Showing posts with label දුමී. Show all posts
Showing posts with label දුමී. Show all posts

Wednesday, April 8, 2015

ප්‍රථම ප්‍රේමේ

දුමී බබා කාලේ ප්‍රථම ප්‍රේමේ ඇති උනේ මොන්ටිසෝරියේ ඉන්නකොට.....! එයා දමයන්ති........! මුන ගැහුනේ නුගේගොඩ බෝගහ හරියේ තිබ්බ මොන්ටිසෝරියක. පරම පිවිතුරු ආදරයක් ඒක....!

එයාව ඔංචිල්ලාවෙ තියලා තල්ලු කරන්න, කෝම්පිට්ටු හදන්න පොල් කටු හොයන්න, කෝම්පිට්ටු හදනකන් ලඟට වෙලා බාබා බ්ලැක්ශීප් කියන්න වගේ රාජකාරී තමයි දුමීට තිබුනේ.....!

දුමීව වගේම තව බබාලා ගොඩක් එක පාර එක්ක යන්න එන්න පැවරිලා තිබුනේ ආරියවතී ආච්චිට. ආරියවතී ආච්චි එන්නේ ටිකක් පරක්කු වෙලා.

දමයන්තිගේ අම්මා කලින්ම එනවා. ඒ එනකම් දුමී කරන්නේ දමයන්තිගේ අතින් අල්ලගෙන එයත් එක්ක ඔංචිලාව ලඟ බංකුවේ වාඩි වෙලා ඉන්න එක.

ටික දවසකට පස්සෙ මේ සම්බන්දේ දමයන්තිගේ ගෙදරට ආරංච් වෙලා එයාගේ අම්මලා එයාව මොන්ටිසෝරියෙන් අස් කරගෙන ගියා.....!

ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

Friday, September 9, 2011

ග්‍රීස් යකා

"අපේ ගමේ හිටිය කියන ග්‍රීස් යකාව අහුවෙලා කියන්නේ..."
"ඔව් ඔව්, ඌට අතපය කැඩෙන්නම හොඳටම ගහලා තියෙනවා ගහක බැඳලා..."
"ඉතින් කවුද කොහොමද ඌව හොයාගෙන තියනවා කියන්නේ....?"
"අර අහවල් ඇමති තුමාගේ හොට් ලයින් එකට කවුද ඔත්තුව දීලා තියෙන්නේ. ඉතින් එතුමා වහාම ක්‍රියාත්මක වෙලා, හොඳට හොයලා බලලා පුද්ගලිකවම ගිහිල්ලා තමයි ඌව ගෙදරින් එලියට ඇදගෙන ඇවිල්ලා ගස් බැඳලා තියෙන්නෙ.........!"
"ඉතින් කොහොමද ඔප්පු කරන්නේ ඒ ග්‍රීස් යකාමයි කියලා....?"
"ආයෙත් අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නෑනේ, ඒක මේ ගමේ හැමෝම දන්නවා....!"
"ඒ කොහොමද බං ඒ...?"
"ඇයි බං... පහුගිය කාලේ හැම අවුරුද්දකම, සිංහල අවුරුද්දට තියෙන අවුරුදු උත්සවයේ ග්‍රීස් ගහේ නැගලා කොඩිය ගන්නේ ඌ තමයි. ඌ ඇවිල්ල මාර යකෙක්....!"

ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

Sunday, August 21, 2011

ගල් වඩ්ඩා

"වරායකුත් හැදුවලු නේද....."

"ඔව්, හැදුවා තමයි, ඉතින් මොකද...?"

"ඒත් නැව් එන්නේ නෑල්ලුනේ..... මොකද ඒ?"

"තඩි ගලක් තියෙනවලු......?"

"කවුද එහෙම කියන්නේ....?"

"ඔය හැමෝම කියන්නේ.....!"

"ඉතින් ඔය ගල අයින් කරන එකනේ තියෙන්නේ.....!"

"අර අන්දරේගේ කාලෙත් රජ්ජුරුවන්ගේ කුඹුරක ගලක් තිබුනලු නේද..?"

"ඔව් ඔව් තිබුනැයි කියන්නේ......!"

