Showing posts with label Raven. Show all posts
Showing posts with label Raven. Show all posts

Saturday, October 15, 2011

විමලෙ

පත්තරේ බලද්දි මට ඇස් අදහගන්න බැරිඋනා.

බන්ධුසේනයා විමලෙට එකතැන් වෙන්න ගහල.

විමලෙ,
සද්දන්තයා
කඩවසම් හාදය
මගේම ලෙයින් උපන් දරුවෙක් වගේ.

මම දිවුවා.. විමලෙ බලන්න.
හිඟන්නෙක් වගේ බූරු ඇදක දපලා.. කට පැත්තට ඇදවෙලා.. ඇඟ වැහැරිලා...
මගෙ බඩ පපුව දාල පිච්චිලා ගියා.

ම..හ..ත්තයො...
විමලෙගෙ කට කොනකින් කෙළ බේරෙනව. මිනිහ දෑත් එකතුකොට මට වඳින්න උත්සාහ කරනව..

ම..ගෙ ගෑනිවයි දරුවවයිවත් බේරගන්න.....

මම දිවුවා කුස්සියට...මැණිකා කරුවලේම කුස්සියෙ මුල්ලෙ ඉකි බිදිනව..පොඩි එකා ජංගිය උස්ස උස්ස මා ගාවට ආව.

මට සමාවෙයල්ල... මම හිතුව සියල්ල සතුටුදායක අවසානෙකින් පස්සෙ කෙළවරයි කියල
මම හැඬුම් ඉවසගෙන කිවුව.. කියල අහක බලාගෙනම එළියට බැස්ස.

විචාරකයො... තුහ්! පර බල්ලො..
කඳුලුවලින් ඇස් බොදවෙද්දි මම හිතුවා.

ලියා එව්වේ - Raven (http://www.sihinasewanali.blogspot.com)

Thursday, February 3, 2011

රතු කට්ට..

හත... අට.. නවය..
මම අන්ධකාරෙ ඇස් ඇරගෙන, තත්පර ගණිමින්, ඈට සවන් දෙන වගත් හඟවමින්.
ඈම මට අරන් දුන්නු ඔරලෝසුව. මගේ ඇ‍‍‍‍‍ඳ ගාව බිත්තියේ එල්ලපු...
ළඟදි ඉදල ඒකෙ තත්පර කටුව දුවන සද්දෙ මට ඇහෙන්න පටන් අරගෙන... දුරකථනයෙන් එන ඇ‍ගේ කටහඬත් මකාගෙන.
විසි එක.. විසි දෙක... විසි තුන....
ඇය දවසේ සිදුවීම් ගැන දොඩවනව.
උදේ අම්ම බැන්නලු. බස් එක කැඩිල අද ගෙදර එද්දිත් රෑ උනාලු.
තිස් අට.. තිස් නවය.. හතලිහ....
මම ඈට හූමිටි තියමින්ම තත්පර ගණිනව. 
හැමදාම දහස් ගණනක් ගැන්නත් එකම වටයකම දුවන තත්පර.
පණස් පහ... පණස් හය...
“ශානි”
පණස් අට වෙනි තත්පරේදි මම ඈව ඇමතුව.
“ම්ම්..”
“අපි මේ සම්බන්ධෙ නතර කරමු.”
 ලියා එව්වේ - Raven (http://www.sihinasewanali.blogspot.com)

Saturday, January 8, 2011

සඳේ පිළිබිඹු.

චුරු චුරු....
මඩ වලේ හරි මැද දිදුලන හඳේ ඡායාවට එල්ලකර මුත්‍රා පහර මුදාහරින ගුණේගේ සිතුවිලි කළඹවන්නේ මොහොතකට පෙර සුරාසලේදී වූ දොඩමලුවීම් වල දෝංකාරයන්ය..
“මංම උඹට කී ගමනක් කියල ඇද්ද ඒ වේස ගෑණිව කරගහගන්න එපා කියල”
සඳ කැළතී දිය මත බොඳවෙද්දී මතකය නොනැවතී අතීත කටහඩවල් වලට පණ පොවයි.
“දඩාවතේ ගිය එකී ගියාදෙන්.. ආපහු ඕකිව වැද්දගන්නවා එහෙම නෙමෙයි”
“ඔය දරුවත් උඹේය කියල උඹ නිච්චියටම දන්නෙ නෑ නෙවද?”
සැහැල්ලුවක් හඟින ගුණේ සරම් කොන පහත දමා සිය සිතුවිලි එක්රැස් කරගන්න තැත් දරයි.
“දරුපැටිය මගේ. ඌව මං කොහොමහරි බලාගන්නව”
ඉන්පසු ස්ථිර හඩින් තමාටම කියාගනී.
එවිටම, මුත්‍රාද මඩද කැළඹුණු දියෙහි සඳ නැවත මතුවෙන්න තැත්දරනු ඔහු දකී.

