Thursday, March 31, 2011

සෙරෙප්පුව

මල්ලී ඇයි මොනාවා හරි හොයනවාද?
ආරොහ පරිණාම පෙනුමකින් යුත් ඔහු මාගෙන් ඇසීය.

"ඔව් අයියේ මම මේ මගෙ සෙරප්පුව හොයන ගමන්" මම පිළිතුරු දුන්නෙමි.
මල්ලිට ෂුවර්ද ඔත්නම ද තිබ්බෙ කියලා? උඩු මළුව පැත්තෙ බලමු,
සමහරවිට කෙනෙකුට මාරු වෙලා තියෙන්නත් පුලුවන් නේ?
දෙදනාම එක්ව පන්සල් භූමියම පිරික්සුවෙමු.

"ඔන්න ඔහෙ තියෙන එකක් ගනින්", කොහොමහරි යන්ටත් එපෑයැ.
නමුදු පන්සිල් සමාදන් වූ මා තරයෙ එකඟ නොවූයෙමි.
නිරුවත් දෙපයින් ගල් කැට ඇනන විට දෙපය දෙස යන්තමට බැලුවෙමි.
ඔහු කොර ගසමින් ඇවිදිනු දුටු මා තුළ කුකුසක් හට ගති.
අයියාට කකුලෙ අසනීපයක්ද?

"ආ මල්ලි මගෙ කකුල නැතිවුනෙ දැන් අවුරුදු 2කට කලින් බොම්බෙකට අහුවෙලා හමුදාවෙ ඉඳිද්දී"
ඔහු මට පැවසීය.

ලියා එව්වේ - මුදිත හර්ෂන දසනායක (http://www.sarawatiya.blogspt.com)

Wednesday, March 30, 2011

ලිප්ටන්... නයිස් ටී බෑග්

මිසරයින් හිතන්නේ අලුත් පෙරළියකට ඔවුන් පාර පෙන්නුවා කියලා. හැම තැනම
ඔවුන් උපදේස් දෙනවා, බලපෑම් කරන හැටි උගන්වනවා. හමිදු අවුරුදු බර ගානක්
ඊජිප්තුව දැකලා නැති කෙනෙක්, ඒත් කතාව මුල ඉඳන් අග දක්වා තාරීර්
චතුරශ්‍රයේ හිටි එකෙක් වගේ. අවුරුදු තිහක් නිදාගෙන හිටි උන් මගෙන් අහනවා
අපි මොනවද කරලා තියෙන්නේ කියලා.

මං කරබාගෙන හිටියා. ඒකාගේ අරියාදුව ඉවසන්න බැරි තැන මං කතා කරන්න පටන් ගත්තා...

"මීට අවුරුදු විස්සකට කලින් අපේ උන් පෙටා..."

"ඔව්, ඔව් පෙට්‍රා අද නටබුන් අතරේ." හමීදු කියාපිය

"ඒ කාලේ ලිප්ටන්..."

"ලිප්ටන්... නයිස් ටී, ටී බෑග් උණුවතුරට දාලා ඕන ගානට කහට ටික අරන් තේ
කොළ විසිකරනවා නොවැ කුණු කූඩෙට. එන්ජොයි සිලොන් ටී..."

ලියා එව්වේ - ගල්මල්-Coral (http://galmal.blogspot.com/)

Tuesday, March 29, 2011

ඇත්තටම බැංකුවක්ද

නිව්යෝර්ක් නගරයේ සිද්ද වුන ඇත්ත කතාවක්. හොරු දෙන්නෙක් රාත්‍රියේ බැංකුවකට රිංගුව. පළමුවෙන් හමුවුන සේප්පුව ඇරල බැලුවම යෝගට් වගයක් තිබුන, සල්ලි නැහැ. පරණ රසක් තිබුනත් යෝගට් වලින් ටිකක් කාල ඊළඟ සේප්පුවත් ඇරිය, එකෙත් සල්ලි නැහැ යෝගට්. ඒ යෝගට් ඉස්සෙල්ල ඒවාට වඩා ටිකක් හොඳයි, හොරු දෙන්න ඒවත් රහ බලල තුන්වෙනි සේප්පුවත් ඇරිය. ඒකෙත් සල්ලි නෙමෙයි යෝගට්, ඉස්සෙල්ල ඇරපු සේප්පු දෙකේම එව්වට වඩා නැවුම් ප්‍රනීත රසක් තුන්වෙනි සේප්පුවේ යෝගට්. හොඳට සප්පායම් වෙන ගමන් එක හොරෙක් අනිකට කිව්ව එලියට ගිහින් ආයෙමත් බෝර්ඩ් එක බලල වරෙන්, මේක ඇත්තටම බැංකුවක්ද කියල. පොර බලාගෙන ඇවිත් කිව්ව ෂුවර් එකටම බැංකුවක් මචන් එලියෙ තියෙන්නෙ "ශුක්‍ර ධාතු බැංකුව, නිව්යෝර්ක් ශාඛාව"

ලියා එව්වේ - Observer (http://observer-nireekshaka-observer.blogspot.com)

Monday, March 28, 2011

අහෝ ෆෝබියා 4 - පොලිටික්ස්

අපේ දෙස්පළුවන් අපට හොඳය.

ඔවුන් හරිම හැඩි දැඩිය. එනිසා ඔවුනට රට කිසි පුරස්නයකින් තොරව කරගෙන යා හැක. අප ඔවුන්ගේ මතයට කඳ නැමිය යුතුය. ඒ උතුමන් ඔව්වා කරන්නේ අප ගැන හිතලාය. අනාගතය සුබ කරන්ටය.

එසේ නොවුනත් අපට කරන්ට දෙයක් නැත. උතුමන් අපට දෙවියන් බඳුය. අපට දෙවියන් හා හැප්පිය නොහැක.

මා පුතුගේ පවත්නා ක්‍රමයට විරුද්ධ වීමේ ලක්ෂණ ඉලිප්පෙමින් ඇත. එය වහා නැවතිය යුතුය. පුතුට කරදරයක් වනු ඇත. සැඟවූ ආයුධ සෙවීමට ගොස් පුතු මියැදෙනු ඇත.

බිය විය යුතු නැත. තිස්තුන් කෝටි දෙසීය විසිපහක් වූ දෙවි දේවතාවුන් අප රැකගනු ඇත.

