Friday, September 12, 2014

ලොක්කිගෙන් ලියුමක්

බුදුසරණයි! පොඩ්ඩී වෙත ආදරෙන් ලියමි
ආදරණීය පොඩ්ඩි,
උඹට කොහොමද? අපි නම් හොඳින්. ඒක නෙමේ අපිටත් ආරංචියි උඹේ පලහිලව්ව. මාත් දැක්ක දවසක් දෙකක් උඹ කොල්ලත් එක්ක අත් අල්ලන් යනවා. මල්ලි නම් ලස්සනයි. උඹේ ඇස් වල ආදරේ පිරිල තියෙනව දැක්කම අපිටත් සතුටුයි. උඹත් ඉතින් කවදහරි ආදරේ කරන්නත් එපැයි.
හැබැයි උඹ කොල්ලත් එක්ක රවුම් ගහනව වැඩියි කියල අම්ම කිව්වා.. කමක් නෑ පොඩ්ඩියෙ ආදරේ කරපන්. ඒත්...සිහිකල්පනාවෙන්. සමහර සමනල්ලු මල්වලට වහල පැණි බීල පෙති තලල ඉගිලිලා යනවා. ඒ නිසා පරිස්සමින්. පොඩි අක්ක වගේ හැමදේම වැරදුණාම අනේ අක්කේ... කියාගෙන ඇවිත් මාව බදාගන්න තැනට වැඩ කරගන්න නම් එපා.
අදට නවතින්නම්.
මං ඔයාගෙම ආදරණීය ලොකු අක්කා
යාල් දේවි
ලියා එව්වේ - වර්ණ

Tuesday, September 9, 2014

කාක බෝධිය

කාක වසුරක මුහුව විත්
තෙමංසල පවුර රැඳි ඇසතු බීජය
සිමෙන්ති පොළවේ වූ ක්ෂුද්‍ර පෝෂණයත්, වැසි දියත් අහර කොට
ලෝකයට රිදී මුල් දිඟු කළේය......
වෙර දරා පවුර බිඳ පැලුම් ඉරි දිගේ මුදුන් මුල
ටිකෙන් ටික මහ පොළවටම ගෙනගියේය....
යවුල් පහරට වැහැරුණත් තැනෙක
හේ තිරසරව යමුල් ලා ගත්තේය...

ඇවෑමෙන් හේ මහා බෝධියක් විය..
බැලු බැලුවන්ගේ සිත් පිනවමින් රන්වන් පත් ළෙලවන්නට විය.
කෙනෙක් බුදු පිළිමයක් තැබුවේය. තවකෙක් බාරයක් ගැටගැසුවේය.
%මහා අනුහස් ඇති බෝ රජෙක්^
ඉනික්බිති පවුරකින් වටවිය. පාමුල මුනිඳු පිට දී හිඳින සුඟන්ධ කුටියක් ඉදිවිය.
මලින් පහනින් සුවඳ දුමින් නිතර නිතරම පිදෙන්නට විය.
දහස් ගණනක් කාකයෝ ඔහු ඵල ගිල සතර අත ඉගිලී ගියහ.

ලියා එව්වේ - වර්ණ

Friday, September 5, 2014

මව් ගසේ උපදෙසේ

ළමයිනේ බලාපල්ලා පිරුණු හඳ. අද තමා ඒ දවස. පෙති හොඳට දිග ඇරගෙන ඉඳපල්ලා. සුවඳ විහිදෝපල්ලා.
මුලින්ම එන්නෙ වයසක උන්දෑ. උන්දැ උස අතුවලට ළං වෙන්නෑ. ඒ හින්දා පාත අතුවල අය හොඳට මූණ දීගෙන ඉඳපල්ලා. උන්දැගෙ වට්ටියෙ සීයකට විතර ඉඩ තියෙනවා. මාත් පුළුවන් තරම් අතු පාත් කරන්නම්.
ඊළට එන්නෙ දුවයි පුතයි. එයාල නම් උස අතු පාත්කරල හරි කඩයි. එයාලත් දෙසීයකටවත් වග කියයි.
මේ තමා උඹලගෙ ජීවිතේ ලැබෙන උතුම්ම අවස්ථාව. ඒ නිසා පුළුවන් තරම් ඒ අයට පේන්න ඉඳපල්ලා.
උඹලා වගේ තවත් අය සියදහස් ගාණක් එයි. උඹලත් කොහොමහරි මල් ආසනේට නැගපල්ලා.
උඹලත් පින් කරගෙන මටයි, නිකම්ම පරවෙලා වැටිලා ගිය අයියලා අක්කලාටයිත් පිං අනුමෝදන් කරපල්ලා 

