Showing posts with label hare :-). Show all posts
Showing posts with label hare :-). Show all posts

Wednesday, September 13, 2023

මේක තමයි සංසාරෙ ණය ගණුදෙනුව

ටීවී එක කැඩෙන්න කලින් ඒක බැලුවෙ අම්මයි තාත්තයි විතරයි. තාත්ත ක්‍රීඩා. අම්ම කුකිං සහ ටෙලි.

ටීවී එක නැති එකෙන් අම්මටයි ලොකුම පාඩුව. තාත්ත ෆෝන් එකෙන් යූටියුබ් ගිහින් එයාට ඕන ඒව බලනව. අම්මත් තාත්තගෙන් ෆෝන් එක ඉල්ලන් යූටියුබ් ඉගෙනගෙන එයාගෙ ප්‍රෝග්‍රෑම් බලන්න ගත්තා. ඒ වෙලාවට අම්මට ෆෝන් එක දීල තාත්ත ඉන්නෙ මූණ ඇඹුල් කරන්.

ඉතිං පැයෙන් දෙකෙන් බැටරි බහින පරණ ෆෝන් එකක් අම්මට හදල දුන්නා.

ඊට පස්සෙ දෙන්නා කාමරේ ඉඳන් තමන් කැමති වීඩියෝ බලන්න ගිහින් වලි.

අම්ම කියනව තාත්තට එලියට ගිහින් බලන්නලු. සද්දෙලු.

අම්ම කාමරේ ඉඳන් බලනව.

තාත්ත සාලෙට වෙලා බලනව.

ෆෝන් එහෙමයි ආදරේ මැදට ආවේ.

ඒව තමයි සංසාර ණය ගණුදෙනු


ලියා එව්වේ - Hare :-)

Tuesday, February 14, 2023

අම්මගෙ ආදරේ...

රෙදි ටික පුටුව උඩින් තියන්න. අතේ හෝදනව වගේ නෑ වොෂිං මැෂින් එකේ...

මිදුලෙ කොල තියෙන්න හොඳ නෑ. ඔයාලගෙ යාළුවොනෙ වැඩිපුරම එන්නේ.

උදේ හතරට නැගිටින එක මහ වැඩක්ද?

මකුළුවන්ට මොකටද මානව හිමිකම්?

අදට විතරක් සීනි දාල තේ බොන්නං...

කුරුල්ලන්ට බත් ටිකක් තිබ්බද?

අපි තරුණ කාලෙ ඕව ඕනතරං කාල තියෙනව. මං කාල ඉවරයි. ඔයාල කන්න.

ගෙදර ඉන්න ටික වෙලාවෙත් ඕකට මූණ ඔබාගෙන...

නිවාඩු දවසෙවත් ගෙදරට වෙලා ඉන්න බැරිද?

පානාතිපාතා... දුප් හොර පූස!

මේ බල්ලා හපල දායි. නැත්තං මං උන්ව ගෙදර ගෙනත් හදනව.

නිවාඩු දවසෙවත් ඒ ළමයට නිදහසේ ඉන්න දෙන්න.

සරම ඩිසයින් දාල මැහුවට ඔච්චර ඔරවන්නෙ මොකටද? මැෂින් එකේ ඩිසයින් තියෙන්නෙ ඒව මහන්න



ලියා එව්වේ - Hare :-)

Friday, November 29, 2019

අයිති කරගැනීම

ඔහු ඇඳ මත වැතිර හිටියේ හිසත් කොට්ටයත් අතර දෙඅත් හොවාගෙන කාමරය පුරා රැඳුණු ඇගේ සුවඳ විඳිමින්...

මේ හැඟීමට කියන්නෙ අයිති කරගැනීමේ ආසාව කියලා. ඒක අවසානයේ ඉතිරි කරන්නෙ දරාගන්න අමාරු වේදනාවක්. හදවත රිද්දන ඔළුව විකාර කරන සිහිය අවුල් කරන වේදනාවක්.
ඒත් වේදනාවක් බව දැන දැනත් ඒ හැඟීම හඹා යන එක මනුස්ස ස්වභාවයද?

