Sunday, October 31, 2010

රතු කොඩි...

මම නැග්ගෙ පිටකොටුව බස් එකක.138.කොටුව - පිටකොටුව.ඉඩ කඩ ඕන පදං.
සුප්‍රසිද්ධ ගායකයා ඇවිත් මගෙ ළඟින්ම ඉඳ ගන්නකල් දැක්කෙ  නෑනෙ  මම.මට හීන් දාඩියයි දැම්මෙ.මම යාන්තමට හිනා වුණා.මිනිහත් කට පුරෝලම හිනා වුණා.සුමුදු සුදු මුතු දසන්. :මට මතක් වුණේම මං මුලින්ම අහපු ගීතෙ.

උයනක මල්
දහස් ගණන්
පිබිදුණු අතරේ

නෙත නොගැටුණු
කටු පඳුරක
සුපිපුණු කුසුමේ........
ඒ.........................
කුසුමේ.............

මට ආස හිතුණෙ නෑ කවදාවත්ම ඒ පදවැල් වලට.රිද්මෙට.හිත ගියෙම දිග නාහෙට.හිත කැමතිම විදිහෙ එකක් ඒක,අද තමයි කැමතිම විදිහෙ දිග ඇඟිලි තියෙන බව දැක්කෙ..ගානට රෝස පාට.

බස් එක නැවැත්තුවා.
පොඩි එකෙක් පාර පනින්න යනවා.
කහ ඉරෙන්.

මම අද ඉඳන් කැමත්ත වෙනස් කරගන්නවා.
දැම්ම හිතට රතු කොඩියක් !

ලියා එව්වේ - වීතරාගී (http://wiitharaagii.blogspot.com/)

Saturday, October 30, 2010

අවසන් මොහොත

විශ්වයේ මහා පිපුරුමේ ශක්තිය පෘථිවියට දැණෙන්න තව හෝරා කීපයයි.
ඒ ශක්තියෙන් පෘථිවිය පැය කීපයකින් පුපුරා යන්නට නියමිතයි. මේ ලෝකයේ අවසානයයි. කාටවත් හැංගෙන්න තැනක් නෑ...
ලෝකය පුරාම එදිනෙදා ක්‍රියාවලි ඇණ හිටල. මිනිස්සු ගොඩගහගත්තු මුදල් වලින් උපරිම සැප විඳිමින් හිටිය. මුලින්ම හිඟ වුණේ දුම්වැටි, මත්පැන් සහ මත් ද්‍රව්‍යයි.
මිනිස්සුන්ට සිහිය අමතක කරන්න ඕන වුණා.
පාරෙ තැනින් තැන අහුමුළු වල ගෑණු පිරිමි සංසර්ගයේ... තවදුරටත් ඒවට තහනමක් නෑ...
දැන් නීති රීති, ආගම් කියල දේවල් නෑ... කාටවත් ඒ ගැන ප්‍රශ්ණයකුත් නෑ...
සමහරු කණ්ඩායම් පිටින් දිවිනහගත්ත.
ගොඩක් මිනිස්සුන්ට ආයෙත් ජීවිතේ දැනෙන්න අරන් ආසාවන් ලුහුබඳිමින් හිටිය...
මැරෙණ බව නොදැන ඉන්නකොට වඩා හැමෝටම මොහොතක ජීවිතේ ලේසි වෙලා තිබුණ....
------

ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

Friday, October 29, 2010

මම ඌ සහ ඇය...

මටද ඌටද ඇය සඳලුතලයේ කුමාරිකාවක් විය.

ඌට අවශ්‍ය වූයේ ඇයව දිව්‍යලෝකයට රැගෙන යාමටය.
මට ඇයව පොලවේ තැබීමට උවමනා විය.

සයිවර් කෑම පුරුදු නැති ඇයට සයිවර් කඩයකින් කෑම අරන් දීමට මට උවමනා විය.
නමුත් ඌ ඇයට ගලදාරියෙන් lunch දුන්නේය.

පයින් යන්න නුපුරුදු ඇයට ඌ කාරයක් රැගෙන දෙද්දී මම ඇයත් සමග කිලෝමීටර ගණනාවක් ඇවිද ඇවිද සිටියෙමි.

ඌ ඇයට බණ කියන විට මම ඇයට ආගමක ඇති අවදානම ගැන දේසනා පැවැත්වීමි.

ඌ ඇයව MC රැගෙන යනවිට මම ඇයව ජෝන් ද සිල්වා රඟහලට රැගෙන ගියෙමි.

මමද ඌද ඇයට ආදරය කලෙමු..

අද උන් විවාහ ගිවිස ගනී..
මම කොලයක් ගෙන කුරුටුගාන්නට පටන් ගතිමි..
මම ඌ සහ ඇය....

ලියා එව්වේ - ආගන්තුකයා (http://ambarox.blogspot.com)

Thursday, October 28, 2010

ආදරණීය මෙරුවා!!!!!!!!!

අනේ පව්!!!

ඇති යාන්තම් දැන්වත් තේරුණා

මොකද්ද?

ඒක...

ඒක කිව්වේ............?

ඒක කිව්වේ, මං පව් කියන එක

ඔයාට වැරදිලා........

මට වැරදිලා?........ ඇයි?

ඔයාට නෙමෙයි පව් කිව්වෙ.

එහෙනම්?

අර මෙරුවාට.....‍

මොනවා........ මෙරුවෙක්ට?

බලන්නකෝ ඒ සතා විඳින දුක තටු දෙකම
වතුර බිංදුවේ ඇලිලා.
අනේ ඌව බේරන්නකෝ..........

මට බැහැ!!!!!

බැහැ?

ඔව් බැහැ තමයි

එහෙනම් අයින් වෙන්න මං බේරන්නම්.
නැත්තම් ඉක්මනටම ඌ මැරේවි.

මැරිද්දෙන්!!!

නපුරා!!!

