Saturday, April 30, 2011

දෙවියෝ

පෘථිවි කක්ෂයේ අරය කෙමෙන් පුංචි වෙන්න අරන් තිබුණ. ඉර වටේ යන හැම මිලිමීටරයක් ගානෙම පෘථිවිය ඉරට කිට්ටු කලා...

එහෙම වෙන්නෙ කොහොමද කියල හොයනවට වඩා ඉතිරි වෙලා තිබුණ කාලය ගැන හොයන්න ලෝකෙම සුපිරි පරිගණක ගිණියම් වුණා.

හරියටම අවුරුදු 27කින් පෘථිවිය සිකුරුගේ මධ්‍ය කක්ෂයේ සමපාත වෙනවා...

ඊට පස්සෙ තියෙන්නෙ වටේටම පිළිස්සීමක්...

අවුරුදු දහස් ගාණක් ඔවුන් නිහඬව අපිව නිරීක්ෂණය කලේ හ‍ඳේ ඉඳන්...

ඒ කතාව හඳ අතුරුදහන් කරන්න කලින් ඔවුන් කෙටියෙන් අපට දැන්නුව...

අපි පරිණාමය වුණ හැටි, ආදරය කරපු හැටි, මරාගත්තු හැටි... සේරම ඔවුන් දන්නවා...

ඔවුන් හඳ අතුරුදහන් කරල දවස් ගානක් ගියාමයි අපට ඒකෙ අනතුර තේරුණේ...

අවසානෙ ඔවුන් හිතලා තවත් අපෙන් වැඩක් නෑ කියල...



-
ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Friday, April 29, 2011

කුලියට දීමට ඇඳුම්!

දැන්වීමයි!

දවසක පාවිච්චියට සල්ලිදීලා අරං නාස්ති කරන්නේ මොටද?

නේනාවරුන්ගේ හා මහත්වරුන්ගේ ඇඳුම් කුලියට දීමට ඇත. ඕනෑම තනි පාටකින්, ප්‍රමාණයකින්, එකක් හෝ තොග වශයෙන් ලබාගත හැකිය. අඩුම වශයෙන් දිනක හෝ දිගු කාලීන බද්දට දෙනු ලැබේ.

සේවාදායකයාගේ පහසුව තකා නියමිත දිනට දවස් දෙකකට පෙර ඇඳුම් ලබා දීමට හැකි අතර ඒ දෙදිනට අයකරනු නොලැබේ. සුළු ඇපයක් තැන්පත්කර ඇඳුම් ලබාගත හැකිය. බද්දට ලබාගත් ඇඳුම් පසුදිනම ආපසු බාරදීමේ කොන්දේසියට යටත් වෙන අතර එසේ කිරීමට අසමත්වීම ප්‍රමාදවෙන සෑම දවසක් පාසා දඩ මුදලකට යටත්වේ, අවම වශයෙන් දවසක දඩ මුදල අයකරනු ඇත.

සැ.යු: ආපසු බාරදීමේ දී ඇඳුම් පලුදුවී ඇත්නම් මුළු වටිනාකම ගෙවීමට සිදුවෙන බව කරුණාවෙන් සලකන්න.

විමසීම්: rental[at]katussa[dot]com

ලියා එව්වේ - ගල්මල්-Coral (http://galmal.blogspot.com/)

Thursday, April 28, 2011

මටත් අක්කා කෙනෙක්

චෙක් ෂෝර්ට් එකයි ටීෂර්ට් එකයි ගහගෙන පිඹ පිඹ ශේප් එකේ ගෙදරට ඇතුල්වුනා. මලගෙදරක නයිටක් ගහලා දවසකට පස්සේ ඇඩ්මිට් වුනේ. වෙලාව උදේ නමයයි. අම්මියි අප්පච්චියි ඔෆිස් ගිහින්.

වෙනදා හැක්ස් කන්දරාවක් කාලා ගෙදර ගැහෙමින් ආවට අද කාට බයවෙන්නද?

හෙමීට දොර ඇරියා.

"මතකයට මගේ ඔබ ඇ."

"හුටා"

"මෙහෙ එනවා.. කෝ බලන්න.. නෑ තව ලගට එනවා"

"නෑ.. මේ.. මං.. අර..."

"අපෝ තමුසෙ ගාව ගද විතරක්. රස්තියාදුවයි ජරාවයි. චික් මල්ලි"

අක්ක අඩනවා.

"සොරි අක්කෙ ආයෙ නෑ. ප්ලීස්"

අක්කා මගේ කනෙන් ඇල්ලුවා.

"ඌයි."

"ආයෙමත් ජරාව බොනවකෝ කරන දේ බලාගන්න"

*****************************************

"නැගිටපං, අර ඔතපු එක ගහල ඉදපන් උදේ වෙන්න කලින්."

******************************************

"අනේ දෙයියනේ මටත් අක්කා කෙනෙක් හිටියනම්"

ලියා එව්වේ - යසියා (http://yasiwett.blogspot.com/)

Wednesday, April 27, 2011

උන්ට හොඳ නම් අපිත් කරහම මොකෝ

එහා ගෙදර කරුනාවතීගේ ළමයාගාව ඩොලර් කොලයක් තිබ්බා කියලා ඊයේ කඩේගාව කතා උනා, අලුත් ගෙදරට ඇවිත් ඉන්න සුදු මහත්තයා නිතර ඒ පැත්තේ යනවා මිනිස්සු දැකලා තියෙනවා. මාත් පොඩ්ඩක් ඒ පැත්තේ ගිහින් එන්න ඕනේ. මහත්තයා ඉරිදට පල්ලි ගිහින් ආපහු එන්නේ එක එක ජාතියේ නෝනලා එක්කලු පහුවදාටලු ආපු උදවිය ආපහු යන්නේ

33 කාමරය

කවුද සෝමදාස කියන්නේ

මහත්තයාගේ වෛද්‍ය වාර්ථාව අනුව මහත්තයා එච්.අයි.වී ආසාධිතයෙක්.

