Showing posts with label නීනු. Show all posts
Showing posts with label නීනු. Show all posts

Monday, April 4, 2016

මං අකමැති බෝනික්කන්ට.

ඉස්සර මං කැමතිම බෝනික්කන්ට. හැබැයි අපේ අක්කා ආසා වීරයන්ට. අක්කා හැම හවසකම මාව ළං කරගෙන වීරයො ගැන ලස්සන කතන්දර කියාදෙනවා. අන්තිමේදි අක්කාට කතන්දරයක වගේ වීරයෙක් හම්බුණා. දුෂ්ටයො එක්ක යුද්ධ කළා. හපන්කම් කළා. අක්කා ඒ ගැන සතුටු වුණා.

හැබැයි වීරයා ටික කාලෙකින් අතුරුදහන් වුණා. සමහරවිට තවත් යුද්ධයක් ඇති.

ඒ වුණත්  වීරයා අතුරුදහන් වුණ දුකට අක්කාට වමනෙ යන්න ගත්තා. ඒ නිසා අම්මා අක්කාගෙ කම්බුලට ගැහුවා. ඊට පස්සෙ තමයි අක්කාගෙ බඩ ඉදිමෙන්න ගත්තෙ. ටික කාලෙකින් අක්කා බෝනික්කෙක් එළියට දැම්මා. බෝනික්කාව දකිනකොට මිනිස්සු හිනා වුණා. ඒ අය හිනා වෙනකොට අක්කා ඇඬුවා. අඬලාම එපාවෙච්ච දවසක අක්කා හුස්ම ගන්නෙකත් අත්හැරියා. ඒ නිසා දැන් මං අකමැතිම බෝනික්කන්ට.

ලියා එව්වේ - නීනු (http://neranji-sulakkana.blogspot.com/) 

Monday, May 12, 2014

සිංගල් කුඩ යට ඩබල් වෙන හීන


වැස්ස දවස් වලට කොහුවල කලර් ලයිට් හරියට වැඩ නෑ. පාර පනින්න නීත්‍යානුකූලව බලාගෙන ඉන්න ඕනෙත් නෑ.මේ වගේ ටයිම් වලට ඇන්ටිලාගෙ මූණු ඉස්කෝල ටීචර් ආවෙ නැති පීරියඩ් එකක ඩෙස් උඩ නටන ළමයින්ගෙ මුහුණු තරම් සුන්දරයි. 

මෙහෙම වහිද්දියි ලංකාවේ පිරිමි ජනගහනයෙන් බාගයක් කුඩ පාවිච්චියක් නෑ කියලා පේන්නෙ. කෙල්ලන්ගෙ කුඩ අස්සෙ හිර වෙලා කොල්ලො දුක් විඳිනවා. ඔය අතරෙ ඉතින් පෙම්වතියක් හෙම ඉන්නවා නම්, ඇගේ ලේඩිස් කුඩේ තමන්ගෙ අතට අරන්, බඳ වටේ අතත් දාගෙන වදයක් නැතිව යන්නත් පුළුවන්. 

“වැස්ස වෙලාවට ඔය වෙනදාට බනින ඇන්ටිලා අංකල්ලා වුණත් බලනවා විතරයි. බනින්නෙ නෑ.“ කියලා එහෙම වදෙන් පොරෙන් යන ජෝඩුවක් දැකපු කෙල්ලෙක්, තව කොල්ලෙක්ට කියනවා මට ඇහුණා. ;)
ලියා එව්වේ - නීනු (http://neranji-sulakkana.blogspot.com/) 