අනේ ඇත්තට ඔයාට නම් පිස්සු.
ඔයා බේරුවත් නැතත් තව මිනිත්තු පහක් හයක් ඇතුලත
ඔය සතා අනිවාර්යයෙන් මැරෙනවා.
මට දුක මෙච්චර වෙලා මං කියාපු ඒවා නෙමෙයි
අහගෙන ඉඳලා තියෙන්නේ, මැරෙන්න දඟලන
මෙරුවෙක් ගැන හිත හිතා ඉඳලා.

අනේ පව්!

මෙරුවාද?

නැහැ... ඔයා!


ලියා එව්වේ - RanDil (http://ranrandil.blogspot.com/)

Wednesday, October 27, 2010

තවත් මොහොතක්...

“මේ ගෙදරට මං හුගාක් කැමති”
“අපිට කාමර තුනක්  වැඩිත් එක්ක..”
“එකක් තියාගමු පාඩම් වැඩ වලට අනිත් එක “අපි”ට අනික හිස් තියමු “
“දහදාහක් හොදටම ඇති වළං මුට්ටියි උවමනා කරන අනිත් ඒවටයී”
“ඔයා පන්තියක් පටන් ගන්න”
“මම වැඩ ඇරිලා එනකන් බය නැතුව ඉන්න පුලුවන් නේද මගේ කෙල්ලට…?”
“අපි නොබැද මෙහෙම එක ගෙදරක ඉන්න එක..........????”
 “අපි අනිද්දාට පදිංචියට එනවා”
ගෙදර යතුරත් බාරගෙන ආවේ හුගාක් සංතෝසයෙන්....
.............................................................................

"හලෝ"
“කොහේද…….?”
ඇඟේ පටලන් හිටපු සරම පිටින්ම බස් එකක එල්ලුනා
මගේ කෙල්ලට මොකද දෙයියනේ මේ උනේ...??
“මට වෙන කෙනෙක් බදින්න බෑ”
මගේ රත්තරං කෙල්ල රෝහලේ ඇදක් උඩ....
ජිවත් වෙන්න "තවත් මොහොතක්" හරි ඈ මගෙන්  හුස්ම පොදක් ඉල්ලුවා..........

ලියා එව්වේ - අහිංසකී (http://ahinsaki.blogspot.com/)

Tuesday, October 26, 2010

කශාධය

 අම්මයි තාත්තයි මාව වැළඳගෙන මට සමු දුන්නෙ ඇස්වල කඳුළු පුරවගෙන. එයාල ජීවිත කාලයක් උස් මහත් කරපු මම අද එයාලගෙන් සමු ගන්නව මමවත් නොදන්න මගේම ලෝකෙකට.
...
අපි ඉක්මනින්ම දරු පැටියෙක් හදමු කියන මතේ හිටපු එයාට විරුද්ධ වෙන්න මට ඕන වුණේ නෑ... එයා මොනවගේ මිනිහෙක්ද කියලවත් දැනගන්න කලින් මම අම්ම කෙනෙක් වෙන්න සුදුසුකම් ලබල.
...
කඳුළු පිරුණ ඇසුයි කම්මුලේ රතු වුණ පැල්ලමයි එක්ක කණ්නාඩියෙන් මාවම දැකල මාස කීපයකට මම වෙනස් වෙලා තියෙන විධිය අදහගන්න බැරි වුණා මට.
දරුවෙක් ලැබෙන්න නොහිටිය නම් මට දමල ගහල යන්න තිබුණ. දරුව ඉපදුණාම තත්ත්වෙ වෙනස් වුණොත් මිස මම ජීවිත කාලෙම මේ මිනිහත් එක්ක පවුල් කන්නෙ කොහොමද...?

ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

Monday, October 25, 2010

සමනලයා..

මලෙන් මලට පියාබලා
අන්තිමටම
රෝස මල ලඟ...
මම බලාන හිටියා
ලස්සන සමනලයෙක්
ඊටත් වඩා ලස්සන රෝස මලක් ලඟ....
සුලගත් එක්ක
දෑනුන සුවද
ඔයා මගේ ලගමයි කිව්වා
මම හැරිලවත් බෑලුවෙ නෑ...
"බලන්න ...."
ඔයා කිව්වා
"බෑ"
"ඇයි"
"බැරිනිසා"
"ආදරෙයිද??"
"දන්නෙ නෑ"
"ඇයි"
"හිතුවෙ නෑ තව"
"හිතනවද"
"බලමු..."
"මම යන්නද??"
"හා"
"කෝල් කරන්න..."
"හිතුනොත්...."
"ඕනෙම නෑ...."
"මම යනවා..."
"එන්නෙම නෑ...."
හෑමදාම කියන වචන ටික.......
තිගැස්සුන සමනලයා
ඈතට ගියා
"පව්...."
"මට හිතුනා....."
"ඈස් දෙකට කදුලු පිරුන..."
"ආයෙත් සුපුරුදු සුවද"
"ලගටම ඈවිත්"
"මම හැරිල බැලුව....."
"හොදට හිතල උත්තරයක් දෙන්න......"
ඔයා කිව්වා
“හා“
මම කිව්ව
දාල යන්න බැරි ලෝභ කමකින්....
සමනලයා ආයෙත් රෝස මල ලග....

ලියා එව්වේ - නුවනි නිසල්යා ඉරුගල්බණ්ඩාර

Sunday, October 24, 2010

නුඹ මම

ඊයේ අද නැති, හෙටක් හිමි නැති... සියක් වදනින් කියා නිම්නැති ... කතාවකි මේ...

