Showing posts with label යුද්ධය. Show all posts
Showing posts with label යුද්ධය. Show all posts

Wednesday, July 27, 2011

අපි වෙනුවෙන් අපි......

"ඔන්න බලන්න මුදලාලි, බඩු ටික ගත්තට දාගෙන යන්න හරිහමන් මනුස්සයෙක් නෑනේ ත්‍රීවිල් පාර්ක්‌ එකේ?"

"ඇයි නෝනා අර තියන ත්‍රීවිල් එක?"

"අපෝ ඌත් එක්ක ගියහැකිද මුදලාලි? මූණේ තියන මුසලකම. මූණ පුරා තුවාල කැරළි. වෙන එකක් එනකම් පොඩ්ඩක් බලනවා. හැබෑටම කව්ද ඒ? ලඟදි නේද මෙතෙන්ට ආවේ?"

"ඔය කුලී වැඩ කරපු පියදාසගේ ලොකු කොලුවනේ. හමුදාවේ හිටියේ. පුදුකුඩිඉරිප්පු වලදී මෝටාර් එකක්ද කොහෙද වැදිලා එලෝ මෙලෝ නැතුව හිටියේ. මයේ හිතේ කොල්ලා අවුරුද්දකට වඩා ඉස්පිරිතාලේ හිටියා. කට්ටිය හිතුවේ මැරෙයිම කියලා. ඔය මූණපුරා තියෙන්නේ ඒ වෙච්ච තුවාලවල කැලලි. හමුදාවෙන් විශ්‍රාම අරන් ගමට ආවට පස්සේ කොල්ලෝ ටික ඌව දාගත්තා ත්‍රීවිල් පාර්ක්‌ එකට. ඌත් ඉතින් ජිවත් වෙන්න එපැයි නෝනා...."

ලියා එව්වේ - ගොඩයා (http://godayan.blogspot.com/)

Friday, November 19, 2010

ප්‍රතිවාදියා

මම හිටියෙ පිටපිටම දොලොස් දෙනෙක්වම දාම් පිටියෙන් පරද්දවල. ජයග්‍රහණයේ සංකේතයක් හැටියට සිගරට්ටුවකුත් මගේ මුවග දැල්වුනා.
තව එකෙක් ඉදගත්තා.
“මේක ඉහලින් ආපු අණක්”
තරගය නරඹන්නො පිරිස අතර හිටි එකෙක් අහක බලාගෙන කිවුවා. නිකන් ඕනෑවට එපාවට වගේ.
මම කලු ඉත්තෙක්ව ඉස්සරහට ඇදල උගුලක් ඇටෙවුව.
“ඉහලින් ආපු අණක්”.
ආපහු පිරිස අතරින් කසුකුසුවක්.
ප්‍රතිවාදියගෙ සුද්දෙක් පිම්මක් පැනල මගේ උගුල කඩා දැම්මා.
මම හයියෙන් දුම් උගුරු තුනක් ඇද්දා. තත්ත්වෙ භයානකයි.
“ඉහලින් ආපු අණක්”
ආපහු අර මල විකාර කසුකුසුව.
සිගරට්ටුව මගේ අතින් ගිලිහුණා. ඒත් එක්කම සුද්දෙක් රජඋනා.
මම පලවෙනි පාරට පරාජිතව ප්‍රතිවාදියාගේ මූණ දිහා බැලුවා.
බුදු නෙතක් වගේ කරුණාවන්ත දෑසක්.
සිගරට්ටුව තාම බිම.
“නිවිද්දෙන්”
මම හිතුව.

ලියා එව්වේ - Raven (http://www.sihinasewanali.blogspot.com/)

Monday, September 27, 2010

විස්මෘතිය..

"මම ඔයාට ගොඩාක් ආදරෙයි.."
මා කියනා බස ඇයට නොවැටහෙයි, ඒත් මා දිහා බලාන ඉන්න ලොකු ඇස් දෙකට, ඒ නළලේ තිලකයට මම කවදත් ප්‍රිය කරනා වග කියන්නට මට තවත් සිත් දෙයි.
"මම හමුදාවෙන් පනිනවා, පැනලා ගිහින් අපි දෙන්නා ලබන සතියේ කසාද බඳිමු."
මඳ සිනහවකින් මොහොතක් බලා උන් මම හෙට දින පැමිණෙන පොරොන්දුව මත හුන් තැනින් නැඟිට්ටේ සුපුරුදු බංකරය වෙත පිය නැඟීමටයි.
"ඩෝං"
සිහිය එනවිටත් මා උන්නේ රෝහලේ ඇඳක් මතය. මා කවුද යැයි මටම අමතකව ඇති මුත්, ගොත ගසමින් කී වදන් පෙළ හාත්පස දෝංකාර දෙමින් වියැකිණ.
"මගේ රාජිණි, ආයේ කවදාකවත් මට දකින්න වෙන එකක් නෑ, මේ වෙළුම් පටි වලින් වැහුණු ඇස් දෙකෙන්.."
 ලියා එව්වේ - Ansh Lucky Sri Jay  (http://www.mitiyaawatha.blogspot.com/)

Tuesday, September 7, 2010

එහා ඉවුර..

ගඟ ගලන්නේ ඉතාමත් සෙමිනි. එහා ඉවුරේ වූ ත්‍රස්තවාදි කඳවුර තුළ සිදුවන්නේ කුමක්දැයි මා බලා සිටියේ මා එය විමසිය යුතු වූ නිසාය. රාජකාරිය දේවකාරිය වු නිසාය. ඈ ගැන මා තුළ උනන්දුවක් ඇති වූ නිසාය.

ඈ ත්‍රස්තවාදිනියකි. මාද ඔවුන්ට ත්‍රස්තවාදියෙකි. දින කිහිපයක සිට මා ඈ දුටුවේ නැත.

ආණ්ඩුව පවසනා පරිදි යුද්ධය තව නොබෝ දිනකින් නිමා ‍විය යුතුය. ඉන්පසුව මා ඇයව විවාහ කරගත යුතුය. එසේ වීමට නම් හෙට දියත් කරනු ලබන ප්‍රහාරයේදී මා ඇයව රහසේ බේරාගත යුතුය. එවිට ඈ මා වෙත කැමති වනු ඇත. අපට රහසේම පැනයාගත හැකිවනු ඇත. යුද්ධය අවසානයේ පොදු සමාව හිමිවනු ඇත.

හදිසියේම ඇය මා වෙත තුවක්කුව මානනු දුටුවෙමි.

ඩෝං!

ලියා එව්වේ - සුදාරක (http://blog.sudaraka.com)

Related Posts Plugin for WordPress, Blogger...