Friday, December 17, 2010

නැවතුමක කතාවක්...

“මලා!”
නිදිමරගාතෙ මම වැරදි හෝල්ට් එකකින් බැහැල. ඒ මදිවට කොහෙත්ම නොදන්න පළාතක.

“උන්නැහේ මේ කොහෙද?”
මං අහල පහල පේන්න උන්නු එකම මිනිහගෙන් ඇහුව.

“අනේ මන්ද”
මිනිහ දුන්නෙ මහ විකාර උත්තරයක්. සමහරවිට මිනිහ මේ පැත්තෙ කෙනෙක් නෙමේ වෙන්නැති.

“බස් එකක් දැන්ම ඒවිද?”
කෝකටත් කියල මං ඇහුව.

“සෑහෙන වෙලාවකින් ආවෙ නෑ. මාත් ඉන්නෙ එනකම් බලාගෙන.”

“ගොඩක් වෙලා ඉඳලද?”

“ඔව් අවුරුදු ගාණක්...”

මිනිහගෙ උත්තරෙන් මට දෙලෝ රත්වුනා. එක්කො මිනිහට පිස්සු. එහෙමත් නැත්නම්.....

“ඒයි සුරේ!”

එතකොටම වගේ කොහෙදෝ හඬක් මාව ඇමතුව. හැරිල බලද්දි ඒ හඬේ අයිතිකාරය ඈතක ඉඳන් මට අත වනනව.

මිනිහ කවුද කියල හරියටම නිච්චියක් නැතත් මම ඉබේම වගේ ඒ පැත්තට ඇදෙන්න ගත්ත.

ලියා එව්වේ - Raven (http://www.sihinasewanali.blogspot.com/)

Thursday, December 9, 2010

තෙවැනි විනිසුරු

ඔවුන් සැලසුම් සහගතව මා දුවද්දී දැවීයාමකට කොටුකරගෙන ඇතැයි මා වටහාගන්නා විට සියල්ල සිදුවී හමාරය...

තුන්වන විනිසුරුගේ සංඥාව මත සියල්ල තීරණය වනු ඇත.

බොහෝ දේ අහිමි වීමට ඉඩ තිබූ තරඟයක මා සිටියේ ඉක්මනින් ලකුණු විශාල ප්‍රමාණයක් රැස් කරගැනීමේ දැඩි උවමනාවෙනි. උන් ඒ වග තේරුම් ගෙන සිටින්නට ඇත. ඒ නිසාම රැකවල් යොදා තිබුණේ ලිහිල්ව පෙනෙන නමුත් සූක්ෂමවය. දුර්වල තැන්වලට පන්දු යවා මා දවාගැනීමට වඩා උන්ට ඕනෑ කලේ මාව වැරදි පහරකට පොළඹවාගන්නටය.

එක් ලකුණකින් සෑහීමකට පත්වන්නට ආසන්නව උන් අවස්ථාවක දෙවෙනි ලකුණ සදහා මට ඇරියුම් කලේ එහා අන්තයේ උන් මගේ අතිජාත මිත්‍රයාය. ඔහුත් උන්ගේ උගුලේ කොටසක් වන්නට ඇත.

ඈ කුසලානය මෙන්ම තුන්වෙනි විනිසුරුද වූවාය..

ලියා එව්වේ - Raven (http://www.sihinasewanali.blogspot.com/)

Saturday, December 4, 2010

ඇතුළෙත් වැහි පිටත් වැහි

දෑවුරුද්දකින් වට පළමු වැහිබිඳු පොල් අතු වහල අතරින් වෑස්සී මැටි පොළව වසාගන්නා විට පිස්සු මාටින්ගේ සිත නැංගුරම් ලා තිබුණේ සිහිනයත් සැබෑවත් අතර වංකගිරියකය. හුස්මගන්නා නමුත් බිරිඳගේ විලාපයටත් ඇහැරවීම් වලටත් නිර්වින්දිතවූ ඔහුගේ සිරුර මෑත පැදුරු කඩමාල්ලේ පතබෑවී තිබුණි.

