Wednesday, September 13, 2023

මේක තමයි සංසාරෙ ණය ගණුදෙනුව

ටීවී එක කැඩෙන්න කලින් ඒක බැලුවෙ අම්මයි තාත්තයි විතරයි. තාත්ත ක්‍රීඩා. අම්ම කුකිං සහ ටෙලි.

ටීවී එක නැති එකෙන් අම්මටයි ලොකුම පාඩුව. තාත්ත ෆෝන් එකෙන් යූටියුබ් ගිහින් එයාට ඕන ඒව බලනව. අම්මත් තාත්තගෙන් ෆෝන් එක ඉල්ලන් යූටියුබ් ඉගෙනගෙන එයාගෙ ප්‍රෝග්‍රෑම් බලන්න ගත්තා. ඒ වෙලාවට අම්මට ෆෝන් එක දීල තාත්ත ඉන්නෙ මූණ ඇඹුල් කරන්.

ඉතිං පැයෙන් දෙකෙන් බැටරි බහින පරණ ෆෝන් එකක් අම්මට හදල දුන්නා.

ඊට පස්සෙ දෙන්නා කාමරේ ඉඳන් තමන් කැමති වීඩියෝ බලන්න ගිහින් වලි.

අම්ම කියනව තාත්තට එලියට ගිහින් බලන්නලු. සද්දෙලු.

අම්ම කාමරේ ඉඳන් බලනව.

තාත්ත සාලෙට වෙලා බලනව.

ෆෝන් එහෙමයි ආදරේ මැදට ආවේ.

ඒව තමයි සංසාර ණය ගණුදෙනු


ලියා එව්වේ - Hare :-)

Tuesday, February 14, 2023

අම්මගෙ ආදරේ...

රෙදි ටික පුටුව උඩින් තියන්න. අතේ හෝදනව වගේ නෑ වොෂිං මැෂින් එකේ...

මිදුලෙ කොල තියෙන්න හොඳ නෑ. ඔයාලගෙ යාළුවොනෙ වැඩිපුරම එන්නේ.

උදේ හතරට නැගිටින එක මහ වැඩක්ද?

මකුළුවන්ට මොකටද මානව හිමිකම්?

අදට විතරක් සීනි දාල තේ බොන්නං...

කුරුල්ලන්ට බත් ටිකක් තිබ්බද?

අපි තරුණ කාලෙ ඕව ඕනතරං කාල තියෙනව. මං කාල ඉවරයි. ඔයාල කන්න.

ගෙදර ඉන්න ටික වෙලාවෙත් ඕකට මූණ ඔබාගෙන...

නිවාඩු දවසෙවත් ගෙදරට වෙලා ඉන්න බැරිද?

පානාතිපාතා... දුප් හොර පූස!

මේ බල්ලා හපල දායි. නැත්තං මං උන්ව ගෙදර ගෙනත් හදනව.

නිවාඩු දවසෙවත් ඒ ළමයට නිදහසේ ඉන්න දෙන්න.

සරම ඩිසයින් දාල මැහුවට ඔච්චර ඔරවන්නෙ මොකටද? මැෂින් එකේ ඩිසයින් තියෙන්නෙ ඒව මහන්න



ලියා එව්වේ - Hare :-)

Friday, November 29, 2019

අයිති කරගැනීම

ඔහු ඇඳ මත වැතිර හිටියේ හිසත් කොට්ටයත් අතර දෙඅත් හොවාගෙන කාමරය පුරා රැඳුණු ඇගේ සුවඳ විඳිමින්...

මේ හැඟීමට කියන්නෙ අයිති කරගැනීමේ ආසාව කියලා. ඒක අවසානයේ ඉතිරි කරන්නෙ දරාගන්න අමාරු වේදනාවක්. හදවත රිද්දන ඔළුව විකාර කරන සිහිය අවුල් කරන වේදනාවක්.
ඒත් වේදනාවක් බව දැන දැනත් ඒ හැඟීම හඹා යන එක මනුස්ස ස්වභාවයද?

