Friday, December 31, 2010

ගැට තුන

එක්තරා ගැමියෙකුට දිනක් ගමනක් යන අතරතුර බිම තිබී ලණු කැබැල්ලක් හම්බුනා. මේක රියනක් විතර දිග පුංචි ලණු කෑල්ලක්. එක කෙලවරකට වෙන්න එකිනෙකට තරමක් ඈතින් ගැට දෙකක් තිබුනා. මේ ගැට දෙකෙන් ඈත්ව අනිත් කෙලවරට ලංව තව ගැටයක් ගහලා තිබුනා. මෙහි කුමක් හෝ අද්භූත තේරුමක් ඇතැයි සිතූ ගැමියා ලණු කෑල්ලත් අරන් ගම ආසන්නයේ කැලේ බවුන් වඩමින් ජීවත් වෙන ඍෂිවරයා ලඟට ගියා. ලණු කැබැල්ල අතට ගෙන මොහොතක් කල්පනා කළ ඍෂිවරයා අපූරු පිළිතුරක් දුන්නා.

"මේ මුලින්ම තියෙන ගැටේ තමයි උඹේ උපත. ඒ ලඟින් තියෙන අනිත් ගැටේ උඹේ මරණය. ඊට ගොඩක් ඈතින් තියෙන තුන්වෙනි ගැටේ තමයි මේ ජීවිත කාලය තුල උඹ සපුරාගන්න හිතාගෙන ඉන්න බලාපොරොත්තු...."


ලියා එව්වේ - සකි

Thursday, December 30, 2010

මේ මෝඩ කොල්ලට සමාව දෙන්න රත්තරන්...

මගේ ලෝකෙට ඇවිත් මගේ ජීවිතේ විනාස කලා කියලයි මන් හිතුවෙ.
ඔයා මගේ ආදරේ විහිලුවක් කරගෙන කියලයි මං හිතුවෙ.
මගෙ ලඟටම වෙලා මාව විනාසකලා කියලයි මන් හිතුවෙ
කවදාවත් දාල යන්නෙ නෑ කිව්වම මන් හිතුවෙ බොරුවක් කියල
මන් ඔයාගෙමයි කියල පපුවට තුරුලු වෙද්දි හිතුවෙ මන් දකින්නෙ හීනයක් කියල

ඒත් ඔයා මගේ ලෝකෙට ඇවිත් මාව ආරක්ෂා කරල මටත් හොරෙන්
මගෙ ආදරේට පණටත් වඩා ආදරේ කරල ඔයා මටත් හොරෙන්ම
මගේ ලඟටම වෙලා ඉඳලා මගේ දුක බෙදාගෙන මටත් හොරෙන්ම
දහසක් සිතුම් පැතුම් කැප කරල මං වෙනුවෙන්ම

දෙයියනේ....!!!! මන් මොන තරම් මෝඩයෙක්ද......
ඇයි මට ඇත්ත ආදරේ තේරුම් ගන්න බැරි උනේ....

මේ මෝඩ කොල්ලට සමාව දෙන්න රත්තරන්...


ලියා එව්වේ - $hine (http://mathakasithuwili.blogspot.com/)

Wednesday, December 29, 2010

මලට කියන කවි (වස් කවි)

බල්ලොත් එක්ක නිදි වැදලා හැදූ පුතා
කොල්ලෙක් සතුව ඇති කොලු කම නොමැති සතා
කෙල්ලෙක් එක්ක නිදියන්නට නොහැකි නිසා
නිදි වැදුනයි හැක් කරමින් ෆේස් බුකා

ගොඩ මඩ දෙකම උඹෙ නිරතුරු පිරිහීයන්
හිරු දුටු පිනි වගේ ගත සවි දියවීයන්
යහමින් නැතත් ඇති නැණ බල පිරිහීයන්
මා හැක් කෙරූ පරයට හෙන හත වැදියන්

යන යන තැනදි බොට නිරතුරු කෙලවීයන්
කරනා සියලු දේ නිරතුරු වැරදීයන්
පැණි හඳ කන්ට ගිය කල පවු පල දීයන්
එන භවයෙදිත් නපුන්සකව ඉපදීයන්

දුක සිතී පසුව ලියමි

අනේ එහෙම කිව්වත් මල පැනපු නිසා
අකේ පුමාරුව හින්දම විඳින දුකා
මලේ උඹට හොඳ නම් ඔය අමන් ක්‍රියා
මගේ එකවුන්ටෙක හැක් කර සැනසීයා...................


ලියා එව්වේ - ඉන්දික සුමනවීර

Tuesday, December 28, 2010

ආයෙත් කසාද බඳිනවද ?

"සිරි, ඔයා මට කොච්චර ආදරේද..?"

"මම ඔයාට ගොඩාරියක් ආදරෙයි ළමයෝ......!"

"සිරි, මම බැරිවෙලා හරි මැරුනොත් ඔයා ආපහු කසාද බඳිනවද...?"

"පිස්සුද....?, ඔයාට ඇරෙන්න මට වෙන කෙනෙකුට ආදරේ කරන්න බැහැ.....!"

"එහෙම උනොත් ඔයා පව් සිරී, මම මැරුනොත් ඔයා ආපහු බඳින්න....."

"ම්ම්ම්, ඔයා ඔච්චර කියනවනං මම බඳින්නං...."

"ඔයා බඳිනවා...?"

"ඔයා කියන හින්දා...."

"එතකොට ඔයගොල්ලෝ බැඳල ඉන්නෙ කොහෙද....?"

"මට ඉතින් වෙන තැනක් නෑනෙ, මේ ගෙදර ඇරෙන්න...."

"එතකොට ඔයගොල්ලො නිදාගන්නෙත් මේ ඇඳේමද...?"

"ම්ම්ම්... වෙන ඇඳක් නෑනේ....."

"එතකොට ඔයා එයාට මගේ රත්තරන් බඩුත් දෙනවද...?"

"ඉතින් ඒවා නිකන් අල්මාරියේ තියාගෙන ඉඳල වැඩක් නෑනෙ..."

"එතකොට ඔයා මගේ සාරි ටිකත් එයාට දෙනවද...?"

