Sunday, July 31, 2011

ඉදා උගුල්ලලා දාපන් මගෙ ඇස් දෙක...

උඹට ඔනේමනම්
මාව අමතක කරපන්
අමතකම කරපන්
ඒත් කමක් නැහැ මං තරහ නැහැ
මගේ දිහා බලන්නැතුව හිටපන්
බලන් නැතුවම හිටපන්
ඒත් කමක් නැහැ මං තරහ නැහැ
මාත් එක්ක කථානොකර හිටපන්
කතා නොකරම හිටපන්
ඒත් කමක් නැහැ මං තරහ නැහැ
මාත් එක්ක හිනානොවී හිටපන්
හිනා නොවීම හිටපන්
ඒත් කමක් නැහැ මං තරහ නැහැ
ඇති තරම් මාව අඩවපන්
ඒත් කමක් නැහැ මං තරහ නැහැ
ඇති තරම් මාව රිදවපන්
මට ජීවිතේ එපා කරවපන්
එපාම කරවපන්
ඒත් මට
උඹ දිහා බලන් නැතුව ඉන්න කියන්නනම් එපා
මට ඒක කොහොමවත් කරන්න බැහැ
ඊට වඩා හොදයි මගේ ඇස් දෙක උගුල්ලලා දැම්මනම්......
ඉදා උගුල්ලලා දාපන් මගෙ ඇස් දෙක......

ලියා එව්වේ - දසුන් මධුසංක (http://karumakkarayekugekadulu.blogspot.com/)

Saturday, July 30, 2011

දුයිෂෙන්

ගුරු ගීතයෙහි දුයිෂෙන් අතීතය සිහිපත් කරයී ..


සාමය මල් සුවඳක් වී සැම සිත් සිපගෙන හැමුවා

ගම්මානෙට නුහුරු නැවුම් සුවඳක් ඒ තුළ තිබුණා

කඳු පෙළ ගම වටකර සුවඳැති සුළඟට වැට බැන්ඳා

ඒ කඳු මැද පටු නිම්නය මා දැක පෙර මඟ කීවා


රෑ සිහිනෙන් දුටු ලෝකය ඔය දෑසින් මා දුටුවා

ගත ඩා බිඳු මිහිකත හා එක් වී පාසැල තැනුවා

ඔබ දෑතින් ගොම ඇතිරූ බිම මුදු පලසක් වූවා

සැදු පාසැල තනි වෙනවා නුඹ අද සමුගෙන යනවා


අල්තිනායි නුඹට ඉරක් හෙට අලුතින් පායනවා

මගේ පුංචි කුමාරියේ නුඹේ ලොවට එළි වෙනවා

පොප්ලර් ගස් යාය මැදින් ගම්මානෙට සඳ එනවා
දුම්රියපොළ දැන් පාළුයි රෑ වෙනවා මම යනවා


ලියා එව්වේ - රසික කාරියවසම් (http://wikasitha.blogspot.com/)

Friday, July 29, 2011

මම දාන්නෙ ලියපු දාට විතරයි

මේකයි සිද්ධිය... මම කාර්ය බහුලයි ගොඩක්. ඒ නිසා ඔය ලියන කරන ඒව කරන්න ඒ තරං වෙලාවක් නෑ. එහෙම වෙලා තියෙද්දි තව කමෙන්ට් කරන්නත් වෙලාවක් කොයින්ද? ඒ නිසා කරුණාකරල මගෙන් කමෙන්ට් එකක් බලාපොරෙත්තු වෙන්න එපා. ඒක මගේ කාලය කා දැමීමක්. අනික කිසිම වැදගැම්මක් නැති පෝස්ට් එකක් ලියල ඒකට කමෙන්ට් බලාපොරොත්තු වෙන එක එක්තරා විධියක මෝඩකමක්.

මම දන්නව මේ පෝස්ට් එකත් මෙලෝ රහක් නෑ කියල. ඒත් මේක ලියල දැම්මෙ ඔහෙලට මේ ටික කියන්න. මම කමෙන්ට් දාන්නෙ නෑ. මගෙන් කමෙන්ටුවක් බලාපොරොත්තු වෙන්නත් එපා.

හැබැයි ඉතිං මම පෝස්ට් එකක් ලියපු දවසකටනං මම වටේම තියෙන බ්ලොග් වලට දානව කමෙන්ට්.

නැත්තං කොහොමද බ්ලොග් එක හිට් කරගන්නේ...

ලියා එව්වේ - බ්ලොග්කාරයා (http://asinhalablogger.blogspot.com/)

Thursday, July 28, 2011

සම තැන

එක්තරා කාන්තා අයිතිවාසිකම් සංවිධානෙක නෝනල ටිකකටත් ඕනි උනා කාන්තා අයිතිවාසිකම් ගැන උද්ඝෝෂණයක් කරන්න...

ප්‍රධාන පාඨය වුනේ "කාන්තාවට සමතැන" කියන එක..

දන්නවනේ කාන්තා අයිතිවාසිකම් ගැන කථාකරන බොහෝ නෝනලා... ‍එයාලාගේ කොන්ඩෙ කපලා කණගාවට, අඳින්නේ කුර්තා.. අවුකණ්නාඩි එහෙම දාගෙන..

අපේ හාදයෙකුටත් මේකට ආරාධනාවක් ලැබිලා තිබුනා...

ඉතින් මිනිහත් කියපු වෙලාවට වඩා පැයක් විතර ප්‍රමාද වෙලා ලිප්ටන් වට රවුමට ගිහින් බැලුවළු.. තාම පටන්ගන්න පාටක් නැහැ... බැනර් ටිකත් ඔතපු විදියම...

අපේ හාදයා මේකේ ප්‍රධාන සංවිධායක නෝනට කිට්ටු කලාළු..

මොකද මැඩම් වැඩේ පටන් ගන්නේ නැද්ද ?

අනේ පටන් ගන්න ඔනේ මෙයා...

