Friday, May 17, 2013

පොඩි එකිගේ ආසාව..

අල්ලපු  ගෙදර අක්ක කම්පියුටරෙන්  ෆිල්ම් බලනවා.
එයාගේ  මොන්ටිසෝරි යන පොඩි දූ මේසේ වටේ කැරකි කැරකි ඉන්නවා.
අතේ මොකක්දෝ ගුලි කරගෙන..
හිටී ගමන් සද්දයක් නෑ ..
විනාඩියකට විතර පස්සේ අසනීප මුණක් හදං,

"අම්මේ මට සනීප නෑ "
අම්ම ගානක් නැතුව  ''හා දූට බෙහෙත් බොන්න ඕන වෙලාද"
දූ: "අම්මේ, බෙහෙත් තියෙන්නේ නිකං තියන්නද, ලෙඩක් ආවම බොන්න නේ"
අම්ම:  "ගුටි කන්නැතුව දෙනව ඔය පැනඩෝල් කාඩ් එක"

ළඟ හිටපු මට හිනා..
පස්සේ අක්කා කියනවා කොහේ හරි ගියාම මොකක් හරි ලස්සන බෙහෙත් පෙති කාඩ් එකක් දැක්ක ගමන් දුවට ඉබේටම අමුතු ලෙඩ හැදෙනවලු.. මොකකටවත් නෙවෙයි ඒක බීල  බලන්න...
මේ පොඩි එවුන්ටත් තියෙන ආසාවල් වල හැටි.. :)

ලියා එව්වේ - Ashfa

Friday, April 5, 2013

වෙනස

සරත් මිලදීගත් අත් ට්‍රැක්ටරයේ වන්දනා ගමන අරඹා පැය කිහිපයකි, ගමන ආරම්භයේ සිටම සුරතල් පුතු පාසැලෙන් ඉගෙන ගත් නොයෙක් කවි ගායනා කල අතර දියණියද ඔහුගේ සහයට ඉදිරිපත් විය. තොර තෝංචියක් නැතුව තෙපලන බිරිඳගේ මියුරු වදන් රිය පැදවීමේ වෙහෙස නිවාලීය.

සමරසිංහ මහතාගේ බිරිඳ සිටියේ තම අසුන ඉදිරියේ ඇති කුඩා තිරයේ විකාශනය වන හින්දි චිත්‍රපටියේ නළුවාගේ දුක බෙදාගනිමිනි. දියණිය ජංගම දුරකතනයෙන් අන්තර්ජාලය හරහා ලෝකය පුරා විසිරී සිටි මිතුරු මිතුරියන් සමග සතුටු සාමීචයේ යෙදෙමින් සිටියාය. පුතා පරිගනක ක්‍රීඩාවක මාරාන්තික සටනක නියැලෙමින් සිටියේය. තව නොබෝ වෙලාවකින් ඔවුන් නවාතැනට ළඟාවනු ඇත. තම සුඛෝපභෝගී රථය පදවමින් සිටි ඔහුගේ තනියට සිටියේ වායුසමනයෙන් නිකුත් වන සිහිල් වායු දහරා පමනි.

ලියා එව්වේ - නිෂාන්

Friday, March 29, 2013

අලි කෙන්ද

මේ බලපන් මගේ අළුත් මුද්ද.

නියමයිනේ. මොකද්ද බන් ඔය මැදින් කළු පාටට තියෙන කෙන්දක් වගේ එක?

උඹට මතකද කාලෙකට කලින් පත්තරේ ගියා හබරණ කැලේ හිටපු මහ භයානක තනි අලියෙක් ගැන. ඌ ඒ පැත්තේ මිනිස්සු බර ගානක් මරලා තියෙනවා. හේන් වලට පැනලා මහ විනාශ කලා ඒ දවස් වල. අන්න ඒ අලියා පණපිටින් ඉන්නකොට උගේ වලිගෙන් ගලෝපු මවිල්  වගයක්. මේක දාගෙන ඉන්න වෙලාවට කාටවත් බය හිතෙන්නේ නැහැ. පුදුම ශක්තියක් හිතට දැනෙන්නේ.

