Wednesday, February 25, 2015

රැයට පෙම් බැඳ

තව පැය කිහිපයකින් හිරු උදාවන්නේ අඳුරත් මා විඳි විරහ රසයත් දෙකම එකවර මගෙන් උදුරා ගනිමිනි. ජීවත් වීම පිණිස රැකියාවකට යනු මිස මා සිත තුළ බලාපොරොත්තුවේ සේයාවක් හෝ නොමැති බව මට දැනේ. ඒ සියලු බලාපොරොත්තු එකමිටට ගෙන පාගා පොඩිකර දමා ඇය මහැර ගොස් දින බොහෝ කල්ය. දහවල රැකියාවත් සවස් කල අත්‍යවශ්‍ය කටයුතුත් සිදුකරන මා මැදියම් රැය උදාවන තුරු බලා හිඳිමි. ඒ ඇගේ මතකයන් සමග තුරුලු වන්නටය.
අතීතයේ මා විඳි ආදරය දැන් ඇත්තේ මගේ මතකයන් තුළ පමණි. එබැවින් ඒ පැරණි මතකයන් හාරා අවුස්සා යළිත් මම ආදරය විඳිමි. නමුත් එය නිස්කලංකව කළ හැකිවන්නේ ලොව නිහඬ රාත්‍රියේ පමණි. එබැවින් මම දැන් රාත්‍රියටද පෙම් කරමි.  

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Wednesday, February 18, 2015

අවසන් හමුව

නුහුරු සිතුවිලි රාශියක් තොරක් නොමැතිව සිතට ගලා එයි. ඇයට මෙය කියන්නේ කෙලෙසදැයි මා නොදනිමි. නමුත් කෙසේ හෝ මෙය අද කිව යුතුය.
නංගි මම මේ.....
මම දන්නවා අයියෙ ඔයා කියන්න යන දේ...
ඒ කොහොමද?
මම ඔයාට කළේ ආදරේ අයියේ වෙන මුකුත් නෙමේ. ඔයාගෙ වෙනස් වීමත් ඒකට හේතුවෙත් මට හිතාගන්න පුළුවන්. ඒත් ඒ ගැන හොයලා, ඔයාට කරදර කරලා බලෙන් ඔයාව ළඟ තියාගන්න මට ඕනෙ නෑ. මෙතන ඔයා දීපු සේරම භෞතික දේවල් තියනවා. කවදහරි ඔයාට මගේ ආදරේ වටිනාකම දැනෙයි. මම යනවා. හැමදාම සතුටින් ඉන්න.
මා හට කියන්නට කිසිත් ඉතිරි වී නැත. ආපසු හැරී නොබලා යන ඇය නොපෙනී යනතුරුම බලා සිට මමද නික්ම ගියෙමි.

ලියා එව්වේ - හංස සංදීප

Wednesday, February 11, 2015

උග්‍ර වාදියෝ

එකෙක් උග්‍ර මෛත්‍රීවාදියෙකි. අනෙකා උග්‍ර මහින්දවාදියෙකි. ඔවුහු තර්ක කර ගත්හ. බැණ ගත්හ. අනෙකාගේ අපේක්ෂකයාට ගැසිය හැකි තරම් මඩ ගැසූහ. ඒ වචන අතර ‍පොදු සමාජයේ අකැප යැයි සැලකෙන වචනද යහමින් අන්තර්ගත විය. පිටතින් බලා සිටියෙකුට මේ නම් ජන්මාන්තර වෛරක්කාරයන් යැයි සිතෙන තරමට ඔවුහු බැණගත්හ.

නමුත් ඔවුන් දෙදෙනා නිතරම පාහේ සිටියේ එක්වය. තේ එකක් බොන්නට පවා ගියේ එකටමය.

මේ පිළිබඳ උනන්දු වූ අයෙක් මෙසේ විමසීය.

මචන් උඹලා දෙන්නා දෙපැත්තට කතා කරපු විදියට එකට ඉන්නවා දකින එකත් පුදුමයි. වෙන උන් දෙන්නෙක් නම් ගහමරාගෙන හොස්පිටල් ඇඩ්මිට් කරලා.

මචන් මම උග්‍ර මෛත්‍රීවාදියෙක් බවත් ඇත්ත. මූ උග්‍ර මහින්දවාදියෙක් බවත් ඇත්ත. ඒත් අපි ඊටත් වැඩිය උග්‍ර මිත්‍රවාදියෝ...


ලියා එව්වේ - වර්ණ ( http://warnakulakaya.blogspot.com )

Wednesday, February 4, 2015

අසිපතක කඳුළු....

ඉස්සර මම නිකම්ම නිකම් යකඩයක්. උඹයි මට පණ පොවලා, තලලා, මුවහත් කරලා ගත්තෙ. ඒ නරුම හේවාය මාව උදුරගන්නකොට උඹේ ඇස්වල තිබුණු කඳුළු ඌට පෙනුණෙ නෑ. අඩු තරමේ දොයිතුවක්වත් උඹට විසි කළා නම්...
දැන් කියනවා උඹ රාජ්‍ය ද්‍රෝහියෙක්ලු. රාජ්‍ය ද්‍රෝහීන්ට ආයුධ හැදුවලු. කැත්තක් හදපුවාම හම්බෙන වී ටික ගන්නත් දෙකට නැමෙන උඹේ රාජ්‍ය ද්‍රෝහිකම මමනෙ දන්නේ.
කිණිහිර ගිනියම් උනේ උඹේ හිතේ ගින්දරට කියලා මමයි උඹයි උඹේ මනුස්සයයි විතරයි දන්නේ. මුන්ට ඒවාගෙන් වැඩක් නෑ. මට දුක උඹව මරන්න මාවම ගේන එක. මීට වඩා හොඳයි මහ පොළවෙම මළ කාල දිරල ගියානම්. ඇයි තාත්තේ උඹ මාව උදලු තලයක් නොකර අසිපතක්ම කළේ..
මට සමාවෙයන් කම්මල්කාර තාත්තේ....

ලියා එව්වේ - වර්ණ ( http://warnakulakaya.blogspot.com )

Related Posts Plugin for WordPress, Blogger...