Tuesday, November 30, 2010

ස්තූතියි ඔබ සැමට... !


මිනිසා යනු එක්ව වෙසෙන සත්ත්ව විශේෂයකි. එය මිනිසා “මිනිසා” බවට පත්කල ප්‍රබලම සාධකයකි. මේ නූතන යුගයේ ඔවැනි ඉතිහාස කතා ගණන්ගන්නා, උගන්නා අය ඇත්තේ අඩුවෙනි. ඒත් සාමූහිකත්වය නිරන්තරයෙන්ම ජයග්‍රහණය වෙත මිනිසා මෙහෙයවන ප්‍රබල උත්ප්‍රේරකයකි.

එය අද අපි නැවත සනාථ කලෙමු.

කොළඹ රාජකීය විද්‍යාලයීය සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද අසෙනිය කුසුම 2010 බ්ලොග්කරණ තරගාවලියේදී වසරේ හොඳම බ්ලොග් අඩවිය ලෙස one|zero|zero සම්මානයෙන් පිදුම් ලදී.

සියය ගණින අපි මේ කවුළුව ඔබට විවර කරන්නට ලැබීම ගැන නිරහංකාරව අප්‍රමාණ සතුටක් ලබමු. එහෙත් මේ ගෞරවය one|zero|zero වෙත ලියූ, කියවූ, අදහසකින් දිරියක් වූ ඔබ සැමගේය.

මේ one|zero|zero ‍ලද ජයග්‍රහණය වෙනුවෙන් ඔබ සැම වෙත පිදෙන අපගේ උණුසුම් උත්තමාචාරයයි!

ලියා එව්වේ - සීය ගණින අපි (http://onezerozerowords.blogspot.com/)

Monday, November 29, 2010

මාරු කාසි

“අනේ මිසී රුපියල් දහයක් මාරු කරලා දෙන්නකෝ. ‍පහේ කාසි දෙකක් ඇති”
වැඩේ නවත්තලා බැලුවේ මංගලිකාගේ කට හඬට..
“ඇයි මංගලිකා අක්කේ කාසි?”
“කෝල් එකක් ගන්න මිස් ගෙදරට”
“මෙහේ කොයින් බොක්ස්?”
“පාරේ තමයි තියෙන්නේ”
පහේ කාසි මං කාටවත් නොදෙන්නේ හේතුවක් ඇතුව.. ඒත් නෑ කියන්න බැරි නිසා ලඟ තිබුනු පහේ කාසිය දීලා දැම්මා දහය නොගෙනම.. ඒ මනුස්සයා වැඩට ඇවිත් තියෙන්නේත් අපි ඉපදෙන්නත් කලින්.
“ෆෝන් එක කැඩිලා මිසී. ආ..”
“කෝ දෙන්න බලන්න නොම්බරේ”
....
“මේ නම්බර් එක කනෙක්ට් කරලා දෙන්න”
“පර්සනල් ද?”
“නෑ ඔෆීශියල්”
...
ගොඩක් ස්තූතියි මිස්..
දුවගේ පන්ති සල්ලි දෙන්න බැරි උනා ඒකයි තියෙන තැන කිව්වේ.
සල්ලි නැතුව පන්ති යන්නත් බෑනේ දැන්

ලියා එව්වේ - මලී (http://abnormalminds.blogspot.com/)

Sunday, November 28, 2010

මම දැනගෙන හිටියා ඔයා බොරුකාරයෙක් කියලා

කෝ ඔයා උණ බට,උක් ගස් ගොඩාක් ගේනවා කිවුව නේද...?
අනේ රත්තරන්... අමතක උනා...
ඔයාට.... මං මග බලන් ඉන්නවා කියලා....?
දෙවියනේ..... ඔයා ඇරෙන්න හැමදෙයක්ම අමතක උනා
මට මුකුත්ම නැතිවට කමක් නෑ...
පොඩ්ඩක්වත් දුක හිතුනේ නැද්ද?
ඔයා ආවා මට ඒ ඇති...
ඔයා දන්නවනේ පැන්ඩෝ..... මං ඔයාට ජීවිතේට එක බොරුවක් කියලා නෑ
අපෝ.... මං නොදන්නා ඔයා... ඔයා කට ඇරියොත් කියන්නෙම බොරුමයි
ආදරේටනේ..... එහෙනම් දුවල ගිහින් බලන්න මං ඔයාට ගෙනාවේ මොනවද කියලා
පිස්සා.... මං දැනගෙන හිටිය ඔයා මහා බොරුකාරයෙක් කියලා.....
මං හැම තිස්සෙම හිතනවා කියලා..... දැන් වත් තේරුනාද?

[දෙයියනේ.... එකනේ කොච්චර අඩුපාඩු තිබ්බත් යන්න හිතනකොට මගේ හිත ගැස්සෙන්නේ.... මං නැති උනොත් මේ පිස්සා මැරෙයි...]

ලියා එව්වේ - මහේෂ් හශාන්ත සිල්වා. (http://asipiyakamahima.blogspot.com/)

Saturday, November 27, 2010

දාර්ශනිකයාගේ ප්‍රේමයට පසු!

එතකොට ආදරේ වචනයක් විතරයි ඈ...
අවුරුද්දකට කලින්නම් මොනවද කිව්වේ?
ජීවිත කාලෙම ආදරේ කරන්නම්... මැරෙණකල් ආදරෙන් ඉන්නම්... කිසිම දුකක් දැණෙන්න නොදී බලාගන්නම්...
ෂික්... මෙහෙමත් පිරිමි!


මාගේ දාර්ශනිකයාගේ ප්‍රේමය නම් සටහන කියවා ඇය පුපුරා ගොස් ඇත. මම ඇය අස්වැසීමට නෙක ආයිත්තම් ගෙනහැර පාමි.

ළමයො ඒක කතාවක් විතරයි... ආදරේ කියන්නෙත් වචනයක් නෙවෙයිද ඉතිං? වැදගත් වෙන්නෙ වචන නෙවෙයිනේ...