රූපවාහිනියේ විද්වත් සාක්ච්ඡාවේ "ඇමරිකාව ඉරාකේ වියට්නාමේ කරපු යුධ අපරාධ ගැන හොයන්නේ නැතුව අපේ ඒවා ගැන හොයනවා" කියන වියතාගේ හඬ සහ "දැන් මිනිස්සු කියන්නේ බෞද්ධයෝ තමා නරකම අනික් ආගම් වල අය නරක නැහැ" කියන භික්ෂුවගේ හඬ සිහිනයකින් මෙන් සෝමදාසට ඈතින් ඇසුනා

ලියා එව්වේ - නිෂාන්

Tuesday, April 26, 2011

උත්ප්‍රේරකේ

මොනවහරි ලියවෙන්න නං, ඒකට උත්ප්‍රේරකයක් තියෙන්න ඕනෙ.

මුලින් මගේ ක්‍රෂ් එක (ට්‍රයි එක). ඒක (එක්තරා ආකාරයක) ලව් එකක් නොවුනට...

මාරයි ඕයි!!

ඊට පස්සෙ මේ ඉලව් ලව් එක. ලව් එකට වඩා ක්‍රෂ් එක මරු. ක්‍රෂ් එකකට ට්‍රයි කරන කාලෙ මාර ෆන්.

ආදර් හම්බුනාට පස්සෙ අනාගතේ ගැන ප්ලෑන්. සිහින ලෝක. නිර්වින්දන...

අවුරුද්දක් ආදරය කරල ඒක නැතිවුනාට පස්සෙ, අවුරුද්දක හිස් අවකාශයක් ඇතිවෙලා කාලයයි, අවකාශයයි අතරෙ හිර වෙනව. මුකුත් ගැන හිතාගන්න බැරිව අසරණ වෙනව. මචං, මම උත්ප්‍රේරකයක් හොයනව. කෙල්ලෙක්. ආපහු ආදරේ කරන්න.

“උඹ නං කවදාවත් හැදෙන එකෙක් නෙවෙයි බං. උඹ ආයෙ හදන්නෙ අමාරුවෙ වැටිල පිස්සෙක් වෙන්න.”

ඌ එහෙම කියල මුහුද පැත්තට ගලක් පා කරා.

ලියා එව්වේ - සුපුන් සුදාරක (http://blog.sudaraka.com)

Monday, April 25, 2011

සර්... අසනීපයක්වත්ද?

බන්දුපාල දෙවරක්ම වාහනයේ වීදුරු පහත් කරලා ආයෙ වැහුවත් සද්දේ නැවතුණේ
නැහැ. අලුත් වාහනේ... හුළං ලීක් වෙන්නත් බැහැ. සු... ස්සූ... හඬ විටින්
විට ඇහෙනවා.

පසු අසුනේ ඉන්න චෙයාර්මන් මහත්තයාගේ මූණ පත්තරෙන් වැහිලා.

"සර් හොස්පිටල් යමුද?" ඇහුවේ දෙගිඩියාවෙන්.

"ඒ මක්කටැයි?" ගෙරවූවා.

"සර්ට... අසනීපයක්වත්ද?"

"බොට අමු කැවිලද මිනිහෝ?" දැන් විදුලිත් කොටයි.

බන්දුපාල නිහඬ විය.

"ඇමතිතුමාගේ බංගලාව දිහා යමු"

"හොඳමයි මහත්තයෝ"

පුදුමේ ගේට්ටුත් ඇරිලා. වාහනය නවත්වන සුනංගුවේ දොර ඇරගෙනම බැහැලා ගිය
මහත්තයා අතේ වූ පත්තරයේ කොටසක් ගිලිහුණා.

බන්දුපාල අහුලා, ගසලා ගත්තා. ලොකු අකුරින් වූ "ස්විස් බැංකු තැන්පත්
කරුවන්ගේ රහසිගත තොරතුරු හෙළිකරන්න සැරසේ" පේළිය දැකලා "සු(විස්)...
ස්...සූ(විස්)..." මතුවූ වියරු සිනාව... තරුරොත්තකට පෙරලුණි, බන්දුත්
ගැහෙන්න පටන්ගති.

ලියා එව්වේ - ගල්මල්-Coral (http://galmal.blogspot.com/)

Sunday, April 24, 2011

කරුමේ...

ආ නංගියේ වාඩි වෙන්න...

කොහොමද අක්කේ දැන් දරුවන්ට?

දැන් ලොක්කිට හරි සරුයි ඕස්ට්‍රේලියාවෙනේ ඉන්නේ, බෑනත් ලොකු කොම්පැනියක ලොක්කෙක් ලමයි දෙන්නත් දැන් ලොකු කොලීජී වලලු ඉගෙන ගන්නේ ලොකු පුතා එංගලන්තේ, මහ රැජින ගාවනේ වැඩ කරන්නේ කාලෙකින් ආවේ නැහැ ලංකාවට. උන්ට එහේ හරියට වැඩ රාජකාරි නොවෑ

කෝ මේ කරුණාවති ???

මේ නෝනා නැන්දට තේකක් හදාගෙන වරෙන්, ඊට පස්සේ ඔය කුස්සිය අස් කරලා මගේ රෙදි හෝදලා මිදුල අතුගාලා දාපන්

උඹේ මිනිහට කියපන් පොල් ටිකක් ලෙලි ගහලා දාලා අර වත්ත සුද්ද කරලා දාන්න කියලා මන් දැක්කා කැලේ වැවිලා හොඳටම

දැන් අපි එක්ක ඉන්නේ කරුණාවති විතරයි ඒකිගේ කරුමෙට අර පොල් කඩන සිරිපාල එක්ක පැනලා ගියා

ලියා එව්වේ - නිෂාන්

Saturday, April 23, 2011

අනුන්ගෙ බයිලා

අද අංශ ප්‍රධාන රැස්වීමෙදි රම්‍ය මිස් සෙක්ෂන් එක පාවල දීල...