"නෑ..... එයා සාරි අඳින්නෙ නෑ....!"

"ඈහ්....?"

"ඌප්ස්...!"


ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

Monday, December 27, 2010

මරු වැයික්කිය හෙවත් Area No One

පොපියන තොලුත් ගැටෙමින්
සැලෙන හඬ නෙමේ ඒ
පිට පුරා උණුසුම්
ප්‍රථම හාදුවෙහි පහස
මට දැනී
ගුණ වැනී

සිතපුරා විඳින රස
සියොළඟම හිරිවැටී
උච්චතම මොහොත ළඟ
හුජ්ජ පොදකින් තෙමී
විසුරුවා හැරුනි

කුඩේ කලු කුඩේ කුඩු
හිටි තැනුත් සින්නවී
මුදු පොලු පහස යස
පිට පලාගෙන
පපුවටම වැදී

සිහිනයේ ඇහැරී
සිසාරා වටපිට
හුරුබුහුටි කුටියක තනිව
අප වැනිමවුන් සමඟ
"අපේම ලොවක අපි
පෙම් කෙරුම ඇරඹී"
මට කෙඳිරි ගෑවී

රෝමියෝ, ජුලියට්
පණ හිටන් දීලා
මේව නම් මොනවද
එකෙකුත් කොහෙන් කියලා
එහෙයි නොකියමුද සිතුනි?

පත්තරෙත් දාලා
ටීවී එකෙ දැක්කා
අපේ සෙල්ලම්
අපිත් තරු ඇඬුනි

කාකි සිරි විඳිමින්
ජාතකය කියමින්
එකින් එක
විටින් විට
ගනිමු පොලු සොඳුරී


ලියා එව්වේ - තිළිණ මධුශංඛ (http://www.sondurusithuwam.blogspot.com/)

Sunday, December 26, 2010

ඇයද ? මමද ?

"අම්මේ මම ---- අයියට මොකක්ද කියන්නෙ ?"

"ඔයාට කැමති එකක් කියන්න"

"මම ආදරෙයි"

ඇය මගේ උරහිසට බර දී සුරත අල්ලාගත්තාය ...

"ඔයා ---- අයියා එක්ක යනව එනවට තාත්ත කැමති නෑ. තාත්ත ඔයාව කාට දෙන්න බලගෙන ඉන්නවද දන්නෙ නෑ.. මම කොච්චර කැමති උනත් තාත්ත අකමැති උනොත් මට කරන්න දෙයක් නෑ.."

“අවුරුදු එකහමාරකට පස්සෙ ඇයි එයා අකමැති ?”

"ඒත් තාත්ත අකැමති උනොත් කරන්න දෙයක් නෑ අයියෙ.."

ඇය එසේ කිව්වෙ මගෙ සුරත අත හරිමිනි.

මොහොතක් නිරුත්තරව බොඳ වී යන රොටරි මාවත දෙස බලා සිටියෙමි..

"ඔයා අඬනවද?"

පපුව තුල කැකෑරී ආ දුම් උගුරක් කියාගෙන ගියේ "මොඩයො සිගරට් වලට උඹේ ඔය ප්‍රශ්න විසඳන්න පුලුවන්ද ?"


ලියා එව්වේ - සටපික්වලයා

Saturday, December 25, 2010

උන්ගේ නත්තල.... (සත්‍ය කථාවක් ඇසුරෙන්)

ඒ අනෝරා වැස්සෙන් හේදීගිය බිත්තිවල කෙතරම් දැනුම් සම්බාරයක් කිඳාබැස ඇද්දැයි හිරිපොද වැස්සේම විද්‍යාපීඨ අතරින් බස්නැවතුම්පල කරා දුවන මට හිතුණා.
"..වෙසක් සැරසිල්ලකට ඔහොමත් ගහගන්නවද මං අහන්නෙ.."
"..ඔය ඉගෙනගෙන වැඩි හින්ද නොවැ.."
පාපුවරුවෙන් බැසීමට මොහොතකට පෙරාතුව කණ වැකුනු දෙබස මනසතුල දෝංකාර දෙන්නේ ඇයිදැයි සිතමින් අඩියට දෙකට ගේට්ටුව කරා පැමිණි මා පියවි ලොවට පිවිසියේ ඔහුගේ ආමන්ත්‍රනයෙන්.
"..campus එක ආයෙ අරින දවසක් කිව්වද මහත්තයො..."
"..තාම නෑ"
"බලන්නකො මහත්තයො, මේ සැරේවත් පුංචි එවුන් එක්ක හොඳට නත්තල් කන්න හිටියා, දැන් අපිට එදාවේලත් නෑ..."
විශ්වවිද්‍යාලය අසල බත්පැකට් විකිණූ ඒ සුන්දර මිනිසාගේ නෙතු වැසූ අඳෝනා වල අරුත් කියන්නට මාගේ තෙවැනි වසරේ දැනුම ප්‍රමාණවත් නැතැයි තෙතබරිතවූ සුළඟ කොඳුරා කිව්වා.


ලියා එව්වේ - Dilan Dadevil (http://dilandadevil-poems.blogspot.com/)

Friday, December 24, 2010

ඇඹලයෝ

කෑලි පින්තූර වටේ රවුම් ගහමින
comments දමමින් ලස්සනයි කියමින
සිතමින් සිටිය හැකි වෙත් නිදිවදිමින
දනන් සිටිති ජාලයේ sick ගහමින

ගෑණු ලියන කල බ්ලොගයේ බැඳි හාද
comments දමා නියමයි යැයි කීවාද?
follower වී පිරිවර වැඩි කරාවෙද?
අනෙකුන් කපා රජ වෙන්නට හැකි වේද?

අනේ දෙවියනේ උන්ට උනු වියෝයා
කරන්ට් පුළුස්සා buzz එකේ ගියෝයා
උදව් කරපු උන් අහකට දැමුවේයා
අවසන ඒකි අරුත් එක්ක ගියේයා

tweet ගසා “ලස්සන” යැයි පැවසුවෙද?
ඇගේ සියලු දේ retweet කෙරුවේද?
වටේ හිටපු උන් කින්ඩිය දැම්මේද?
තිත්ත මිදි නිසා හිවලා දිව්වේද?

