Showing posts with label ඔබ. Show all posts
Showing posts with label ඔබ. Show all posts

Friday, January 18, 2013

ඔබ හා මම

ලොවක් අවදි කර
නැගෙන හිරු
මඬල ඔබ
අඳුරු අහසට
අරුණළු රැගෙන එන
රන් රැස් දහරින්
තුරු මුදුන් සිප සනසන
නැවුම් මල් කැකුළු
පුබුදුවා නළවන
එකතු කර වැහි බිඳු
පාට දේදුනු අඳින
සැඳෑ වළාකුළු
රනින් සිත්තම් කරන


                        ඔබේ කාන්තියෙන් නැහැවෙන
                        පුංචිම තරුව මම
                        රෑ අහසෙ කොනක හිඳ
                        දීප්තිය විහිදුවන

වියළි මහ පොළොවට
ඇද වැටෙන වැස්ස ඔබ
මලානික ගහ කොල
හුස්ම පිඹ නැගිටුවන
පිපාසිත තණ පත් අග
පිණි බිංදු රඳවන
ඉරි තැලුණු මිහිකත
සනහා ගිම් නිවන
ඇල දොල වැව් පොකුණු
සුනිල් දියෙන් පුරවන
නෙත යොමන හැම අත
හරිත පැහැයෙන් බබලවන


                           සිහිලැල් දියෙන් සැනහෙන
                           සිඳුන උල්පත මම
                           ඔබෙන් නව පණ ලැබ
                           ජීවයෙන් උතුරන..

 
ලියා එව්වේ - සුන්දරී

Wednesday, December 5, 2012

ඔබට බැදි සෙනෙහස

පුංචි තරුවක් තනි වෙලා හිද
පැතුම් පොදි බදිනා වෙලේ
මගේ මතකෙට කොහේ සිට ඔබ
පැමිණියේදැයි නොම හැඟේ

ආදරේ මහ සාගරේ මැද
අප දෙදෙනා තනි වූ වෙලේ
ආදරේ කොපමණ සොඳුරුදැයි
හැඟුණි ඔය නෙතු දුටු වෙලේ

රුවට නොව මා ඔබට බැඳුනේ
නුඹේ හොඳ ගුණ දුටු නිසයි
සොඳුරු ඔය සිතෙ තියෙන ආදරේ
මගේ හදවතේ රැඳුන හින්දයි

කෙලෙස කියමිද හිතා ගනු බෑ
කවි හිතත් අද හොඳ හැඩයි
ඔය හිතට බැදි මගේ සෙනෙහස
ඇත්තමයි හරි පිවිතුරුයි

ලඟින් සිටියත් නොසිටියත් ඔබ
සිතින් සැමවිට මා ලඟයි
මියෙන විටදිත් ඉන්න ඕනේ
මට ඔබේ තුරුලෙම තමයි

සිත සැනසුම සලසන මට
ඔය සෙනෙහස මහමෙරක්ය
හැමදාමත් ලඟට වෙලා
ඉන්නට මට අවසරයිද

ලියා එව්වේ - චතූ

Wednesday, July 25, 2012

මගේ පෙම්වතා

කියුවත් ඔබට මම ආදරේ පණට වඩා
ඔබ රිදවනවා ඒ බොරුවක් කියලා කියා
රිදුනත් මගේ හිත ඔබගේ වදන් අසා
ඔබ දන්නවා මා කීවේ ඇත්ත කියා

දන්නවා ආදරෙයි ඔබ මා හට ඔබෙ පණට වඩා
දැනුනු නිසයි මා මගෙ හිත පිදුවෙ එදා
කොපමණ බාධා ආවද අපෙ ආදරෙට එදා
මොන දේ වුනත් අදටත් ඔබ ලගයි මෙමා

කවියෙන් කියන්නම් ආදරේ ඇති තරම
ඔබ මගේ පණයි ඔබ දන්නවා ඒක
කිව්වත් විහිලුවට ආදරේ නෑ ඔබට
ඔබෙ සුදු ඉන්නවා ඔබ ලග හැමදාම

දුටු දින සිටම මා හට පෙම් බැදි ඔබට
ආදරෙ කරමි මගෙ දිවි පවතින තුරුම
දුක් කරදර ලගදි මට හෙවනැල්ලක් වූව
ඔබ වෙනුවෙන් කැප කරනෙමි මුලු දිවිය

ලියා එව්වේ - චතූ

Monday, February 27, 2012

මම මිය ගිහින්

පාළු සීතල රෑක අදුරු වලකුළු අතරේ දිව ඉහිල ගිය අපේ හුස්ම පොඳ. මීදුම් පටල වල තැවරුනු සුසුම් රැළි... ඔය තුරුලෙන් දැණුනු උණුසුම.. ගෙල පුරා දිව ගිය ඔය දෙතොල් පහස. ඔය කෙස්රැළි පුරා දිවගිය මගේ දැඟිලි ඇයි රතු පාට.... හිනැහි හිනැහි උන්න ඔය ඇසුත් උඩදාගෙන.

