Tuesday, May 31, 2011

දවසට 3 වරක් දත් මදිමු..

සරබර ගාලා සද්දයක් ඇහුනා
හානේ මගේ දකුණු කකුලේන් ඇහුනේ
නැනැ දකුණු කකුලේ සාක්කුවේන්
අඩේ.. ටොෆියක්නේ....!
මුදලාලි පොඩිවා නැතිව ටොෆියක්දීලා

මහ රැට පැණි රහා කන්ට හොද නැ..
මයිකල් මාමායි ඩෙනිස් මලයයි කිවා රැට දත්මදින්ටලු..
අනේ මට බැ රැට දත් මදින්න..! මං උදෙත් මැද්දානේ..
රැට මදින්නෙ මොන මංගල්ලයකටද ?

එහෙම කියලා කොහොමද දරුවො ?
කටේ පණුවෝ දත් සැට් එක බෝර ගහන්න විදිනවා වගේ විදින්න ගනීවී
අවුරුදු 5 ක පොඩි එකෙක්ට වගේ අපේ අම්මා මට හැමදාම ඔක කියනවා
හික් හික් හික්
දවසට දෙපාරක් දත් මදින්ටොන..
නැත්නම් මයිකල් මාමලාගේ ජොබ් එක වතුරෙනේ..!
හානේ... දවසට දෙපාරක් නෙවේ අපි 3 පාරක්ම දත් මැදලා

ටුත් පෙස්ට් ඉවරකරගම්මු..!

ලියා එව්වේ - බනියා (http://freeanushka.blogspot.com/)

Monday, May 30, 2011

වචන 100කින් කියන්න දෙයක් මටත් තියෙනවා

නැවුම් බ්ලොග් කරුවෙකුගේ නැවුම් සිතුවිලි සිය වචනයකින්

වටින් ගොඩින් එලිය වැටෙනවා.. මුලු රෑම නිදාගත්තෙ නැති උනත් හිතට ගතට මහන්සියක් නෑ. බ්ලොගින් වලට ඇවිත් සති තුනයි. බ්ලොග් කලාවට හිතේ තියෙන ආසාව එන්න එන්නම වැඩි වෙනවා.. සති තුනකදී ගොඩක් දේවල් කලා.. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. බ්ලොග් කෙරුවාව දැන් ජීවිතේ කොටසක්...

ඇඩ්සෙන්ස් වලින් කීයක් හරි හොයාගන්න පුලුවන් සයිට් එකක් හදන්න හිතාගෙන ආපු මම මේ සීමා මායිම් නැති ඉලෙක්ට්‍රොනික අවකාශයේ කවදාවත් දකින්න නොහිතපු දෙයක් දැක්කා .. ඒ තමයි මනුස්සකම.. මුලින් සල්ලි හොයගෙන ආපු මමමද මේ සල්ලි පැත්තකට දාල මනුස්සකම, අදහස්, දැනුම බෙදාගන්න හදන්නෙ කියලා වෙලාවකට හිතෙනවා.. නොදැකපු මනුස්සයයෙක්ගෙන් මනුස්සකම අත්විදිනවා කියන්නෙ කොච්චර සුන්දර දෙයක්ද?


ලියා එව්වේ - චතූ (http://yasanthaonline.blogspot.com/)

Sunday, May 29, 2011

ඉර

රතුම රතුපාටට අහසේ තිලක තියලා හිරු සාගරේ අග්ගිස්සට වෙලා අන්තිම වතාවට ලෝකෙ දිහා බලන වෙලාවේ මම ඔයාගේ උරිස්සට හේත්තුවෙලා..

මුහුදු හුළඟ මගේ කොණ්ඩේ හොඳටම අවුල් කරලා..

දැන් නම් නියම පිස්සි... මගේ ඔළුව අත ගගා ඔයා ආදරෙන් මුමුණනවා මට ඇහුණා....

මම කිසිම සද්දයක් නැතුව ඔයා ගේ උණුහුම විඳින්න ඇස් පියාගෙන..

ඔයා නිදිද? මට පාළුයි නැගිටින්නකෝ ඉතිං.....

මම නෑහුන ගානට ඇස් දෙක තවත් තද කරලා පියා ගත්තා..

ඔයා හෙමින් ඔළුව පාත් කරලා එකපාරටම මගේ නළලට උම්මා එකක් දුන්නා..

අනේ තව එකක්

මං ඇස් පියා ගෙනම කිව්වා

කට්ට කෙල්ල

ඉරත් හිනා වෙවි මුහුදු පතුලට යන ගමන ඉක්මන් කරන හැටි නෙත් කොනට මට පෙනුනා....


ලියා එව්වේ - උපේක්ෂා (http://gurupara.wordpress.com/)

Saturday, May 28, 2011

සිහින මාලිගාව

අපි දෙන්නා හැදුව සිහින මාලිගාව බිඳිලා යන්න ගියේ තත්පර කීයද?

ඔයාගේ ඔය සීතල අත්දෙක මගේ මුහුණට තියලා තද කරගන්ත ඒ තත්පර විස්ස තිහ මට මාව කවුද කියලා අමතක කෙරෙව්වා. රත්තරන් මම ඔයාට ආදරේ ඒක නිසා.

ඒක හරිම පූජනීයයි.

