Friday, December 23, 2011

සිරිපාල මුදලාලි

සිරිපාලයා රස්සාවක් නැතිව ගමේ රස්තියාදු ගහපු එකෙක්.

ගමේ අයගෙ වතුවල පොල් කඩලා හම්බවෙන මුදලෙන් හවසට කසිප්පු වඩියක් ගහල බීඩියකුත් පත්තු කරගෙන ගම පුරා ගිය එකා.

පස්සෙ ටවුමට ගිහින් අවුරුද්දක් දෙකක් ඉඳල ආවා.

දියුණු වෙන්න මිනිහ කලේ ගමේ මිනිස්සුන්ව කොටවපු එක. වගාව ගැන එක එකාට ගතු කියලා.

ගුණේරිස් තමයි මුලින්ම විල්සන්ගෙ කුඹුරට හරක් යවල ඒක පාළු කළේ. ඊට පස්සෙ විල්සන් ගුණේරිස්ගෙ කුඹුර පාළු කලා. ඒකෙන් පටන් ගත්තු රණ්ඩුවෙන් මුළු ගමේම කුඹුරු ටික විනාස වුණා. එකාට එකා පෙන්නන්න බැරිවුණා.

ඔන්න ඊට පස්සෙ සිරිපාලය දැම්ම හාල් කඩයක්.

මිනිස්සුන්ටත් විකල්පයක් නැති නිසා සිරිපාලගෙ හාල් අරන් කෑවා.

දැන් ඌ සිරිපාල මුදලාලි. ලොකු බඩකුයි හිනාවකුයි එක්ක.



ලියා එව්වේ - hare :-) 

 

Friday, December 16, 2011

ඔයයි මමයි විනාඩි 1000යි!

ටෙලිෆෝන් කොම්පැණියෙන් විනාඩි දාහක් නොමිලේ දුන්න ගමන් මම ඒ පැකේජ් එක ඇක්ටිව් කළේ අපි ගැන හිතලා.
ඒ දවස්වල තිබුණ ලොකුම ප්‍රශ්ණෙ විනාඩි දාහක් අපිට ඇති වෙයිද කියන එක.
එක්සෙල් වල වගු ඇඳල ගණන් හදල මම එක එක කොම්පැණියෙන් දෙන පැකේජ්වල වෙනස්කම් හෙව්ව. අරකට වඩා මේක තමයි හොඳ, ඒකෙ SMS 50කුත් නිකං දෙනවා කිය කිය ඔයා අනිත් පැත්තට තර්ක කළා.
අන්තිමේ නිකං විනාඩි 1000ක් දෙන එකම අපට හොඳ වුණා.
ඇත්තටම ඒ විනාඩි 1000 ඒ දවස්වල දැණුනෙවත් නැති තරම්...
..........
.......
දැන් කාලයක් ගෙවිල ගිහින්.
අද බිල ආවමයි දැක්කෙ පහුගිය මාසෙ නොමිලේ කතා නොකරපු විනාඩි 300කට වඩා ඉතිරි වෙලා කියල.
මොනව කරන්නද?
ජීවිතේ එහෙමයිලු! 
 
ලියා එව්වේ - hare :-)

Friday, October 28, 2011

අවියෝජනීය බන්ධන

මම: අම්මේ කෙල ගිලින්න බෑ උගුර රිදෙනවා.

උගුර: එක එක දේවල් කනකොට නිකමටවත් ගිලෙන්නෙ කොහොමද කියල හිතුවද? ටිකක් විඳවනවා මාව මතක හිටින්ඩ.

අම්මා: ඔය නහය බුරුල් කරන්න වෙන්නැති. මේ තිප්පිලි ඇටේ හපන්න. නාරං ගෙඩියකුත් මිරිකල දෙන්නං.

මම: හච්චෝස්! හච්චෑස්! අබ්බේ හෙබ්බිරිස්සාව ඉඩ්ඩ බෑ ඩහය.

නහය: මාව මතක් වුණාද? තව ටිකක් සුරුස් සුරුස් ගානවා මතක හිටින්ඩ.

අම්මා: ඉඟුරු කොත්තමල්ලි ටිකක් හදල දෙන්නං. ඒකෙන් ඇරිල යයි.

මම: ඉන්න බැරියෝ කන රිදෙනවෝ. අම්මේ......

කන: හැමදේම ඇහෙන්නෙ කනෙන් කියල කවද්ද ඕනැකමින් හිතුවෙ? විඳවනවා මතක හිටින්ඩත් එක්ක.