හීන අහුරක් දෑත ගුලිකර
හිත් ඉමේ පියමනින්නේ නුඹ
නුඹට හිමි නැති මටද හිමි නැති
ලොවක ලස්සන දකින්නෙමි මම

බිඳෙන උපදින හැඟුම් අද්දර
සොඳුරු ඉසිඹුව මවන්නේ නුඹ
ඇඟිලි තුඩු අග පිපෙනවා මෙනි
මුදු සිහින රඟ විඳින්නෙමි මම

හදවතේ ඉරි තැළුණු සලකුණු
සෙමෙන් පිරිමැද මකන්නේ නුඹ
දෑත නොපොවන දුරක සිටියත්
නුඹේ සුසුම් සුව සිඹීන්නෙමි මම

කඩ ඉරෙන් ඇඳි සිතුවමක් සේ
සිතේ ගැඹරක ඇඳෙන්නේ නුඹ
පාට හැඩතල පුරනු නොහැකිව
සසැලෙමින් නිති හඬන්නෙමි මම

අවර අහසක නුහුරු දවසක
පුර සඳක් සේ පිපෙන්නේ නුඹ
සිහිනයට වැඩි හැබෑවට අඩු
මිරිඟුවට පෙම් කරන්නෙමි මම

ලියා එව්වේ - මලිති (http://sathsihina.blogspot.com/)

Saturday, October 23, 2010

කුරුලු පිහාටු ආදරේ

කුරුලු පිහා‍ටුවක් වගෙ නේද වාසනාවන්ත ආදරේ..? ඕනාවට වඩා සංවේදී වෙන වෙලාවකට නම් ප්ලාස්ටරයක් වගේ..එහෙම දවසක් මම කිව්ව නේද?..

කුරුලු පිහාට්ටක් වගෙ සුන්දර ආලයක් ලැබුනම කියමුකෝ.. අනේ ඔය සුමුදු පිහා‍ටුව මිටට ගුලි කරගන්න එපා..මිට දිගෑරලා බලද්දි ඒක පුලුන් ගුලියක් විතරක්ම වේවි.. හෙමීට ඇඟිලි තුඩෙන් දවට ගත්තම ඔය පිහා‍ටුව ඔයාව දාල කොහෙවත් යන්නෙ නෑ.

හැබැයි ඉතින්, එහෙම කියල කොහෙන්දෝ පාවෙලා ඇවිත් ඇඟේ දැව‍ටුනා වගේ,ජීවිතේට බරක් නොවෙන පිහා‍ටුවට දිහාවත් නොබලා අහක බලන් ඉන්නද යන්නෙ?

බලාගෙනයි....පුංචි හුලඟකටත් ලේසියෙන්ම ගසාගෙන යාවි. ඔය ලස්සන කුරුලු පිහා‍ටුව ඒ තරම්ම සැහැල්ලුයි...ඒ තරම්ම මටසිලි‍ටුයි. ඒත් 'කුරුලු පිහා‍ටුවක්' තරම්ම බරයි.ඒ බර වගෙම සැහැල්ලුවත් එක වගෙම සුන්දරයි.
ආදරේ ඒ වගෙයි...

ලියා එව්වේ - ජීවිතේ මල් (http://sansaare.blogspot.com)

Friday, October 22, 2010

ආ.ද.ර.ය.

“ආ.ද.ර.ය.” තේරුමක් නැති අකුරු හතරක්. මම කියන දේට කීදෙනෙක් එකඟ වෙයිද දන්නෑ. අපිට ඕනම වචනයක් ඇහුවම මතක්වෙන වස්තුවක් හෝ ක්‍රියාවක් තියනවා. නමුත් ආදරය කියන වචනයට එහෙම මතක්වෙන වස්තුවක් තියනවද.? කවුරුහරි කිව්වොත් මට මතක්වෙන කෙනෙක් ඉන්නව කියලා ඒ මතක්වෙන කෙනාටත් නමක් තියනවා නේද.? එයාට අපි විශේෂයෙන් "ආදරය" කියලා කියන්නෑනේ. ඒක නිසයි මම කිව්වේ ආදරය කියන්නෙ වචනයක් නෙවෙයි කියලා. ඒක හැඟීමක්. අපිට තේරුම් කරන්න බැරි හැඟීමකට අපි වචනයක් දාල තියනවා ආදරය කියලා. නමුත් ඒ වචනෙ පස්සේ ගිහින් කී දෙනෙක් අතරමං වෙනවද. ඒනිසා වචනේ පස්සෙ යන්නෙපා. හැඟීම පස්සේ යන්න. හැඟීම තේරුම් අරන් ආදරය කරන්න. ඒක වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සුන්දර දෙයක් වේවි.

ලියා එවුවේ - සජිත් රූපසිංහ

Thursday, October 21, 2010

පුංචි සුරංගනාවි...

නුඹේ පොඩ් ඇස් යුගල දෙස
ආදරේ පුරව ගෙන හිත තුල
බලා ඉන්නට ඇති මම
පැය ගණන් නුඹ අසල හිඳ

මිණි කිකිනි සිනා හඩ ලඟ
නුඹත් එක්කම සිනා සී මම
රැඳී ඉන්නට ඇති සෙමෙන්
ගෙවා දමමින් දින ගනන් මම

රන් පාට මුදු දෑත් මත
දැවටි දැවටී සිටින මා වෙත
පෑ දයා කරුණා අමා ගඟ
ගලා යයි මා සිත මැදින් තව

තිබුන ඒ දාංගලයට
ආදරෙන් මට තුරුළු නොවුනට
අද වගේ එදත් මට
දැනුන නුඹ මගේ බව

මගේ ඔළුවට පුංචිවත් විවේකයක් නොදී එයා ගැනම හිතන්න කිය කිය.. හිත ඇතුලේ පෙරලි කරන පුංචි සුරංගනාවිය වෙනුවෙන්.
කොයි තරම් මොනවා කියෙව්වත් මට නම් තවත් මදි වගේ.

ලියා එව්වේ - ප්‍රසන්න කරුණාරත්න (http://prasanna86k.wordpress.com/)

Wednesday, October 20, 2010

මම තවම ආදරෙයි..

අපි ආදරයෙන් පැරදී අවුරුදු දෙකකි.
කැම්පස් ජීවිතෙන් අන්තිම දවස අදයි...
"All the best හශිනි" 
ඇයට සමුදීලා ආපහු හැරුනා.

