Showing posts with label -වර්ණ-. Show all posts
Showing posts with label -වර්ණ-. Show all posts

Monday, December 14, 2015

මට කලින් පිපි මලක් වේ

සීමා මායිම් කියන්නේ ප්‍රේමයට අනිවාර්ය දෙයක්. කුලය, මුදල, වයස, ජාතිය, ආගම වගේ ගොඩක් සීමා මායිම් ප්‍රේමය හමුවට එනවා. ඒත් මේ හැම සීමාවක්ම හැම මායිමක්ම බිඳගෙන සෑබෑ ආදරයක් නම් ඇති වෙනවමයි. නමුත් ඒ ආදරය ඇති වුණත් ඒක හැම වෙලාවෙම සඵල වෙනව කියල හිතන්න අමාරුයි. ප්‍රකාශිත අප්‍රකාශිත ආදර කතා ගොඩක් ඒ අතර තියෙනවා. වියපත් බඹරෙකුට පුංචි රෝස මලකට පෙම් කරන්න බැරිද? ඒ වගේ.....

මලක් වේ
මට කලින් පිපි මලක් වේ
සිතක් වේ
ඒ මලට මට සිතක් වේ

නුරා සපිරුණු සිහිනයක් නොව
ප්‍රේමයක් පමණයි
සම්මතය බිඳ ලියන්නට සිතෙනා
පෙම් කවක් පමණයි

හදේ ඉපැදුණු රාගයක් නොව
ආලයක් පමණයි
ලොවින් සැඟවී අඳින්නට සිතෙනා
සිතුවමක් පමණයි
 
ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Monday, December 7, 2015

බස් එකත් විලාසිතා ගාරයක්

ඇහේ ඇනෙයි කොණ්ඩ කටූ
හීල්ස් වලට ඇවිත් තටූ
නීට් එකට යන්න සිතූ
බැලු බැලු අත ෆෝන් කටූ
මේ.......
බස් එකත් විලාසිතා ගාරයක්

වත්සුණු වත උලා....
පැත්තක වැඩිවෙලා
කෝළමක් වගේ
ඒත්
කෝළමක් නෙමේ
මේ අපේ ජීවිතේ.....
සිත් වශී කරයි
බස් එකේ රූ මවන්නියෝ
දපනේ වැටෙයි
බස් රියේ අනංගයෝ...
ඇහේ ඇනෙයි කොණ්ඩ කටූ
හීල්ස් වලට ඇවිත් තටූ
මේ.......
බස් එකත් විලාසිතා ගාරයක්

විලවුන් මුසු වෙලා
සිහිය විකල් වෙලා...
පිස්සුවක් වගේ
ඒත්
පිස්සුවක් නෙමේ
මේ අපේ ජීවිතේ.....
සිත් වශී කරයි
බස් එකේ රූ මවන්නියෝ
දපනේ වැටෙයි
බස් රියේ අනංගයෝ...
නීට් එකට යන්න සිතූ
බැලු බැලු අත ෆෝන් කටූ
මේ.......
බස් එකත් විලාසිතා ගාරයක්

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Wednesday, November 18, 2015

රාත්‍රී හුදකලාව

රාත්‍රී හුදකලාව අතීතයට යන්න පාර කියනවා. කොච්චර යන්නෑ කියල හිතුණත් තනිවුණු හැමවෙලාවකම හිත මාවත් දාලා අතීතයට යනවා. අතීතය ඇතුළෙ තියෙන්නේ ආදරේ. ආදරේ කෙළවර අහිමි වීම. ආදරේ කරන කාලේ සතුටු මතකයන් අද දුක්බර මතකයන් වෙලා. කොච්චර දුක්බර වුණත් ඒ මතකයන් සිහිපත් කරන්න හිතෙන්නේ මූණ කැත වෙනවා කියලා දැනදැනම කුරුලෑවක් කඩන්න හිතෙනවා වගේ. ඊට පස්සේ වේදනාව. වෙනස් කරන්න බැරි අතීතය ළඟ මොහොතකට අසරණ වෙනවා. ඒත් ඒ අසරණකමින් මිදෙන්න මොකක් හරි කරන්න වෙනවා. එක එක්කෙනා එක එක දේ තෝරගනිද්දි මම කවියක් තෝරගත්තා. ඒක කෙනෙකුට ගොඩක් හරසුන් පදවැලක් වෙන්න පුළුවන්. ඒත් ඒක ඇතුළෙ තියෙන්නේ මගෙ වේදනාව. මගේ ආදරේ. මගේ අතීතේ. කොටින්ම කිවුවොත් මගේ ජීවිතේ..

