Showing posts with label පූසා. Show all posts
Showing posts with label පූසා. Show all posts

Wednesday, December 26, 2012

සිහින කුමාරි

ඔන්න එකෝමත් ඈත රකට තිබුණා ලස්සනම කුමාරිකාවක් ඉන්න ලස්සන රාජධානියක්. මේ ලස්සනම ලස්සන රාජ කුමාරිකාව ජීවත් උනේනම් සුරංගනා ලෝකෙක. එයා බලාගෙන හිටියේ සුරංගනා කතාවල වගේ කුමාරයෙන් ඇවිත් එයාව එක්කං යයි කියලා.

දවසක් මේ කුමාරි උද්‍යානයේ ඇවිද ඇවිද කල්පනා කළා කැත රාස්සයෙක්ට හාද්දක් දුන්නම රාස්සයා කුමාරයෙක් වෙලා තමන්ව කසාද බඳීන හැටි ගැන. එතකොටම කුමාරිට ඇහුනා කවුදෝ කතා කරනවා. බැලින්නම් කකුල් දෙක ගාව කැතම කැත ගෙම්බෙක්.

"මායා කාරියෙක් මට සාපයක් කළා......" 
ගෙම්බා කිව්වා විතරයි කුමාරි පැන්න ගමන් ගෙම්බට හාද්දක් දුන්නා. ඒත් එක්කම කුමාරිව කැතම කැත ගෙම්බියෙක් උනා.

"මදෑ.... මේ ගෑණුන්ට දෙයක් කියනකං ඉවසං ඉන්න බෑනේ. දැන් හොයපංකෝ මේකිටත් එක්ක කෑම" ගෙම්බා මිමිණුවා.
 
ලියා එව්වේ - ෴පූසා෴ ( http://sudupoosa.blogspot.com/)

Monday, November 5, 2012

පහනේ භූතයා!

ඕන්න එකෝමත් එක කාලෙක, (ඒ කිව්වේ පහන් ඇතිල්ලුවාම භූතයෝ මතු වෙච්ච කතා සේරම සිදුවෙලා ඉවර වෙච්චි කාලෙක) ජීවත් උනා මනුස්සයෙක්. එයාගේ නම ජෝසප්. ජෝසප්ගේ විනෝදාංශය උනේ පහන් එකතු කරන එක. දවසක් එයා හොයං ආපු පරණ පහනක් රෙදි කෑල්ලකින් පිහිදාන්න ගත්තා විතරයි ඒකෙන් මතු උනා භූතයෙක්.

ඔබ මාව මේ පහනෙන් එළියට ගත්තට ඔබට කැමති ඕනෑම වරයක් ලැබෙනවා!

ඕනෑම වරයක්? 

ඔව් ඕනෑම වරයක්!

එහෙනං මම මගේ වරය විදිහට ඉල්ලනවා මට තවත් වර ඕනෑම ගාණක් ඉල්ලන්න පුළුවං වෙන්න කියලා.

ඔන්න ඔය වෙලේ තමයි භූතයාට තරු පෙනුනේ. භූතයා වරයත් නොදීම අතුරුදහන් උනා. එදා ඉඳං අද වෙනකං ආයේ කිසිම දවසක කිසිම පහනකින් භූතයෝ මතු උන්නෑ.

ලියා එව්වේ - ෴පූසා෴ ( http://sudupoosa.blogspot.com/)

Friday, October 19, 2012

කාර්තිශා!

ගත දවනා ගිණි අව්වේ
කර්කශ වූ මහ පොළොවේ
අරුම පුදුම ලෙසින් පිපුණ
රෝස පැහැති රෝස මලකි
මටනම් නුඹ
කාර්තිශා…..

ආමි ඇඳුම් දැක ඔරවන
කොළඹ උන්ට සිහන සලන
පුදුකුඩියිරිප්පු හන්දියේ හිඳ
තඹ පෑ දූවිල්ල මැද්දේ
මිදි විකුණන
කාර්තිශා…..

