Monday, February 28, 2011

පීටර් පිස්සෙකි

පීටර් පිස්සෙකි..
විනාඩියකට පමණක සැරය විකාරරූපිව ගැස්සෙන වමත නිසා පීටර් පිස්සෙක් බවට මම පොඩිකාලේ අනුමාන කලෙමි.
පීටර්ට හිටියේ පීටර්ම විතරක්ද නැත්නම් පීටර්වත් නැද්ද කියා මම නොදනිමි.
පීටර් පිස්සෙක් යැයි ඇය කියූ විට මම එය විස්වාස කලෙමි.
පීටර් නිදාගන්නේ ඔරලෝසු කණුව යටය.
එසේ නිදාගන්නට මමත් කැමතිය.
ඒත් පීටරුත් එතන නිදාගන්න නිසා මම එතන නිදාගන්නට නොයමි.
පීටර්ගේ ඇඳුම් පැළඳුම් හිඟන්නෙකුගේ මෙනි. එනිසා පීටර් හිඟන්නෙක් වන්නට ඇත.
ඒත් පීටර් හිඟාකනවා මම තාමත් දැක නැත.
ලෙඩුන් නොමැති වෙලාවල මම පීටර්ට හොරෙන් පීටර් දෙස බලා සිටිමි.
මාසයකට පසුව පීටර් ඩිස්පෙන්සරිය ඉදිරිපිට වැටී සිටියේය.
පීටර්ව වල දැම්මේ මිනිය කුණුවන්නට පෙරය.
දාන දෙන්නට එකෙකු නැත,
පීටර් පිස්සෙකි.

ලියා එව්වේ - ආගන්තුකයා (http://ambarox.blogspot.com)

Sunday, February 27, 2011

ඇය මගේ

ඇය මගේ,
තවකාලික බැඳීමක ආත්මර්තකාමී සිතුවිල්ල,
නමුත් ඇය මගේ නොවී වෙන කාගෙවත් උනානම්!
හිතාගන්න බැරි අවසනයක්..
එත් ඇය මගේ වෙලා හිටියනම්
ජීවිත කලයටම ඒ සොඳුරු මතකයන් අමතක නොවේවි,
ඇයට වෙන කරන්න දෙයක් තිබුනෙම නැත්නම් ඒක හැර,
ඔයාට සතුටින් ඉන්න පුලුවන්නම් මම ඕනිම දෙයක් කරන්නම්...
එත් මට කියන්න එපා අමතක කරන්න කියල විතරක්
ආදරයේ නාමයෙන් හිත හදා ගනවා නේද?
සමහරවිට ජීවිත කාලයම තනියෙන් ඉන්න
ඒක මට කරගන්න අසාධාරණක්ද?
එත් ඒ මතකයන් අතරෙ වේදනා විඳින එක මට සතුටක්..
ඇයි දෙයියනේ මම වෙන මොනව කරන්නද!
විනාස වෙන්න තව දෙයක් නැති ජීවිතේ එකම මිතුරත් සමුගන්න තව උගුරකට වඩා නෑ..
හැමදේම අවසානයේ ඉතුරුවෙන්නේ සමුගැනීම පමණද?

ලියා එව්වේ - සටපික්වලයා

Saturday, February 26, 2011

"නුඹම විය.........."

"ආදරය නම්
අන්දකාරයේ
මංමුලාවූ හදවතට
ආලෝකයක් වී
දිවි මාවතේ
ඇවිද යන්න
මග පෙන්වමින්
සිත් අහසේ පෑයූ
පුංචි තාරකාව
නුඹම විය
මා දාවා පෙලා
මා අසරණ කළ
පාළුව තනිකමට
නැවතුමක් වූයේ
නුඹම විය
මා කදුළ සේම
මා සිනහව
හදුනාගත්තේද
නුඹම විය
මවකසේ
සෙනෙහසින්
සොයුරියකසේ
ආදරෙන්
මා වටා හිදි
මහා පවුර
නුඹම විය
මගේ හද ගැහෙන රාවය
ඒ හාද් රිද්මය
හැදිනියේ
නුඹම විය
දෛවයේ සරදමින්
පුංචි තාරකාව
සිත් අහසින් ගිලිහිනිදෝ
නොදනිමි තවම මා
ඒ මතකයන් සැමදා
කදුලු පිණි වී
නෙතු අගින් ගිලිහුනද
මගේ හදවතට
යලිත්
වේදනාව
මා ලොවට
පාලුව තනිකම
රැගෙන ආවේ
නුඹම යයි
ලොවට හඩගා
කොළස නමි මා
කියනු පවසන්
ඉතින්"


ලියා එව්වේ - සොඳුරු මිනිසා (http://sonduruminisa.blogspot.com/)

Friday, February 25, 2011

මේ අම්ම හැමදාම ප්‍රාර්ථනා කළේ...