Monday, May 5, 2014

කලචරල් සෙන්ටර් පොයින්ටර් අංකල්


ඒක ලොකු ආයතනයක්. එතැන ඉන්නවා අවුරුදු හැටක විතර නිතර හිනාවෙන සිකිරිටි අංකල් කෙනෙක්. ඊයෙ හවස නිල් පාට සල්වාර් එකක් ඇඳපු අවුරුදු විස්සක විතර හීනැදෑරි ගෑණු ළමයෙක් අංකල්ව පහු කරගෙන යන ගමං එතැන ටිකක් නැවතුණා.
“අංකල්, ඕස්ට්‍රේලියන් එම්බසියට යන්නෙ කොහොමද?“ ඇය ඇහුවා.
“මේ පාරෙන් හැරුණාම ඉන්දියන් කල්චර් සෙන්ටර් එක“ අංකල් කිව්වා. 
මම ඔල්මොරොන්දම් වුණා. 
ඒත් සිනාසුණු දැරිය, ඇස් ඉදිරියේ තිබූ ඕස්ට්‍රෙලියන් එම්බසිය දෙස ඇහැක්වත් නොහෙලා ඉස්සරහ අතුරු පාරෙන් හැරුණා.
මගේ ලොකු ඇස් දිහා බලලා.“බයවෙන්න එපා මහත්තයා. ඔයාකාරෙ ඇඳුමකින්, ඔය වයසෙ දැරිවියක් වයලින් එකක් උස්සගෙන කවදාවත් එම්බසියක් හොයන්නෙ නෑ.
මේ කලින් හම්බවුණු අය පාර කියලා එවපු විදිහෙ වරද“ කියලා අංකල් තවපාරක් හිනාවුණා.

ලියා එව්වේ - නීනු (http://neranji-sulakkana.blogspot.com/)

Tuesday, November 26, 2013

පෙරේරා මහත්තයා සහ බත් පිඟාන

පෙරේරා මහත්තයා පරිපාලනේ අපේ අංශෙ ලොක්කා. ලොකු ගෙයක් තියෙනවා. වාහන දෙකක්ම තියෙනවා. ජේත්තුවට අඳින මිනිහා.

හැමදාම කෑම ගේන්නෙ ගෙදරින්. කරපිංචක් ඉතුරු කරන්නෙ නෑ. හැබැයි පිඟානම කාලා ඉවර වෙනකං මාළු කෑල්ලට අතවත් තියන්නෙත් නෑ. බිත්තරයක් මස් කෑල්ලක් ගෙනාවත් එහෙම්මමයි. හැමදාම ඉතුරු කරගෙන ඉඳලා කන්නෙ අන්තිමටම.

හැමදාම මේක දැකපු ශාන්ති මිසී දවසක් ඇහුවා ඔය ගැන.

පෙරේරා මහත්තයා පොඩි කාලෙ හිටියෙ මෝදර මුඩුක්කු පේළියෙලු. ගෙවල් අස්සෙනුත් එක එකා යනවාලු. අම්මා පෙරේරා මහත්තයාව පඩිය උඩ ඉන්දලා පිඟාන අතට දීලා පොඩි කාලෙ නිතරම මෙහෙම කියනවලු.

“මහ මිනිහා හිරේ නිසා මුන් හිතන්නෙ. උඹට බිත්තරයක්වත් දෙන්න මට නෑ කියලානෙ. ඒ හන්දා ඕක පිඟානෙ තියාගෙන ඉඳලා අන්තිමට කාපං.“
ලියා එව්වේ - නීනු (http://neranji-sulakkana.blogspot.com/)

Friday, November 22, 2013

විද්‍යුත් ප්‍රේමයේ ආදීනව හෙවත් Good Morning Sweet Heart

ස්ටාෆ් රූම් එක කෙළවර ඇය හඬනවා.
පෙම්වතාගෙන් Good Morning Message එක ඇවිත් නැති වේදනාවට.

සියලු ගුරු යෙහෙළියො ප්‍රේමෝපදේශ දෙන්න වෙනදා වගේම ඇයව වට කරගෙන.
පීරියඩ් එකට තව වෙලාව තියනවා.
ඉතින් මමත් පාඨමාලාවට සවන් දුන්නා.

ශානි- ඌව අතෑරපං. ඔහොම අය වැඩක් නෑනෙ
වින්දි- Sure වෙන කෙල්ලෙක් ඇති.
මධු- එයාලාට තේරෙන්නෙ නෑ. අපිට Message එකක තියන වටිනාකම
මල්මි- තමන්ගෙ ගෑණි වෙනුවෙන් තත්පර හතරක් දෙන්න බැරි මිනිහාගෙ වැඩේ මොකක්ද? 

