Tuesday, November 26, 2013

පෙරේරා මහත්තයා සහ බත් පිඟාන

පෙරේරා මහත්තයා පරිපාලනේ අපේ අංශෙ ලොක්කා. ලොකු ගෙයක් තියෙනවා. වාහන දෙකක්ම තියෙනවා. ජේත්තුවට අඳින මිනිහා.

හැමදාම කෑම ගේන්නෙ ගෙදරින්. කරපිංචක් ඉතුරු කරන්නෙ නෑ. හැබැයි පිඟානම කාලා ඉවර වෙනකං මාළු කෑල්ලට අතවත් තියන්නෙත් නෑ. බිත්තරයක් මස් කෑල්ලක් ගෙනාවත් එහෙම්මමයි. හැමදාම ඉතුරු කරගෙන ඉඳලා කන්නෙ අන්තිමටම.

හැමදාම මේක දැකපු ශාන්ති මිසී දවසක් ඇහුවා ඔය ගැන.

පෙරේරා මහත්තයා පොඩි කාලෙ හිටියෙ මෝදර මුඩුක්කු පේළියෙලු. ගෙවල් අස්සෙනුත් එක එකා යනවාලු. අම්මා පෙරේරා මහත්තයාව පඩිය උඩ ඉන්දලා පිඟාන අතට දීලා පොඩි කාලෙ නිතරම මෙහෙම කියනවලු.

“මහ මිනිහා හිරේ නිසා මුන් හිතන්නෙ. උඹට බිත්තරයක්වත් දෙන්න මට නෑ කියලානෙ. ඒ හන්දා ඕක පිඟානෙ තියාගෙන ඉඳලා අන්තිමට කාපං.“
ලියා එව්වේ - නීනු (http://neranji-sulakkana.blogspot.com/)

Friday, November 22, 2013

විද්‍යුත් ප්‍රේමයේ ආදීනව හෙවත් Good Morning Sweet Heart

ස්ටාෆ් රූම් එක කෙළවර ඇය හඬනවා.
පෙම්වතාගෙන් Good Morning Message එක ඇවිත් නැති වේදනාවට.

සියලු ගුරු යෙහෙළියො ප්‍රේමෝපදේශ දෙන්න වෙනදා වගේම ඇයව වට කරගෙන.
පීරියඩ් එකට තව වෙලාව තියනවා.
ඉතින් මමත් පාඨමාලාවට සවන් දුන්නා.

ශානි- ඌව අතෑරපං. ඔහොම අය වැඩක් නෑනෙ
වින්දි- Sure වෙන කෙල්ලෙක් ඇති.
මධු- එයාලාට තේරෙන්නෙ නෑ. අපිට Message එකක තියන වටිනාකම
මල්මි- තමන්ගෙ ගෑණි වෙනුවෙන් තත්පර හතරක් දෙන්න බැරි මිනිහාගෙ වැඩේ මොකක්ද? 

මට එතැනට කියන්න කිසි දෙයක් තිබුණෙ නෑ. 

ඒත් බොහෝ ආදරියන්ට පෙම්වතාගෙන් උදේ පාන්දර එන Good Morning Message එක යහගුණයෙන් ඉදිරියට යන්න බලය ජවය වඩවන මෝල්ට් පානයක් වගේ එකක් ද කොහෙද කියලා මට නිකමට හිතුණා.

ලියා එව්වේ - නීනු (http://neranji-sulakkana.blogspot.com/)

Tuesday, September 3, 2013

NO POLITICS

"මිනිසා දේශපාලන සත්වයෙකි" එහෙමයි දේශපාලන විද්‍යාවට ඉගැන්නුවේ, එතකොට
ආර්ථික විද්‍යාවෙදි, කුටුම්භ සහ ව්‍යාපාර අංශවල ක්‍රියාකාරකම් රජය එහෙමත්
නැත්නම් දේශපාලන බලාධිකාරයේ ඍජු මැදිහත්වීම මත තීරණය වෙනවලු. ව්‍යාපාර
අධ්‍යනයට, කළමනාකරණයට, ගිණුම්කරණයට අනුව නම් භාහිර පරිසරයෙ වඩාත්
තීරණාත්මකම, වැදගත්ම සාධකය දේශපාලනයලු.

ඒ කතාවත් ඇත්ත. අද කාලෙ පාරකට තාර ටිකක් දාගන්න, පාලමක් බෝක්කුවක්
හදාගන්න කොටින්ම එක වසරට ළමයෙක් දාගන්න පුළුවන්ද දේශපාලකයෙකුගෙ ලිපියක්
නැතිව?

හැමදේම දේශපාලනය මතම තීරණය වන මේ ධර්මද්වීපයේ ක්‍රියාශීලීම   බුද්ධිමත්ම
තරුණ පිරිස වන සරසවි ශිෂ්‍යයන්ට සරසවියට එනකොට අම්ම තාත්ත, නෑදෑ
වැඩිහිටියො, ගුරුවරු දෙන්නෙ එකම එක අවවාදයයි.

"අනේ පුතේ, උඹ නම් ඔය දේශපාලන වැඩවලට පැටලෙන්න එපා."

වැරැද්ද අපේද, උපදෙස් දෙන අයගෙද, නැත්නම් දේශපාලකයන්ගෙද?

ලියා එව්වේ - මන්දාරම (http://mandharama.blogspot.com/)

Friday, May 17, 2013

පොඩි එකිගේ ආසාව..