"ඒක අයින් කලාද...?"

"කවුද දන්නේ.....?"

"ඉස්සර රාජ සභාවේ අන්දරේ හරි හිටියනේ ඉදිරිපත් වෙලා ගල අයින් කරන්න.... දැන් රාජ සභාවෙ එහෙම කවුරුත් නැද්ද......?"

"ගල අයින් කරන්න පුළුවං ගල් වඩ්ඩෙක්ද ?"

"ඔව් ඔව්"

"දැන් රාජ සභාවෙ ඉන්න හැමෝම අන්දරේලා තමයි, හැබැයි ඉන්න තරමක් ගල් වඩ්ඩෝ නෙමෙයි ගල් ආඳෝ... උන් ගල් අයින් කරන්න දන්නේ නෑ.... නියමෙට ගල උඩින් ලිස්සල නම් යයි.....!"



ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com/)

Tuesday, July 26, 2011

පොත් ලිස්ට් එක

"ශමාල්, ඉස්කෝලෙන් පුතාගේ පොත් ලිස්ට් එක එවලා......!"

"නෙත්මි, අපි හවසට ගිහින් ගමු, මොනවද ගන්න ඔනේ....?"

"අවුරුදු දෙකක්ම පුතා iPad එක පාවිච්චි කරානේ, අළුත් සොෆ්ට්වේයාර් දැන් ඒකෙ වැඩ කරන්නෙ නෑ. ලිස්ට් එකෙත් තියෙනවා ලේටස්ට්ම එක ගන්න කියලා....."

"වෙන මොනවද...?"

"ඊලඟ අවුරුද්දේ ඔක්කොම පාඩම් පොත් ටික...., ඒවා එන්නේ බ්ලූ-රේ ඩිස්ක් වල, විද්‍යාව, සමාජ අධ්‍යනය, ගණිතය වගේ ඒව ටිකත් ගන්න වෙනවා......!"

"අනික ශමාල්, පුතාට දැන් තියෙන ඩේටා ප්ලෑන් එක අළුත් පන්තියට මදි වෙයි, අප්ග්‍රේඩ් කරන්න වෙනවා. එක්සෑම් ඔක්කොම තියෙන්නෙ ඔන්ලයින්නේ....!"

"හ්ම්ම් නෙත්මි දන්නවද, මම අහලා තියෙනවා අපේ සීයලට පොඩි කාලේ තිබිලා තියෙන්නෙ ගල් ලෑල්ලද මොකක්ද කියලා එකක්ලු, ඒක ඔපෙරේට් කරලා තියෙන්නෙ බැට්රිවත් නැතුවලු....."

ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

Sunday, July 17, 2011

රුපියල් දහය

"ලොකු පුතේ ගිහින් පාං ගෙඩියක් ගේන්න..."

"අම්මේ, මට සව්කොල තුනක් ඕනෙ, සිසිර අයියා හදලා දුන්න සරුංගලේට...”

"සරුංගල්වල අලවන්න දෙන්න සල්ලි නෑ මට....."

බයිසිකල් රිම් එක කෝටුවකින් පැදගෙන මම දිව්වා කඩේට. එහා ගෙදර සුරංගි නංගිගේ තාත්තා අදත් බීලා, වැනි වැනි එනවා පාර දිගේ......

"පාරේ අයිනේ රුපියල් දහයක් වැටිලා... හුරේ... සව්කොල ගැත්තෑකි..."

"ඇන්ටී....!" අපේ දොර ගාව සුරංගි නංගී කෑ ගහනවා...

"මොකද පුතේ....?" අම්මා අහනවා.

"මල්ලි බඩගින්නේ අඬනවා. අම්මා හාල් හුණ්ඩුවක් තියෙනවනම් ඉල්ලං එන්න කිව්වා. හාල් ගන්න දීපු රුපියල් දහය තාත්තා නැති කරගෙන........"

ඉංග්‍රීසි කොඩිය අලෝපු කොම්බුවට රැලි කපන අතරේ මට යාන්තන් ඇහුනා..........

කොහෙන් හරි ආපු මැස්සෙක් පාප්ප පොල් කට්ටට වැටිලා දඟලන්න ගත්තා.........

ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

Sunday, March 6, 2011

අනේ බුදු හාමුදුරුවනේ !

මාව පන්සලට බාර දෙනකොට මට වයස හයයිලු...
පන්සලට දුන්නේ මගේ හතර කේන්දරේ පාළු නිසාලු...
මගෙන් ගෙදරට ගොඩක් අපලයිලු...
එතකොට මගෙන් පන්සලට අපල නැද්ද බුදු හාමුදුරුවනේ...?

කොට කලිසමෙන් මල්ලිත් එක්ක නියර දිගේ හැල්මේ දුවපු මට,
මේ කහ පාට සිවුර හරිම බරයි....
පන්සලට එන්න උනේ වක්කඩේ දණ්ඩියෝ, තිත්තයො අල්ලපු පවට නම්,
මම ආයේ උන්ව අල්ලන්නෙ නැතිව ඉන්නම්...
අනේ, මට ආපහු ගෙදර යන්න දෙනවද බුදු හාමුදුරුවනේ......?

මම මීට පස්සෙ අමාරුවෙන් හෝඩි පොත කියවන්නම්......
අම්මා ඉඳල හිටල අනින ටොක්කට ටිකක් රිදුනත්.....
පස්සෙ දුක හිතිලා අම්මා ඔළුව අත ගානකොට හරිම සනීපයි....
බණ පොත වරදිද්දි තරහෙන් වදින,
ලොකු හාමුදුරුවන්ගේ ටොක්ක නම්, අනේ ඉවසන්න බෑ බුදු හාමුදුරුවනේ....


ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

Tuesday, February 22, 2011

තංගච්චි

තංගච්චි, මම උඹට වෙඩි තිබ්බා......

මට කියලා දීලා තිබුනු විදිහටම මම උඹට වෙඩි තිබ්බා......

උඹ අයිති උන්ට නිසා මම උඹට වෙඩි තිබ්බා............

උඹත් මට වෙඩි තියන්න බලාගෙන ඉන්න ඇති........

උඹට උන් කියලා දීල තිබුනු විදිහටම,

මට වෙඩි තියන්න උඹ බලාගෙන ඉන්න ඇති........

ඒත් මම අද ඉස්සර උනා.....

උඹලගේ බංකරේ කුඩු වෙලා යන්නම මම වෙඩි තිබ්බා.......

උඹ වකුටු වෙලා මැරිලා ගල්තලාවක් උඩ.......

උඹේ සඟයෝ රොත්තත් එක්කම උඹ මැරිලා........

උඹට, මට වෙඩි තියන්න ලැබුනේ නෑ...........

උඹ වකුටු වෙලා ඉන්නේ වේදනාවටද.......?

නැතිනම් බඩගින්නටද..........?

උඹ මැරෙනකොට උඹේ අතේ තිබුනේ තුවක්කුව නෙමෙයි........

උඹ අතේ ගුලි කරගෙන හිටියේ,

දවස් ගානකට පස්සෙ උඹට කන්න ලැබිච්ච පාන් කාල..........


ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

Saturday, February 12, 2011

බලු ටෝක්

"අඩෝ ටොමී, කොහෙද මේ ආත බූත කාඩෙගෙන දුවන්නෙ...?"
"ආහ්... බූලා, කොහොමද මචං. හුඟ දවසකින් එළියට ආවෙ... පහුගිය දවස්වල බැඳලමයි හිටියේ....!"
"ඒ මොකෝ බං... උඹව එහෙම වෙනදට බැඳල තියන්නෙ නෑනෙ...!"
"ඒක තමයි බං... මේ මිනිස්සුන්ගෙ හැටිනෙ... ඊරිසියාකාර හැත්ත... මම රැළේ යනවළු...!"
“ඇයි උන් කියලා අපිට බැල්ලියෝ ගෙනැල්ලා දෙනවද.........?”
“ඒකනෙ කියන්නෙ... කාට කියන්නද බං..........?”
"මොකෝ බං උඹ කහන්නෙ..? ඇඟේ මැක්කොද...?"
"මැක්කෝ...? පිස්සුද බං...? මගෙ ඇඟේ එක මැක්කෙක්වත් හිටියේ නෑ කියලා උඹ දන්නවනේ..!”
“එහෙනං කහන්නෙ මොකද උකුණොද...?
“ඊයෙ අපේ ගෙදර ගෑනි මාව තුරුළු කරන් හිටියනෙ... මගේ බූල් වලට ඒකි හරිම ආසයි......!”
“ඕක තමයි බං කියන්නෙ, මිනිස්සුත් එක්ක ලැග්ගොත්, උකුණොත් එක්ක නැගිටින්න වෙනවා කියලා....!”

ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

Sunday, February 6, 2011

භීෂණයේ දවසක්

"සමීර...! වරෙන් යන්න....!"

"කොහෙද....?"

"නැගිටපන්.... ද්‍රෝහියෙකුට පාඩමක්....."

"මට බෑ... කමල්ව එක්ක පලයන්....."

"අද උඹේ වාරේ..."

"කවුද.....?"

"ප්‍රාදේශීය සභාවේ සභාපති...."

“දෙයියනේ... විලියම් බාප්පා.... මට බෑ යකෝ...!”

"උඹ දිව්රලා තියෙන්නෙ ව්‍යාපාරය වෙනුවෙන් තාත්තට හරි කොකා ගස්සනවා කියලා.... ගනින් තුවක්කුව..."

...............................

ටක්.. ටක්.. ටක්...

"කවුද....?"

"අපි පොලීසියෙන්, ඇරපන් දොර.... නැත්නම් කඩනවා..."

ක්‍රීස්.......!

"උඹව තමයි අපිට ඕනෙ... වරෙන් එළියට... සමීර ගනින් මූව..."

"අනේ මගේ පුතා බාප්පට මුකුත් කරන්න එපා....."

"සුනිලා නැන්දේ දොර වහගන්න......."

“ඩෝං.........!!!!!”

"දෙයියනේ, පුතේ උඹේ පෙකණි වැල කැපුවෙ මගේ මේ අත් දෙකෙන්.... උඹේ අම්ම නැති උන වෙලේ උඹට කිරි දුන්නෙ මගේ තනෙන්..... උඹ ඇයි මගේ මිනිහව මැරුවේ...?"

“මට සමාවෙයන් මගේ අම්මේ....”

“ඩෝං...”

“සමීර.....!!!!!!”


ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

Sunday, January 23, 2011

විසි වසරකට පෙර..

"අද 91, ජනවාරි පළවෙනිදා, මෙයා තාමත් නෑනෙ...........!"

"මාර චාටර් එක, එනවා කිව්වහම වෙලාවට එන්නෙ නැහැ.........!"

"මම විනාඩියක් පරක්කු උනොත් තමයි විජ්ජුම්බරේ........"

"ෂිහ්... මොබයිල් එකට කෝල් එකක්වත් දීල පරක්කු වෙනවා කියන්නවත් තිබුනා.....!"

“නැතිනම් එස්.එම්.එස් එකක්........”

“අද එන්නෙ නැතිව වත්ද........?”

“එහෙම උනොත්, ගෙදර ගිය ගමන් ලැප් එකට ඩොන්ගල් එක ගහල යනවා නෙට්...”

“දෙන්නම් මම ගුගුල් ටෝක් එකෙන්.......!”

"ස්කයිප් එකේ හරි ඉන්නෙ නැතෑ... දෙන්නං පොරි හැලෙන්න...!"

“බැරිම උනොත් ෆේස් බූක් මැසේජ් එකක් යවනවා............!”

“වෝල් එකෙත් මොනව හරි ලියල දානවා ඔක්කෝටම පේන්න............!”

“හුටා, තාම 91 නේද...........?

“මොබයිල්, එස්.එම්.එස්, ලැප්, ඩොන්ගල්, නෙට්, ගූගුල් ටෝක්, ෆේස් බූක්.........”

“මේවා තාමත් හොයාගෙන නෑනෙ..........!”

“ඉතින් කොහොමද යකෝ ලව් කරන්නෙ....?”

ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

Thursday, January 20, 2011

ඇය වෙත සෙනෙහසින්..