මුහුණට වැටිලා හුළඟේ ඔහේ පාවෙලා යන දඟකාර කෙහෙරැල්ල දිහා බලාගෙන මට ශතවර්ෂ ගානක් ගෙවන්න පුළුවන්. මගේ දඟකාරි ලඟ මගේ හිත නතර වෙලා. ඔයත් එක්ක අත් අල්ලගෙන සිරීපාදෙ නගින්න. පේරාදෙනිය මල්වත්තේ ඇවිදින්න. ඔය උකුල උඩ ඔළුව තියාගෙන ඇස්දෙක පියාගෙන ඉන්න. මම තාමත් පෙරුම් පුරනවා.

මගේ ජීවිතේ තියෙන සතුට රැඳිලා තියෙන අංශු මාත්‍රයම තියෙන්නේ ඔයාගේ ලඟ.

තාමත් මගේ රත්තරන්ට මම ආදරේ මගේ පණටත් වඩා...


ලියා එව්වේ - බ්ලොග්කාරයා (http://asinhalablogger.blogspot.com/)

Friday, May 27, 2011

උඹ ඕනවට වඩා වැඩියි

මොන බංබුවක්ද.....

දැන් කතා හය හතක්ම ලියුවා.. ඒ ඔක්කොම වචන එකසිය පනහකටත් වැඩියි.

ආසාවෙන් ලියලා ගණන් කලාම නේද ඉතින් එකසිය ගානට තදවෙන්නේ..

බැරිම තැන විශේෂණ පද අයින් කලා, අර පද මේ පද හැමදේම අයින් කලා. ඕලෙවල් වල සාරාංශකරණය කලා වගේ කපලා දැම්මා වචන. ඒත් වචන දහය පහලොවකට වඩා අඩු කරගන්න බැරි උනා.. බැරිම තැන දමලා ගහලා නිකන් හිටියා...

''උඹ ඕනවට වඩා වැඩියි''

''කඩනවා තොගේ අත ආයි මුකුත්ම ලියන්න බැරි වෙන්න''

ඉස්කෝලේදි ප්‍රින්සිපල්ට පෙත්සං ගහලා අහුවෙලා කිව්වේ එහෙමයි.

මට හිතෙනවා දැන් ඒක ඇත්ත කියලා. මං ඕනවට වඩා වැඩියි, මගේ වැඩත් ඕනාවට වඩා වැඩියි. ලියන්න ගිහාම කෝච්චිය වගේ..

පොඩි දෙයක් ලියන්නම බැහැනේ..


ලියා එව්වේ - දසුන් මධුසංක

Thursday, May 26, 2011

පිනට වැඩ..

ඔයාට පිස්සුද?
ඇය මා දෙස බලා සිටියේ අමුතු සතෙක් දෙස බලා සිටින්නා සේය.
ඇයි?
ඇයි කියන්නේ? ඇයි එක එකාට පිනට වැඩකරලා දෙන්නේ? ඔයා ඔහොම ඉන්න ඕනි කෙනෙක්ද?
ඇය අනාගතය ගැන සිහින දකිමින් සිටියාය. ඇයගේ අනාගතයේ ෆුල්ඔප්ෂන් ගෙයක්, හොඳ ඉස්කෝලෙකට යන ලමයි දෙන්නෙක් මැරිමැරී ඉපදේ.
ඒක මගේ ආසාව. ඔයාට ඒක තේරුම් ගන්න බෑ. තමන් තෘප්තිමත් දේ කාටවත් කරන්න බෑ. අඩුගානේ මම ඒකට උත්සාහ කරනවා. 
ඇය මුහුද දෙස බලා සිටී. පරාජය පිලිගෙන සෙයකි.
දුරකථනය සාක්කුව තුල දෙදරයි.
අයියේ. හෙට වීඩියෝ Shoot එකක් තියෙනවා‍ පිලිමතලාවේ.
මම එන්නම්.. 
ආයි හම්බ කරලා දෙන්න යනවා නේද? ඔයා හැදෙන්නේ නෑ. 
ඇය දඟකාර සිනාවක් පා මගේ උරහිසට බරවිය..

ලියා එව්වේ - ආගන්තුකයා (http://ambarox.blogspot.com)

Wednesday, May 25, 2011

කොල්ලෙක්ට හිත ගිහින්...

එහා මේසේ කොල්ලො සෙට් එකම අපෙ දිහා සැරින් සැරේ හොරෙන් බලද්දි මම හිටියෙ නිකංවත් උන් දිහා නොබල.

එකෙක්වත් ගණන් නොගෙන.

අන්ජුයි, තිළිණියි, සුලායි එක්ක කෝක් කෑන්වලට වගකියමින්.

ඒ වෙලාවෙයි දැක්කෙ බොහොම අහම්බෙන් ඒ කොල්ලො අතරෙ හිත ගිය ඇස් දෙකක්.

ජෙල් ගාපු උල් කොණ්ඩෙ, කියුට් ඇඟක්... බිමට බරවෙලා තියෙන මූනෙ අමුතුම ලස්සන හිනාවක්.

එ විධියට හිනාවෙන නළුවා මම මතක් කලේ. හොලිවුඩ්? බොලිවුඩ්? මතක නෑ...

මම එයා දිහා බලන් හිටියා.

හොරෙන්. කාටවත් නොදැණෙන විධියට.

එයා ඔළුව උස්සලා බලන්නෙම නෑ...