ඒත් බලන්නකෝ මේ බැනර් ටික දාගන්න කොල්ලෙක් හොයාගන්න නැහැ නේ....

නෝනා ඇඟට පතට නොදැනී යාළුවට කිව්වලු......

ලියා එව්වේ - බස්සා (http://jbasnayaka.blogspot.com/)

Wednesday, July 27, 2011

අපි වෙනුවෙන් අපි......

"ඔන්න බලන්න මුදලාලි, බඩු ටික ගත්තට දාගෙන යන්න හරිහමන් මනුස්සයෙක් නෑනේ ත්‍රීවිල් පාර්ක්‌ එකේ?"

"ඇයි නෝනා අර තියන ත්‍රීවිල් එක?"

"අපෝ ඌත් එක්ක ගියහැකිද මුදලාලි? මූණේ තියන මුසලකම. මූණ පුරා තුවාල කැරළි. වෙන එකක් එනකම් පොඩ්ඩක් බලනවා. හැබෑටම කව්ද ඒ? ලඟදි නේද මෙතෙන්ට ආවේ?"

"ඔය කුලී වැඩ කරපු පියදාසගේ ලොකු කොලුවනේ. හමුදාවේ හිටියේ. පුදුකුඩිඉරිප්පු වලදී මෝටාර් එකක්ද කොහෙද වැදිලා එලෝ මෙලෝ නැතුව හිටියේ. මයේ හිතේ කොල්ලා අවුරුද්දකට වඩා ඉස්පිරිතාලේ හිටියා. කට්ටිය හිතුවේ මැරෙයිම කියලා. ඔය මූණපුරා තියෙන්නේ ඒ වෙච්ච තුවාලවල කැලලි. හමුදාවෙන් විශ්‍රාම අරන් ගමට ආවට පස්සේ කොල්ලෝ ටික ඌව දාගත්තා ත්‍රීවිල් පාර්ක්‌ එකට. ඌත් ඉතින් ජිවත් වෙන්න එපැයි නෝනා...."

ලියා එව්වේ - ගොඩයා (http://godayan.blogspot.com/)

Tuesday, July 26, 2011

පොත් ලිස්ට් එක

"ශමාල්, ඉස්කෝලෙන් පුතාගේ පොත් ලිස්ට් එක එවලා......!"

"නෙත්මි, අපි හවසට ගිහින් ගමු, මොනවද ගන්න ඔනේ....?"

"අවුරුදු දෙකක්ම පුතා iPad එක පාවිච්චි කරානේ, අළුත් සොෆ්ට්වේයාර් දැන් ඒකෙ වැඩ කරන්නෙ නෑ. ලිස්ට් එකෙත් තියෙනවා ලේටස්ට්ම එක ගන්න කියලා....."

"වෙන මොනවද...?"

"ඊලඟ අවුරුද්දේ ඔක්කොම පාඩම් පොත් ටික...., ඒවා එන්නේ බ්ලූ-රේ ඩිස්ක් වල, විද්‍යාව, සමාජ අධ්‍යනය, ගණිතය වගේ ඒව ටිකත් ගන්න වෙනවා......!"

"අනික ශමාල්, පුතාට දැන් තියෙන ඩේටා ප්ලෑන් එක අළුත් පන්තියට මදි වෙයි, අප්ග්‍රේඩ් කරන්න වෙනවා. එක්සෑම් ඔක්කොම තියෙන්නෙ ඔන්ලයින්නේ....!"

"හ්ම්ම් නෙත්මි දන්නවද, මම අහලා තියෙනවා අපේ සීයලට පොඩි කාලේ තිබිලා තියෙන්නෙ ගල් ලෑල්ලද මොකක්ද කියලා එකක්ලු, ඒක ඔපෙරේට් කරලා තියෙන්නෙ බැට්රිවත් නැතුවලු....."

ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

Monday, July 25, 2011

තව ලියලා ඉවර නොමැත දෙවියනේ .....

මෙය මිල්ටන් පෙරේරා මහතාගේ ' වැඩකරලා ඉවර නොමැත දෙවියනේ '
යන ගීයේ තනුවට අනුව නිර්මාණය කර ඇත ............

තව ලියලා ඉවර නොමැත දෙවියනේ
මොකටද මා බ්ලොග් ලියන්න සෙට් උනේ
කතා ලියලා කොල්ලෝ ඇවිත් බනිනවා
කෙල්ලෝ ඇවිත් හිනා වෙවී බලනවා

දන්නේ කවුද අපේ කතා මං තරම්
කන්නේ බොන්නේ බ්ලොග් එක ලියනා ගමන්
පාඩම් කර රෑ 12 ට ලොග් උනා
උදේ අටට විභාගෙකුත් සෙට් උනා

තව ලියලා ඉවර නොමැත දෙවියනේ ..........//

දින පොතේ වැඩටම මගේ හිත ඇදෙයි
පාඩම් වැඩට වඩා බ්ලොග් එකට ආදරෙයි
ඇස් රතු වී ප්‍රතිපල මගේ නිල් වෙලා
බ්ලොග් කෙරුමේ හැටි දැන් මට තේරුනා

තව ලියලා ඉවර නොමැත දෙවියනේ .............//

ලියා එව්වේ - අයස් (http://ayasdiary88.blogspot.com/)

Sunday, July 24, 2011

සැන්ඩ්‍රා

ඔන්න උඹ බොරුවට හේතු කියනවා..,
යකෝ ගෑණිගේ බ්ලොගේ පෝස්ට් එකක් ගිහින් ඒ සුනංගුවෙන් කොමෙන්ට් කොටනවා..!
අපි මොකක් හරි ලියලා බලන්න කිව්වම තමා උඹට බොරු බිසීය..?

දැන් මට මොකද්ද කරන්න කියන්නේ..? හැම පෝස්ට් එකට ම එල පට්ට බෙට්ට කියල දාන්නද?