දුටිමි නුඹ පළමු දින පාසල කරා යන මගක
රුසිරු රුව, කමල වත සුලාලිත පියවර තඹර
නුවන් නුව රද ගැටී සලිත විමි සිත් පවුර
නාදළුද පැරදවූ තොල් යුවල මතු කල සිරිය
දිනෙන් දින හිරි වැටී නුඹ සෙනෙහෙ සොයන සිත
ඔද වැටී සළිත විය නුඹේ සෙනෙහෙ දිනූ දින
හදට හද තුරුළු වී විහඟ යුවලක් ලෙසට
සොඳුරු පෙම් මාවතේ නිම් තෙරට ඉගිල ගිය
මගෙම සොඳුරිය වෙලා මසතු විය එදින
නිරතුරුවම රැදෙයි වී සිසිල් සෙවනැල්ල
නුඹ රුසිරු දිය කෙරූ ස්නේහෙ කිරි කඳුළු කැට
පොවමින්ද රකින සඳ මගේ දරු දැරියන් නිතින
නුඹ සුරත මට හිමිවු දිනය සමරන මෙදින
පතනෙමිය මගෙම වී මට ලැබෙනු මතු සසර..


ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com/)

Sunday, January 16, 2011

පේනය..

"දේව මෑණියෝ, පේනයක් බලන්න කියලා ආවේ......."
"හොඳයි, අන්ජනම් අඳුන තියෙන කාමරයටම එන්න......"
"හොඳමයි...."
"අන්ජනම් දේවි පහනට වැඩලා ඉන්නෙ,  නැතිවෙච්ච දෙයක් වගේ පෙන්නන්නෙ......"
"එහෙමයි..."
"බොහෝම වටිනා දෙයක්, කවුරු හරි හොරකං කරල වගේ..."
"එහෙමයි..."
“අන්න දැන් හනුමා එනවා පැනගෙන..”
"එහෙමයි..."
“දැකලා පුරුදු පැත්තක තමා හනුමා කැරකෙන්නෙ....”
"එහෙමයි..."
“අන්න අන්න දැන් තාප්පයක් තියෙන ගේට්ටුවකින් ඇතුළු උනා...”
"එහෙමයි..."
“ඔන්න හනුමා දැන් ගේ එලිපත්තෙ ඉඳන් ගේ ඇතුල බලාගෙන ඉන්නවා.... ඇතුලට යන්නයි හදන්නෙ...”
"එහෙමයි... එහෙමයි....."
"අන්න අන්න, රිලවෙක් රිලවෙක්.. කොල්ලෝ... අල්ලපියෝ මෙන්න ගෙට රිලවෙක් ඇවිල්ලෝ......"
“දේව මෑණියෝ කොහෙද දුවන්නෙ....?”
“අපේ කොල්ලා අද දවල් ගෙනාපු පාන් ගෙඩිය මෙන්න රිලවෙක් අරගෙන යනවෝ...”
“මෑණියෝ, අපෙත් නැති උනේ පාන් ගෙඩියක්....!”

ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

Thursday, January 13, 2011

කල්‍යාණි

"මේ ඒයි..."

"මොකද බං... පොඩ්ඩක් හිටපන් මම තාම කෑවෙත් නෑ.."

"පොඩ්ඩකට මෙහාට එන්නකෝ....."

"හිටපන් බං බත් කටක් කනකන්, නැතිනම් අරුං මට බත් ඇටයක්වත් තියන එකක් නැහැ..."

"එහෙනන් බත් කාල එන්නකෝ...."

"හරි ඇයි කල්‍යාණි කතා කලේ...?"

"ආ ඔයාගෙ කෙමෙස්ට්‍රි පොත, මම නෝට්ස් ටික ලියා ගත්තා..."

"බලපං, උඹට පොත දීපු නිසා මටත් පාඩං කරන්න බැරි උනා..."

“මේ එක නෙමෙයි, අර ඉස්සරහා පේලියේ ඉන්න බෝයි මගෙන් යාළුවෙන්න ඇහුවා...."

“නියමයිනෙ, ඉතින් උඹ හා කිව්වද..?

“මම ඔයාව පෙන්නල ඔයා මගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියල කිව්වා, කමක් නැද්ද..?”