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Thursday, October 15, 2015

සමාවෙයන් අයියෙ

ඒක හෙනගහන අපරාධයක්. ඒ වුණත් ඒක කළේ මගෙ අයියා වුණු උඹ. උඹ ඒ අපරාධෙ කරපු බව මම හොඳටම දැනන් හිටියා. ඒත් පොලීසියෙන් අහපු වෙලාවෙ මම ඒ අපරාධෙ කළා කියලා බොරු කිව්වෙ උඹ හිරේ යනවා බලන්න අකැමැති වුණු නිසා. ඇරත් උඹ එල්ලුම් ගහට ගියාම උඹේ පොඩි එකාට යන කල මොකක්ද? මමත් මීට කලින් ජරා වැඩ කරල තිබුණු නිසා පොලීසියෙ අවධානෙ ගන්න ලේසිවුණා. හැමතැනින්ම මගෙ මරණෙ ඉල්ලද්දි මම හිතුවෙ හරි උඹ බේරුණා කියලා. ඒත් මගෙ වචන එහෙමෙහෙ වුණා. අනික ඩී.එන්.ඒ.වලින් පරීක්ෂාවෙන් කොහොමත් මගෙ බොරුව අහුවුණා. අවසානෙ උඹ අහුවුණා. ඉතින් උඹ එල්ලුම් ගහට නියම වෙයි. මට සමාවෙයන් අයියෙ මට උඹව බේරගන්න බැරිවුණා. 

කොණ්ඩයා  

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Monday, August 17, 2015

වසත් නික්මන

පුරුද්දට මිසක් කැමැත්තෙන් නොආපු තවත් එක වසන්තයක්. ජනේලෙ කෙලින්ම තියෙන්නෙ පේර ගහ. උස පේර අත්තක පැණි කිරිල්ලියක්. ඊට ගොඩක් පහළ අත්තක ගේ කුරුල්ලෙක්. පැණි කිරිල්ලි පහළ අත්තට එන්නයි ගේ කුරුල්ලා උඩ අත්තට යන්නයි හේතුව උන්ගෙ ආදරේද? ඒත් ගේ කුරුල්ලෙකුගෙයි පැණි කිරිල්ලියකගෙයි කූඩුවක් ගැන මම කතන්දරේකවත් අහලා නෑ. කළු පූසා පේර ගහේ ඇතිල්ලෙන්නෙ උන් ගැන හාංකවිසියක්වත් නොදැන. ඒත් බය වැඩිකමට පැණි කිරිල්ලි යන්න ගියෙ ගේ කුරුල්ලෙක් හිටියද නැද්ද කියලවත් මතක නැතුව වගේ.
වලව්ව පැත්තෙන් ඇහෙන රතිඤ්ඤා සද්දෙ සුදු මැණිකෙ යනවා කියලා කියන්න වෙන්නැති. නැත්තම් සුදු මැණිකෙ යන දුකට රතිඤ්ඤාවල පපුව පැලෙන සද්දෙ වෙන්නැති. ඒකෙන් කෝක වුණත් කියන්නෙ සුදු මැණිකෙ යනවා කියලා.

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Wednesday, August 12, 2015

මතක මල් සුවඳ

මලක් නොව නුඹ මට
දිනෙක පරව යන
මල් සුවඳක්ය සිතෙහි
සදහටම රැඳෙන......

පරණ පොත් ගොන්නක් අවුස්සද්දි හදිසියෙන් දැකපු කවියක මුල් පද පෙළ තිබුණෙ එහෙම. ඒ කවිය මට දුන්න කෙනා මට ගොඩාක් ආදරේ කළා. ඒත් මම ආදරේ කළේ මට ගොඩාක් ආදරේ නොකළ කෙනෙක්ට. එයාට මම ගොඩාක් ආදරේ කෙරුවා. හරියට කවිය දුන්න කෙනා මට ආදරේ කෙරුවා වගේ. මම එයාට ගොඩාක් ආදරේ කරපු හින්දම එයාට පිටුපාල මට ගොඩාක් ආදරේ කරපු කෙනාගෙ වෙන්න මට හිතුනෙ නෑ. හිතපු විදියටම මට ගොඩක් ආදරේ නොකළ කෙනා දවසක මාව දාල ගියා. එදා මට මතක් වුණේ මට ගොඩාක් ආදරේ කළ කෙනාව. ඒත් ඒ වෙනකොට එයත් මගෙන් ගොඩාක් ඈතට ගිහින්.