බොන වතුර බිඳක සිට මීටර් අටසීයෙන් පහල වායුගෝලයම දේශපාලනය නොවන බවට පුතුට ඇඟවිය යුතුය.

ලියා එව්වේ - මුචලින්ද (http://muchalindha.blogspot.com/)

Sunday, March 27, 2011

නුඹ විය හිමිදිරිය මා විය මද්දහන.. කවුරුන් වීද නුඹ අත ගත් සඳපාන...

පරන පොත් අස්සෙ කොච්චර හෙව්වද.. තාමත් නැනේ මෙක..
අහ් මේ පොත නේද..
මේ තියෙන්නෙ
"නුඹ විය හිමිදිරිය මා විය මද්දහන"
පරණ පොතක් අස්සේ තිබිල අහුන කොල කැල්ලක ලියල තිබ්බ පද පෙලියක්..
හිත අතීතෙට ඇදිල ගියෙ නොදැනුවත්වම
"ඔයා මගෙ නේද.. මාව දාල යන්නෙ නැ නෙද..?"
"නැ කවදාවත් නැ.."
ඔයයි මායි හරියට මේ වගෙ.."
කියල කොල කැල්ලක එදා ලියුවේ.
"නුඹ විය හිමිදිරිය මා විය මද්දහන"
කියල..
ඔයාව මම තවත් කෙනෙකුත් එක්ක අතේ එල්ලිලා ඉන්නව දකිද්දි මට ඒ කතාව
මතක් වුනා..
අද මන් මේකේ ඉතුරු ටිකත් මෙහෙම පුරවනවා..
"නුඹ විය හිමිදිරිය මා විය මද්දහන..
කවුරුන් වීද නුඹ අත ගත් සඳපාන..."
ඉතින් ජීවිතේ ඔහොමලු

ලියා එව්වේ - නිසල් (http://nisaldl.blogspot.com/)

Saturday, March 26, 2011

නුඹ මම

"ජීවන මං පෙත මලින් සැදී ගිය යුගයක නොව අප හමු වූයේ
කටු කොහොලින් පිරි කලල් වියේ මා තනිව මියෙද්දිය හමුවූයේ.."

මට නුඹව හමුවුනේ ජීවිතේ හුඟාක් අඳුරු යුගයක..
බලාපොරොත්තු විරහිතව ගෙවුණු කල්ප කාලාන්තරයකට පස්සේ
මගේ ජීවිතේ සුන්දර හීනවලින් පුරවපු නුඹට මම හුඟාක් ආදරෙයි..
නුඹ කීවෙ මම නුඹව සම්පූර්ණ කලා කියලා.
මගෙ නපුරුකම් දරාගෙන
මාව පුංචි දරුවෙක් වගෙ පරිස්සමට අතින් අල්ලගෙන
මේ තරම් දුරක් ගෙනාවේ නුඹ..
ඒත් අපි බිඳුනා...
මට නුඹ අහිමි වුනා...
නුඹ ඈතට ගිහින්...
මං අතරමන් වෙලා...
හයක් හතරක් නොදන්න නොදරුවෙකු තරම්ම මම අද අසරණයි.
කියන්න මට..
""මැණික්.... මම ළඟ ඉන්නවා..."" කියලා
මගේ අත තදකරලා අල්ලගෙන ආපහු
කණට කොඳුරන්නේ කවද්ද..........?

ලියා එව්වේ - නිල් අහස

Friday, March 25, 2011

 1-ජවනිකාව

මේකනං හැබෑම පුදුමයක්.
ලෝක විනාශය වෙන බවට පෙරනිමිත්තක්.
නෑ නෑ සක්විති රජකෙනෙක් පහළ වෙන බවට පෙරනිමිත්තක්.
මොකක්ද මොකක්ද ඔය කියන පුදුමෙ.
මෝල් ගහක දලු ඇවිල්ලලු.
කෝ කෝ යමු බලන්න.
එහෙම ආවට ගියාට බලන්න බැරිලු.
කලින් දිනයක් වෙන් කර ගන්න ඕනෙලු.
රුපියල් දහදාහයිලු.
කමක් නෑ යමු ඒ ගාණටත් වටිනවා.

2-ජවනිකාව

අනේ මහත්තයෝ අද මෝල්ගහ පෙන්නන්න විදිහක් නෑ.
එහෙම කොහොමද ?
අපි ටිකටුත් අරන් ආවෙ.
මේකනෙ මහත්තයො, පොඩි ප්‍රශ්නයක් වෙලා, ඒ මෝල්ගහ පිඹුරෙක් ගිලලා.
කෝ එතකොට පිඹුරා.
නාසා ඒකේ මහත්තුරු ඇවිල්ලා පිඹුරව අරන් ගියා හඳට යවන්න කියලා,
හඳේ ඉන්න හාවන්ව ජෛව පාලනයක්ද මොකක්දෝ කරන්න ඕනෙලු.
මේක ඇවිල්ලා බටහිර අධිරාජ්‍යවාදීන්ගේ කූඨ කුමන්ත්‍රණයක්!

ලියා එව්වේ - මකර අධිරාජයා ( http://status-chanaka.blogspot.com/)

Thursday, March 24, 2011

මතකය..

ඔයාගේ මම කැමතිමදේ කියන්නද..?
හ්ම්..
ඔයාගේ ඔය පුංචි ලස්සන ඇස් දෙක..
ඇත්තට..?
සත්තමයි..
ඇයි ඒ..?
ඇයි කියන්න මම දන්නේ නෑ, ඒත් ඔය ඇස්දෙක දිහා බලනකොට මම අමුතුම ලෝකයකට ඇදිල යනව වගේ දැනෙනවා..
මාත් ඉන්නවද ඒ ලොකේ..?
හ්ම්.. ඔයයි මමයි විතරමයි.

බීප්.. බීප්... බීප්...
ඔයාගේ මම කැමතිමදේ කියන්නද..?
හ්ම්..
ඔයාගේ ඔය පුංචි...