අල්ලපු  ගෙදර අක්ක කම්පියුටරෙන්  ෆිල්ම් බලනවා.
එයාගේ  මොන්ටිසෝරි යන පොඩි දූ මේසේ වටේ කැරකි කැරකි ඉන්නවා.
අතේ මොකක්දෝ ගුලි කරගෙන..
හිටී ගමන් සද්දයක් නෑ ..
විනාඩියකට විතර පස්සේ අසනීප මුණක් හදං,

"අම්මේ මට සනීප නෑ "
අම්ම ගානක් නැතුව  ''හා දූට බෙහෙත් බොන්න ඕන වෙලාද"
දූ: "අම්මේ, බෙහෙත් තියෙන්නේ නිකං තියන්නද, ලෙඩක් ආවම බොන්න නේ"
අම්ම:  "ගුටි කන්නැතුව දෙනව ඔය පැනඩෝල් කාඩ් එක"

ළඟ හිටපු මට හිනා..
පස්සේ අක්කා කියනවා කොහේ හරි ගියාම මොකක් හරි ලස්සන බෙහෙත් පෙති කාඩ් එකක් දැක්ක ගමන් දුවට ඉබේටම අමුතු ලෙඩ හැදෙනවලු.. මොකකටවත් නෙවෙයි ඒක බීල  බලන්න...
මේ පොඩි එවුන්ටත් තියෙන ආසාවල් වල හැටි.. :)

ලියා එව්වේ - Ashfa

Friday, April 5, 2013

වෙනස

සරත් මිලදීගත් අත් ට්‍රැක්ටරයේ වන්දනා ගමන අරඹා පැය කිහිපයකි, ගමන ආරම්භයේ සිටම සුරතල් පුතු පාසැලෙන් ඉගෙන ගත් නොයෙක් කවි ගායනා කල අතර දියණියද ඔහුගේ සහයට ඉදිරිපත් විය. තොර තෝංචියක් නැතුව තෙපලන බිරිඳගේ මියුරු වදන් රිය පැදවීමේ වෙහෙස නිවාලීය.

සමරසිංහ මහතාගේ බිරිඳ සිටියේ තම අසුන ඉදිරියේ ඇති කුඩා තිරයේ විකාශනය වන හින්දි චිත්‍රපටියේ නළුවාගේ දුක බෙදාගනිමිනි. දියණිය ජංගම දුරකතනයෙන් අන්තර්ජාලය හරහා ලෝකය පුරා විසිරී සිටි මිතුරු මිතුරියන් සමග සතුටු සාමීචයේ යෙදෙමින් සිටියාය. පුතා පරිගනක ක්‍රීඩාවක මාරාන්තික සටනක නියැලෙමින් සිටියේය. තව නොබෝ වෙලාවකින් ඔවුන් නවාතැනට ළඟාවනු ඇත. තම සුඛෝපභෝගී රථය පදවමින් සිටි ඔහුගේ තනියට සිටියේ වායුසමනයෙන් නිකුත් වන සිහිල් වායු දහරා පමනි.

ලියා එව්වේ - නිෂාන්

Friday, March 29, 2013

අලි කෙන්ද

මේ බලපන් මගේ අළුත් මුද්ද.

නියමයිනේ. මොකද්ද බන් ඔය මැදින් කළු පාටට තියෙන කෙන්දක් වගේ එක?

උඹට මතකද කාලෙකට කලින් පත්තරේ ගියා හබරණ කැලේ හිටපු මහ භයානක තනි අලියෙක් ගැන. ඌ ඒ පැත්තේ මිනිස්සු බර ගානක් මරලා තියෙනවා. හේන් වලට පැනලා මහ විනාශ කලා ඒ දවස් වල. අන්න ඒ අලියා පණපිටින් ඉන්නකොට උගේ වලිගෙන් ගලෝපු මවිල්  වගයක්. මේක දාගෙන ඉන්න වෙලාවට කාටවත් බය හිතෙන්නේ නැහැ. පුදුම ශක්තියක් හිතට දැනෙන්නේ.

කොහොමද දැන් උඹලාගේ ආච්චිට

එයාගේ ඔළුව හොඳ නැහැ බන්

ඒ මොකෝ

මැරිච්ච්ච සීයගේ කෙස් ගස් ටිකක් වලල්ලක ඔතාගෙන හැමවෙලේම දාගෙන ඉන්නවා, උන්දෑ කියන්නේ ඒක තිබුනම සීයාගේ ආරක්ෂාව ලැබෙනවා, බයක් නැහැ කියලා.

ලියා එව්වේ - නිෂාන්

Monday, March 25, 2013

හැමදාම තියේනම් ෂෝක් නේද අම්මෙ?

වරෙල්ලා මේ කහට ඩිංග බීලා නටාපල්ලා.
සි..ර්යාවතී....... සිරියාතියේ...
ම..ටත්.. ඩිංගක්...
අම්මට ලුණු කැඳ ඇති.
හ්ම්හ්..
ඊයෙ මං.. හීනයක් දැක්කා...
මෙහෙ දානයක් තිබුණා බං...
අපරාදෙ මාස ගානක් කන්ඩ ඇති බං අපට
මට මේං මීට වැඩිය කන්ඩ බැරිවුණා හ්ම්හ්... හැති බං...
හ්ම්... හෙටනං උඩහ නෙළන්ඩ යනවා. දෙසිය පනහක් හම්බුවෙයි.
අම්මේ... අම්මේ....!
අනේ... අම්මේ...!!
ඕනෙ දෙයක් තියෙනවනම් කියන්ඩ සිරියාවතී.
මරණාධාරෙන් කරල දෙනව මහත්තයා....
මොකද වුණේ?
කන්ඩ බැරිවුණා....
අපේ නැන්දම්මටත් ඕකනෙ. සස්ටජන් ටික බීගන්ඩ බැරිවුණා.
මොනව වුණත් වාසනාවන්ත මරණයක්.
එකතැන් වුණේ නෑනෙ.
හ්ම්.....
දැන් උයන්නෙ කොහේද?
බස් ගෙදර...
අම්මෙ අපි බත් කෑවා ජාති ගොඩක් එක්ක.
හරි රහයි අම්මෙ.
හැමදාම මෙහෙම තියේනම් ෂෝක් නේද අම්මෙ?

ලියා එව්වේ - මගේ ජීවිතය

Friday, March 22, 2013

ආදරයද මේ.....