හුහ්! ඒ පාර තව කතාවක් කියනව... ම‍ට ඔයාගෙ බයිල ‍තේරෙන්නෑ අනේ... අන්තිමේ මම රැවටෙන එක විතරයි!

ඇය ඉවත බලාගත්තාය.

ඒකෙ තියෙන්නෙ දාර්ශනිකයෙක්ට හිතෙන හැටිනේ පැටියෝ...

ඒ වුණාට ඔයානෙ ලියල තියෙන්නේ...

ඉස්සර හාමුදුරුවොත් ගෑණු ගැන ලිව්වේ...?
මටත් දාර්ශනිකයෙක් ගැන ලියන්න පුළුවන්නේ...
කොහොමත් ඉතිං මම දාර්ශනිකයෙක් නෙවෙයිනෙ සුදු...


ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

Friday, November 26, 2010

තැලෙන යකඩෙට දෙපාරක් වද දෙන්න ඕනිද

කොලුවෝ……………
ඇයි බාසුන්නැහේ.....
මෙන්න මෙහෙ වරෙන් ඇවිත් ඔය මයින හම ඇඳපං.........
ඇයි ඔය යකඩේ රත් කරන්නේ
තලාගන්න ලේසිනේ බොල... රතුපාට වෙනකංම රත් කරාම තලාගන්න ලේසියි කියල බොට මං කියල තියනව නේද?.. කටවහගෙන ඕක ඇදපිය
ආහ්.. දැන් ඒක ගිනියම් වෙලා.. රතු පාටයි... ලේ වගේ වෙලා
හරි දැන් විගහට ගිහින් අඩුව ඇන්න වරෙන්………..
දැන් අල්ලපං ඕක අඩුවෙන්……….
මාමේ..
ඇයි බං.. වද දෙන්නේ ඕක හයියෙන් අල්ලං හිටපිය..
ඔය තරන් හයියෙන් යකඩෙට ගහන්න ඕනිද මාමේ...
නැතුව කොහොමද බං මේ යකඩේ තලා ගන්නේ…….
ඔය තරන් හයියෙන් ගහනවා නන් මාමේ ඇයි යකඩේ රත් කරේ
තැලෙන යකඩෙට දෙපාරක් වද දෙන්න ඕනිද මාමේ………………
කටවහගෙන කියන මං දේ කොරපිය…………..

ලියා එව්වේ - මගේ සඳ (http://magesanda.blogspot.com/)

Thursday, November 25, 2010

බාලේ බැඳි ආලේ

එවිට මට යන්තම් අවුරුදු දාහතරයි, ඇයත් මගේ වයසේමයි.
අපි මුනගැසුනේ පංසලේ පවත්වපු උපකාරක පන්තියේදි.
ඇය අපිට ඉංග්‍රීසි සහ සිංහල උගන්වපු සර්ගේ දුව.
ආදරය මෙන්න මෙහෙමයි.
මට කියල දුන්නෙ ඇය.
පන්තියේදි අපි ඇස්වලින් කතා කලා.
සඳක් වගේ ලස්සන ඇගේ මුහුනේ මැවෙන්නෙ ලස්සන හිනාවක්.
පහුගිය මාසයෙම ඇය පන්ති ආවෙ නැහැ.
ඇයි එයා පන්ති ආවෙ නැත්තෙ.
අන්තිමටම ආපු දවසෙ ඇය මට ආපහු එන්නෙ නෑ කියලා ගියේ නැහැ.
බැරිම තැන ඇයගේ හොඳම මිතුරියගෙන් ඇහුවා.
“ඇයි එයා පන්ති එන්නෙ නැත්තෙ..?”
එයා හිනාවෙනවා.
මම ආයෙත් ඇහුවා. “ඇයි එයා එන්නෙ නැත්තෙ..?”
"එයා ලොකු වෙලා"
"මොකක්..?"
"එයා ලොකු වෙලා"
"මොකක්ද මචන් ලොකු වෙනවා කියන්නෙ..?"
මම මගේ යාළුවාගෙන් ඇහුවා.

ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

Wednesday, November 24, 2010

කඩඉමෙන් එහා

ඉගිලෙන්නට හිතයි
පියාපත් විහිදා
මේ ප්ලාස්ටික් සිහින වලින්
තව ටිකක් ඔබ්බට
මෝහයේ නිද්‍රාව
ගත වෙලා ගන්නට කලින්
එකම එක සැරයක්
ඔය දෑස් හැර බලන්න
රුදු වස්සානයෙන් සේදී ගිය
ඒ වසන්තය දිහා
තැලී පොඩිවී මියැදුනු
සමනල පියාපත් වල ගීතය
ඔහේ දෝංකාර දෙන හැටි
ගොම්මනේ විලාපයටත් උඩින්
මොකද මේක අපේ කථාවයි
සිතිජයෙන් එහා තනිවුණ
නූපන් ආත්ම වල
සිනහවෙන් වැසී ගිය
කඳුලු වල අඳෝනාවයි
නිම් නැති නිමේශයක
කළුම කළු යථාර්තය
නෙතින් නික්මී
පලා යන්නටත් මත්තෙන්
ගිම්හාන කටු ඇනුණු හදවතක
ඇදුම් කන පැතුම් පොදි
නෙක සුසුම්හී රැඳී
වියැකී යන්නටත් කලියෙන්
පුළුවන් නම් අහන් ඉන්න
එකම එක් වතාවක්
මොකද අපේ තනියට
අද නෑ තරු අහසවත්

ලියා එව්වේ - Dilan Dhananjaya (http://dilandadevil-poems.blogspot.com/ )

Tuesday, November 23, 2010

"අනේ ඇයි අම්මේ"

අනේ ඇයි අම්මේ
මනුසත්තු අලි ඇත්තුන්ට
මෙතරම් වෛර
කරන්නේ

අපේ කැළෑ එලිකරල
ඒ ඇත්තො
හේනක් පැලක්
අටවගෙන
වගා කරනව
තමයි........

