Monday, April 30, 2012

සාක්කිය

ස්වාමීණී මේ මිනිහා මාව මැරුවා. උරහිසෙනුත් තාම ලේ ගලනවා.

යුෂ්මතී කියන්නෙ තමන්ව මේ මිනිහා මැරුවා කියලද?

ස්වාමීණී, මං ඒක තමයි කීව්වෙ.

මැරිලා නම් කතා කරන්නෙ කොහොමද?

හත්වලාමයි. මං මැරිලයි කියලද තමුන්නාන්සෙ කියන්නෙ?
මේ මොකද මගේ ඇග පුරාම ලේ? මට මොකද වුණේ?

තමුන් යකාගෙ කතාවක්නෙ කියන්නෙ. මං දන්නෙ කොහොමද?
අනික ඔහේම නේද දැන් කිව්වෙ ඔහේ මැරිලා කියලා?
හැරෙනවා බලන්න අනික් පැත්තට.

කෝ ස්වාමීණී මගේ දිග කොණ්ඩෙ? කවුද ඒක කපා ගත්තෙ?

දැන් තමුන් මගෙන් ප්‍රශ්න අහන්නෙ කවුරු කියලා හිතාගෙනද?

අනේ තව මොනා හිතාගන්නද ස්වාමීණී, මට මතක නෑ මොකවත්ම.

එතකොට කවුද තමුන්ව මැරුවයි කිව්වෙ?

මං මැරිච්ච ගෑනි වෙච්චිකොට මැරුවෙ කවුද කියලා කොහොම දැනගන්නද?



ලියා එව්වේ - කාංචනා අමිලානි (www.thinkland.net)

Friday, April 27, 2012

කොල්ලො අඩන්නෙ නෑ

මේකෙ කිසි විද්‍යාවක් නම් නෑ..

හැබැයි මේක මේ ඉවසන් ඉන්න බැරිම තැන ලියන්නේ..

අහන අහන හැම එකාම කියන්නෙ ...

"කොල්ලො අඩන්නෙ නෑ"

"නිකන් අඩල මෙතන කෙල්ලෙක් වෙන්න හදන්න එපා"

"කොල්ලෙක් උනාම සංවේදී වෙන්න හොඳ නෑ බන්.."

"ඔහොම ඉකි ගගහ අඬන්න ලැජ්ජ නැද්ද මිනිහො කොල්ලෙක් වෙලා"

"අපිටත් එක්ක ලැජ්ජයි.."

බම්බුව තමයි...

ඇයි යකෝ, කොහෙද මොන පොතේද ලියල තියෙන්නෙ සංවේදීකම කියන එක ශිෂ්ණය මතවත්, යෝනිය මතවත් රඳා පවතිනව කියල??? කොල්ලෙක් ඇඬුව කියල මොකක්ද වෙන්නෙ? ඇයි කොල්ලන්ට අඬන්න හොද නැද්ද??? සංවේදීකම කියන එක ශිෂ්ණය මතවත්, යෝනිය මතවත් පරායත්ත නැති බව මතක තියා ගනින්.

මේව ලියනකොටත් ඇ‍ඬෙනව තනි ඇහැට..

හා හා කොල්ලො අ‍ඬන්නෙ නෑ..


ලියා එව්වේ - අමින්ද ඉෂාර (http://sinhalenscience.blogspot.com/)

Wednesday, April 25, 2012

වෙනස් වෙයන්

අපිට තේරෙනවා උඹල අසරණයි කියල..

අපි දන්නවා උඹලට වෙන කරන්න දෙයකුත් නෑ කියල..

නැත්නම් අපි අපිට වෙන අසාදාරණයට විරුද්දව අපි කතා කරද්දී

උඹල අපිට වෙඩි තියයිද

උඹලා අපිට කදුළු ගෑස් ගහයිද

අපි දන්නවා ඒ අසාදාරණය උඹලටත් වෙනවා කියලා

අපිට තේරෙනවා උඹලගේ දුක..

ඔව් උඹල අසරණයි..