සඳ...
ඔයා දන්නවද පැටියෝ මන් ඔයාට කොච්චර ආදරේද කියලා.....
මන් මේ මුළු ලෝකෙටත් වඩා ඔයාට ආදරෙයි රත්තරන්...
මන් මගේ ජීවිතේටත් වඩා ඔයාට ආදරෙයි....  
ඔයාගෙන් තොර ලෝකයක් මට නැහැ.... 
ඔයාට මොනවා හරි උනොත් මන් මැරෙනකම් ඔයා එක්ක ඉන්නවා..... 
ඔයාව මගේ ඇස් දෙක වගේ ජීවිත කාලෙම බලාගන්නවා.....
ඔයාගේ සතුට තමයි මගේත් එකම සතුට.......

මන් අද හවසට පොඩ්ඩක් එළියට යනවා.....

ඒ මොකටද.....

අද අපි පොඩ්ඩක් සෙට් වෙනවා..... යාළුවෙක් ගේ උපන්දිනේ....

එපා අද ඒකට යන්න...
ඔහොම ගිහින් බීලා ඔයාට මොනවා හරි ලෙඩක් එහෙම හැදුනොත් මට මොකද වෙන්නේ...
කවුද මාව බලා ගන්නේ....

ඇයි දැන් ඔයා කිව්වේ මට ගොඩක් ආදරෙයි, මොනවා උනත් මාව බලා ගන්නවා කියලා......

ලියා එව්වේ - නිෂාන්

Friday, March 8, 2013

ඇඩිඩාස් නම හදුනා හැටි (ප්‍රබන්ධයකි)

මේක ඇඩිඩාස් අයිති ඇඩොල්ෆ් ඩැස්ලර් මහතා තමන්ගේ සපත්තු සමාගමට නමක් හොයා ගන්න බැරිව අතරමං වෙලා ඉන්දියාවට ගිහිං නමක් හදා ගත්ත හැටි. එතුමා ගියා ඉන්දියාවේ පාපන්දු තරගයක් බලන්න. 

 ඔන්න එක කණ්ඩායමක් ප්‍රතිවාදී ගෝලය අසලට පන්දුව පාස් කරගෙන යනවා. එතකොට එළියේ ඉන්න ප්‍රේක්ෂකයෝ මහා හඬින් කෑ ගහනවා

"අඩි - ඩා" 

කියලා. අනිත් කණ්ඩායම පන්දුව ගෝලය අසලට ගෙනිච්චත් ඇහෙන්නේ

"අඩි - ඩා" 

කියලා. මේ වචන දෙක අන්තිමට ඇඩොල්ෆ් මහත්මයාගේ දෙසවන් වල රැව්-පිළිරැව් දුන්නා. 

අන්තිමට එතුමාට මෙහෙම හිතුනා

"මගේ නම ඇඩොල්ෆ් ඩැස්ලර්, මේ මිනිස්සු කෑ ගහනවා අඩි - ඩා කියලා. මේක ඇඩි - ඩා කියලා ගත්තොත් හරි.

හරි.... හරි..... හරි 

 "ඇඩි-ඩාස්" මේක තමයි නම. 

ලියා එව්වේ - ඇවිද්ද පය (http://awidda-paya.blogspot.com)

Monday, March 4, 2013

බිග් මැච්

ආනන්ද නාලන්ද ගුටි බැට හුවමාරුව පසුදින උදයේත් රුපවාහිණි තිරයේ දිස් විය.

'නංගා මේ ටිවී එක ඕෆ් කරලා දාන්න.'

ජිතේන්ද්‍ර තම නැගණියට කීවේය.

'මචං අරුං අපේ එවුන්ට ගහලා, ඕක නිකං අතෑරලා බෑ අපිත් දෙන්න ඕනේ රිටන් එක.'

බිග් මැචයේ තුන්වන දිනය අවසානයේ ක්‍රීඩා පිටිය අහියස මාර්ගයේ මහා ගාලගෝට්ටියකි. එය වැලැක්වීමට ගිය පොලීසියටත්  විශේෂ පොලිස් බලකායටද ගුටි වර්ෂාවකින් පිලිතුරු ලැබිණි. 

'අම්මෝ'
තඩි පොල්ලක් තම හිස මතට පතිත වීම පමණක් ජිතේන්ද්‍රට මතකය.

පාසල් දෙකක බිග් මැචය මීට වසර තිහකට පෙර එසේ නිමා විය.

'සර් අපි වොශ් කරමුනේ.'

ජෝන්, ජිතේන්ද්‍රගේ කඩා වැටෙන අත පයද සීරුවෙන් තබා තම දෑතින්ම ඔහු ඔසවාගෙන නාන කාමරය දෙසට ඇදුනේය.


ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/

Wednesday, February 27, 2013

අපිට පිස්සු ඕයි


දඩස්!
සුපර්මෑන් යනවාවගේ දැනුනා මිලිතප්පර ගානකට
මම ඇස් ඇරියේ නෑ, ආතල් වැඩිකමට.

ඒත්එක්කම ආර්නෝල්ඩ්ගෙන් මූණට පාරක් වැදුණා වගේ දැනුනා
මම නෙවෙයි ඇස් ඇරියේ,
මූණ පුරා පැණි බේරෙනවා දැනුණා.

පොඩි කරපු ඇස් අස්සෙන් මට
චායාවල් යනවා පෙනෙන්න ගත්තා..,
එකපාරටම..,

මොකෙද්ද මූ..,
කියලා අහනකොට...,

හොරෙක්, වංචා කාරයෙක්,
අර අතේ පච්චේ හැටි?

මුට පිස්සු..!

ටක්කෙටම මූ පොන්සියෙක්,
බලන්නකෝ රෝසපාට සර්ට් එකේ හැටි

මුට පිස්සු..!

අක්කේ මූ කුඩ්ඩෙක් "පේන්නැද්ද තොල්"
හ්ම්ම් කලුයි නේ..?

මුට පිස්සු..!

මෙයා වැටුනේ පාර මාරුවෙන්න ගිහිල්ලාලු

තමුසෙට පිස්සුද ඕයි
වාහන යන පාරේ මැද්දෙන් පනින්න යන්නේ
මම පාර පැන්නේ කහඉරෙන් ඕයි..!

මට පිස්සු වගේ ඕයි
වගේ නෙමේ ඕයි
හොදටම පිස්සු ඕයි!!!