ඒකකට පැනල
අලයක් බතලයක්
උගුල්ලන් කෑවෙ
ඒ අයගෙන්
පලිගන්නවත්
වගා පාලු කරන්නවත්
නෙමෙයි..........

ඉන්න බැරි
බඩගින්නටයි.........

මේ නියන් සායෙ
අපටයි කියා
ඒ හැටි කෑමක්
කොයිබින්
කියලද?........

අපේ අප්පච්චිල
ලොකු මාමල
වගේ
ඒ ඇත්තන්ට
දරුණු වෙන්න
මට හිතක්
නෑ අම්මෙ.........

ඒ අත්තොත්
පන කෙන්ද
ගැට ගහගන්නෙ
අමාරුවෙන් කියල
මම දන්නව........

බුදුන් සරණ ගිය
නාලගිරි වගේ
අපිත්
කවදා හරි
මේ සන්සාරෙන්
එගොඩ වෙන්න
ඕන.........

ඒත්,
මනුසත්තු
උන්ට ළමයි
නැති ගානට
හිතක් පපුවක්
නැතිවද,
මගේ සිඟිති
දළ දෙකට
මෙතරම්
කෑදර
අනේ ඇයි අම්මේ....

ලියා එව්වේ - සොඳුරු මිනිසා (http://sonduruminisa.blogspot.com/)

Monday, November 22, 2010

පැතිරීම......

විදේශ ගතව ‍රැකියාව කරන පුතු මවට දුරකථනයෙන් අමතයි.

පුතා:- අම්මා මට [හිස්තැනක්] හැදුනා.

මව:- (මොහොතක් කල්පනා කර)
අනේ පුතේ ගෙදරනම් එන්න එපා.

පුතා:- ඒ මොකෝ අම්මේ.

මව:- එපා කියන්නේ හැමෝගෙම හොදට මයෙ පුතේ.

පුතා:- ඒ කියන්නේ.

මව:- (නැවතත් කල්පනා කර)... උඹ ගෙදර ආවොත් ඕක උඹේ ගැනිටත් බෝ වෙයි. ගැනිගෙන් උඹේ මල්ලිට, මල්ලිගෙන් ගෙදර වැඩකාරිට, ඒකිගෙන් බොගේ තාත්තට, බොගේ තාත්තගෙන් මගේ නංගිට. මගේ නංගිගෙන් ඒකිගේ මිනිහට. උගෙන් මට. මගෙන් වත්තේ වැඩ කරන කොලුවට. උගෙන් උඹගේ නංගිට. අපෝයියි..... උඹේ නංගිට ඕක හැදුනා කියන්නේ. මුලු ගමටම හැදුනා වගේ තමයි......

ඒ නිසා මගේ බුදු පුතේ දෙයියන්ගේ නාමෙට උඹ ඔහේටම වෙලා හිටපන්. ගෙදරනම් එන්න එපා.........

ලියා එව්වේ - හසිත මදුශංක

Sunday, November 21, 2010

මට හොද නම්...

සිසිවන උවන ඉගසුඟ ගත හැකි මිටින.. වර්ගයේ කට්ටිය හරිම අඩු උනත්.. හැම මනුස්සයෙක්ටම සිරුරේ ප්‍රමාණයක් තියනවානේ.. කෙට්ටු වෙන්න පුළුවන්
මහත් වෙන්නත් පුළුවන්..

ගොඩක් වෙලාවට මහත කෙනෙක්ගේ මහත ගැන අමාරුව තියෙන්නේ ඒ කෙනාටම නෙවෙයි.. වටේ ඉන්න අයට.. ලෙඩවෙයි කියන බයට ඒ ගැන කතා කරන අය ඉන්නත් පුළුවන්..

හැබැයි වැඩියෙන් ඉන්නේ විනෝදෙට බයිට් එකට හිනාවෙන්න බලා‍‍ගෙන ඒ ගැන කතාකරන අය..

හැබැයි මහත කියන්නේ මාරම සිම්බල් එකක්..

එකවතාවක් දැක්කම ජිවිතකාලෙටම මතකයි.. නම අමතක උනත්, මහත එක්කෙනා කිව්ව ගමන් පටස් ගාලා මීටර්..

මට අනූව නම් මම හරිම යුනික්..! හැමෝම අදින ඇදුම් මට අදින්න බෑ. මම විශේෂයි.. මගේ මහත මට..!

මට හොද නම් තොපිට මොකද?

ලියා එව්වේ - මලී (http://abnormalminds.blogspot.com/)

Saturday, November 20, 2010

ඒ අපේම ජීවිතේ නිසයි

එළියට බහින්න
අහස පොඩ්ඩක් බලන්න
මතක් කරන්න
අන්තිමටම අහස
ඕන කමින්
බැලුවෙ කවද්ද
කියලා
අපි අපිත්
නොදැනම යන්ත්‍ර
වෙලා නෙ
ඉර නගිනවා
ඉර බහිනවා
මල් පිපෙනවා
සමනල්ලු පියාඹනව
මේව බලන්න
කෝ අපිට
වෙලාවක්
අයියෝ ඕව බැලුව
කියල
අපිට ඇත් ඵලේ
මොකක්ද?
පොඩ්ඩක් හිතන්න
මේ අපේ හිතමද
කියල
හ්ම්.......
ඇත්ත නේද
ඒත් ඒක
හිතන්නත්
වෙලාවක්
කොහෙද?
අපි අපිත්
නොදැනම
ලොකු මිනිස්සු
වෙලා නෙ
අපිට අහිමි වුණු
අපේම කියල
කාලයක්
තිබුනද වත්
මතක නෑනෙ
ඒ කාලෙ
කොච්චර ලස්සනද
කොච්චර සුන්දරද
ආයෙත් ඒ කාලෙට
යන්න පුලුවන්නම්
කොච්චර නිදහසක්
තිබුනද
හිතේ මො‍ලෝ බරක් නෑ
හිතෙනකොට නිකම්ම
සුසුමක් මුවින්
පිටාවෙනව නේද
ඒ අපේම
ජීවිතේ නිසයි