ඔව් උඹල අපිට වඩා අසරණයි

උන්ට වැඩක් නෑ අපි මොනා කලත්

අපි කොහොම ජිවත් උනත්

ඒ වගේම තමයි උන්ට උඹලවත් වැඩක් නෑ...

උන්ට ඕනේ සල්ලි සැප වාහන තරු පහේ හෝටල් වලින් කෑම

අපිට කන්න තියනවද කියන එක උන්ගේ ප්‍රශ්නයක් නෙවේ

කොටින්ම අපි ජිවත් වෙනවද කියන එකත් උන්ට ප්‍රශ්නයක් නෙවේ...

ඉතින් වෙනස් වෙයන් උඹල යන පාරෙන්...



ලියා එව්වේ - MaRLaN (http://wenasak.blogspot.com/)

Monday, April 23, 2012

වර්චුවල් ආදරය

ISP සර්වර්ය හරහා අවකාශයට මුසු වෙලා, HSPDA තාක්ෂණයෙන් මගේ නෙත් ඉස්සරහට වැටුනු යුනිඛේත ගොන්නක එක බින්දුව අතරින් තෝරලා බේරලා ගත්ත ඔය හිතේ ලස්සන, මගේ හීන ලෝකේ සරසපු මොහොතේ ඉඳන් කොයිතරම්නම් උත්සහ කලාද loophole එකකින් ගිහින් ඔය හිත Hack කරන්න.

ඒත් කවදාවත් මට බැරි උනා ඔයාගේ Encoding system එක තේරුම් ගන්න. ඔයා හැම වෙලාවේම පාවිච්චි කලේ Asymmetric Private Key එකක්, ඒක ඔයාගේ Style එකට හැමවෙලාවේම වෙනස් උනා.

මගේ හිත හැම වෙලාවේම Plane text එකක් උනත් ඔයාගේ හැම වචනයක්ම Encoded. ඒ වචන Decode කරගන්න බැරි නිසාම මම ඒවා අනුමාන කලා. අන්තිමේ ඉගෙන ගත්ත එකම පාඩමක්, ඔයා වගේම ඔයාගේ අදරෙත් වර්චුවල් කියන එක.


ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Friday, April 20, 2012

ධර්මේට්‍රික්ස්!

මේට්‍රික්ස් චිත්‍රපටියෙ කියවෙන මේට්‍රික්ස් එක මිනිස්සුන්ට පෙන්වන මායාවක්. ඒක ඇතුලෙ මිනිස්සුන්ගෙ සියළු ප්‍රශ්ණ වලට විසඳුම් තියෙනව. මිනිස්සුන්ට තමන්ගෙ ඇත්ත ජීවිතේ ගැන කිසිම හැඟිමක් නැතිවම මේට්‍රික්ස් එක ඇතුලෙ පවතින්න පුළුවන්.

ඒක සම්පූර්ණයෙන් ස්වායක්ත පද්ධතියක්! ඒ නිසාම ඒක ඇතුලෙ ඉන්න කෙනෙක්ට ඒකෙ තියෙන ප්‍රශ්ණ තේරෙන්නෙ නෑ. ඒක ප්‍රශ්ණ කරන්න නොතේරෙණ තරමටම මිනිස්සු ඒ මායාවට අහුවෙලා.

ඇත්තටම මිනිස්සු කියන්නෙ යන්ත්‍රවලට බලය සපයන බැටරි කියල එයාල දන්නෙ නෑ.

ඇත්තටම අපි ඉන්නෙ මේට්‍රික්ස් එකක නොවුණට අපේ ජීවිතේ ඇතුලෙ අපි ප්‍රශ්ණ නොකරම ගැට ගැහිල ඉන්න දේවල කොයි තරම්ද?

ජාතිය, ආගම, ආදරය, දේශපාලනය, මතවාද, සමාජය, සම්මතය, පෞද්ගලිකත්වය, විලාසිතා, ස්ටයිල්?

සේරම අපිව මුලා කරගෙන!

ඇත්තට අපි මේට්‍රික්ස් ගොඩක!


ලියා එව්වේ - hare :-)

Wednesday, April 18, 2012

එලෝලු කයිය........