බොහොම හුරු ඒ අත්දැකීම ඇයට කොහොම පැහැදිලි කරන්නද?

නැතිනම් ඇය දැනටත් ඒ බව තේරුම් අරන්ද?

ඈ හිටියේ පිටව යන්න සූදානම් වෙමින් තුවාය ඇඳ විට්ටමේ වනා ඇඳුම් ඇඟලන්නට පටන්ගනිමින්...

ඔහුගේත් ඇයගේත් ලෝකය පවතින්නෙ අද හවස් වෙනකල් විතරයි.

ඊට පස්සෙ වෙනත් අය එක්ක බෙදාගත්තු තමන්ගේ නිරස ස්ථිර ලෝකවලට ඔවුන්ට යන්න වෙනව.




ලියා එව්වේ - Hare :-)

Thursday, November 28, 2019

වඳවීමෙන් ගැලවීමට...


"අන්තිමේ උඹ ආව නේද?"

ගැඹුරු හඬක් තිබුණ මිනිහා ඉමාන්ගෙන් ඇහුවා. ඉමාන්ට තව දුරටත් වේදනාවක් නොදැණෙන පාවෙනසුළු සැහැල්ලු බවක් දැනෙමින් තිබුණා. ඔහු දිය පාර දිහාට හෙමින් ඇවිද්දා.

"උඹල නැත්තටම නැති වෙන්නෙ නෑ උන්ගෙ ගොදුරක් වුණානං...."

මිනිහා දිගටම කියෙව්වා. ඔහු සතු වුණේ හිස් බැල්මක්. ඒ බැල්ම තුල ඔහු ලෝකයම තේරුම් අරගත් බව පෙණුනා.

"හරක්, කුකුල්ලු, ඌරො ඔක්කොම තව කාලෙකට නැති වෙලා යන්නෙ නෑ. උන් ජීවත් වෙන්නෙම ගොදුරු වෙන්න බලාගෙන..."

මිනිහා ඉමාන්ගෙ පිට අතගෑවා.

"උඹලවත් කෑමට ඇති කලානං කාලෙකට නැතිවෙන්නෙ නෑ..."


ඉමාන් යනු පසුගිය නොවැම්බර් 23 දින මිය ගිය මැලේසියාවේ වාසය කල අවසන් සුමාත්‍රියානු රයිනෝයි. ලෝකයේ සුමාත්‍රියානු රයිනෝවන් තවත් ඇත්තේ 80කටත් අඩු ගණනක්.


ලියා එව්වේ - Hare :- )

Wednesday, December 31, 2014

සල්මානු කහනුත් පනී

ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ අබමල් රේණුවක් නොදැන සිටියදී සල්මානු කහනුට ලංකාවට ආරාධනා ලැබුණේ ලංකාවේ කිංගෙනි. තමන්ට ලැබුණු අනගි අවස්ථාවක් මෙන්ම අතටද ගාණක් ලැබෙන වැඩක් බැවින් ඔහු දෙවරක් නොසිතා ලක්දිවට වැඩම කළේය.

මුල් දවසේ ඇස් කණ්නාඩි බෙදා දුන් හෙතෙම පසු දින බත් පැකට් බෙදා දී වේදිකාවේ මහරාජ්කී සින්දාබාද් කීවේය.

එහෙත් දින කීපයකදී ෆේස්බුකිය ඔහුගේ දෑස් විවර කළේය. ඔහුගේ සිරුර කහන්නටද විය. අසාධාරණයට අයුක්තියට එරෙහි භාරත රුධිරය රත්ව පැසවන්නට විය. තමා තවත් නාට්‍යයක නළුවෙක් පමණක් බව ඔහුට සිතෙන්නට විය. එකම වෙනස වූයේ මෙවර ඔහු දුෂ්ඨයකු වීමයි. එය දරාගන්නට කහනු අසමත් විය.

ඉතින් ඔහු වීරයාගේ චරිතයට ආදේශ විය. 

ඔහුද විපක්ෂ වේදිකාවට ගොඩ විය.