එකපාරටම........
"බිමල්, ඔයා එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද ?"
මම ඔලුව වැනුවා
"මට සමාවෙන්න බිමල්, මම ඔයාට නපුරු උනාට..."
"නෑ හශිනි, මමයි නපුරු උනේ, ඒනිසා මට සමාවෙන්න"
වෙලාව 8ට කිට්ටුයි.
"යන්න කලින් මට ඔයා දිහා බලන් ඉන්න දෙන්න"
මම ළං උනා...
ඇගේ ඇස් මගේ මුහුණ කියවනවා, ඒ ඇස්වල තියෙන්නේ දුකද, ආදරයද, පසුතැවීමද කියලා හිතාගන්නත් කළින්,
"හශිනි අපි යමු"  
ඒ ඇගේ මිතුරිය...
ඇගේ ඇස් අගින් කඳුලු කඩා වැටුනා.
"බිමල්, මම තවම ආදරෙයි"
"මමත් ආදරෙයි",
දැනටමත් තවකෙකුට අයිති මගේ ඇස් අගිනුත් කඳුලු මතු උනා...

ලියා එව්වේ - කුන්ෆු පැන්ඩා (http://tubelyt.blogspot.com/)

Tuesday, October 19, 2010

අපේ කැදැල්ල..

එකදිගට වැටුණු පුංචි පුංචි මල් වැසි නිසාවෙන් මළානික වෙලා තිබුනු දෙවල් වලට පණ ඇවිල්ලා...වස්සනය උදා උණා............!!!
වස්සනේ තරමක් දරුණු වෙනකොට වැව්තාල්ලටම හිමීට වතුර දානකොට වාන් දොරටු ක්‍රමක් ක්‍රමයෙන් විව්ර්‍ත කළා...
එය දරාගත නොහැකිව මැලි උණු නුඹේ මූණ මොහොතකින් අතුරුදන් උනා.......
වාන් දොරටු හැර තැබුවේ අපි වෙනුවෙන් වඟ දැනගත්ත නුඹේ සතුට නිම් හිම් නැතිව ගියා..........
මං බලන් හිටියේ ඒ සතුට....
නිතර මා ළඟ සැරි සරන්නට නුඹ හුරු උනේ ඉබේටම.....
මට මගේ වී ඉන්න, සංසාරේ පතා ආ ලෙස නුඹත් එක්කම පියවර මනින්නට මට හැකි උනේ වස්සානය නිසාවෙනි පුංචි මල් පෙති හිමින් හිමින් පීදුනා.
අපි දෙමව්පියන් කරලා වැව පිටාර ගැලුවා…
වස්සනය එහෙමයී..............!!!

ලියා එව්වේ - අහිංසකී (http://www.ahinsaki.blogspot.com/)

Monday, October 18, 2010

අනතුර...

"ඔහොම හාන්සි වෙන්න හෙල්ලෙන්නෙපා මහත්තෙයො උඩ බලාගංට...

....සතාසරුපයා ගොම්මනේ ඇදෙනවා රැලට. උන් එක එකා ඉව කරගන්නවා රාත්තිරියට උණුහුමට...පුරුදු පාරෙන් තමයි මංකඩ හරහා එන්නේ. ඔය ආර ගාව දෙතුන්දොහේ තුන්පත් රෑන එහා මෙහා යනවා දැං දැකපු අය කී දෙනෙක් ද? හැබෑවටම අලියා දස්සයා. ඌට තරම් මතකයක් නෑ කිසිම සීපාවෙකුට...දඩයමේ යන එකාගේ ගඳ උන්ට දැනෙනවා. කිසි සංගදියක් නෑ දඩමස් නොකන එකාට...හාරමාසෙකට ඉස්සෙල්ල විලියයියා මළෙත් අලියා ගහල. උන්නැහේ හේන් කොටනවා කියල වෙඩි බැඳං හතර‍වටේ කංසා වවමින් උන්නා වන්නිය මැද්දෑවේ...ඌරු හපුවෙක් තිබ්බෙ නෑ හතරගං හතේ...ඉතිං පඩිසං දුන්නා ඕං.. මහත්තයා පණ අතෑරල ඉන්න ඩිංගිත්තක් හෑල්ලුවෙන්... ඇඟ බුරුල් කොරගන්ට...මේං කෙලී ගෙනැල්ලා පත්තුව...

අයියනායක දෙයියන්නේ පිහිටයි...තුන්සරණින් මේං... "

ලියා එව්වේ - ලලින්ද්‍ර පෙරේරා

Sunday, October 17, 2010

පොඩි එකී

පරණ බොසා මාව පිලිගත්තෙ කට කණට යවාගෙන.

අවුරුදු ගාණක්ම මිනිහව හොඳට පෝසත් කලානෙ මම.

පොරගෙ නෝන දරු‍වත් වඩාගෙන ප්‍රාදුර්භූත වුණා. පොඩි එකී ඉපදුනා කියල බොසා කලින් දවසක වැඩක් අහගන්න කතාකරපු වෙලේ කියපු වෙලාවෙ ඉඳන් මම පරණ කාර්යාලයට ඔළුව දාන්නයි හිටියේ. පොර කාලයක් තිස්සෙ දරුවෙක් හදන්න ගේමක් දීල කසාදෙන් අවුරුදු ගාණකට පස්සෙ ඉපදුණ පොඩි එකියක්...

මම මිස්ගෙ අතේ හිටපු පොඩි එකී දිහා බැලුව.

මිස් වට පිට බලල පොඩ්ඩිට අන්දවල තිබුණ ගවුම සීරුවට කරෙන් පන්නල හෙමින් මිමිණුව.

“අනුෂ්ක මේක බලන්න...”

........

මම හිටියෙ කමි‍සෙ ගලවගෙන පපුව දිහා කණ්නාඩියකින් බලාගෙන. මෙච්චර කාලෙකට මම මගේ පපුවෙ පැත්තක තියෙන උපන් ලපය දිහා සැලකිල්ලෙන් බැලුවෙ නෑ...

ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

Saturday, October 16, 2010

දෙගිඩියාව....

තරු පායන අහස් කුසේ...
ඈත පෙනෙන වලාකුලට....
මුවාවෙච්ච සද කිරනින්...
නුඹේ මුහුන එහි මවාවි....

වලකුලේ ඇදෙන එරුව....
මගේ කියා මම හිතුවට....
එය එලෙසම සිදුවෙවිද...
කියා කියන්නේ කෙලෙසද?

නුඹත් අරන් කොහේට හෝ...
ඉගිලිලා ගොස් කූඩු වෙන්න...
පැතුමක් තිබුනත් සිත යට...
නුඹ අකමැති වේවි නේද?