 එය නැවත වාදනය කලෙමි. නැවත නැවතත් වාදනය කලෙමි.කොතරම් ඇසූවත්, අසා නිමකල නොහී දෙයක් ඒ තුල ගැබ්ව ඇත.අද මා සතුව ඇත්තේ මේ හඬ මතකය පමණි.ඒ ඇස් දෙක තවදුරටත් ලඟ නැත.අප දෙදෙනා වෙනුවෙන්ම සැදි ලෝකයට ආගන්තුකයෙක් පැමිනියේ කෙසේදැයි නොදනිමි.යලිත් ඒ ලෝකය දෙදෙනෙකුට පමණක්ම වී ඇත, වෙනස වන්නේ මම ආගන්තුකයෙක් වීමම පමණි.

ලියා එව්වේ - බූටා

Wednesday, March 23, 2011

ඇන්ටි ඩැන්ඩ්‍රෆ්ද ෂැම්පූ...

"යුරේකා! යුරේකා! නියම සංයෝගයක් හොයාගත්තා...."

කොණ්ඩෙ ඉත්තැකූරු වගේ කෙලින් වුණ ප්‍රධාන රසායන විද්‍යාඥයා ලොක්ක ගාවටම දුවගෙන ආවා...

"බොස්... මේ පාරනං බිස්නස් නැගලම යනවා... ඉස්හොරි නැත්තටම නැති කරන සංයෝගෙ නියම අනුපාතෙටම හදාගත්තා... ටෙස්ටිං සීයට සීයක් සාර්ථකයි. අදම අළුත් ෂැම්පූ එකේ ප්‍රඩක්ෂන් පටන්ගමු."

කම්පැණියෙ ලොක්ක වැනිලා සුරුට්ටුවෙන් දුම් උගුරක් පිට කරල කළු කණ්නාඩි දෙක උඩින් බලල නැගිටල ඇවිත් අළුත් ඉස්හොරි මර්ධන සංයෝගෙ තිබුණ බීකරය අතට ගත්තා...

තමන්ගෙ ආයතනයේ විද්‍යාඥ කණ්ඩායමේ ප්‍රධානිගෙ මූණට සමච්චලේට හිනා වුණ ලොක්ක බීකරයේ තිබුණ දියර සේරම මල් පෝච්චියකට හැළුවා.

"අයිසෙ තමුසෙලට ගෙවන්නෙ ඉස්හොරි නැති කරන ෂැම්පු හදන්න නෙවෙයි. ඉස්හොරි පවත්වන ඒවයි හදන්න ඕන. නැත්තං කොහොමද ප්‍රඩක්ට් එක විකිණෙන්නේ...?"

ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Tuesday, March 22, 2011

ඉගනීමේ අගේ

ඔයාට ඇයි මෙච්චර කියලත් තේරුම් ගන්නෙ නැත්තෙ ශාම
ආයෙත් පාරක් විභාගෙ කරන්න.ඇයි ඔයාට මේකෙ අගේ තේරෙන්නෙ නැත්තෙ
මම මොනව කරල හරි ඔයාට සල්ලි හොයල දෙන්නම්

ඔව් මම කිව්ව වගේම කුලීවැඩ කරල හරි ඔයාට පන්ති යන්න සල්ලි වියදම් කලා
මට ඒකෙ අමාරුවක් දැනුනෙ නෑ.ඒ අපි දෙන්නගෙ අනා‍ගතේ ස්ථාවර බව දැනෙනකොට

මට ඔයා ගැන පව් කියල හිතෙනව ධනුක
මට ගෙදර නවතින්න හිතෙනව

ඔයා එහෙම කියල කැම්පස් නොයා ඉන්න හැදුවෙ ඉගනීමෙ වටිනාකම තේරුම් නොගත්ත නිසා වෙන්න ඇති
ඒත් උපාධිය ඉවර වෙත්දි මටත් වැඩිය හොදට ඔයාට ඒක තේරුනු නිසා වෙන්න ඇති ඔයා ඉංජිනේරුවෙක්ම තෝරගත්තෙ

ඔයාට විතරක් නෙමෙයි
අද මටත් මම පව් කියල හිතෙනව

ලියා එව්වේ - සහෝධරයා
Enhanced by Zemanta

Monday, March 21, 2011

අහෝ ෆෝබියා 3 - ලව්

මා සිත තවමත් ව්‍යාකූලය.

මෙය බිරිඳට කියනවාදැයි සිතමින් සිටිමි. නැත. ඇය කෝප වනු ඇත.

නිවසට පැමිණි පසු පුතුගෙන්ම විමසිය යුතුය.

පුතු සමග සිටි ඇගේ වරදක් නැත. ලක්සනය. රැකියාවක් කරනවා විය යුතුය. හොඳ පවුලක විය හැක.

එහෙත් ආදරය ගැන දැන්ම සිතිය යුතු නැත. විසි දෙකත් මහ වයසක්ද?

සමහරවිට ඈ වැඩිමහල් විය හැක. මුන් කාමරයකටවත් රිංගුවොත් මගේ පොඩි එකාට අඩු වයසෙන්ම පවුලක් කරගසන්නට සිදුවනු ඇත.

හාපෝ මට ලෝකෙන් අහන්න වෙන කතා.

කොයිකටත් එලෙස සම්බන්ධයක් ඇත්නම් ඒ පවුලත් සමග සාකච්ඡා කල යුතුය. සිද්ධාලේප වෙදමහත්තයාත් ධර්ම සාකච්ඡාවේදී කීවේ එසේය.

නියපොත්තෙන් කඩන්න පුලුවන් දේ පොරවෙන් කැපිය යුතු තැනට වැඩ සැලැස්විය යුතු නැත.

හාපෝ ලව් පවුය.

ලියා එව්වේ - මුචලින්ද (http://muchalindha.blogspot.com/)

Sunday, March 20, 2011

හැඩතල ( Matha හා අහවල් එක)

මීට වසර කිහිපයකට පෙර ඇය සෘජුකොනාස්‍රයක් වැනිය හිස සිට පාදාන්තය දක්වා වැසුනු රුව, සංවෘතය..

එහෙයින් මම ඇයට සංවෘත්ත සෘජුකොනාස්‍රයක් යැයි කියමි.

ත්‍රිකොන හා වෘත්ත දාර බලන්නන්ට ඇය අහරක් නොවිනි හෙයින් මගෙ හිතලු ලොවෙහි වසන සංකීරණ හැඩතලයක් වන "කොක් බොතලයට" ඇය සමාන කලෙමි.