ලියා එව්වේ - hare :-)

Wednesday, February 19, 2014

වාත ගුගලා

ගුගලා මුලින්ම ආවේ ඒ කාලෙ තිබුණ හැම ඊ-මේලයකටම වැඩි ඉඩක් නොමිලේ දෙමින්ය. අපි ගොඩක් අය ඊ-මේල් එකවුන්ටෙකේ ගිගාබයිට් තුන හතරකට වඩා පාවිච්චි නොකරත් අපේ පෙරේතකම ගුගලාගේ මේල් ගැටේ උනේය.

ඒ මේලය හදද්දී පරණ මේල් එකක්ද වෙරිෆයි කරන්නට දුන්නේය.

පස්සෙ කාලෙක ගුගලා ටූ වේ වෙරිෆිකේෂන් කියා අටමගලක් හඳුන්වා දී අපේ මොබයිල් පෝන් අංකයද ඩැහැගත්තේය.

අවුරුදු කීපෙක ඉඳන් ඇන්ඩ්‍රොයිඩ් ඉලව්වක් නිසා දැන් අපි යන එන තැන් ගැනත් ගුගලාට ඕනනං හොයන්ඩ පුළුහංය.

ඊයෙ පෙරේදා ඉඳන් මූට කලින් දුන් පෝන් අංකෙ මදි කියා තව එකක් ඉල්ලනවාය.

මුංගෙ රෙද්දෙ සෙකුරුටිය. දැන් නං ගුගලා ඕනවට වැඩිය.

ගුගලගෙ මාළු ගුගලගෙ ඇඟේ තබා කපන්න බැරි නිසා කට පියාගන්නවාය.


ලියා එව්වේ - hare :-)

Friday, February 14, 2014

ආදරේට සමීකරණයක්

ඉස්සර කාලෙක තර්කයයි හේතුවයි හැර වෙන දෙයක් පිළිනොගත්ත කාලෙක මම ආදරේට සමීකරණයක් හෙව්වා.

ඒ දවස්වල මම ආදරේ මානසිකව සහ කායිකව වෙන් කරල ඒ විචල්‍ය දෙක ආදරේ කියන ශ්‍රිතය තෘප්ත කරන පොදු සමීකරණයක් සැලසුම් කලා.

දෙන්නෙක් අතර ගැලපීම් ආදරේ ශක්තිමත් වෙන්න කොයි තරම් බලපානවද කියල බලන්න මම ඒවත් සමීකරණයේ විචල්‍ය කලා.

ම්හ්... ඒක එච්චර සාර්ථක වුණේ නෑ...

දැන් මම දන්නව ආදරේ තර්කයට අහු නොවෙන දේවල් ගොඩක් අතර තව එකක් කියල.

ඒක හැමෝටම වලංගු විදියට විග්‍රහ කරන්න බෑ...

දැන් මම දන්නව ආදරේ ශක්තිමත් වෙන්න ගැලපීම් වගේම නොගැලපීම් එක්ක අපි තනි තනිව අරන් නොසලකන ගොඩක් දේවල් අවශ්‍යයි කියල.

ඉතින් මේ මෝඩයට ආදරේ කරන්න.


ලියා එව්වේ - hare :-) (http://www.hartstuff.com/)

Wednesday, January 30, 2013

හිට්ස් නැතිව වේලෙන බ්ලොග්කරුවන්ට අගනා මෘදුකාංගයක්

ඔය මහත්තුරු නෝනල බ්ලොග් ලිවුවට හිට් නෑ නේද? හිට් ගන්නෙ කොහොමද කියල දහාතේ කල්පනා කරනව නේද? හිට් ගන්න ඉතිං අනිත් බ්ලොග්වල කමෙන්ට් කරන්න එපැයි. ඒත් ඔය ලියන ඒව කාටද කියව කියව ඉන්න පුළුවන්?

මේ මෘදුකාංගෙ තමුන්නැහැලට ඕන තරං හිට් අරං දෙයි. මේකෙ තියෙනවා ෆීඩ් රීඩර් එකක්. ඒකට ඔයාට කමෙන්ට් දාන්න ඕන බ්ලොග් ඔක්කොම එකතු කරන්න. ඊට පස්සෙ පහල තියෙන කමෙන්ට් එක දාන තැන ඔයාට පුළුවන් ඔයාගෙ කමෙන්ට් එක ලියන්න.