හොඳට හැඩට යසට
හිඳ හැර ගිය පරට්ට

නාඩන් මචං නාඩන් මා විහිළු කලා
එන්නද ගොසින් හැර ගිය කෙල්ලන්ට තලා


ලියා එව්වේ - මුචලින්ද (http://muchalindha.blogspot.com/)

Thursday, December 23, 2010

බෝනික්කයි මමයි....!

"අම්මේ අම්මේ.. අන්න නංගි අද හොඳ වැඩක් කලා..
එයා අම්මගෙ හොඳ සාරියක් කැපුවා.."

"අයියගේ බොරු... මම චූටි කො‍ටුවක්නෙ කපා ගත්තේ.."

"මොනවා.. මම ඊයෙ ඉස්කොලෙ ඇඳපු සාරියනේ.. මැදින්ම කපලනේ.. මොකද්ද මේ චූටි රෙදි කෑල්ලෙන් කලේ??"

"මගේ චුටි බෝනික්කට සාරියක් අන්දන්න ගත්තේ.."

"ඉතින් ඇයි පුතේ සාරිය කැපුවේ.. ගෙදර අච්චර අහකදාන චීත්ත රෙදි තියෙද්දි??"

"බෝනික්කට සාරියකටනේ... ඉතින් එහෙනන් අම්මටත් පුලුවන්නෙ ආච්චිගෙ චීත්ත වලින් සාරි අදින්න.."

"ඉතින් ඇයි පුතා කොනකින් නැතුව මේකෙ මැදින්ම කැපුවෙ??"

"කොනකින් තමයි කැපුවේ... දිග ඇරියොත් නවාගන්නත් බැනෙ.. නවල තියෙද්දිම කොනකින් කැපුවා අම්මේ.."

"හ්ම්... කෝ බෝනික්කට ඇන්දුවද සාරිය..?"

"නෑනෙ අම්මේ.. එයාට සාරි හැට්ටයක් නෑ නෙ.. ඉස්සෙල්ලා ඒක මහල දෙන්න ඕන නේ... "


ලියා එව්වේ - දීපිකා කුමාරි

Wednesday, December 22, 2010

ආවර්ජනා

මුහුදෙන් හමාපු ගිණියම් සුළඟ ඇගේ රැළි සම වේලා දැමුවා.... ලඟින් ඇසුණු රළු හඬ කාගේදැයි බලන්න ඇස් හීන් කරපු මැහැල්ල දැක්කේ හුරු යුවලක්.

සති කිහිපයකට කලින් මේ දැරිවිම ආ අයුරු ඇයට මතක් උනා....

"ආච්චිට බොන්න මොකුත් ගේන්නද?"
මැහැල්ල එපා කියූ විට රුපියල් විස්සක් මෙලවූ ඈ ගියේ මොහුගේම දෑතේ වෙලීයි.

"තමුසේ මහ ජරා ගෑනියෙක්. දන්නවා නම් ආශ්‍රය කරන්නෙත් නැහැ."

"මම මොකද කලේ? ඔයාගේ අනිත් කෙල්ලට කෝල් කරලා බැන්න එකද?"

"තමුසේ මහ ............ ගෑනියෙක්! මොන අමාරුවක්ද? පාරමී මගේ යාලුවෙක්"

කඳුලක් පිසිමින් තරුණිය ඉවතට දිව්වා.

"ඔයා වෙනුවෙන් කරපුවට ඔහොමමයි අහගන්න වටින්නේ"

මැහැල්ලගේ අවධානය බිඳුනේ අලුත් හඬකින්.

"ආච්චි දවල්ට කාලද?"

"ඔව්..."

ඈ වේලුන දෑස වැසුවා.


ලියා එව්වේ - පොපී (http://somethingfromeverything.blogspot.com/)

Tuesday, December 21, 2010

හයිකු කිහිපයක්

The Rose
The red blossom bends
and drips its dew to the ground.
Like a tear it falls
(Donna Brock)

රතු මලක් විකසිතව නැමී
පිණි බිංදු පොලව සිපගනී
කඳුළු බිඳු මෙන්
...........................................
Covered with the flowers,
Instantly I'd like to die
In this dream of ours!.
(Etsujin)

මලින් වැසී ගිය
අපේ මේ සිහිනය තුල
මියයන්න ආසයි
එක්වරම..
............................................
Green frog,
Is your body also
freshly painted?
(Ryunosuke Akutagawa)

කොල පාට ගෙම්බෝ
උඹේ ඇඟෙත්
තින්ත ගෑවේ දැන්ද?
.............................................
The old pond,
A frog jumps in:
Plop!
(Matsuo Bashô)

පැරණි පොකුණට
ගෙම්බෙකු පනී
"ප්ලොප්"
..............................................
මමයි දුම්රිය
ඇයි ඔබ පිපුණේ
රේල් පීල්ල උඩ
(බණ්ඩාර කේ විජේතුංග)

ලියා එව්වේ - ආගන්තුකයා (http://ambarox.blogspot.com)

Monday, December 20, 2010

මම ශිලා ලිපියක්..

අඳුර සටන් වැද
ආලෝකය පැරද පලා ගිය

ඒ සැන්දෑව
මහ රාත්‍රියක් වූයේ
ඔබේ දෙනෙත් නිසා ය!

ඒ සඳයැ
සොමිකරය
සිසිය
සිසිවන උවනත සම කළ ඒ සඳමය!
ඔබෙ දෙබැම නිසාය
දෙව්දුනු වන්
තුමුල නමුණුකුල සේම
නිම්නයෙන් නැගී ආ
ළමැද නිසාය
තිසරුන් වන්
සරාගී සඳ!

දොඹ ගස මුදුනින් නැගී
අතුපතර සැඟවී සෙමෙන්
ඉඟබිඟි කළේ
නුරා සරා
එසඳ මම බලා සිටියෙමි!

