Showing posts with label පෞරාණික. Show all posts
Showing posts with label පෞරාණික. Show all posts

Monday, December 20, 2010

මම ශිලා ලිපියක්..

අඳුර සටන් වැද
ආලෝකය පැරද පලා ගිය

ඒ සැන්දෑව
මහ රාත්‍රියක් වූයේ
ඔබේ දෙනෙත් නිසා ය!

ඒ සඳයැ
සොමිකරය
සිසිය
සිසිවන උවනත සම කළ ඒ සඳමය!
ඔබෙ දෙබැම නිසාය
දෙව්දුනු වන්
තුමුල නමුණුකුල සේම
නිම්නයෙන් නැගී ආ
ළමැද නිසාය
තිසරුන් වන්
සරාගී සඳ!

දොඹ ගස මුදුනින් නැගී
අතුපතර සැඟවී සෙමෙන්
ඉඟබිඟි කළේ
නුරා සරා
එසඳ මම බලා සිටියෙමි!

පෞරාණික ශිලා ලිපියක් වැනි මගේ මුහුණ
සිප සනහා ලූ ඔබ මන්ද මාරුතයක්
ගගන සැරිසරන මන්ද මාරුතයක්
සරැළි නගන චණ්ඩ සයුරු තෙර
සුමුදු ලෙස සිප සනසන
මන්ද මාරුතයක්

මම ශිලා ලිපියක්
අතීතයට හිමි අක්ෂර ගොඩක්
මහ රහසක් සඟව ගත්
මිනිස් ශිලා ලිපියක් මං...

ලියා එව්වේ - ලලින්ද්‍ර පෙරේරා

Related Posts Plugin for WordPress, Blogger...