නියමෙට ලියල තියෙනවා. අපේ පැත්තෙත් එන්න!

වගේ කමෙන්ටුවක් එක්ක ඔයාගෙ බ්ලොග් එකේ ලින්කුව දාන්න. ෆීඩ් එකේ කාගෙ හරි බ්ලොග් එකක් අප්ඩේට් වුණ හැටියෙ මෘදුකාංගෙන් ඔය කමෙන්ට් එක දානවා ඒකෙ.

කොයිතරං ලේසිද?



ලියා එව්වේ - hare :-)

Friday, January 25, 2013

මරණය තළුමරමු!

පසුගිය දවසක කාර්යාලයේදී ඇසුණු දෙබස් කීපයකි.

අන්න ඉන්ටනෙට් එකේ දාල තියෙනවා. ඔයාල බැළුවෙ නැද්ද?

ඊයෙ ටීවි එකෙත් පෙන්නලා. අපි අනිත් චැනල් එකනෙ බැලුවෙ.

ඒ ඔරිජිනල් එක නෙවෙයිලු. වෙන එක්කෙනෙක්ගෙ එකක්ලු.

බලන්න පුළුවන්ද? ලේ විසිවෙනවද? එහෙනං මට බෑ අනේ...

අපෝ එහෙම අවුලක් නෑ. චූටියට පේන්නේ.

බෙල්ල දං ගෙඩියක තියලද ගහන්නේ? රජ කාලෙ වගේ...

නිකංම දණ ගස්සල තමයි ගහන්නේ. හරියට පේන්නෙ නෑ කට්ටිය වට වෙලානේ..

ඔව් එක පාරින් වෙන් වෙන්න තමයි ගහන්නේ...

අනේ අපේ පැත්තෙ රවුටරේ කැඩිලනේ. ඔයාලගෙ එකෙන් බලන්න පුළුවන් නේද?

ඕක ක්ලෝස් කරන්න එපා කියන්න. AO මහත්තයටත් බලන්න ඕන කිව්වා.

තව බලපු නැති අය ඉන්නවද? දැන් ගෙදර යන වෙලාවත් හරි.



ලියා එව්වේ - hare :-)

Monday, January 21, 2013

බ්.... බලේ!

ඔය නඩුකාර නෝන ඉන්නවනේ. උන්දැ වැඩේ අතෑරියෙම නෑ. ලොක්කයි සොක්කොයි එක්ක කොක්කටමයි උන්නෙ.

අන්තිමේදි සමස්ත ලංකා කාන්තා එකමුතුව සංවිධානයේ නෝනල නඩුකාර නෝන වෙනුවෙං පාරට බැස්ස. එතන ගිණි විජ්ජුම්බරයක් වුණේ. ඇයි උන්දලට පොලුවලිං ගහන්ටයැ.

අන්තිමේදි දොදොල් මූණක් තියෙන ඇමතියෙක් යෝජනාවක් ගෙනාව කාන්තාවො තහනං කොරන්ට ඕන කියලා. ලෝකෙ තියෙන හැම ප්‍රස්ණෙටම මුල කාන්තාවොය කියල ඔප්පු කොරන්ට ආණ්ඩුවට මහ ලොකු කාලයක් ඕන උණේ නෑ.

අන්තිමේදි කාන්තා තහනම් පනත පාර්ලිමේන්තුවෙදි කැහිල්ලක් නැතිව සම්මත කොරගන්ටත් උන්දලට පුළුහං උණා.

ගෑණුංට නිසි තැන දුන්නයින්නෙ සේරම. දැන් කාන්තාවො ඉන්නෙ රති කෙලියටයි ළමයි වදල හදන්ටයි විතරයි.

ගෑණුංව පිරිමි කොරන්ට බෑ තමා ඒත් චුත කරන්ට පුළුහං!

ලොක්කයි සොක්කොයි සව්දිය පිරුවා.



ලියා එව්වේ - hare :-)

Tuesday, January 1, 2013

මකුළු රාළගේ සුනාමි ට්‍රිප් එක...