ලොකු දූ: අම්මෙ මාව වොලිබොල් වලට තෝරගත්තා
මම: ඉතිං හොදයිනෙ පුතේ.. කොහොමද තේරුවේ?
ලොකු දූ: අපිට රවුමෙ ඉන්න කියල සර් වොලිබෝලෙ එව්වා එක එක්කෙනාට.... මම ගැහුවම සර්ගෙ අතටම ගියා....
මම: ඉතිං ඊට පස්සෙ?
ලොකු දූ: සර් මිස්ට කිව්වා මෙයාගෙ නම ලියාගන්න කියලා

ප.ලි. මට නැතිවෙච්ච අවස්ථාවන් ගොඩක් ලබන්න තමයි රත්තරන් මේ අම්ම හැමදාම ප්‍රාර්ථනා කළේ... සෑහෙන බලාපොරොත්තු ගොන්නක් එක්ක අලුත්ම අලුත් ඉස්කෝලෙකට දැම්මෙත්…

අනේ ඔය අලුත් ඉස්කෝල කොච්චර කල් තියෙයිද?
ආණ්ඩුව පෙරලුනොත් ඉස්කෝලෙට මක්වෙයිද?
අපේ ළමයින්ට අත්දැකීම් ගන්න බැරිවෙයි.

මට ඕව එකක්වත් ඇහුනෙ නෑ...
මට ඕන වුනේ සත්තකින්ම
අංක 1 මිශ්‍ර පාසලක්..
අංක 2 අමතර දේවලට ගොඩක් අවස්ථාව ලැබෙන පාසලක්....

ලියා එව්වේ - තනෝජා රාජපක්ෂ (http://thanojar.blogspot.com)

Thursday, February 24, 2011

ලබන අවුරුද්දේ එන්න

“අද සරුයි අම්මේ. රු.6000ට රු.120යි අඩු. හෙට නිදහස් දවස නිසා බස්වල යන මිනිස්සු පිං දිදි ගත්තේ ජාතික කොඩි ටික, ළමයින්ට ඉස්කෝලේ ගෙනියන්ට එහෙම එපැයි”‍

අම්මා ගෙවල්කුළි ගෙවන්ට. මෙන්න උදේ අම්මාගේ අතින් ගත්ත රු.200ත්” සියලු මුදල් අම්මා අත තැබීමි. නිදහස් දිනයත් සතිඅන්තයත් එකටම ආ නිසා ඒ දින තුනේ වැඩි ඉපයීමක් නොවුනි.

“මේන් පුතේ රු.200/-ක් 20 කොළ වලින්ම. උඹ කියන්නැහේ අතේ සල්ලි තියෙනවා දැක්හම මිනිස්සු උඹ අතේ තියෙන බඩුවක් ගන්න උනන්දුවෙනවා” අම්මා දුන් මුදල් සමඟ සඳුදා පාන්දරින් පිටත්වීමි.

“මල්ලි මොකද අද 7 වෙනිදා ජාතික කොඩි උස්සගෙන ආවේ. යන්න යන්න ලබන අවුරුද්දේ එන්න” අම්මා අතට දුන් මුදලින් දවල්ට කා හිස් අතින්ම නිවසට ගොඩවීමි.


ලියා එව්වේ - රන්දිල් (http://ranrandil.blogspot.com/)

Wednesday, February 23, 2011

සීහලේ අද දවස - හෙට දකින උන්ට ඇහෙන්නට

කහ ඉරිත් නැති ජීවිතේ මග
නැවතුමත් නොපෙනී ගිහින්
දස රියන් උස, මිටි කඳු පවා
දැන් ගිනි වැදී අළුවී ගොසින්
උන් ගිමන් හල ඒ විසල් නුග
අද ලොරි මතින් මළගම් ඇදෙද්දී
නියඳ මල් පිපුණත් මොකෑ බොල
වල් වදින නිදහස තුලින්..

බෝධියෙන් බට දේවතාඑළි
තුට්ටුවට විකුණා යසින්
කොමල මුදු ලැම කෙලසලා දැන්
හෙළුව පෙන්නති සන්තොසින්
කලියුගේ සකිසඳ එසේමැයි
තාලමත් හඬගා කියද්දී
චීවරේ විවරණ මොටෑ බොල
එතෙරවෙන්නට ජීවිතෙන්..

මවු මරා ලියනා අපේකම
බොල් හඬින් වැයෙනා සරින්
ඒ යසයි කියමින් නටන මුත්
සොහොන තම බැව් නොම දනිත්
කල පවින් මිරිකී හඬන උන්
රියසකින් සසරේ ඇදෙද්දී
නිවට නරි රජකම් කැපයි බොල
පණ අදින ජාතිය මතින්...


ලියා එව්වේ - Dilan Dadevil (http://dilandadevil-poems.blogspot.com/)

Tuesday, February 22, 2011

තංගච්චි

තංගච්චි, මම උඹට වෙඩි තිබ්බා......

මට කියලා දීලා තිබුනු විදිහටම මම උඹට වෙඩි තිබ්බා......

උඹ අයිති උන්ට නිසා මම උඹට වෙඩි තිබ්බා............

උඹත් මට වෙඩි තියන්න බලාගෙන ඉන්න ඇති........

උඹට උන් කියලා දීල තිබුනු විදිහටම,

මට වෙඩි තියන්න උඹ බලාගෙන ඉන්න ඇති........

ඒත් මම අද ඉස්සර උනා.....

උඹලගේ බංකරේ කුඩු වෙලා යන්නම මම වෙඩි තිබ්බා.......

උඹ වකුටු වෙලා මැරිලා ගල්තලාවක් උඩ.......

උඹේ සඟයෝ රොත්තත් එක්කම උඹ මැරිලා........