රහස් සාකච්ඡාවකට පස්සෙ අංජලියි උමන්දායි ආවෙ නහයෙන් අඬාගෙන...

කවුද කිව්වෙ? මම ඇහුව.

කිව්වෙ ජගත් අයියා... එයාට කිව්වෙ සීසී මහත්තයලු.

ඔය කතාව දෙන්නෙක් හරහානෙ ඔයාලට ඇවිත් තියෙන්නේ... ඔය දෙන්න හොඳටම ෂුවර්ද?

මම එහෙම ඇහුවෙ රම්‍ය මිස් අප්සෙට් වුණාට හොඳටම අප්සෙටුත් නැති හින්දා.

ඒත් කෙල්ලො දෙන්නට මාව කොහෙත්ම ෂුවර් නෑ... උන් දෙන්න එකවුන්ටන් එනකල් ඉඳල ඇහුව...

ඇත්තද සර් රම්‍ය මිස් අද රැස්වීමෙදි අපිට බැන්න කියන්නෙ?

එකවුන්ටන් බැරෑරුම් බැල්මක් එක්ක එකපාර කියල දැම්ම...

එයා කතා කලේ සෙක්ෂන් එකේ පැත්තට... කවුද ඔය බොරු කතා පතුරවන්නේ? තමන් කරන වැඩේ කරගෙන ඉන්න අනුන්ගෙ බයිල අහන්නෙ නැතිව.

ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Friday, April 22, 2011

අනේ සාදු……!

“හේතුවෝ..“

“හාමුදුරුවනේ…“

“උඹ මොකක්ද කර කර උන්නෙ?“

“පන්සල පහල රබර් කට්ටියෙන් දර වගයක් ඇහින්දා. ඒ ටික අඩුක් කලා හාමුදුරුවනේ.“

“හොඳා හොඳා.. උඹෙන් අහන්න හැදුවේ…. ආ.. පුංචි වලව්වෙ දානෙ කවදැයි කියලද කිව්වෙ බං?“

“ලබන සෙනසුරාදා හාමුදුරුවනේ..“

“මේ ගමන මුං මට නොකියම මැද පන්සලට ආරාධනා කොරලනෙ. මට නිකංවත් මතක් කලාද?“

“මහ නිලමෙ නැතිවුණත් හරි පුංචි වලව්වෙ ඈයො හරියට වෙනස් වෙලා හාමුදුරුවනේ..“

“මට හිතෙනව ගිහිං උන්ට දෙකක් කියල එන්න. ගමේ එකාල හැටියට උන්ට තියෙනව යුතුකමක්…. හේතුවො කුසුමගෙ ගෙදරට ගිහිං කියාපං ඇවිත් මගෙ කාමරේ අස් කරන්න කියල. හැඩිවෙලා. මං එනකං ඉන්න කියාපං කකුලෙ තෙල් වගේකුත් ගාගන්න තියෙනව.“

“එහෙයි හාමුදුරුවනේ..“

“කෝ ගෙනෙං මගෙ කෝට් බෑය….“

ලියා එව්වේ - සකුස් (http://sakus-matahithenaheti.blogspot.com/)

Thursday, April 21, 2011

මැරුණට පස්සේ

ලොකු දුව දැන්ම බඳින්න අදහසක් නැද්ද?

තාම නෑ කෙනෙක් ඉන්නවා..

ආ.. නෑදෑයො වෙන කෙනෙක්ද? මොකද්ද රස්සාව..

නෑදෑයෝ නෙමේ. කොම්ප්‍යුටර් මොකද්ද එකක වැඩ.

හොඳයි නේද?

හ්ම්ම්...

එයා අපේ ජාතියේ නෙමේයි කියලා ආරංචි උනේ හැබැයි.

හ්ම්ම්....

ඔයාලා හොයලා බැලුවේ නැද්ද? මොනා උනත් අපේ කෙනක්ම නම් තමා හොඳ නේද....

එයාලාගේ කැමැත්තනේ.. අපි වැඩි කල් ඉන්නෑ. මේ එයා‍ලගේ ජීවිතේ.

ඒත් ඉතින් මැරුණම එහෙම කොහොමද ඒ චාරිත්‍ර. අපේ ක්‍රමේටද එයාලගෙ ක්‍රමේටද?

මැරුණට පස්සේ කොහොම උනාම මොකද. කොහොම කරත් පොළවට නේ.

ඒ උනාට එහෙම හොඳද. කොහොමත් ආගමෙන් පිට ගියාම අපේ ක්‍රමේට බෑ.

ලොකු දුව මැරෙණ කා‍ලෙට නැන්දා පණ පිටින් හිටියොත් බලාගන්නකො කොහොමද චාරිත්‍ර කෙරෙන්නේ කියලා.

.......................!


ලියා එව්වේ - ෆා ද බ්ලොගී (http://bloggysdiary.blogspot.com)

Wednesday, April 20, 2011

ඇත්තම මහත්තයා?

මහත්තයෙක්.
දිලිසෙන කළු කලිසමට යටකරපු ඉරි ෂර්ට් එක,
පස්ස පැත්ත පිම්බෙන්න බස්සපු පර්ස් එක.
හිඳගෙන උන් මගේ ලඟින් හිට ගෙන.
ඔහුගේ දෙකලවා මගෙ උරහිසට තද වෙයි,
හිටගත් සෙනඟක් නොමැති බස් රියේ.

මගෙ ඇඟට බර වෙයි, තෙරපෙයි, ඇඹරෙයි.
ඔක්කාරෙට එයි මට.

කොලුවෙක්.
නහර පෑදුණු කලු දෑත්, අඳුරු කමිසයක් හඩු ගඳ ඩෙනිමට උඩින්,
මා හිඳින අසුනේ කවුළුව පැත්තේ.

මාරුවෙන් මාරුවට බලයි,
අසුනේ ඇඹරෙන මා දෙස,
මට වාරු දී සිටින මිනිහා දෙස.
ටිකකින් අසුනින් නැගුණා කොලුවා.
'ඔයා මෙහාට වෙන්න' විධානයක්!
මට අසුනේ කෙලවර දී මගේ තැන ඔහු අරගෙන.
පහසුව සැලසුවා මට.
හඩු ගඳ ආයෙ ආවේ නෑ.