පෞරාණික ශිලා ලිපියක් වැනි මගේ මුහුණ
සිප සනහා ලූ ඔබ මන්ද මාරුතයක්
ගගන සැරිසරන මන්ද මාරුතයක්
සරැළි නගන චණ්ඩ සයුරු තෙර
සුමුදු ලෙස සිප සනසන
මන්ද මාරුතයක්

මම ශිලා ලිපියක්
අතීතයට හිමි අක්ෂර ගොඩක්
මහ රහසක් සඟව ගත්
මිනිස් ශිලා ලිපියක් මං...

ලියා එව්වේ - ලලින්ද්‍ර පෙරේරා

Sunday, December 19, 2010

අන්ධකාරය..

"කළුවරට බය නිසා
එළියට යන්නේ නැතුවම.....
අහසෙ තියෙන තරු....
මගේ අත්දෙකට අරන් දෙන්න කියලා
මම ඉස්සර අඬනවලු......
ඒත් අද....
මම ඒ කළුවරට
බය නැහැ....
රෑට එළියට බැහැල
අහස දිහා බලන් ඉන්න
මට පුළුවන්.....
අම්මා හිතන්නේ....
රාජ ඇතාගේ බඩ යටින් ගිහින්
මගේ බය නැතිවෙලා කියලා......

ඒත්.....
ඈත්ත ඊට වඩා ගොඩක් වෙනස්....

කුළුඳුලේම ඈති වුණ ආදරය
උපන්ගේම මියදුන දවසෙ ඉඳන්ම
මාව තනිකරල නොගිය නිසාද,

ඒ ආදරයේ ශේෂයක් විදියට
හිතේ තැන්පත් වුණ නිසාද,

හිතේ තියෙන
කඳුළු
ඇස් දෙකට ආවම
හංගගන්න....
මට උදව්වෙන නිසාද,

කියලා මම දන්නෙ නැහැ......
මොනාහරි හේතුවකට....
මම දැන් අන්ධකාරෙට
ආදරේ කරනවා ........
ඉස්සරම ඉස්සර දවසක....
අපි අපිට ආදරේ කල තරමටම...."

ලියා එව්වේ - නුවනි නිසල්යා ඉරුගල් බණ්ඩාර

Saturday, December 18, 2010

මට හිතෙන්නෙත්, මම හිතන්නෙත්.....!!

නවත්තන්න ඕනි... මේ හිතන එක
ඇත්තටම හොයාගන්න බැරි
හිතනවද....? හිතෙනවද...? කියන එකයි...
මේ දෙකේ වෙනසක් තියෙන බව නම්
මට හිතා ගන්න අමාරු නෑ
මේ දෙක මොකක් උනත්
නවත්තන්න අමාරුයි වගේ
කවුරුද මන්ද කියනවා මතකයි
මිනිස්සු එකිනෙකාට වෙනස් වෙන්නේ
හිතන විදිහෙන් කියලා
එත් මට නම් හිතෙන්නෙ
අමාරුවෙන් හිතල හිතල
මිනිස්සු ලෝකය වෙනස් කරන්න හැදුවට
මට නම් මේ හිතන එක
හිතාගන්න බැරි ප්‍රශ්නයක් වෙලා
කියවන අයට හිතෙයි, නැත්තම් හිතයි
මුට නම් පිස්සු කියලා
මං දන්නේ නෑ
මම හිතන විදිහෙයි, මට හිතෙන විදිහයි
වැරදිද කියලා....
මං මොනවා කරන්නද?
මං දන්නා එකම දේ
මට හිතෙන්නෙත්, මම හිතන්නෙත්
එකම දෙයක් විතරයි....
දෙයියනේ... ඒ ඔයා ගැන....!!

ලියා එව්වේ - මහේෂ් හශාන්ත සිල්වා (http://asipiyakamahima.blogspot.com/)

Friday, December 17, 2010

නැවතුමක කතාවක්...

“මලා!”
නිදිමරගාතෙ මම වැරදි හෝල්ට් එකකින් බැහැල. ඒ මදිවට කොහෙත්ම නොදන්න පළාතක.

“උන්නැහේ මේ කොහෙද?”
මං අහල පහල පේන්න උන්නු එකම මිනිහගෙන් ඇහුව.

“අනේ මන්ද”
මිනිහ දුන්නෙ මහ විකාර උත්තරයක්. සමහරවිට මිනිහ මේ පැත්තෙ කෙනෙක් නෙමේ වෙන්නැති.

“බස් එකක් දැන්ම ඒවිද?”
කෝකටත් කියල මං ඇහුව.

“සෑහෙන වෙලාවකින් ආවෙ නෑ. මාත් ඉන්නෙ එනකම් බලාගෙන.”

“ගොඩක් වෙලා ඉඳලද?”

“ඔව් අවුරුදු ගාණක්...”

මිනිහගෙ උත්තරෙන් මට දෙලෝ රත්වුනා. එක්කො මිනිහට පිස්සු. එහෙමත් නැත්නම්.....

“ඒයි සුරේ!”

එතකොටම වගේ කොහෙදෝ හඬක් මාව ඇමතුව. හැරිල බලද්දි ඒ හඬේ අයිතිකාරය ඈතක ඉඳන් මට අත වනනව.

මිනිහ කවුද කියල හරියටම නිච්චියක් නැතත් මම ඉබේම වගේ ඒ පැත්තට ඇදෙන්න ගත්ත.

ලියා එව්වේ - Raven (http://www.sihinasewanali.blogspot.com/)

Thursday, December 16, 2010

අපි වෙන එකක් ගම්මු..

“දෙයියනේ ඔයා මොන සිහියෙන්ද හිටියේ, බීගත්තහම මේලෝකේ සිහියක් නැහැ. මගුල් මුද්ද අතින් වැටෙනවා නොදැනෙන්නම ඔයාගේ සිහිය විකල් වුනේ නැට්ටිච්චියෝ මහ ගානක් ඉන්න ඇතිනේ”

මහහඬින් කෑ ගසමින් හඬා වැටී ඒ තරහින්ම නින්දට වැටී සිටින සිය බිරිඳ දෙස, බිය රැඳි නෙතින් බලා සිටි ඔහු, මුහුදු වැලි රැඳුනු දෙපාත්, ඇඳ සිටි ඇඳුනුත් සමගම ඇය අසලින්ම වැතුරුනේය.