ඕන කෙහෙල්මලක් කියා....
ඔබ මට කැමතිද කියාලා...
අහලා දාන්නත් හිතෙනවා..
ඉන්පසු මට මක් වේවිද?

හා කිව්වොත් සිත් අහසේ...
දහස් ගනන් මල් පිපේවි...
කරුමෙටවත් බෑ කිව්වොත්...
දිවියත් මට තිත්ත වේවි..

ආදරෙ පැත්තකින් තියා....
ඇති මිතුදම හොදින් තියන්....
මම ඉන්නවා හැමදාමත්....
නුඹව බලා සිනා සෙමින්....

මගෙ ආදර තාරකාව....
හෙට දින අන්සතු වේවිද?
ඕන කෙහෙල්මලක් කියා....
එහෙනම් මම හෙට අහනවා.....

ලියා එව්වේ - අභීත (http://tikakhinawenna.blogspot.com)

Friday, October 15, 2010

හිස් තැනක්..

හිස් තැනක් පුරව ගන්න ගැහැණියක් සහ පිරිමියෙක්!

ඕන නම් නිල් අහස පසුබිමෙන්. හමා යන සුළඟක්? ඔව් කෙහෙරැලි කරකවාගෙන යන...

"අපිට තව ඕන තරම් කාලය තියෙනවා සුදු ඔයා ඔය තරම් කල්පනා කරන්න එපා..."

"මම කල්පනා කරනවා නොවෙයි. මට දුකයි ඔයා ගැන..."

"ඒත්... මේවා දෙයියන්ගේ කැමැත්ත..."

"ඔව් එහෙම හිතමු. ඒත් ... ඔයා කවදාවත් දැනං හිටියේ නැහැ නේද මට මේ ව‍ගේ දෙයක් වෙයි කියලා?"

"එහෙම දේවල් දැන ගන්න ඕනත් නැහැ. මම ඔයාට ආදරෙයි. ඒ දේ විතරයි මම දැනං හිටියේ..."

"මට ඔයා ගැන දුකයි..."

"ඉතිං දුක් වෙන්න එපා. මට මුලු ලෝකෙටත් වඩා ඔයා වටිනවා..."

"ඔයා මාව කවදාවත් දාලා යන්නේ නැහැ නේද?"

"නැහැ. කවදාවත් නැහැ."

ලියා එව්වේ - ලලීන්ද්‍ර පෙරේරා

Thursday, October 14, 2010

අයිතිය

“ඔයා දැන් පොඩි එකෙක් නෙමෙයි....... බොරුව‍ට හුරතල් වෙනවා...”
“එහෙනම් මොන එහෙකටද මට චූටි දුව කියන්නේ”
මමත් පරදින්න කැමති නෑ.. දිගටම වාද කරනවා... මං අනිත් අයත් එක්ක ඕනම දෙයක් බෙදා ගන්නම්... ඒත් ඔය ආදරේ නම් බෙදා ගන්න බෑ...
“නපුරු වෙන්න එපා...එයා තාම පොඩි දරුවෙක්.. එයා ගැන අපි බලන්න ඕන...”
“එතකොට මං ගැන බලන් නැද්ද?
එයා ඔයාගේ මිණිබිරි.. මම දුව... වැඩි අයිතිය මටයි..”
දැන් ඇස් වල කදුළු පිරෙනවා.. හිත හයිය කරන් ඉන්න හැදුවට නිකම්ම කඩා වැටෙනවා... “කවුරුත් මට ආදරේ නෑ....”
මං පුංචි බොනික්කා තුරුල් කර ගත්තා..
ඔයාට අමතක වුනාට මෙයාව මට ඔයා ගෙනත් දුන්නේ
අවුරුදු 20කට කලින් අද වගේ දවසක..
මගේ උපන්දිනේට........

ලියා එව්වේ - වරුණි (http://akikaruhitha.blogspot.com/)

Wednesday, October 13, 2010

පරමාදර්ශ

“උඹ හිතන්නෙ පොර ගෑණු ආශ්‍රය කරන්නත් නැතිව ඇති කියලද?”

මට නිහඬවම ඇද්දා තව දුම් උගුරක් පපුව පිරෙන්න.

“ඔව් එහෙම වෙන්නත් ඇති”

“අන්දල තියෙන ඇඳුම් ගැලෙව්වම ඌත් අපි වගේ මිනිහෙක් විතරයි. එකම දේ ඌ කියපුව අහන්න ගොඩක් මිනිස්සු හිටියා.”

මගේ අතින් දුම අරගත්තු කුමාර උගුරක් ඇදල ඒක දිහා බලන් හිටිය.

“මේක නිසා කියන කතා නෙවෙයි. ඒත් මේව හිතෙන්නෙ මේක නිසා”

මම හඬ අවදි කලා.

“කතා ගොඩක් තියෙනවනේ ඔළුව පිරෙන්න. ඒව එහෙම නෙවෙයි කියල හිතන එක...”

“හික්”

සෙන්ටිමීටරයක කොටේ විසි කරපු කුමාර නැගිටල ඩෙනිමෙ වැලි පිහිදුව...

“පරමාදර්ශ කඩල දාන එක අමාරු වැඩක්. ඒත් කවද හරි උඹට තේරෙයි පරමාදර්ශ කියල එකක් නෑ කියල”

ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

Tuesday, October 12, 2010

දෙයියො තමයි දන්නෙ...