හේතුවකට හො අහෙතුවකට ඇය කෙරෙහි යම් හැගීමක් ඇතිවූයෙයැයි මට දැනුනෙ මගෙ හිස තුල වසන කාක්කා ඉලිප්සීය බිජු දමන විටය.

එලියට බට කපුටු පැටව්, ත්‍රිකොනාකාර සිදුරු මා ගොලීය හිසෙහි ඇතිකරනවිට, මම හඳෙ ආවාට ගනින්නට වුනෙමි.

මෑතකදී ඇය නැවත දුටිමි, එවිට ඇගෙ හැඩය හරි හතරැස්ය.. ඈතසිට ඇය ඩම්බෙලාකාර බැල්මක් දැම්මාය..............

හඳෙ ආවාට මම හිතන්නෙ 64ක් විතර ඇති, තාම ගනිනවා බං...


ලියා එව්වේ - මුදිත හර්ෂන දසනායක (http://www.sarawatiya.blogspt.com)

Saturday, March 19, 2011

අපේ පාර

ඒ මුල්ම දවස
දියෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ ගැහෙමින් මම පොද වැස්සේ කුඩයකුත් ඉහලගෙන නුඹව හමුවෙන්න අර පාර ගාවට ආවා.
නුඹේ අතෙත් කුඩයක්.
මම ඒ නුපුරුදු පාරේ ඉස්සරහට අඩියක් තිබ්බා.
"ඒයි මෝඩි දැන් අපි යන්නේ කුඩ දෙකකින්ද.."
එහෙම කීව නුඹ කුඩේ ඇකිලුවා.
මම ජම්බු ගෙඩියකටත් වඩා රතු වෙලා නුඹේ උසට හරියන්න ඇඟිලිවලින් ඉස්සිලා කුඩේ ඉහලට කලා.
නුඹ හිනාවෙලා කුඩේ නුඹේ අතට ඇරන් මගෙ ඉණ වටේ අතක් දාල මාව ලඟට ගත්තා...
ඒ නුපුරුදු පාර එදායින් පසු අපේ පාර වුනා.
අපි ඒ පාරේ ආදරේ කලා..
ජීවිතේ සුන්දරව වින්දා.
ඒත් අද අපි ආගන්තුක වෙලා.
අපි ආපහු ඒ පාරේ කවදාවත්ම ආයිත් යන්නේ නැද්ද අයියේ??

ලියා එව්වේ - නිල් අහස

Friday, March 18, 2011

හීනයක්..................

කියාගන්න බෑරි උනාට
ආදරේ කලා
මහ ගොඩක්........
පිටිපස්සෙන් ඈවිත්
ඈස් දෙක වෑහුවම..........
නපුරි අත ගන්නව කියල කෑගහද්දිත්
ඊටත් වඩා හයියෙන්
බෑ අය්යෝ ලෝබයි කියල
කෑගෑහුවේ ඒක නිසා..........
රිදෙන්නම අත් දෙක
අල්ලගෙන ආදරේ නේද කියල
අහද්දි............
කදුලු කඩාගෙන වෑටෙන්නේ
අත් රිදුන නිසා නෙමෙයි
ඔය කතාකරන ඈස් වලට..........
ආදරේ නිසා.......

ඔය ඈස්??
මගේ???
වෙන්න බෑ
හිත කෑගෑහුවා.....

අන්තිමටම දකිද්ද්දි
ඔයා හිටියෙ ඒ ඈස් පියාගෙන.......
ඒක ඈස් රතුකරන විහිලුවක්
විතරයි කියල හිතුවත්
ඒක එහෙම උනේ නෑ....
ඒ ඈස් කවදකවත් මගේ උනේ නෑ......
මම ඔයාගේ
සදහටම ...
හීනෙන් ඈවිත් ඔය කියනව....

ඒත්..........

"මට ඕනා
අතරමන් වෙන්න
පාට පාට හීනයක
ඔයාගේ කතාකරන
ඈස් දෙක එක්ක"

ලියා එව්වේ - නුවනි නිසල්යා ඉරුගල් බණ්ඩාර

Thursday, March 17, 2011

බ්ලාබ්ලාබ්ලාබ්ලා ආයතනය වෙත, (හිතවත් අයැදුම්කරුව ලිපිය හා බැඳේ)

බ්ලාබ්ලාබ්ලාබ්ලා ආයතනය,

පරිගනක මෙහෙයුම් පරිපාලක තනතුර හා සම්බන්ධවයි.

මා පිළිබඳව ගූගල් යන්තරයෙන් බොහෝ තොරතුරු ලබාගෙන, ෆේස්බුක් හරහා එවන්නට යෙදුනු මිතුරු ඉල්ලුම හැරෙන තැපෑලෙන් පිලි ගැනීමද, ගූගල් බස්හී මා බොහෝ සෙයින් කාර්යය බහුලවූ රියදුරු මහතකුවූ බැවින්ද, මාගේ ප්‍රොෆයිලය බොහෝ බ්ලොග්හි නිරතුරු දැකිය හැකිවීමද, මා දිනපතා බ්ලොග් ලියන්නකු වීමද, යන නොවැදගත් සාධක මත ඉහත තනතුර ප්‍රදානය නොකිරීමට ගත් අදූරදර්ශී තීරණයට මා කණගාටු වෙමි.

එය හුදෙක් මා ඉහත කී රැකියාව ගැන අනේකවිධ බලාපොරොත්තු පොදිබැද සිටීම නම් නොවේ. ෆේස්බුකියේ, ගූගල් බස් එකේ, බ්ලොග් අවකාශේ නිරතුරු රඟපාමින් වුවත් නියමිත සේවය 100% සැපයීමට හපන් සේවකයෙක් කෙදිනකවත් ආයතනයට නොලැබෙනු ඇති බව 200%ක් විශ්වාස කරමි.

ස්තූතියි,
මෙයට,
අයදුම්කරු.

