Showing posts with label තනිකම. Show all posts
Showing posts with label තනිකම. Show all posts

Thursday, June 2, 2011

බෝතලයක්..

ඇනිවසරියක්! අම්මට සාරි ගෙනාපු ගෑනු අස්සෙම, තාත්තට ඔතාපු බෝතල් තෑගි දීපු උනුත් එමටයි.

ඕපාදූප, පොඩි උන්ගේ දැඟලිලි, මධුවිත ගැස්සෙන වීදුරු හැප්පෙන සද්ද වගේම "බඩුවක් දිහා බැලුවොත් නෑයෙක්.. බෝතල් මුල්ලට සෙට් උනොත් කේලම්.." මූඩ් එකෙන් මමත් ඔහේ හිටියා.

අහලින් පහලින් ඉගිල්ලෙන පැටිස් පිඟානක් දැක්කම එකක් හපහප බිත්තිය හේත්තු වෙලා හිටපු එක ඇරෙන්න කරන්න දෙයක් තිබුනෙම නෑ.
තාත්තා පාටි දවස් වලට ටීවී එක බිත්තිය පැත්තට හරෝනවා ඔක්කොම උන් එතන තැක් ගැහෙන නිසා.

කරගන්නම දෙයක් නැතුව ඉන්නකොට තාත්තා අවා.
"මෙන්න මේක කාමරෙන් තියාගන්නව!"
ශිවාස් රීගල් බාගයක් අතට ලැබුනා.
කුස්සියෙන් කොකාකෝලා එකක් කාමරේට ගියා.
තව පැටිස් හත අටකුත්.
කාමරේ හිටපු පොඩි උන් එලියට දිව්වා.


ලියා එව්වේ - මුචලින්ද (http://muchalindha.blogspot.com/)

Saturday, February 19, 2011

මට අහිමි....

සඳ...
අයිති අහසට
මුත්...
සඳ එළිය
ම‌ට දැනුණා...
ඉරට අහසට ‌
හොරෙන්
මං....
සඳ එළිය වින්දා...

සීමා මායිම්
නොපෙනන තරම්ම...
සඳ
මට
ළඟ බව දැණුනා...

උණුසුම වගේම...
උහුල‌ගන්න බැරි තරම්
‌දුක දැණෙන...
අමාවක රෑ වරු ගණන්...
කඳුළු එක්ක
පහන් වූ නමුදු
මම සැනසුණා...

දින ගණන් ගෙවුණා...

එක සඳ මෝදූ වුණ...
ඇසළ මහ රෑක‌
අහස් කුස ‌සඳ එළියෙ
පුං‌චි තරු‌ කැටයක්
දැල්වුවා...
සඳු තුටින්
ආකහේ දිලිහුණා...

මගේ රෑ දිගු වුණා...
කඳුල ඇස් ළං වුණා...

හීන් සීරුවට...

මගෙ වගක්
සඳුට
අමතක වුණා...

අන්තිමට...
හැමදාම මා එක්ක ඉන්න
දිවුරාපු
සඳ...
අහසත්, තරු‌ කැටත් එක්ක
දුර ගියා...

මම
මන්දාරම් අඳුරෙ...
සඳ
මතකයන් එක්ක
තනිවුණා...


ලියා එව්වේ - සු

Wednesday, November 24, 2010

කඩඉමෙන් එහා

ඉගිලෙන්නට හිතයි
පියාපත් විහිදා
මේ ප්ලාස්ටික් සිහින වලින්
තව ටිකක් ඔබ්බට
මෝහයේ නිද්‍රාව
ගත වෙලා ගන්නට කලින්
එකම එක සැරයක්
ඔය දෑස් හැර බලන්න
රුදු වස්සානයෙන් සේදී ගිය
ඒ වසන්තය දිහා
තැලී පොඩිවී මියැදුනු
සමනල පියාපත් වල ගීතය
ඔහේ දෝංකාර දෙන හැටි
ගොම්මනේ විලාපයටත් උඩින්
මොකද මේක අපේ කථාවයි
සිතිජයෙන් එහා තනිවුණ
නූපන් ආත්ම වල
සිනහවෙන් වැසී ගිය
කඳුලු වල අඳෝනාවයි
නිම් නැති නිමේශයක
කළුම කළු යථාර්තය
නෙතින් නික්මී
පලා යන්නටත් මත්තෙන්
ගිම්හාන කටු ඇනුණු හදවතක
ඇදුම් කන පැතුම් පොදි
නෙක සුසුම්හී රැඳී
වියැකී යන්නටත් කලියෙන්
පුළුවන් නම් අහන් ඉන්න
එකම එක් වතාවක්
මොකද අපේ තනියට
අද නෑ තරු අහසවත්

ලියා එව්වේ - Dilan Dhananjaya (http://dilandadevil-poems.blogspot.com/ )

Saturday, November 13, 2010

ගල් පිලිමය..

ඈතදීම මම ඇයව හදුනාගතිමි.. ඇය උන්නේ සැණකෙළි බිමේ මැදක් හරියට වන්නටය.

පසුගිය වසර දහයටම ඇය වෙනස්වී ඇත්නම් ඒ මද වශයෙනි. ඒ වෙනසිනුත් අඩකට වගකිව යුත්තේ ඇගේ සිරුර පුරා ගල්වා තිබූ කලු සායමයි.

ඈ එකල මගේ දුගී පෙම්වතිය විය.

දැන් ඈ ගල් පිළිමයකි.