ෆෝන් එකෙන් කොටනවා කොටනවා... වට පිටාව ගැන කිසිම අවධානයක් නෑ...

චැට් කරනවද කොහෙද...

මට පේන්නෙ මෙයා ට්විටර්, ෆේස්බුක්, බස් සේරම ෆෝන් එකේ දාගෙන.

ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Monday, May 23, 2011

ඔයා දැම්මොත් මමත් දාන්නම්

හායි කොහොමද ඉතින්... අපියි එයයි ගැන ඔයාල කියෙව්වද? ඒව ගැන කතාකරන්න අපි බයයි නිසා නොකියෙව්වට කමක් නෑ.

හැමවෙලේම අපි ඉතිං හොඳ දෙයක් බෙදගෙන්නනෙ උත්සාහෙ. ඒකෙදි ඔය පට්ට හරි එල හරි කියල දාන කමෙන්ට් එකත් වටිනවා. ඒවයින්නෙ ආයෙ ලියන්න ශක්තිය සපයන්නෙ. ඔය පණ්ඩිතයො මොනව කිව්වත් බ්ලොග්කාරයෙක්ට කමෙන්ටුවක් කියන්නෙ ලොකු දෙයක්.

හැබැයි ඉතිං වැඩේ සාධාරණ වෙන්න ඕන. මම කමෙන්ට් එකක් දාන්නෙ එක විධියක ආයෝජනේකට! ඒ කිව්වෙ ඒ බ්ලොග් එකේ අයිතිකාරයව මගේ එකට ගෙන්නගන්න. නැතිව වැලේ වැල් නැති පෝස්ට් වලට කමෙන්ට් දාන්න මට පිස්සුද? මට ඕන හිට්ස්!

ඉතිං ඔයාගෙ බ්ලොග් එකේ මගෙ කමෙන්ට් එකක් ඕන නම් මගේ එකේ ඔයාල කමෙන්ට් කරන්න ඕන හරිය.


ලියා එව්වේ - බ්ලොග්කාරයා (http://asinhalablogger.blogspot.com/)

Saturday, May 21, 2011

ආදරේ බැටරියක් වගේ

අපි දෙන්න අළුත් බැටරියක් වගේ සක්‍රියයි ඉස්සර...

ඒ දවස්වල අපිට බොහොම දේවල් තිබුණා නොනවත්වාම කියවන්න.

ලොකු විභව අන්තරයක් තිබුණ අපි දෙන්න අතරෙ...

රෑ දෙගොඩහරියක් වෙනකල් ඉලෙක්ට්‍රෝන ගලපු ගැලිල්ල ගැන හිතද්දිත් පුදුමයි...

දැණුනෙවත් නැති ගානයි...

ඒත්...

තේරෙණවද...?

දැන් බැටරිය පරණ වෙලා... පුංචි බල්බ් එකක් පත්තුකරගන්නත් අපිට ලොකු වෙලාවක් යනව.

ඒක වුණේ අපි දෙන්නගෙම අවිඥානය ඇතුලේ.

කාලයක් තිස්සේ ජීවිතේ අපිව එතනට ගෙනත්...

නැත්තං අපි ඉටිපන්දම් වලින් සැනසෙන්න පුරුදු වෙලාද මන්දා...

අපි ඔය ඉටිපන්දම් වලටත් ලේසියෙන්ම හුරුවෙන්න ඉඩ තියෙනවා.

ඒත් ඒක එහෙම වෙන එකනම් හොඳ නෑ...

අන්තිමේ කළුවර ඉතිරි වෙලා අනිත් හැමදේම නැති වෙයි.

මොකද ඔයා කියන්නේ...?

අපි රිචාජ් කරන්න පුළුවන් බැටරියක් දාගමුද?


-
ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Friday, May 20, 2011

වචන වැඩියිලු....

ආදරනීය වස්තු,

මීට සතියකට විතර කලින් මම පලවෙනි පාරට 100ට ලියන්න ගත්තා. අපි දෙන්නගේ ආදරේ ගැන ලියලා ලියන හැම ලිපියක්ම පටන් ගන්නවා කියලයි මම හිතන් ඉදියේ. ඉතින් මම ලිව්වා. අපේ ආදරය ගැන. ඔයා මට ආදරේ කරපු එක ගැන..

අද උදේ පාන්දරම බලනකොට 100න් email එකක්. හිත ගොඩක් සතුටින් පිරිලා ගියා. හනි හනිකට email එක මම කියෙව්වේ වෙනදටත් නැති ඕනෑ කමකින්..

ඔබගේ ලිපියේ වචන ප්‍රමාණය සියයකට වඩා වැඩි බව සියක් ගණනයෙන් ප්‍රකාශ විය. එම නිසා කණගාටුවෙන් උවද ලිපිය භාර ගත නොහැක. හැකි නම් නිර්මාණය වචන 100කට ගොනුකර නැවත එවන්න.

සීය ගණින අපි

ඇත්ත,
කවදාවත් අපේ ආදරේ වචන 100කට ගොනු කරන්න බෑ.

ලියා එව්වේ - රත්ගමයා (http://sun-ge-lookaya.blogspot.com/)

Thursday, May 19, 2011

ඔහු සහ අප

ඔහු කියා දුන්නේ ගොඩ අඩු කරගැනීමටය.

අපි හැමදාම ගොඩ වැඩි කරගන්නේ කෙසේදැයි මාන බලන්නෙමු.