අම්මා: මේ සුදුළුණු ගෙඩිය කනේ රඳවං ඉන්න. ළමයෝ උගුර රිදෙන්නෙ හෙම්බිරිස්සාව හැදෙන්න. සෙමට කන් කැක්කුම. මමම ඉන්නෙපැයි සාත්තුවට.
 
ලියා එව්වේ - මගේ ජීවිතය

Tuesday, October 18, 2011

සතුට

අහස රතු පාටට හැරුනා. තවත් දවසක් ගෙවිල ගියා නේද කියල මට හිතුනා.
ඔයා හිටියේ සතුටින්. ආ ගිය ගමන්, යාලුවොත් එක්ක කතා කරපු දේවල්, ඔක්කොම ගිරවෙක් වගේ කියෙව්වා.
"ඇයි  අද වැඩිය කතා නැත්තේ?" හිටි හැටියේම ඔයා  ඇහුවා.
මගේ දුක තවත් හංගන්නේ නැතුව කියනවා කියල හිතුනා.
"අද අපේ යාළුවො ටික මාර වැඩක්නේ කලේ..." ඔයා තවත් කතාවක් පටන් ගත්තා. මාත් අහගෙන හිටියා.
ඇත්ත... ඔයාගේ සතුට දැකල මටත් සතුටු දැනුනා. එත්.... මගේ හිත....
"දවසෙම යාළුවො එක්ක හිටියට ඔයා දුකින් නෙවෙයි නේද ඉන්නේ?"  හිටිහැටියේම ඔයා ඇහුවා.
"අනේ නෑ." කම්මුල් දිගේ වැටුණු කඳුළු ඔයා දකීවි කියල මම ඉවත බලා ගත්තා.
ඔයා තවත් මොනවද කියනවා මට ඇහුනා.


ලියා එව්වේ - Starry Angel (www.tharuatharin.blogspot.com)

Saturday, October 15, 2011

විමලෙ

පත්තරේ බලද්දි මට ඇස් අදහගන්න බැරිඋනා.

බන්ධුසේනයා විමලෙට එකතැන් වෙන්න ගහල.

විමලෙ,
සද්දන්තයා
කඩවසම් හාදය
මගේම ලෙයින් උපන් දරුවෙක් වගේ.

මම දිවුවා.. විමලෙ බලන්න.
හිඟන්නෙක් වගේ බූරු ඇදක දපලා.. කට පැත්තට ඇදවෙලා.. ඇඟ වැහැරිලා...
මගෙ බඩ පපුව දාල පිච්චිලා ගියා.

ම..හ..ත්තයො...
විමලෙගෙ කට කොනකින් කෙළ බේරෙනව. මිනිහ දෑත් එකතුකොට මට වඳින්න උත්සාහ කරනව..

ම..ගෙ ගෑනිවයි දරුවවයිවත් බේරගන්න.....

මම දිවුවා කුස්සියට...මැණිකා කරුවලේම කුස්සියෙ මුල්ලෙ ඉකි බිදිනව..පොඩි එකා ජංගිය උස්ස උස්ස මා ගාවට ආව.

මට සමාවෙයල්ල... මම හිතුව සියල්ල සතුටුදායක අවසානෙකින් පස්සෙ කෙළවරයි කියල
මම හැඬුම් ඉවසගෙන කිවුව.. කියල අහක බලාගෙනම එළියට බැස්ස.

විචාරකයො... තුහ්! පර බල්ලො..
කඳුලුවලින් ඇස් බොදවෙද්දි මම හිතුවා.

ලියා එව්වේ - Raven (http://www.sihinasewanali.blogspot.com)

Wednesday, October 12, 2011

මහලු ගිගා බයිට්!

 ඒ දවස් වල මම හිතාගෙන හිටියෙ මම මාර පොරක් කියලා. මගේ බ්රෑන්ඩ් එකත්, සයිස් එකත් හින්දා මට මම ගැන ආඩම්බර වෙන්න පුළුවන්කම තිබුණා. මගේ අයිතිකාර පොරත් මම නිසා පොර වෙලයි හිටියෙ.

ගිගා බයිට් තුන්සීයක් කිව්වම නිකංද? ඒක නිකං ගැස්සිල යන විධියෙ සයිස් එකක්. අනික පෝටබල් හාඩ් එකකට.