ලියා එව්වේ - තනෝජා රාජපක්ෂ (http://thanojar.blogspot.com)

Wednesday, March 16, 2011

හිතවත් අයැදුම්කරුව

හිතවත් අයැදුම්කරුව,

පරිගනක මෙහෙයුම් පරිපාලක තනතුර හා සම්බන්ධවයි

එවනලද අයැදුම්පත සලකා බැලීමෙන් අනතුරුව අප ආයතනය විසින් තීරණය කරනු ලැබුයේ ඔබ වෙත ඉහත තනතුර ප්‍රදානය නොකිරීමටයි. නමුදු දිගින් දිගටම ඔබ විසින් කරන්නට යෙදෙන විමසීම් හේතුවෙන් අප තීරණයට හේතුව මෙසේ දන්වා එවමු.

ඔබගේ නම ඇතුලත්කර, ගූගල් සෙවීම් යන්ත්‍රය මගින් බොහෝ තොරතුරු ලබාගත හැකිවිය. ඒවා උපයෝගී කරගෙන, ෆේස්බුක් හරහා එවන්නට යෙදුනු මිතුරු ඉල්ලුම හැරෙන තැපෑලෙන් පිලි ගැනීමද, ගූගල් බස්හී ඔබ බොහෝ සෙයින් කාර්යය බහුලවූ රියදුරු මහතකුවූ බැවින්ද, ඔබගේ ප්‍රොෆයිලය බොහෝ බ්ලොග් අතර නිරතුරු දැකිය හැකිවීමද, ඔබ දිනපතා බ්ලොග් ලියන්නකු වීමද, යන තීරණාත්මක සාධක සළකා බැලීම අපගේ තීරණයට හේතුවිය.

ස්තුතියි,
මෙයට විශ්වාසී,
බ්ලාබ්ලාබ්ලාබ්ලා ආයතනය

ලියා එව්වේ - රන්දිල් (http://ranrandil.blogspot.com/)

Tuesday, March 15, 2011

ඉස්කෝලෙ යන කෙල්ලෙක්

ඉස්කෝලෙ යන කෙල්ලෙක්. මං වැඩට යන්න බස් හෝල්ට් එකට එන වෙලාවටමය් හෝල්ට් එකට එන්නෙ. හැමදාම "ගුඩ් මෝනින්" ඇරෙන්න වෙන එක වචනයක් වත් තවම හුවමාරු වෙලා නැහැ අපි අතරෙ. අමුතු ඇස් කඩාහැලෙන ලස්සනක් නැතත්, ඕනෙම දාසයේ දාහතේ වයසෙ කෙල්ලෙක්ගෙ ඇස් වල තියෙන දීප්තියත්, ඒ වයසෙ දඟකාර කමත්, නුදුරු අනාගතෙදීම සියලු අඟ පසඟින් සම්පුර්ණ ගැහැනියක් වෙන ලක්ෂනත් දැනටම ඉතා හොඳින් පෙන්නුම් කරනව. සතිය පුරාම දකින සුන්දර සිනහවත්, ලැබෙන සුභාසින්සනයත් දැන් මනසට හුරු වෙලා වගෙ, වැඩට යන්න බස් නැවතුමට එන්නෙ මේ කෙලි පොඩිත්ති ඉන්නවද බලාගෙන. උදේට කෙල්ලව දැක්කෙ නැත්තන් දවසම කාලකන්නි වුනා වගෙ දැනෙන්නෙ. එදා කෙල්ල කතා කලා. "අන්කල් යන බස් එක ගියා"

ලියා එව්වේ - Observer (http://observer-nireekshaka-observer.blogspot.com)

Monday, March 14, 2011

(අහෝ ෆෝබියා1 -අන්තර්ජාල) පුතු සිතයි

අම්මී නෙට් නැතිකිරීමට යන්නීය
එසේ උවොත් ඉදලා වැඩක් නැත
අවදිවන්නේ මූනුපොතේ නංගිගේ මිස්කෝල් එකෙනි
උදේට තේකද ජාලයයි
බ්රෙක්ෆස්ට් ගන්නේද ජාලය සමගිනි
දවල් කෑම තෙක්ම බඩගින්න නිවන්නේ චැට්ය
ක්ලාස් යන්නේ මයිස්පේස් නංගි බලන්නය
හවසට තේ සමග බ්ලොග් කමිය
කොටින්ම මට ඔක්සිජන් නැතිව ඉනු හැක
නමුත් නෙට් නැතිව ... ?

මා නරක් වී ඇතැයි අම්මා කියයි
ඈ මගේ මූනුපොත බලලාවත්ද
නැත්නම් බ්ලොග් එකක් වත්
අඩුම ගානේ කමෙන්ට් වත්

ජාලය තොර ලෝකයක් සිතීමද මා කම්පිත කරවයි

අම්මීට පේන්නට ජාලයෙන් අධ්‍යාපනික වැඩ කලයුතුය
මෙතරම් කලක් බැලූ අධ්‍යාපනික වැඩසටහන් ඇතිය
ඒ එකක්වත් හරි නොගියහොත්

මා මවට හොරා
වයර්ලස් බ්රෝඩ්බෑන්ඩ් වෙමිය
බිල හයිෆයි නංගීයාට බාර දෙමිය

ලියා එව්වේ - සහෝධරයා

Sunday, March 13, 2011

පින

"පුතා" දැන් ඉරුණු සල්ලි බැංකුවෙන් ගන්නෙ නැද්ද?
මැදිවියෙ වූ ඔහු අඩ නින්දෙන් වූ මා අවදි කරමින් ඇසුවේය..
"මහ බැංකු නිවෙදනයක් දුන්නා ගිය මාසෙ ඉරිච්චි නොට්ටු ගන්න එපා කියලා" .
බොහොදුරක් ගෙවා ආ බැවින් මහහන්සියෙන් පසුවූ මා නොකැමැත්තෙන් සේ පිළිතුරු දුන්නෙමි.

"දයාබර අයියෙ අක්කෙ නංගියෙ මල්ලියෙ" මම බොරුවක් වංචාවක් කරනවා නෙවෙ, මමත් කැමති ඔබතුමාලා වගෙ ලස්සනට ජීවත් වෙන්න"
සිඟමනට ආ තරුණ ගැටයෙකි.

"පොඩ්ඩක්" ඉඩදෙනවාද මම එහා හොල්ට් එකන් බහිනවා, මැදිවිය පුද්ගලයා පැවසීය.

සාක්කුවෙ තිබූ අවසන් රුපියල් දහය සිඟන කොල්ලාට දුන් මා නැවත නින්දට වැටුනි..