නිමිත්ත : දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයට ගෙන ආ එළවළු කිලෝ තිස් දහසක් විකුණා ගැනිමට නොහැකිව කුණු ගොඩට විසිකර දමයි.

කන්න නැතිව දුප්පත් උන් වේලෙනවා
ලොක්කො එකතුවී සුර සැප වලඳිනවා
සොක්කො සැමට කන බත් පත වරදිනවා
අහෝ අපිත් මේ විදිහට විඳවනවා

එදාවේල කන්නේ හරි අමාරුවෙන්
බස් රථයේ යන්නේ දුක් මහන්සියෙන්
එලවලු අහෝ මේ විදිහට වීසි කරන්
ගොවියන් යන්නෙ සුසුමක් හදවතේ දරන්

තක්කලි මෑකරල් වම්බටු වට්ටක්කා
දඹුලු පොලට ගෙනවිත් ගොයියෝ වික්කා
ලාබ ගන්න බැරි බව දැනගත් අක්කා
පොහොරට දෙන්න ගෙනියනවා බණ්ඩක්කා

ගමේ අපට ඔය කිසිවක් නොදැනේවා
කොස් අල බතල වැඩි වැඩියෙන් වැවේවා
හිතේ දුකට යලි කවි නම් නොලියේවා
මහජන සම්පතක්වත් හෙට ඇදේවා


ලියා එව්වේ - කිරිපුතා (http://kiriputha.blogspot.com/)

Monday, April 16, 2012

ආදරේ බිඳුණාම

වැඩිය මාත් එක්ක චැට් නොකරන එකෙක් චැට් එකේ...

---------------------------------------------

මචං උඹ තාමත් තුෂාරා එක්ක යාළුද?

ඒක නැවැත්තුවා බං.
(මං කෙටියෙන්ම උත්තර දුන්නේ දවස් දෙකකට කලින් තිත තියපු ආදරේ මතක් වෙනකොට තාමත් හිත රිදෙන නිසා)

එහෙනම් මට තුෂාරාගේ නම්බර් එක දීපංකෝ. මගේ යාළුවෙක්ට.

ඇයි බං එයාගේ නම්බර් එක මගෙන් ඉල්ලන්නේ? ඔය එයා ෆේස් බුක් එකේ ඉන්නේ. උඹේ එකවුන්ට් එකෙත් ඉන්නවනේ. ඉතිං ඇයි උඹ එයාගෙන් ඉල්ල ගන්නේ නැත්තේ? එයාගේ වැරැද්දක් නිසා මම අෆෙයා එක නවත්තපු ඇත්ත. එහෙමයි කියලා මම එයාගේ පෞද්ගලික දේවල් එක එක අයට කිය කියා ගියාම හරිද මචං? තරහා වෙන්න එපා බං උඹ එයාගේ නම්බර් එක එයාගෙන්ම ඉල්ලගනිං.

(ඌ ඕෆ්ලයින් ගියා)



ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

Friday, April 13, 2012

නව අවුරුදු සුබ පැතුමක්...!!

සියක් වදනින් ලොවක් සනහන
සියක් මිතුරන් කැලක් රොක්වුන
සියක් සිතිවිලි එකට රොද බැඳි
සියක් හදවත් වල සහන් සර

සියක් සිතුවිලි වදන් අමුණා
සියක් වදනින් පැතුම් පළඳා
සියක් දනහට සතුට දෙන්නට
සියක් මිතුරනි එන්න රොද බැඳ

සියක් සිතුවිලි සිතින් ඇවිලෙන
සියක් වදනට මෙලෙස එක්කොට
සියක් ලෝවැසි දනට පතනෙමු
සියක් ආයුෂ පිරේවා හෙට

සියක් පැතුමන් එකට එක්කොට
සියක් වදනින් පතන පැතුමට
සියක් සුසුමන් එකට එක්කොට
සියක් පැතුමක් පතමු මෙලෙසට

වමු හසරැල් මුවට නැංවෙන
සන්තේ මංගල දිනේ

සක් සිය සිය
තුට ඉතිරෙන
න් කැකුළු පීදෙන දිනේ

සුහද පැතුමන් සිතෙහි හැම තැන
වුන් වඩනා මල් සමේ

වේදනා කඳුලැලි තුරන් වී
වාසනා දේ හෙට දිනේ


ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Wednesday, April 11, 2012

කාලකන්නියෙක්ගේ හීන

හීන...