ඒ දවස්වල මැෂින් වල හයි කරපු හාඩ් වලටත් තිබුණෙ ඔය අසූව, එකසිය විස්ස වගේ සයිස්. හිතාගන්න පුළුවන්නෙ මට තිබුණ තැන?

ඒත් දැන් ලෝකෙ වෙනස් වෙලා. ඊයෙ පෙරේද මගේ අයිතිකාර පොර ගෙනාව ටෙරාබයිට් 2ක හාඩ් එකක්! ඒක සොලිඩ් ස්ටේට් මෙමරියක්. ටෙරාබයිම දෙකක්...

මම වගේ හතක්!!!

දැන් මම නිකංම ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකකටත් පහත තත්වෙට වැටිලා.
 

ලියා එව්වේ - hare :-)

Monday, October 10, 2011

ආයෙත් අපි ආදරෙන්

මං හිතන් හිටිය වැරදී
"ඒක එහෙම නෙවෙයි"
ඔව් ඇත්තටම
එහෙම නෙවෙයි.
ඒත් සමහරවිට
ඒක දැං
මෙහෙම වුන නිසා..
සිද්ධ වෙන්නත් පුළුවන්
කොහොම වුනත්
දැං මම දන්නව
මට දැනෙනව

ඔයත් මට ආදරෙයි කියල..
සමහරවිට මටත් වඩා..
ඇත්තටම ඒ ආදරේ
මටත් වඩා වෙන්න ඇති.

මම ඔයාටම මං ගැන තීරණයක් ගන්න කිව්වම
ඔයාට අඬන්න තරම් දුක හිතුනයි කියන්නෙ
එහෙමම වෙන්න ඕනි..
මම වැරදියටයි හිතල තියෙන්නෙ..
සමහරවිට මමම නෙවෙයි
"අපි" වෙන්නැති
අපි අපි ගැන වැරදියට හිතාගෙන ඉන්න ඇති
ඒක නිසානෙ
මෙහෙම දේවල් සිද්ධ වුනේ

ආයෙත් මෙහෙම දෙයක් වෙන්නෙ නැතිවෙයි
මටත් ගොඩාක් දුකයි
මොනා වුනත් අපිට අපි ඉන්නව
මට සතුටුයි
ආයෙමත් හම්බවුනානෙ..
මම ඔයාගෙමයි..
හැමදාමත්...


ලියා එව්වේ - හිම කුමාරි (http://himakumari.blogspot.com/)

Friday, October 7, 2011

ගින්න...

ගණ අඳුර පීරමින්
අනන්තය තෙක් ඇදුණු
නිසල ඇස් හෙලන එම
හිස් බැල්ම කියයි ඔබේ
සිතේ සිර වූ ගින්න...

රාත්‍රියේ නිහඩ බව
තුනී කරමින් හෙලන
සුසුම් පොඳ කියයි ඔබේ
සිතේ සිර වූ ගින්න...

වියලී ගිය මහ පොලව
තෙමන්නට තැත් කරන
එකක් පසු පස ඇදෙන
කඳුලු බිඳු කියයි ඔබේ
සිතේ සිර වූ ගින්න...

අසරණ වූ ඔබේ සිත
සනසවන්නට තනන
මා සිතත් ගොළු කරයි ඔබේ
සිතේ සිර වූ ගින්න...

මේ සියළු ලබැඳියන්
යලි දිනෙක මේ සසරේ
හමුව යලි වෙන් වෙලා
යලි මවයි ඔබේ
සිතේ සිර වූ ගින්න...

එම නිසා මේ සසර
කෙටි කරන මාර්ගය
සොයා මතු දිනෙක අපි නිවමු
සියළු සිත් දවනා ගින්න...


ලියා එව්වේ - සිත් (http://sithwerala.blogspot.com)

Wednesday, October 5, 2011

වෙලාවෙ හැටියට රත්තරං

වෙලාව අටයි. බස් එක ස්ටෑන්ඩ් එකෙන්ම කට කපලා.

අද පොළ දවස. ගමට යන අන්තිම බස් එක.

මං යන්නෙ කිලෝමීටර් තුනයි. දවාලක නම් පයින් යනවා.

මේ කළුවරේ රබර් කට්ටිය පහු කරන එකනෙ හීනෙන්වත් හිතන්ඩ බැරි.

නැග්ග සෙනග අස්සෙන්ම. "ඉස්සරහට යන්ඩ ඉස්සරහට..." කොන්දොස්තරගේ කටින් මළකඩ විසි වුණා.

