Wednesday, June 6, 2012

මගේ සිහිනය

සිනිඳු සමනල් තටු ද මල් පෙති
අතරෙ නැළවුනු මගේ සිහිනය
රෝස දම් කහ නිල් ද කොල සුදු
පාට තැවරුනු මගේ සිහිනය

දිලෙන මුතු කැට පබළු මිණි කැට
වලින් ඔප වුනු මගේ සිහිනය
හිතේ හිර වුනු දහස් පැතුමන්
එකට ඇමිණුනු මගේ සිහිනය

පෙනෙන නොපෙනෙන ඈත ක්ෂිතිජයෙ
මැවී බොඳ වුනු  මගේ සිහිනය
අතට අසු වුන සැණින් දිය වුනු
සොඳුරු පියකරු  මගේ සිහිනය

ඉටි පහන් සිල සමග පොර බැදි
අඳුරෙ සැඟවුනු මගේ සිහිනය 
ලොව වසා ගත් ඝන අඳුර තුල
කඳුළු වගුරන මගේ සිහිනය

ඔබේ පා මුල හැපී පොඩි වුනු
බිඳී විසිරුණු මගේ සිහිනය
හමුවේද මතු යම් දිනක යළි
මට අහිමි වුනු මගේ සිහිනය

 

ලියා එව්වේ - සුන්දරී

2 comments:

  1. මියැදි මතකෙක පැටලි පැටලී
    කිම දකින්නේ එකම සිහිනය
    දැන් නැගිට යලි නිදාගනු අද
    ළඟට පැමිණෙයි අළුත් සිහිනය

    ReplyDelete
  2. මොකක්ද..අප්පා සිහිනය...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...