කොහොමද දැන් උඹලාගේ ආච්චිට

එයාගේ ඔළුව හොඳ නැහැ බන්

ඒ මොකෝ

මැරිච්ච්ච සීයගේ කෙස් ගස් ටිකක් වලල්ලක ඔතාගෙන හැමවෙලේම දාගෙන ඉන්නවා, උන්දෑ කියන්නේ ඒක තිබුනම සීයාගේ ආරක්ෂාව ලැබෙනවා, බයක් නැහැ කියලා.

ලියා එව්වේ - නිෂාන්

Monday, March 25, 2013

හැමදාම තියේනම් ෂෝක් නේද අම්මෙ?

වරෙල්ලා මේ කහට ඩිංග බීලා නටාපල්ලා.
සි..ර්යාවතී....... සිරියාතියේ...
ම..ටත්.. ඩිංගක්...
අම්මට ලුණු කැඳ ඇති.
හ්ම්හ්..
ඊයෙ මං.. හීනයක් දැක්කා...
මෙහෙ දානයක් තිබුණා බං...
අපරාදෙ මාස ගානක් කන්ඩ ඇති බං අපට
මට මේං මීට වැඩිය කන්ඩ බැරිවුණා හ්ම්හ්... හැති බං...
හ්ම්... හෙටනං උඩහ නෙළන්ඩ යනවා. දෙසිය පනහක් හම්බුවෙයි.
අම්මේ... අම්මේ....!
අනේ... අම්මේ...!!
ඕනෙ දෙයක් තියෙනවනම් කියන්ඩ සිරියාවතී.
මරණාධාරෙන් කරල දෙනව මහත්තයා....
මොකද වුණේ?
කන්ඩ බැරිවුණා....
අපේ නැන්දම්මටත් ඕකනෙ. සස්ටජන් ටික බීගන්ඩ බැරිවුණා.
මොනව වුණත් වාසනාවන්ත මරණයක්.
එකතැන් වුණේ නෑනෙ.
හ්ම්.....
දැන් උයන්නෙ කොහේද?
බස් ගෙදර...
අම්මෙ අපි බත් කෑවා ජාති ගොඩක් එක්ක.
හරි රහයි අම්මෙ.
හැමදාම මෙහෙම තියේනම් ෂෝක් නේද අම්මෙ?

ලියා එව්වේ - මගේ ජීවිතය

Friday, March 22, 2013

ආදරයද මේ.....

සඳ...
ඔයා දන්නවද පැටියෝ මන් ඔයාට කොච්චර ආදරේද කියලා.....
මන් මේ මුළු ලෝකෙටත් වඩා ඔයාට ආදරෙයි රත්තරන්...
මන් මගේ ජීවිතේටත් වඩා ඔයාට ආදරෙයි....  
ඔයාගෙන් තොර ලෝකයක් මට නැහැ.... 
ඔයාට මොනවා හරි උනොත් මන් මැරෙනකම් ඔයා එක්ක ඉන්නවා..... 
ඔයාව මගේ ඇස් දෙක වගේ ජීවිත කාලෙම බලාගන්නවා.....
ඔයාගේ සතුට තමයි මගේත් එකම සතුට.......

මන් අද හවසට පොඩ්ඩක් එළියට යනවා.....

ඒ මොකටද.....

අද අපි පොඩ්ඩක් සෙට් වෙනවා..... යාළුවෙක් ගේ උපන්දිනේ....

එපා අද ඒකට යන්න...
ඔහොම ගිහින් බීලා ඔයාට මොනවා හරි ලෙඩක් එහෙම හැදුනොත් මට මොකද වෙන්නේ...
කවුද මාව බලා ගන්නේ....

ඇයි දැන් ඔයා කිව්වේ මට ගොඩක් ආදරෙයි, මොනවා උනත් මාව බලා ගන්නවා කියලා......

ලියා එව්වේ - නිෂාන්

Related Posts Plugin for WordPress, Blogger...