Wednesday, November 26, 2014

අතීතය දෙස හැරී බැලුවා මං

සල්ලිම හොය හොයා නැවතීමක් නැතිව දුවපු, සාද සැණකෙළිවල ජීවිතේ දිය කරපු මම එක විරාමයක අතීතය දිහා හැරිලා බැලුවා.
එතකොටයි මං ඔයාව දැක්කේ. මහගෙදර වැලේ තාමත් වනල තියෙන පාට පිච්චුණු මල් මල් චීත්තෙන් ඔයාගේ සුවඳ මට දැණුනා... සාලෙ බිත්තියෙ එල්ලලා තියෙන බොඳවෙලා ගිය පින්තූරෙන් එදා හිනාවම අදත් මම දැක්කා.. අනේ මම ඔයා ගැන හොයල බැලුව හොඳටම මදි අම්මේ...
රිදී සුළඟට රුවල් බැඳගෙන
දිවි සයුර යන අනවරත ගමනේ
අතීතය දෙස හැරී බැලුවා මං...
දිරා ගිය මහ ගෙදර හෙවණේ පාට පිච්චුණු චීත්තේ
සුපිපි කුසුමක් සොයා වෙහෙසුණු
නුඹව දුටුවා මං.....
තුරුණු සැණකෙළි සාද අතරේ මගෙන් ගිලිහුණු ජීවිතේ
බොඳව ගිය සිතුවමක හිනැහෙන
නුඹව දුටුවා මං....

ලියා එව්වේ - වර්ණ

Wednesday, November 19, 2014

පාර වෙනස් කරමුද?

%අපි යන්නේ කොයි පාරේ
ත්‍රිමා බාලෙ ගිය පාරේ....^
එහෙම කියද්දි සමහර අය කිව්වා ඒ පාර වැටිල තියෙන්නේ වළට කියලා... මහ හයියෙන් කිව්වට ත්‍රිමා, බාලෙ, වෙනුර, නිෂ්මි ගිය පාරේ ඇත්තටම ගියෙ කීයෙන් කී දෙනාද? එහෙම කෑගහපු හැමදෙනාම ඒ පාරෙම ගියා නම් අධ්‍යාපනේට උසස් අධ්‍යාපනේට මේ තරම් හෙන ගහල තියෙයිද?....
%කපා කපා කෑලි කපා
අප වළකනු සිතනු එපා....
ලේ හැලුණත් පාරදිගේ
අපේ ගමන අපි යනවා....^
ඒත් අදත් ත්‍රිමා බාලෙ ගිය පාරෙම ගිහින්, ලේ හලලා අධ්‍යාපනේ නිදහස දිනාගන්න, නිදහස් අධ්‍යාපනේ රැකගන්න පුළුවන්ද? එහෙම නැත්තම් ඒ පාරෙන් හැරිලා අද දවසට ගැළපෙන සාර්ථක, සැලසුම්සහගත පාරක යනවද? එහෙම ගිහින් සිසු විරුවො එදා රැකගත්ත නිදහස් අධ්‍යාපනේ රැකගන්නවද? 

ලියා එව්වේ -
වර්ණ

Wednesday, November 12, 2014

මව් සෙනෙහස

අලුත උපන් බිළිඳෙකුට, නව යොවුන් තරුණයෙකුට, මරණාසන්න මහල්ලෙකුට යන මේ හැමදෙනාටම තමන්ගෙ අම්මව දැනෙනවා. කාලයාගේ ඇවෑමෙන් අම්මගෙ රූපෙ ටිකෙන් ටික ක්ෂය වෙලා ගියත්, අම්මගෙ සෙනෙහස තව තවත් වැඩිවෙනවා මිසක් කවදාවත් අඩු වෙන්නෙ නෑ.

කිරි පබළුවක් අතින් ගෙන
පළමු වර මා පැමිණි දවසේ
රූපයෙන් මෙන් සෙනෙහසින්
කිරි සයුර සේ දැකගතිමි ඇය

පන්හිඳක් ගෙන ඇය බලන්නට
දෙවැනි වර මා පැමිණි දවසේ
රූපයෙන් ඇය කලා වැව වැනි
සෙනෙහසින් සත් සයුර වී

සුදු මලක් ගෙන ඇය දකින්නට
තෙවැනි වර මා පැමිණි දවසේ
රූපයෙන් ඈ සුළං රොද වැනි
සෙනෙහසින් මහමෙරක් වී

තව දෙයක්, දරුවෙක් වැදූ පමණින් උතුම් මව් පදවිය ලබන්නත් බැරි බවත් අද පේන්න තියෙනවා.

ලියා එව්වේ - වර්ණ

Wednesday, November 5, 2014

තනිනොතනි

ඉස්පිරිතාලෙ ගිය තාත්ත ආපහු එනකම් ඇඳිරි වැටෙන ජාමෙ දොරකඩට වෙලා හිටපු මැණිකට ගේ ඉස්සරහ තිබුණු එරමිණියා ගාල පෙනුණේ නමක් දන්නැති යෝධ සතෙක් තමන් දිහා බලන් ඉන්නවා වගේ.
කකුල් වටේ දැවටි දැවටි හිටපු කළු පූසත් එළිපත්ත දිගේ යන්න ගියාම මැණිකට තනිකමක් දැනුණා. තනියම උයන්න බැරි උනත් මැණික පොල් ගාල, ලූනු මිරිස් කපලා, වළං හෝදල තිබ්බෙ තාත්තට ඇවිත් උයන්න පහසුවට.
සැරින් සැරේ ගෙට ඇතුළු වෙන හුළඟ සාලෙ තිබුණු කුප්පි ලාම්පුව නිවන්න හදන්නෙ තමන්ව බය කරන්නමයි කියලා මැණිකට හිතුණෙ.
අඩි පාර දිගේ ගේ පැත්තට එන්නෙ තාත්තා කියල දැනගත්තම මැණිකට දැනුණෙ ලොකු සැහැල්ලුවක්.
&ඔන්න දැන් චූටි මැණිකෙටත් මල්ලියෙක් ඉන්නවා* තාත්තා ගෙට ගොඩවෙන ගමන් කිවුවා.
ලියා එව්වේ - වර්ණ

Related Posts Plugin for WordPress, Blogger...