මහත්තයෝ, පැය එකහමාරක් ආදරේ කරා මං නුඹට!

ලියා එව්වේ - සොබනි

Tuesday, April 19, 2011

වෙලාව

පැය භාගයක් උනා... තවම බස් එකක් නැහැ. අසල සිටි තරුණයා වෙලාව ඇහුවත් සරත්
නෑහුණා වගේ උන්නා.

මූණ බලා ඉඳ… ගිය තරුණයා ආයෙ ඇවිත් "වෙ..වෙ. වෙලාව කි...කි." කිව්වත්
නෑහුණ ගානට ඈත බලා හිටියා මිස සරත් කිසි කතාවක් නැහැ.

අසල සිටි අනෙකා "අර අහිංසකයා වෙලාව අහනවා නේද? අතේ ඔරලෝසුවක් තියාගෙන
ඇහුන් නෑ වගේ ඉන්නෙ... වටින් නෑ සහෝදරයා."

බේරුමක් නැති තැන අත් ඔරලෝසුව බැලූ සරත් "...හ..හ.. හත..ර..ආ..." කියන්න
තටමද්දි තරුණයා නෙලන්න පටන්ගත්තා.

මදිවට අනිකා "ඕයි! තමුසෙට වටිනවද ආබාධිතයෙකුට කොලොප්පම් කරන්න"

කන හරහා වැදුණ පාර රූං ගාද්දී "ත් ත ත.. තමුසේ ක් ක... කට පියන් ඉන්න ද්
දු.. දුන්නැයි ම්.. ම්...මට..." සරත් ගොත ගහනවා...

ලියා එව්වේ - ගල්මල්-Coral (http://galmal.blogspot.com/)

Monday, April 18, 2011

මහා කරුණාවෙන්

මේ ඇහුනද...

කෝ මේ මිනිහා කොහාට මකබෑ උනාද???

තමුසේ අද දවල්ට මොනා හරි තම්බන් කනවා.

මට සිල්ගන්න යන්නා පරක්කු වෙන නිසා මොකුත් හැදුවේ නැහැ.

අද සිල් ඇත්තන්ට දානේ මන්ත්‍රීතුමාගේ ගෙදරින්ලු සරුවට තියේවි.

නොදකින් ඒ ගමන අර කරුණාවතී ඇවිත් මල් ගහේ සේරම මල් කඩනවා කොහෙද, පරක්කු වෙන නිසා මන් සද්ද නැතුව ඉන්නේ නැත්නම් ඕකිට මන් කියනවා හොඳවෑයින් දෙකක් කන්දෙකේ ඇඟිලි ගහගන්න. දැන් මන් පූජා කරන්න මල් කොහෙන් කඩා ගනන්ද?

දුප් වල් බැළළි ආව මෙතන ඤාව් ගාගෙන අවලමේ ගිහින් පැටව් හදාගත්තා මදිවට වැදගත් ගමනක් යන්න හදනකොට එනවා මෙතන කකුලේ පැටලෙන්න.

මන් යනවා ඉක්මනින් ගියේ නැත්නම් බිත්තියක් අයිනේ අල්ල ගන්න බැරිවෙනවා සිල් ගන්න.

ලියා එව්වේ - නිෂාන්

Sunday, April 17, 2011

අඹ ගෙඩියක හැඩය වෙච්ච

දකින දකින මිනිහ අතේ

බැඳලා ඔරලෝසු ඇතේ

එක වෙලාව නොපෙන්වතේ

කියලම දුක තිබුනෙ හිතේ

අදින් පස්සේ ඒවා මතේ

එක වෙලාව දුවනු ඇතේ

වෙනුවෙන් අප හටම සෙතේ

වෙබ් සයිටුත් දාලා ඇතේ

අකුණු පවා වැදිල ඇතේ

කහටක් නැති වුනත් හිතේ

මේ වදනුත් ලියමි පොතේ

මින් මතු මේ පොළොව මතේ

හැමෝම සිනා සෙනු ඇතේ

උන්ගෙ එකම ප්‍රශ්නෙ හිතේ

දැන් නැතිවෙල ගිහින් ඇතේ

බඩු මිල අහසේ වැදුනත්

තුන් වේලට කන්න නැතත්

ලෝකය කනපිට ගැසුනත්

වෙලාව හරියටම ඇතේ

සන්තෝසය පිරිල හිතේ

(සමහර අය හිනා වෙන්නෙ

ඔච්චමට කියලත් හිතේ)

ඒ නම් ඉරිසියාව මයිහිතේ



හරිම වෙලාව ඇත අතේ

අනේ ඉතින් වෙනද වගේ

අපි

වෙලාවටම වැඩ කරනව ඕයි!

ලියා එව්වේ - හුළං

Saturday, April 16, 2011

ප්‍රේත ගින්න

යකො අන්න ගිණි ගන්නවා.

අන්න කවුද එකෙක් පොල් කට්ටකට වතුර අරන් එනවා ගින්න නිවන්න.
මොඩයො.

පුදුම හුළගක්නෙ මචං, ගින්න තව වැඩිවෙනවා මෙ හුලඟට

වැස්සක් වහිද්දිවත් නැති හුලං.. කාව හරි කරදරෙ වැටුන හම...
මක් වෙලාද බන් ගිණි අරන් තියන්නෙ

කාලෙන් කාලෙට ආපු උන් ඇවිල්ලා ඇවුලපු ගිනි වල
පුපුරු තමයි මෙ ගින්නට හේතු වෙලා තියන්නෙ කියලා ඈතට වෙලා බලන් ඉන්න එකෙක් කියනවා ඇහුනා....

මෙ ගින්න මෙහෙම නිවන්න බැහැ බන් මෙකට අනිවා ගිනි නිවන හමුදාවෙන් ගෙන්න වෙනවා...