ලියා එව්වේ - වර්ණ

Tuesday, September 2, 2014

බස් තොරණ

දෙවිවරුන් මැද බුදුරදුන් වැඩ
විහිදුවති රැස් නිවී දැල්වෙන
අසන් මහතුනි වෙසක් නොමැතිව
බසයෙ දිදුලන වරුණ තොරණක....
තිරිංග තද වෙයි
තොරණ පත්තු වෙයි....
ඇන්ඩ්‍රොයිඩ් දැහැනට
සමවැදුණු හිමිනමකි
උන්වහන්සේගේ
උරහිසට බර දී නිදන
මිනිසෙකි
පළමු කොටුවේ.....
ආධාර කරති සැවොම
ලබාගනිති තුන්ඩු
මුදල් දී....
තිරිංග තද වෙයි
තොරණ පත්තු වෙයි....
මැදකොටුවෙ සිටන් යන
මහලුන්, ගැබිනියන්, ආබාධිතයන්
දැක දැකම නිදති
සෙසු කොටු අසුන්වල
බලවත්තු බවලත්තු.....
තිරිංග තද වෙයි
තොරණ පත්තු වෙයි....
අවසනම කොටුවෙහි
මදන නම් වූ
වෙනම ජාතකයක්ය.......
තිරිංග තද වෙයි
තොරණ පත්තු වෙයි....
නගිති.. නරඹති...
නිදති.. බැසයති..
සැදැහැවත් පිංවත්තු.....
ලයිව් ෂෝ විරිඳුවෙන්
කන් බෙර පළති බෆල් රාජයෝ......
තිරිංග තද වෙයි
තොරණ පත්තු වෙයි....

ලියා එව්වේ - වර්ණ

Monday, June 2, 2014

එයයි මමයි

දසක් බලාපොරොත්තු මල් පලගන්වමින් මගේ යෝජනාවට ඈ කැමති වීමෙන් පසු මුල්වරට අප හමුවී, යන්නේ කොහේද කියා අරමුණක් නැතුව අපි දෙදෙනා ඔහේ ඇවිදිමින් සිටියෙමු.

ඇයත් මමත් පියවර මැන්නේ ගිනි මද්දහනේ දූවිළි පිරුණු කොළඹ නගරයේ පාරක වුවත් මට දැනුනේ අපි ඇවිදින්නේ සීතල නුවර එළියේ උද්ද්‍යානයක් තුල හිමිදිරි උදෑසනක කියාය .

මටත් නොදැනීම මම ඇගේ අතැඟිලි වලින් අල්ලා ගතිමි.

අද කවද්ද?.....
සඳුදා.....
නැහැ....
එහෙනම්....
මම ඉස්සෙල්ලාම ඔයාගේ අතින් අල්ලපු දවස...

ඇගේ මුවේ පැතිරුනු සොඳුරු සිනහ රැල්ල මට මුළු ලෝකයම අමතක කලා.

ඇය දෙසට හැරුනු මම සෙමින් "ඔයා දන්නවද,  ලෝකේ තියෙන වටිනාම වස්තුව දැන් මගේ අතේ තියෙනවා, ජීවිතේ තියෙන තුරාවටම රැක ගන්න"  යැයි පැවසීමි.

ලියා එව්වේ - නිෂාන්

Related Posts Plugin for WordPress, Blogger...