බිත්තියේ ඇති උණ්ඩ පාර
සුළඟිල්ලෙන් හාර හාර
උකුලු මුකුළු සිනා බසින්
“මාත්තියා… මාත් කොළඹ අරං යන්න” 
කියා නුවන් කොණින් බලා
මගෙ හදවත නවතා ලූ
සුරඟන නුඹ
කාර්තිශා…..

“එන්න මාත්තියා ගන්න මේවා”
“යාපනේ තීන හොඳම ඒවා”
කනට කරලා හොර රහසින්
“මේ ගාණට මාත්තියාටමයි”
ඇස් ලොකු කර මදෙස බලා
ඇහැක් ගසා සිනහා පපා
වැඩි ගාණට
තැලිච්ච මිදි
පොකුරු පිටින් මට විකුණුව
දෙව් දුව නුඹ
කාර්තිශා!

ලියා එව්වේ - පූසා (http://sudupoosa.tumblr.com/)

Wednesday, September 26, 2012

කාන්තා විමුක්තිය...


එක ග්‍රහලෝකයක් තිබ්බා. එහෙ කාන්තාවන්ට තිබ්බේ පිරිමින්ට සමතැනක්. පිරිමි ගැහැණු කියලා කාටවත් විශේෂ සැලකිලි තිබ්බේ නෑ. ඒ රටේ ගෑණු හිටියේ හරිම දුකෙන්.

මොකද... ගෑණු කෙනෙක්ට පොරකාලා නඟින බස් එකක ලේසියෙන් වාඩි වෙලා යන්න ලැබුණේ නෑ. ඉස්කෝල වල රණ්ඩු වලදී එහෙම ගෑණු ළමයි පිරිමින්ගෙන් ගුටිකාලා රෝහල් ගත කළ අවස්ථා බොහොම වැඩියි. ළමයි හම්බ උනාය කියලා එයාලට විශේෂ නිවාඩු තිබ්බේ නෑ. ඒවා ලැබුණේ ලෙඩ නිවාඩු හැටියට. ක්‍රීඩා වල ගැහැණු පිරිමි කියලා වෙනම තරග තිබ්බේ නැති නිසා එයාලට කිසිම තරගෙකින් දිනන්න බැරි උනා.

අන්තිමට ගෑණු කාන්තා සංවිධාන හදං පාරට බැස්සා. තමන්ට පුරුෂයන් හා සම තැනක් එපා කියලා. තමන්ට සමාජේ නිසි තැනක් ඕනෙය කියලා.



ලියා එව්වේ - ෴පූසා෴ ( http://sudupoosa.blogspot.com/)

Monday, July 30, 2012

විශ්වාසය..

"මේ බලහං බං අද පත්තරේ තියෙන ප්‍රවෘත්තිය. තමන්ගේ ළමයා අසනීප උනාම ලෙඩේ දෙයියෝ හොඳ කරනකං කියලා ගෙදර තියාගෙන ඉඳලා. අන්තිමේ අසනීපේ හොඳටම වැඩි වෙලා ළමයා මැරිලා. අනේ හැබෑට මෙහෙමත් මෝඩ දෙමව්පියෝ ඉන්නවනේ හැබෑට."

වසන්ත මාත් එක්ක ඔය කතාව කිව්වේ මීට මාස තුන හතරකට කලින්.
දවස් තුනකින් විතර වසන්ත වැඩට නාව නිසා මං කෝල් එකක් ගත්තා.

"මොකෝ බං මේ දවස් ටිකේ වැඩට නාවේ. මොකුත් කරදරයක්ද?"

"අනේ බං මගේ ළමයා අසනීප වෙලා ඉස්පිරිතාලේ නවත්තලා. සාත්තර කාරයෙක් කිව්වා අපලයක් නිසා කියලා. අපලේ හොඳ වෙන්නනං ගෙවල් ගානේ ගිහින් සල්ලි එකතුකරලා ඒ සල්ලි වලින් භාරයක් වෙන්න කිව්වා. මේ දවස් වල ඒවට දුවනවා බං හතර වටේ."

ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

Wednesday, June 27, 2012

අවිද්‍යාව

"මචං උඹ දන්නවද ලෝක වෙළඳ මධ්‍යස්ථානය විනාස කළේ රාවණා"

"නෑ"

"නෑ නෙමෙයි ඔව්. රාවණා ළඟදිම අවදිවෙනවයි කියලා ලංකාවේ ඈතක භාවනා කරන තාපසයෙන් බ්ලොග් එකක් ලියන කෙනෙක්ට කෝල් කරලා කියලා"

"නෑ"

"ඔව් යකෝ ඔව්. ඕක පුදුමයක් නෙමෙයි බං. රාවණා රජ්ජුරුවෝ හද්ද ඩොටේ කාලේ දඬුමොණරෙන් උඩින් ගිය එකේ"

"දඬුමොණරෙට ජෙට් ෆුවෙල්ද දන්නෑ ගැහුවේ"

"විහිළු නෙමෙයි බං. දඬුමොණරේ උඩ යවලා තියෙන්නේ මන්තර වලින්......... උඹ මොනාද කල්පනා කරන්නේ?"

"නෑ බං මං මේ කල්පනා කළේ ඔය යන්ත්‍ර මන්ත්‍ර පස්සේ දුවන රජෙක් නිසා දැන් අපේ රටට කෙලවෙලා තියෙන කෙලවිල්ල. ඇරත් ඉස්සර මිනිස්සු වෙහෙස මහන්සියෙන් මහා දාගැබ් බැන්දා. ඒකට අද... පොඩි බෝක්කුවක් හදන්නත් චීනෙන් එනකං ඉන්න වෙලා"


ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

Monday, April 16, 2012

ආදරේ බිඳුණාම

වැඩිය මාත් එක්ක චැට් නොකරන එකෙක් චැට් එකේ...

---------------------------------------------

මචං උඹ තාමත් තුෂාරා එක්ක යාළුද?

ඒක නැවැත්තුවා බං.
(මං කෙටියෙන්ම උත්තර දුන්නේ දවස් දෙකකට කලින් තිත තියපු ආදරේ මතක් වෙනකොට තාමත් හිත රිදෙන නිසා)

එහෙනම් මට තුෂාරාගේ නම්බර් එක දීපංකෝ. මගේ යාළුවෙක්ට.

ඇයි බං එයාගේ නම්බර් එක මගෙන් ඉල්ලන්නේ? ඔය එයා ෆේස් බුක් එකේ ඉන්නේ. උඹේ එකවුන්ට් එකෙත් ඉන්නවනේ. ඉතිං ඇයි උඹ එයාගෙන් ඉල්ල ගන්නේ නැත්තේ? එයාගේ වැරැද්දක් නිසා මම අෆෙයා එක නවත්තපු ඇත්ත. එහෙමයි කියලා මම එයාගේ පෞද්ගලික දේවල් එක එක අයට කිය කියා ගියාම හරිද මචං? තරහා වෙන්න එපා බං උඹ එයාගේ නම්බර් එක එයාගෙන්ම ඉල්ලගනිං.

(ඌ ඕෆ්ලයින් ගියා)



ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

Friday, March 9, 2012

පුංචි සතුට නැති වුනු හැටි!

සුභා, නිශාන්තයා කිව්වා හෙට රෑ කෑමට එන්නැයි කියලා. ඔයා එහෙ ගිහින්ම නෑ නේද?

--------------------------------------------------------

අනේ හරී සිරියාවන්ත දුවක්. ලස්සනේ බෑ. දුව අපේ පියුමි දුවගේ යාළුවෙක්ද?

නෑ ඇන්ටි. නිශාන්තයි මගේ හස්බනුයි යාළුවෝ. මම හස්බන්ඩ් එක්ක ආවේ.