මකුළු රාළ පරාළෙ උඩ පැත්තෙ පොඩි දැලක් වියා ගත්තෙ සුනාමිය ළඟ බව දැණුන නිසයි. අවුරුද්දකට කීප වතාවක්ම මකුළු රාළලාට සුනාමි එනවා. මේ වතාවෙත් මහ සද්දෙන් සුනාමිය එද්දි මකුළු රාළ පරාළෙ උඩ ඉඳන් බලාගෙන හිටියා.

පරාලෙ යටට වෙන්න බිත්ති කොනකුත් අල්ලලා විසාලෙට වියල තිබුණ දැල ලොකු කොස්සක් ඇවිත් කඩාගෙන ගියා. ගෙදර අයිතිකාරය කාලෙකට පස්සෙ මකුළු දැල් කඩනව. මිනිහට අළුත් අවුරුද්දක් ලබනව. උන්දැ ගජරාමෙට ගෙවල් සුද්ද කරනව.

ඕක දැන් මකුළු රාළලාට ගාණක් නෑ. සුනාමි කාලෙට පරාළෙ උඩ පැත්තට ට්‍රිප් එකක් යනවා...

දවස් කීපෙකින් තිබුණ වගේම පරාළෙ පහලින් ලොකු දැලක් වියන එක පට්ට ආතල් වැඩක්...

උන්ට සුභ අළුත් අවුරුද්දක් වෙච්චාවෙ...

මකුළු රාළ හිතුවා.


ලියා එව්වේ - hare :-)

Friday, December 21, 2012

ඒ විරාමයෙන් පස්සෙ

විරාමයෙන් පස්සෙ ඔබ ආයෙත් එකතු වෙන්නෙ මෙවර සාහිත්‍ය උළෙලෙදි හොඳම නවකතාවට සම්මානය හිමිකරගත් සයිමන් මහත්මයා සමග කතාබහ කරන ශනිදා උදා හෝරාවත් සමගයි. සයිමන් මහත්මය මම ඔබේ පොත කියවල බොහොම තදින් කම්පණයට පත් වුණා. මම බොහොම කැමතියි අර දුම් බීමෙන් මිදෙන චරිතයට. ඔහු ඒ ඇබ්බැහිවීමෙන් මිදෙන ආකාරයට. දුම් බීමේ ආදිනව ඔබ බොහොම අපූරුවට ඒ චරිතයෙන් නිරූපණය කරල තියෙනවා. ලස්සන ජීවිතයක් ඒ ඇබ්බැහිය නිසා විනාශ වෙන්න යන විධිය හරිම ශෝචනීයයි... ඔබ ඒ චරිතය ගොඩනංවල තියෙන්න විධියට වෙලාවකට සැකයකුත් ඇතිවෙනව ඔබත් දුම් පානය කරන්නෙක්ද කියල. සමාවෙන්න මෙහෙම අහනවට... ඔබ දුම් පානය කරල තියෙනවද කවද හරි?

නැතුව...? දැනුත් බොනවා... සිගරට් නොබී කොහොමද පොත් ලියන්නේ...?

ලියා එව්වේ - hare :-)

Friday, November 23, 2012

අළුත් කෝණය

උද්ධමනෙත් එක්ක වැඩි වුණ බස් ගාස්තුව දරාගන්න එක රටේ වැඩ කරන ජනතාවට ලොකු ප්‍රශ්ණයක් වුණා.

බදු සහන ලැබිලත් ලැම්බො ගිණි ගණන් නිසා ඒක විසඳුමක් වුණෙත් නෑ.

බස් ගාස්තු අඩු කරන්න කියල වර්ජන කල්ලි සේරම වටරවුමකට එකතු වෙලා බෙරිහන් දුන්නා.

රටේ ලොක්ක, හැම ප්‍රශ්ණයක් දිහාම අළුත් කෝණෙකින් බලන ආර්ථික කටයුතු ඇමතිව වර්ජකයන්ට උත්තර බඳින්න පිටත් කලා.