ඔහු සතුරන්ටද මෛත්‍රී කරන්නට ආදර්ශමත් විය.

අපි සතුරන් නසා ප්‍රීතියෙන් සමරන්නෙමු.

ඔහු නැවත ඉපදීම නැමැති මුදුන් පරාලය සින්දේය.

අපි පෙර ආත්මත් ඉදිරි ආත්මත් පටලවාගෙන මේ ආත්මයේ දුක් විඳින්නෙමු.

ඔහු පංච සීලය සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගය සරල ජීවිතයකට මගක් ලෙස විග්‍රහ කළේය.

අපි ඒවා කටපාඩම් කර උදේ සවස මෙනෙහි කරමින් ඉන් පරිබාහිර දේම කරමින් සිටින්නෙමු.

ඔහු අන් මතයන් ඉවසීය.

අපි ඔහුගේ නාමයෙන් අන්මත දරන්නන් සුන්නද්ධූලි කරන්නෙමු.

ඔහු සියල්ල නැසෙනසුළු බව ප්‍රත්‍යක්ෂ කළේය.

අපි එය කිසිදා නොපිළිගෙන රැකීම උදෙසාම රකිනා දෙය විනාශයට රැගෙන යන්නෙමු.

ලැයිස්තුවනම් තව බොහෝ දිගය.


ලියා එව්වේ - බ්ලොග්කාරයා (http://asinhalablogger.blogspot.com/)

Wednesday, May 18, 2011

ගුගල්ලාගේ වෙසක් තිළිණය

බ්ලොගර් මත බ්ලොග් ලිවීම කරපු හැමෝටම පහුගිය දවසක දෙකකදි මුහුණ දෙන්න වුණ සිදුවීම අමතක නැතිව ඇති. ලංකාවෙ අපි කරක් ගහන ෆේස්බුක් එකේ ස්ටේටස් මැසේජ්, ට්විටරයේ ට්වීට් එක්ක ගුගල්ලගෙම බස් එකේ පෝස්ට් දමමින් හැමෝම ඒ ගැන දුක් වුණා.

හරියට කන්න ලැබුණෙ නෑ වගේ හැමෝම හිටියෙ. හැමෝටම දැණුන යාළුවෙක් නැතිවුණා වගේ දුකක්. කියවන්න දේකුත් ඒ දවසට දෙකට තිබුණෙ නෑ වැඩිය. සිංහල බ්ලොග්වලින් ගොඩක්ම තියෙන්නෙ බ්ලොගර් උඩ ලියවෙන ඒව නිසා ඒ එකක්වත් අප්ඩේට් වු‍ණේ නෑ. ආසාවට කමෙන්ට් එකක් දාගන්න විධියක් තිබුණෙ නෑ.

ඇත්තටම ගුගල්ලට උවමනා කරල තියෙන්නෙ හැමෝටම වෙසක් තිළිණයක් දෙන්න. අනිත්‍ය මෙනෙහි කරවන්න, ඉවසීම ප්‍රගුණ කරන්න.

ඒ ගැන හැමෝම ගුගල්ලාට පිං දෙමු.



ලියා එව්වේ - රජී (http://rajisometimes.blogspot.com/)

Tuesday, May 17, 2011

ටීවී එකෙන් එන්නෑලු!

සමුද්‍රා මේ පාර වෙසක් පෝයට පන්සලේ සිල් ගන්න හිතුවෙ කාලෙකින්. හැමදාම කාර්යාලෙ පීඩනයකින් පෙලෙන හිතට සිල් ගැනීමෙන් පොඩි සහනයක් ලැබෙයි කියලයි එයා හිතුවෙ.

මේ පාර සිල් වැඩසටහන ටීවී එකෙන් සජීවීව දෙනව කියල ආරංචියක් තිබුණා.

ඒක තමන්ට කරදරයක් වෙයි කියල හිතපු සමුද්‍රා සිල්ගන්න හිටපු සෙනග පීරගෙන ගිහින් බෝ මළුව කෙලවරක හෙවණක සුදු රෙද්ද එලාගත්ත.

හැම පෝයටම සිල් ගන්න ආච්චිල කණ්ඩායම තමයි ධර්මාසනය කිට්ටුවෙන්ම ඉඳගෙන හිටියෙ.

පන්සලේ පුංචි හාමුදුරුවො ඇවිත් කියපු දෙයක් නිසා ඒ ආච්චිල කලබල වුණා. කීප දෙනෙක්ම නැගිට්ටා.

මැගිලින් ආච්චිත් එතනින් නැගිටල කඩිමුචියෙ සමුද්‍රා කිට්ටුවට ආව.

“මේ මම හැමදාම සිල් ගන්න තැන. ඔයා ටිකක් එහාට වෙන්න දුව. ටීවී එකෙන් එන්නෑලු”

ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Monday, May 16, 2011

ඔබ ආදරේ කරන්නේ ඇයි..

මාතෘකාව ----->      ඔබ ආදරේ කරන්නේ ඇයි???

අන්තර්ගතය-------->

ශ්‍රී ලාංකීය බුද්ධිමත් තරුන ප්‍රජාව ගෙන් මෙම ප්‍රශ්නය විමසුවොත්??