මහමුහුදේ ඝෝෂාව ඇසෙන්නට විය. දන්නා හඳුනන මුහුණු බොහොමයක් වෙරළේ විය. මළ සිරුරක් පොල් අත්තකින් වසා තිබේ.

“මුද්ද වැටිලානේ. එපා කියද්දි ඒක සොයන්න ගිහින්නේ”

පොල් අත්ත ඉවත් කෙරිණ.

“අනේ මගේ සමන්ත..........”

දහදියෙන් නැහැවී, බියෙන් වෙවුලමින් අවදිවූ ඇය, තිගැස්සී ඇහැරී සිටි ඔහු වෙත තුරුළු වූවාය.

“අපි වෙන එකක් ගම්මු.”

ලියා එව්වේ - රන්දිල් (http://ranrandil.blogspot.com/)

Wednesday, December 15, 2010

නුඹ නටාපං අපේ හෙට දවස වෙනුවෙන්........

ගොදුරක් හොයා
ඇදීගෙන
හතුරෙක්ට
ඔය පෙන ගෙබේ
පුප්පගෙන
තුඹහකට වෙලා
දරන ගහන්
නිදියගෙන
නිදහසේ උන්නු
උඹේ දිවිය
බට පෙට්ටියක
හිර කරන්
එහාට මෙහාට
කුදලන් ගිහින්
උඹව
නටව නටව
උඹට දෙන
දස වදේට
මට
සමාවෙයන්
නයි හාමි,

එක අතකින්
මම වැරදිත් නෑ
මේක අපෙ
පරම්පරාවෙන්ම
එන උරුමෙ
අපේ අප්පොච්චිලත්
උඔලගෙ වරිගෙ
උන්ව හිරකරන්
නටවපු එකේ
මටයි කියල
ඒකෙ වෙනසක් නෑ
අපි උඹලට
දෙයියන්ට වගේ
සළකනව

සත්ව හින්සනේ
සමාජ සම්මතේ
ඔය බම්බු වලින්
අපේ බඩවල්
රැකෙන් නෑ බං
බඩ රැකුනොත්
තමයි
අපි රැකෙන්නෙ
උඹ නැටුවොත්
තමයි
අපේ බඩවල්
සැනහෙන්නෙ
අපිට නින්ද
යන්නෙ

මං නලාව
පිඹින්නං
ඉතිං උඹ
නටාපං
අපේ හෙට දවස
වෙනුවෙන්...........

ලියා එව්වේ - සොඳුරු මිනිසා (http://sonduruminisa.blogspot.com/)

Tuesday, December 14, 2010

සොරි මදූ...!

ඊයේ රෑම තිබ්බේ පුදුම සීතලක්...

මෙහෙත් නුවරඑළිය වෙන්න යනවා වගෙයි..

ඒත් ඉතිං ඔළුවේ ඉඳන් පෙරවගෙන ෆෑන් එක දාගන්නවා මිසක් වෙන කරන්න දෙයක් නෑ මදුරු වසංගතෙන් ගැලවෙන්න..

කොයිල් පත්තු කරලා ඒවා හදපු උන්ගේ අම්මලව මතක් කරනවට වඩා හොඳයි වෙව්ල වෙව්ල හරි ෆෑන් එක දාගන්න එක..

අද උදේ ඇස් අරින කොටම ඇස් දෙක ඉස්සරහා බිත්තියේ මෙන්න ඉන්නවා මධුරි..!

......

අද දවල් මගේ කාමරේට ලොකූ මදුරුවෙක් ඇවිත්..

කූ කූ ගගා කණ අයිනේ කැරකෙනවා.. බඩගින්න‍කුත් නෑ වගේ...

හරිනේ.. ඌ ශාකභක්ෂක. කූ කූ නෙවෙයි මධුරි කෝ මධුරි කෝ අහන්නේ..

මං ඌට සොරි කියලා බිත්තියේ පැල්ලම පේන්නුවා..

ඌත් දං ගෙඩියට බෙල්ල තියන්නං ‍කියලා මගේ අතටම වැහුවා..

“චටාස්”

ලියා එව්වේ - මලී (http://abnormalminds.blogspot.com/)

Monday, December 13, 2010

උන්ටම ගිය ශිලා ලේඛන ..

එවක සිරිලක විපුල කසප් රජතෙම උරුම කම් කී මෙකී සියයක් අනත්පුර ළඳුන් සිටියේ රති ක්‍රීඩාවට නම් නොවේ. උන් ඉඳ ඇත්තේ කසප් රජුට කම්මැලිවූ විට කොටු පැනීමටත්, දාන් ඇදීමටත් හා කසා ගන්න බැරිතැන් කසා දීමටත්ලු.

උන්වහන්සේගේ කාලයේ තහනම් ගස්වල ගෙඩි තිබී නැතිලු. තිබී ඇත්තේ කාක් කූඩු දෙක තුනකුත් හා මැඩම්ට විරුද්ධව ජවිපෙන් ගැසූ පෝස්ටරයක කැබිලි කීපයකුත් පමණිලු. උන්වහන්සේ වචනයේ පරසමාප්ත අර්ථයෙන්ම අසභ්‍ය යැයි සම්මත කිසිවක් කර නැතිලු. අඩුම තරමේ කොල්ලෙක් කාලයේ හදිස්සියකට ජැක් එකක්වත් නැත්තම් බැරිවීමකින් නිල් චිත්තරපටයක්වත් බලා නැතිලු. අඩුම තරමේ මුත්‍රා කරනවා ඇරෙන්න වැරදි හිතකින් රහස් තැන දිහාවත් බලා නැතැයි එල්ලාවල සල්ගාදු ඊයේ පෙරවරුවේ පැවති මාධ්‍යය සාකච්ඡාවකදී එළිදරව් කළේලු.

ලියා එව්වේ - Dilan Dadevil (http://dilandadevil-poems.blogspot.com/)

Sunday, December 12, 2010

අත්තම්මා.

මුලු රැය පහන් වන තුරා මම ඇගේ හිස අද්දරට වෙලා උන්නා..

විටින් හිස අතගැවා…
මූණට අත තියලා බැලුවා…
හුගාක් සීතල වෙලා....
දවසට දහ දොළොස් වතාවක් බුලත්විට කෑ ඇගේ දෙතොල් සුදුමැලි වෙලා....