අන්න කියන කොටම ආව සයිරන් එක ගහගෙන පලාතම දෙදරන්න..

මොනාද බන් උන් ගින්නට දාන්නෙ..

උනුත් තෙල් තමයි බන් දාන්නෙ වතුර නෙමෙයි
කස්ටිය හිතන්නෙ වතුර දැම්මා කියලා...

ලියා එව්වේ - රවා (http://ravamrt.blogspot.com/)

Friday, April 15, 2011

අවුරුද්දට නික්මෙන්නට නොදී...

ජීවිත ප්‍රස්ථාරයේ උච්ඡාවචනයන් නැතිව ගෙවුණ ජීවිතේට අලුත් අවුරුද්ද උච්ඡයක්, මුදුනක් එකතු කලා... ඒ වෙනුවෙන් රසකැවිලි, ඩෝං සද්ද, වෙලාවට වැඩකරපු එකම එක දවසක් එක්ක සුභපැතීමත් උපරිමයෙන්ම සිද්ධ වුණා.

හමීඩ් පවුලෙ පුංචි ළමයි අවුරුදු අවුරුදු කිය කිය රතිඤ්ඤ පත්තු කරද්දි ඇන්ටන් පවුල නැකතට ලිපගිනි මෙලෙව්වා...

සේරම භේද අතෑරලා රටේ ජාතික උත්සවයක් වෙනුවෙන් මිනිස්සු එකතු වුණා.

තරහ අරන් බේදභින්න වෙලා නොයෙක් පැතිවල හිටපු ඥාතියො එක වහලක් යට කිරිබත් කටක් කෑවා...

ඒත්...

ඒ එකම එක දවසකටද?

හැමදාටමද?

ආයෙ ආයෙමත් අවුරුදු ගාණක් කියෙව්වත් තවමත් අපි අවුරුද්ද වෙනුවෙන් එකම පැතුමක් පතන්නෙ අපේ වරදක් නිසාද? අපේ පැතුම ඉටු නොවෙන නිසාද?

අවුරුද්දෙන් පස්සෙ අපි කවුරුවත් අවුරුද්ද ගැන හිතනවද?


ලියා එව්වේ - Hare :-) (http://living.hartstuff.com/)

Thursday, April 14, 2011

ලොකු අයියේ අවුරුදු ජයද?

අද සිංහල අවුරුදු දවස...

දවසින් දවස අපිව මිටි මිනිසුන් කර උසට නගින ගොඩනැගිල්ල අහස අල්ලන්න ඉක්මන නිසා දෝ අදත් වෙනසක් නැහැ... වැඩ.

ඒත්... මාස ගාණක් ඇහැට දැකපු නැති කෑම බීම පලතුරු මුලු මෙස් එකම සරසලා. රෑ කෑම වේල ජය පාටයි. අපේ එවුන් බරටම ෆොටෝ ගන්නවා, නයිට් ශිෆ්ට් එකේ වැඩකරන උන්ට ඒ චාන්ස් එකත් නැහැ.

ලොකු අයියේ... උඹේ අවුරුදු පාටි ෆොටෝ ලැබුණාම ගෙදර අය වටවෙලා බලන හැටි මැවිලා පෙනුණා. අපි හින්දා උඹත් අවුරුදු දොළහක් තිස්සේ තනිවම මේ කාන්තාරයේම තවත් පැත්තක මොනතරම් දුකක් විඳිනව ඇත්ද? උඹ කවදාවත් කටක් ඇරලා කියන එකක්යැ. මගේ පපුව දාලා ගියා බං.

ෆොටෝ දකින උන්වත් සතුටින් ඉන්නේ නැතැයි.


ලියා එව්වේ - ගල්මල්-Coral (http://galmal.blogspot.com/)

Wednesday, April 13, 2011

කෝ මේ ෆෝන් එක?

ඉස්සර පුංචි කාලෙ අවුරුදු නිවාඩුව තමයි අවුරුද්දක් ඇතුලත තියෙන හොඳම නිවාඩුව...

ඒක එනකල් අපි ඉන්නෙ ඇඟිලි ගැන ගැන...

තෙල් සුවඳ ගම වටේ පැතිරෙද්දි එක එක කෑම වර්ගයි, නිලා කූරුයි එක්ක ඔට්ටු වෙන එක ලොකුම ආසාව...

තාත්තලගෙ රතිඤ්ඤ පත්තු කෙරිල්ලයි, අහස්කූරුයි, බඹර චක්‍රයි අනිත් එක...

ඊට පස්සෙ නෑ ගෙවල් වල සහෝදර සහෝදරියො එක්ක සෙල්ලම...

ඒ පුංචි නිවාඩු කාලෙ ඇතුලෙ අපි ජීවිත කාල කීපයක් ගෙවනව වගේ...

ඒත් දැන් සේරම වෙනස් වෙලා...

රාජකාරියෙන් මිදිල ලැබෙන කෙටි නිවාඩුවෙත් කරන්න වැඩ ගොඩයි...

වයසත් එක්ක ලැබෙන වගකීම් ගොඩක් එක්ක අපි හැමෝටම අත්වෙන ඉරණම ඒක...

කරන්න දෙයක් නෑ...

කට්ටියටම සුභපතල SMS යවන්න ඕන...

කෝ මේ ෆෝන් එක?


ලියා එව්වේ - මලී (http://abnormalminds.blogspot.com/)

Tuesday, April 12, 2011

අනේ ඇයි බං පුතේ මේ........... ?

“අනේ බං පොඩි එකෝ.........

උඹට අහවල් දේකින් අඩුවක්ද? මොකද්ද බං මේ වෙනකම් බලන් ඉන්නේ?

අපි දෙන්නා ගැනවත් හිතුවද?

උඹට එහෙම දෙයක් වෙනවට වඩා හොඳයි මටයි තාත්තාටයි වෙන එක. එහෙම දෙයක් වුනාට පස්සේ අපි ඉඳලා පලක් තියේද?