ලියා එව්වේ - ෴සොඳුරු මිනිසා෴ (http://sonduruminisa.blogspot.com/)

Friday, November 19, 2010

ප්‍රතිවාදියා

මම හිටියෙ පිටපිටම දොලොස් දෙනෙක්වම දාම් පිටියෙන් පරද්දවල. ජයග්‍රහණයේ සංකේතයක් හැටියට සිගරට්ටුවකුත් මගේ මුවග දැල්වුනා.
තව එකෙක් ඉදගත්තා.
“මේක ඉහලින් ආපු අණක්”
තරගය නරඹන්නො පිරිස අතර හිටි එකෙක් අහක බලාගෙන කිවුවා. නිකන් ඕනෑවට එපාවට වගේ.
මම කලු ඉත්තෙක්ව ඉස්සරහට ඇදල උගුලක් ඇටෙවුව.
“ඉහලින් ආපු අණක්”.
ආපහු පිරිස අතරින් කසුකුසුවක්.
ප්‍රතිවාදියගෙ සුද්දෙක් පිම්මක් පැනල මගේ උගුල කඩා දැම්මා.
මම හයියෙන් දුම් උගුරු තුනක් ඇද්දා. තත්ත්වෙ භයානකයි.
“ඉහලින් ආපු අණක්”
ආපහු අර මල විකාර කසුකුසුව.
සිගරට්ටුව මගේ අතින් ගිලිහුණා. ඒත් එක්කම සුද්දෙක් රජඋනා.
මම පලවෙනි පාරට පරාජිතව ප්‍රතිවාදියාගේ මූණ දිහා බැලුවා.
බුදු නෙතක් වගේ කරුණාවන්ත දෑසක්.
සිගරට්ටුව තාම බිම.
“නිවිද්දෙන්”
මම හිතුව.

ලියා එව්වේ - Raven (http://www.sihinasewanali.blogspot.com/)

Thursday, November 18, 2010

දාර්ශනිකයාගේ ප්‍රේමය...

මේ ලෝකෙ කිසි දෙයක් මට අයිති නෑ. අඩු තරමෙ මාවවත්.

ඒත් ජීවත් වෙද්දි අපි එක එක දේවල් තාවකාලිකව අයිති කරගත්තෙ නැත්තං පවතින්න සෑහෙන්න මහන්සි වෙන්න වෙනව.

අයිතිය කියන අදහස ගැන මේ තරම් හිතලා වද වෙන්න අවශ්‍ය නොවුණත් දාර්ශනිකයෙක් කියන්නෙ හිතන මිනිහෙක්ට.

ඇත්තටම කිසි දෙයක් අයිති නැති දාර්ශනිකයෙක් සමාජය තුල පවත්වන්නෙ අයිතිය කියන වචනය.

දේවල් අයිති කරගන්න ඕන නැතත් අයිතිය කියන්නෙ එහෙම එකක්....

වෙන කෙනෙක් එක්ක ජීවිතේ බෙදාගැනීමෙදි කරන්න වෙන කැපකිරීම් අවම කරල නිදහස නිදහස විධියටම ලබන්න කියල ළං කරගත්තු පෙම්වතියත් මගේ නෙවෙයි.

ඒත් ඈ එක්ක කතා කරද්දි අඩු තරමෙ ඔයා මගේමයි කියල කියන්න වෙනව.

ආදරේ කියන්නෙ එහෙම එකක්....

තවත් වචනයක්....!

ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

Wednesday, November 17, 2010

මට උදවු කරන්න...

මං අතරමං වෙලා... අතීතයත් වර්තමානයත් අතර අතරමං වෙලා...

එදා  "හැම දෙයක්ම දාලා මං ළගට එන්න.මං පුංචි සුදු රෝස මලක් වගේ ඔයාව බලාගන්නම්" කිව්ව ඔයාම "ඔයත් එක්ක ජීවත් වෙන එක මහ කරුමයක්" කියන්න තරම්," මගේ ජීවිතේ සම්පූර්ණ වෙන්නෙ ඔයා මං ළග නම් විතරයි" කියපු ඔයාම "ඔයා නිසයි මට හැම දෙයක්ම නැති වුනේ.. ඔයා එක්ක ඉන්න එක අමාරුයි නෙවෙයි, ඉන්න බෑ" කියන්න තරම්,මගෙන් වුණු වැරැද්ද මං තාම හොයනවා.

මමත් වැරදි ඇති.. ඒත් මෙච්චර හිත රිද්දන්න තරම්, මගෙන් මිදිලා ඈතට යන්න හිතන්න තරම් වරදක් නම් කරලා නෑ මං.

මට උදවු කරන්න පුළුවන් නම්, ආයෙමත් ඒ ලස්සනම ලස්සන හීනයක් වගේ අතීතයට යන පාර හොයාගන්න..

ලියා එව්වේ - Smiles Tears

Tuesday, November 16, 2010

ප්‍රතිසන්ධිය...

ගොම්මනේ මූසලබව කපාගෙන නින්නාද දුන් ගාලු කුමාරියගේ විලාපය පැතිරුණු අන්ධකාරය කෙමෙන් කෙමෙන් ගිල ගත්තත්, ලය දැරූ වේදනා එලස මකන්නට නොහැකි බව මියැදෙන හිරුත්, දූවිලි දැරූ සුළඟත් ඇරෙන්නට දැන සිටියේ කැලෑ වැදුනු සිල්බර කොටන් කිහිපයකුත් පමණයි.