එහෙම නෙවෙයි, කොමෙන්ට් නොකලත් කමක්නෑ.., තියෙනදේ කියවලා උඹේ අදහස උඹ කැමති නම් විතරක් දාපන්.., අඩුගානේ දාලාතියෙන කොමෙන්ට්වත් කියවලා මොනාහරි දාපන්..!

දැන් ඇයි උඹ එහෙම කියන්න හේතුව..??

උඹ පෙරේදා රෑ මුතූගේ බ්ලොගේට කොමෙන්ටුවක් දැම්මා නේද??

ඔව්??

උඹේ මොකද්ද කොමෙන‍්ට් එකෙන් කිව්වේ..?

"හුරතලයට හැදිච්චි බැල්ලිපැටියා ලෙඩ උනාම දුක දැනීම සාමාන්‍ය දෙයක්. ඉක්මනටම ඔයාගේ බැල්ලීපැටියට හොඳවෙන්න කියලා පතනවා..!" කියලා..!

යකෝ "සැන්ඩ්‍රා" කියන්නේ ඒකිගේ පුංචිඅම්මා..!

ලියා එව්වේ - ලිෂාන් පුවක්ඕවිට (http://lishwish.blogspot.com)

Saturday, July 23, 2011

රතු පාට පුස් පැටියෙක්

බං බොරු කියන්නෙ නැ අම්මෙ..!!
මං රතු පාට පුස් පැටියෙක් වඩා ගත්තා..
ඒකයි මේ.. :(
මල්ලි පල්ලා.. ඇත්තමයි

ඒයි මෙන්නෝඕඕ කෙල්ල ලොකු ළමයෙක් වෙලා..

මල මගුලයි.. මං කිවා ගැනියේ උඹට.. ඔය අනම් මනම්
බයෝටික් තියෙන යෝගට් බඩට ඔබන්න එපා කියලා..
ඇහුවයැ ? දවසට 2-3 ක් ඔබනවා.. දැන් දියල්ලාකො පාර්ටි..
පාං ගෙඩියක්ම කීයද දැන් ?
මේ පාං කියා ගන්න බැරිව මං ඉන්නවා..
ඒ අස්සෙ කෙල්ල ලොකු ළමයෙක් වෙලා..

මොකද ලොකු ළමයෙක් උණාට පාර්ටි දෙන්න කියලා
සමෘදියවත් දෙනවයැ ?
ආසනික් දෙයියොම බලන්න ඔනේ මෙව්වා
අනේ මේ රූප පෙට්ටියේ අනම් මනම් පෙන්වන උන්ට නම්
වැහී නැති අකුණු වදින්ටොන..!

ඔහොම කැ ගහන්න එපා මනුස්සයෝ.....

ලියා එව්වේ - බනියා (http://freeanushka.blogspot.com/)

Friday, July 22, 2011

කෝලය

කියන්න තියෙන දේවල් ලියාගත්ත කොලේ පෙරල ගත්තා.
හරි හරි. ඔක්කොම දැන් කට පාඩම්.
ෆෝන් එක අතට අරගෙන නම්බර ඔබන්න පටන් ගත්තා.
ටීක්... ලබ් ඩබ් ටීක්... ලබ් ඩබ්
අම්මෝ නම්බර 10ක්ම තියෙනවානෙ.
දැන් නම් ඇඟට පනත් නෑ වගේ.
හරි කොළ පාට එකත් එබුවා.
ලබ් ඩබ් ලබ් ඩබ් ලබ් ඩබ්
අයියෝ මේක වැඩ කරන්නෙ නැද්ද. ආ හරි
බීප් බීප් ලබ් ඩබ් ලබ් ඩබ් බීප් බීප් ලබ් ඩබ් ලබ් ඩබ්...
දාඩියත් දාලා. මාර රස්නෙ දවසක්.
දැන් මොකක්ද කියන්නෙ.
බීප් බීප් ලබ් ඩබ් ලබ් ඩබ්.......
ටීක්.................
අයියෝ. සාර්ථක 15 වෙනි වතාවටත් ගත් කෝලය අසාර්ථක විය.

ප.ලි - දැන් ඉතින් තව කෝලමක් නටන්න වෙයි වගේ.

ලියා එව්වේ - අසුරයා (http://dinukathilanga.wordpress.com/)

Thursday, July 21, 2011

ආඩම්බරකාර තාත්තා....

අපේ ලොකු පුතා මාර වැඩක් කලා... ලබන මාසේ ශිෂ්‍යත්ව විභාගේ නිසා එයා මහන්සිවෙලා වැඩ කරනවා.. ඉස්කෝලෙදි පහුගිය ප්‍රශ්ණ පත්තර වලට හොඳට ලකුණු අරගෙන තිබුනා...

මං ඇහැව්වා ඔය පොත්වල අග උත්තර තියනවා නේද කියලා... (මොකද මමත් ඔය ඉස්කෝලෙට නේ ගියේ...)

එයා ඔව් කිව්වා.. මං බිරිඳට කිව්වා ඒ උත්තර තියෙන කොලටික ගලවලා දාන්න කියලා...

මං කථාකරන අතරේ ලොකු පුතා වැඩක්... මං ඇහැව්වා මොනාද කරන්නේ කියලා... නැහැ තාත්ති මං මේ උත්තර තියෙන කොල ටික ස්ටේප්ලර් වලින්ම ගලවනවා කිව්වා... මං නිරැත්තරයි.... ටික වෙලාකින් එයා ගියා...බිරිඳ ආවා පුතා උත්තර කොල ටික ගලවලා දුන්නා කියාගෙන....

මට මං ගැන මාර දුකකුත්.... ලොකු පුතා ගැන මාර ආඩම්බරයකුත් ඇතිවුනා...

ලියා එව්වේ - බස්සා (http://jbasnayaka.blogspot.com/)

Wednesday, July 20, 2011

මම උන් වගේ වුනානම්.......