ආර්ථික ඇමති මේ ප්‍රශ්ණෙත් අළුත් කෝණෙකින් බැලුවා.

''අපි දන්නවා තමුන්නාන්සෙලට තියෙන ලොකුම ප්‍රශ්ණෙ ප්‍රවාහණේ බව. තෙල් මිල වැඩි වෙද්දි ප්‍රවාහන ගාස්තු වැඩි වෙන එක අහන්න දෙයක් නෙවෙයි. මේකට අපි නියම විසඳුම ලබා දෙනවා. ලබන මාසෙ ඉඳන් සතියෙ දවස් හතරක්ම නිවාඩු. දවස් තුනක් වැඩට ගියාම ඇති.''

එව්වේ - hare :-)

Wednesday, October 24, 2012

හිටු කියා බැරිනම් ඉඳු කියා ළමයි හැදීම

ගිහාන් සුරංගලගෙ ගෙදර ගියේ අවුරුදු ගාණකට පස්සෙ. සුරංගයි ශානිකයි උන් දෙන්නගෙ අවුරුදු හතරක විතර පොඩි එකාට බත් කවාගන්න යුද්දෙක.

ගිහානුත් පැත්තක ඉඳන් යුද්දෙ බලන්න ගත්තා.

පොඩි එකාට තනියම කන්නත් ඕන... අම්මයි තාත්තයි ඉන්නත් ඕන... තව මොනවදත් ඕන වගේ...

ඌ කෑම පිඟානෙ බත් ඇට හල හල බෙරිහන් දෙනවා.

ටිකකින් ශානිකා පොඩි එකා ඉස්සරහ බිම ඉඳගත්තා...

'හරි මගේ සුදු පුතා දැන් කන්නකෝ... අම්මි බිම ඉඳගත්තනේ...'

ඒත් පොඩි එකාගෙ ඇඬිල්ල නැවතුනේ නෑ...

'ඔයත් ඉඳගන්න අනේ...'

ශානිකා සුරංගට කිව්ව. සුරංග ගිහාන් දිහා බලාගෙනම ශානිකා ළඟින් බිම ඉඳගත්තා...

'හරි මගේ සුදු අම්මි තාත්තිත් දැන් බිම. දැන් බයි කන්නකෝ'

සුරංග කිව්වා.

'මරු ළමයි හැදිල්ල.'

ගිහාන් හිතුවා.


ලියා එව්වේ - hare :-)

Wednesday, October 10, 2012

ස්පාන්යෙට පිපින්යා

පෙරේරා රාළහාමි දවසක් ඉබ්බන්වල හන්දියෙ ඩියුටි කරනකොට මෝටර් සයිකලයක් එනවලු කඩාගෙන.
රාළහාමි විසිල් ගහලා බයිසිකලේ නතර කළා.
'මොකද හදිස්සිය? මේ හරියෙ ලිමිට් දන්නෙ නැද්ද?'
'අනේ සර්... පොඩි හදිස්සියක්. එළවලු ටිකක් මරදානට අරං යනවා'
'කොයිතරං හදිස්සි වුණත් නීති රීති තියෙනවනේ... ගන්නව ලයිසන් එක'
බයිසිකල්කාරය ලයිසන් එක දෙනව...
'මොකක්ද නම?'
'ඥාණසිරි'
පෙරේරා රාළහාමි ඔළුව කසන්න ගත්තා. ඥාණසිරිට වැඩේ තේරුණා... දෙන්නම් වැඩේ කියල හිතුව.
'කොහෙද පදිංචි?'
'කොම්පඤ්ඤ වීදියෙ සර්'
'රස්සාව?'
'ස්පාඤ්ඤෙට පිපිඥ්ඥා පටවනව සර්''
'හ්ම්... මේක ගෙවල එනව ලයිසන් එක ගන්න'
රාළහාමි ලයිසන් එක අරං ගියා. දඩ කොලේ ලියල තිබුණෙ මෙහෙම

නම - න්යානසිරි
පදිංචිය - කොම්පන්ය වීදිය
රැකියාව - ස්පාන්යෙට පිපින්යා පැටවීම 


ලියා එව්වේ - hare :-)

Wednesday, October 3, 2012

පාට දෙකේ මනාලිය

මනෝජ් ගීතිකා දෙන්න කසාද බැන්ද. චාරිත්‍ර කිසි දෙයක් නැතත් හැමෝගෙම ආශිර්වාදෙන්, පොඩි වියදමකින්.