වියපත් සයුරේ ඉම සෙවූ නෙත්කොනින්, රූරා වැටෙන කඳුළු බිඳු ඔහේ ගලාවිත් වැලි මත වැටී බොඳවී ගියත්, ඇදුම් කන කම්මුලෙත් රිදුම් දෙන හදවතෙත්වූ වේදනා තව කල්පයක් වුව රැඳෙනු ඇතැයි ඇයට සිතුණි. "පොඩි එවුන් දෙන්නගෙම නාමෙන්.. මම මැරෙන්නෙ නෑ දෙයියනේ.. මට මැරෙන්න බෑ.."

උන් දැරූ කුස පුරා ඔහු වැර දරා දුන් පාපහරටත් වඩා නෙක වේදනා විඳින්නට ඒ කාන්තියම ඇගේ සරණම වේවායි ඔහේ ඇදී ගිය රුහුණු කුමාරියටත් හිතෙන්නැති..

ලියා එව්වේ - Dilan Dhananjaya (http://dilandadevil-poems.blogspot.com/ )

Monday, November 15, 2010

Anonymous

ජීවිතේ ඇතුලෙ පෙනී ඉන්න එක එපා වෙන තරම් අමාරු වැඩක්.

කරන කියන හැම වැඩකින්ම මං ගැන මිනිස්සු දැනගන්නව. මිනිස්සු මාව අඳුණගන්නව. මම මිනිස්සු අතරට යනව. මගේම කියල චරිතයක් ටිකෙන් ටික වර්ධනය වෙනව.

මම කරන දේවල් එක්ක මට වගකීමක් දැණෙනව.

ජීවිතේට වගකියන්න වෙන එක කොයි තරම් අමාරු වැඩක්ද?

අඩු තරමෙ මම දරණ මතවාද අනිත් අයගෙ ඒවත් එක්ක නොගැටී මට විතරක් තියාගන්න පුළුවන් නම්...

ඔබ කියයි එතකොට මට පැවැත්මක් නෑ කියල...

ඔව්...

ඒ නිසා මගේ මතවාද මගේ චරිතයට හානියක් නොවී අනිත් අයට කියන්න පුළුවන් නම්...

සමාජයෙ ඒකට ක්‍රමයක් නැද්ද...

මට රඟපාන්න පුළුවන්...!

එහෙම නැතුව සයිබර් ලෝකෙ වගේ ඇත්ත සමාජයෙ ඇනොනිමස් වෙන්න බෑ...

ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

Sunday, November 14, 2010

විපරීතය

මට සමාවෙන්න..
මට ඔයා ගැන feeling එකක් නෑ, නිසල..

එතකොට, ඔයා මෙච්චර කලක් බොරුවටද මට ආදරේ කරේ උත්තරා??
බොරුවට ආදරේ කරන්නේ කොහොමද?

ඔයාට feelings තියෙන කවුරු හරි හම්බ උනොත් එහෙම??
මං එයාත් එක්ක ඉන්නවා. ඒකේ තියෙන වැරැද්ද මොකද්ද?

ඔහ්.. ඔයා එයාටත් ආදරේ වෙනවද?
නෑ… මට තේරෙන විධියට ආදරේ කියන්නේ කියාගන්න බැරි තරමටම, ලොකූ..ම, ලොකූම ලොකු එකක්.

හොද Personality එකකුයි, Attraction එකකුයි තියෙනවා නම් Sexual relationship එකකට යන්න පුළුවනි.
ඒත් ආදරේ කියන්නේ, එහෙම Simple දෙයක් නෙමෙයි.

ඒත්, එතකොට ඔයා කරන මේ හැමදේම, මම ඉවසන් ඉන්න ඕනේද?
හ්ම්ම්..

ඒ මොකද?
මම වෙන එවුන් එක්ක Sex කරනවා විතරයිනේ, මේ තරමට ආදරේ නෑනේ…

හ්ම්ම්ම්..

ලියා එව්වේ - පිස්සාගේ ලෝකය (http://pissa-pissublog.blogspot.com/)

Saturday, November 13, 2010

ගල් පිලිමය..

ඈතදීම මම ඇයව හදුනාගතිමි.. ඇය උන්නේ සැණකෙළි බිමේ මැදක් හරියට වන්නටය.

පසුගිය වසර දහයටම ඇය වෙනස්වී ඇත්නම් ඒ මද වශයෙනි. ඒ වෙනසිනුත් අඩකට වගකිව යුත්තේ ඇගේ සිරුර පුරා ගල්වා තිබූ කලු සායමයි.

ඈ එකල මගේ දුගී පෙම්වතිය විය.

දැන් ඈ ගල් පිළිමයකි.

කුඩා කොලු රැලක් ඈ වටකරගෙන ඈට විසුලු කරමින් හිදිති. ඈ හිනස්සා ත්‍යාගය දිනාගන්නට උන් අසමත්ය.

මදක් පැකිලෙමින් මම ඇයට පෙනෙන සේ ඈ ඉදිරියෙන් සිටගනිමි....ඇගේ සිරුර මෙන්ම දෙනෙත්ද නිශ්චලය.. එහෙත් ඇය මා නොහදුනනවා විය නොහැක.


කාලය ගතවයයි..... ඈ තවම නිශ්චලය.

අතීතයේ දිනක් සිතින් ස්පර්ෂ කරමින් මම යන්නට හැරෙමි.

එදා ඈ සිටියේ හැඬීමට ළංව නමුත් නොහඬමින් වග හදිසියේම මට සිහිපත්වේ.


ලියා එව්වේ - Raven (http://www.sihinasewanali.blogspot.com/)

Friday, November 12, 2010

පූර්ව ජන්මයේ අපූර්වය සොයා ගැනීම

ගොඩාක් කාලෙකට ඉස්සර.
මම ඒ රටේ නායකයා.
මට විරුද්දව ලියන්නෝ ඔක්කෝම මැරෙව්වා.
මගේ නගරේ ලියන්නෝ බිහිවෙන්න දුන්නේම නෑ.

හොයල හොයල අන්තිමට උත්තරේ හම්බුනා.
සුනේත්‍රාගේ පූර්ව ජන්ම අපූර්වයේයි කර්ම අත්පොතේයි තමයි තිබුනේ.