මූණ පුරාම හෙව්වේ හිනාවක් එත් පුංචිම හිනාවක්වත් එහි තිබුනේ නෑ.

මාව මඟ බලන් ඉන්නවා වගේ මට දැනුණා.

"උදෙන්ම මගේ කෙල්ල එවී....ඊට පස්සේ මම මැරුණට කමක් නෑ"

"අන්තිමට කිව්වේ එච්චරයි.."

"උඹ එනකන් බලන් හිටියා දුවේ"

කව්දෝ එහෙම කියනවා ඇහුණා.

"පැය දෙකක් ඉවසුවේ නැත්තේ ඇයි මගේ අත්තම්මේ...........!!!
එහෙම උනා නම් ඔය ඇස් මෙහෙම බලන් ඉන්නේ නෑ"

මහ පාන්දර ඒ කෑගැහිල්ලට හැමෝම අවදි උණා.. එත් මගේ අත්තම්මා තාමත් ඇස් වහගෙන නින්දේ...

ලියා එව්වේ - අහිංසකී (http://ahinsaki.blogspot.com/)

Saturday, December 11, 2010

ටයි ගැටය

කෝ ලැහැත්තිද..?
අරෙහේ මනමාලි එනවලු.., අනේ මන්දා කෝ එන්න බලන්න අඩුපාඩු..,

චක්කේ.., මොකද්ද මේ ටයි ගැටේට කොරන් තියෙන්නේ..,

ඇයි මොකැයි අවුල...?

ඕක වැරදියි නෙව සුදු පුතේ..?

ඉන්න මං හදාගඤ්ඤංකෝ
මේ උඹේ ආලවට්ටං බලන්න වෙලාවක් නැහැ..,

මේ හාමිනේ එන්ට කියන්ට පියසේකර මහත්තයාට..,

මොකේ ඒ පාර සුමනේ..,

අනේ සේකර මහත්තෙයා තරහා නැතිව මේ කොල්ලගේ ටයිඑක හදන්ඩ..!

එන්න මේ ඇඳේ ඇලවෙන්ඩකෝ..!

ඈ..? ඒ මොකේ..,

ටයි එක දාන්ඩ වෙන මොකොටද..?

හා...,

හරි..! දැම් බලන්ඩකෝ කණ්නඩියෙන්..!

මේ මහත්තෙයාට බොහෝම පිං

මහත්තෙයා.. මේ.. පොඩි බඩ්ඩක්..?

ඔව්..., ඇයි..?

මාව ඇයි ඇඳේ ඇලකොරවලා ටයිඑක දැම්මේ...?

හා.., ඒ මගේ රස්සවනේ පුතා...!
මම කරන්නේ ජයරත්නේ මිනී වලට ඇඳුම් අන්දවන එක...!

ලියා එව්වේ - ලිෂාන් පුවක්ඕවිට (http://lishwish.blogspot.com)

Friday, December 10, 2010

මුළාවේ මෙවුල්දම්

හෝරාවක් අවසන හමාරවූ පෙම් හටනක නෂ්ටාවශේෂ අතරට බිම විසිරි ඇඳ ඇතිරිල්ලත්, අද්දරවූ මේස් යුගලත්, හැඩිවූ ඇඳත් වාගේම උන් දෙදෙනාත් අයිති විය. දහදියෙන් වැසී ගිය සිරුරේ සුන්දරත්වය තම අණසකට නතුව මෙපමණ වේලා රැඳුණේ කෙසේදැයි හිතාගත නොහී ඔහු ඇය දෙස බලා සුසුම් හෙළීය.

"...දන්නවද?..... මගේ බඩට දැන් මාස තුනයි" නිසල බව බිඳි ඈ එසේ කියද්දී පිළිතුරු බඳිනු වෙනුවට වහලේ උළු ගණන් කල හෙතෙම ලද විරාමයෙන්.. "පොඩි එකා මම වගේ වුණොත් තමයි වැඩේ" යැයි පවසද්දී එහිවූ ප්‍රශ්නාර්ථය වාතලයේ වැදී නින්නාද දුන්නේ කාමරයේ බිත්ති හතර තුළ නොව උන්ගේම හිත්වලය.

"නැහැ... එයා හීනෙකින්වත් හිතන්නෙ නෑ... එයාට මාව විශ්වාසයි........ සුමනෙ මට ආදරෙයි, සිරි" යැයි කවුදෝ පැවසුවේය.

ලියා එව්වේ - Dilan Dhananjaya (http://dilandadevil-poems.blogspot.com/ )

Thursday, December 9, 2010

තෙවැනි විනිසුරු

ඔවුන් සැලසුම් සහගතව මා දුවද්දී දැවීයාමකට කොටුකරගෙන ඇතැයි මා වටහාගන්නා විට සියල්ල සිදුවී හමාරය...

තුන්වන විනිසුරුගේ සංඥාව මත සියල්ල තීරණය වනු ඇත.

බොහෝ දේ අහිමි වීමට ඉඩ තිබූ තරඟයක මා සිටියේ ඉක්මනින් ලකුණු විශාල ප්‍රමාණයක් රැස් කරගැනීමේ දැඩි උවමනාවෙනි. උන් ඒ වග තේරුම් ගෙන සිටින්නට ඇත. ඒ නිසාම රැකවල් යොදා තිබුණේ ලිහිල්ව පෙනෙන නමුත් සූක්ෂමවය. දුර්වල තැන්වලට පන්දු යවා මා දවාගැනීමට වඩා උන්ට ඕනෑ කලේ මාව වැරදි පහරකට පොළඹවාගන්නටය.

එක් ලකුණකින් සෑහීමකට පත්වන්නට ආසන්නව උන් අවස්ථාවක දෙවෙනි ලකුණ සදහා මට ඇරියුම් කලේ එහා අන්තයේ උන් මගේ අතිජාත මිත්‍රයාය. ඔහුත් උන්ගේ උගුලේ කොටසක් වන්නට ඇත.

ඈ කුසලානය මෙන්ම තුන්වෙනි විනිසුරුද වූවාය..