උඹට එහා උඹේ යාළුමිත්‍රයෝ. උනුත් කටක් ඇරලා කිසි දෝසයක් නැතුං උඹට ඔය නම කියනවානේ.

ඇයි පුතේ, උඹට අපි පොඩි කාලේ දාපු නම ඔච්චරටම අසෝබනයි කියලා හිතිලද මෙහෙම නමක් දාගත්තේ?

උඹ නං අයියාගේ අහලකින්වත් තියන්න පුළුවන් ‍පුතයෙක් නෙමෙයි. කනමොදයා වගේ බීගෙන............. මේ විදිහට ගියොත් උඹ නමකුත් දාගෙන වෙනකම් බලන් ඉන්න එක, ඉෂ්ට වෙනවා වැඩිකල් නොයාම.

වෙනකන් බලාගෙන ඉන්න
මගේ මරණය

තුහ් විතරක් මොකටද මගේ කට”.

ලියා එව්වේ - රන්දිල් (http://ranrandil.blogspot.com/)

Monday, April 11, 2011

පස්සෙන් බහින්න

දවසක් මායි නංගියි බස් එකේ යනවා. පුරුද්දට වගේ කතා කරනවට වඩා හිනා වෙනවා. හිනා වෙනවා කිව්වට වඩා හිනා යනවා කිව්වාම තමයි හරි. බස් ගමන් අපි දෙන්නට එහෙමයි හොඳේ.

බස් කොන්දොස්තර බරටම වැඩ. වටේම ඉන්න මිනිස්සුන්ට බනිනවා. හිටපු ගමන් බනත් දෙසනවා.

අපි බහින්න ලංවෙන හෝල්ට් එකත් ආවා. නංගියි මමයි බස් එකේ ඉස්සරහ දොර පැත්තට හෙමින් සේන්දු වුනා. මොකද අපි ඒ දොර කිට්ටුව හිටපු නිසා. බස් එක නවත්තන්න ඔන්න මෙන්න.... එකපාරටම කොන්දා කෑ ගහන්න පටං ගත්තා "ඔය නෝනලාට තෙරෙන්නෙ නැද්ද? පස්සෙන් බහින්න... පස්සෙන් බහින්න"

"ඇයි දෙයියනේ මෙච්චර අගේට කකුල් දෙකක් තියෙද්දි මොකටද පස්සෙන් බහින්නේ" මං ඇඟට නොදැනී එහෙම කියල බස් එකෙන් බැස්සා....

ලියා එව්වේ - තරුනිසළයි (http://tharunisalai.blogspot.com/)

Sunday, April 10, 2011

යන ගමන් දොර වහගෙන යන්න...

තමුසෙ කොහොමද ඕයි මට ආදරේ කරන්නේ.. 
ඇය සිය තිසරපට සකස්කරමින් සිටියාය. එලිවීමට තව පැයක් හෝ දෙකක් ඇත.
තමුසේ මහ පුදුම ගෑනියෙක්නෙ.. තමුසෙ මට ආදරේ කරන එකට මම තමුසෙට ඇතිවෙන්න ගෙවනවා. සල්ලි අතට හම්බවුන ගමන් ඒ ආදරේ තමුසෙගෙන් අතුගෑවිලා යන්න ඕනි. තමුසෙලාගේ ආදරේ තියෙන්න පුළුවන් පැය ගාණකට විතරයි..
එහෙනම් ඇයි දෙයියනේ එක දිගටම මාසයක් සතිය ගානේ මම ලඟට ආවේ.. 
ඇය සිය හැට්ටයේ මාරුවී දමා තිබුන බොත්තම් නැවත ගලවා නිවැරදි ලෙස කාසවලට දමමින් සිටියාය..
තමුසෙ ලස්සනයි. එකම හේතුව එච්චරයි. මම හිතුවේ නෑ තමුසෙ මෙහෙම මගුලක් නටන්න ගනී කියලා.. 
ඇය හිස් බැල්මකින් ජනේලයෙන් එලිය බලාගෙන සිටියාය..
මම යනවා... 
යන ගමන් දොර වහගෙන යන්න...
ලියා එව්වේ - ආගන්තුකයා (http://ambarox.blogspot.com)

Saturday, April 9, 2011

මොහොතින් මොහොත...

සුරංගනා කතාවක හිම වැටුණ රැයක විදුලි කණුවක් යට ලා එලියක ඇය නටමින් හිටියා... ඒ නැටුම කෙලවරදි අඳුරු මුල්ලක හිටපු මගේ පපු තුරුලට වෙලා ඈ ඇගේ ආදරේ මට කිව්වා... මම ඒ දෑස් දිහා බලන් හිටියෙ පුංචි මොහොතක්. ඒක ජීවිතේ නැවතුණු මොහොතක් වුණාට මම ඒ මොහොත ඇතුලෙ ජීවිත කාලයක් හිටියා...

ඊළඟ දවසෙ ආයෙමත් උදේ නැගිටල මුහුණ හෝදල පටන්ගන්න ඉරි තලපු ජීවිතේ ඇය සාමාන්‍ය ගෑණියක්... ජීවිත කාලෙන් මොහොතක් ඈත් එක්ක ගෙවන එක කෑම පිඟානක්, පත්තරයක්, චිත්‍රපටියක්, ක්‍රිකට් තරගයක් වගේ සරල දෙයක් වෙලා.

ඒත් හිම පියලි වලින් වැහිල ඇගේ නෙත් දෙක තාම ආරක්ෂිතයි... විශේෂ කෑමක්, හොඳ කාටුන් එකක්, දැණෙන චිත්‍රපටියක්, සික්සර් එකක් වගේ...


-
ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Friday, April 8, 2011

ආයුබෝවේවා..!

වැඩ කරන දවසක හවස හතර පහ කියන්නේ ටවුන් හෝල් හෝල්ට් එක අම්බා‍නකට ‍බිසී වෙන වෙලාවක්.