අපි කතා කරන ඒව ඔයා ලියල තියා ගන්නවද?
නෑ.ඇයි?
එහෙනම් කොහොමද ඔහොම මතක තියා ගන්නෙ?
මතක හිටිනව. ඉබේ
මාර ඔලුවක්නෙ..!
හ්ම්
පාඩම් කරන ඒවත් ඔහොම මතක හිටිය නං මෙලහකට මම දොස්තර කෙනෙක්
ඒක ඇත්ත. එහෙනම් ඉස්සෙල්ලම ඔපරේශන් කරයි මාව.
හ්ම්
කොතනද ඉස්සෙල්ලම ඔපරේශන් කරන්නෙ?
හදවත
කපල අයින් කරනවද?
නෑ. කපල මම ඉන්නවද කියල බලනව
ඉන්නවනම්
තිබ්බ විදිහටම මහනව
තව අය හිටියොත් ඒ අයව අයින් කරනවද?
අපෝ නෑ. එක එක්කෙනා අයින් කර කර ඉන්නෙ නෑ මම
මුලු හදවතම ගලවල විසි කරල දානව
එතකොට මම මැරෙයි නෙ
ඉතිං
කමක් නැද්ද?
එතකොට මමත් මැරෙයි
අම්මෝ..! මේකද මේ ආදරේ කියන්නෙ..?
මන්ද.. දෙයියො තමයි දන්නෙ....

ලියා එව්වේ - ධනංජි පෙරේරා

Monday, October 11, 2010

001 මගේ පළමු බ්ලොග් ලිපිය

මට මුලින්ම බ්ලොගර් කෙනෙක් වෙන්න හිතුනෙ මරණෙගේ ෆේස්බුක් පොස්ට් දැක්කට පස්සේ. ඒ අසාව තවත් වැඩි උනා සිංහල බ්ලොග් අවකාශයේ පළකරලා තිබුන බ්ලොග්ස් කියවනකොට. කොහොම උනත් පාසලේ වැඩ සහ ටියුෂන් පන්ති නිසා ඒ ආසව ටිකක් යට ගියා.

ඒ සේරම ඉවර කරල නිදහසේ ඉන්නකොට තමා “100” බ්ලොග් සයිට් එක ගැන මරණෙගෙම පොස්ට් එක දැක්කෙ. මගෙ පළවෙනි බ්ලොග් ලිපිය 100 පොස්ට් කරන්න හිතුනෙ 100 අනිත් පැත්තට ගත්තම 001 නිසයි.

ඉතින් අද ඉඳන් ඉඩක් සහ ලියන්නට දෙයක් ලැබෙන හැම වෙලවකම බ්ලොග් ලිපියක් ලියන්න හිතගෙන ඉන්නවා. මගෙ ප්‍රාර්ථනාව 100වෙනි බ්ලොග් එකත් 100ටම ලියන්නයි. අද ඉඳන් මමත් බ්ලොගර් කෙනෙක් කියලා හිතෙනකොටත් ගොඩාක් සතුටුයි. එක අමුතුම හැඟීමක්.

ලියා එවුවේ - සජිත් රූපසිංහ

Sunday, October 10, 2010

මගේ ලෝකයෙන් උන්ගේ ලෝකයට

මුලු ලෝකයම මා වටා හිටියත් මම තනිවෙලා...
හැම කෙනෙක්ම ජිවත් වුනේ තම තමන් විසින් නිර්මාණය කරගත් තමන්ගේ ලෝකයන් තුල..
මට මං වගේ ජිවිතයක් හදගන්න ගත් තිරණයට උන්ට වැරැද්දක්ලු…
එසේ වු උන් මගේ ලෝකය වෙනස් කරන්නට සැරසෙනවා…..
අවී අමොරා මා මරන්නට හදනවා...
ප්‍රේමයෙන් මාව මුදවන්න හදනවා....
හිතේ සතුට නැති ජිවිතයක පලය මුදල් නොවන වඟ හිතන්නට එකෙක්ටවත් උවමනවක් නැති තරම් උන් අන්ධ වෙලා………..
මහප්ප්‍රාණ අකුරු එකතු කරලා ගොතපු වාක්‍ය වලින් මුන් මාව වටලන්න හදනවා මුන් නිරුවතින් ඉදගෙන අනුන්ගේ නිරුවතට හිනා වෙනවා....
දානයක් මානයක් නොදුන්නු
බණ පදයක් නොඇසු උන්
“බ්‍රහ්ම ලෝකේ” ගිහින් උපදින්න හීන මවනවා....
මට පිස්සු නෑ දෙයියනේ උඹලට එහෙම මාව පේනවද........?

ලියා එව්වේ - අහිංසකී (http://ahinsaki.blogspot.com/)

Saturday, October 9, 2010

මග බලාසිටීම....

ගිනි මද්දහනේ කර වෙවී ඉදල
දැන් හවස් වෙන්නත් කිට්ටු වෙලා
දවල් 1.30 ඉදන් තාමත් මෙතෙන්ට වෙලා ඉන්නේ
දවසක් වත් නොදැක ඉන්න බැරි ඔය මූන බලන්න කියලා ඔය හිතට නිකමටවත් හිතෙන්නේ නැද්ද?

දැන් වෙලාව 5.45යි. මේ වෙලාවට නාමල්ගේ සිංදු කෑලිත් මතක් වෙනවා.
මොන මගුලක්ද මදුරුවොත් කනවා....

අද පන්ති යනවා කියලා කිව්වෙත් නැහැ...
වෙනදාට මේ වෙලාව වෙද්දී ගෙදර ගිහින් තුන් හතර පාරක් කෝලුත් කරලා, ඒත් අද මොනවා වෙලාද?

අම්මට සිරි මෙන්න කියන කොටම කෝල් එකක්....

කොහෙද ඉන්නේ...? දැන් වෙලාව කීයද? ඇයි පරක්කු?

ආ අම්මා එක්ක එද්දී අම්මව ඇක්සිඩන්ට් වුනා?
4වැනි වාට්ටුවේ?

ඇයි දෙයියනේ කලින් නොකිව්වේ?
කලින් කිව්වනම් දැන් ඇවිල්ලනේ... ඉන්න මං එන්නම්.