  1. විවාහ ජීවිතයට පිවිසෙන්න සුදුසුම සහකාරිය සෙවීමට.
  2. කම්මැලි වෙලාවට ෆෝන් එකෙන් මල් කඩන්න.
  3. facebook එකේ In a relationship with _____________ කියලා add කරගන්න
  4. film එකක් බලන්න තනියම යන කම්මැලි හින්දා
  5. classes ඉවරවෙලා ගෙදර යන ගමන් කතා කර කර යන්න.
  6. ඇත්තටම එයාගෙ ගතිගුන වලට හිත ඇදිච්ච හින්දා
  7. රති සුව විදින්න <චී>  (තේරෙන්න කිව්වොත් rooms ගානේ යන්නේ???)
  8. වෙනත් (උඹලට උඹලිලට ඕන දෙයක් කොටන්ට.

**"අස්තිර වූ ස්ත්‍රී රූපයේ ස්තිර වූ ප්‍රේමයක්...
විරලත්වය සොයා වන්නා වූ ඔබගේ මාවතක ඉදිරියට
චාටර් වීම් නෝන්ඩිවීම් පජාතවීම් කාඩ් කුඩුවීම්
දූරීම්භූත වේවා යයි පතමි..."**

ලියා එව්වේ - යසියා (http://yasiwett.blogspot.com)

Sunday, May 15, 2011

එකම අවසානය

ආරම්භය

කතාව පටන් ගන්නේ අඳුරන්නේ නැති කෙනෙකුගෙන් ලැබුන දුරකතන ඇමතුමකින්..

අවසානය 1
“ඇත්ත කියපන් ගෑනියේ. කවුද ඒ කෝල් කරපු මිනිහා. උඹට ඌත් එක්ක හොර හොරාට මුමුණන්න ගොඩක් දේවල් තියනවනේ. තෝත් එක්ක තවත් දීග කාලා වැඩක් නෑ.. හොඳ හිතින් තියන ලට්ට ලොට්ට ටිකත් අරගෙන බැහැපන් එලියට මගේ යකා අවුස්සන්නේ නැතුව.”

අවසානය 2
“ඇත්ත කියපන් මිනිහෝ.. කවුද ඒ කෝල් කරපු එකී. උඹට ඒකිත් එක්ක හොර හොරාට මුමුණන්න ගොඩක් දේවල් තියනවනේ. තමුසෙත් එක්ක තවත් දීග කාලා වැඩක් නෑ.. මම ඔක්කොම ටික ඇඳුම් පැක් කරගත්තා.. මේ දැන්ම යනවා අම්මලාගේ ගෙදර.”

කතාවට අවසානයන් දෙකක් තිබුණ උනත් අන්තිමට ගෙදරින් එලියට බැහැලා යන්න වෙන්නේ එකම කෙනාට නේද?

ලියා එව්වේ - රත්ගමයා (http://sun-ge-lookaya.blogspot.com/)

Saturday, May 14, 2011

එදා සහ අද

ඇගේ ලය ප්‍රදේශයෙන් උණුසුම් රුධිර දහරා ගලා යමින් පැවතින. ලේ වැකුණු පිහිය පසෙකය. පිහි ඇනුම නිසාවෙන් අප්‍රාණික වෙමින් තිබූ සිරුර, බමන මතින් සිටි ඔහුගේ සිරුරට බරවිය. ඇයව වත්තම් කරගෙන බිත්තියට හේත්තුවූ ඔහු එතැනම වාඩිවී, රුධිරයෙන් නැහැවුනු අතින් නිකට ඔසවා,

“ඉස්සර උඹ කිව්වානේ මගේ තුරුල්ලේම මැරිලා යන එක තරම් සැපක් උඹට නැහැ කියලා, ඕන් දැන් උඹේ පැතුම ඉෂ්ට වෙන්නයි යන්නේ”යි වදන් පටලමින්, ගොත ගසමින් පැවසුවේය.

“ඔව්............. මං එහෙම කිව්වා......................, ඒත් මං එහෙම කිව්වේ.................... මං එදා ආදරේ කරපු,................. මට පණ වගේ ආදරේ කියලා කියපු.................. ඒ දෙයියන්ගේ අතේ මිස................... අද මේ ඉන්න......................... කාලකණ්නි නරුමයාගේ අතේ නෙමෙයි යකෝ............................” එසැනින් ඇගේ අවසන් සුසුම වාතලයේ අතුරුදන්විය.

ලියා එව්වේ - රන්දිල් (http://ranrandil.blogspot.com/)

Wednesday, May 11, 2011

මම කිනිස්ස අතට ගතිමි..

ඔයා මට ඇත්තටම ආදරේද?
ඇය ඇඳෙන් ඉස්සීමට දුබල උත්සාහයක යෙදෙමින් සිටියාය.
මම ඇයගේ ඉණවටේ අතදමා ඇයව ඔසවා තබා ඇය අසලින් හිඳගතිමි.
මම ජීවිත කාලේම ජීවත්වුනේ මේ මොහොත වෙනුවෙන්. 
ඇය සුන්දර සිනාවක් සමග අමාරුවෙන් රාත්‍රියේ අප දෙදෙනා ආවරණය කල ඇඳරෙද්ද ඉවත්කලාය.
පැල්ලම අඳුරු පැහැයට හැරී තිබුනි. අද හවසම අළුත් රෙද්දක් රැගෙන ආ යුතුය.
දැන් ඔයාගේ වාරය. 
ඇය කොලපැහැති මිටක් තිබුන කිනිස්ස මදෙසට දික්කලාය.
පිස්සු හැදීගෙන එනවාද?
මම කිව්වානේ බෑ කියලා. 
මම ඇයට ආදරේ කලෙමි.
ඔයාට ඕනි මාව විඳවලා මැරෙනවා දකින්නද?
මේකෙ අවසානයක් තියෙන්න ඕනි. ඒක වෙන්න ඕනි මෙහෙම.....
ඇයගේ දෑස් ප්‍රීතියෙන් දිලිසේ. මට ඒ දීප්තිය දරාගත නොහැක.
මම කිනිස්ස අතට ගතිමි..