138 බස් පෝලිම අස්සේ 155 වගේම 175, 140 බසුත් එනකම් සාරි, කොට සාය, ටයිට් ජීන්ස්, යුනිෆෝම්, ඩෙනිම් ඇඳපු හැම ජාතියෙම අය හෝල්ට් එකේ කොක්කු වගේ බෙලි දික්කරගෙන.

අද අඩියෙන් අඩියට කවදාවත් නැතුව පොලීසිය..

එක පාරටම හෝල්ට් එකේ බස් නැතිඋනා.. පාරේ ගිය වාහන නැතිඋනා.. ඉරිදාවල් වලටවත් මෙහෙම වෙන්නේ නෑ.. කොටින්ම පාරේ පයින් යන අයත් නැති තරම්. මුළු පාරම හිස්උනා..

කට්ටට පායන ඉරත් වළාකුළු අස්සේ හැංඟුනා..

සුරූන්... stf බයික් ‍එකේ ඩබලක් ඉඟිලුනා..

තව එකක්..

‍ඩිෆෙන්ඩර් එකක්..

කළු කාර් ‍තුනක්...

ඩිෆෙන්‍ඩර්....

බයික්..

කවුද ඒ?

මහ රජතුමානේ..

අපේ රජතුමා?



ලියා එව්වේ - Malee_msg (http://abnormalminds.blogspot.com/)

Thursday, April 7, 2011

අහෝ ෆෝබියා 5 - සෙක්ස්

දෙයියන්ට ස්තූතිවන්නට සෞඛ්‍ය ගුරුවර ගුරුවරියන් අට වසරේදී ප්‍රජනන පාඩම උගන්වන්නේ නැත. අම්මොහ් පුතු වල් නොවී බේරුනේ ඒ ගුරුවරුන්ට පිං වන්ටය. නැතිනම් පුතු ඕවා වැඩි දුරටත් හොයන්න යනු ඇත. දැනටමත් ඕවා උගේනගෙනදැයි සැක නැත්තේ නොවේ. දොලහ වසරේ සිටියාට මූ දැන් ඕනෑවට වැඩිය.

මාසයක දෙකක සිට මූ ගෙදරට ගෙන එන විදුසර පත්තරය වෙනදාට වඩා මහතය. වෙනදාට සරසවියෙන් මිලට ගත් එය දැන් මූ ගන්නේ මරදානේ පාලම යටින්ය. මා නොදැනීම මහා විනාශයක් වනවා ඇත.

පිරිමි පමණක් රඟන චිත්‍රපට මූට පෙන්විය යූතුය. අපේ පුතු මේ උගුලෙන් බේරා ගත යුතුය. බොරැල්ල, කොල්ලුපිටිය, වත්තල, මොරටුව, බම්බලපිටියේ නොයැවිය යුතුය.

ඒත් මූ හනිමූන් එකේදි ගෑණිත් එක්ක කැරම් ගගහා ඉඳීවිද?


-
ලියා එව්වේ - මුචලින්ද (http://muchalindha.blogspot.com/)

Wednesday, April 6, 2011

ආයෙමත් ඇවිදින්

"ගෙදර කවුද?"

නිවස තුළින් වසර හැටක පමණ පිරිමි කෙනකු එළියට ආවේය.

"මම ආවේ මිස්ටර් කොඩිකාර හම්බවෙන්න" යැයි ඇය මඳ සිනහවක් පෑවාය.

"මම ලිහිණි වේවැල්වල" ඇය ඇයව හඳුන්වා දුන්නාය.

ලිහිණි, කොඩිකාරට වඩා වසර විසි පහකින් ලාබාල ගැහැණියකි. මීට වසර දහ තුනකට පෙර නැති වූ ඒ ප්‍රේමය නැවතත් ඔහු සොයා ඇවිදින්. වසර දෙකක පමණ කාළයක් දුරකථනයෙන් පෙම්බස් දෙඩුවත් කවදාවත් එකිනෙකා නොඳුටු ඔවුන් දෙදෙන හමු වූයේ අදයි.

“මට ඔයාව දකින්න ආස හිතුනා ඉතින් මං ආවා" යයි කියා ඇය මඳ සිනහවක් පෑවාය.

"එහෙනම් මම යන්නම්" කියා ඇය දණ ගසා ඔහුට වැන්දාය.

"බුදුසරණයි" ඔහුට කියවුනි.

"මම යන්නම්" කියා එම නිවස දෙස නොබලාම ඇය යන්නට ගියාය.


-
ලියා එව්වේ - තරුනිසළයි (http://tharunisalai.blogspot.com/)

Tuesday, April 5, 2011

නිකං දෙන බත්

කියන්නෙනම් ගෙදර අම්ම හදන බත් එක තරම් කෝකත් රස නෑ කියල.

මල්ලිකාගෙ අම්ම නැති වෙලත් අවුරුදු ගාණක් වෙලා නිසා එයාට කොහොමත් එහෙම අවස්ථාවක් නෑ...

ඒ නිසා හම්බවෙන ඕන බත් එකක් සුටුස් ගාල ගිලල දාන්න මල්ලිකාට පුළුවන්.

මේ පාර ප්‍රෙෂර් පොඩ්ඩක් වැඩි වෙල ඉස්පිරිතාලෙ නවතින්න වුණ එක ගැන මල්ලිකා සතුටු වුණේ පුංචි විවේකයක් නිසා ඒක.

ලොකු දුවයි පොඩි දුවයි මාරුවෙන් මාරුවට උදේ දවල් රෑ තුන් වේලටම කෑම බීම හදල එව්ව.

ඉස්පිරිතාලෙන් දෙන කෑම එකත් වරදක් නෑ...

මාළු කෑල්ලම ඇති බඩ පිරෙන්න...

ඒ සයිස් එකට ගෙවල්වල නම් මාළු කපන්නෙත් නෑ...

මාළු කෑල්ල පිරියෙන් කන්න පුළුවන්..

ඉතිරි බත් ටික හෙමීට විසි කරන්නනේ තියෙන්නේ...