අපිට ප්‍රයෝග පෙන්වන බයිසිකල් රෝදයට යටවුනු ඔබේ දෙපා මම දැක්කේ දැන්. ඊයේ වෙගන් කැරකෙන රොදේ නතර කරන්න දිගුකල අතත් එක්ක රොදේ වටේ වටයක් කැරකිලා ආපු මට තාමත් තේරුම් ගන්න බැරි ඇයි ඔබ ඔය තරමටම නිහඬ කියලා..

නමක් නොදන්න කවදාවත් නොදැකපු කෙනෙක් ඔයාව අරන් යන්න හදද්දි.. මඟ අහුරපු මගේ සිරුර දෙබෑ කරන් ගියපු කෙනා කෙලින්ම ගියේ රෝහලට...



ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Friday, February 11, 2011

ඔබ

මා හට පළමුවෙන්ම හමුවූයේ පෙරපාසලේදීය. එදවස මා හට නිසැක මතකයක් නොමැති වුවත් ඔබගේ මුව අද මෙන් මතකය. පසුව ඔබ හා මා එකම විදු බිමකට පා තැබුහ. එකල මා සිත් තුළ වූයේ ඔබ කෙරෙහි කැමැත්තකි. පන්ති කාමරයේදී, ක්‍රීඩා පිටියේදි ඔබ ඉදිරියේ වීරයෙකු වීමට ආසා කළෙමි. වයසින් මුහුකුරා එන විට එම කැමැත්ත ආදරයක් බවට පත්වූයේ කෙසේදැයි අදද මා නොදනිමි. ඔබ හට එම ආදරය පැවසීමට ගත් සෑම උත්සාහයක්ම එකල නිශ්ඵල විය. කාලයාගේ ඇවෑමෙන් මාගේ ජීවිතයද ප්‍රශ්ණ තුළ පැටළුණි. ඔබද නොසිතූ මොහොතක දුර ඈතකට නික්මුනේ පාසලද හැර යමිනි. තොරතුරක් සෙවීමට එකල මා හට හැකියාවක්ද නොතිබුණි. අද මා ඔබව සොයමි. ඒ ඔබට ඇති ආදරයේ නාමයෙනි.

ලියා එව්වේ - මාලක රත්නායක

Monday, December 20, 2010

මම ශිලා ලිපියක්..

අඳුර සටන් වැද
ආලෝකය පැරද පලා ගිය

ඒ සැන්දෑව
මහ රාත්‍රියක් වූයේ
ඔබේ දෙනෙත් නිසා ය!

ඒ සඳයැ
සොමිකරය
සිසිය
සිසිවන උවනත සම කළ ඒ සඳමය!
ඔබෙ දෙබැම නිසාය
දෙව්දුනු වන්
තුමුල නමුණුකුල සේම
නිම්නයෙන් නැගී ආ
ළමැද නිසාය
තිසරුන් වන්
සරාගී සඳ!

දොඹ ගස මුදුනින් නැගී
අතුපතර සැඟවී සෙමෙන්
ඉඟබිඟි කළේ
නුරා සරා
එසඳ මම බලා සිටියෙමි!

පෞරාණික ශිලා ලිපියක් වැනි මගේ මුහුණ
සිප සනහා ලූ ඔබ මන්ද මාරුතයක්
ගගන සැරිසරන මන්ද මාරුතයක්
සරැළි නගන චණ්ඩ සයුරු තෙර
සුමුදු ලෙස සිප සනසන
මන්ද මාරුතයක්

මම ශිලා ලිපියක්
අතීතයට හිමි අක්ෂර ගොඩක්
මහ රහසක් සඟව ගත්
මිනිස් ශිලා ලිපියක් මං...

ලියා එව්වේ - ලලින්ද්‍ර පෙරේරා

Related Posts Plugin for WordPress, Blogger...