මම පොඩි කලේ අපේ අම්මා මට අපේ එහා ගෙදර උන්ගේ ළමයි පෙන්නලා කිව්වා අන්න ඒ වගේ හැදෙන්න කියලා. මොකද එතකොට උන් විද්‍යාඥයෝ දොස්තරලා ආකිටෙක්ට්ස්ලා. ඒත් මට උන් වගේ වෙන්න කිසිම උවමනාවත් තිබ්බේ නෑ. අම්මා කියපු එක ඔහේ අහගෙන හිටපු මම මමම වුනා උන් උන්ම වුනා.

අද වෙනකොට අවුරුදු කීපයක්ම ගිහිල්ලා.

උන්ගේ බඳින වයසත් පහුවෙලා. එකෙක් ගේ ගෑණි දාලා ගිහින්, තව එකෙන් බඳීන්නේ නෑලු, අනිත් කෙනාට හොයන එක්කෙන්ක්වත් හරි නෑලු.

දැන් අපේ අම්මා වැරදිලාවත් මට කියන්නේ නෑ උන් වගේ වෙන්න කියලා. අම්මා කියන්නෙ අඩුම ගානේ එහා ගෙදර මනුස්සයෙක්ගේ මූණ බලලා වචනය කතා නොකරන ඔය මහා උගත්තු පොල් පිත්තකින් කපාගන්න පුළුවන් කියලා.

ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.cඔම්/)

Tuesday, July 19, 2011

පැරණි රසංගයක් - නැවත ප්‍රචාරයක්

මහේස්ත්‍රාත් තුමා :- මේ විත්තිකාර ගැට කපන්නා, යුෂ්මතියගේ පසුම්බිය සොරා ගත්තා යැය් කියන අවස්තාවෙ පසුම්බිය තිබුනෙ කොහෙද?
පැමිණිලි කාරිය :- මගේ හැට්ටෙ ඇතුලේ, ලැම පෙදෙසෙ ස්වාමීනී
මහේස්ත්‍රාත් තුමා :- විත්තිකරු හැට්ටය තුලට අත දමන විට යුෂ්මතියට ඒ බව දැනුනෙ නැද්ද?
පැමිණිලි කාරිය :- අපොය් ඔව් ස්වාමීනී, හොඳට දැනුනා
මහේස්ත්‍රාත් තුමා :- මේ කියන අවස්තාවෙ යුෂ්මතිය කෑ ගැසීමෙන් හෝ වෙනයම් ආකාරයකින් බසයේ සිටි අනෙක් මගීන්ගෙ උපකාර ඉල්ලා හිටියද?
පැමිණිලි කාරිය :- (ලැජජාවෙන් ඇඹරෙමින්) අපෝ නැහැ ස්වාමීනී
මහේස්ත්‍රාත් තුමා :- යුෂ්මතිය, උපකාර නොඉල්ලීමට හේතුවක් තියෙනවද?
පැමිණිලි කාරිය :- (කේන්තියෙන්) මං හිතුවෙ නැහැ ස්වාමීනී මේ වේ## පුතා මගේ පර්ස් එකට විදින්න යනව කියල

ලියා එව්වේ - Observer (http://observer-nireekshaka-observer.blogspot.com)

Monday, July 18, 2011

සටන..

එකෙක් අත ඉඹලා දෙයි..
තව එකෙක් අතට අත දී දෙයි..
තව එකෙක් වැදලා දෙයි..
වැන්දාම නම් ලැජ්ජයි..
කවදාවත් දැකලා නැති..
එකෙක් ආ මලයා ගා දෙයි..
මාත් ආ අයියා ගායි.. අක්කා ගායි..
අතට අත දෙයි..
ගේ හරියේ කොළ පිරෙයි..
කඩදාසි, ඩේ කාඩ්, දු:ක: කාඩ්, etc
ගේ හැම තැනම..
හනික මා කෙල පිහිදාගයි..
නැත්නම් විස බීජ එයි..
ගේ හරියේ ඩෙටෝල්ද නැත..
නැත්නම් ඩිංගක් බොන්නවත් තිබිනි..
නැන්දාල ඇත.. මාමලාද ඇත.
එකෙක් එක පාටක්..
තව එකෙක් තව පාටක්..
පාට පාට ලෝකයක්..
මෙ ඔක්කොටම දෙන්නෙ කොහොමද ?
ඔක්කොටම තියෙන්නෙ XXX තුනයි...එක පාටයි..! ㋛
ඔක්කෝටම දීලා නිකා ඉන්නවා..
එතකොට හැමෝම මට හොද කියයි..
මටත් හෙන සතුටුයි..!

ලියා එව්වේ - බනියා (http://freeanushka.blogspot.com/)

Sunday, July 17, 2011

රුපියල් දහය

"ලොකු පුතේ ගිහින් පාං ගෙඩියක් ගේන්න..."

"අම්මේ, මට සව්කොල තුනක් ඕනෙ, සිසිර අයියා හදලා දුන්න සරුංගලේට...”

"සරුංගල්වල අලවන්න දෙන්න සල්ලි නෑ මට....."

බයිසිකල් රිම් එක කෝටුවකින් පැදගෙන මම දිව්වා කඩේට. එහා ගෙදර සුරංගි නංගිගේ තාත්තා අදත් බීලා, වැනි වැනි එනවා පාර දිගේ......

"පාරේ අයිනේ රුපියල් දහයක් වැටිලා... හුරේ... සව්කොල ගැත්තෑකි..."

"ඇන්ටී....!" අපේ දොර ගාව සුරංගි නංගී කෑ ගහනවා...

"මොකද පුතේ....?" අම්මා අහනවා.

"මල්ලි බඩගින්නේ අඬනවා. අම්මා හාල් හුණ්ඩුවක් තියෙනවනම් ඉල්ලං එන්න කිව්වා. හාල් ගන්න දීපු රුපියල් දහය තාත්තා නැති කරගෙන........"