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Tuesday, August 4, 2015

ගමන් මල්ලක මිය ගියෙමි

මා මෙහි පැමිණියේ මියෙන්නට නොවේ. ජීවත් වන්නටය. ජීවිතය විඳින්නයට. එය මිථ්‍යාචාරයකැයි මා නොදැන සිටියෙමි. එය එසේ වුවද මට ඉන් පලක් නොතිබුණි. මා දුර ගෙවා පැමිණියේ අහිමි වූ ජීවිතය කිනම් අයුරකින් හෝ ලබන්නටය. නමුත් ජීවිතය තුළ තිබූ අහිමි වීමද අහිමි වෙමින් මා හට ජීවිතය අහිමි විය.

මම මගේ ජීවිතය ඔහු තුළ ඇතැයි සිතුවෙමි. නමුත් මගේ ජීවිතයෙන් ඔහු සතුව තිබුණේ මාත්‍රයක් පමණි. එය පමණ ඉක්මවා ගිය තැන මා ඔහුට පිළිලයක් විය. ඉනික්බිති ඔහු සතුව තිබුණේ මගේ මරණය පමණි. ඔහු නොපැකිලව එය මට ලබාදුන්නේය.

දෙනෝදාහක් ගැවසෙන තැනෙක ගමන් මල්ලක මා සිරකර දමා ඔහු මගහැර ගොස් ඇත. තව මොහොතකින් මිනිසුන් මා සොයා ගනු ඇත.

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Thursday, July 9, 2015

සිවලෝගනාදන් විද්‍යා කවුද බන් ඒ?

විද්‍යා වෙනුවෙන් හඬ නැගූ බොහෝ දෙනෙකුට අද ඇයව අමතක වී ගොස්ය. ඇයට මතු නොව සියලු දෙනාට එය පොදු ධර්මතාවකි. වඩා වැදගත් වන්නේ ලක්මවු තුරුලෙන් සමුගත් විද්‍යා නොව තවමත් ලක් පොළව මත කෙලිදෙලෙන් දුව පනින දහස් ගණනක් වූ අහිංසක විද්‍යාවන්ය. අසැබි සලරූ බලා මොළ මළපහෙන් පුරවා ගත් අවිද්‍යාවෙන් ඇස් වැසුණු අසංවේදී කැනහිළුන්ගෙන් ඔවුන් රැකගැනීමට පියවර ගත යුතුය. එසේ නොවී තවත් විද්‍යාවක කෙලෙසුණු පසු මහ හඬින් මහ වදන් කියමින් කෑ ගසා තවකෙකුට චෝදනා කිරීමෙන් කිසිවෙකුට කිසිදු සෙතක් නොවේ. සර්වසම්පූර්ණ නොවූවත් කළ හැකි උපරිමය කිරීමට හැකි පිරිස් කටයුතු කළ යුතුය.

විද්‍යා නිසා යම් පියවරක් විද්‍යාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගැණුනේ නම් එහි කුසලය විද්‍යාටම අත්වේවා! 

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Wednesday, June 10, 2015

වෙනස් එකියක්

අතීතය අවි අමෝරා විත් හදවතට ඇන සැඟව ගිය දිනයෙක අවසන් හෝරා කිහිපයේ මම ගලා යන වේදනාවක් ගැන සිහි කරමි. මා හා බැඳී සිටි මා පමණක් සියල්ල එකවර දන්නා නම් කිහිපයක්ම ඇත. ඒ සියල්ලටම මා නොවනස්ව පෙම් කළ බව දනිමි. නමුත් මා ඔවුන්ගෙන් ආදරේ ලැබූයේ එක හා සමානව නොවේ. ඉන් එක් ඇත්තියක් ඉතා උච්ච වූවාය. රූපයෙන් අග නොවුණද ඇය ආදරය කිරීම අතින් මා අබිබවා ගිය තැනැත්තියකි. ඇය අන් සියල්ලටම වඩා වෙනස් සිනමාමය ප්‍රේමයක් මට තෑගි කළාය. දිනක් ඈ සියක් දෙනා සිටින තෙමංසලේ මහ වැස්සේ තෙමෙමින් මම ඔයාට ආදරෙයි කෑ ගසා කීවාය. නමුත් මහැර යන්නටද ඈ ගත්තේ අසනි වැස්සක් තරම් කෙටි කාලයකි.   