"බලන්න මේ බහින්න යන මේ මහත්තයත් මට රුපියල් දහකින් ආධාරයක් කලා"...

සිඟන කොලුවා පවසන අයුරු යාන්තමින් කනවැකුනි..!!

ලියා එව්වේ - මුදිත හර්ෂන දසනායක (http://www.sarawatiya.blogspt.com)

Saturday, March 12, 2011

අහෝ ෆෝබියා 2 - මත්පැන්

තිරිසනෙකු මෙන් පාරේ එනු ඇත.
එය දකින මා මිතුරන් පුතුගේ හැදියාවට දෙහි කපනු ඇත.

හාපෝ මල ජරාව! මා නොබොන දේ පුතුට අකැපය.

මහතැන මැදිහත්ව කොටු දැමූ නිසා පුතුට ෆිල්ම් බලන්නට ඉඩ දිය හැක. එහෙත් ඒ රූපවාහිනියෙන් බලනවානම් පමණකි.

මට හොඳ ගැහැණියක හමුවූ නිසා ඒ උත්තමාවිගේ කටේ බලේට මා බීම නවත්වා ඇත. පුතුටත් එවන් ගුනැති ගැහැණියක් හමුනොවුනොත් විනාසය.

මා පෙර මතේ ආදීනව නොදැන සිටියේය. මා සිතා සිටියේ මිතුරු සුහදකම් හා එක්ව ගැටී යම් තරමක ලිහිල් මනසක් පවත්වා ගැනීමට එය සුවදෙන ඔසුවක් කියාය.

මතෙහි සුව ගුණ දැන් මාසිත් අහලකවත් නැත. හප්පෝ අරක්කු නොහොබී. තුරන් කල යුතුය. ඒවා පවුය.

ලියා එව්වේ - මුචලින්ද (http://muchalindha.blogspot.com/)

Friday, March 11, 2011

මායි - හිතයි

"දුක දැනුන හිත සනසන්නට කවුරුත් නැත්නම්
පුන්චි කදුලු බිදුවක දුක දිය කරලා අරින එකේ වරද නෑනෙ"

ඒත් එහෙම කරන්නේ කෝමද?

එහෙම කරන්න බැරිනම් කරන්න තියෙන්නේ ඉතින්,
අතපය රිදෙනකන් මොනාහරි කරගන්න තමයි

දැන් එහෙම කලොත් හරියයිද?

ඒක ඉතින් මම දන්නේ නෑ...
එහෙම කරන්නත් බැරිනම් ඇස් දෙක වහගෙන,
සද්දේ වැඩී කරලා සින්දුවක් අහන්න..

ඒත් එතකොට අනිත් මිනිස්සුන්ට කරදරයිනෙ..

ඒකට උඹ මොනා කරන්නද?
හිත රිද්දුවෙත් අනිත් මිනිස්සුමනම්
උඹ මොකටද උන් ගැන හිතන්නේ

ඒකත් ඇත්ත තමයි නේ..?

එහෙනම් ඉතින් මම කියපු විදිහට කරපන්
උඹ කැමති දෙයක්

මට බෑ බං ඒ හිත රිද්දන්න

එහෙනම් ඕන මගුලක් කර ගනු
මම යනවා

-මායි හිතයි අතර උන සාකච්චාවක්-


ලියා එව්වේ - MaRLaN (http://wenasak.blogspot.com/)

Thursday, March 10, 2011

තිරිසන් ෆැක්ටරිය...

මිනිස්සුන්ව තිරිසන්නු කරන ෆැක්ටෙරි ගොඩාක් බිහිවෙලා. එක එක ජාතියෙ තිරිසන්නු එලියට එනවා එවගෙන්. දවසක මම ලොකයේ හොදම පවුකාරයෙක් වෙනවා එක සිකුරුයි. පලිගන්න චේතනාවෙන් මාව දැවෙනවා හැම මොහොතකදිම. වෙඩි තියලා, කපලා කොටලා බැහැ. හිනාවෙන් දයාවෙන් කරුනාවෙනුත් බැහැ. මොකාක් හරි අලුත් දෙයක් හොයාගන්න වෙනවා මෙ තිරිසන්නුත් එක්ක ඉන්න. නැත්තම් මටත් තිරිසනෙක් වෙන්න වෙනවා. කො අර මම මාගෙ දෙ වෙනුවෙන් මහන්සි උන මිනිස්සු. කාටද මුන් කඹුරන්නෙ. මොකද්ද අපිට නැතිවුනෙ. කොහොමද එක ආපහු ගන්නෙ.... එවා මෙවා මුකුත් නැහැ.. තිරිසන් ෆැක්ටෙරිය පටන්ගත්තු දා ඉදන් වැඩ.. එක එක ජාතියෙ උන් එලියට එනවා. අමතක කරන්න බැරි වෙන දෙවල් සිද්ද වෙනවා. අමිලවත් ගඟට දාලා දැන් අවුරුද්දකට වැඩියිලු නෙද.....

ලියා එව්වේ - රවා (http://ravamrt.blogspot.com/)

Wednesday, March 9, 2011

ජීවිතය

පෙරවදනක් නැති.....

උදෑසන මීදුමෙන් වැසුනු පරිසරය ටිකින් ටික ආලෝකමත් වෙද්දි පිපෙන්නට ලන් වෙච්ච මල් පොහොට්ටුවල තැවරුනු පිනිකැට, හාත් පස පැතිරිරුනු මල් සුවඳ, කුරුල්ලන්නගෙ කිචි බිචිය පරිසරය තවත් සුන්දර කලා. බිම ඇතිරුණු තනපත් මත වැටුනු සීතල පිනි බිංදු දෙපයට සුවයක් ගෙන දුන්නා. එකපාරටම සේපාලික ගහේ වහල හිටපු ලස්සන කුරුල්ලෙක් ඈතට පියාඹලා ගියා.

අප පෙම් පුරාවතට.....

ඉදිරියටම ඇවිදන් ඇවිත් වැටුනේ ගල් බොරළු මතු උනු කැඩිච්ච රළු තාරපාරකට. දුවිලි පිරිලා, හැම තැනම කළු දුම්, අවුවට මැලවුනු ගස් වැල්, උදෑසන සිසිලස වෙනුවට ගතට ගෙන දුන්නේ පීඩාවක්. මම ඒ රළු දුෂ්කර රත්වුනු තාරපාර දිගේ තාමත් ඇවිදන් යනවා අරමුණක් නැතුව.....