ලියා එව්වේ - ආගන්තුකයා (http://ambarox.blogspot.com)

Tuesday, May 10, 2011

එනවානම් එන්න

අහිංසක ආදරේ කඩුලු බින්දු ඉතිරීලා
දෙනෙතගින් දෝරේ ගලනවා
මොනවාදෝ මටත් මතක්කරවමින්......
මගේ මුලු ලෝකෙටම වැඩියෙන්
නුබ මගේ පණටත් වඩා
වටිනවා නුබට තාමත් මතකයිද මන්දා.....
ආදරේට "මෝඩයා" කිව්වාම
"එහෙනම් ඇයි මෝඩයෙක්ට ආදරේ මෙච්චර?"
ගොලුවුනා මතකයිද දවසක්????
මිටියි, යාන්තම් මහතයි, සුදුයි.
දැක්කාම කාටත් ආදරේ හිතෙයි.....

ෆේස්බුකියෙන් නුබ මාව හමුවුනේ
රුවට පෙර ගතිගුනට ආදරේ හිතුනේ
මන් මුරන්ඩුයි දගකාරයි තමයි
එත් හැමදාම මම නුබට ආදරේ කලා
ඇයිද නුබ ඒක නොදන්නේ???
ආදරේ මට නම් භයානක හීනයක්
එක එක විදියට එක එක දවසට පේන
තවමත් අපි අපේමයි අපි දන්නවා
තවමත් මම ඔය හදවතේ ඉන්නවද?
ආයෙමත් ආදරය ඉස්සර වගේම හුවමාරු කරගන්ට
තාමත් හදවතේ ඉන්නවා නුබ
එනවනම් එන්න...


ලියා එව්වේ - යසියා (http://yasiwett.blogspot.com)

Monday, May 9, 2011

එකම මගක පියවර

දවසින් දවස උදාවෙමින්
ගලාගෙන යද්දි ජීවිතය
සිදුවීම් එකින් එක
උදාවෙයි ආයෙමත්

ඊයේ දවස විඳි විලස මම
අද දවස විඳියි අනෙකෙකු
ඊයේ සිනාසී අද මා හඬන විට
අයෙක් සිනාසෙයි හෙට කඳුල බව නොදැන

ඊයේ මා පියනැගූ මාවතේ
රැව් නැගි ඇගේ සිනාව වෙනුවට
අද එහි පා තබන වෙනකකු හා
ඔහුගෙ පෙම්වතී සිනාසෙනු ඇසෙයි

මට උදාවූ අද දවස
හෙට උදාවෙනු ඇත නුඹට
ඉතින් මා දෙස බලා දැකගන්න
නුඹට උරුම හෙටින් බිඳක්

ජීවිතේ එකම එක ගමනක්
හැරෙනු නොහැකිය කිසිවිට
උදා වූ අද දින ගෙවා
යා යුතුයි හෙට දින වෙත‍ට

අද දවස විමසන වි‍ට
පෙනෙයි නුඹෙ ඊයේ ලෙසින්
අද දින ගෙවන අයෙක්
ම‍ට වගේම නුඹට


-
ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Sunday, May 8, 2011

සෝස්

අපි බයිට් එකට ගත්තෙ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්. ඒක මාර වර්සටයිල් කෑමක් කියල තමයි හැමෝම වගේ කිව්වෙ.

ජනිතය තාම පොඩි එකා හින්ද ඌ කරේ සෝස් බෝතලේ අරගෙන හැම එකාගෙම නම් වල මුල් අකුරු පිඟානෙ ඇඳපු එක.

වසන්තයට ඕකව කොහොමත් ඇල්ලුවෙ නෑ. ඌ අකුර උඩට සෝස් වක්කරල අකුර නැතිකරා. ජනිතයට ඇඬෙන්න වගේ. ඌ වසන්තයව තල්ලු කරා.

වසන්ත ගාව හිස් බෝතල් ගොඩක් තිබ්බ හින්ද ඌ කරේ බෝතලයක් අරගෙන ජනිතයගෙ ඔළුවට ගහපු එක. ජනිතය මේසෙත් පෙරලගෙන ලේ පෙරාගෙන බිමට වැටුණ. උගේ පිඟානෙ 'ජේ' අකුර ඌ එතකොටත් ඇඳල ඉවර කරල තිබුණෙ නෑ. බිම වැටිල තිබිච්ච පිඟන් වල සෝස් එක්ක උගේ ලේ මික්ස් වුණා. දෙකම රතු පාටයිනෙ.


