Monday, January 30, 2012

වඩා සංවර ඩබල් ඩෙකරය ඔබ

ඉඩකඩ මදි කුඩා නැවකි
ඒ දහවලේ ආ ඩබල් ඩෙකරය
තප්පර දෙකක් එහායින් අසුන් ගත් ඔබ
වඩාත් විනීතව
අංශක අනූවකට පමණක්
විටින් විට මවෙතට බර වෙමින්

ජල විදුලිය උපදවන දෑසක්
කොන්දොස්තර උතුමා ළඟ
ටිකට් පත් බලෙන් පිරිනමන
ඒ අතර අපේ ඇස් පරීක්ෂා කරන

නවම් මාවතෙන් සුළං ගෙන
හිමින් මගේ කොපුලත තවරන
කොන්දොස්තරගෙන්
ජල විදුලි බලය ගෙන
හදවතේ විදුලි බල්බ දල්වන

ඩබල් ඩෙකරය
අකමැත්තෙන් 'බෙවර්ලි ස්ට්‍රීටයට'
හිස නවන
වජිර පාරද පෙනෙනa
'ස්ප්‍රින්ග් ඇන්ඩ් සමර්'
බොරු දත් පෙන්වා හිනැහෙන
ඔබ තවම විනීතව
අංශක අනූවට මද සිනා පෙන්වන

මම
වඩා අසංවරව
ඩබල් ඩෙකරයට පයින් ගසන
ඔබ
නැවක පා පුවරුවක නැළවෙන
ඉතා සංවරව
වඩාත් බියගුලුව

ලියා එව්වේ - කාංචනා අමිලානි (www.thinkland.net)

Monday, January 16, 2012

වැරදි ලියුම

ඔය ලියුං ගණ්ඩෝ..,

මම කෑගහලා කිව්වේ පත්තරේ බලන ගමන්.

ආ.. ඔයාගේ නමට ලියුමක්,

කඩලා කියවන්නකෝ මම මේ පත්තරේ බලනවා,

හහ්...!!!
මේ තියෙන්නේ කසාද බඳින්න කලින්
මුකුලු කරපු එකී තමුසෙට ලියුමක් එවලා..,
මම දැනන් හිටියා තමුසේ ඒකිව තාම අතෑරලා නෑ කියලා.

මොනවද සුනේත්‍රා මේ කියවන්නේ..,

කියවන්නේ මොනවද කියලා තමුසේට තේරෙයි
මම දික්කසාද නඩුවක් ෆයිල්කලාට පස්සේ.., මට තමුසේව ලොකු නෑ.
මගේ අයියා ලෝයර්, බාප්පා ඒඑස්පී.., තමුසේ දන්නේ නෑ..,

මේ අහන්න.., කෝ දෙන්න ඔය ලියුම..,

ඒක මොකටද.., මේ මගේ සාක්කිය

ට්‍රීං ට්‍රීං

ඒ පාර කවුද?
මම මේ ලියුම් ගේන කෙනා සර්..,

අනේ සමාවෙලා අර ලියුම දෙන්න..,
ඒක එහා ලේන් එකේ P.D.R.Pereraට
අයිති එකක්..!


ලියා එව්වේ - ලිෂාන් (http://lishwish.blogspot.com/)

Friday, January 6, 2012

හ්ම්ම් ඩවුන් හලෝ :\

හායි !

{ජීවිතේට හායි කියපු නැති කට්ටිය එක පාරටම මොකද?}

හායි !

කොහොමද රිසල්ට්ස්?

{මට හිතුන ඕක අහයි කියල, මුන්ට නැත්තන් මගෙන් මොන වැඩක්ද?}

හ්ම්ම්... ඩවුන් හලෝ :\

ආහ් එහෙමද, ගණන් ගන්න එපා.. ඊලඟ පාර කරල ගොඩ දාගමු....

