Wednesday, September 24, 2014

ආශා මාරුතය

පින්සාරි පන්සලට අවෙ අවුරුදු පහළොවකට විතර පස්සෙ. පන්සලට ගොඩවෙනකොටම අතීත මතකයත් ඇගේ හිත ගොඩවුණා.
මංගල පොඩි සාදු පූජා කරපු මල් උඩින්ම තියල මල් පූජා කරපු හැටි, පොඩි සාදු පස්සෙන් බුද්ධ පූජාව අරන් යද්දි වැලි මළුවෙදි උන්වහන්සෙගෙ අඩි උඩම පා සටහන් තියපු හැටි ඇයට මතක් වුණා.
ආවාස ගෙයින් එළියට වඩින මංගල ලොකු හාමුදුරුවන්ගෙ පින්සාර මූණ දැකපු පින්සාරිට මතක් වුණේ දහම් පාසල් පොතක් අස්සෙ දාලා දීපු ලියුමට උන්වහන්සෙගෙන් ලැබුණු උත්තරේ,
ආශා මාරුත ඉඳුරු සිදුරකින්
රහසේ ඇදිලා රල නංවන කල
සිත් වෑ බැම්මේ වදිනු නොදී
මා ගුරු හිමියන් සිත රුව තුළ වී
මසිත රකී රළ පනාව වී...........
පින්සාරි ලොකු හාමුදුරුවන්ට දණ ගහලා වැන්දා.

ලියා එව්වේ - වර්ණ

Wednesday, September 17, 2014

නොදත් තනුවක්

පොල් අතු වහල තත් භාණ්ඩයක් කොට ගත් අනෝරා වැස්ස වයන තනුව මේ කුමක්දැයි නොදන්නා නමුත් එහි යම් මිහිරි බවක් කුසුම්ට දැණුනි. කුඩා කල සිටම ඇය මේ හඬට ආශා කළද එවැනි මතකයක් සිහි නොකළේ එය දුරදිග ගොස් පෙර වැරැද්දක් සිහිවනු ඇතැයි සිතූ නිසාවෙනි.
චීත්තයක් හිසේ සිට පෙරවාගෙන ලොකු කෙලී නිදනු දුටු කුසුම් සෙස්සන් දෙස නොබලාම උන් නිදන බව තීරණය කළාය. සිතෙහි පිරුණු මිහිරි හැඟීමකින් කුප්පි ලාම්පුවට එබී සිනාසුණු ඇයට එය නිවා දමන්නට සිතුණත් අඳුරේ ගිලෙන්නට මෙය වේලාව නොවන බව සිතුවාය.
&කුසුමේ*...  
කරුණෙගේ දයාබර විඩාබර හඬ ඇයට ඇසුණි.
එකණෙහිම වහලයේ සිදුරක් සොයා ගත් වැහි බිඳක් ලාම්පුවට පැන %චොස්^ හඬින් එය නිවා දැමුවේය.

ලියා එව්වේ - වර්ණ

Friday, September 12, 2014

ලොක්කිගෙන් ලියුමක්

බුදුසරණයි! පොඩ්ඩී වෙත ආදරෙන් ලියමි
ආදරණීය පොඩ්ඩි,
උඹට කොහොමද? අපි නම් හොඳින්. ඒක නෙමේ අපිටත් ආරංචියි උඹේ පලහිලව්ව. මාත් දැක්ක දවසක් දෙකක් උඹ කොල්ලත් එක්ක අත් අල්ලන් යනවා. මල්ලි නම් ලස්සනයි. උඹේ ඇස් වල ආදරේ පිරිල තියෙනව දැක්කම අපිටත් සතුටුයි. උඹත් ඉතින් කවදහරි ආදරේ කරන්නත් එපැයි.
හැබැයි උඹ කොල්ලත් එක්ක රවුම් ගහනව වැඩියි කියල අම්ම කිව්වා.. කමක් නෑ පොඩ්ඩියෙ ආදරේ කරපන්. ඒත්...සිහිකල්පනාවෙන්. සමහර සමනල්ලු මල්වලට වහල පැණි බීල පෙති තලල ඉගිලිලා යනවා. ඒ නිසා පරිස්සමින්. පොඩි අක්ක වගේ හැමදේම වැරදුණාම අනේ අක්කේ... කියාගෙන ඇවිත් මාව බදාගන්න තැනට වැඩ කරගන්න නම් එපා.
අදට නවතින්නම්.
මං ඔයාගෙම ආදරණීය ලොකු අක්කා
යාල් දේවි
ලියා එව්වේ - වර්ණ

Tuesday, September 9, 2014

කාක බෝධිය

කාක වසුරක මුහුව විත්
තෙමංසල පවුර රැඳි ඇසතු බීජය
සිමෙන්ති පොළවේ වූ ක්ෂුද්‍ර පෝෂණයත්, වැසි දියත් අහර කොට
ලෝකයට රිදී මුල් දිඟු කළේය......
වෙර දරා පවුර බිඳ පැලුම් ඉරි දිගේ මුදුන් මුල
ටිකෙන් ටික මහ පොළවටම ගෙනගියේය....
යවුල් පහරට වැහැරුණත් තැනෙක
හේ තිරසරව යමුල් ලා ගත්තේය...