“කල්‍යාණි.....!, මට කෙල්ලෙක් ඉන්නවනේ....”

කල්‍යාණි බිම බලාගෙන........

“මා තනිවී නැත ලෝකේ............... මටද කුමාරියක් ඇතේ.............”

නාමල් උඩුගම ඈතින් ලයාන්විතව ගයනවා....


ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

Monday, January 10, 2011

පොල් ටොපි

පොල් ටොපියක් සත විසි පහයි
හරිම හරි ලාබයි

රුපියල් දෙකට පොල් ටොපි අටක් ලැබෙනවා
හරිම හරි රසයි

රෝස පාට, ලා කොල පාට, කහ පාට, ලා නිල්පාට පොල් ටොපි
කටේ දාගන්න විතරයි තියෙන්නෙ
කට ඇතුලෙදිම දියවෙලා
පොල් කෑලි ටික විතරක් කටේ ඉතුරුවෙනවා

වැඩිය කෑවොත් මත් වෙලා යනවා
රස වැඩි කමටද කොහෙද

ඔයාට මතකද, බෝමලුවේ බිම වාඩි වෙලා
අපි දෙන්නා පොල් ටොපි කාපු හැටි

මම පොල් ටොපි අරගෙන එනකන් ඔයා බෝමළුවෙ බලාගෙන හිටියා
මම කලින් ආපු දවසට ඔයා එනකන් මම බලගෙන හිටියා
ඔයා ඈතට ඉගිලිලා ගියා

මම බලාගෙන හිටියා
පොල් ටොපි අතේ තියාගෙන
ඒවා අතේම දියවෙලා

පොල් ටොපි
හරියට උඹේ ආදරය වගේමයි...


ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

Friday, January 7, 2011

මම සමනලියක්

"ඔයා ගොඩක් ලස්සනයි.....!"

"ම්හ්...."

"ඔයා කවුද...?"

"මම සමනලියක්......?"

"ඒක නම් ඇත්ත... ඔයා සමනලියක් තමයි.... හරිම ලස්සනයි"

"ම්හ්...."

"මම බඹරෙක්....."

"ම්හ්..."

"ඔයා බඹරුන්ට ආස නැද්ද....?"

"නෑහ්.... ඇයි මම බඹරුන්ට ආස වෙන්නෙ...?"

"ඇයි බැරි...?"

"මම මලක් නෙමෙයි, මම සමනලියක්..."

"එහෙනම් මම සමනලයෙක් වෙන්නම්.... ඔයා කැමතිද..?

"නෑහ්... ඔයා බඹරෙක් විදිහට ඉන්න... ගොඩක් මල් කැමති බඹරුන්ට..."

"සමනලියෝ බඹරුන්ට ආදරේ කරන්නෙ නැද්ද.....?

"නෑ... සමනල්ලු ආදරේ මල් වලට..... බඹරුන්ට ආදරේ කරන්න බැහැ..."

"ඔව්, මම මල් වල පැණි උරනවා තමයි.. ඒ උනාට ඔයා වගේ ලස්සන සමනලියන්ටත් මම ආසයි..."

"ඔයා වගෙම මම කරන්නෙත් මල් වල පැණි උරන එක, මම කැමති ඒකට..."

"ඒක සම්මතයද අසම්මතයද..?"

"මම දන්නෙ නෑ ඒක..."


ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

Monday, January 3, 2011

කිකිළියගේ යශෝරාවය

නුඹ මා කුස රැඳුනු දින....
සියක් දහසක් සිහින මැවිනි මසිත....
මව් කිකිළියක් වෙන දින නුදුරේම මල් පළ දරාවි...
තැබුවෙමි පය පරිස්සමින්, වෙයි අනතුරක් යැයි සිතා නුඹ හට...
ඇහිඳ කෑවෙමි ඉස්තරම් පණුවන් නුඹ වෙනුවෙන් මම...