උඹට, මට වෙඩි තියන්න ලැබුනේ නෑ...........

උඹ වකුටු වෙලා ඉන්නේ වේදනාවටද.......?

නැතිනම් බඩගින්නටද..........?

උඹ මැරෙනකොට උඹේ අතේ තිබුනේ තුවක්කුව නෙමෙයි........

උඹ අතේ ගුලි කරගෙන හිටියේ,

දවස් ගානකට පස්සෙ උඹට කන්න ලැබිච්ච පාන් කාල..........


ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

Monday, February 21, 2011

එහෙදී සහ මෙහෙදී

සමහර අය අවුරුදු 10 - 12 පිටරට සිට ලංකාවට පැමිණෙයි. පසුව ලංකාව තරං සුන්දර රටක් නැතිය කියා මෙහේ සිටන අයට දේශනා දෙන අතරේ තමන් සිටි රට ගැන පොර ටෝක් දෙති. හරියට ඒ රටේ ඉපදුනාක් මෙනි. ඒ රටේ නං මාර්ග නීති අකුරටම ක්‍රියාත්මක වෙයි කියමින් මෙහේ කහ ඉර පෙනි පෙනී වෙනතැන් වලින් ඔහේ පාර පනියි. කහ ඉර මැදම තමන්ගේ වාහනය නවත්වයි. එහේදී නං බීලා වාහන එලෙව්වොත් සොරි ඩොට් කොම් කියමින් මෙහේදී කන සාක්කුවට වැටෙන තුරු බී වාහන එළවයි. එහේ නං පාරේ කුණු පොදක් වත් නෑ කියම්න් මෙහෙදී කන බොන සියළුම දේවල් වල කොල, පැකට්, කඩදාසි ඔහේ පාරට දමයි. ලංකාව මෙතරම් සමච්චල්ද?


ලියා එව්වේ - තිළිණ - (thilinabuwa.blogspot.com)

Sunday, February 20, 2011

ආරච්චිකරණය®....

....................

කවුදෝ ලියපු ආදරේ ගැන සටහනක්...

කියවද්දි දැණෙනව...

ඇත්තමයි... ආදරේ වගේමයි....

මම ඇස් පියාගත්තා.

දැණුනා ඇගේ කෙස් රොදක පහස... මීදුමක් වගේ සියුම්ව...

....................

අදත් උදේ කෑමට ආදරේ...

මම බොහොම නිදහසෙන් ඉගිල්ලුණා මාවවත් නොදැණෙන සැහැල්ලුවකින්...

මල් කිණිති වල සුවඳ අද තරම් දැණිල නෑ මට...

....................

අදත් ආදරේමයි....

ඒත් අඬන්න ළං වෙලා... මොකක්දෝ අවුලක්!

කවුදෝ හිත රිදවල ගිහින්... හිත කීරි ගැහෙන මුස්පේන්තු හැඟීමක් එක්ක තනි වෙලා...

....................

අයියෝ... අදත් උදේ පාන්දරම ආදරේ හොටුත් පෙරාගෙන....

දුක නිවෙනකල් අඬපුදෙන්...

....................

ඇති යන්තං අද ඇඬිල්ල නැවතිලා...

ඒත් වචන වලින් වැලපෙන්න අරන්...

ඉවරයක් නැති කියවිල්ලක්...

....................

ෂිට්!

අද වෙ‍නමම කෙනෙක් දුක කියවන්න අරන්...

මුල ඉඳන්...

...................

හයියෝ...

හැමෝටම ආදරේ දැණෙන විධිය ආරච්චිකරණය® වෙලා...


ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

Saturday, February 19, 2011

මට අහිමි....

සඳ...
අයිති අහසට
මුත්...
සඳ එළිය
ම‌ට දැනුණා...
ඉරට අහසට ‌
හොරෙන්
මං....
සඳ එළිය වින්දා...

සීමා මායිම්
නොපෙනන තරම්ම...
සඳ
මට
ළඟ බව දැණුනා...

උණුසුම වගේම...
උහුල‌ගන්න බැරි තරම්
‌දුක දැණෙන...
අමාවක රෑ වරු ගණන්...
කඳුළු එක්ක
පහන් වූ නමුදු
මම සැනසුණා...

දින ගණන් ගෙවුණා...

එක සඳ මෝදූ වුණ...
ඇසළ මහ රෑක‌
අහස් කුස ‌සඳ එළියෙ
පුං‌චි තරු‌ කැටයක්
දැල්වුවා...
සඳු තුටින්
ආකහේ දිලිහුණා...

මගේ රෑ දිගු වුණා...
කඳුල ඇස් ළං වුණා...

හීන් සීරුවට...

මගෙ වගක්
සඳුට
අමතක වුණා...

අන්තිමට...
හැමදාම මා එක්ක ඉන්න
දිවුරාපු
සඳ...
අහසත්, තරු‌ කැටත් එක්ක
දුර ගියා...

මම
මන්දාරම් අඳුරෙ...
සඳ
මතකයන් එක්ක
තනිවුණා...


ලියා එව්වේ - සු

Friday, February 18, 2011

පිචෑර් බැලිල්ල..

"සීයේ සීයේ ටවුමේ මාර පිචෑර් එකක් ඇවිල්ල අන්න.. අපි යමුකො බලන්ට."