මට කුමටද තව පසු වදනක් ඔබගෙන්..........

ලියා එව්වේ - (http://magemaranaya.blogspot.com)

Tuesday, March 8, 2011

ආදරය?

පාලු කාමරයේ නිහඬතාවය බිඳී ගියේ ටෙලිපෝනයේ නාදයෙනි.

ඔහු : හෙලෝ
ඇය : හෙලෝ රංග, මම මේ දසුනි. ඔයාට කෝල් එකක් වත් දෙන්න බෑ නේද?
ඔහු : අනේ සොරි, මම හිතුව ඔයා අලුත් බෝයිය එක්ක බිසි කියල
ඇය : අපෝ කතා කරන්න එපා ඌ ගැන
ඔහු : ඇයි මොකද උනේ?
ඇය : මම දැන් ප්‍රෙග්නන්ට්. ඌ කියනව අම්මල අකමැති නිසා බඳින්න බෑ කියල
ඔහු : ඔයාට ශුවර්ද ප්‍රෙග්නන්ට් කියල?
ඇය : ඔව් මම ඩොක්ටර් කෙනෙක් ලඟටත් ගිහින් බැලුව
ඔහු : දැන් මොකද කරන්නෙ?
ඇය : මම ලමය හදා ගන්නව
ඔහු : අම්ම දන්නවද?
ඇය : තාම නෑ.
ඔහු : අනේ මංදා.

ලියා එව්වේ - රංග (http://r4ng4.blogspot.com/)

Monday, March 7, 2011

අහෝ ෆෝබියා 1 - අන්තර්ජාලය

අපේ පුතු නරක් වේය.
දූ වල් වැදේය.
අහෝ අන්තර්ජාලය ඉතා භයානකය.
හේ අප ළමෝගෙන් තුරන් කල යුතුය.
අප පුතු නරක ආදර්ශයන් ලබනු ඇත.
ලස්සන පාට බෝතල් දකින ඔහු මතට හුරු වනු ඇත.
ඒ හුරුව ඉන් එහා මතකට හුරු කලහොත්. . .
අහෝ අප ජීවත් වී ඵලක් නැත.
පුතු මාගෙන් ගංජා සුරුට්ටුවක් ඉල්ලනු ඇත.
මුහුණු පොතේ හැම මිතුරාම පිරිසිදු මනසකින් යුතු නොවේ.
කාමුක අදහස් හිතේ පුරවාගතහොත් අධ්‍යාපනයද මනසින් තුරන් වනු ඇත. තවත් නම් මෙය ඉවසා සිටිය නොහැක.

අන්තර්ජාලය නැතද මූ ගෙදරට සීඩී ගෙනෙනු ඇත.
මූණු පොතේ නැතත් පන්තියේ මිතුරන්ටද මූව මතට හුරු කල හැක.
මූව ගෙදරට කොටු කර තබා ගත යූතුය.

ලියා එව්වේ - මුචලින්ද (http://muchalindha.blogspot.com/)

Sunday, March 6, 2011

අනේ බුදු හාමුදුරුවනේ !

මාව පන්සලට බාර දෙනකොට මට වයස හයයිලු...
පන්සලට දුන්නේ මගේ හතර කේන්දරේ පාළු නිසාලු...
මගෙන් ගෙදරට ගොඩක් අපලයිලු...
එතකොට මගෙන් පන්සලට අපල නැද්ද බුදු හාමුදුරුවනේ...?

කොට කලිසමෙන් මල්ලිත් එක්ක නියර දිගේ හැල්මේ දුවපු මට,
මේ කහ පාට සිවුර හරිම බරයි....
පන්සලට එන්න උනේ වක්කඩේ දණ්ඩියෝ, තිත්තයො අල්ලපු පවට නම්,
මම ආයේ උන්ව අල්ලන්නෙ නැතිව ඉන්නම්...
අනේ, මට ආපහු ගෙදර යන්න දෙනවද බුදු හාමුදුරුවනේ......?

මම මීට පස්සෙ අමාරුවෙන් හෝඩි පොත කියවන්නම්......
අම්මා ඉඳල හිටල අනින ටොක්කට ටිකක් රිදුනත්.....
පස්සෙ දුක හිතිලා අම්මා ඔළුව අත ගානකොට හරිම සනීපයි....
බණ පොත වරදිද්දි තරහෙන් වදින,
ලොකු හාමුදුරුවන්ගේ ටොක්ක නම්, අනේ ඉවසන්න බෑ බුදු හාමුදුරුවනේ....


ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

Saturday, March 5, 2011

දුක

මිතුර, මා දුක් විඳි බව සැබවි. එදාටත් වඩා මම අද දුක් විඳිමි. දුක යනු කුමක්දැයි මා ඉගෙන ගන්නේ දැන්ය. හිත හිර කරගන්නා මේ කටුක පීඩනය දුකක් බව සැබවි.

වෙන කරන්නට දෙයක් නැති තැන මා දුක් විඳිමි. කවදා කොතැනක මෙය කෙළවර වේදැයි නොදනිමි. ජීවිතය පිළිබඳ සුභ සිහින ප්‍රාර්ථනා තැබූ කාලය අවසන්ය.

හැර යන බවට සමස්ථ විශ්වයම ශපථ වෙද්දීත් නුඹ කෙරේ තැබූ විශ්වාසයම මා ජීවත් කරන්නට ඇත. එහෙත් සිදු නොවිය යුතු දේම සිදු විය.

බලාපොරොත්තුවේ වසන්තය අවසන්ය. පැමිණ ඇත්තේ බිඳුණු පැතුමේ ශීත ඍතුවය. සීතලෙන් ලේ බිඳුඳ මිදෙන කල ගෙවුණු වසන්තය තුරුළු කරගෙන මම ඉකි බිඳිමි.

මිතුර, ඉදින් මා ගල් ගැසෙන සැටි බලව.

ලියා එව්වේ - පිණිබිඳු (http://lakmisher.blogspot.com/)

Friday, March 4, 2011

ඔයාම තමා මට කිවුවේ...