පස්සෙ දවසක දෙන්නට ඕන වුණා වෙඩිං හෝම්කමිං ‍පින්තූර ගන්න. ඉතිං ඇඳුම් කැඩුම් ලෑස්ති කරගෙන ස්ටූඩියෝවට ගියා.

ගීතිකා ‍ක්‍රීම් පාට සාරියක් ඇන්දා. මනෝජ් ලා නිල් කමිසෙට උඩින් කෝට් එක දාල කළු සපත්තු දැම්මා. දෙන්න ඒ විධියට වෙඩිං පින්තූරෙ ගත්තා.

ඊට පස්සෙ ගීතිකා ඇන්ද රතු පාට සාරිය. එයාට හැඩ වෙන්න උදව් වෙලා මනෝජුත් ලෑස්ති වුණා. එයා එයාගෙ රතු කමිසෙ ඇඳල ‍කෝට් එක උඩින් දැම්ම. රතට හුරු දුඹුරු සපත්තු දෙක හොයන්න බෑග් එක පෙරළුවා.

පොටෝග්‍රැෆර් ළඟට ආව.

'මේ මිස්ට, ඔයා වෙන එකක් ඇන්දෙ නැතිවට කමක් නෑ. බ්‍රයිඩ් රතු ඇන්දම ඇති.'

ලියා එව්වේ - hare :-)

Wednesday, August 22, 2012

නාකි සීයයි මමයි

දැන් ඉස්සර වගේ ලියවෙන්නෙ නෑ...

අඩු තරමෙ මෙලෝ රහක් නැති එකක්වත් ලියවෙන්නෙ නෑ...

මට නිකමට හිතුණ.

ඒ එක්කම මම ගියේ අවුරුද්දකට පොඩ්ඩක් වැඩි අතීතෙකට. ඒ දවස්වල අමුතු ලස්සනක් තිබුණා. ඒ කාලෙ මට හැම සිද්ධියකම වචන සීයක් පෙණුන. යන එන ඕන තැනක සිද්ධ වෙන කතාවකට ගැලපෙන හැම සිද්ධියක්ම උවමනානම් වචන සීයකට දාන්න පුළුවන් නේද කියල මම කල්පනා කරමින් හිටිය.

ඒ වුණාට ඒක කරන එක ඒ හැටි ලේසි වුණේ නෑ. හැමදාම සීයට ටිකක් වැඩි වුණා. අමාරුම වැඩේ ලියාගෙන ගිහින් පස්සෙ ට්‍රිම් කරන එක.

ඒත් ඒ දවස්වල ඒක සෑහෙන ආතල්ජනක වැඩක් වුණා.

ඒ ඉස්සර...

දැන් ලියන්නෙ මේක...

වචන සීයක් පිරෙන්න ලියාගන්න තියෙන අමාරුව...

ලියා එව්වේ - hare :-)

Friday, August 3, 2012

පීරගෙ ලබ්බ!

කැස්බෑවෙ පීරිස්ට කවුරුත් කිව්වෙ පීර කියලා.

මේක වුණේ අවුරුදු විස්සකට විතර උඩදි.

ඒ දවස්වල පීරට තිබුණ යමහා ට්‍රේලක්. මිනිහගෙ එකම වස්තුව ඒක. පොර ඒකෙ නැගල දාපු වැඩ ගැන නිතරම නයි ඇරිය.

අළුත් අවුරුද්දක් කිට්ටුව දවසක් මෑන් යාළුවෙක් හම්බවෙන්න කොට්ටාව පැත්තට එද්දි ට්‍රේල නැවතුණා. යාළුවව ගෙන්නගෙන එයාගෙ මෝටර් සයිකලේ ලණුවක් ගැටගහල ට්‍රේල ඇදගෙන ආවා ගරාජ් එකට.