මුලින්ම නමය වසරෙදි.
නවකතාවක්.
පෙම් කතාවක්.
අහුවුනේ නංගීට.
නෝන්ඩි කෝටියයි.
ලිවීම නැවැත්තුවා.

දෙවෙනියට එකොළහ වසරින් පස්සේ.
නිසඳැස්, කෙටි කතා.
අහුවුනේ යාලුවන්ට.
චා මැක්ස් කලා.
කින්ඩි පිට කින්ඩි.
ලිවීම නැවැත්තුවා.

ඊලඟට ඔෆිස් එකේදි.
ඒත් පොඩි කතා.
ඒකත් යාලුවන්ට.
ආයේ පාරක් නැවැත්තුවා.

අන්තිමට බ්ලොග් එක.
අන්වර්ත නමකින්.
ෆිට්ම උන්ට කිව්වා.
පස්සේ මම්ම කිව්වා.
බොක්කෙන්ම ලිව්වා.
හිතේ හිරවෙලා තිබුනු ඒවා එලියට ගියාම පුදුම සනීපයක්.
මේ පාර නෝන්ඩි සමඟ වලි.
මම ලිවීම නැවැත්තුවා.

ලියා එව්වේ - දුකා (http://dukaa.blogspot.com/)

Thursday, November 11, 2010

ඔයාට තෙරෙන්නෙ නෑ මගෙ හිත...

මන් හදිස්සියෙ මැරුනොත් ඔයා මොකද කරන්නෙ...?
වෙන කෙනෙක් කසාදබදිනවා..
මෝඩයා....
ඇයි..
මගෙ හිත ඔයා ගොඩාක් පෑරුවා.....
මාව අමතක කරන්න ඔයාට පුලුවන්ද...?
කවුද කිව්වෙ ඔයාව අමතක කරනවා කියලා...
කැමතිද මන් තනිවෙනවට...
ඒකට විසදුම වෙනකෙනෙක්ව බදින එකද?
වෙන මොකද්ද...
මන්දන්නෙ නෑ.... කැමත්තක්...
එහෙනම් තරහගත්තෙ.....
ඔයාට තේරෙන්නෙ නෑ....
බඳිනව උනත් එහෙම මුණට කියනවද?
මන් හිතුවෙ ඔයා වෙනුවෙන් තව අසරණ කෙනෙක්ට ජීවිතයක් දෙන්න...
බෝධිසත්වයෙක් වෙන්නද...?
නෑ... නිකමට...
කොහොමත් අපි බැන්දත් මමයි මුලින්ම මැරෙන්නෙ.....
එ ඇයි...? මටනෙ එතකොට අඩන්න වෙන්නෙ
ඔයා මැරිල ඉන්නව බලන් ඉන්න බෑ.... පොරොන්දුවෙන්න.... ඔය අත්දෙකෙන් මගෙ අවසන් කටයුතු කරනව නේද..??
කොහොමද?..... ඔයාම කියන්න...
අම්මා එනවා....? තියන්නම් පැටියො... උම්මා
බීප්... බීප්.... බීප්....

ලියා එව්වේ - මහේෂ් හශාන්ත සිල්වා

Wednesday, November 10, 2010

සන්තර්පන..

"සිරිසේන අයියට ඇත්තමයි බුදුබව අත්වෙන්න ඕනෙ" දහස්වර පෙරලූ සියක් පිටු අතරවූ මනස පැතූ අපමණ පැතුම් ගොන්න හමුවේ එයත් එකම එක් පැතුමක් විතරමයි.

"කෙල්ලෙක්ට හරියන්නෙ රතුපාට යට ඇඳුම් තමයි, කොච්චරවත් නිකම්ම ඉන්නවට වඩා නූල්පොටක් හරි ඇඟේ තියනවනම් තමයි ඒකේ කුතුහලයක් තියෙන්නෙ" ගිනිගන්න මද්දහනෙන් අනාථ වෙච්ච වැලිපොලව හරියට අවතැන් වෙච්ච කිසා ගෝතමී හූල්ලනව වගේ ඔහේ අහස දිහා බලාන ඉන්නවා.

නානාවිද වර්ණයන්ගෙන් පරිපූර්ණවූ පිටු පුරා රැඳි රාගික විප්ලවයේ නියමුවන්, පිරිපුන් ලැම දෝතින් ගෙන නග්න සිරුරු යොමා සිටි අයුරු දැකි මා වමතින් තණ්හා, රතී හා රගා ප්‍රහීණය කරත්ම,

"ආ.. පොඩිනම... බරටම කෙලෙස් නසනව වගේ... උඹලට ඕවද පිරිවෙණේ කියල දෙන්නෙ"

තාප්පෙට කෙලිය... මෙන්න ලොකු හාමුදුරුවො..!


ලියා එව්වේ - Dilan Dadevil (http://dilandadevil-poems.blogspot.com/)

Tuesday, November 9, 2010

හෙටත් වැස්සලු...

ඉස්සරම කාලේක මම වැස්සේ තෙමුනේ හරියට කල්ප කාලයකට වැහි වහින්නේ නෑ වගේ.
එතකොට ඒ වැස්සේ තෙමෙන්න මාත් එක්ක එකතු උනු තවත් කෙනෙක් හිටියා.

සීතලම සීතල දවස් වල උනත් අපි දෙන්නා අත් අල්ලගෙන පාර පුරා වචනයක්වත් නොකියා මේ වැස්සේම තෙමුණා.

සමහර දවස් වලට තෙමිලා ගෙදර ආවම බැනුම් අහගෙන උනත් මගේ කොණ්ඩේ වේලුවෙත් එයා.
හෙට වහිනවද කියල කලින් දවසේම weather report බලන්නේ පහුවෙනිදාට කුඩයක් අරන් යන්න.