ලියා එව්වේ - මුචලින්ද (http://juliaproduces.blogspot.com/)

Friday, February 22, 2013

ආතල්

මචන් මට මේක මාර ආතල්.

ඔය මොකද්ද? ඔය වගේ දේවල් වලට ආතල් ගන්න උඹට ලැජ්ජ නැද්ද? ඕකෙන් නෙමෙයි මේකෙන් ආතල් ගනින්.

ඕවායින් මට ආතල් නැහැ, මට ආතල් මේකෙන්.

එහෙම කොහොමද උඹ, උඹට ඕනේ ඕනේ දේවල් වලින් ආතල් ගන්නේ.

ඉතින් මන් ආතල් ගන්න ඕනේ, මට ආතල් දේවල් වලින් නේ.

එහෙම බැහැ. උඹ ඔය වගේ දේවල් වලින් ආතල් ගන්නවා දැක්කම මට ආතල් නැති වෙනවා.

ඉතින් හරි, උඹ නෙමෙයි නේ මම නේ ආතල් ගන්නේ. මේක මගේ ආතල් එක.

නැහැ උඹ ඉන්නේ මෙතන නම් උඹට ඕනේ ආතල් ගන්න බැහැ. උඹ ආතල් ගන්න ඕනේ මටත් ආතල් ඒවායින් විතරයි. එහෙම නැති උනාම මට ආතල් නැති වෙනවා.

ලියා එව්වේ - නිෂාන්

Tuesday, February 19, 2013

වස්සානයට පෙර

'මොකක්ද බං ඒ සද්දේ? කවුදෝ කෙඳිරි ගානව වගේ, ගෑණු කටහඬක්!'

අවාරේ සිරි පා වඳින්න, කුරුවිට පාරෙන් යන නඩයකට කැලෑව තුළ තිබුණු පුංචි පන්සලකින් මේ ශබ්දය ඇසුණි.

ඉන් එකෙක් පන්සලේ කාමරය තුළට එබිකම් කර බැලුවේය. ඒ දුටු දෙයින් ඔහුගේ ගතත් සිතත් සලිත විණි.

'ගමේ පන්සලෙත් මෙහෙමත් හාමදුරුවරු, මදැයි වන්දනා ගමනක් ඇවිල්ලා දැක ගත්ත දේ'

තවමත් මැදි වයසේ සිටි ඔහුගේ ගතින් දහඩිය රූරා වැටුණි. අඳනකඩය පමණක් ඇඳ සිටි ඔහු ඇගේ කකුල් ඉතා තදින් පිරිමදියි ඒ අතර කටින් යමක් මුමුණයි.

'දැං හරි'

ඔහු කෙළින් නැගී සිටියේය.

'හාමදුරුවනේ, එහෙනං මං නෝනෙව ගෙදර දාලා ඉක්මනට එන්නම්.‘

'උපාසක උන්නැහේගේ කැමැත්තක්. මං යනවා ඉතිරි පිටි ටික කොටන්න'

ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/

Thursday, February 14, 2013

වැලන්ටයින් උඹත් ආවේ

වල්ඩ් කප් පැරදුනා නේ, ඉසෙඩ් අකුරකුත් හිර උනේ, අර මේජර් කෙනෙකුත් ගුටිකෑවේ, සෝනු නිගමුයි ජෝන් සිකාඩයි ඉස්ටැන් කෙලීත් ආවේ, ඇයි සුමන ගෝමස් අක්කත් මෙහෙ ආවේ, විභාගේ ප්‍රශ්නත් පිට උනේ, ඒ අස්සෙනේ ෆෝන් වලට මයිටාවොත් ආවේ, ඇයි පාට පාට වැහි හිටන් වැස්සනෙ, කොහොම හරි ලෝක විනාසේත් ආවනේ, නයෙක් උසාවිත් ගියේ, දක්ෂිණ අධිවේගේ කැන්ටිමකුත් ඇරියනේ, චන්ද්‍රිකාත් උඩ ගියේ, පාර්ලිමේන්තුවේ මෙනු එකත් වෙනස් උනානේ, ඔය අස්සේ අසරණ රිසානවත් මැරුවනේ, ඇයි අප්පේ ඔබාමාත් ආයේ දින්නේ, හිර ගෙදර එවුනුත් ආතල් දුන්නේ, හලාල් සිද්දියකුත් ඇදිලනේ, බොදු බල සේනා දෙය්යනේ කියල හිස ඔසවලා තියෙන අස්සෙනේ වැලන්ටයින් උඹත් ආවේ. ආස්චාර්ය බොල ආස්චාර්ය. වරෙන් වරෙන් ඉඩ තියෙනවා ඕන තරම්.

ලියා එව්වේ - අමින්ද ඉෂාර (http://sinhalenscience.blogspot.com/)

Wednesday, February 13, 2013

අත්

රක්ත වර්ණයෙන් පිරුණු දෙකොපුල්, සතුටින් ඉපිලීගිය මුව කමල .

මනාව දිගටිව තබා වර්ණ ගල්වා තිබූ නියපොතු, පුලුන් රොදක් තරම් සිනිඳු ඒ අත් අහා කෙතරම් සුන්දරද ඇය.

සුදුමැලි වූ ශෝකී මුහුණ .

අවපැහැගැන් වී කොටටම කපා තිබූ නියපොතු, ඉලිප්පුනු නහරවලින් යුත් ඒ ගොරෝසු අත්.

අත්



අත්

මම එක එල්ලේ ඇගේ අත් දිහා බලා සිටියෙමි. වසර පහළොවකට පෙර ඇයගේ තරම් සියුමැලි අතක් මම කවරදාකවත් නොදැක තිබුනෙමි. ඒ අත්ල මොනතරම් සිනිඳුද මට අද වගේ මතකයි, මම ඒ අත් වලට වශී වුණෙමි එහෙත් අද කෝ ඒ අත්? මගෙයි දරුවන්ගෙයි වැඩපල කරලාම ඇගේ අත් අද ගොරෝසු වෙලා.