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Wednesday, June 3, 2015

ILYFIML

ILYFIML හැම sms එකක්ම අවසානෙ ඔයා මට මේ කොටස එව්වා. මුලින්ම එවපු සැරේ මම ඇහුවා,

මොකක්ද මේ අවසානෙට තියෙන්නේ

පුළුවන් නම් කියන්න

මුල් අකුරු තුන නම් I love you ඉතිරි ටික?

ඔය තියෙන්නෙ I love you forever in my life, මම ඔයාට හාමදාමත් මගෙ ජීවිතෙන්ම ආදරෙයි කියලා

ඒ කිව්වා වගේම ඔයා මට ගොඩක් ආදරේ කළා. ඒත් මම ඔයාගෙන් වෙන්වෙලා ගියෙ මලක් ළඟට මොහොතකට ආපු හුළඟක් වගේ. මම ගියපු ඒ පාර වැරදුණා. ඔයාට දීපු දුක දහගුණයකටත් වැඩියෙන් විඳපු මම අද තනිවෙලා.

කුඩෙත් ඉහළගෙන බිම බලාගෙන තනියම යන ඔයා ගාවට දුවගෙන ඇවිත් I love you forever in my life කියලා කියන්න ඇත්නම්...

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Thursday, May 21, 2015

අලුත් වැස්සක්

පැය ගාණක් වැටුණු වැස්ස පායලා. මම ජනේලෙ ඇරල එළිය බැලුවා. වැහි වලාකුළු තාමත් අහසෙන් යන්න සූදානමක් නෑ වගේ.  වැහි වතුර ගලාගෙන ගිය පාරවල් මිදුලෙ ඇඳිලා. තැනක පුංචි බොර වතුර කඩිත්තක්. තවත් තැනක මතුවුණු පුංචි පුංචි ගල් කැට. තැනින් තැන හුළඟට වැටුණු කොළ. ඒ අතරෙ මිදුලට ඇවිත් ගිය කුරුල්ලෙකුගෙ පා සටහන් ඇඳිලා.

මගෙ හිතත් මේ මිදුල වගේ කියලා මට හිතුණා. අනුරාධි මාව දාල ගිහින් ගොඩක් කල් වුණත් එයාගෙ මතකයන් වලින් තාමත් හිත පිරිලා. තනිවෙන හැම තප්පරේකම ඒ මතකයන් මට ගේන්නෙ දුකක්.  කවදා කොහොම මේ දුක්බර මතකයන් හිතෙන් මැකිලා යයිද කියලා මට හිතාගන්න බෑ.

පුංචියට වැටුණු වැහිපොද එකපාරටම මහ වැස්සක් වෙලා වැටුණා.

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Wednesday, April 1, 2015

රෝස මල

මම මමය. ඔහු කවියෙකිය. අනෙකා විචාරකයෙකි. අප සිටින්නේ රෝස පඳුරක් ළඟය.

මම
රෝස මලක්
කවියා
සඟවා කටු
පෙන්වා තටු
හිනැහෙන
අපූරුව
විචාරකයා
රෝස මල රුදුරු කටු සඟවා සුමුදු පෙති ලොවට පෙන්වා සිටියි. මිනිස් සමාජය තුළද එවැන්නෝ සිටිති. සිත් තුළ ඇති වෛරය කුහකකම වැනි නුගුණ සඟවා ඔවුහු සොඳුරු සිතැත්තන් සේ සිනහවෙති.

මම
රෝස මල කන දළඹුවෙක්
කවියා
පෙන්වුවද බඹරුන්ට තෙදබල
අසරණය නිර්දය දළඹුවෙකු ළඟ
විචාරකයා
රෝස මල සුළඟට වැනී ඹබරුන් සමනලයන්ට තේජස් පෙන්වති. නමුත් නිර්දය දළඹුවෙකු ළඟ එවන් රෝසමලද අසරණය. මිනිස් සමාජයේද  රෝස මල වැන්නෝ සිටිති. ඔවුහු අසරණ මිනිසුන් ළඟ තම තෙදබල පෙන්වති. නමුත් තමාටද වඩා බලවතෙකු ළඟදී ඔවුහු අසරණ වෙති.