-
ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Monday, April 4, 2011

ඔවුන්

පාළු රෑක ඇගේ කාමරේ අසලින් යනවිට සිහින් ගෙරවිල්ලක් ඇසෙනවා සේ දැනෙන්නේත්, උඩුරැවුලක් සහිත වැඩිහිටි පිරිමියෙක් දකිනවිට යන්තමින් මතකයේ රැඳී ඇති ඔහුගේ රුව මැවෙන්නේත් තවමත් ඔවුන් අහිමි බව පිළිගැනීමට සිත අකමැති නිසා විය හැක.

තනිව නැගීසිටීමට තරම් දෙපා යන්තමින් සවිමත් නමුත්, තව කලක් ඔවුන් අප සමග සිටියානම් එය මහමෙරක් තරම් යැයි සිතෙන වාර ගනනේ නිමක් නැත. ලෙඩක් දුකක් නිසා හැමෝගේම මුවින් පිටවන එකම වචනයත් පිට නොකර හිතේ තබාගෙන සිටින්නේ පිට වුනත් එය අසන්නට කෙනෙක් නොමැති නිසාවෙනි.

සිටින විටට වඩා නොමැති විට සිය දහස් වරක් අගේ දැනෙන ඔවුන් අවාසනාවකට මෙන් අද අප අසල නැත. ඒ අඩුව පිරවීම කිසිවෙක් කිසිදා සමත් නොවනු ඇත.


ලියා එව්වේ - නිෂාන්

Sunday, April 3, 2011

දින්නත් පැරදුනත්

එෆ්.බී ස්ටේටස්, ට්වීට්, බzz අප්ඩේට් තොගයකි.
ඔවුන් ජය පතති.
විටෙක බැනුම් සහ විටෙක ලෙංගතු කමකි.
ඒ උද්‍යෝගයයි.

අප සැමගේම අභිප්‍රාය වූයේ ලෝක කුසලානය අප රට සතු වීමය.

කුසලානය උදෙසා රටක් ලෙස සතුටු වීමට අපට නොහැකි වුවද ලෝක සිතියමේ එක කලාපයක් ලද ජයක් වෙනුවෙන් අද අපි සතුටු වෙමු.

ක්‍රිකට් යනු අපේ ජීවිතයයි.

ජීවිතය මෙන්ම කිසිසේත් නිෂ්චිත නැත.

ජීවිතයට මුහුණ දෙමින් අහිමි වූ කුසලානය වෙනුවෙන් දුක් වී පලක් නැත.

අපගේ පැතුම් ඉටු කලද සුන් කලද ඔවුන් අපේ විරුවන්ය. මුරලි ක්‍රිකට් දිවියෙන් සමුගනු ඇත.

කප් එක ඇතද, නැතද ඔවුන්ගේ උපන් බිමට පැමිණීම අප ලෙංගතුව පිළිගත යුතුමය.

ලක දෙස ලොවක් නෙත් යොමු කරවුවන්ට ආයුබෝ!


-

Saturday, April 2, 2011

බැණුම 2

උඹ මට බනින්නෙ හරි සුදනා ව‍ගේ! එතකොට උඹ කරපු වැඩ හරි?
මේරිව උඹ එහාට මෙහාට දැම්මෙ හරියට උඹෙ සෙල්ලම් බඩුවක් වගේ. අන්තිමට ඒකිටවත් හිතා ගන්න බැරි වුනා ඒකි ඇත්තටම ආදරේ කලේ කාටද කියල.
උඹ නෝන්ජලය කියන දේ ඔය සූට් එකෙන් වහ ගන්න නේද හදන්නෙ? උඹ දන්නවද ඒ වැඩෙන් කී දෙනෙක්ට ජීවිත නැති වුනාද කියල?
උඹේ යාලුවා? උඹේ සෙවල ඇඟට අරටුවක් වගේ හිටපු එකා? උඹට ගෑණු ලොකු වුනා ඌට වැඩිය.
මාව කවුරුවත් එලවන්නෑ! උන්ගෙ ෆැන්ටසිය මම. සුපිරි මිනිසෙක්. සුපිරි මකුලුවෙක් නෙමෙයි. උන්ට කරන්න දෙයක් නැති නිසා උඹව තියාගෙන ඉන්නවා. නැත්තන් උඹටත් ස්ප්‍රේ එක තමයි වදින්නෙ.

දැන් මාව ගලවපන් මේ මගුල් දැලෙන්!

ලියා එව්වේ - චමිල ඩි අල්විස් (http://chamiladealwis.com)

Friday, April 1, 2011

බැණුම..!

උඹ ඇඟේ මස් පිම්බුවා කියලා මම බය වේවි කියලා හිතුවද ඈ..?
යකෝ මම ජාලේ අටවලා අහකලා බලනකොටත් උඹ ඒකේ පැටලිලා.., මම පවු කියලා බේරලා ඇරියට වෙන එකෙක් නම් මට ප්‍රසිද්ධ වෙන්න තිබ්බ චාන්ස් එක කියලා බලන්නේ නැතුව උඹව විනාස කොරනවා සත්තයි.., ඒත් මම ඉවසුවා.
අර කෙල්ල ලූතරයට ලවු කරත්දී මම උඹට කීපාරක් නම් කිව්වද වෙන අතක් බලාගන්න කියලා.., කොහෙද උඹ උන් දෙන්නම බිඳවලා කෙල්ලව උඹට සෙට් කොරා ගත්තා.., අසමජ්ජාතියා..,
මට හිතෙන්නේ උඹ මේ ලෝකෙට එවලා තියෙන්නේ හොඳ කරන්න කියලා කිව්වට උඹ මිනිස්සුන්ට කරලා තියෙන බලු වැඩ දන්නවා නම් උඹව එලවන්නේ ගල් ගහලා..!!

ඕන්න ඔහොමලු දවසක් ස්පයිඩර් මෑන් සුපර්මෑන්ට බැන්නයි කියන්නේ.!!

ලියා එව්වේ - ලිෂාන් පුවක්ඕවිට (http://lishwish.blogspot.com)

Related Posts Plugin for WordPress, Blogger...