ඉංග්‍රීසි කොඩිය අලෝපු කොම්බුවට රැලි කපන අතරේ මට යාන්තන් ඇහුනා..........

කොහෙන් හරි ආපු මැස්සෙක් පාප්ප පොල් කට්ටට වැටිලා දඟලන්න ගත්තා.........

ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

Friday, July 15, 2011

ඇටෙන්ඩන්ට් ඇන්ටි!

කාන්ති ඇන්ටි පන්සලේ පිංකමට නාපු එකට කුලඟන සමිතියෙ ගෑණු සෙට් එකට පුදුම අමාරුවක්...

පොසොන් පෝය වෙනුවෙන් කුළඟන සමිතියෙන් සංවිධානය වෙන පිංකම ගමේ ඇන්ටිල සෙට් එක මුළු ගමෙන්ම එක දමාගන්න අවස්ථාවක්.

සහභාගි වුණ අය සහභාගි නොවුණ අයව කපල දාන්නෙත් වැඩේ යන අතරෙදි තමයි.

කාන්ති ඇන්ටි පහුගිය සතියෙම ලෙඩෙක් ගාව හිටියෙ. එයාගෙ රස්සාව ‍පෞද්ගලික උපස්ථායිකා. ලොකු ගානක් ගන්න බැරි වුණාට එයා ඒක සෑහෙන්න සතුටින් කරන රස්සාවක්.

ඒ ගැන දන්න නාලිනී ඇන්ටි විතරක් කාන්ති ඇන්ටිගෙ පැත්තට කතා කලා.

ඔහොම කතා කරන්න එපා බං. උඹල මොනවද දන්නෙ. කාන්ති ඉන්නෙ අර පාළම ළඟ ගෙදර ලෙඩා ගාව.

ඒකි කරන්නෙ අපි හැමෝම කරනවටත් වඩා පිං ලැබෙන වැඩක්.


ලියා එව්වේ - hare :-) (http://www.hartstuff.com/)

Thursday, July 14, 2011

කටුසු කෙල්ල...

උඹට කියන්න මචං.. ඒකි පාට 3ක්..

ඇහ්? මොකෝ තින්ත හලාගෙනද?

නෑ නෑ... මූණයි අඬු ටිකයි සුදුම සුදු පාටයි බං, මං ඒත් බැලුවා මීයෝ කාලාද කියලා..

අම්මපා?

ඔව් යකෝ..! උඹ දන්නෙ නෑ මං ඒකි ඉඹින්නත් ගියා.. බට් මචං මාර කේස් එක..

මොකෝ කුණු වෙලාද?

නෑ මිනිහෝ..! ඒකිගේ බෙල්ල වෙන පාටක්නේ..

නැ...........?

නෑ නෙවේ ඔව්.. ඒකි බං පාට දෙකක කෙල්ලෙක්.. කටින් පෙණ දානවා..
මං ඒත් හිතුවේම පිස්සු බලු රෝගේවත්දෝ කියලා..

ඉතිං ඒකිට පික්සුද මචං ?

නෑ බුරුවෝ..!

ඒකි සබන් ජාතියක් දිය කරලා බීලානේ..

ආච්චි ගහයි ස්ටම්ප් එකෙන් කිවාලු.. නැහ්?

ඔව් බං.. විසබීජ 100% ඉවත් කරන, පාට වෙනස් කරන, කියපු නිසා මේකි බීලා..!


ලියා එව්වේ - බනියා (http://freeanushka.blogspot.com/)

Wednesday, July 13, 2011

හමුවීම සහ වෙනවීම

මචං බලපන් අපි කට්ටිය කොච්චර කලෙකින්ද අද මේ මුණගැහුනේ. ඉස්කෝලේ යන කාලේ වගේ නෙමෙයි බං දැන්. එක එක උන් එක එක දේවල්වල. උඹලා ඉගෙන ගන්නවා අපි ජොබ් කරනවා. කාටවත් නිවාඩු නෑ. මම දන්නවා මචං මගේ උපන්දිනේ දවසේ මොන වැඩේ තිබ්බත් මම කතා කළොත් උඹලා එන එක එනවා කියලා.

උඹලට කියන්න උඹලව මුණගැහුනු අන්තිම දවසේ ඉඳන් අද වෙනකම් කෙල්ලෝ දෙන්නක් මාත් එක්ක යාළුවෙලා ඉඳලා මට බූට් එක තිබ්බා මචං. මට නම් දැන් කෙල්ලෝ එපා වෙලා ඉන්නේ බං. උන්ට වියදම් කරනවට වඩා හොඳයි උඹලත් එක්ක සෙට් වෙන එක.

උගේ කතාව අහන ගමන් බෝතලේ අඩියේ තිබ්බ අන්තිම පොඩ්ඩත් අපි කට්ටිය වීදුරු වලට දාගත්තා.

ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

Tuesday, July 12, 2011

නැටි මාක්

රෑ දොලහට
මට හිස නමා ආචාර කෙරුමට එන
පුංචි සුරතල් මීරාළ
මොනවා දොඩනවාද
මේ සමයං රෑ මට

තාත්තාගේ පොත් රන් වටී
නොතේරෙන කුරුමිණි අඩු
ඇයි බලන්නේ ඔය තරමට

අම්මාගේ කාමරය
ඈ අත ඇරියේ සෙල්ලමට
මීයෙකුට මොකටද
අලි විසාලෙට ඔතරම් ඉඩ

මගේ ඇදවත ලිස්සන සුලු
මදුරු දැල බැදි තංගුස් නූල
සර්කස් පෙන්වන්න කදිම තැන

රෑ දොළහට
මී සර්කස්
කඩවසම් මී දෙනෙත
ආලයෙන් නොබලන්න
මිනිස් ගැහැනුන්
මීකතුරු ගැන දැන උගත්

මගේ ඇද පාමුල
අහිංසක ගිවිසුම මා ලියූ
කෙටි අස්සන
නැටි මාක් සමඟින්
තබා යනු

මිනිස් ගැහැනුන් ප්‍රයෝගකාරී
අල්ලා කූඩුවකලා
කුණු ඇළට වීසි කළ
පරණ පොතකුත් ඇති
කියවනු හැකි නම්

ඒ අසළ
පුංචියට


ලියා එව්වේ - කාංචනා අමිලානි

Monday, July 11, 2011

මචං මටත් ජොබක් සෙට් කරල දියංකො

කාලෙකට පස්සෙ එයා මාව බලන්න ආවා.