පාරම් බෑවෙමි අනිත් කිකිළියන් හා මම.....
එකියක් සිනිඳුවට හොටින්  කුස පිරි මැද කොක් හඬලති....
නුඹ පියානන් මවෙත ආදර බැළුම් හෙලයි..…
සඟවමි මම කෝල නෙතු ඔහු වෙතින්.......
නුදුරේම නුඹ මගෙ පසුපස දැවටෙනු ඇති......
ඇවිදිමි නුඹ සමග ආඩම්බරයෙන් අනිත් කිකිළියන්ටත් පෙනෙන ලෙස......
නුඹට පණුවන් ඇහිඳින හැටි කියා දෙමි.......
එනමුදු, හොත් දිනම සොරා ගොසිනි නුඹ......
කෙලෙස සිතන්නද මම.....
හාෆ් බොයිල්, බුල්ස් අයි හෝ ඔම්ලට් එකක් වෙන්න යන වග නුඹ......

ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com/)

Tuesday, December 28, 2010

ආයෙත් කසාද බඳිනවද ?

"සිරි, ඔයා මට කොච්චර ආදරේද..?"

"මම ඔයාට ගොඩාරියක් ආදරෙයි ළමයෝ......!"

"සිරි, මම බැරිවෙලා හරි මැරුනොත් ඔයා ආපහු කසාද බඳිනවද...?"

"පිස්සුද....?, ඔයාට ඇරෙන්න මට වෙන කෙනෙකුට ආදරේ කරන්න බැහැ.....!"

"එහෙම උනොත් ඔයා පව් සිරී, මම මැරුනොත් ඔයා ආපහු බඳින්න....."

"ම්ම්ම්, ඔයා ඔච්චර කියනවනං මම බඳින්නං...."

"ඔයා බඳිනවා...?"

"ඔයා කියන හින්දා...."

"එතකොට ඔයගොල්ලෝ බැඳල ඉන්නෙ කොහෙද....?"

"මට ඉතින් වෙන තැනක් නෑනෙ, මේ ගෙදර ඇරෙන්න...."

"එතකොට ඔයගොල්ලො නිදාගන්නෙත් මේ ඇඳේමද...?"

"ම්ම්ම්... වෙන ඇඳක් නෑනේ....."

"එතකොට ඔයා එයාට මගේ රත්තරන් බඩුත් දෙනවද...?"

"ඉතින් ඒවා නිකන් අල්මාරියේ තියාගෙන ඉඳල වැඩක් නෑනෙ..."

"එතකොට ඔයා මගේ සාරි ටිකත් එයාට දෙනවද...?"

"නෑ..... එයා සාරි අඳින්නෙ නෑ....!"

"ඈහ්....?"

"ඌප්ස්...!"


ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

Thursday, November 25, 2010

බාලේ බැඳි ආලේ

එවිට මට යන්තම් අවුරුදු දාහතරයි, ඇයත් මගේ වයසේමයි.
අපි මුනගැසුනේ පංසලේ පවත්වපු උපකාරක පන්තියේදි.
ඇය අපිට ඉංග්‍රීසි සහ සිංහල උගන්වපු සර්ගේ දුව.
ආදරය මෙන්න මෙහෙමයි.
මට කියල දුන්නෙ ඇය.
පන්තියේදි අපි ඇස්වලින් කතා කලා.
සඳක් වගේ ලස්සන ඇගේ මුහුනේ මැවෙන්නෙ ලස්සන හිනාවක්.
පහුගිය මාසයෙම ඇය පන්ති ආවෙ නැහැ.
ඇයි එයා පන්ති ආවෙ නැත්තෙ.
අන්තිමටම ආපු දවසෙ ඇය මට ආපහු එන්නෙ නෑ කියලා ගියේ නැහැ.
බැරිම තැන ඇයගේ හොඳම මිතුරියගෙන් ඇහුවා.
“ඇයි එයා පන්ති එන්නෙ නැත්තෙ..?”
එයා හිනාවෙනවා.
මම ආයෙත් ඇහුවා. “ඇයි එයා එන්නෙ නැත්තෙ..?”
"එයා ලොකු වෙලා"
"මොකක්..?"
"එයා ලොකු වෙලා"
"මොකක්ද මචන් ලොකු වෙනවා කියන්නෙ..?"
මම මගේ යාළුවාගෙන් ඇහුවා.

ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

Related Posts Plugin for WordPress, Blogger...