උනේ එක තත්පරේකින්.

කිරි වැදුණු ගොයම එක පිට එක මඩේ වැටිල තියෙනව දකිද්දි මට දැනුණෙ පුංචි පැටව් ටිකක් සමූල ඝාතනය කරල තියෙනව දකිනවටත් වඩා කාලකණ්නි හැඟීමක්.

ජීවිතය දෝතටම ගත්තත් ඇඟිලි අතරින් රූරා ගිහින් තිබුණා.

මහ මෙරක් උසට ගොඩ ගැහුවත් බැත, පෙරලෙන්නෙ එකම එක තඹේකට. ඒ තඹෙත් උරුම ටවුමෙ මුදලාලිට. ගිය කන්නෙ පොහොර ණය මතක් වෙනකොට, සා ගින්දරේ ඉන්න බඩවල් ගාණ මතක් වෙනකොට හිත දුවන්නෙ වහ බෝතලේට.

දරු පැටවුන්ගෙ කඳුළු ගුළිවුණු පුංචිදෑස් මතක් වෙලා හීල්ලුණේ දුකට නෙමේ අසරණකමට.

ලියා එව්වේ - පිණිබිඳු (http://lakmisher.blogspot.com/)

Tuesday, January 18, 2011

ජීවිතය දු‍ටුවෙමි ඇගෙන් මා...

යට ගියාව ඇයි
මතක නැතුවද
කඳුලක් වෙලා
නුඹ ගිලිහුනා…

දහස් වර ඒ
හෙලූ සුසුමන්
නිහඬ ගුවනට
මුසු උනා…

මුලා වුනා මා
පමා උනා ඔබ
සොදුරු පැතුමන්
බොඳ වූවා…

කෙලෙසක හදන්නද
රිදුන මා හද
අරුමයකි ඔබට ඒ දුක
නොදැනුනා…

කිමද යලි මේ
මගේ ලොව වෙත
නිහඩ මා යලි
සෙලවුවා…

එනු එපා යලි
නෙතු අබියසට මා
හදේ දොරගුල්
දැමු වා…

කදුලු පිසලූ
දෑත මෙතුවක
වටී මට ඈ
‍රැකේවා…

ජීවිතය දු‍ටුවෙමි
ඇගෙන් මා
නොදනී ද ඔබ එය
දැනේ වා…

සිනා වෙන්නට
පාර පෙන්නු
ඇයයි මා සිත
දිනූ වා…

පතමි ඔබහට
සුභාශිංසන
තැනු ඒ ලොව
දිනේවා…

සදාදර ඈ
අගේ මට අන්
කාටවත් නෑ
වාසනා….


ලියා එව්වේ - දීපිකා කුමාරි (http://paatapaatasithiwili.blogspot.com/)

Wednesday, January 12, 2011

Definition නැති කවි...

ඔව්! මා ඒ සියල්ල පල කරමි...

කියවන උන් කියෙව්වාවෙ...
නොකිය‍වන උන් නොකියවපුවාවෙ...

මගේ කවියට ප්‍රසිද්ධ හැඩයක් නැත...
සමචතුරස්‍ර , වෘත්ත, ත්‍රිකෝණ තුලට මගේ කවි එබ්බවිය නොහැක..

කවිය හැඩයක් නැති වචන පෙලකි...
හැඩය ඒ තුලම වන වචන පෙලකි...

මම ඒවා යතුරු පුවරුවේ කොටා දමමි...
නිකංම නිකං බ්ලොගයක ඒවා නිකංම නිකං පල කර දමමි...

එකම සිතිවිල්ල වචන ගොඩකින් කියා මම එකම සිතිවිල්ලට කවි ගණනක් පබදිමි...
කවි රැසක් ලියාලමි...

නම් දැරූ කවියන් කියවා මා නොකියවන්න...
මගේ කවි ඇත්තේ මගේ හැඩයෙනි...

ඔව්...
මම මගේ මනෝ විකාර සියල්ල කවි කරමි...

කවියකු වීම ජීවිතේ තරම්ම අපහසු නැත...

කවිය‍ට definition නැත.

එබැවින් මටද පහසුවෙන් කවියකු විය හැක...


ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

Friday, December 31, 2010

ගැට තුන

එක්තරා ගැමියෙකුට දිනක් ගමනක් යන අතරතුර බිම තිබී ලණු කැබැල්ලක් හම්බුනා. මේක රියනක් විතර දිග පුංචි ලණු කෑල්ලක්. එක කෙලවරකට වෙන්න එකිනෙකට තරමක් ඈතින් ගැට දෙකක් තිබුනා. මේ ගැට දෙකෙන් ඈත්ව අනිත් කෙලවරට ලංව තව ගැටයක් ගහලා තිබුනා. මෙහි කුමක් හෝ අද්භූත තේරුමක් ඇතැයි සිතූ ගැමියා ලණු කෑල්ලත් අරන් ගම ආසන්නයේ කැලේ බවුන් වඩමින් ජීවත් වෙන ඍෂිවරයා ලඟට ගියා. ලණු කැබැල්ල අතට ගෙන මොහොතක් කල්පනා කළ ඍෂිවරයා අපූරු පිළිතුරක් දුන්නා.

"මේ මුලින්ම තියෙන ගැටේ තමයි උඹේ උපත. ඒ ලඟින් තියෙන අනිත් ගැටේ උඹේ මරණය. ඊට ගොඩක් ඈතින් තියෙන තුන්වෙනි ගැටේ තමයි මේ ජීවිත කාලය තුල උඹ සපුරාගන්න හිතාගෙන ඉන්න බලාපොරොත්තු...."


ලියා එව්වේ - සකි

Sunday, November 28, 2010

මම දැනගෙන හිටියා ඔයා බොරුකාරයෙක් කියලා

කෝ ඔයා උණ බට,උක් ගස් ගොඩාක් ගේනවා කිවුව නේද...?
අනේ රත්තරන්... අමතක උනා...
ඔයාට.... මං මග බලන් ඉන්නවා කියලා....?
දෙවියනේ..... ඔයා ඇරෙන්න හැමදෙයක්ම අමතක උනා
මට මුකුත්ම නැතිවට කමක් නෑ...
පොඩ්ඩක්වත් දුක හිතුනේ නැද්ද?
ඔයා ආවා මට ඒ ඇති...
ඔයා දන්නවනේ පැන්ඩෝ..... මං ඔයාට ජීවිතේට එක බොරුවක් කියලා නෑ
අපෝ.... මං නොදන්නා ඔයා... ඔයා කට ඇරියොත් කියන්නෙම බොරුමයි
ආදරේටනේ..... එහෙනම් දුවල ගිහින් බලන්න මං ඔයාට ගෙනාවේ මොනවද කියලා
පිස්සා.... මං දැනගෙන හිටිය ඔයා මහා බොරුකාරයෙක් කියලා.....
මං හැම තිස්සෙම හිතනවා කියලා..... දැන් වත් තේරුනාද?

[දෙයියනේ.... එකනේ කොච්චර අඩුපාඩු තිබ්බත් යන්න හිතනකොට මගේ හිත ගැස්සෙන්නේ.... මං නැති උනොත් මේ පිස්සා මැරෙයි...]

ලියා එව්වේ - මහේෂ් හශාන්ත සිල්වා. (http://asipiyakamahima.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...