ලියා එව්වේ - ප්‍රසන්න කරුණාරත්න(http://prasanna86k.wordpress.com/)

Friday, October 8, 2010

නික්ම යෑම

මම ඔයා දිහා බලන් හිටියා. ඔයා පොඩි එකෙක් වගේ නවත්තන්න බැරි රළත් එක්ක පොර බැදුවා..
“ඔයා හැමදාම ආදරේ කලේ නොලැබෙන දේවල් වලට”
මට එහෙම කියන්න හිතුනත් මං එහෙම නොකීවේ ඔයාට රිද්දන්න බැරි හින්දයි........
රළත් එක්ක ඔට්ටු වෙලා මහන්සි වුන ඔයා මං ලගට ආවා...
“අපි අයිස් ක්‍රිම් කමුද?”
මම “හා අපි කමු” කියන්නත් කලින් ඔයා අයිස් ක්‍රිම් ගේන්න දිව්වා... ඔයා ඇතට යනවා දකිද්දී මගේ හිත ගැස්සුනා...
මම ඔයාව දාලා යනවා...
කදුළු කැටයක් මට ඔයාව නොපෙන්වන්න උත්සහයක් ගත්තා...
කෑගහලා අඩන්න හිතුනත් කදුළු වලට එන්න නොදී හිර කරගත්තා....
මම ඔයාව දාලා එන්න හැරුනේ
ඔය ඇස් ඉස්සරහ ඉදන් ඔයාව දාලා යනවා කියන්න බැරි නිසා..

ලියා එව්වේ - වරුණි (http://akikaruhitha.blogspot.com)

Thursday, October 7, 2010

ජීවිතය අන්තැනක

ජීවිතේ දියාරු වෙන්න අරන්...

ඒක ඝණ වෙලා තියෙන්නෙ ඇත්තටම හරිම පොඩි වෙලාවයි. අදාල කාරණේ අනුව ජීවිතේ ඝණව දැණන කාලය දිග වෙන්න පුළුවන් වුණාට අන්තිමේ කොහොමත් දියාරු වෙලා නතර වෙනව.

ජීවිතේට ඕන කරන්නෙ අරමුණක්. ඇත්තටම සෑහෙන්න ඉස්සර මට තිබුණෙ ඔයාව මගේ කරගැනීමේ අරමුණ. ඒකෙන් පස්සෙ වෙන මිනිස්සු වගේ සාමයෙන් සතුටෙන් ඉන්නවය කියන එක අමුතු අරමුණක් වුණේ නෑ. ඇත්තටම ඊට පස්සෙ අරමුණක් තිබුණෙම නෑ මට.

අනිත් මිනිස්සුන්ට අරමුණු ගැන හොයන්න වෙලාවක් නෑ. එයාල එයාලගෙ අරමුණ තමන්ගෙ දරුවන්ගෙ මත දාල.

අපිත් දරුවෙක් හැදුවනම්...

දැන් මගේ අරමුණ ආයෙත් බෝතලයක්...

ඔයාගෙ අරමුණ මොකක්ද කියලවත් මට නො‍තේරෙන්න තරම් අපි දුරස් වෙලා...

අපි හිතුවද මෙහෙම වෙයි කියලා?

ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

Wednesday, October 6, 2010

චන්දෝ

සුළං කපොල්ලේ හදාපු කැදැල්ල කෑලි වලට කැඩිල ලෝකාන්තෙන් පහලට වැටුණා විතරක් නම් මදැයි.නතර වුනේ කීන දං පඳුරක් ගාව.
කුරුල්ලන්ට කටහඬ දීපු ගී කිරිල්ලියක් සන්දිරන්ගෙ උණුහුම් පියාපත යටට පියාඹගෙන ආව.
පුරුද්දෙන් වාගෙ!
මේඝා...............................!
සන්දිරන් කෑගැහුවා.
මං චන්දෝ මා බිළිඳා පපුවට තුරුළු කරගත්තා.
කිරි බර ,දුක ,දෝරෙ ගලන්න ගත්තා.

ඒ කඳුළු එකතු වෙලා බලංගොඩ බෑවුම යට වුණා.
ගංවතුර
සූර්යන් ආවෙ මාව බේර ගන්න
දාල යන්න බෑ සන්දිරන්!
මමත් මෙහෙමම ගිලිල මැරෙනව
චන්දෝ විතරක් අරන් යන්න.

..........................................................

"දැන් හෙමිහිට නැගිටින්න"

උකුලෙන් පහල හිරිවැටිල තිබුණා.
වැකුම් යන්තරෙ බාගයකටත් වඩා ලෙයින් පිරිලත් තිබුණා.
සන්දිරන් ඇස්වල කඳුළු පුරෝගෙන මගෙ අතින් අල්ල ගත්ත

"අපි ඉක්මනට බඳිමු මේඝා"

ලියා එව්වේ - වීතරාගී (http://wiitharaagii.blogspot.com/)

Tuesday, October 5, 2010

ඩුප්ලිකේට් ආදරය..

"හරිම ලස්සනයි..."

දිලිසෙන රන් දියමන්ති මුදුව දෙස බලා උන් මට අතීතය සිහිපත් විය.

"බලාගෙන තුෂාරි ඕකාට හැමතැනම කෙල්ලෝ"

ඒ හැමදාමත් මගේ යෙහෙලියන්ගේ විරෝධතා, අවවාදයන් වැලක ආරම්භක පියවර.
ඇත්ත, නාලක සෙල්ලක්කාරයි. ඒත් මං දැනන් උන්නා නාලක මාව හැමදාමත් සතුටින් තියන බව, මේවා මොකටද අපේ ආදරේට..

"නාලක, මේක හරි නෑ. ඔයා............"

"මොකක්..? කෝ ගලවන්න ඔය මුද්ද"

"අර පර කඩකාරයා අහු වුණොත් මට.... ලැජජ නැතිව දිවුරුවානේ මේ මුද්දෙයි ඇත්ත එකකයි වෙනස කවමදාකවත් හොයන්න බෑ කියලා"

අත්ල උඩ තබා ගත් මුදුව දෙස අවසන් වරටත් බැලූ නාලක එය පුලුවන් තරම් වෙර යොදා ඈතට විසි කරන අතර මුමුණන්නට විය.
මා ඔහු තුළ මගේ තීරණයද දකින්නට විය

ලියා එව්වේ - Ansh Lucky Sri Jay  (http://www.mitiyaawatha.blogspot.com/)

Monday, October 4, 2010

G 2 H

“එයාට ඒක ඉරිදා වුණාට මට අවුරුදු 6ක් බං“

දන්නා අඳුරන කෙනෙක්ගෙන් ලියමනක් ඇවිත් මූණු පොතේ...