බොහොම හුරු ඒ අත්දැකීම ඇයට කොහොම පැහැදිලි කරන්නද?

නැතිනම් ඇය දැනටත් ඒ බව තේරුම් අරන්ද?

ඈ හිටියේ පිටව යන්න සූදානම් වෙමින් තුවාය ඇඳ විට්ටමේ වනා ඇඳුම් ඇඟලන්නට පටන්ගනිමින්...

ඔහුගේත් ඇයගේත් ලෝකය පවතින්නෙ අද හවස් වෙනකල් විතරයි.

ඊට පස්සෙ වෙනත් අය එක්ක බෙදාගත්තු තමන්ගේ නිරස ස්ථිර ලෝකවලට ඔවුන්ට යන්න වෙනව.




ලියා එව්වේ - Hare :-)

Thursday, November 28, 2019

වඳවීමෙන් ගැලවීමට...


"අන්තිමේ උඹ ආව නේද?"

ගැඹුරු හඬක් තිබුණ මිනිහා ඉමාන්ගෙන් ඇහුවා. ඉමාන්ට තව දුරටත් වේදනාවක් නොදැණෙන පාවෙනසුළු සැහැල්ලු බවක් දැනෙමින් තිබුණා. ඔහු දිය පාර දිහාට හෙමින් ඇවිද්දා.

"උඹල නැත්තටම නැති වෙන්නෙ නෑ උන්ගෙ ගොදුරක් වුණානං...."

මිනිහා දිගටම කියෙව්වා. ඔහු සතු වුණේ හිස් බැල්මක්. ඒ බැල්ම තුල ඔහු ලෝකයම තේරුම් අරගත් බව පෙණුනා.

"හරක්, කුකුල්ලු, ඌරො ඔක්කොම තව කාලෙකට නැති වෙලා යන්නෙ නෑ. උන් ජීවත් වෙන්නෙම ගොදුරු වෙන්න බලාගෙන..."

මිනිහා ඉමාන්ගෙ පිට අතගෑවා.

"උඹලවත් කෑමට ඇති කලානං කාලෙකට නැතිවෙන්නෙ නෑ..."


ඉමාන් යනු පසුගිය නොවැම්බර් 23 දින මිය ගිය මැලේසියාවේ වාසය කල අවසන් සුමාත්‍රියානු රයිනෝයි. ලෝකයේ සුමාත්‍රියානු රයිනෝවන් තවත් ඇත්තේ 80කටත් අඩු ගණනක්.


ලියා එව්වේ - Hare :- )

Monday, July 17, 2017

ඇයයි රළයි මමයි

මුහුදත් ගැහැණිය බඳුය. විටෙක නිශ්චලය. එවිට මුහුදු පෘෂ්ටය කන්නාඩියක් මෙන් දිලිසේ. විටෙක චණ්ඩය. එවිට නෞකාවකුදු එය තරණය කිරීමට නිර්භීත නොවේ. විටක වෙරල ඉක්මවා ගොඩබිම ආක්‍රමණය කරයි. වැඩි කලබලයක් නැතිව හඬ නංවමින් සිටි.

බැම්මේ ඉහලින් වාඩිවී මාත් මට පියවරක් පහලින් තිබු බැම්මේ වාඩිවී ඈත් සිටින අතර අපේ දෑත් සිර නොවී, ඒත් මිදෙන්නටත් නොහැකිව වෙලී තිබුණි. ඇය හිස මාගේ දකුණු බාහුවේ තබා මදක් දකුණු පැත්තකට ඇල කර මහා සැනසුමකින් සුළං හඬ අසමින් අඩසඳ පායා තිබූ රාත්‍රියේ පෙනෙන නොපෙනන රළ බිඳුම බලා සිටියාය.

මම ඇයට හොරා හෝරා ගණනක් ඇය දෙස බලා සිටියෙමි.

ඇය එක්වරම හිස ඔසවා මා දෙස බැලුවාය.

මම මුහුද දෙස බැලීමි.


ලියා එව්වේ - ප්‍රභාත් විතානගේ |  saimaas.blogspot.com

Related Posts Plugin for WordPress, Blogger...