ආයෙ හෙලවෙන්ඩ බෑ. ලූනු, කරවල, දහඩිය, විට හප මුසු කුයිලකින් බස් එකම පිරිලා. දොර ළඟම දුංකොළ ගෝනියකුත්.

ළඟ බහින අය ඒකත් තරණය කරල එපැයි බැහැගන්න.

බාර් එක ළඟත් නැවැත්තුවා. හිස පහළට නැවුණු බේබද්දෝ තුන්දෙනෙකුත් ඉස්සරහ දොරෙන්ම නැග්ගා.

යන්තම් හිස එසවූ උන් එකෙකුගේ කටෙන් රත්තරං විසි වුණා.

"මේ පැත්තෙ ගෑණු කට්ටිය ඉන්නවා අපි අරහෙට හැරෙමු බං"


ලියා එව්වේ - මගේ ජීවිතය(http://jeevithaya.wordpress.com/)

Monday, October 3, 2011

මේ පාර වෙනසක් කරමු!

ආයෙත් හිනා මූණු තාප්ප වල. පලාතම ආයෙත් වෛවර්ණ වෙලා. එක එක හිනාවල් දාපු පෝස්ටර් තාප්ප ප්ලාස්ටර් කරන්න අරන්.

දැන්නං කාට දුන්නත් වෙනසක් නෑ...

වෙනසක් කරනවා කියාගෙන ඇතුලට යන උනුත් කරන්නෙ හිටපු උන් කරපු ටිකමයි.

පොඩි කාලෙකට අපට හිතෙනවා අපි ආයෙත් රැවටිලා කියල.

ඒත් ඊලඟ වතාවෙ වෙන්නෙත් ඒකමයි.

දැන් ඉතිං එක්කො ඔය දෙන එක ගැන නොහිත ඉන්න ඕන.

නැත්තං ඕන එකෙක්ට දුන්නට වෙනසක් නෑ.

පාට වෙනස් වුණාට ඔය කොයිකත් එකම ජාතියෙ.


.............................


මම ඔහොම හිත හිත ඉන්න අතරෙ ගමෙන් ඡන්දෙ ඉල්ලන පොර ආව කොල්ලො ටිකක් එක්ක කොල මිටියකුත් අරගෙන.

"මල්ලි මේ පාර වෙනසක් කරමු නේද?"

පොර කිව්වා.

"හරි අයියෙ කරමු."

මම කිව්වා.


ලියා එව්වේ - hare :-) (http://www.hartstuff.com/)

Saturday, October 1, 2011

බලාපොරොත්තුවකින් තිතක් වුණත්....

තවත් අලුත් පොත් ප්‍රදර්ශනයක් එනවා.
එදාට තවත් අලුත් පොත් ගොඩකුත් ඇවිත් තියේවි. මහා ජන ගඟක් ඒවි.
ඒ මහා පොත් කන්දරාවෙන් සමහරු ගන්නෙ කැමතිම එක පොතක් විතරක් වෙන්නත් පුළුවන්.
එහෙනම් ඒක ඔතනින්ම ගන්න ඕනිද? එහෙම අයත් ඇයි පොත් ප්‍රදර්ශනේට එන්නෙ?
නෑ එදාට ඒ බිමට පය තිබ්බත් මොකක්දෝ මිහිරක් හිත පුරා ගත පුරා දුවනවා. ඒකයි එන්නෙ.
ඉස්සරනම් එයත් මා එක්ක ගියා.
මේ සැරේ එයා එන්නෙ නැති වුණත් මං පොත් ප්‍රදර්ශනේට යනවා.
ඒත් ඒක වෙහෙසකර වෙයි. අව්වෙ සැර වැඩියෙන් දැනෙයි. සෙනගත් වැඩියි කියල හිතෙයි.
ගියාට පොත් ටිකක් අරන් ගිය පයින්ම මං තෝන්තුවාවෙන් ගෙදර එයි.
එහෙනම් ඇයි මං පොත් ප්‍රදර්ශනේට යන්නෙ?
බැරිවෙලාවත් එයා ආවොත්?

ලියා එව්වේ - සූ ටික්කී

Thursday, September 29, 2011

ඇයි උඔට ඉන්නෙ

“මොකද බන් කරන්නේ?”