"අනේ බං කොලුවො මේ වයසට මං කොහොමෙයි ඔය පිචෑර් බලන්නේ... ඔය කවි බණක්
අහලා තොරණක් කාරිය බලාගෙන ඉන්නවා මිසක."

"අනේ සීයේ. මේ කථාවේ තියෙන්නේ තනියම කැලේ ඉන්න ගෑණූ ළමයෙක් ගැනනේ."

“කාරිනෑ.."

"මහා වඳුරු රංචුවකුත් ඉන්නවාලු ඒ ගෑණු ළමයගේ තනියට."


"හ්ම්."

"ඒ වඳුරු රංචුවේ නායක වඳුරෙකුත් ඉන්නවා. හරියට අර නලපාන ජාතකේ වගේ."

"හ්ම්…"

"ඒ කට්ටිය එකතුවෙලා හරි හරි වැඩ කරනවාලු සීයේ.."

"හ්ම්.. හ්ම්..."

"වැඩේ කියන්නේ සීයෙ ඒ ගෑණූ ළමයා පිචෑර් එක ඉවර වෙනකම්ම ඇඳන් ඉන්නෙ පොඩිම
පොඩි රෙදි පටි කෑල්ලක් විතරයිලු.."

"එහෙනං යමංකෝ කොලුවෝ. කාලෙකින් වඳුරු රැලක් දැක්කෙත් නෑ නොවැ...”


ලියා එව්වේ - අමිල ගම්මුදලි

Thursday, February 17, 2011

A sunset for two

can I please order
a sunset for two?
with a sliver of crescent moon
and a sprinkling of stars- thank you,
some pickled orange clouds?
and a platter of white mist?

oh, also a lonesome beach,
the sandy- pebbly kind
just as to make sure
that the sunset’ll be worthwhile

and a special shooting star
by the end of the meal?
just to make a wish
to sign off the deal?

but please hold the sadness
none of the tears too
for this’ll be a party
from where all dreams come true

a very special sunset
a sunset for two


ලියා එව්වේ - මලිති (http://sathsihina.blogspot.com/)

Wednesday, February 16, 2011

මංගල ඇරයුම් පත

මුහුදු වෙරළ අයිනේ.. ඔයයි මායි.. වැටකෙයිය මුලක් උඩ වාඩි වෙලා

මගේ අතේ තිබුනේ ඇරයුම් පතක්.. ඔව් ඒ ඔයාගෙ මංගල උත්සවයට.

ඔයා මේක දෙන්නද මට එන්න කිව්වෙ ?

අපි ආයෙ මෙහෙම කවදාවත් හම්බෙන්නෙන් නැහනේ. ඒකයි අයේශ්.

ඇයි මේක එතකොට ?

ඇයි ඔයා එන්නෙ නැද්ද මගේ වෙඩින් එකට ?

මම කොහොමද එන්නේ ?

ඇයි ඔයා ආස නැද්ද මම මනමාලියක් වෙලා ඉන්නව බලන්න ?

ඒ මුහුනේ තිබුනේ ප්‍රශ්නාර්ථයක්ද ? පසු තැවීමක්ද ?

ආසයි. ඒත් වෙන කෙනෙක්ගෙ නෙමෙයි. මගේ.

ඔයාට මාව දැන් අයිති වෙන්නෙ නැහ අයේශ්.. ඔයා පරක්කු උනා වැඩියි. ඒත් ඔයා එන්න මගේ වෙඩින් එකට.

පසුව ලියමි : තව මාස කීපයකින් වෙන සිදුවීමක්.


ලියා එව්වේ - පිස්සා පළාමල්ල (http://palaamalla.blogspot.com/)

Tuesday, February 15, 2011

රථය

මම හිරිවැටුණු සීතලේ දුවමින් හිටියේ රථය අල්ලාගන්න. අවුරුදු දහයක් තිස්සේ දැකපු රූපයක් වෙනස් විදිහට පෙනෙන්න අරන්. පටන් ගැනීමම වියෝගයක ලකුණු. අසාමාන්‍යය මිත්‍රත්වයක් ප්‍රේමයක් බවට පරිවර්තනය වීමක්. උත්ප්‍රේරකය "මියයමින් පවතින ප්‍රේමයක්" වීම ම තමයි අහම්බය.

දුම් දමාගත් වාහනය අපට සමීප වුණා. අප ය කියා කීවෙ ඒ වෙද්දි ඔහු සමීපයටම ඇවිත් හිටිය නිසා. වසර දහයක් තුල නොවුණු විදිහට අත්-හිත් පැටළුණා. පුංචි කාර්යාල කාමරේදි පළමු සිප ගැනීම. ප්‍රේමයට ඊට වඩා දුර ගමනක් තියෙන්න පුළුවන්ද? හීතලට ගල්වුණු සර්වාංගය ගිනි තබමින් ඔහු වචන එකතු කලා. "නවතිමු අමා". මං දුවගෙන ගිහින් දුම් දමන වාහනය උඩින් හිත තිබ්බ. ඒක ගිනි ගනිමින්, ආයෙ නම් සිසිලන කාරක එපා එපාමයි!