ලියා එව්වේ - මලින්ත සමරකෝන් (http://www.malinthe.com/)

Saturday, May 7, 2011

පජාතයෙක්ගේ වැලපුම

අයියෝ.
චාටර්ම චාටර්.
පට්ටම පචයි. පජාතයි.
අයේ ඉතින් ලෝකෙටම මූණ දෙන්න බෑ.
ඉතින් කොහොමද ඒ මූණ ආයෙ ලැජ්ජාවක් නැතුව බලන්නෙ.
නවනින්ගිරාවයි.
දැන් ඉතින් ඉදලා හමාරයි.
විසිසංගෙ නැතුව දැන් කොහොමද පාරෙ බැහැලා යන්නෙ.
පොළොව පලාගෙන යන්න හිතුනා.
පොරටෝක් දීගෙන හිටියට මොන මගුලක්වත් කියාගන්න බෑ.
දුවලා යන්න හිතුනා.
කොල්ලෙක් වෙලා ඉපදුනාට වඩා හොදයි මලානම්.
මදෑ පෙරුන් පුරන් බලන් හිටියා.
හොඳ වැඩේ. හොඳ වැඩේ. හොඳම වැඩේ.
ආයේ ඉතින් ඔක්කොම කරලා හමාරයි.
අනේ මට කෙලින් කතා කරගන්න බැරි හැටි.
සාරසංඛෙයිය පජාත කල්පයයි. තවත් ගොඩකුයි.
මිනිහෙක් දුර්වලයි කිව්වට මෙහෙමත් දුර්වල වෙන්න පුලුවන්ද?
අනේ මන්දා. ඔච්චරටම මොකට බය වුනාද කියලා.

ප.ලි - කමක් නෑ. පළවෙනි වතාවනේ

ලියා එව්වේ - අසුරයා (http://dinukathilanga.wordpress.com/)

Friday, May 6, 2011

රත්තරං දුවේ

උඹ මේ ලෝකෙට ආපු දවසේ මට හිතුනේ දිව්‍යලෝකෙ පිපුණ මලක් මගේ අතට වැටුනා කියලා. අම්මගෙ වගේම වටකුරු කළු පාට උඹේ පුංචි ඇස් දිහා බලාගෙන හිටපු එක විනාඩියකට හිතෙන් මං උඹව උස් මහත් කරලා ඉස්කෝලෙ යවලා උඹ ආදරේ කරනවා කියලා මට පෙන්නපු හාදයට උඹව බන්දලා දෙන ලස්සන හීනයක් දැක්කා. උඹ බැඳලා මාව දාලා යන දුකට ඇස් වලට කඳුළුත් පිරුනා. අනේ එතකොටයි මතක් උනේ උඹ තාමත් ඉපදුන ගමන්ම මගේ අතේ නේද මේ ඉන්නේ කියලා. මගේ හිත ගිය දුරක්.

මට සමාවෙයන් දුවේ. මං උඹව රැවට්ටුවේ නෑ. මං තාමත් උඹ ළඟින්ම ඉන්නවා. උඹට ඒක නොදැණුනාට. මං දැකපු හීනෙ හැබෑ වෙනකල් මං මේ ලෝකෙන් පිටවෙන්නෑ.



ලියා එව්වේ - ෆා ද බ්ලොගී (http://bloggysdiary.blogspot.com)

Thursday, May 5, 2011

පරීක්ෂණය

වර්ශය 3050..

ඩොක්ටර් ඩොක්ටර්..
(සුදු කබාය පෙරව ගත්තු දෙවැනි ඩොක්ටර් මං ලගට ආවා..)

ඇයි ඩොක්ටර් ?

අපිට අලුත් බොඩි එකක් ලැබුනා..

ආ ඇත්තද, අර අලුතින් පරික්ශණ කල Ice කුට්ටයෙද තිබ්බෙ ?

ඔව් ඩොක්ටර්..

නියමයි විශිෂ්ට සොයාගැනිමක්..!!

(දවස් 2 කට පසු)

යුරේකා යුරේකා..

ඇයි ඩොක්ටර් කැ ගහන්නෙ ? (ඒ මගේ සගයාගේ හඩ)

අර අලුතිං හොයා ගත්තු බොඩි එකේ තිබිලා මං උකුණෙක් ගේ DNA අනු වගයක් හොයා ගත්තා. උකුණො කියන්නෙ වර්ශ 2015 විතර වදවෙලාගිය මිනිස්සුන්ට කරදර කරපු සත්තු ජාතියක්. උං ඔලුවේ ඉදගෙන ලේ උරා බීව පරපෝෂිතයෝ කොඨටාශයක්.

ඔන්න බලන්න අපි කොටිපතියෝ වෙනවා ලගදීම..

ඒ කොහොමද ඩොක්ටර් ?

ඇයි මනුස්සයෝ අපි ශැම්පු හදමුකෝ..!



ලියා එව්වේ - Bunny (http://freeanushka.blogspot.com/)

Wednesday, May 4, 2011

සිම්පල් ප්ලෑන්

"එයාට වෙන කෙනෙක් ඉන්නවාලු
එයා දැන් මට අයිති නැතිලු
මම ගාව තිබුනු ඔයාගෙ පින්තූර සේරම මම මකල දම්මා
ඔයා වෙනුවෙන් පොතක් පුරවල ලියා තිබුනු කවි කතන්දර නිසදැස් මම පිච්චුවා.
ඔයා මට ආදරෙන් එව්ව messeges සේරම මම delete කලා

ඒත් තවම මගෙ මතකයේ ඔයා ජීවත් වෙනවා
ඒ මේ phone එක නිසා වෙන්න ඇති..
මම ඒකත් විකුනලා දම්මා.
තවම ඔයා මගෙ පපුවේ ජීවත් වෙනවා.
මම හදවත ගලවලා එලියට ගන්න හැදුවා..
ඒත් ඔයා මාව ජීවත් කරන්න හදපු විදිය මතක් වුනා..
"අනේ plz මාව අමතක කරන්න​"
කියලා ඔයා පොර ටෝක් දැම්මට
අහසට වඩා පොලොවට වඩා ඔයාට ආදරය කරපු මට ඒක simple plan නෙමෙයි රත්තරන්"



ලියා එව්වේ - යසියා (http://yasiwett.blogspot.com/)

Tuesday, May 3, 2011

මැයි පලවෙනිදාට පසු දිනය...