"ස්වාමීනි මේ දික්කසාද නඩුව මම ඉල්ලා අස් කර ගන්නවා."

ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)

Monday, February 11, 2013

කෝච්චිය

පාසල නිමවි මරදාන ඉස්ටේසමට එක් රොක් වෙන දඟකාර යුවතියන් ගෙනුත් කොලුගැටයන් ගෙනුත් මුලු ස්ටේසමම පිරී ගොසිනි. තැන් තැන් වල ආදරය කරනා පුංචි කොලු, කෙලි පැටික්කියන්ය. තවත් තැනෙක විහිලු තහලු කරගන්නා තරුණියන් රොත්තකි. තවත් තැනෙක ගැහැණු ළමයින්ට බැලම හෙලනා කොලුගැටයන්ය.

'පස්වන වේදිකාවට දැන් පැමිනෙණ  දුම්රිය කලුතර බලා පිටත් වේ. එය කලුතර දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත.'

යකඩ කටින් කියවුනු ඒ හඬ ඉස්ටේසම පුරා දෝංකාර දුන්නේය. කෝච්චිය ආයුතු වේලාවට වඩා පැයක් පමණ ප්‍රමාද වී තිබූ බැවින් තම නිවෙස් කරා යෑමට ලහි ලහියේ ලෑස්ති වුණු සියල්ලන්ම වේදිකාව මත සිට ගත්හ.

ඈතින් හූ කියාගෙනම කොච්චිය එනවා පෙනුණි.

'සමාවන්න එය කෝච්චියක් නොව එන්ජිමකි'
 
ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)

Wednesday, February 6, 2013

සුජාත දියණි

කම්මුල් දෙපස රත්පැහැවී ඇති බවට නලල මත හීනියට මතුවුනු දාඩිය බිඳු කියා පෑවේය! එකවර බොහෝ දෙනෙකුගේ අවදානයට ලක්වීම කෙතරම් නුහුරු හැඟිමක්දැයි දැන් මා දනිමි! එහෙත් ජීවිතයට ගතයුතු ලොකුම තීරණය හමුවේ මෙලස මහ පොලොවට දෙනෙත් යොමා සිටීමෙන් අවාසිය මා හටම බව මා දනිමි!

මම හොරැහින් ඔහු දෙස බැලීමි, අරුමයකි! ඔහුගේ හොරය මට හසුවිය, කෙලින් නොබලන ඔහු දුරකතන කැමරාවේ මාගේ සිරි විඳියි!

“ගෑණු ළමයෙක් ගාව තියෙන්න ඔනි ඒවගේ උත්සහයක් උනන්දුවක්, ඒ දේ තියෙනවා කියන්නේ පවුල් ජීවිතේ සාර්ථක වෙනවා“

“පුදුම වාසනාවන්ත පෙනුමක් තියෙන්නේ“

“කෙල්ල ඉන්න තැනට කිරි උතුරනවා වගේ උතුරනවා“

වැඩිහිටියන් බර කතාවකය

මෙයාටද කියන්නේ?

ඔහු අසයි

නෑ අපි කිව්වේ මේ චංගුමී ගැන!


ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Wednesday, January 30, 2013

හිට්ස් නැතිව වේලෙන බ්ලොග්කරුවන්ට අගනා මෘදුකාංගයක්

ඔය මහත්තුරු නෝනල බ්ලොග් ලිවුවට හිට් නෑ නේද? හිට් ගන්නෙ කොහොමද කියල දහාතේ කල්පනා කරනව නේද? හිට් ගන්න ඉතිං අනිත් බ්ලොග්වල කමෙන්ට් කරන්න එපැයි. ඒත් ඔය ලියන ඒව කාටද කියව කියව ඉන්න පුළුවන්?

මේ මෘදුකාංගෙ තමුන්නැහැලට ඕන තරං හිට් අරං දෙයි. මේකෙ තියෙනවා ෆීඩ් රීඩර් එකක්. ඒකට ඔයාට කමෙන්ට් දාන්න ඕන බ්ලොග් ඔක්කොම එකතු කරන්න. ඊට පස්සෙ පහල තියෙන කමෙන්ට් එක දාන තැන ඔයාට පුළුවන් ඔයාගෙ කමෙන්ට් එක ලියන්න.

නියමෙට ලියල තියෙනවා. අපේ පැත්තෙත් එන්න!

වගේ කමෙන්ටුවක් එක්ක ඔයාගෙ බ්ලොග් එකේ ලින්කුව දාන්න. ෆීඩ් එකේ කාගෙ හරි බ්ලොග් එකක් අප්ඩේට් වුණ හැටියෙ මෘදුකාංගෙන් ඔය කමෙන්ට් එක දානවා ඒකෙ.

කොයිතරං ලේසිද?



ලියා එව්වේ - hare :-)

Friday, January 25, 2013

මරණය තළුමරමු!

පසුගිය දවසක කාර්යාලයේදී ඇසුණු දෙබස් කීපයකි.

අන්න ඉන්ටනෙට් එකේ දාල තියෙනවා. ඔයාල බැළුවෙ නැද්ද?

ඊයෙ ටීවි එකෙත් පෙන්නලා. අපි අනිත් චැනල් එකනෙ බැලුවෙ.

ඒ ඔරිජිනල් එක නෙවෙයිලු. වෙන එක්කෙනෙක්ගෙ එකක්ලු.

බලන්න පුළුවන්ද? ලේ විසිවෙනවද? එහෙනං මට බෑ අනේ...

අපෝ එහෙම අවුලක් නෑ. චූටියට පේන්නේ.

බෙල්ල දං ගෙඩියක තියලද ගහන්නේ? රජ කාලෙ වගේ...

නිකංම දණ ගස්සල තමයි ගහන්නේ. හරියට පේන්නෙ නෑ කට්ටිය වට වෙලානේ..

ඔව් එක පාරින් වෙන් වෙන්න තමයි ගහන්නේ...

අනේ අපේ පැත්තෙ රවුටරේ කැඩිලනේ. ඔයාලගෙ එකෙන් බලන්න පුළුවන් නේද?