ලියා එව්වේ - වීතරාගී (http://wiitharaagii.blogspot.com/)

Monday, February 14, 2011

මම Vs ඌ

මචං
හ්ම්...
යමං දැන්
ම්හු..
යමං දැන් ඇති
ම්හු...
කොහොමට හිටපු එකෙක්ද උඹ.. අඩු ගානේ උඹ ඒකිගෙන් ඇහුවද..?
ම්හු..
කෙල්ල උඹට කැමැත්තෙන් හිටියද..?
හ්ම්..
ඒකි කිව්වද..?
නෑ බං, මට තේරුනා
ඇයි යකෝ උඹ ඇහුවේ නැත්තේ..?
උඹ දන්නවනේ..
අරූ නිසාද..?
හ්ම්..
ඌ කැමැත්ත ඇහුවට, ඒකි ඌට සින්න වෙනවද. ඇරත් ඒකි මුකුත් කියල නෑ..
ඒත් ඌ මගේ කව්ද කියලා උඹ දන්නවනේ.
හොඳම යාලුවා කියලා මැරෙන්නද..?
ඒකි ආයේ මාත් එක්ක කතා කරන එකක් නෑ බං.. මම එයාට බැන්න..
හේතුව..?
හේතුවක් නෑ...
ඒක තමයි අරූ කට කනේ තියං අවේ.. ඒකි ඌට හා කියලා
හ්ම්...
යමං යන්න
තව එක වීදුරුවයි..
දැන් ඇති යමං
උඹ පලයං...

ලියා එව්වේ - බූටා

Sunday, February 13, 2011

That’s how I kiss you good night....

I will give up this night for the devotion
Just to feel you down deep in my heart
I will give up these lifeless emotions
Before these tears will shred me apart

I will give up my dreams for the affection
Cause that’s how I kiss you good night
I will give up my hopes for an ascension
Yet this love will just keep us alive

When everything seems like they are falling
This love may guide you through charms
When you are lost, and when its all seems broken
Then I will hold you from both of my arms

ලියා එව්වේ - Dilan Dadevil (http://dilandadevil-poems.blogspot.com/)

Saturday, February 12, 2011

බලු ටෝක්

"අඩෝ ටොමී, කොහෙද මේ ආත බූත කාඩෙගෙන දුවන්නෙ...?"
"ආහ්... බූලා, කොහොමද මචං. හුඟ දවසකින් එළියට ආවෙ... පහුගිය දවස්වල බැඳලමයි හිටියේ....!"
"ඒ මොකෝ බං... උඹව එහෙම වෙනදට බැඳල තියන්නෙ නෑනෙ...!"
"ඒක තමයි බං... මේ මිනිස්සුන්ගෙ හැටිනෙ... ඊරිසියාකාර හැත්ත... මම රැළේ යනවළු...!"
“ඇයි උන් කියලා අපිට බැල්ලියෝ ගෙනැල්ලා දෙනවද.........?”
“ඒකනෙ කියන්නෙ... කාට කියන්නද බං..........?”
"මොකෝ බං උඹ කහන්නෙ..? ඇඟේ මැක්කොද...?"
"මැක්කෝ...? පිස්සුද බං...? මගෙ ඇඟේ එක මැක්කෙක්වත් හිටියේ නෑ කියලා උඹ දන්නවනේ..!”
“එහෙනං කහන්නෙ මොකද උකුණොද...?
“ඊයෙ අපේ ගෙදර ගෑනි මාව තුරුළු කරන් හිටියනෙ... මගේ බූල් වලට ඒකි හරිම ආසයි......!”
“ඕක තමයි බං කියන්නෙ, මිනිස්සුත් එක්ක ලැග්ගොත්, උකුණොත් එක්ක නැගිටින්න වෙනවා කියලා....!”

ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

Friday, February 11, 2011

ඔබ

මා හට පළමුවෙන්ම හමුවූයේ පෙරපාසලේදීය. එදවස මා හට නිසැක මතකයක් නොමැති වුවත් ඔබගේ මුව අද මෙන් මතකය. පසුව ඔබ හා මා එකම විදු බිමකට පා තැබුහ. එකල මා සිත් තුළ වූයේ ඔබ කෙරෙහි කැමැත්තකි. පන්ති කාමරයේදී, ක්‍රීඩා පිටියේදි ඔබ ඉදිරියේ වීරයෙකු වීමට ආසා කළෙමි. වයසින් මුහුකුරා එන විට එම කැමැත්ත ආදරයක් බවට පත්වූයේ කෙසේදැයි අදද මා නොදනිමි. ඔබ හට එම ආදරය පැවසීමට ගත් සෑම උත්සාහයක්ම එකල නිශ්ඵල විය. කාලයාගේ ඇවෑමෙන් මාගේ ජීවිතයද ප්‍රශ්ණ තුළ පැටළුණි. ඔබද නොසිතූ මොහොතක දුර ඈතකට නික්මුනේ පාසලද හැර යමිනි. තොරතුරක් සෙවීමට එකල මා හට හැකියාවක්ද නොතිබුණි. අද මා ඔබව සොයමි. ඒ ඔබට ඇති ආදරයේ නාමයෙනි.