“ළග ළගම මහ වැහි එනව. ගේ ඇතුළටත් වතුර ගහයි”

මින් මසකට පෙර දවසක හිටිහැටියේම පොල් අතු වහලයේ කොටසක් ගලවා දමද්දී වැහි නැතිව වගා පාලුවූ හිත් අමාරුවට ඔහුට පිස්සු හැදී ඇතැයි බිරිඳ සිතුවාය.

වහළ හා බිත්ති අලුත්වැඩියාව මසක් පුරා ඇදෙද්දී ඇගේ ඒ සිතුමම ගම්මුද අදහන්නට වූහ.

“කලට නා වැහි බිඳක් ගෙට එන්න දෙන්න නරකයි”

එක හුස්මට කරගෙන ගිය පිළිසකර වැඩ කටයුතු නිමවූයේ ඊයේ හැන්දෑවේය....


ලියා එව්වේ - Raven (http://www.sihinasewanali.blogspot.com/)

Friday, November 19, 2010

ප්‍රතිවාදියා

මම හිටියෙ පිටපිටම දොලොස් දෙනෙක්වම දාම් පිටියෙන් පරද්දවල. ජයග්‍රහණයේ සංකේතයක් හැටියට සිගරට්ටුවකුත් මගේ මුවග දැල්වුනා.
තව එකෙක් ඉදගත්තා.
“මේක ඉහලින් ආපු අණක්”
තරගය නරඹන්නො පිරිස අතර හිටි එකෙක් අහක බලාගෙන කිවුවා. නිකන් ඕනෑවට එපාවට වගේ.
මම කලු ඉත්තෙක්ව ඉස්සරහට ඇදල උගුලක් ඇටෙවුව.
“ඉහලින් ආපු අණක්”.
ආපහු පිරිස අතරින් කසුකුසුවක්.
ප්‍රතිවාදියගෙ සුද්දෙක් පිම්මක් පැනල මගේ උගුල කඩා දැම්මා.
මම හයියෙන් දුම් උගුරු තුනක් ඇද්දා. තත්ත්වෙ භයානකයි.
“ඉහලින් ආපු අණක්”
ආපහු අර මල විකාර කසුකුසුව.
සිගරට්ටුව මගේ අතින් ගිලිහුණා. ඒත් එක්කම සුද්දෙක් රජඋනා.
මම පලවෙනි පාරට පරාජිතව ප්‍රතිවාදියාගේ මූණ දිහා බැලුවා.
බුදු නෙතක් වගේ කරුණාවන්ත දෑසක්.
සිගරට්ටුව තාම බිම.
“නිවිද්දෙන්”
මම හිතුව.

ලියා එව්වේ - Raven (http://www.sihinasewanali.blogspot.com/)

Saturday, November 13, 2010

ගල් පිලිමය..

ඈතදීම මම ඇයව හදුනාගතිමි.. ඇය උන්නේ සැණකෙළි බිමේ මැදක් හරියට වන්නටය.

පසුගිය වසර දහයටම ඇය වෙනස්වී ඇත්නම් ඒ මද වශයෙනි. ඒ වෙනසිනුත් අඩකට වගකිව යුත්තේ ඇගේ සිරුර පුරා ගල්වා තිබූ කලු සායමයි.

ඈ එකල මගේ දුගී පෙම්වතිය විය.

දැන් ඈ ගල් පිළිමයකි.

කුඩා කොලු රැලක් ඈ වටකරගෙන ඈට විසුලු කරමින් හිදිති. ඈ හිනස්සා ත්‍යාගය දිනාගන්නට උන් අසමත්ය.

මදක් පැකිලෙමින් මම ඇයට පෙනෙන සේ ඈ ඉදිරියෙන් සිටගනිමි....ඇගේ සිරුර මෙන්ම දෙනෙත්ද නිශ්චලය.. එහෙත් ඇය මා නොහදුනනවා විය නොහැක.


කාලය ගතවයයි..... ඈ තවම නිශ්චලය.

අතීතයේ දිනක් සිතින් ස්පර්ෂ කරමින් මම යන්නට හැරෙමි.

එදා ඈ සිටියේ හැඬීමට ළංව නමුත් නොහඬමින් වග හදිසියේම මට සිහිපත්වේ.


ලියා එව්වේ - Raven (http://www.sihinasewanali.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...