ලියා එව්වේ - Raven (http://www.sihinasewanali.blogspot.com/)

Wednesday, December 8, 2010

අලුත් නමකින් වැඩේ පටන් ගන්න.

"දැං මේ සංස්කෘතික වැඩ කරා කියලා…
කාලාන්තරයක් තිස්සේ සමාජය ඉදිරියේ…
විශේෂයෙන් වැඩකරන කම්කරු ජනතාව ඉදිරියේ…
කරපු අවිනීත ජඩ පාවාදීම් එක්කල ආයෙම ඒ ජන කොටස් පක්ෂය වටා‍ ගොනු කරගන්න
කවි ගැන, නාට්‍ය ගැන, චිත්තරපටි ගැන හරි සංවාද කරල වැඩක් වෙනවා කියල?
එලියේ අද දවසේ මේ මොහොතේ ජීවත් වෙන මිනිස්සු අල්ලන්න අමාරුයි."
"අමාරුයි නොවෙයි බැහැමයි. "
"පාවා දීම් කළේ පක්ෂය ගොඩනගන්න වෙන්න ඇති. නමුත් දැං ගොඩනැගිලා ද? නැහැනේ. ඒව බයිල!"
"ඒ හින්දා ඔය‍ ශ්‍රේෂ්ඨ අතීතයක් විතරක් තිබ්බ පක්ෂේ වහලා දාලා වෙනත් නමකින් ආයෙම පටන් ගන්න. "
"ඒකට මධ්‍ය ලක්ෂ්‍ය හරි කමක් නෑ
නව ලක්ෂ්‍ය හරි කමක් නෑ
මොකක් හරි අලුත් නමකින්
වැඩේ පටන් ගන්න."

ලියා එව්වේ - ලලින්ද්‍ර පෙරේරා

Tuesday, December 7, 2010

ප්‍රථම ප්‍රේමයේ අවසන් මොහොත

"කෙනෙක් ඈත්වෙන්න හදනවානම් එයාට යන්න දෙන්න. ඒ වගේම කෙනෙක් රැඳෙන්න හදනවනම් එයාට රැඳෙන්න දෙන්න."

අපි දෙන්නා වෙන්වෙන දවසේ ඔයා මට අන්තිමට කිව්වේ මේක.

"ඔයා ආයිත් මගේ ළඟට එනවද?"

මම එහෙම ඇහුවට ඔයාගෙන් ඒකට උත්තරයක් ලැබුණේ නෑ. ඔයා මගෙන් ඈත්වුණේ ඇයි කියලා අදටත් මම කල්පනා කරනවා. මගෙත් වැරදි ඇති. ගොඩාක් මිනිස්සුන්ට වගේ මටත් දෙයක් නැතිවෙනකල්ම ඉන්නවුණා ඒකෙ අගය තේරුම් ගන්න. අවුරුදු ගාණක්ම හිතේ හිරකරන් ඉඳපු හැඟීම තමා මේ එළියට දාන්නේ. ඔයා ආයිමත් මගේ ළඟට එන්න කියලා මට කියන්න බෑ. ඔයාට කියලා දැන් ඔයාගෙම ලෝකයක් ඇති. මට ඒ ලෝකෙ කිසිම ඉඩක් නැතුවත් ඇති. ඒත් ඔයා ආයිමත් මගේ ළඟට එනකන් මම බලාගෙන ඉන්නවා.

ලියා එව්වේ - සජිත් රූපසිංහ

Monday, December 6, 2010

පූජ්‍ය පක්ෂයට පමණයි

138ක්, සාමාන්‍ය සෙනඟක් බස්එකේ,
විදේශීය හාමුදුරුනමක් බස්එකට වැඩිය.

"පූජ්‍ය පක්ෂයට පමණයි" සීට්එකේ අම්ම කෙනෙක් දරුවෙක්ව නිදිකරගෙන,
අම්ම නැගිටින්න හදද්දි, හාමුදුරුවො වෙනින් අසුනකට වැඩිය.

මහත්තයෙක්ට වැඩේට අප්සෙට්,

"ඔයා නැගිටල, සීට් මාරු කරන්න"

"අනේ, මම දෙන්න හැදුව"

"එන්න හාමුදුරුවනේ... මෙතනට"

"කෝ නැගිටින්න ඔතනින්"

මහත්තයට නිවනක් නෑ,
බලෙන්ම ආසන මාරු කලා...

මහත්තයගෙන් ගාම්භීර බැල්මට් එකක් බස්එකටම...

“කරගත් කුසල කර්මයේ මහිමය”

බෙල්ලන්විල හරියෙදි භාගෙට නැගිටල, "මේං නැගිට්ට"

කථින චීවරේ වඩම්මන් "බෑ බෑ මට තව ටිකක් දුර අරන් යන්න ඕනි වගේ"

දරුවත් අම්මවත් නැගිට්ටවපු "නිවැරදි වචනය යොදා හිස්තැන පුරවන්න" දන්න මිනිස්සු,
මම බැස්ස, 154 ගන්න.

ඒත් මුලින් විදිය, වටිනාකම,
හේදිලා, අදාල හිස් තැන පිරවුනා.
අපරාදේ!

ලියා එව්වේ - සමීර දිසානායක

Sunday, December 5, 2010

There is a place where the side-walk ends...

Here I stand before the side walk ends
Coz I’m lost when the street begins
The steps we took on the days we spent
It gets harder, even the smiles we held

Pale white light and the street light post
The cloudless sky and the long lost roads
The art we saw, in those homeless dogs
It gets longer, even the lonesome walk

I will walk with you, beneath the side walk route
I will stand by you, when it’s the twilight doom
Though the absence makes this ruthless gloom
I will take your hand, before the sun leaves blooms

Written by : Dilan Dhananjaya (http://dilandadevil-poems.blogspot.com/ )

Saturday, December 4, 2010

ඇතුළෙත් වැහි පිටත් වැහි

දෑවුරුද්දකින් වට පළමු වැහිබිඳු පොල් අතු වහල අතරින් වෑස්සී මැටි පොළව වසාගන්නා විට පිස්සු මාටින්ගේ සිත නැංගුරම් ලා තිබුණේ සිහිනයත් සැබෑවත් අතර වංකගිරියකය. හුස්මගන්නා නමුත් බිරිඳගේ විලාපයටත් ඇහැරවීම් වලටත් නිර්වින්දිතවූ ඔහුගේ සිරුර මෑත පැදුරු කඩමාල්ලේ පතබෑවී තිබුණි.