ලියා එව්වේ - මාලක රත්නායක

Thursday, February 10, 2011

අසම්මතය

"ඔයා මගේ ජීවිතේ කවුද?"
"මං දන්නේ නෑ"
"එතකොට මං ඔයාගේ කවුද?"
"දන්නේ නෑ"
"ඔයා මාත් එක්ක ඉන්නේ අපේ විභාගේ ඉවර වෙනකන්ද?"
ඈත මැයි ගහ දිහා බලාගෙන ඔහු නිහඩවම අහස පොලොව ගැටලන්න හදනවා.
අපිට උත්තර නෑ.
විශ්වවිද්‍යාලය ඇතුලේ ඉපදිලා පිට වෙන්නට කලින් ඇතුලෙම මියැදෙන පෙම්වතුන්ද අපි?
එකට වැඩ කරන නිසා, එකට කන්න යන්න නිසා, හැම තිස්සෙම යන්නේ එන්නේ එකට නිසා අපි පෙම් යුවලක් විදියට හැමෝම නම් කෙරුවට අපි ඇත්තටම පෙම්වතුන්ද?
මිනිස්සු හරි පුදුමයි..
ගැනු ළමයෙක්ගේ හොඳම යාළුවා පිරිමි ළමයෙක් වෙන්න බැරිද?
එක අසම්මතයක්ද? ඒ අසම්මත ලෝකේ අපිත් මිතුරුකමයි, ප්‍රේමයයි පටලවා ගෙන උත්තර හොයන එක වැරදිද?
"ඔබ මගේ හොදම යාළුවා"
"මමත් එහෙමයි"

ලියා එව්වේ - ජනනි අමරසේකර (http://sweetdwelling.blogspot.com/)

Wednesday, February 9, 2011

"අ" යන්නෙන් "අ ල ක් කු"

මේ බලන්න චූටි පුතේ... "අ" යන්න අම්මා..

ආ... චූටි පුතා කියන්න බලන්න "අ" යන්න.... මේ ඉන්නේ අ..ම්.මා

ඊයේ රෑ යාලුවෝ කට්ටිම බෝතල් දෙක තුනක් හිස් කරනකල්ම නට නටා.. හිටපු පොඩි එකා, දැන් මොකද මූ කට හොල්ලන්නෙ නැත්තේ. කට්ටිය වටවෙලා ඉන්න නිසා බයවෙලාද?

"ම්..හ් අම්මා කිව්වේ නැත්තන් අලියාහරි පෙන්නන්න කිව්වා" පොඩි එකාගේ අම්මා මිතුරාගේ කනට කරලා කිව්වා...
මෙන්න පුතා අලියා... "අ" යන්න අලියා

පොඩි එකා පොල්තෙල් පහන දිහා බලාගෙන ඉන්නවා.. සද්දයක් නෑ. අම්මටයි තාත්තටයි ෆුල් අප්සෙට්


මෙන්න පුතේ "අ" යන්න.... පොඩි එකාගේ අම්මා කිව්ව විතරයි ලග තිබුන පොල්තෙල් බෝතලය දිහා බලල හිනාවෙලා පොඩි එකා කිව්වේ එක වචනයයි

"අ ල ක් කු"

ලියා එව්වේ - නොම්මරේ (www.nommaraeka.blogspot.com)

Tuesday, February 8, 2011

තව මොනවා හංගන්නද?

සමහර විට මේ ගෙවෙන්නෙ
ඔයාගේ නිහඩ බව බිදෙන
අන්තිම දින කීපය....
කරණා එකින් එක
හෙමීට මතු වෙලා
හිතටත් නොදැනීම වේගවත් වෙන
හිතේ ගැස්ම මොනතරම් නම්
දෙගිඩියාවක් මවනවද?
හැම දෙකටම අලුත් ඇරඹුමක්...
අලුත් පිටුවක් පෙරලන්න
කාලය ඇවිත් වගේ....
හිතේ තෙරපෙන අහිංසක හීන
වචන වලින් සරසල
කොච්චර හංගන්න හැදුවත්
නොදැනීම එලියට පනින බව
ඇස් පනා පිට පෙනුනත්,
තව ටික දවසක්, තව පැය කීපයක්...
දෙගිඩියාව මගේ හිතට
හීන සගවන්න බල කරනවා...
එළබෙන බිනර මාසයේ,
මගේ හීනේ කිරුළු දරන්නට
එකම එක හිනාවයි අඩු
ගොඩක් කල් ගත නොවී
ඒ සිනහ දකින එක
තමයි මගේ හීනේ
තව මොනවා හංගන්නද
හැම දේම හොදින් වෙයි
මට ඒක දැනෙනවා....

ලියා එව්වේ - මහේෂ් හෂාන්ත සිල්වා (http://asipiyakamahima.blogspot.com/)

Monday, February 7, 2011

ජාත්‍යාලයට මෙඩිකල් එකක්!

අමාරුවෙන් හිටගෙන හිටපු සමාලි ඉවසන්න බැරිම තැන ඉඳගත්තෙ පසුබිමින් ඇහෙන ජාතික ගීය අමතක කරලා....

කුසේ ගෑස් අදත් ඇයට කරදර කරන්න අරන්...

උදේ දරුණුවට තිබුණෙ නෑ. කවුද හිතුවෙ කාර්යාලෙට ආපු ගමන් මේ තරම් වැඩි වෙයි කියලා...

සමාලි කුසට අත් දෙක තද කරන් මේසෙ ඔළුව තියාගත්තෙ ඉවසන්න බැරිකමට...