ඔයාට මතකද රසිකයා...!

අර "සෝශල් ෆැක්" එකේ අයිය නේද?

හ්ම්... ඌව හම්බුනා බස් එකේදී.

ඉතින්...

පව්, තාම ජොබක් set වෙලා නෑ, ගෙදරත් ටිකක් කරදරයි වගේ.

මට කියනව අපි ඉන්න තැන, පොඩි ජොබක් හරි කමක් නෑ, සෙට් කරල දෙන්නලු.

ඉතින්... බැරිද උදව්වක් කරන්න.

පිස්සුද?

මං නුරුස්සන බැල්මෙන් එයා දිහා බැලුව.

Helper කෙනෙක් වුනත් එහෙම නිකම්ම ගන්න බෑ.

ඒ කියන්නෙ අර කෝටු අල්ලන්නද?

ඒකට කියන්නෙ Surveying pole කියල.

ආ...

පස්සෙ කියනව කම්කරු වැඩක් හරි කමක් නෑලු.

කොහොමද ඒකා කම්කරු වැඩේට ගන්නෙ, එතන ඉන්නෙ ඔක්කොම අටවත් පාස් නැති උන්. අනික ඌ අපිත් එක්ක එකට හිටපු එකා.

හ්ම්...


ලියා එව්වේ - නදී

Sunday, July 10, 2011

ආදරයක් ඇතිවීම....

ආදරයක් ඇතිවීම කියන කාරනය අපිට සරලව පැහැදිලි කරන්න පුළුවන්ද?
කොහොමටවත් බෑ.
ගොඩක් අය හිතන් ඉන්නේ ආදරයක් ඇතිවෙන්න බලපාන්නේ ලස්සන කියලයි. ආදරය කියන්නේ කෙනෙක්ගේ ලස්සනමත පමණක්ම රඳා පවතින දෙයක් නෙමෙයි. ලස්සන කියන්නේ කෙනෙක් ගැන කැමැත්තක් ඇතිවෙන්න බලපාන සාධකයක්. ආදරයක් ඇතිවෙන්න ලස්සන ඇරුනාම තව කොච්චර සාධක තියෙනවද?
ඒ සාධක සියල්ලම අඩු වැඩි වශයෙන් එකතුවෙලා ආදරයක් ඇතිවෙන්න ඕන අවම අවශ්‍යතාව සම්පූර්ණ වුනාම කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙනවා. අවම අවශ්‍යතාව පුද්ගලයා මත රදා පවතිනවා.
ආදරයක් ඇතිවිම කෙසේ වෙතත් ආදරය පවත්වා ගන්න නම් අවශ්‍ය වෙන්නේ දෙන්නට දෙන්නා අතර තියන විශ්වාසයයි. කට්ටිය පණදාගෙන කියෙව්වා නේද? මේක ආදරයක් ඇතිවීම කියන කාරණය පිළිබඳ මගේ අදහසයි. ඔබේ අදහස වෙනස් ඇති.

ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

Saturday, July 9, 2011

100% වහ කොහෙද තියෙන්නේ

සීයකින් තියා දාහකින්වත් කියාගන්න බෑ මට මේක

මතකද ඔයා කිව්වා මට 100% ම ආදරෙයි කියලා... මං කිව්වා එතකොට

"අම්මෝ 100% සැර වැඩියි සෝඩා ටිකක් දාලා සැන්ඩි කරලා දෙන්න" කියලා

මං එහෙම කිව්වේ විහිලුවට.. මං තාමත් ඇල්කොහොල් කටේ වත් තියලා නැත්තේ නෑ.. ඒත් ඔයා මගේ ලෝකෙට ආවට පස්සේ මං ‍වෙනස් වුනා... ඔහේ පාවුන වලාකුලක් වගේ මගේ ජිවිතේ ඔයා හුලගක් වගේ ගොඩක් දුර ඇරන් ගියා.. ඔය පුංචි අත් වලින් මගේ ජීවතේ ලස්සනට හැදුවා.. ඒත් ඒහෙම කලේ මාව දාලා යන්නද.?

දැන් ආයෙමත් මං ඉස්සර වගේ වෙලා... ඔයා මාව මරලා දම්මනම් මීට වඩා හොදයි....

100% තියන බෝතලයක් මට එවන්න හැබැයි ඇල්කොහොල් නම් නෙවෙයි.... වහ

ලියා එව්වේ - අවුට්සයිඩර් ( www.pitastharaya.wordpress.com)

Friday, July 8, 2011

ලොව පැරණිම ගම් වර්ගය

ලෝකයේ පැරණිම ගම් වර්ගය පාවිච්චි කලේ මිනිස්සුන්ව එකිනෙකාට අලවල තියන්න....

සාමූහිකව ඉදිරියට යන්න පුළුවන් මිනිස් සමූහයක් බිහිවෙන්නෙ එහෙම හැමෝම එකට ඇලුණම කියල තමයි ඒ ගම් වල නිෂ්පාදකයො කල්පනා කලේ...

ලෝකයේ බොහෝ තැන් වල නිෂ්පාදකවරු මේ ගම් වර්ගය එක එක නම් වලින් නිෂ්පාදනය කලත් ඒව අතරින් ජනප්‍රිය වුණේ බොහොම ටිකයි...