ඇවෑමෙන් හේ මහා බෝධියක් විය..
බැලු බැලුවන්ගේ සිත් පිනවමින් රන්වන් පත් ළෙලවන්නට විය.
කෙනෙක් බුදු පිළිමයක් තැබුවේය. තවකෙක් බාරයක් ගැටගැසුවේය.
%මහා අනුහස් ඇති බෝ රජෙක්^
ඉනික්බිති පවුරකින් වටවිය. පාමුල මුනිඳු පිට දී හිඳින සුඟන්ධ කුටියක් ඉදිවිය.
මලින් පහනින් සුවඳ දුමින් නිතර නිතරම පිදෙන්නට විය.
දහස් ගණනක් කාකයෝ ඔහු ඵල ගිල සතර අත ඉගිලී ගියහ.

ලියා එව්වේ - වර්ණ

Friday, September 5, 2014

මව් ගසේ උපදෙසේ

ළමයිනේ බලාපල්ලා පිරුණු හඳ. අද තමා ඒ දවස. පෙති හොඳට දිග ඇරගෙන ඉඳපල්ලා. සුවඳ විහිදෝපල්ලා.
මුලින්ම එන්නෙ වයසක උන්දෑ. උන්දැ උස අතුවලට ළං වෙන්නෑ. ඒ හින්දා පාත අතුවල අය හොඳට මූණ දීගෙන ඉඳපල්ලා. උන්දැගෙ වට්ටියෙ සීයකට විතර ඉඩ තියෙනවා. මාත් පුළුවන් තරම් අතු පාත් කරන්නම්.
ඊළට එන්නෙ දුවයි පුතයි. එයාල නම් උස අතු පාත්කරල හරි කඩයි. එයාලත් දෙසීයකටවත් වග කියයි.
මේ තමා උඹලගෙ ජීවිතේ ලැබෙන උතුම්ම අවස්ථාව. ඒ නිසා පුළුවන් තරම් ඒ අයට පේන්න ඉඳපල්ලා.
උඹලා වගේ තවත් අය සියදහස් ගාණක් එයි. උඹලත් කොහොමහරි මල් ආසනේට නැගපල්ලා.
උඹලත් පින් කරගෙන මටයි, නිකම්ම පරවෙලා වැටිලා ගිය අයියලා අක්කලාටයිත් පිං අනුමෝදන් කරපල්ලා 

ලියා එව්වේ - වර්ණ

Tuesday, September 2, 2014

බස් තොරණ

දෙවිවරුන් මැද බුදුරදුන් වැඩ
විහිදුවති රැස් නිවී දැල්වෙන
අසන් මහතුනි වෙසක් නොමැතිව
බසයෙ දිදුලන වරුණ තොරණක....
තිරිංග තද වෙයි
තොරණ පත්තු වෙයි....
ඇන්ඩ්‍රොයිඩ් දැහැනට
සමවැදුණු හිමිනමකි
උන්වහන්සේගේ
උරහිසට බර දී නිදන
මිනිසෙකි
පළමු කොටුවේ.....
ආධාර කරති සැවොම
ලබාගනිති තුන්ඩු
මුදල් දී....
තිරිංග තද වෙයි
තොරණ පත්තු වෙයි....
මැදකොටුවෙ සිටන් යන
මහලුන්, ගැබිනියන්, ආබාධිතයන්
දැක දැකම නිදති
සෙසු කොටු අසුන්වල
බලවත්තු බවලත්තු.....
තිරිංග තද වෙයි
තොරණ පත්තු වෙයි....
අවසනම කොටුවෙහි
මදන නම් වූ
වෙනම ජාතකයක්ය.......
තිරිංග තද වෙයි
තොරණ පත්තු වෙයි....
නගිති.. නරඹති...
නිදති.. බැසයති..
සැදැහැවත් පිංවත්තු.....
ලයිව් ෂෝ විරිඳුවෙන්
කන් බෙර පළති බෆල් රාජයෝ......
තිරිංග තද වෙයි
තොරණ පත්තු වෙයි....

ලියා එව්වේ - වර්ණ

Related Posts Plugin for WordPress, Blogger...