...............................


තර්ක විතර්ක ගැරහීම් ගොඩකට පස්සෙ සමාලිට කැඳවීමක් ලැබුණා.

“ජාතික ගීය වැයෙද්දි නිදාගෙන හිටපු එක බරපතල වරදක්”

අධ්‍යක්ෂතුමා කණ්නාඩිය ගලවලා පිහිදන ගමන් සමාලි දිහා බැලුවෙ රවාගෙන...

“වසම වැරැද්ද මේක ටීවී එකේ පෙන්නපු එක... දැන් අමාත්‍යංශෙ ලේකම්තුමා මගේ ඔළුව කන්න යනවා...”

සමාලිගෙ ඇස්වලට කඳුළු ඉනුවා...

“මෙඩිකල් එකක් අරන් එන්න එදා අසනීපෙන් හිටිය කියල... එහෙමවත් බේරෙන්න බලමු...”


ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

Sunday, February 6, 2011

භීෂණයේ දවසක්

"සමීර...! වරෙන් යන්න....!"

"කොහෙද....?"

"නැගිටපන්.... ද්‍රෝහියෙකුට පාඩමක්....."

"මට බෑ... කමල්ව එක්ක පලයන්....."

"අද උඹේ වාරේ..."

"කවුද.....?"

"ප්‍රාදේශීය සභාවේ සභාපති...."

“දෙයියනේ... විලියම් බාප්පා.... මට බෑ යකෝ...!”

"උඹ දිව්රලා තියෙන්නෙ ව්‍යාපාරය වෙනුවෙන් තාත්තට හරි කොකා ගස්සනවා කියලා.... ගනින් තුවක්කුව..."

...............................

ටක්.. ටක්.. ටක්...

"කවුද....?"

"අපි පොලීසියෙන්, ඇරපන් දොර.... නැත්නම් කඩනවා..."

ක්‍රීස්.......!

"උඹව තමයි අපිට ඕනෙ... වරෙන් එළියට... සමීර ගනින් මූව..."

"අනේ මගේ පුතා බාප්පට මුකුත් කරන්න එපා....."

"සුනිලා නැන්දේ දොර වහගන්න......."

“ඩෝං.........!!!!!”

"දෙයියනේ, පුතේ උඹේ පෙකණි වැල කැපුවෙ මගේ මේ අත් දෙකෙන්.... උඹේ අම්ම නැති උන වෙලේ උඹට කිරි දුන්නෙ මගේ තනෙන්..... උඹ ඇයි මගේ මිනිහව මැරුවේ...?"

“මට සමාවෙයන් මගේ අම්මේ....”

“ඩෝං...”

“සමීර.....!!!!!!”


ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

Saturday, February 5, 2011

නොලිව් ගීතය..

ඇයට තියෙන්නෙ ඉතාම ලස්සන දෑසක්. මම ඒ දෑසට ආදරේ වුණේ නොදැනුවත්වම.
ඒත්…
ඇය කවදාවත් මගේ වෙන්නෙ නැහැ. ඒ නිසාම මම වෙනත් තැන් වල හිත අලවන්න සෑහෙන උත්සාහයක් ගත්තා...
ඒ හැම එකක්ම ඇයටත් කිව්වා ඇයව ඉරිසියා කරවන්න…….
ඇයත් මට ආදරෙයිද දැන ගන්න.....
මම තවම ඒක දන්නෑ.
සුපුරුදු පරිදි අද උදෙත් අපි මුණ ගැහුනා. මම ඇයට පේන්න වෙනත් ගෑනු ළමෙක් දිහා උනන්දුවෙන් බලලා 'ලස්සනයි' කිව්ව. ඈ හිනා වුණා.
'මට අද කෑම නැහැ…..අම්මට සනීප නැහැනෙ' 
බසයේදි මම කිව්වා.
ඇය තිගැස්සුනා.
කතා නැතිව ඇගේ කෑම පාර්සලය බෑගයෙන් අරන් මට දුන්නා. අපේ ඇස් හමුවුණා.
ආදරය කියන්නේ ‘අයි ලව් යූ’ කියනවට නෙවෙයි කියල මට තේරුණා.

ලියා එව්වේ - ගීත්

Friday, February 4, 2011

ප්‍රේමයක් නිමා වූ සඳ..

මගෙ  හොඳම යාලුව ගෝතමී, යාලු වෙලා හිටියෙ  රොෂාන් එක්ක, ඒක රාමා සීතා වගෙ ප්‍රේම කතාවක්,
ඒ ලෙවල් කරද්දි මම ඕස්ට්‍රෙලියාවට ගියා,  පස්සෙ යාලුවො ගැන මොනවත් ආරංචියක් නැති උනා,
ලංකාවට ආවම මම කලේ මුලිම්ම ගෝතමී ඉන්න තැන හොයපු එක,
පස්සෙ ඔන්න ආරංචියක් ආවා,
මම ගෙදර හොයාගෙන ගියා, ගෝතමී දොර ඇරියා,
"අජන්තා"  
එයා මාව බදාගෙන ඇඬුවා,
"මොකද ලමයෝ,උනේ"  
මම ඇගේ දෑසට එබිලා ඇහුවා
"ඔයා දන්නවනෙ රොෂානුයි මමයි කොච්චර ආදරෙන්ද හිටියෙ කියල? අපි දෙන්නම කැම්පස් ගිහිල්ල අවුට් වෙනකනුත්  පුදුම සන්තෝසෙකින් හිටියා "
"ඉතිං?" 
මම ඇහුවා,
"ඊට පස්සෙ අපි දෙන්න බැන්දා,"
මොනවද කියන්නෙ කියල හිතාගන්ඩ බැරිව, මම ඇඟේ කඳුලු පිරි දෑස දිහා බලං හිටියා,

ලියා එව්වේ - රවී වීරසිංහ

Thursday, February 3, 2011

රතු කට්ට..

