Showing posts with label සිත. Show all posts
Showing posts with label සිත. Show all posts

Friday, October 7, 2011

ගින්න...

ගණ අඳුර පීරමින්
අනන්තය තෙක් ඇදුණු
නිසල ඇස් හෙලන එම
හිස් බැල්ම කියයි ඔබේ
සිතේ සිර වූ ගින්න...

රාත්‍රියේ නිහඩ බව
තුනී කරමින් හෙලන
සුසුම් පොඳ කියයි ඔබේ
සිතේ සිර වූ ගින්න...

වියලී ගිය මහ පොලව
තෙමන්නට තැත් කරන
එකක් පසු පස ඇදෙන
කඳුලු බිඳු කියයි ඔබේ
සිතේ සිර වූ ගින්න...

අසරණ වූ ඔබේ සිත
සනසවන්නට තනන
මා සිතත් ගොළු කරයි ඔබේ
සිතේ සිර වූ ගින්න...

මේ සියළු ලබැඳියන්
යලි දිනෙක මේ සසරේ
හමුව යලි වෙන් වෙලා
යලි මවයි ඔබේ
සිතේ සිර වූ ගින්න...

එම නිසා මේ සසර
කෙටි කරන මාර්ගය
සොයා මතු දිනෙක අපි නිවමු
සියළු සිත් දවනා ගින්න...


ලියා එව්වේ - සිත් (http://sithwerala.blogspot.com)

Saturday, December 18, 2010

මට හිතෙන්නෙත්, මම හිතන්නෙත්.....!!

නවත්තන්න ඕනි... මේ හිතන එක
ඇත්තටම හොයාගන්න බැරි
හිතනවද....? හිතෙනවද...? කියන එකයි...
මේ දෙකේ වෙනසක් තියෙන බව නම්
මට හිතා ගන්න අමාරු නෑ
මේ දෙක මොකක් උනත්
නවත්තන්න අමාරුයි වගේ
කවුරුද මන්ද කියනවා මතකයි
මිනිස්සු එකිනෙකාට වෙනස් වෙන්නේ
හිතන විදිහෙන් කියලා
එත් මට නම් හිතෙන්නෙ
අමාරුවෙන් හිතල හිතල
මිනිස්සු ලෝකය වෙනස් කරන්න හැදුවට
මට නම් මේ හිතන එක
හිතාගන්න බැරි ප්‍රශ්නයක් වෙලා
කියවන අයට හිතෙයි, නැත්තම් හිතයි
මුට නම් පිස්සු කියලා
මං දන්නේ නෑ
මම හිතන විදිහෙයි, මට හිතෙන විදිහයි
වැරදිද කියලා....
මං මොනවා කරන්නද?
මං දන්නා එකම දේ
මට හිතෙන්නෙත්, මම හිතන්නෙත්
එකම දෙයක් විතරයි....
දෙයියනේ... ඒ ඔයා ගැන....!!

ලියා එව්වේ - මහේෂ් හශාන්ත සිල්වා (http://asipiyakamahima.blogspot.com/)

Sunday, October 31, 2010

රතු කොඩි...

මම නැග්ගෙ පිටකොටුව බස් එකක.138.කොටුව - පිටකොටුව.ඉඩ කඩ ඕන පදං.
සුප්‍රසිද්ධ ගායකයා ඇවිත් මගෙ ළඟින්ම ඉඳ ගන්නකල් දැක්කෙ  නෑනෙ  මම.මට හීන් දාඩියයි දැම්මෙ.මම යාන්තමට හිනා වුණා.මිනිහත් කට පුරෝලම හිනා වුණා.සුමුදු සුදු මුතු දසන්. :මට මතක් වුණේම මං මුලින්ම අහපු ගීතෙ.

උයනක මල්
දහස් ගණන්
පිබිදුණු අතරේ

නෙත නොගැටුණු
කටු පඳුරක
සුපිපුණු කුසුමේ........
ඒ.........................
කුසුමේ.............

මට ආස හිතුණෙ නෑ කවදාවත්ම ඒ පදවැල් වලට.රිද්මෙට.හිත ගියෙම දිග නාහෙට.හිත කැමතිම විදිහෙ එකක් ඒක,අද තමයි කැමතිම විදිහෙ දිග ඇඟිලි තියෙන බව දැක්කෙ..ගානට රෝස පාට.

බස් එක නැවැත්තුවා.
පොඩි එකෙක් පාර පනින්න යනවා.
කහ ඉරෙන්.

මම අද ඉඳන් කැමත්ත වෙනස් කරගන්නවා.
දැම්ම හිතට රතු කොඩියක් !

ලියා එව්වේ - වීතරාගී (http://wiitharaagii.blogspot.com/)

Tuesday, September 28, 2010

හීනෙකට නමක් දෙන්න බැහැ!

හීනෙකින් සැබෑ ලෝකයට ඇද වැටෙනවට වඩා හීනයේම ජීවත් වෙන එක හරිම ලේසියි... හීනෙකදී ඒ වගේ දේවල් හිතෙන එකත් ටිකක් පුදුමයි, අඩුවෙන් කිවුවොත්... හීනෙකදී දාර්ශනික අදහස් පහළ වෙන්න පුළුවන්ද? මගෙන් අහන්න එපා මම දන්නේ නැහැ. තාම හීනේ ඉවර නැහැ...

හීනෙකදී සීතල දැනෙන්න පුළුවන්ද? සීතල කොයි තරම්ද කියනවා නම් ඇට මිදුළු වලටත් කාවැදිලා පිච්චෙනවා. ඔන්න මගේ ඉස්සරහම, සීතල ගැන වගක් නැතුව හිටගෙන ඉන්නවා, ඈ... "සීතලයි"... මම කිවුවා...

"හදවත ආදරයෙන් උණුසුම් නම් හීතල දැනෙන්නේ නැහැ"... ඈ කියනවා, හිනාවෙවී...

ඇගේ මූණ හීනෙකදිත් ඒ තරමටම ලස්සනට පේනවද... මට හිතුනා. ඈ තාමත් හිනාවෙනවා... ඈ හිනාවෙලා හිනාවෙලා මොනවද කිවුවා... ඒත් ඒ කියපු දේ අහගන්න කලින් මම මැරුණා...

ලියා එව්වේ - හිපියා  ( http://hippiesjournal.blogspot.com/ )

Related Posts Plugin for WordPress, Blogger...