ඕක ක්ලෝස් කරන්න එපා කියන්න. AO මහත්තයටත් බලන්න ඕන කිව්වා.

තව බලපු නැති අය ඉන්නවද? දැන් ගෙදර යන වෙලාවත් හරි.



ලියා එව්වේ - hare :-)

Wednesday, January 23, 2013

දෙවන මනමාලයා

කවුද මේ උදේ පාන්දරම වද දෙන්නෙ, තාම එලාම් එක වැදුනෙත් නෑ,
මට ඔයාව පොඩ්ඩක් මීට් වෙන්න පුලුවන්ද? ඒ ඇයගෙන්ය,
ඇය කතා කලේ සෑහෙන කාලෙකින්ය,
එහෙත් මට වචන නොගැලපෙන සෙයකි,
මම දැක්ක ඔයාව, ඔය වෙනස් වෙලා, කෙට්ටු වෙලා,
මම නෑ.... ඔව් ටිකක්.....
ඔයා මැරි කරන්නෙ නැද්ද?
එය කිණිසි පහරකි.. එත් ගලයාමට තරම් තවත් රුධිරය මා සතුව නොතිබිණි,
ඇයට මෙතරම් නපුරු වීමට පුලුවන්ද?
ඔයා තරහද?
නෑ
මම දෙයක් කියන්න එන්න කිව්වෙ,
ආව..ඉතින් කියන්න අහගෙන ඉන්නෙ...
මම මැරි කරනවා,
ඇය දෙස වික්ෂිප්තව  බල සිටියෙමි,
ඔයාට බෙස්ට්මන් ට ඉන්න පුලුවන්ද?
දෙනෙත කෙළවරෙහි නලියමින් තිබු කඳුලු බිංදු කිහිපයක් දෙකොපුල් මතින් රූටා කමිසය මත බොඳ විණි.

ලියා එව්වේ - සටපික්වලයා

Monday, January 21, 2013

බ්.... බලේ!

ඔය නඩුකාර නෝන ඉන්නවනේ. උන්දැ වැඩේ අතෑරියෙම නෑ. ලොක්කයි සොක්කොයි එක්ක කොක්කටමයි උන්නෙ.

අන්තිමේදි සමස්ත ලංකා කාන්තා එකමුතුව සංවිධානයේ නෝනල නඩුකාර නෝන වෙනුවෙං පාරට බැස්ස. එතන ගිණි විජ්ජුම්බරයක් වුණේ. ඇයි උන්දලට පොලුවලිං ගහන්ටයැ.

අන්තිමේදි දොදොල් මූණක් තියෙන ඇමතියෙක් යෝජනාවක් ගෙනාව කාන්තාවො තහනං කොරන්ට ඕන කියලා. ලෝකෙ තියෙන හැම ප්‍රස්ණෙටම මුල කාන්තාවොය කියල ඔප්පු කොරන්ට ආණ්ඩුවට මහ ලොකු කාලයක් ඕන උණේ නෑ.

අන්තිමේදි කාන්තා තහනම් පනත පාර්ලිමේන්තුවෙදි කැහිල්ලක් නැතිව සම්මත කොරගන්ටත් උන්දලට පුළුහං උණා.

ගෑණුංට නිසි තැන දුන්නයින්නෙ සේරම. දැන් කාන්තාවො ඉන්නෙ රති කෙලියටයි ළමයි වදල හදන්ටයි විතරයි.

ගෑණුංව පිරිමි කොරන්ට බෑ තමා ඒත් චුත කරන්ට පුළුහං!

ලොක්කයි සොක්කොයි සව්දිය පිරුවා.



ලියා එව්වේ - hare :-)

Friday, January 18, 2013

ඔබ හා මම

ලොවක් අවදි කර
නැගෙන හිරු
මඬල ඔබ
අඳුරු අහසට
අරුණළු රැගෙන එන
රන් රැස් දහරින්
තුරු මුදුන් සිප සනසන
නැවුම් මල් කැකුළු
පුබුදුවා නළවන
එකතු කර වැහි බිඳු
පාට දේදුනු අඳින
සැඳෑ වළාකුළු
රනින් සිත්තම් කරන


                        ඔබේ කාන්තියෙන් නැහැවෙන
                        පුංචිම තරුව මම
                        රෑ අහසෙ කොනක හිඳ
                        දීප්තිය විහිදුවන

වියළි මහ පොළොවට
ඇද වැටෙන වැස්ස ඔබ
මලානික ගහ කොල
හුස්ම පිඹ නැගිටුවන
පිපාසිත තණ පත් අග
පිණි බිංදු රඳවන
ඉරි තැලුණු මිහිකත
සනහා ගිම් නිවන
ඇල දොල වැව් පොකුණු
සුනිල් දියෙන් පුරවන
නෙත යොමන හැම අත
හරිත පැහැයෙන් බබලවන


                           සිහිලැල් දියෙන් සැනහෙන
                           සිඳුන උල්පත මම
                           ඔබෙන් නව පණ ලැබ
                           ජීවයෙන් උතුරන..

 
ලියා එව්වේ - සුන්දරී

Wednesday, January 16, 2013

තෙල් බේත් වෙළෙන්දාගේ පාපොච්චාරණය ....

"මහත්තයෝ සුද්ද හැදුවා ෂූස්. අනිත් සුද්දොත් ෂූස් හැදුවද නෑ. ලේසියෙන් ගලවන්න ඕන නිසෑ  තව සුද්දෙක් හැදුවා ලෙස්. සපත්තු දැම්මම කිසිම සැප පහසුවක් නෑ.  තව සුද්දෙක් හැදුව සොක්ස්. විකුනන්න කඩේට ගේනකොට මේවා එක එක සයිස් ඒවා මල්ලක දාගෙන එනවා.  ඕක ගැන කල්පනා කරලා තව සුද්දෙක් හැදුව කේස්.තව එකෙක් ටිකක් කල්පනා කර කර ඉඳලා ඊළඟට හැදුවා පොලිෂ්. පොලිෂ් ගාන්න ගියාම හත්පලේ ගෑවෙනවා. ෂයින් කරන්න රෙදි කෑලි දාගෙන උලන්න ඕනේ. තව එකෙක් හැදුවා බ්‍රෂ්. ඒකට අපේ එවුන්. මම මේ අඹ ගහ යට ඉඳන් තෙල් බෙහෙත් විකුනනවා. තව එකෙක් ආවා ඌත් විකුනන්නේ තෙල් බේත්. ඒ මදිවට තවත් එකෙක් ආවා. ඌත් තෙල් බේත්. නෙද්දකින් කාලකන්ණි"

ලියා එව්වේ - ඇවිද්ද පය (http://awidda-paya.blogspot.com)

Monday, January 14, 2013

අපි හරක් මස් නොකෑ යුත්තේ ඇයි?