{ඔවු ඉතින් තොපිලට මොකද. මමනෙ නයිට් ගගහ පාඩම් කලේ... මමනේ රෑ දෙගොඩහරි යාමෙ පාන්දර 3ට 4ට ක්ලාස් යන්න කියල යාලුවන්ගෙ ගෙවල් වල ඉදල ගෙදර ආවෙ. මමනේ පාන්දර ඇහැරිල උදේට තේ එක විතරක් බීල ක්ලාස් ගිහින් ඒකෙ ඉඳන් රෑ වෙනකන් ගණන් හැදුවෙ. මම වින්ද දුක මමනෙ දන්නෙ. විභාග කොමසාරිස් ඕනවට එපාවට මාර්ක් කෙරුවට මම මොනව කරන්නද?}

හ්ම්ම්.... ඔව්... ඊලඟ පාර කරනව..

ඕෆ් ලයින්


Wednesday, January 4, 2012

wrong නම්බර්

"දිගු දෑස දුටුවාම... හැ‍ඟෙනවා පෙර සේම.. උන්නු හැටි මගෙ ගාව... ඔය හිතට අමතක ද?... බිඳ දමා...."

"හෙලෝ"

"හෙලෝ කසුන්. අදුනගන්න පුලුවන්ද ..?"

"අහ්.... ඔය කටින් කියපු දේවල් අමතක කරන්න බැරි නම්... ඔය කටහඬ කොහොම අමතක වෙන්නද ජනනි?"

"මැට්ටෝ.. විකාර කියවන එක නවත්තනවා...
මේ ඒක නෙමෙයි... මම කෝල් කලේ මොකටද දන්නවද??"

"මම දන්නේ කොහොමද?"

"happy birth day කසුන්. studies කොහොමද දැන්? තාමත් කෙල්ලන්ට flirt කරනවා නේද?"

"මගේ උපන් දිනේ තවම මතකයි නේද ඔයාට?"

"මේ ලෝකේ ඉන්න ලොකුම මෝඩය ඉපදිච්ච දවස මම කොහොම අමතක කරන්නද?"

"මම තවම ඔයාට ආදරෙයි ජනනි... දන්නවා නේද?"

"හොඳට ඉන්න කසුන්.. මම තියනව.. හස්බන්ඩ් ආවා."

බීප්.... බීප්.... බීප්....



ලියා එව්වේ - යසියා (http://yasiwett.blogspot.com)

Monday, January 2, 2012

මේ පාරත්... සුභ අලුත් අවුරුද්දක් වේවා...!

අලුත් අවුරුද්දෙ වැඩ කරන මුල්ම දවස හැමදාම විශේෂයි. හැමෝම පුළුවන් විධියට හදාගෙන එන කිරිබත්, කැවුම්, කෙසෙල්, රසකැවිලි මේසයක් පුරවල තියෙනව. ඒ මේසය වටේ ඉඳන් පුංචි කතාවක් කරල රසවත් වෙලා හැමෝම වැඩ පටන්ගන්නවා.
ඒ කියන්නෙ රාජකාරි වැඩවලට අමතරව කොකු ඇදිලි, වල සහ බෙලි කැපිලිත් ඒ වැඩවලට අයිතියි. ඒ දේවල්වලදි මුල්තැන ගන්න අයත් මේසෙ වටේම ඉඳගෙන අනිත් අය වගේම සමරනවා.
හැම එකකින්ම ෂේප් වෙන්න පුළුවන් දවසක් අද.
කියන්නෙ නම් අලුත් වෙනවය කියල.
ඒ වුණාට කෑම මේසෙන් නැගිට්ට හැටියෙ කට්ටිය ආයෙමත් පරණ හිටිය විධියමයි.
..............
.........
මම කල්පනාවෙන් මිදුණෙ එකපාරම. වෙනදට මූණවත් නොබලන කෙනෙක් මගෙ ඉස්සරහ වැඳගෙන.
මමත් එයාට ආචාර කලා.
“සුභ අලුත් අවුරුද්දක් වේවා...!”
 
 
ලියා එව්වේ - hare :-)

Related Posts Plugin for WordPress, Blogger...