Wednesday, December 1, 2010

නුඹ දික්තල මගේ...(මා කාලගෝල වී නම්, එකම එක් වතාවක්)

නෙතු අඳෝනා නැගුවා
මගේ ලය මත නුඹ හොවා මැවු
සිහින පොඩි බිඳුනා
නිල් දියවරත් හැඬුවා
වගතුවක් නැති ගොම්මනත්
මගෙ ආදරේ නුඹ හිමි නැතැයි කීවා

ඉමක් නැති අහසේ, ගණ වලා අතරින්
අනෝරා වැසි, කඩතුරා සිඳමින්
ජීවිතේ... සව්සියක් දුර මතකයන් සිඹිමින්
ඇද හැලෙයි... නෙතුකොනේ රැඳි කඳුලු පොදි පිසමින්

සොඳුරු කඩඉම්..
නිසල පුදසුන් ලෙසින් තනිවී
තිමිර සිතුවම්..
අසල සඳකැන්.... කෙමෙන් බොඳවේ..
ආලයේ.... සිනිඳු තැන්..
අද මෙසේ... සුසුම්වල පැටලී....
නිම් නොවූ........
ඒ නිමේෂය....... කිම මෙසේ මියැදී...

බිඟුසරෙන් මන්මත්වූ
වසන්තය අද බොඳවී
තරුවිමන් මැද තනිවූ
සරත් සඳ අද මියැදී
උන් අතින් ගෙන හිනැහී
නුඹ ගියත් ඉගිලී
නුඹ දික්තල මගේ
නුඹ දික්තල මගේ..
නුඹයි මගෙ ආදරේ..


ලියා එව්වේ - Dilan Dhananjaya (http://dilandadevil-poems.blogspot.com/ )

8 comments:

  1. වචන සෙට් එක ගැනනම් කියල වැඩක් නෑ ම‍චෝ... ඒ වුණාට ඔය කතාවෙ අන්තිමට මහෞෂධ පඬිතුමා ආයෙ දික්තලාව සෙට්කරල දෙනව නේද?

    ReplyDelete
  2. @h - නෑ.. දික්තලව දෙන්නේ අර ‍දික්තල දෙවෙනියට පෑහෙන මනුස්සයාට.. හැබැයි ‍මහෞෂධ පණ්ඩිතුමා කියනවා තමන්ට ආදරේ නැති ගෑණියෙක් වෙනුවෙන් දුක්වෙන්න එපා වගේ දෙයක්..

    ඒත් මොන පණ්ඩිතයා කිව්වත් ඉදින් තමන්ගේ හිත ගැන දන්නේ තමන් නිසා ආදරේ කරන හැටි කෙනෙක්ට තව කෙනෙක්ට උගන්නන්න බැරි වෙයි.. ඒක පුද්ගලානුබද්ධ හැඟීමක් නිසා..

    කොහොම උනත් දිලාන්ගේ වචන සීය නම් මරු.. මට දැනුනේ සංගීතයක් එක්ක ගැයෙන විරහා ගීතයක් වගේ..!

    ReplyDelete
  3. මේක ගීතයක් වගේ නොව ගීතයක් ම ය..! මරු වචන සීය.., බර තබා ලියා ඇත.

    ReplyDelete
  4. ඔය දික්තල කාලගෝල කතාවේ මම තනිකර දික්තලාගේ පැත්තේ.. මොකද කාලගෝල කරපු වැඩේට සාපේක්ෂව රිටන් එක හම්බ වෙන්නත් ඕනි.. මරු වචන ටික..

    ReplyDelete
  5. මම මේක ලිව්වෙ අර මනුස්සය එක්ක යන දික්තල දිහා බලාගෙන, කොට හින්ද ගඟින් එතෙර වෙලා ඒ කෙල්ල ගාවට දුවන්නත් බැරිව ගං ඉවුරෙ ඉඳන් හූල්ලන කාලගෝල මම වුනානම් කියල හිතාගෙන. ඒක හිංද තමයි සිද්දවුනා යැයි කියල පොත් වල සඳහන් දේවත් හරි මොකක්ද වත් කියල හිතන්නෙ නැතුව මට හිතුනදේ විතරක් ලිව්වෙ. ඔය යකා මොන මගඩිය නැටුවත් ඔය ලමිස්සිට එක තප්පරයකදී හරි ආදරේ කරන්න ඇතිනෙ. ඔය කෙල්ලත් එක්ක දෙයියනේ කියල පවුලක් හදන්න ඕනැ කියල ඕකා එක හීනයක් හරි දකින්න ඇතිනෙ. ඒ හීන ඇස් ඉදිරිපිටම බොඳවෙලා යනකොට දැනෙන වේදනාව මෙතැකැයි කියල කියන්න මං හිතන්නෙ නෑ කාටවත් පුළුවන් වෙයි කියල. ඔයගොල්ලොන්ගෙ කරුණාබර වදන් වලට බොහෝමත්ම ස්තූතියි. ජය!!

    ReplyDelete
  6. දැන් නොවැ තේරුනේ...නියමයි සහෝ.....

    ReplyDelete
  7. ......as always superb mallz! =)

    ReplyDelete
  8. නිර්මානෙන් ටිකක් පිටස්තර උනාට ආගන්තුකයාගේ කතාවත් එක්ක මාත් ටිකක් එකග වෙනවා..!

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...