Monday, July 17, 2017

ඇයයි රළයි මමයි

මුහුදත් ගැහැණිය බඳුය. විටෙක නිශ්චලය. එවිට මුහුදු පෘෂ්ටය කන්නාඩියක් මෙන් දිලිසේ. විටෙක චණ්ඩය. එවිට නෞකාවකුදු එය තරණය කිරීමට නිර්භීත නොවේ. විටක වෙරල ඉක්මවා ගොඩබිම ආක්‍රමණය කරයි. වැඩි කලබලයක් නැතිව හඬ නංවමින් සිටි.

බැම්මේ ඉහලින් වාඩිවී මාත් මට පියවරක් පහලින් තිබු බැම්මේ වාඩිවී ඈත් සිටින අතර අපේ දෑත් සිර නොවී, ඒත් මිදෙන්නටත් නොහැකිව වෙලී තිබුණි. ඇය හිස මාගේ දකුණු බාහුවේ තබා මදක් දකුණු පැත්තකට ඇල කර මහා සැනසුමකින් සුළං හඬ අසමින් අඩසඳ පායා තිබූ රාත්‍රියේ පෙනෙන නොපෙනන රළ බිඳුම බලා සිටියාය.

මම ඇයට හොරා හෝරා ගණනක් ඇය දෙස බලා සිටියෙමි.

ඇය එක්වරම හිස ඔසවා මා දෙස බැලුවාය.

මම මුහුද දෙස බැලීමි.


ලියා එව්වේ - ප්‍රභාත් විතානගේ |  saimaas.blogspot.com

Wednesday, March 15, 2017

මොහොතකට පෙර...

ඔවුන් කාමරයෙන් පිටව ගියේ විදුලි පහන නිවාගෙනය.

මේසය අසල වැටි සිටි මිනිසා කෙඳිරියක් නංවමින් උඩුබැලි අතට හැරෙන්නට විය. උණ්ඩ කිහිපයකින් පසාරු වී ගොස් ඇති සිරුරේ ප්‍රාණය වැඩි වෙලාවක් නොරැඳෙන බව ඔහුට දැනුණි.

හෙතෙම ජැකට්ටුවේ දකුණු සාක්කුවට අත දමා බැලිය. තැලුණු සිගරට් පැකට්ටුව තුල යම්තමින් පොඩි වූ සිගරට්ටුවක් සුරක්ෂිතව ඇති බව දැනුනි. සැනසුමට පත්ව එය මුවේ රුවාගෙන අනෙක් සාක්කුවෙන් ලයිරටය ගෙන දැල්වීමට දැරූ ප්‍රයත්න කිහිපයකින් පසුව හොඳින් හුස්මක් ගෙන හෙතෙම සියලු ශක්තිය යොදා සිගරට්ටුව පත්තු කළේය.

නමුත් ඔහු ආග්‍රහණය කලේ සුපුරුදු දුම්කොළ හා තුනී කඩදාසි දැල්වෙන සුවඳක් නොව ස්පොන්ජයක් පිළිස්සෙන සුවඳකි. ඔහුගේ මුවට නීරස කහට රසයක් දැනුණි.

ඉකි බිඳුමක් කාමරයෙන් නික්මිණි.


ලියා එව්වේ - ප්‍රභාත් විතානගේ |  saimaas.blogspot.com

Related Posts Plugin for WordPress, Blogger...