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Wednesday, February 25, 2015

රැයට පෙම් බැඳ

තව පැය කිහිපයකින් හිරු උදාවන්නේ අඳුරත් මා විඳි විරහ රසයත් දෙකම එකවර මගෙන් උදුරා ගනිමිනි. ජීවත් වීම පිණිස රැකියාවකට යනු මිස මා සිත තුළ බලාපොරොත්තුවේ සේයාවක් හෝ නොමැති බව මට දැනේ. ඒ සියලු බලාපොරොත්තු එකමිටට ගෙන පාගා පොඩිකර දමා ඇය මහැර ගොස් දින බොහෝ කල්ය. දහවල රැකියාවත් සවස් කල අත්‍යවශ්‍ය කටයුතුත් සිදුකරන මා මැදියම් රැය උදාවන තුරු බලා හිඳිමි. ඒ ඇගේ මතකයන් සමග තුරුලු වන්නටය.
අතීතයේ මා විඳි ආදරය දැන් ඇත්තේ මගේ මතකයන් තුළ පමණි. එබැවින් ඒ පැරණි මතකයන් හාරා අවුස්සා යළිත් මම ආදරය විඳිමි. නමුත් එය නිස්කලංකව කළ හැකිවන්නේ ලොව නිහඬ රාත්‍රියේ පමණි. එබැවින් මම දැන් රාත්‍රියටද පෙම් කරමි.  

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Wednesday, February 11, 2015

උග්‍ර වාදියෝ

එකෙක් උග්‍ර මෛත්‍රීවාදියෙකි. අනෙකා උග්‍ර මහින්දවාදියෙකි. ඔවුහු තර්ක කර ගත්හ. බැණ ගත්හ. අනෙකාගේ අපේක්ෂකයාට ගැසිය හැකි තරම් මඩ ගැසූහ. ඒ වචන අතර ‍පොදු සමාජයේ අකැප යැයි සැලකෙන වචනද යහමින් අන්තර්ගත විය. පිටතින් බලා සිටියෙකුට මේ නම් ජන්මාන්තර වෛරක්කාරයන් යැයි සිතෙන තරමට ඔවුහු බැණගත්හ.

නමුත් ඔවුන් දෙදෙනා නිතරම පාහේ සිටියේ එක්වය. තේ එකක් බොන්නට පවා ගියේ එකටමය.

මේ පිළිබඳ උනන්දු වූ අයෙක් මෙසේ විමසීය.

මචන් උඹලා දෙන්නා දෙපැත්තට කතා කරපු විදියට එකට ඉන්නවා දකින එකත් පුදුමයි. වෙන උන් දෙන්නෙක් නම් ගහමරාගෙන හොස්පිටල් ඇඩ්මිට් කරලා.

මචන් මම උග්‍ර මෛත්‍රීවාදියෙක් බවත් ඇත්ත. මූ උග්‍ර මහින්දවාදියෙක් බවත් ඇත්ත. ඒත් අපි ඊටත් වැඩිය උග්‍ර මිත්‍රවාදියෝ...


ලියා එව්වේ - වර්ණ ( http://warnakulakaya.blogspot.com )

Wednesday, February 4, 2015

අසිපතක කඳුළු....

ඉස්සර මම නිකම්ම නිකම් යකඩයක්. උඹයි මට පණ පොවලා, තලලා, මුවහත් කරලා ගත්තෙ. ඒ නරුම හේවාය මාව උදුරගන්නකොට උඹේ ඇස්වල තිබුණු කඳුළු ඌට පෙනුණෙ නෑ. අඩු තරමේ දොයිතුවක්වත් උඹට විසි කළා නම්...
දැන් කියනවා උඹ රාජ්‍ය ද්‍රෝහියෙක්ලු. රාජ්‍ය ද්‍රෝහීන්ට ආයුධ හැදුවලු. කැත්තක් හදපුවාම හම්බෙන වී ටික ගන්නත් දෙකට නැමෙන උඹේ රාජ්‍ය ද්‍රෝහිකම මමනෙ දන්නේ.
කිණිහිර ගිනියම් උනේ උඹේ හිතේ ගින්දරට කියලා මමයි උඹයි උඹේ මනුස්සයයි විතරයි දන්නේ. මුන්ට ඒවාගෙන් වැඩක් නෑ. මට දුක උඹව මරන්න මාවම ගේන එක. මීට වඩා හොඳයි මහ පොළවෙම මළ කාල දිරල ගියානම්. ඇයි තාත්තේ උඹ මාව උදලු තලයක් නොකර අසිපතක්ම කළේ..
මට සමාවෙයන් කම්මල්කාර තාත්තේ....