හත... අට.. නවය..
මම අන්ධකාරෙ ඇස් ඇරගෙන, තත්පර ගණිමින්, ඈට සවන් දෙන වගත් හඟවමින්.
ඈම මට අරන් දුන්නු ඔරලෝසුව. මගේ ඇ‍‍‍‍‍ඳ ගාව බිත්තියේ එල්ලපු...
ළඟදි ඉදල ඒකෙ තත්පර කටුව දුවන සද්දෙ මට ඇහෙන්න පටන් අරගෙන... දුරකථනයෙන් එන ඇ‍ගේ කටහඬත් මකාගෙන.
විසි එක.. විසි දෙක... විසි තුන....
ඇය දවසේ සිදුවීම් ගැන දොඩවනව.
උදේ අම්ම බැන්නලු. බස් එක කැඩිල අද ගෙදර එද්දිත් රෑ උනාලු.
තිස් අට.. තිස් නවය.. හතලිහ....
මම ඈට හූමිටි තියමින්ම තත්පර ගණිනව. 
හැමදාම දහස් ගණනක් ගැන්නත් එකම වටයකම දුවන තත්පර.
පණස් පහ... පණස් හය...
“ශානි”
පණස් අට වෙනි තත්පරේදි මම ඈව ඇමතුව.
“ම්ම්..”
“අපි මේ සම්බන්ධෙ නතර කරමු.”
 ලියා එව්වේ - Raven (http://www.sihinasewanali.blogspot.com)

Wednesday, February 2, 2011

වැස්සට හේදුණු හීන..

මුරුගසන් මහ වැස්ස දෙපත් කපාගෙන ඇද හැලෙද්දි ගොයම ගැබ්බර වෙලා අස්වනු නෙළන්න ඔන්න මෙන්න තිබුණෙ. මාස ගාණක් තිස්සෙ ගොඩ ගැහුව බලාපොරොත්තු සුණු විසුණු උනේ එක තත්පරේකින්.

කිරි වැදුණු ගොයම එක පිට එක මඩේ වැටිල තියෙනව දකිද්දි මට දැනුණෙ පුංචි පැටව් ටිකක් සමූල ඝාතනය කරල තියෙනව දකිනවටත් වඩා කාලකණ්නි හැඟීමක්.

ජීවිතය දෝතටම ගත්තත් ඇඟිලි අතරින් රූරා ගිහින් තිබුණා.

මහ මෙරක් උසට ගොඩ ගැහුවත් බැත, පෙරලෙන්නෙ එකම එක තඹේකට. ඒ තඹෙත් උරුම ටවුමෙ මුදලාලිට. ගිය කන්නෙ පොහොර ණය මතක් වෙනකොට, සා ගින්දරේ ඉන්න බඩවල් ගාණ මතක් වෙනකොට හිත දුවන්නෙ වහ බෝතලේට.

දරු පැටවුන්ගෙ කඳුළු ගුළිවුණු පුංචිදෑස් මතක් වෙලා හීල්ලුණේ දුකට නෙමේ අසරණකමට.

ලියා එව්වේ - පිණිබිඳු (http://lakmisher.blogspot.com/)

Tuesday, February 1, 2011

ආදරය සහ මම....

ඉමක් කොනක් නැති බියකරු සයුරෙන් දිය දෝතක් බිව්වෙමි මා......
අහෝ පුදුමයකි....!!!!
කෝ එහි තිබූ ලුණු රස....
නුඹට තිබූ ආදරය නිසාමද මන්දා එය පැනි රසට දැණුනා මතකයි.....
එහෙත්.....
අද නුඹේ අතින් හැදූ තේ කෝප්පයේ ලුණු රසක්.....
මේ මොන විකාරයක්ද.....?
මම මටම කියා ගතිමි....
දැන් මා නුඹ ගැන හොඳහැටි දනිමි....
මට මගේ ජීවිතය එපා කරවූ නුඹ....
ඔහුගේ අතැඟිල්ලේ එල්ලී යද්දි.....
දෑත් පණ තිබුණානම් මට....
එහෙත්......
අසරණ මා කුමක් කරම්ද....?
දෑත පණ ඇති කාලයේදිවත් නොලැබුණු නුඹේ ආදරය දැන් ලැබේවිද...?
මියයම්ද....? තැවි තැවී වෙසෙම්ද.....?
කුමක් කරන්නද....?
දෑත පණ නැති විට.....
තවත් විඳවන්න බැරිය මට....
නුඹ දෙන දුක් ගින්දර......
මරාදමනු මැන මාව....
අනේ හිතවතුනි කරුණාකර..........

ලියා එව්වේ - කිරිපුතා (http://kiriputha.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...