Friday, January 18, 2013

ඔබ හා මම

ලොවක් අවදි කර
නැගෙන හිරු
මඬල ඔබ
අඳුරු අහසට
අරුණළු රැගෙන එන
රන් රැස් දහරින්
තුරු මුදුන් සිප සනසන
නැවුම් මල් කැකුළු
පුබුදුවා නළවන
එකතු කර වැහි බිඳු
පාට දේදුනු අඳින
සැඳෑ වළාකුළු
රනින් සිත්තම් කරන


                        ඔබේ කාන්තියෙන් නැහැවෙන
                        පුංචිම තරුව මම
                        රෑ අහසෙ කොනක හිඳ
                        දීප්තිය විහිදුවන

වියළි මහ පොළොවට
ඇද වැටෙන වැස්ස ඔබ
මලානික ගහ කොල
හුස්ම පිඹ නැගිටුවන
පිපාසිත තණ පත් අග
පිණි බිංදු රඳවන
ඉරි තැලුණු මිහිකත
සනහා ගිම් නිවන
ඇල දොල වැව් පොකුණු
සුනිල් දියෙන් පුරවන
නෙත යොමන හැම අත
හරිත පැහැයෙන් බබලවන


                           සිහිලැල් දියෙන් සැනහෙන
                           සිඳුන උල්පත මම
                           ඔබෙන් නව පණ ලැබ
                           ජීවයෙන් උතුරන..

 
ලියා එව්වේ - සුන්දරී

2 comments:

  1. ඔබේ කාන්තියෙන් නැහැවෙන
    පුංචිම තරුව මම
    රෑ අහසෙ කොනක හිඳ
    දීප්තිය විහිදුවන

    මේ කවි පංතියෙන් මම ආසම හරිය මේක. ගෑල්ලමයෙක් මෙහෙම කියනවා අහන්නත් ආසයි :)

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...