අනේ..... ඒ පුතා හරිම වාසනාවන්තයි දුව වගේ සිරියාවන්ත කෙල්ලෙක් ලබන්න. කෝ ඒ පුතා?

අර ඉන්නේ ඇන්ටි අතන මේසේ ගාව.

අර ළමයා? ඒ ළමයනම් දුවගේ හස්බන්ඩ් වෙන්න බෑ. එයා හරි වයස පාටයිනේ බොරු නේද?

ඇත්තමයි ඇන්ටි...

--------------------------------------------------------

ඔයා දන්නවද වැඩක් නිශාන්තලාගේ අම්මා කිව්වනේ ඔයා මට වඩා සෑහෙන්න වයස පාටයි කියලා.

කොහෙද ඔයා ඔය කොන්ඩෙවත් ඩයි කරගන්න එකක්යැ.

ආ මට කියන්න අමතක උනානේ සුභා.... ඒ ඇන්ටිට පිස්සු!



ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

Thursday, August 18, 2011

අපේ සමහරුන්ගේ බ්ලොග් කෙරුවාව....

එකෙක් හිටස් දහස පසුකර ඇත ඒකට පෝස්ට් එකකි. තවත් එකෙක්ගේ බ්ලොග් එකට තුන් මාසෙකි. එයට තව පෝස්ට් එකකි. මෙන්න එක අක්කා කෙනෙක්ගේ බව්වා ගෙදර ගෙනත් අදට අවුරුද්දක්ලු. ඒකට තව පෝස්ට් එකකි. ඔන්න තව අයියා කෙනෙක්ගේ නැන්දගේ දුවගේ තුන්වෙනි උපන්දිනේ අදලු. එකට තවත් පෝස්ට් එකක්. තව එකෙක්ට යාළුවෝ කට්ටිය ෆේස්බුක් එකේ මඩක් ගැහුවලු. ස්ක්‍රීන් ෂොට්ස් තොගයක් එක්ක තවත් පෝස්ට් එකක්. මෙන්න අමුතුම කවියක්. වචන ටිකක් විතරයි. හැබැයි ඒක නියමයි කියලා කමෙන්ට්ස් ගොඩායි. කමෙන්ට්ස් දාපු උන්ගෙන් කවියේ තේරුම ඇහුවා උන් දන්නෙත් නෑ. ලියපු එකාගෙන් අහුවා ඌටත් හරියට තේරෙන්නෙ නෑ. ඔන්න ඔහේ කමක් නෑ. එක්කෝ ඕන එකක් කියලා මමත් ගිහින් නියමයි කියලා දානවා.

ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

Wednesday, July 20, 2011

මම උන් වගේ වුනානම්.......

මම පොඩි කලේ අපේ අම්මා මට අපේ එහා ගෙදර උන්ගේ ළමයි පෙන්නලා කිව්වා අන්න ඒ වගේ හැදෙන්න කියලා. මොකද එතකොට උන් විද්‍යාඥයෝ දොස්තරලා ආකිටෙක්ට්ස්ලා. ඒත් මට උන් වගේ වෙන්න කිසිම උවමනාවත් තිබ්බේ නෑ. අම්මා කියපු එක ඔහේ අහගෙන හිටපු මම මමම වුනා උන් උන්ම වුනා.

අද වෙනකොට අවුරුදු කීපයක්ම ගිහිල්ලා.

උන්ගේ බඳින වයසත් පහුවෙලා. එකෙක් ගේ ගෑණි දාලා ගිහින්, තව එකෙන් බඳීන්නේ නෑලු, අනිත් කෙනාට හොයන එක්කෙන්ක්වත් හරි නෑලු.