"කර්මයට බලපාන්නේ චේතනාවයි"

ආච්චි අම්මා බණ අහනවා. මගේ සිතුවිලි ක්‍රියාත්මක වීමට පටන් ගත්තා.

මාළු කාරයෙන් හාල් මැස්සෙක් මරන්නෙ ඇයි?
හාල්මැස්සො කන මිනිස්සුන්ට විකුණලා සල්ලි හොයන්න.
මස් කඩ කාරයා හරකෙක් මරන්නෙ ඇයි?
හරක්මස් කන මිනිස්සුන්ට විකුණලා සල්ලි හොයන්න.
ඒ කියන්නෙ චේතනාව එකමයි. එහෙනම් හරකෙක් මරණ පව සමානයි හාල්මැස්සෙක් මරන පව.

එතකොට එක හරකෙක්ගෙන් සපිරෙන මස් අවශ්‍යයතාව පුරවන්න හාල් මැස්සෝ කීයක් විතර ඕනෙ වෙයිද?
හ්ම්ම්ම්ම් අපි ආසන්න විදිහට ගමුකෝ දහ දාහක් කියලා.

එතකොට එක හරකෙක් සමානයි හාල්මැස්සෝ දහ දාහයි. එක හරකෙක් මරණ පව සමානයි එක හාල්මැස්සෙක් මරන පව.

අම්මටසිරි! යකෝ ඒ කියන්නේ එක හරකෙක් මරණ පව සමානයි හරක් දහ දාහක් මරණ පව!


ලියා එව්වේ - කාංචන දිල්රුක්ෂ

Friday, January 11, 2013

සිහින මන්දිර සිහින මාලිගා සිහින මාවත් හා නිකම්ම නිකන් සිහින

ලිමොසින් රියක තද නිල් එලියෙන්
නිලංකාර වු දෑස් මත
තුන්දාහෙන් ගන්න එකම අච්චුවෙ පොටෝ වලට
හිඳෙන බර නොපෙනෙද්දි
ඒ අතර එලි කරන තරු බොජුන් වරින් වර
තවත් සැහැල්ලු කරන
දෙව්ලොව යන්නට සරසන්න දෙව්ලියන්
සහ සුකුමාර දෙව් පුතුන්
සැහැල්ලුයි තව ඉතින්
පාවෙලා යන්න මල් පිරුණු මල් ගොඩක් මැද
හිසටද පයටද අත තබන අඟලකම නෙත දකින හැම කොණම
දෙව් සිහින ගේන
තවත් බර අඩු කරන
රනින් මිණි මුතූ මතින්
පෝරු උඩ දරාගෙන
සයන මත පුද දමා
යෞවනේ රතු රෝස
සිඳී අක්මුල්
සිහිනයෙන් අවදිවන නිමේශයෙ
මාලිගා කැබලි සී සී කඩ විසිරී
ආත්මයද විකුණා දුටු සිහින
නිකම්ම නිකන් සිහින වී
දැන් ණය ගෙවන්න
ලෝකයටම!

ලියා එව්වේ - සුමේදා එගොඩවත්ත

Wednesday, January 9, 2013

ආදරේට වද දෙන දුක

මම ඇගේ නොඉවසිලිවන්ත දෙනෙත් දෙස එක එල්ලේ බලා උනිමි, අළුතින් හැඩ කර තිබූ ඇහිබැම හකුලවමින් ඇය මාවතේ ඇත කොන දෙස බලාහිඳී. තත්පරයෙන් තත්පරයට ඔරලෝසුව දෙස බැලීම  ඇගේ නොඉවසිලිවත්න කමට හේතු සොයන්නට මා  පෙළඹවීය.

“මොකද පාර බලන්නේ...“

“නුවන් එනවා කිව්වා නෙතූ.. මට නම් දැන් ඇති වෙලා මේ පාර බැලිල්ල.. හාදාමත් ආදරේ නිසා මං වින්දේ දුක්ම විතරයි  කවදා කොහෙන් සැනසීමක්ද.. ඇයි මන්දා නුවන්ට කවදාවත් වෙලාවට එන්න බැරි..“ මහත් කලකිරිමකින් යුතුව ඇය කියවාගෙන ගියාය.

“එන්න පරක්කු වීමයි ආදරෙයි අතරේ සම්බන්දේ මොක්කද ප්‍රියා!?“

“ඒක දුකක්!“

“නැහැ.. ඒක නෙවෙයි,

බලාගෙන ඉන්න එකයි

තනිකමයි

නුවන්ව තැති වෙයි කියන බයයි

ඔයාගේ හිතේ සැකයයි

මිසක් ආදරේ නෙවෙයි ප්‍රියා“

ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Monday, January 7, 2013

ෂොට් එක

ප්‍රසාද් හෙට මම පාන්දරින්ම යනවා.
හතරටවත් පිටත්වෙන්නෝනිනේ.
උදේටත් ඔයාට උයාගන්න වෙයි.
මං කපන කොටන දේවල් කරල ෆ්‍රිජ් එකේ දැම්මා.

හරි හරි මාලි, මං බබෙක් නෙමෙයි.
ඔයා එනකොට මං රෑටත් උයල තියන්නම්.

ප්‍රසාද් මං ගිහින් එන්නම් පරිස්සමින් වැඩ කරගන්න.