හැබැයි වර්තමානයේ තත්ත්වය වෙනස්... ගම් වල රසායනය හොයාගත්තු නිෂ්පාදකයන්ගෙ අරමුණු මොනව වුණත් ගම් වර්ග මාකට් කරපු උදවිය ගම් වල රසායනික වෙනස්කම් කරල තියෙන නිසා දැන් තියෙන මේ වර්ගයේ ගම් මිනිස්සුන්ව අලවන්නෙ නෑ...

ඒව මිනිස්සුන්ව වෙන් කරනව...

දැන් මේ ගම්වල නාමයෙන් මිනිස්සු එකිනෙකාට ද්වේෂ කරනව...

ඒත් ගම් වර්ගනම් තාම හොඳට මාකට් වෙනව...


ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Thursday, July 7, 2011

සුදු අයියයි මායි

මං එකපාරට ඇහැරුනා..
සුදු අයියා මගෙ ලගම දොයි
මං හොරෙන්ම එයාගෙ පපුවෙන් ඔලුව තියල
ඉන වටේට හීන්සැරේ අත් දෙකෙන් බදාගෙන
මගෙ ඇස්දෙක වහ ගත්තා
එතකොටම මට තේරුනා
සුදු අයියා ඇහැරුනා
ඒත් නැගිටින්න විදියක් නෑනෙ
සුදු මැණිකේ.... නැගිටින්නෑ...
එයා මාව පැත්තකින් තියන්නයි හදන්නෙ
ඒව්වා කොහෙද
මාත් හරිබරි ගැහිල දොයිය ගත්තා
එයත් ඒ පාර මාව බදාගෙන මගෙ නලල සිප ගත්තා
මං යන්තමින් සුදු අයිය දිහා බලල
තද කරල බදා ගත්තා
මං මයෙ මැණිකට ගොඩාක් ආදරෙයි..
එයා මගෙ ඇස් දෙක දිහා බලාගෙනම කිව්වා
මාත් ගොඩාක් ආදරෙයි
කියන්න ඔලුව ඉස්සුව..
ඩෝං..
මොකද ළමයො
බිත්තිය පෙරලන්න හදන්නෙ..
කියල අම්මා කියනව ඇහෙනව
අනේ... කියල මටම කියවුනා


ලියා එව්වේ - හිම කුමාරි (http://himakumari.blogspot.com/)

Wednesday, July 6, 2011

නෝ කතා, නෝ හිනා

චුටි කතාවක් මතක් වුනා. කෂ්ටිය අහල ඇතිනෙ සමහරු ඔය හිරි අරින්න, ඈනුන් අරින්න එහෙම අත් දෙක උඩට ඉස්සුවම උරහිස් ජොයින්ට් එකද කොහෙද පැනල අත් දෙක හරි, එකක් හරි, ආපහු පහල දාන්න බැරුව ලොක් වෙනව කියල. එහෙම සීන් එකක් වෙලා මං වැඩ කොරපු තැන කෙනෙක්ව අල්ලපු වැටේ තියෙන, ඉස්පිටිතාලෙට (අලව්වෙ) අරන් ගියා. එතන හිටියෙ, ලස්සන තරුණ දොස්තර නෝන කෙනෙක්, එයා ෆුල් ට්‍රය් එකක් දුන්න ලොක් එක ගලෝල බුවාගෙ අත් දෙක පහලට දාන්න…. ම්හු….. හරි ගියෙම නැහැ. ඔතනට ආපු ඇටෙන්ඩන්ට් පොරක් කලේ මොකද දන්නවද? ලෙඩාගෙ සරම කැඩුව. නෝ කතා, නෝ හිනා, අරූගෙ ලොක් නිකම්ම ගැලවිලා අත් දෙකම පහලට දාල සරම අල්ල ගත්ත.

ලියා එව්වේ - Observer (http://observer-nireekshaka-observer.blogspot.com)

Tuesday, July 5, 2011

ගමෙන් ගෙනාපු සිතුවිලි

මං හවසට කොළඹ අහස දිහා බලාගෙන ඉන්නවා. එත් මොකද්දෝ අඩුවක්. වෙලාවකට හිතෙනවා මේ වලාකුලුත් හරියට කොළඹ වගේම අමුතුයි කියල. ගමේ වලාකුළු වලට හැප්පෙන්න දොඩමලු වෙන්න ඕන තරම් කඳු තිබ්බ. එකට මෙහෙ වලාකුළු, මේ වලාකුළු වලට අරමුණක් නෑ. ඔහේ පාවෙනවා විතරයි. ඒවිතරක් නෙමේ ඉරත් එහෙමයි. කොළඹ ඉර දන්නේ නෑ කවදාවත් ගමේදී වගේ වගේ ලස්සනට බැහැල යන්න. ගමේදී ඉර බැහැල යද්දී මුළු අහසම ලස්සන පාටක් ගන්නවා. රත්තරන් පාට ගැහුන ඉර එලිය වෙල්යායට වැටෙනවා. ගමේදී වගේ අහසේ තරු මාත් එක එක්ක කතා කරන්නේ නෑ. මතක් කරන්නෙත් හිතට වද දෙන සිතුවිලි. ගමේදී හඬ එලියට ඔයාට වැටිලා රිදී පාට රටා මවනවා. කොළඹදී හද එළියත් අකිකරුයි.

ලියා එව්වේ - නුවන්තා දිල්හානි

Monday, July 4, 2011

අසාමාන්‍ය ආදර කතා

බලපන් අද කාලේ තියන නව කතා, කෙටි කතා, නාට්ටි ඒ මදිවට බ්ලොග් හැම ඒවයේම තියන ආදර කතා හරිම සාමාන්‍යයයි. හැම එකේම කොල්ලයි කෙල්ලයි දුෂඨයයි. කොල්ලා දුප්පත් නම් කෙල්ලෙ පෝසත් කෙල්ල පෝසත් නම් කොල්ලා දුප්පත්. ඒ මොකවත්ම නැත්තම් අඩුම ගානේ පවුල් දෙක මැච් වෙන්නේ නෑ. හැබැයි කොහොම වුනත් අන්තිමට එකතු වෙන්නේ ඒ කොල්ලයි කෙල්ලයිම තමයි.