දැන් අපේ අම්මා වැරදිලාවත් මට කියන්නේ නෑ උන් වගේ වෙන්න කියලා. අම්මා කියන්නෙ අඩුම ගානේ එහා ගෙදර මනුස්සයෙක්ගේ මූණ බලලා වචනය කතා නොකරන ඔය මහා උගත්තු පොල් පිත්තකින් කපාගන්න පුළුවන් කියලා.

ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.cඔම්/)

Wednesday, July 13, 2011

හමුවීම සහ වෙනවීම

මචං බලපන් අපි කට්ටිය කොච්චර කලෙකින්ද අද මේ මුණගැහුනේ. ඉස්කෝලේ යන කාලේ වගේ නෙමෙයි බං දැන්. එක එක උන් එක එක දේවල්වල. උඹලා ඉගෙන ගන්නවා අපි ජොබ් කරනවා. කාටවත් නිවාඩු නෑ. මම දන්නවා මචං මගේ උපන්දිනේ දවසේ මොන වැඩේ තිබ්බත් මම කතා කළොත් උඹලා එන එක එනවා කියලා.

උඹලට කියන්න උඹලව මුණගැහුනු අන්තිම දවසේ ඉඳන් අද වෙනකම් කෙල්ලෝ දෙන්නක් මාත් එක්ක යාළුවෙලා ඉඳලා මට බූට් එක තිබ්බා මචං. මට නම් දැන් කෙල්ලෝ එපා වෙලා ඉන්නේ බං. උන්ට වියදම් කරනවට වඩා හොඳයි උඹලත් එක්ක සෙට් වෙන එක.

උගේ කතාව අහන ගමන් බෝතලේ අඩියේ තිබ්බ අන්තිම පොඩ්ඩත් අපි කට්ටිය වීදුරු වලට දාගත්තා.

ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

Sunday, July 10, 2011

ආදරයක් ඇතිවීම....

ආදරයක් ඇතිවීම කියන කාරනය අපිට සරලව පැහැදිලි කරන්න පුළුවන්ද?
කොහොමටවත් බෑ.
ගොඩක් අය හිතන් ඉන්නේ ආදරයක් ඇතිවෙන්න බලපාන්නේ ලස්සන කියලයි. ආදරය කියන්නේ කෙනෙක්ගේ ලස්සනමත පමණක්ම රඳා පවතින දෙයක් නෙමෙයි. ලස්සන කියන්නේ කෙනෙක් ගැන කැමැත්තක් ඇතිවෙන්න බලපාන සාධකයක්. ආදරයක් ඇතිවෙන්න ලස්සන ඇරුනාම තව කොච්චර සාධක තියෙනවද?
ඒ සාධක සියල්ලම අඩු වැඩි වශයෙන් එකතුවෙලා ආදරයක් ඇතිවෙන්න ඕන අවම අවශ්‍යතාව සම්පූර්ණ වුනාම කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙනවා. අවම අවශ්‍යතාව පුද්ගලයා මත රදා පවතිනවා.
ආදරයක් ඇතිවිම කෙසේ වෙතත් ආදරය පවත්වා ගන්න නම් අවශ්‍ය වෙන්නේ දෙන්නට දෙන්නා අතර තියන විශ්වාසයයි. කට්ටිය පණදාගෙන කියෙව්වා නේද? මේක ආදරයක් ඇතිවීම කියන කාරණය පිළිබඳ මගේ අදහසයි. ඔබේ අදහස වෙනස් ඇති.

ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

Monday, July 4, 2011

අසාමාන්‍ය ආදර කතා

බලපන් අද කාලේ තියන නව කතා, කෙටි කතා, නාට්ටි ඒ මදිවට බ්ලොග් හැම ඒවයේම තියන ආදර කතා හරිම සාමාන්‍යයයි. හැම එකේම කොල්ලයි කෙල්ලයි දුෂඨයයි. කොල්ලා දුප්පත් නම් කෙල්ලෙ පෝසත් කෙල්ල පෝසත් නම් කොල්ලා දුප්පත්. ඒ මොකවත්ම නැත්තම් අඩුම ගානේ පවුල් දෙක මැච් වෙන්නේ නෑ. හැබැයි කොහොම වුනත් අන්තිමට එකතු වෙන්නේ ඒ කොල්ලයි කෙල්ලයිම තමයි.