දැන් ඒවත් මාත් එක්ක විහිලු කරනවා. මාවත් විහිලුවකට අරන්. වෙලාවකට හිතෙනවා මේ නිදාගෙන ඉන්නේ වෙන මොකෙක් හරි එකෙක්ද කියල.

මුන් ඔක්කොම මට විරුද්දව පෙළ ගැහිලද කොහෙද. ඉරිසියාකාර යක්කු. මුන් මට විරුද්දව දර්ශන පෙන්නනවා. මුන් හදන්නේ මගේ මානසික මට්ටම වට්ටලා මට ප්‍රහාර දියත් කරන්න. ඒවා කොහෙද මාත් එක්ක.

මට ලබා ගන්න බැරි දේවල් මට පෙන්නලා තව තව මාව වට්ටන්න හදන්නේ. මම දැන් ඕවට අහුවෙන්නේ නෑ. එත්, ඒවා දකිද්දී, ඒ කාලේ, මම ඒ දවස් වල, කොච්චර සුන්දරද?

හනේ බලන්න අර අපි, හරි සතුටින්, අර අර ඈත අත් අල්ලගෙන, ලැජ්ජයිත් එක්ක...

හීන හීන......

කාලකන්නි මදුරුවා. ඒ ලස්සන හීනේ කෑවා..

දැන් නිදාගන්නැතුව ඉන්නද?



ලියා එව්වේ - අමින්ද ඉෂාර (http//wikarapituwa.blogspot.com)

Monday, April 9, 2012

(‍ෆ්‍රී)රැඩිකල්වාදය

මගේ මිත්‍රයෙක් ලඟදි ‍රැඩිකල් වෙලා.

"මචන් මාත් හිතුවා කොන්ඩෙයි ‍රැවුලයි වවන්න."

"ඒ මොකටද? "

"එතකොටනෙ ‍රැඩිකල් ලුක් එක එන්නෙ. දැන් බලපන් චේ ගුවේරා, පිදෙල් කස්ත්‍රෝ ඊට පස්සේ ලෙනින්. ඔක්කොම ‍රැවුල තියන පොරවල් නේ. ‍රැඩිකල් මිනිස්සු. කෙල්ලොත් කැමති උන්ට තමයි. "

"එතකොට වික්‍රමසිංහලා, ආරියරත්නලා, ‍රැඩිකල් නෙමෙයිද බන්?"

"පිස්සුද බන් උන්ට කිසිම ‍රැඩිකල් ලුක් එකක් නෑනේ. උන් හරි ගූඪ චරිත."

"හරියට විරාගයේ අරවින්ද වගේ? "

"ඒ කවුද බන්? මම දන්නෙ නෑ... උඹත් මචන් ‍රැඩිකල් විදිහට හිතපන්. එතකොට පට්ට."

"චේ ගුවේරලා, ලෙනින්ලා, කස්ත්‍රෝලා රටක් වෙනස් කරන්න විප්ලව කරපු මිනිස්සු. එතකොට මෙච්චර ‍රැඩිකල්වාදියො ඉඳලත් ඇයි බන් ලංකාව තාම එක තැන?"

මගේ මිත්‍රයා කරබා ගත්තා.


ලියා එව්වේ - පියසටහන් (http//www.piyasatahan.tk)

Friday, April 6, 2012

ඉන්දියන් කාරයෝ

යාළුවො දෙන්නෙක් බස් එකේදි සෙට් වෙලා ආගිය තොරතුරු එක්ක බර කතාවක්.

“මොනව වුණත් ජිනීවා කේස් එකේදි ඉන්දියාව ලංකාවට කොකා පෙන්නුව එක හෙන චාටර් නේද බං?”

"අනේ මමනං ඕව ගැන ඒ තරං උනන්දු නෑ බං. කොහොමත් අන්තිමට කොකා පේන්නෙ අපටනේ..."