ඉස්සර හැමදාම නෙට් එකට ගිය ගමන් “ගුඩ් මෝ(ර්)නින්“ message එක එන්නේ මෙයාගෙන්. ඊට පස්සේ පොඩි එකාගේ ඉඳන් ලොකු එකාට වෙනකම් එක එක ජාතියේ කථා.... Cutter එකක්, සිරාවටම. ඒත් ඉතින් අපි දෙන්නගේ කථා අපිම අහන් ඉන්නවා. මේකි මගෙන් බැනුම් අහලා තියෙන වාර අනන්තයි... මගේ දුකත් අහන් හිටි වාර අප්‍රමාණයි...

Code එකක හිරවෙලා ඉද්දි, “බුහ්“ කියලා වයර් දිගේ එවන්නේ ඒකි ආවා/ඉන්නවා කියලා කියන්න. හරියට “සහයට ඩැනී“ වගේ. තාමත් ඇහැට දැකලා නැතිවුණාට දොර දෙකෙන් මේක පිස්සු කෝච්චියක්.

ඉතින්, හැමදාම ඔය සතුට ළඟ තියාගනින්! ඔව්, දැන් දුකින් හිටියා ඇති!!!

ලියා එව්වේ - අංජන ජයවීර (http://www.anjana-j.com)

Sunday, October 3, 2010

මල් කිනිත්තක්...

කැලෑ මණ්ඩිය හේන් ගොවිතැන් ඉඩම් පිහිටි සීමාවෙන් මායිම් වන අලි වැට අද්දරින් පියවර තබද්දී ඈතින් පිහිටි කටුමැටි වරිච්චි බිත්තිවලින් වට වුනු පොල්ලතු සෙවිලි කළ කුඩා පාසැල මීදුම අස්සෙන් මතු වී පෙණුනි.
 ළමා ලපටි  හොටු නාවර පෙරා ගෙන කිළුටු වස්ත්ර්යෙන් සැරසී අවුල් වූ හිස කෙසින් යුතුව කබල් ලෑලි බංකු මතත් බිමත් ලැග සිටි දසුන මගේ දෑස් සැණෙකින් නිලංකාර කරන්නට සමත් විය.
 මගේ අත්බෑගයත් කුඩයත් සුළඟේ පාවී ගොස් පාසැල් මිදුලේ පතිත විය‍.‍
 මගේ දෑත් වෙව්ලන්නට ගත්තේය. දෙදණ අප්රාදණික විය.
 මම කුමක් මේ දරුවන්ට උගන්වන්පනේ දැයි අහස දෙස බලා කකියන  හදවතින් විලාප නගමින් කෑකොස්සන් ගසන්නට වීමි.
 “ආයුබෝවන් ටීචර්!”
 පුංචි දරුවෙක් මල් කිනිත්තක් වෙලා...

ලියා එව්වේ - ලලින්ද්‍ර පෙරේරා

අපි (දෙදෙන)

හපන්න ඔට්ටු නෑ
කිචි කරන්නත් බෑ
හරි හරී.......
කොට්ට උර පැත්තක
ඇදේ සීට් තවත් පැත්තක
හිනාව නවතාගන්නට බැරි දඟකාරි
මහා හයියෙන් හිනාවෙනවා...
මගේ දරදඬු උරපතට එක පාරටම වාරු වුනු ඈ මුහුණට එබුණා...
හරිම ලෙංගතුයී ඇස් පොපියනවා...
මොනවදෝ හොයනවා
එ මත මම කිමිදුණා
හිස කෙස් එහා මෙහා ඇගේ සිහින් ඉඟ වටා අත දුවනවා
තවත් ඈ මා දිහා බලන් ඉන්නවා.....
දෙතොල් හීනියට වෙව්ලනවා
මහා හයියෙන් ළැම ඉහළට පහළට ගැහෙනවා
ජිවිතේ අවසන් මොහොත සේ දැනී ඈ ළයට තදකරන් මුවා සිපගත්තා මතකයි
කාලය ගෙවෙන්නට ඇති....අපි අපේ වෙන්නට මොහොතකට කලියෙන්
දුරකතනය නාද උණා
ඇදි වස්ත්‍රයක් සොයගත නොහී දුරකතනය ගත් ඈ විමතියේන් මා දෙස බැලුවා...

"......"

ලියා එව්වේ - අහිංසකි  (http://ahinsaki.blogspot.com/)

Saturday, October 2, 2010

මුතු...

මුතු... මුතු...
අනේ කෙල්ලේ තාම තාත්තිගේ පපුව උඩට වෙලා හොඳට නිදි නේද?
ඒ මගේ සදාදර බිරිඳගේ කටහඩයි.
ඒ කතා කලේ,
මගේත් ඈයගේත් එකම ආදර දූ පැටික්කිටයි.
අපේ ජීවිත වලට සතුට අරගෙන,
අපි අතර බැඳීම තවත් වැඩිකරන්නට,
කොහේදෝ ඉඳන් ආ අපේ පුංචි හුරතල් කෙල්ලටයි.
මුතු අපිට වාසනාවකි.
තාත්තිටනම් මුළු ලෝකයකි.
තාත්ති එනකම් අම්මිත් එක්ක,
මග බලන් හිද ආපු ගමන් බෙල්ල බදා ගෙන
ඉඹ ගෙන ඉඹ ගෙන යන
මගේ පුංචි කෙල්ල
ඳඟල ඳඟල ඉඳල නිදිය ගන්නේ
තාත්තිගේ පපුව උඩ
ඉතිං උදේට ඈහැරවන්න ගියාම දුකේ බෑ...
තාත්ති තාත්ති කිය කිය තවත් හයියෙන්
බෙල්ල බදාගෙන නිදා ගන්නවා.
ඉතිං පුංචි මුතු කෙල්ලට ගොඩක් ආදරෙයි මම.
 ලියා එව්වේ - ප්‍රසන්න කරුණාරත්න   (https://prasanna86k.wordpress.com)

Related Posts Plugin for WordPress, Blogger...