දිගට තිබුණු කොණ්ඩෙත් කපලා දැම්මා තෙමුණොත් වේලන්න වෙයි කියලා.
අන්තිමට මට එපා උනේ ඔහු විතරක්ම නෙමෙයි. වැස්සත් මට එපා උනා.

අද වෙනකොට වැස්ස එක්ක මම තරහා වෙලා.

ඔන්න හෙටත් වහිනවා කියල news වලට කියනවා ඇහුණා.


හයියෝ....

ලියා එව්වේ - Il mondo di una povera pazza (http://burubabe.blogspot.com)

Monday, November 8, 2010

ලේ නැති මස්..

මට අඩු නැතිව මස් රාත්තලම ඕනේ

ම්ම්ම්........... හොඳයි දෙන්නම්
හැබැයි එක ලේ බිංදුවක්වත් හලන්නේ නැතිව කපන්න ඕනේ
මොකද, ලේ වල අයිතිය මටයි

මොනවාද කියන්නේ?...........
ඒ කොහොමද එහෙම කරන්නේ?
ඒක කොහොමටවත් කරන්න බැහැ. ලේ හලන්නේ නැතුව මස් කපන්න?

ඒක මං දන්නේ නැහැ. එහෙනම් මස් රාත්තල ලැබෙන්නේ නැහැ.
(එදා: වැනීසියේ වෙළෙන්දා)

මට අඩු නැතිව මස් රාත්තලම ඕනේ

ම්ම්ම්........... හොඳයි දෙන්නම්

හැබැයි එක ලේ බිංදුවක්වත් හලන්නේ නැතිව කපන්න ඕනේ
මොකද, ලේ වල අයිතිය මටයි

මොනවාද කියන්නේ?...........
ඒ කොහොමද එහෙම කරන්නේ?
ඒක කොහොමටවත් කරන්න බැහැ. ලේ හලන්නේ නැතුව මස් කපන්න?

ඒක මං දන්නේ නැහැ. එහෙනම් මේ මාසේ පඩිය ලැබෙන්නේ නැහැ.
(අද: මනුස්සකම් වැනසීගිය වෙළෙන්දෝ)

ලියා එව්වේ - රන්දිල් (http://ranrandil.blogspot.com/)

Sunday, November 7, 2010

නිර්වචනය සොයා දෙන්න...

අද රෑ අපේ ගෙදර යමන් තිසා

අපෝ බෑ වයිෆ් එක්ක අදත් චැට් කරන්න බැරි උනානේ

එක දවසක් මිස් උනාට

අඩෝ උඹ මානව දයාව ගැන ලියන එකා නේද?

ඒකනේ අයියා මමත් මෙයාගේ ඒවට වලි දාන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ..

මොකාක්..?

ඔයා සතුටු වෙන්න කැමති ඕනෑම විදිහකින් ඔයාට සතුටු වෙන්න ඉඩ හදලා දෙන එකයි...
ඔක්කෝටම වැඩිය ඔයා වැඩියෙන්ම සතුටු වෙන මම සතුටු වෙන හැමදේටම විරුද්ධ වෙලා කඩාකප්පල් කරන එකත් ඉඳලා හිටලා අකමැත්ත පෙන්නන්න එක එක හේතු කිව්වත්, උපේක්ශාවෙන් ඉවසගෙන ඉන්න එකත් මගේ මානව දයාව කියලායි මම හිතුවේ...

පටන් ගන්න ඕන ලෝකෙම පීරලා හරි මානව දයාව කියන එකට තියෙන හරිම නිර්වචනය හොයා ගන්න...

ලියා එව්වේ - දුකා (http://dukaa.blogspot.com/)

Saturday, November 6, 2010

සීනි

අහස කළු වෙලා. වැහි ලිහිණියො මුළු අහසම උන්ගෙ කරගෙන. මහ වැස්ස පෙනි පෙනිම ඔයත් ඇවිත් මාව හොයාගෙන. ඔයා නම් වැස්සට තෙමෙන්න ආසයි වගේ. පුංචිකාලෙ මාත් එහෙමයි.

වහ වරුසාවත් පටන් ගත්තා. "අපි තේ බොමු?" ඔයා කියනවා. හොඳ අදහස. ඇඟ චුට්ටක් රත් වෙන එක මේ ඇටමිදුලු පසාරු කරන් යන හීතලට.

පල්ලෙහා වෙල් යායම පිරිලා. හරියට වැවක් වගේ. කොළඹ කුණු කානුත් උතුරලා ඇති. කළු පාට වතුරින්. සපත්තුවේ හිල් අස්සෙන් වතුර ගිහින් වගේ. 'චිකිස් චිකිස්' සද්දෙට කිති කැවෙනවා කන් දෙකම. බණ්ඩාරනායකලා, සේනානායකලා කපුටු ගඳ යන්නත් එක්ක හොඳට නානවා ඈති!

ෂූ...................

අහ්, කේතලේ උතුරනවා. වැස්සෙ තෙමීගෙනම මං ගෙට ගොඩවුණා. අපිට තේ හදන්න.

හැමිණෙයි!

සීනි ඉවරයි.

ලියා එව්වේ - කෝසල සෙනෙවිරත්න (http://kombuwaonline.blogspot.com)

Friday, November 5, 2010

පාපය

පාර අයිනෙ ඌ වැටිල හිටිය...
බඩෙන් පහල කොටස වාහනේකට යට වෙලා... ඇඟේ කොටස් එලියට ඇවිත්... පාරෙ පස් වලට උරාගත්තු නිල් රතු මිශ්‍ර රුධිරය එක්ක සෙවෙල් සහිත දියරය වටේ විසිරිල තිබුණ.
මගෙ මුළු ඇඟම විදුලියකින් හිරිවට්ටපු වේදනාවකින් දඟලමින් ඌ හිටියෙ.
මූට තවත් වේදනා විඳින්න දෙනවද?
නැත්තං මරල දානවද?
මූ මැරුවොත් මම මොනතරම් පාපතරයෙක් වෙයිද?
නිර්වාණයේ ධවල දොරටුව මගේ දකුණු පැත්තෙන් බැබලුණා...
යක්ෂයා වම් පැත්තෙ තිබුණ අපායේ දොර ගාව කට කොණින් හිනා වුණා...
පෝය දවස්වලට කන් පුරා ඇහෙන බුදු බණත් ඉරිදට පල්ලියෙදි කණට වක් කරන දෙව් බණත් මගේ කන් දෙක පුරා ගෝරනාඩු කලා.