හැමවෙලේම සිස්ටම් එක වෙනස් කරන්න විවිධ මගුල් නටන අපි අධිරාජ්‍යවාදයටත් එරෙහිවෙලා ලංකාවේ ක්‍රිකට් තහනම් කරන්න කියලා පෙත්සම් ගහනකොට අපි සිස්ටම් එක ඇතුලේ ඉන්න ගමන් ඒක පෙරලන්න මාන බලද්දි මනුස්සකම මාකට් එකොනොමි එක ඇතුලේ ගොඩදාන්නේ බෑ! කියන එක එන්න කලින් අපි අනික් මනුස්සයාට කරන උදව් එයාගෙන් ආයි බලාපොරොත්තු වෙන්න නැතුව එයාගෙන් වෙන අයට ඒ දේ වෙන්න දිරිගැන්වුවොත් අපි එකිනෙකාට උදව් කරන සමාජයක් ඇතිවෙයි කියලා හිතුවත් හැමෝම අවංක වෙන ඒ වගේ සමාජයක් ගැන අපිට බලාපොරොත්තු තියාගන්න බැ කියලා හිතන එක හරියට නිකං සිරසට බනින උන්දැලා කියන බයිලා පිලිගන්න ගමන් සුපර් ස්ටාර් බලනවා වගේ නේද කියලා හිතෙද්දි විලියම් කැතරීන් එක්ක හනිමූන් ගියානේ ආයුබෝං.....


ලියා එව්වේ - හේත්තුහාමි (http://heththuhami.blogspot.com/)

Monday, May 2, 2011

කමෙන්ට් එකක් දාල යන්න...

හායි මෙයාලා.... කොහොමද ඉතිං?

එක එක වැඩ නිසා කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ නෑ. ඒ වුණාට මම නැති කාලෙ හොයල බලපු ගිරවා, බල්ලා, මීයා, ලොකු බබා, පොඩි බබා, සිඟිති, පොඩිති, සුපෙම්බරාවි, මරංගනාවි වගේ යාළුවො හැමෝටම ස්තූතියි හො‍ඳේ.

පහුගිය දවස්වල එන්න බැරි වුණේ මගෙ පස්ස පැත්තෙ කුරුලෑවක් ආපු නිසා. ඉඳගන්නත් බැරිව හොඳටම අමාරු වෙලා හිටියෙ. ඉතිං ලියන්නෙ කොහොමද? ඩොක්ටස්ලටත් පුදුමයි ඒ තරම් ලොකු එකක් පස්ස පැත්තෙ ආවයි කිව්වම. මොනව වුණත් අන්තිමේ ඒක ඔපරේෂන් කරන්න වුණානේ. හරිම අමාරුවෙන් තමයි සතියක් ගෙව්වෙ.

මේ පෝස්ට් එක හදිසියෙන් ලිව්වෙ ඔයාලව අමතක කරන්න බැරි නිසා. ඉතිං එහෙනම් මම යන්නම්.

මතක ඇතිව කමෙන්ට් එකක් දාල යන්න හො‍ඳේ.


ලියා එව්වේ - බ්ලොග්කාරයා

Sunday, May 1, 2011

මැයි පලවනදා

මාකස් අංකල් රතුපාට කමිසය ඇඳගෙන එළියට බැස්සා. අපේ තාත්තත් කලින්දා හෝදල මැදපු රතු කමිසෙ බොත්තම් දාගන්න අතරෙ මාකස් අංකල්ට එකතු වුණා.

මම කඩිමුඩියේ අම්මා බැඳල තිවුණ බත් එකත් අරගෙන පය ඉක්මන් කලා. නිවාඩු දවසක් කියල බස් දුවන්නැතුව පුළුවනෑ. විල්සන් අයිය දැනටමත් බස් එක අතුගාන්න අරන් ඇති.

වත්තෙ මුඩුක්කු අස්සෙන් එකා දෙන්න කුණු කරත්ත තල්ලු කරගෙන ටවුම පැත්තට යනව. නිවාඩු කියල මිනිස්සු කුණු පාරට නොදා තියෙයිද? ඒ මදිවට අද රැස්වීම් වලදි පට්ට කුණු ගොඩක් එකතු වෙයි.

වත්තෙ කෑල්ල රීට ඇන්ටිට කවුද විහිළුවක් කරලද කොහෙද ගෙයි දොර මුළ ඉඳන් අඬනව.

ඇයි රීටැන්ටි?

අද බිස්නස් නැතිවෙයි බං.

ඒ ඇයි?

යකෝ අද මැයි පලවනදා.



ලියා එව්වේ - රජී (http://rajisometimes.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...