ඉතිං බං එහෙනම් ඒ කතා සාමාන්‍ය ආදර කතා නෙමෙයි. ඒවා හරිම අසාමාන්‍ය ආදර කතා. පොඩ්ඩක් හිතලා බලපන් අපි දන්න ඇත්ත ආදර කතා වල කවදද පොහොසත් කෙල්ලෝ දුප්පත් කොල්ලන්ට කැමති වුනේ? පොහොසත් කොල්ලෝ කවදද දුප්පත් කෙල්ලන්ට සෙට් වුනේ? ඉතිං අද කාලේ තියෙන්නේ හරිම අසාමාන්‍ය ආදර කතා බං!

ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

Thursday, June 30, 2011

අපි ඔක්කොම පිස්සෝ!

ගොඩක් උන්ට තියෙන්නේ ලොකු ලොක්කෙක් සල්ලි කාරයෙක් වෙන පිස්සුව. හැබැයි ගොඩක් උන්ට කිව්වට මම හිතන්නේ හැමෝටම තියෙන්නේ ඒ පිස්සුව. අන්තිමට ඒ පිස්සුව පස්සෙම පන්නගෙන ගිහිල්ලා කොහොම හරි මොක් හරි රස්සාවක් හොයා ගත්තා කියමුකෝ ඊළඟට එන්නේ වාහනයක් ගන්න ගෙයක් හදන පිස්සුව.
එක එක උන්ට එක එක පිස්සු!

සමහර වෙලාවට කාගෙන් හරි ඇහුවාම උඹ ඒකිත් එක්ක යාළුද කියලා ඌ අහනවා උඹට පිස්සුද කියලා. එහෙම අහපු එකා මෙන්න ටික දවසකින් ඒකිත් එක්ක යාළුවෙලා. එවෙලට ගිහින් උගෙන් අහන්න හිතෙනවා උඹට පිස්සුද කියලා.

බලාගෙන ගියාම කිසිම ගැලපීමක් නැති කිසිම තේරුමක් නැති මේ ලිපිය ලියන මමයි කිසිම තේරුමක් දන්නේ නැතිව මේක කියවන ඔබයි අපි ඔක්කොම පිස්සෝ.

ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

Thursday, June 16, 2011

එයා ඇත්තටම මට ගැලපෙන්නේ නැද්ද?

නෑ නෑ එයා මට ගැලපෙන්නේ නෑ.

හැඩරුව, හැසිරීම ඒ කිසි දෙයක් ගැලපෙන්නේ නෑ. ඒ ඇරත් එයා ඉංග්‍රීසි පැටර්න් එකට හැදුනු කෙල්ලෙක්. මම කැමති ගමේ තාලෙට හැදුනු කෙල්ලන්ට. එයා එච්චර ලස්සනත් නෑ. එයා කෙට්ටුම කෙට්ටුයි මම කැමති ටිකක් ගැඟපත තියන කෙල්ලන්ට. ඒ නිසා එයා මට ගැලපෙන්නෙම නෑ.

එයා අඳීන පළදින විදිහටත් මම කැමති නෑ. හැමදෙම කරන්නේ ඉංග්‍රීසි පැටර්න් එකටමයි. නෑ නෑ නෑ මට එයා පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නෑ. මම හොයන්නේ ඒ වගේ කෙල්ලෙක් නෙමෙයි.

ඒත් මොන කරුමයක්ද මන්දා එයා මට පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නැති වෙලත් එයා කොල්ලෙක් එක්ක යාළු වුනා කිව්ව වෙලේ ඉඳන් මගේ හිතේ මොකකදෝ ලොකූ වේදනාවක් තියනවා වගේ දැනෙන්නේ ඇයිද මන්දා.

ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...