ගෙම්බා අමාරුවෙන් කට අරිමින් හුස්ම ගත්තා.
අපායටම පල!
“චිරිස්”
ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

Thursday, November 4, 2010

නැවත උපන් සතී

නිශාගේ මලගෙදර ගිහින් ගෙදර එන්න බස් එකට නැගපු වෙලාවේ ඉඳන් මම කල්පනා ලෝකේ.
මම ආයේ අලුතෙන් ඉපදුනා වගේ මට දැනෙනේ ඇයි??
ඒක හරිම පුදුමයක් නෙමෙයිද?
විශේෂයෙන් නිස්සංක විජේකෝන්ගේ මරණයෙන් සරස්වතී මානවඩුට අලුත්ම ජීවිතයක්
ලැබුනා වෙන්නේ කොහොමද?
ඒත් ඒක එහෙම වෙලා.
නිශාගේ නිසල සිරුර දිහා බලාගෙන ඉන්නකොට මට හිතුනේම මගේ දවස හෙට නෙමෙයි කියලා මම කොහොමද කියන්නේ කියන එක.
"ලෝකයට තමන්ගේ යුතුකම් ඉටු නොකරන මිනිස්සු ජීවත් වුනත් මරුණා වගේ සතී " නිශාගේ වචන ඔව් මම අයුක්තියට විරුද්දව හඬ නගනවා. ඒකයි මගේ යුතුකම.
ඒ මම, අත්තම්මා, අයියා, අක්කලා, බෝ ගහ වත්තේ මිනිස්සු විතරක් නෙමේ හැමෝම වෙනුවෙන්.
මට හිතුනේ මම ආයේ අලුතෙන් ඉපදුනා කියලා.

ලියා එව්වේ - දුකා (http://dukaa.blogspot.com/)

Wednesday, November 3, 2010

"හොරා කෑම"

“අම්මා.... මෙන්න අයියා....”
ඊට වඩා මොනවත් කියන්න ලැබුනෙ නෑ..අයියා අත් දෙකින්ම බදලා මගේ කට වැහුවා... මං දැගලුවේ මට හුස්ම ගන්න බැරිව මැරෙයි කියන බයට..
“කෑ ගහන්නේ නැතිව ඉන්නවා යෝදියේ.. ඔයාටත් කෑල්ලක් දෙන්නම්”
“අන්න එහෙම එන්න.. හැබැයි මට ලොකු කැල්ලක් ඕන”
මම අතින් ලොකු කැල්ල පෙන්නුවා..
“පෙරේති ආ ඉතින්”
කේක් කෑල්ලක් දෙන ගමන් එහෙම කිව්වේ ආදරේට කියලා මං දන්නවා..
“හරි ෂෝක් අයියයි නංගියි”
පිටිපස්සෙන් ඇහුන කටහඩට මං විතරක් නෙමෙයි අපේ සුපර් හීරෝත් ගැස්සුනා....අම්මා ඉනට අත් දෙකත් තියාගෙන බලන් ඉද්දි බොරුවක් හදාගන්නවත් වෙලාවක් තිබුනෙ නැ.
“නෑ අම්මා මේ නංගිට බඩගිනි කිව්වා ඒකයි”
“යකෝ මේකා කියන බොරු.... තරහටම මං වැලමිටෙන් ඇන්නා හොද පාරක්

ලියා එව්වේ - වරුණි (http://akikaruhitha.blogspot.com/)

Tuesday, November 2, 2010

වචන 100 වෙත පළමු ලිපිය

මගේ යාලුවේ,

ලෝකය නැමැති බෝඩිමේ ඔබත් ලියන මමත් තාවකාලික ලැගුම් කරුවන් බවද එය යථාර්තය බවද වටහාගන්න.

මිතු දමෙන් මහ මගට..!

ජීවිතේ සැලකිය යුතු කාලයක් බෝඩිමේ ගතකල මට සෑම කාලය තුලම යාලුවෝ,
නෑ මම මෙහෙම කියන්නම් මගේ සෙට් එක තමයි මගේ ජීවිතේ...

ඒත්,

වැල පැටලුන ගැටලු තුලින් සිනාසී
ජීවිතය දකින්නට
තනිවූ විටක මට
සහෝදර සබැදියාව දෙන්නට
සිටියේ උඔයි මගේ යාලුවේ...
එදා මම උඔ තුලින්
මගේ ලෝකය දැක්කා
එදා මට කප්‍ රුක
අරුමයක් වුනේ නැහැ
අද උඔ නෑ...
හිත කියන මිරිගු බදුන
අද හිස් වෙලා
හිස් බදුන අත දරාන
මං මහ මග තනිවෙලා


යාලුවේ,
බෝඩිං ජීවිතේ තාවකාලික බවද,
උඔ මට පසක් කලේ?

ලියා එව්වේ - බෝඩිං (http://bordingkaraya.blogspot.com/)

Monday, November 1, 2010

100 words for you, of you

To savour, to treasure,

But to never experience

To rely, to confide

But to never talk

To long for, to desire

But to never touch

To amuse, to laugh with

But to never bore

To strain, to wait for

But to never reach

To overwhelm, to annoy

But to never clash

To dream of, to imagine

But to never see

To puzzle, to tease

But to never taunt

To wonder, to muse

But to never know

To applaud, to support

But to never witness

To feel, to understand

But to never find

To adore, to love

But to never have


ලියා එව්වේ - මලිති (http://sathsihina.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...