Showing posts with label බස්. Show all posts
Showing posts with label බස්. Show all posts

Friday, April 6, 2012

ඉන්දියන් කාරයෝ

යාළුවො දෙන්නෙක් බස් එකේදි සෙට් වෙලා ආගිය තොරතුරු එක්ක බර කතාවක්.

“මොනව වුණත් ජිනීවා කේස් එකේදි ඉන්දියාව ලංකාවට කොකා පෙන්නුව එක හෙන චාටර් නේද බං?”

"අනේ මමනං ඕව ගැන ඒ තරං උනන්දු නෑ බං. කොහොමත් අන්තිමට කොකා පේන්නෙ අපටනේ..."

“එහෙම කියන්න එපා... උඹේ ජීවිතේ මෙහෙයවන දේශපාලනය ගැන සවිඥ්ඥාණික වෙයන්. දේශ ද්‍රෝහියෙක් නොවී...”

“අනේ මන්ද.. මේ විඥ්ඥාණෙ නොතිබුණනං ඔන්න ඔහේ මුකුත් ‍කල්පනා නොකර ඉන්න තිබුණා.”

"උඹලත් ඉන්දියාවෙ උන්ට හපන්. මටනං දැන් ඔකුංව පේන්න බෑ. හම්පඩ ඉන්දියන් කාරයො"

යාළුව දිගටම ඉන්දියාවට බණිනව.

ඔය අතරෙ පොඩියට බුදු පිළිමයක් පහුවෙනව. ඉන්දියන් කාරයන්ට බැනපු යාළුව පස්ස පොඩ්ඩක් උස්සනව.

මොහොතකට පස්සෙ අනිත් යාළුවට හිනාවක් යනව.

“හික්ස්”


ලියා එව්වේ - hare :-)

Wednesday, October 5, 2011

වෙලාවෙ හැටියට රත්තරං

වෙලාව අටයි. බස් එක ස්ටෑන්ඩ් එකෙන්ම කට කපලා.

අද පොළ දවස. ගමට යන අන්තිම බස් එක.

මං යන්නෙ කිලෝමීටර් තුනයි. දවාලක නම් පයින් යනවා.

මේ කළුවරේ රබර් කට්ටිය පහු කරන එකනෙ හීනෙන්වත් හිතන්ඩ බැරි.

නැග්ග සෙනග අස්සෙන්ම. "ඉස්සරහට යන්ඩ ඉස්සරහට..." කොන්දොස්තරගේ කටින් මළකඩ විසි වුණා.

ආයෙ හෙලවෙන්ඩ බෑ. ලූනු, කරවල, දහඩිය, විට හප මුසු කුයිලකින් බස් එකම පිරිලා. දොර ළඟම දුංකොළ ගෝනියකුත්.

ළඟ බහින අය ඒකත් තරණය කරල එපැයි බැහැගන්න.

බාර් එක ළඟත් නැවැත්තුවා. හිස පහළට නැවුණු බේබද්දෝ තුන්දෙනෙකුත් ඉස්සරහ දොරෙන්ම නැග්ගා.

යන්තම් හිස එසවූ උන් එකෙකුගේ කටෙන් රත්තරං විසි වුණා.

"මේ පැත්තෙ ගෑණු කට්ටිය ඉන්නවා අපි අරහෙට හැරෙමු බං"


ලියා එව්වේ - මගේ ජීවිතය(http://jeevithaya.wordpress.com/)

Friday, April 8, 2011

ආයුබෝවේවා..!

වැඩ කරන දවසක හවස හතර පහ කියන්නේ ටවුන් හෝල් හෝල්ට් එක අම්බා‍නකට ‍බිසී වෙන වෙලාවක්.

138 බස් පෝලිම අස්සේ 155 වගේම 175, 140 බසුත් එනකම් සාරි, කොට සාය, ටයිට් ජීන්ස්, යුනිෆෝම්, ඩෙනිම් ඇඳපු හැම ජාතියෙම අය හෝල්ට් එකේ කොක්කු වගේ බෙලි දික්කරගෙන.

අද අඩියෙන් අඩියට කවදාවත් නැතුව පොලීසිය..

එක පාරටම හෝල්ට් එකේ බස් නැතිඋනා.. පාරේ ගිය වාහන නැතිඋනා.. ඉරිදාවල් වලටවත් මෙහෙම වෙන්නේ නෑ.. කොටින්ම පාරේ පයින් යන අයත් නැති තරම්. මුළු පාරම හිස්උනා..

කට්ටට පායන ඉරත් වළාකුළු අස්සේ හැංඟුනා..

සුරූන්... stf බයික් ‍එකේ ඩබලක් ඉඟිලුනා..

තව එකක්..

‍ඩිෆෙන්ඩර් එකක්..

කළු කාර් ‍තුනක්...

ඩිෆෙන්‍ඩර්....

බයික්..

කවුද ඒ?

මහ රජතුමානේ..

අපේ රජතුමා?



ලියා එව්වේ - Malee_msg (http://abnormalminds.blogspot.com/)

Friday, December 17, 2010

නැවතුමක කතාවක්...

“මලා!”
නිදිමරගාතෙ මම වැරදි හෝල්ට් එකකින් බැහැල. ඒ මදිවට කොහෙත්ම නොදන්න පළාතක.

“උන්නැහේ මේ කොහෙද?”
මං අහල පහල පේන්න උන්නු එකම මිනිහගෙන් ඇහුව.

“අනේ මන්ද”
මිනිහ දුන්නෙ මහ විකාර උත්තරයක්. සමහරවිට මිනිහ මේ පැත්තෙ කෙනෙක් නෙමේ වෙන්නැති.

“බස් එකක් දැන්ම ඒවිද?”
කෝකටත් කියල මං ඇහුව.

“සෑහෙන වෙලාවකින් ආවෙ නෑ. මාත් ඉන්නෙ එනකම් බලාගෙන.”

“ගොඩක් වෙලා ඉඳලද?”

“ඔව් අවුරුදු ගාණක්...”

මිනිහගෙ උත්තරෙන් මට දෙලෝ රත්වුනා. එක්කො මිනිහට පිස්සු. එහෙමත් නැත්නම්.....

“ඒයි සුරේ!”

එතකොටම වගේ කොහෙදෝ හඬක් මාව ඇමතුව. හැරිල බලද්දි ඒ හඬේ අයිතිකාරය ඈතක ඉඳන් මට අත වනනව.

මිනිහ කවුද කියල හරියටම නිච්චියක් නැතත් මම ඉබේම වගේ ඒ පැත්තට ඇදෙන්න ගත්ත.

ලියා එව්වේ - Raven (http://www.sihinasewanali.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...