“එහෙම කියන්න එපා... උඹේ ජීවිතේ මෙහෙයවන දේශපාලනය ගැන සවිඥ්ඥාණික වෙයන්. දේශ ද්‍රෝහියෙක් නොවී...”

“අනේ මන්ද.. මේ විඥ්ඥාණෙ නොතිබුණනං ඔන්න ඔහේ මුකුත් ‍කල්පනා නොකර ඉන්න තිබුණා.”

"උඹලත් ඉන්දියාවෙ උන්ට හපන්. මටනං දැන් ඔකුංව පේන්න බෑ. හම්පඩ ඉන්දියන් කාරයො"

යාළුව දිගටම ඉන්දියාවට බණිනව.

ඔය අතරෙ පොඩියට බුදු පිළිමයක් පහුවෙනව. ඉන්දියන් කාරයන්ට බැනපු යාළුව පස්ස පොඩ්ඩක් උස්සනව.

මොහොතකට පස්සෙ අනිත් යාළුවට හිනාවක් යනව.

“හික්ස්”


ලියා එව්වේ - hare :-)

Wednesday, April 4, 2012

දීකිරට සාක්කි කියපු අය

සුදු හඳුන් වටිනා ඹෞෂධයක්. කිලෝවක මිල දාස්ගානක්, රත්නපාලගේ වත්තේ තිබුණු ගස් වලින් වැඩිහරියක් මේහේතුව නිසා හොරු කපාගෙන ගියා, ඉතිරි ගස් කිහිපයත් යන්නේ හොරුන්ගේම අතට කියලා දැනගෙන උන්නු රත්නේ ගස් ටික කපන්න කොත්තරාත්තුව දුන්නේ ප්‍රසිද්ධ හඳුන් ගැනුම් කරුවෙක්ට, ව්‍යාපාරය නීතියෙන් තහනම් නිසාම ගස් කැපුවේ රෑයාමේ.

කපාදාපු ගස් ගෙනියන්න නියමිත දාට කලින්දා ගමට නන්නාදුනන කිහිප දෙනෙක් ඇවිත්, ගම්මු කලබල උනා, රෑයාමේ මොකක්ද කරන්නේ කියලා ඇහුවම කියපු පරස්පර විරෝධි කතා නිසා, මේ හඳුන් හොරකමේ ආපු අය බව අඳුනගත්තු ගම්මු ඔවුන්ට හොඳින් ගුටි දීලා පොලීසිටයත් බාර කලා.

පහුවදා විභාගයට ආපු පොලිසිය ගමට ආපු අහිංසකයින්ට ගහපු වරදට ගම්මුන්ව කූඩු කලා, ඇවිත් තියෙන්නේ හඳුන් මුදලාලිගේ මිනිස්සුලු.



ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Monday, April 2, 2012

ආදරේ හැටි

වෙනද වගේම අදත් ඔයාව හම්බ වෙන්න ආවේ ගොඩක් ආදරේ හිතේ තියාගෙන. තවමත් මගේ කියල අයිතියක් නැති, නමක් නැති, බැඳීමක්, ඔයාට දැනෙන්නේ නැති උනත් ඔයාගේ හිතුවක්කාර කොළු වැඩවලට නොවෙනස්ව ආදරේ කරන නිසාම වෙන්න ඇති මේ තරම් දුක.

වෙනද වගේම මේ ගන්ගරමේ ඒ බංකුව උඩ ඔය උරහිසට ඔලුව තියාගෙන ඔය තොල් වල උණුහුමට නළලත රේඛා මැවෙන මේ සුන්දර ඉර ගිලෙන හැටි ඔහේ බලන ඉන්න අපි වෙනස් නේද? මං තව ටිකක් ළං උනේ ඔයාට ආදරේ කිව්වට තේරෙන්නේ නැති හින්ද.

ඔව් ලස්සන බබාලා වටේම යනවා. ඔයා ඒ දිහා බලනවා දැක්කම මට හිනාත් යනවා. මේ කොල්ල හැදෙන්නේ නැහැ හදන්නත් බැහැ.

මේ ආදරේ හැටි වෙන්න ඇති.

ලියා එව්වේ - අංජු

Related Posts Plugin for WordPress, Blogger...