ලණුව අඩි දහයක් විතර දිගයි. කොට්ටාව හන්දියෙන් පාර මාරුවෙද්දි පාර හරහාම ලණුව.

හයිලෙවල් පාරෙ වේගෙන් ආපු බයිසිකල්කාරයො හතර දෙනෙක් ලණුවෙ පැටලිලා බිම.

‍එදා බයිසිකල් රේස් එකක්.

පොළිස් කාරයෙක් ආවා.

‘ඔය ලබ්බ ගනින් යකෝ අහකට’ පොරට මළ පැනලා.

එදා ඉඳන් පීරගෙ ට්‍රේලට කියන්නෙ පීරගෙ ලබ්බ කියලා.


ලියා එව්වේ - hare :-)

Wednesday, July 11, 2012

චිකන් ගස් යට ගුල් හාරන කැරට්!

අභ්‍යවකාශගාමියො අට දෙනෙක් ඩෙස්ටිනි ලෝකයට ගොඩබැස්සා.

ඒ ලෝකෙ නිදහසේ හුස්මගන්න පුළුවන් වුණාට ලොකු අමුත්තක් තිබුණා.

ඒ ලෝකය සෑහෙන්න වෙනස්.

එහේ ගස්වල වැවුණේ සත්තු.

ගස්වල ලොකුවට කුකුල්ලු හැදුණෙ පෘථිවියෙ අඹ හැදෙනව වගේ.

අන්නාසි හැදෙනව වගේ හරක්, ඌරො, මුවෝ, අලි හැදුණේ පඳුරුවල.

ඒව සත්ත්ව ගෙඩි තිබුණ ශාක.

අනිත් අතට එහෙ කැරට් අල කෑ ගහමින් හැම තැනම දිව්වා. ගෝව, බීට් තැන තැන ඇවිද්දා.

බෝංචි, මෑ කරල් පණුවො වගේ බඩගෑවා.

පොල්, කොස් තියෙන පැත්තකට කාටවත් යන්න බැරි වුණේ ප්‍රහාර එල්ල වුණ නිසා.

ගොයම් ගස් පළඟැටි රෑන් වගේ එක පොදියට දුවගෙන ගියා.

එහෙ සත්තුන්ට තිබුණෙ ශාක පෙනුමක්.

…………………………

සති දෙකක් ඇතුලත කණ්ඩායමේ දෙන්නෙක් මැරුණා.

එයාල නිර්මාංශභක්ෂකයෝ...


ලියා එව්වේ - hare :-)

Monday, June 18, 2012

ඩිස්ක්ලේමරේ!

Fun පින්තූර ෆේස් බුක් දාන එකෙක් එක්ක චැටක්! 

“උඹ ෆ්‍රීද?” 

“ඇයි?” 

“පොඩි වැඩකට පින්තූරයක් එඩිට් කරගන්න...” 

“කියපං...” 

“නෑ බං දන්නවනෙ මේ දවස්වල නෙට් එකේ නැගලම යන සීන් එක.. අර අප්සෙට් සින්දුව?” 

“ආ... ඉතිං?” 

“ඕක කියන එකාගෙ පට්ටන්දරේ දාල ඌට මඩක් ගහල පින්තූරයක් හදාගන්න ඕන ෂෙයා කරන්න” 

“අර මොකෝ? උඹ උගේ සින්දුවලට හෙන ආසයිනෙ?” 

“ඒ වුණාට යකඩෙ රත්වුණ වෙලාවෙ තලාගන්න එපැයි.. වෝටර් මාක් එකක් එක්ක ඕක දැම්ම ගමන් මගේ පේජ් එක හිටු කියල හිට් වෙනව.” 

“ම්.... දාන්න ඕන ඒව ඊමේල් කරපං” 

“එල මචං.. හැබැයි මතක ඇතුව පින්තූරෙ යටින් පොඩියට දාන්න එකක් තියෙනව” 

“මොකක්ද?” 

“මෙයා මෙහෙම කරාට අපි මෙයාට අනුකම්පා කරන්න ඕන!” 

 

ලියා එව්වේ - hare :-)


Related Posts Plugin for WordPress, Blogger...