සිතක සිත්තමක් වගේ
සිත්තරෙක් නොමැතිවම
කාටවත් නොදැනීම
ක්ෂණිකව ජනිත උනු
රාත්‍රිය පුරාවට
එකිනෙක පෙළගැසුණු
මා දුටු සිහින තුල
සිටියේ අපි විතරමයි...

ඔයා හරි තරහින්...
මම ගොඩාක් දුකින්...
අපේම නොවී දුරස් උනු
ලෝකවල හිර වෙලා
ප්‍රශ්න අතරමන් වෙලා
සතියකට කිහිපවරක්
සිහින සිත්තම් වෙලා
රාත්‍රිය පුරාවට
සිතක අසරණ කම
ඉකි ගසා හඩනවා

ගැස්සිලා ඇහැරුනත්
සිතට ඇති වෙන සතුට
නොදැනී එන සැනසීම

මොන තරම් නිවනක්ද?

ඒ සිහින සිත්තමක
අපි එකට හිටියනම්
එක මගක ගියා නම්
ආදරේ කලානම්...
පියවි සිහියෙදි හිත,
මොන තරම් දුක් වෙයිද?

ඉතින් මං ආසයි
දුක හීන තව දකින්න...
ඔයාම තමා මට කිවුවේ
හීනෙන් දකින හැම
දේකම
ඇත්තට වෙන්නේ, අනික් පැත්ත...


ලියා එව්වේ - මහේෂ් හශාන්ත සිල්වා (http://asipiyakamahima.blogspot.com/)

Thursday, March 3, 2011

රැල්ල වගේ ඇවිදින්

"මේ මුහුදෙ එක වතුර බිංදුවක් ගානෙ මට හෙණ ගහනව සේපාලි... දහස්වාරයක් මැරිල ඉපදුනත් මේ පවට සමාව මට කොහෙන්වත් ලැබෙන්නෙ නෑ.. ඒත් මම... අපි කොහොමද...?"

හෙලන සුසුමටත් වඩා නෙත් කෙවිනි බරයිද මන්දා.. ඒත් කඳුලුවලට මුකුත් ඔප්පුකරගන්න බෑ.. අඩුම තරමේ උන්ගේ අයිතියවත්...

කාලයක්, මේ රැල්ල එනකම් බලන් ඉන්න වෙරළ වගේ මාත් උඹ එනකම් බලාන උන්නා.. ඔය ආදරේ ගාව තුරුල්වෙන්න... පන්සලක් වගේ උඹ ගාව ඇතිවෙනකම් බවුන් වඩන්න.. අපේම කියල තව්තිසාවකට යන්න...

ඒත් උඹ ඒ රැල්ල වගේ ඇවිදින් වැලි කැටෙන් කැටේ මගෙ වෙරලෙන් අරන් ගිහිල්ල... අද මං උඹටම දියවෙච්ච ගෑනියෙක්...

"මට දරුවව නැතිකරන්න බෑ අසංක"

මගේ දියාරු ආත්මය, ඇදුම්කන හිතටත් හොරා කෑ ගහල කිව්වා..

ලියා එව්වේ - Dilan Dadevil (http://dilandadevil-poems.blogspot.com/)

Wednesday, March 2, 2011

කාලා වරෙන්කෝ පරිප්පු..........

රෝහලේ ඉන්න අක්කා ගැන ඇති දුකත් මොහොතකට අමතක වෙනවා මේ කෙල්ලව දැක්කහම.

ඉස්සර නං හිතෙන්නේ නියම කැල්ලක් කියලා. බලන විදිහට මට මගේ වයසත් අමතක වෙනවා.

අනේ මගේ අක්කා! අක්කා මට වඩා අවුරුදු 16ක් වැඩිමහල්. මාවයි අක්කවයි දකින අය හිතන්නෙත් අම්මයි පුතයි කියලා.

අක්කා බලන්න යන්න ඕනෑ නිසා පාන්දරින් එන නිසා බස් එකේදී ඇයව හමුවෙනවා. අදත් ඉන්නවා බසයේ මගේ අසුන කෙලින්ම එහා අසුනේ. චික් මේ නාකියා නිසා මට එයාව පේන්නේ නැහැනේ.

“අංකල්, අංකල්” හපොයි මේ මිනිහාව එයා අඳුරනවා වගෙයි.

“නැහැ ඔයා නෙමෙයි එයා පැත්තේ ඉන්න අංකල්” හුටා. මට නේද මේ කථා කරන්නේ?

“අංකල් ඔයා නදිනිගේ මාමා නේද? දැන් නදිනිගේ අම්මාට කොහොමද?”

ලියා එව්වේ - රන්දිල් (http://ranrandil.blogspot.com/)

Tuesday, March 1, 2011

අභය දානය...

“ආ... කොහෙද මේ පෝය දවසෙ පාන්දරම?”
රවි මහත්තය සුපුරුදු හිනාවෙන් ඇහුවා...
“නිවාඩු දවසනේ... පොඩි ටුවර් එකක් දාන්න යනවා...”
“මාත් යනව මේ හන්දියෙ පන්සල පැත්තේ... අද උදේ ඉඳන් පිංකම්නේ..”
“හප්පා.... දැන් පංසලුත් යනවද?”
ආගමක් නොතිබුණ රවි මහත්තයගෙ කතාවට මම පුදුම වුණා...
“හපෝ නෑ... මම මේ පිං කරගන්න නෙවෙයි. මේ බැනර් හතරක් මදි වෙලා ඒව ප්‍රින්ට් කරල අරන් යනව. ලොකු හාමුදුරුවො ෂේප් එකේ තියාගන්න එපැයි”
රවි මහත්තය හිනා වෙවී අතේ තිබුණ බැනර් රෝලක් පෙන්නුව.
“ඒ මොකටද බැනර්?”
“අර සත්තු වත්තෙ හිටපු නාකි සිංහයො දෙන්නෙක් ගමට නිදහස් කරනවනේ... ඒකෙ බැනර්.... පොඩ්ඩක් පන්සල වටේ එල්ලන්න කියල”
“මොකක්? සිංහයෝ???”
“ඔව් ඔව්... සිංහයො තමයි... මේ තියෙන්නේ...”


ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

Related Posts Plugin for WordPress, Blogger...