ලියා එව්වේ - වර්ණ ( http://warnakulakaya.blogspot.com )

Wednesday, January 28, 2015

විශ්වාසය සමග නිදි වැදීම

වැඩි වියක් නොවූ ඒ මුහුණ මත අහිංසකකම මැනෙවින් දැකගත හැකිවුණා. මන්දගාමී සිපගැනීම් වලින් අනතුරුව ලෙහී ගිය සළු මතින් ලැජ්ජාවද ඉපිද තිබුණා.

අපැහැදිලි සියුමැලි හඬින් ඇසුණු වදන් පෙළ තුළ සිතිය හැකි අයෙකුට සිතන්නට බොහෝ දේ රැඳී තිබුණා. නමුත් ඒ කිසිත් නෑසෙන නිර්දය සිතක් ආදරයේ අග්‍ර පල නෙළන්නට වෙහෙසුණා.

අඳුරු තැනක සැඟවී සිටි කැමරා ඇසක් මේ සියලු දේ දෙස අනුකම්පා විරහිතව බලා සිටියා.

නොපිපි කැකුළු වෙත
ලියමි සෙනෙහසින්
බඹරු දෙබරු ගැන
සමනලයින් ගැන
නොදත් නුඹට
ලියමි සෙනෙහසින්........

නමක් නොමැති නවාතැනක
දොරගුලු ලා රොන් ඉල්ලන
වන බඹරුන් ඇත
සමනලයින් ඇත......

සියුම් ඇසක් නුඹට හොරෙන්
සඟව තබා රොනට වඩින
සමනලයින් ඇත
වන බඹරුන් ඇත.....

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Wednesday, January 14, 2015

හෙට මගේ මංගල දිනයයි

හෙට මගේ මංගල දිනයයි. කවුළුවට බරදී සිටින මට පෙනෙන්නේ සැහැල්ලුවෙන් පාරේ යන කෙලි රංචුවකි. උන්ට මෙන් මටත් දවසක් තිබුණා මතකය.

මා සිටින්නේ ගෙදරින් බොහෝ දුර නිලූ නැන්දාගේ ගෙදරය. නිලූ නැන්දාවත් නොසිටින්නට මම අද මෙලොව නොසිටිනු නොඅනුමානය. 

මගේ මංගල්‍යයට එක්වෙතොත් ඒ අම්මා පමණි. ඇයද නාවොත් පුදුම නොවෙමි. තාත්තා, අයියා, නංගී, අක්කා කිසිවෙකු නොඑනු ඇත. තාත්තාගේ මුහුණ යළි කිසි දිනෙක දකින්නට හැකිවේයැයි සිතන්නට අපහසුය. 

සේනකටවත්, වීඩියෝ කැමරාවටවත්, ඒ නවාතැන් පොළටවත්, අන්තර්ජාලයටවත් දොස් නොකියමි. ද්වේශ නොකරමි. මම ද්වේශ කරන්නේ මගේ ආදරයටයි. ඒ විශ්වාසයටයි. අණුවනකමටයි.

හෙටින් පසු මා මනාළියක්මි. නමුත් මා මෙන් මෙම අඳුරු ඉරණමට මුහුණදුන් සෑමදෙනාටම මේ තත්ත්වයෙන් හෝ සැනසීමක් හිමිවුණේදැයි සැක සිතමි.

ලියා එව්වේ - වර්ණ ( http://warnakulakaya.blogspot.com )

Friday, January 9, 2015

නෙත් මානයෙන් මිදෙන්නෙමි.....