හරි එහෙනම් දැන් උයමු.
බත හරි. වතුරත් ගහල ඉන්නවා මාලි උදේ මෝටරේ දාන්න නෑ.
සිංදුවක්වත් දාන්නෝනි ගෙයි පාලුව යන්න.
හොද්ද ලිපේ, ඊළඟට මාළු බදිනවා.
මේවයෙ අයිස් දියවෙන්න තව වෙලා යයි, එතකන් ෂොට් එකක් දාන්නෝනි.

මහත්තයා! මහත්තයා!
මොකාද බෙරිහන් තියන්නේ? නිවාඩු දවසටවත් නිදහසේ ඉන්න නෑනෙ.
මහත්තයා වතුර උතුරනවා අපේ කොහිල පාත්තියටම ගලලා.
මොකක්! හුටා! මෝටරේ! අපොයි මාළු ටික! චෙප් හොර බළලා, ඉවරයි හොද්ද!


ලියා එව්වේ - මගේ ජීවිතය

Friday, January 4, 2013

ලෝක විනාසේ වෙන්න හේතුව...

මුළු ලෝකෙම විනාස වුනොත්,
මැරෙන මිනිසුන්ට අහපහු
මිනිස් භවයක උපදින්න විදිහක් නැහැ,
ඇයි මිනිස්සු විදියට උපදින්න
ලෝකේ තියෙන්න ඕනිනේ.

ඒ කියන්නේ, මැරෙන මිනිස්සුන්ට
තිරිසන් භවයක් උපදින්න විදිහකුත් නැහැ.

අපායවල් තියෙන්නේ පෘතුවියේ මැදලුනේ.
ඉතිං ලෝකේ විනාස වෙනවනම්,
ඒ අපායවල් ඔක්කොම විනාස වෙන්න ඕනි.
එතකොට මැරෙන අය අපායවල් වල ඉපදෙන්න විදිහකුත් නැහැ.

ප්‍රේත, කුම්භාණ්ඩ කියන ලෝක
තියෙන්නේ පෘතුවිය මතුපිටලු.
එතකොට මැරෙන මිනිස්සු
ප්‍රේතයෝ, කුම්භාණ්ඩයෝ වෙලා
උපදින්නෙත් නැහැ.

මුළු ලොකේම විනාස වුනත්,
දෙව් හා බඹ ලෝක විසාස වෙන්නෑලු.
ඒ කියන්නේ මැරෙන ඔක්කොම ගිහින් ඉපදෙන්න
පුළුවන් ඒ ලෝකවල විතරයි.

හැබැයි ඒවල උපදින්න ගොඩක් පින් කරන්න වෙනවලු.
එතකොට ලෝක විනාසේ වෙන්නේ,
හැමෝම ගොඩක් පින් කරාමද?


ලියා එව්වේ - අනුරාධ සුබසිංහ

Wednesday, January 2, 2013

සල්ලි දෙවියන්ගේ මල්ලි

අන්නාසි, ඇපල්, බෙලි, පේර, දිවුල්, කෙසෙල්ගෙඩි, මිදී, සීනි කැකිරි වගේ තෝරා ගත්ත පලතුරු කිහිපයක් වට්ටියක පිළිවෙලට තියල රතු නැත්නම් නිල් පාට මල් මාලයක් දානවා. සමහර පලතුරු තියන්නේ දෙකට කපල. ඒත් සමහර පලතුරු වර්ග පොත්ත පිටින්ම තියනවා. ඒ මදිවට එක උඩින් බුලත් කොලයක් තියලා, එකටත් උඩින් ඉස්සර නම් වර්නසේන රාසපුත්‍රම් අත්සන් කරපු සීයේ කොලයක් තියනවා. දැන්නම් දාහෙන් උඩ කොලයක් තමයි තියෙන්න ඕනේ. ඇත්තටම මේ දෙවියෝ මේ වගේ පලතුරු කෑලි ටිකකට අහු වෙන හැටි දැක්කහම වෙලාවකට හිතෙනවා දෙවියොත් මේ මනුස්සයෝ වගේ ජරාවට බර පොරවල් ටිකක් කියලා. නැත්නම් රුපියල් දෙතුන්දාහකට අහු වෙලා එක එක පොරොන්දු ඉෂ්ට කරන්න බාර ගනීද? සල්ලි දෙවියන්ගේ මල්ලි නෙව.

ලියා එව්වේ - ඇවිද්ද පය (http://awidda-paya.blogspot.com)

Tuesday, January 1, 2013

මකුළු රාළගේ සුනාමි ට්‍රිප් එක...

මකුළු රාළ පරාළෙ උඩ පැත්තෙ පොඩි දැලක් වියා ගත්තෙ සුනාමිය ළඟ බව දැණුන නිසයි. අවුරුද්දකට කීප වතාවක්ම මකුළු රාළලාට සුනාමි එනවා. මේ වතාවෙත් මහ සද්දෙන් සුනාමිය එද්දි මකුළු රාළ පරාළෙ උඩ ඉඳන් බලාගෙන හිටියා.

පරාලෙ යටට වෙන්න බිත්ති කොනකුත් අල්ලලා විසාලෙට වියල තිබුණ දැල ලොකු කොස්සක් ඇවිත් කඩාගෙන ගියා. ගෙදර අයිතිකාරය කාලෙකට පස්සෙ මකුළු දැල් කඩනව. මිනිහට අළුත් අවුරුද්දක් ලබනව. උන්දැ ගජරාමෙට ගෙවල් සුද්ද කරනව.

ඕක දැන් මකුළු රාළලාට ගාණක් නෑ. සුනාමි කාලෙට පරාළෙ උඩ පැත්තට ට්‍රිප් එකක් යනවා...

දවස් කීපෙකින් තිබුණ වගේම පරාළෙ පහලින් ලොකු දැලක් වියන එක පට්ට ආතල් වැඩක්...

උන්ට සුභ අළුත් අවුරුද්දක් වෙච්චාවෙ...

මකුළු රාළ හිතුවා.


ලියා එව්වේ - hare :-)

Related Posts Plugin for WordPress, Blogger...