මට එතැනට කියන්න කිසි දෙයක් තිබුණෙ නෑ. 

ඒත් බොහෝ ආදරියන්ට පෙම්වතාගෙන් උදේ පාන්දර එන Good Morning Message එක යහගුණයෙන් ඉදිරියට යන්න බලය ජවය වඩවන මෝල්ට් පානයක් වගේ එකක් ද කොහෙද කියලා මට නිකමට හිතුණා.

ලියා එව්වේ - නීනු (http://neranji-sulakkana.blogspot.com/)

Tuesday, June 7, 2011

ෆොටෝෂොප් වල ඖෂධීය සාරය

අක්කා ෆාමසියට ආවා. සුදුවෙන ක්‍රීම් එකක් ඉල්ලුවා. රුපියල් තුන්දාහෙ ඉඳන් රුපියල් හැට වෙනකන් ක්‍රීම් වර්ග. අක්කාට පිස්සු වගේ. හැබැයි ඉතින් වැඩිපුර ජනප්‍රිය එකසිය විසිපහේ ක්‍රීම් එකනෙ. ඉන්ටවිව් එකකින් තේරෙන්න, නිළියක් වෙන්න, බැංකුවෙන් ඉක්මනට වැඩක් කරගන්න, නිවේදකයෙක් වෙන්න, කසාදයක් බඳින්න, මේ හැමදේටම හොඳම දේ තමයි ඒ ක්‍රීම් එක.

අක්කාගෙ එකම හීනෙත් නිළියක් වෙන එකනෙ. ඉතින් අක්කාත් ගත්තා ක්‍රීම් එකක්.

සීතා අක්කගෙ ලොකු මල්ලි හොඳ ඇඩ් කොම්පැණියක ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්. එයාට ආවා හදන්න කියලා පත්තරේට ඇඩ් එකක්. මේ අර අක්කා ගාන ක්‍රීම් එකනෙ. එකසිය විසිපහේ ක්‍රීම් එකට පියවරෙන් පියවර සුදු කරන්න එකම නිළියව.

බැලින්නම් මේ සුදු වෙන්නෙ ඖෂධීය සාරයෙන් නෙවෙයි ෆොටෝෂොප් වලින්...


ලියා එව්වේ - නීනු (http://neranji-sulakkana.blogspot.com/)

Sunday, January 2, 2011

දෙදහස් එකොළහ ගෙවන්න පෙර.

ඊයේ අළුත් අවුරුදු....හැම රටකටම අලුත් අවුරුදු..පරණ මිනිස්සු හැමෝගේම ආසාව අළුත් වෙන්න.. අලුත් නොවුණත් අලුත්කමක් පෙන්නන්න. ඊයේ රාත්‍රියෙ පුපුරපු රතිඥ්ඥා හඬ අලුත් අවුරුද්දක් ලබන සතුට වෙනුවෙන් කළ සද්ද පූජාවක් කියලා කෙනෙකුට හිතෙයි... හැම රටකම මේ දේවල් තියෙනවා.. සමහර රටවල් මල්වෙඩි වලින් පැය ගනන් සංදර්ශණ තියනවා... මොහොතක ලස්සනක් හා සතුටක් වෙනුවෙන් මහා විශාල මුදල් කන්දරාවක් වියදම් කරනවා....

ඇමරිකාව, සිංගප්පූරුව ,මැලේසියාව,ඕස්ට්‍රේලියාව වගේ රටවල් ඊයේ රෑ පුච්චපු සල්ලි වලින් ඉතියෝපියාවට සෝමාලියාවට දවස් කීයක් කන්න පුළුවන්ද?

අපි හවස හයේ විතර ඉඳන් පුපුරවපු රතිඥ්ඥා වලින්... අපේ රටේ පවුල් කීයකගෙ බඩගින්න නිවන්න පුළුවන්ද?

මේක අතිසරළ කාරණයක්...මෙන්න අළුත් අවුරුද්දෙ අලුතින් හිතන්න පුළුවන් point එකක්...

ලියා එව්වේ - නීනු (http://neranji-sulakkana.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...