ඉතිං බං එහෙනම් ඒ කතා සාමාන්‍ය ආදර කතා නෙමෙයි. ඒවා හරිම අසාමාන්‍ය ආදර කතා. පොඩ්ඩක් හිතලා බලපන් අපි දන්න ඇත්ත ආදර කතා වල කවදද පොහොසත් කෙල්ලෝ දුප්පත් කොල්ලන්ට කැමති වුනේ? පොහොසත් කොල්ලෝ කවදද දුප්පත් කෙල්ලන්ට සෙට් වුනේ? ඉතිං අද කාලේ තියෙන්නේ හරිම අසාමාන්‍ය ආදර කතා බං!

ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

Sunday, July 3, 2011

පාඩම

විශ්ව විද්‍යාලෙදී
කියලා දෙන දේවල් තේරෙන්නෙ නෑ, අද කරපුවා ගෙදර ගිහින් කරනවාමයි.

ගෙදරට යන පාර අතරමගදී
මහන්සියි. ටිකක් ඉඳලා කරනවා.

ගෙදරදී
ආපු ගමන් පාඩම් කරන්න බෑනේ. විනාඩි දහයක්, එෆ් බී පැත්තෙ යමු.
හැබැයි චැට් බෑ, ඊට පස්සෙ පාඩම්,..

ෆේස්බුකියෙදි
බලමු පොඩ්ඩක් ඔන්ලයින් කට්ටියව.. ඒත් චැට් බෑ,

චැට් එකේ
හායි, කෑවද,
පුංචි අම්මගේ දූ.....
එහෙමද?..

බෑ බෑ මොකක්ද මේ විකාරේ. අටයි, කාලාම පාඩම් කරනවා.

කෑම කාලා ඇවිත්
අරයගේ ෆොටෝ එක බලන්න බැරි වුනානේ, ෆේස්බුක් ටිකා....ක්

ආයෙමත් චැට්
හායි, දන්නවද වැඩක්..
අරමළු... මෙහෙමළු.. බායි...

හපොයි.. 10යි, දැන් මොන පාඩම්ද?
මේක කරන්න බෑ.. මෙහෙම හිටියොත්.....
නෑ.... නෑ .....
හෙට ඉදන් නම් අනිවාර්යෙන් කරනවාමයි.


ලියා එව්වේ - ප්‍රාර්ථනා(http://prarthana-nimnaya.blogspot.com/)

Saturday, July 2, 2011

කරුණාව

ආරාධනාවක් බාරදෙන්න ආපු පිරිස තරඟයට වගේ ලොක්කාගේ ගුණ වරුණාව. බිත්තියේ
පේළියට එල්ලෙන පිංතූර රාමුවල ලොක්කා එක්ක අහිංසක පෙනුමැති සත්තු
කොටුවෙලා, ඊට පහළින් ලියා ඇති වචන පේළි එකිනෙක කියවමින් ඉන්න අතර...
ෂ්... ෂ්... සද්දය ඇහුනේ.

පියන් මහත්තයා කෘමීනාශක කෑන් එකක් අතේ තියාගෙනම උඩු බැලිව වැටිලා දඟළන
කැරපොත්තා දිහා බලාගෙන උන්නේ වීරයෙක් වගේ. පිළිගැනීමේ නිලධාරිනිය ඔළුව
බදාගෙන දුවගෙන ආවේ "අයියෝ සේන මොනාද මේ කලේ... ලොකු මහත්තයා සතෙකුටවත්
හිංසා කරනවට කැමැති නැහැ කියලා ඔයා හොඳටම දන්නවනේ..."

"න්...ඈ... නෝනා"

"දැන් කතා වැඩක් නෑ. එයර් ෆ්‍රෙෂ්නර් ටිකක් ගහලා දාන්න ඔය ජරා ගඳ යන්නත් එක්කලා."

ඒවුනාට සතාව දැක්කා නම් කන්න හදන්නේ මාව නොවැ... නොකිව්වත් සේනට හිතෙන්නැති.

ලියා එව්වේ - ගල්මල්-Coral (http://galmal.blogspot.com/)

Friday, July 1, 2011

පව ගෙවීම

"මචං කිනා, ගිවියා උඹලා දෙන්නට කියන්න මම මේකිට බොක්කෙන්ම මගෙ හදවතෙන්ම ආදරේ කලා, ඒත් බලපං බං මාව දාල් යන්න තරම් මෙයා නපුරු උනා බං, කොල්ලො මම මෙයාට බොරු කියල ඇති හැබැයි මම වෙන කෙල්ලෙක් පස්සෙ ගියේ නෑ, මට එකට දහයක් ගන්න පුලුවන්, මචං සල්ලි ලොකු නෑ බං, මනුස්සකම වටිනවා, මම ඒක දන්නවා ඇමතිකෙනෙක්ගෙ පුතෙක් කියල මම පාරේ ගිය එවුන්ට සහෝදර ප්‍රේමෙ නොපෙන්වලා තියනවද? අර විද්දට මම කුනුහරුපෙන් බැනලා තියනවා, බලපන් මචං මට තියෙන්නෙ ඔච්චරයි, යාලුවො සෙට් එකුයි, ඈ බොල මහරජා නෙමේ යකා ආවත් මම යන්නෑ, මට යන්නත් බෑ,

කියපල්ලා මම කරපු වැරැද්ද????

මමයි බෝතලෙයි<3!"

මිනිහා කිව්වෙ, පව් තාම ඔන්ලයින් නෑ

ලියා එව්වේ - මලිත් කුෂාන් (http://www.goldzone-tc.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...