“ළග ළගම මහ වැහි එනව. ගේ ඇතුළටත් වතුර ගහයි”

මින් මසකට පෙර දවසක හිටිහැටියේම පොල් අතු වහලයේ කොටසක් ගලවා දමද්දී වැහි නැතිව වගා පාලුවූ හිත් අමාරුවට ඔහුට පිස්සු හැදී ඇතැයි බිරිඳ සිතුවාය.

වහළ හා බිත්ති අලුත්වැඩියාව මසක් පුරා ඇදෙද්දී ඇගේ ඒ සිතුමම ගම්මුද අදහන්නට වූහ.

“කලට නා වැහි බිඳක් ගෙට එන්න දෙන්න නරකයි”

එක හුස්මට කරගෙන ගිය පිළිසකර වැඩ කටයුතු නිමවූයේ ඊයේ හැන්දෑවේය....


ලියා එව්වේ - Raven (http://www.sihinasewanali.blogspot.com/)

Friday, December 3, 2010

සීයේ ඒවා සීයක් (100 * 100)

එක එක පැතිවලින් ලස්සන වචන එකතු කරලා අදහස් මවන ලේඛකයින් හතලිස් තුන්දෙනෙක්..

කියවන උන් දහස්ගාණක්.. කතන්දර, කවි, සිද්ධි, අදහස්, සුබපැතුම්, නා නා විධ පැතිවලින් අකුරු කරපු වචන..

ලියන කියවන එවුන් එකට එකතු කරපු පුංචි ක්‍රියාදාමයක්..

පුංචි වැඩක්..! ලොකු පවුලක්..!

එදා ඉඳන් අද වෙනකොට සීයෙ ඒවා සීයක්!

සම්මාන අද තියෙයි.. හෙට නැතිවෙයි.. ඒත් අපි හැමදාම ලියයි..

ලියපු කාගෙත් නම්ගම් පලකරන්න ගියොත් නම් වචන සීයක් මදි.

ඒ නිසා මේ සටහන ලියවෙන්නෙ one|zero|zero වෙත ලියමින් සහ අදහස් දක්වමින් එය ඉදිරියට තල්ලු කරපු හැමෝටම කෘතවේදීව, උපහාරයක් විධියට..

මේක අපි ඔක්කොගෙම සැමරීමක්..

ඔබත් ලියන්න!

අන්තිමේදි අපි සේරම උත්සාහ දරන්නෙ මිනිස්සුන්ගෙ ජීවිත වලට හොඳක් එකතු කරන්න.

Thursday, December 2, 2010

නිල් මානෙල්..

දළදා මලිගාව ඉසව්වෙදිම හුගාක් සංසුන්……

වැව වටේම ඇවිද්ද…

"නිල් මානෙල් වලට මම ආසයි”

ඒ වචන අයෙමත් ඇහෙනවා වගේ.......

නුඹ මතක් කරලා මල් පුජා කළා

මල් ආසනේ මල් පිරිලා…....

සැනින් කොනක ඉදලාම මල් අස්කලා

මම පුජා කල මලත් කව්දෝ බින් එකට දැම්මා....

නැවුම් ආසනේ මගේ ලඟින්ම තවත් නිල් මානෙල් මල් ගොඩාක්

මම ඒකට අතගහල... පස්සට වෙනකොටයි දැක්කේ ඒ නුඹ විත්තිය.....

දෙවියනේ...!!!

බුදු හමුදුරුවෝ ඉදිරියේ දෙවියන්ට අඩගැහිල්ලත් හරියට මගේ මල විසිවෙලා ගිහින් නුඹේ මල පූජ උනා වගේ...

ඔහු විවාහය ගිවිස ගෙන මුලින්ම ඈ සමඟ මාළිගාවට ඇවිත්...

දැනගෙනම මාත් මෙතැනට ආවට හිතුවෙ නෑ මෙහෙම නුඹ පූජා කළ මලටම මටත් අත ගහන්න වෙයි කියලා....

ලියා එව්වේ - අහිංසකී (http://ahinsaki.blogspot.com/)

Wednesday, December 1, 2010

නුඹ දික්තල මගේ...(මා කාලගෝල වී නම්, එකම එක් වතාවක්)

නෙතු අඳෝනා නැගුවා
මගේ ලය මත නුඹ හොවා මැවු
සිහින පොඩි බිඳුනා
නිල් දියවරත් හැඬුවා
වගතුවක් නැති ගොම්මනත්
මගෙ ආදරේ නුඹ හිමි නැතැයි කීවා

ඉමක් නැති අහසේ, ගණ වලා අතරින්
අනෝරා වැසි, කඩතුරා සිඳමින්
ජීවිතේ... සව්සියක් දුර මතකයන් සිඹිමින්
ඇද හැලෙයි... නෙතුකොනේ රැඳි කඳුලු පොදි පිසමින්

සොඳුරු කඩඉම්..
නිසල පුදසුන් ලෙසින් තනිවී
තිමිර සිතුවම්..
අසල සඳකැන්.... කෙමෙන් බොඳවේ..
ආලයේ.... සිනිඳු තැන්..
අද මෙසේ... සුසුම්වල පැටලී....
නිම් නොවූ........
ඒ නිමේෂය....... කිම මෙසේ මියැදී...

බිඟුසරෙන් මන්මත්වූ
වසන්තය අද බොඳවී
තරුවිමන් මැද තනිවූ
සරත් සඳ අද මියැදී
උන් අතින් ගෙන හිනැහී
නුඹ ගියත් ඉගිලී
නුඹ දික්තල මගේ
නුඹ දික්තල මගේ..
නුඹයි මගෙ ආදරේ..


ලියා එව්වේ - Dilan Dhananjaya (http://dilandadevil-poems.blogspot.com/ )

Related Posts Plugin for WordPress, Blogger...