එහා පැත්තේ සීට් එකේ වාඩිවෙලා ඉන්න ලස්සන කොල්ලා දිහා තාරුකී උනන්දුවෙන් තුන්හතර පාරක්ම බලද්දි හංසට දැනුණෙ පුදුම දුකක්. හංසට තමන්ගෙ පපුව හිරවෙනවා වගේ දැනුණා. තමන් එක හිතින් ආදරේ කරන කෙල්ල තමන් ළඟ ඉදිද්දිම වෙන කොල්ලෙක් දිහා උනන්දුවෙන් බලනකොට මොන කොල්ලටද දුක හිතෙන්නෙ නැත්තේ කියලා හංසට හිතුණා. ඒත් ඒ ගැන අහල රණ්ඩු වෙන්න, තාරුකීට දුකක් දෙන්න හංසට හිතුණෙ නෑ.

හංස?

ම්ම්...

අර එහා පැත්තේ සීට් එකේ ඉන්න බෝයිව දැක්කද ඔයා?

ඔව් ඇයි තාරුකී?

එයා මගෙ නැති වෙච්ච අයියා වගේමයි. එයා දැක්කාම මට අපේ අයියාව මතක් වුණා හංස

හංසට දැනුණෙ කලින් දැනුණටත් වැඩිය ලොකු දුකක්. හංස තාරුකීව තමන්ගේ උරහිසට ආදරෙන් හේත්තු කරගත්තා.

ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)

Wednesday, December 10, 2014

උමතු කත




පාන්දරම වැඩට යන්න බස් ස්ටෑන්ඩ් එකට ආපු මට දැනුණෙ තද සීතලක්. ගොරෝසු රෙද්දක් පෙරවන් බිම නිදන් ඉන්න මේ උන්දැ කොහොම මේ සීතල දරන් ඉන්නවද? පිස්සි පිස්සි කියලා හැමෝම උන්දැට ගැරහුවට බුදුදහමට අනුව පෘතග්ජන අපි හැමෝටම පිස්සු. මටත් බැඳීම් වෙනුවෙන් වෙහෙසෙන්න නොවුණ නම් මේ උන්දැගෙයි මගෙයි ලොකු වෙනසකුත් නෑ.

තුසර පිනි බිඳු හඬ නගා
සීතලේ ගීතය ගයන්නේ
බස් නැවතුමේ රළු පෙරවුමේ
කවුද මේ නිදි සුව සොයන්නේ

නීල සිකිපිල නේක සුවඳින් සරසවා
සේද සළු හැඳ හංස අඟනුන් සරන්නේ
කවුද මේ වැරහිලි අඳින්නේ
දුහුලියෙන් හිස සරසවන්නේ

සදාචාරය ශ්වේත සළුවෙන් ගත වසා
උමතු සිත්ගත් පෘතජනයන් සරන්නේ
කවුද මේ ගැරහුම් ලබන්නේ
උමතු කත යැයි කියන්නේ

ලියා එව්වේ - වර්ණ

Wednesday, December 3, 2014

අලුත් තැනක්

එළඹෙන වර්ෂාවෙන් ආරක්ෂා වීමට නව වාසස්ථානයක් සොයාගත් පසු කළු කුහුඹු නායකයා සිය රැල ඇමතීය. ආදරණීය ජනතාවෙනි. අද අප අලුත් තැනකට පැමිණියා. ළඟ එන වර්ෂාවෙන් බේරී සිටීමට මෙතැන ඉතා සුදුසුයි. රැගෙන ආ කෑම සුරක්ෂිතයි. බිත්තර ආරක්ෂිතයි. නමුත් එන අතරමග අප අතර සිටියවුන් බොහොමයක් මියගියා. ඇතමුන් මගහැරුණා. ඔවුන්ද මතු දවසක මිය යන බව අපගේ අදහසයි. එනමුත් අහිමිවූවන් වෙනුවෙන් ලතැවී සිට පළක් නොවන බව අපගේ අදහසයි. එමෙන්ම අප හැර ගිය අපේ සහෝදරයන් අපි අතරම යළි ඉපදෙන බව අපේ විශ්වාසයයි. ඔබත් ඒ විශ්වාසයට පැමිණෙන්න. මිය ගිය වුන් අපි අතර යළි ඉපදේවායි ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවෙන් මේ වස්සානයේ වැඩි වැඩියෙන් සංසර්ගයේ යෙදෙන්න. ඔබ සැමට ජය.

ලියා එව්වේ - වර්ණ

Related Posts Plugin for WordPress, Blogger...