කුඩා කොලු රැලක් ඈ වටකරගෙන ඈට විසුලු කරමින් හිදිති. ඈ හිනස්සා ත්‍යාගය දිනාගන්නට උන් අසමත්ය.

මදක් පැකිලෙමින් මම ඇයට පෙනෙන සේ ඈ ඉදිරියෙන් සිටගනිමි....ඇගේ සිරුර මෙන්ම දෙනෙත්ද නිශ්චලය.. එහෙත් ඇය මා නොහදුනනවා විය නොහැක.


කාලය ගතවයයි..... ඈ තවම නිශ්චලය.

අතීතයේ දිනක් සිතින් ස්පර්ෂ කරමින් මම යන්නට හැරෙමි.

එදා ඈ සිටියේ හැඬීමට ළංව නමුත් නොහඬමින් වග හදිසියේම මට සිහිපත්වේ.


ලියා එව්වේ - Raven (http://www.sihinasewanali.blogspot.com/)

Saturday, September 11, 2010

හුදකලාව


ඈතින් ඇසෙනා සියුම් ගී හඩ
මා සිතට ජීවිතයේ අමිහිරිම වූ මතකයකට මග පාදයි
පෙර දිනයන්හි මා සිහින ලෝකයන්ට ගෙන ගිය ඒ ගී හඩ
අද ඉතා අසුන්දරවූ මතකයක් ගොඩගන්නට සැරසෙයි
ජීවිතයේ බොහෝදේ කියාදුන්
හුදෙක් භෞතික දේකෙරෙහි පමනක් ආලය කල මා
ඉන් මුදවා බොහෝදේ ගැන සිතන්නට හුරුකොට
මා ජීවිතය වෙනස් කල ඔබ

මගේ අසීමිත ආදරය ලබාගත් ඔබ
යලිත් මා දිවිය නොසිතූ සේ උඩු යටිකුරු කොට ඇත
වසර ගනනක් පෙරුම්පිරූ
දිනය උදාවූ පසු ඔබ මා අතැර ගොස් ඇත
වසර ගනනක් සිතමින් පතමින්
 ඔබ වටා ගෙතූ ඒ මගේ ජීවිත කතාව
ඔබත් මමත් ඒක්වූ දා
දුෂ්ටයා ලෙස පැමිනි බීමත් රියදුරු තැන අතින් වෙනස් විය !!

ලියා එව්වේ - සහෝදරයා (http://sahodaraya.blogspot.com/)

Thursday, September 9, 2010

ප්‍රමාදය

ඔරලෝසුව වැඩනැති නිසා මගට යනකොටත් පරක්කුද මන්දා..?

හිතේ තිබ්බ වේගේ එක්ක කකුල් දෙක පොඩිත්තක් සමපාත වෙන්න තිබ්බ ගැහැට බව නිසාම කකුල් ඇවිද්දේ පරක්කුවෙන් ...
හරියට "වැඩක් නෑ.., දැං කොච්චර හයියෙන් දිව්වත් උඹ පරක්කුයි කියන්න වගේ"

"කසුන් මට ඔයාව නොලැබුණත් මේ කරුම කසාදේ කරන දවසට පල්ලිය ගාවට ඇවිත් මට පේන්නවත් ඉන්න"
එයා බෙල්ලේ එල්ලිලා තිබ්බ රත්තරන් සුරුවම මගේ අතට දීලා කිව්වේ එහෙම..,
ඒ මීට සතියකට උඩදී..,

"මහත්තයා පල්ලිය හංදිය ගාව නේ බහිනවා කීවේ.., ඉස්සරහිං බහින්න"
නවත්තපු බස් එකෙන් බැහැපු මම පල්ලියට යනකොටත් ඈත යන වාහන පේලියට මංගල්ලෙට ආපු අමුත්තෝ තාම අත වනනවා.
මම යන්න හැරුණා..!

"ෂහ්...ලස්සන කපල් එක..!!"

කවුදෝ කියනවා ඇහුනා

ලියා එව්වේ - ලිෂාන් (http://lishwish.blogspot.com/)

Monday, September 6, 2010

දේදුන්න

ඈත අහසෙ දේදුන්නක් පායල.
මල් වැහි පොද එක දෙකකුත් එක්ක.
අපෙ සුපුරුදු ලොවි ගහ යට බන්කුවෙ මම වාඩි උනේ හිතේ හුස්මක් හිර කර ගෙන.
මම ගහට ඔළුව බර කලා.
වෙනදට නම් ඔලුව තියන්න ඔයාගෙ උරහිස තිබ්බා.
ඔයාට වාරු වෙල ඉන්න වෙලවේ ඔයාගෙ ඇඟිලි තුඩු වලින් මගෙ ඔලුව පිරි මදින කොට මට දැනුනෙ නිරාමිස සුවයක්.
එත් අද ඔයා නෑ මන් ගාව.
ඔයා හිටියනම් ඔයාට පෙන්නන්න තිබුනා දේදුන්නෙ ලස්සන.
දවසක් ඔයා කිව්වා ඔයා තරම් දේදුන්න ලස්සන නෑ බබෝ කියල.
මගේ හිත් අහසෙ පාට පාට රටා මවල හදිසියේම අතුරුදහන් වෙලා ඔයා ගියෙ ඇයි කියල තාමත් මන් හිතනව.
හරියට අර අහසේ පායපු දේදුන්න වගෙ.

ලියා එව්වේ - උපේක්ෂා (http://gurupara.wordpress.com/)

Related Posts Plugin for WordPress, Blogger...