“පොතක් කියවනවා”

“අපෝ බන්. මේ මහ රෑ මලක් කඩාගෙන ඉන්නෙ නැතුව පොත් කියවන්න? උඹට පිස්සු”

“මල ඉවරයි බන්. එදා අපි දෙන්න කතා කර කර ඉද්දි උඹ ආවනෙ. මම කිව්ව ආයෙ මාත් එකක් කතා කරන්නත් එපා පංති එන්නත් එපා කියල. ඒක දුර දිග ගිහින් වැඩේ ඉවර කලා”

“උඹ හරකෙක්. එච්චර ලස්සන, ඉගෙන ගන්න පුලුවන්, ඩීසන්ට් කෙල්ලෙක් කොහෙන් හොයන්නද”

“ඒක එහෙම තමා. ඒකි පව් බන්. ඒකිට මට වඩා හොඳ කොල්ලෙක් හොයාගන්න පුලුවන්”

“උඹට පිස්සුම තමා. මට එදා උඹල දෙන්න කතා කර කර ඉද්දි ඊරිසියාවෙ බෑ. මම ප්‍රර්ථනා කලා මටත් උඹේ වගේ පට්ට කෙල්ලෙක් සෙට් වෙන්න කියල”

“ඇයි උඹට ඉන්නෙ”

ලියා එව්වේ - isuru71 (http://isuru71.wordpress.com)

Tuesday, September 27, 2011

How poor Girlfriend / Wife Is?

Girlfriend and Wife
Both are same.

You must help him in every way
No Questions ask.
No Worries.
No Crying.
Do all things,
even you can or can't.
No more thinking.

Do,
Whatever he is telling you..
Expect nothing.
Give him all you have,
No matter you can or can't.
just give.

When he blaming,
just listen.
He can do anything,
whether you like or not.

Care about him,
but don't even think
as he cares for you always.
He can love you or not.
You can't give up,
coz you love him lot...

How powerful Boyfriend / Husband Is?


ලියා එව්වේ - හිම කුමාරි (http://himakumari.blogspot.com/)

Monday, September 26, 2011

මහේෂ්ට නිවන් සුව...

අපි පෞද්ගලිකව හඳුනා නොගත්තක් මහේෂ්ගේ වචන සීයෙන් අපි ඔහුව හඳුනා ගත්තා.  අහිමිවීම යනු ලෝක ස්වාභාවයක් කියාගෙන අපට අපේ වචන සීයක් රචනාකරන රචකයෙන් අහිමි වුනා. ඒ වගේම ලෝකයට පුතෙක් සහෝදරයෙක්, මිතුරෙක්, මේ වගේ විවිධ චරිත ගණනාවක් මහේෂ්ගේ ලබැඳියන්ට අහිමි වෙන්න ඇති.
                      මේක හුදෙක් ශෝකය පලකිරීමක් වෙන්න පුළුවන්. මහේෂ් කළුද සුදුද කියන්නවත් අපි දැනගෙන හිටියේ නෑ. මහේෂ් නැතිවුනාම මහේෂ් හමුවෙන්න අපිත් යයි. අපිත් දුක බෙදාගන්න උත්සාහ කරයි. ඒත්  OneZeroZero  කියවන අයට මහේෂ්ව මතක තියෙයි.
                   මේකත් හෙටින් පස්සේ පරණ වුන සීයේ ගොඩට එකතු වෙයි.  නමුත් මහේෂ්ගේ සීයේ කතා ටික හැමදාම රැඳිලා තියෙයි.

මහේෂ්ට නිවන් සුව.. අපි කොහේදීහරි හමුවෙන්න ඉඩ තියෙනවා.. එතකම් ආයුබෝවන් මිත්‍රයා...

ලියා එව්වේ - සීය ගණින අපි.. (පින්තූරය පොපීගෙන්)

Friday, September 23, 2011

රොබෝ ආවේශය

මං හිටියේ ඊයේ යුද්දෙක
ඔප්ටිමස් ප්‍රයිම් දැන් හරි උස ගිය
ඒත් සෙන්ටිනල් ඊටත් වඩා උස
පපුතුරේ යකඩ පට්ටම්
උරහිසේ කැපෙන කඩු
පෘථිවියේ හරි ජරමර
අහස් පාලමෙන්
හඳේ වුන් පොළොවට පනින
අපිට ඕනෑ මේ පොළොව
ගර්ජනා කරමින් ඉල්ලා සිටින

සෑම් විට්විකී හරි පෙම්බර
කාලි ස්පෙන්සර් හිත කරකවන
මේ මහා සටන් මැද
ඔවුනොවුන් සිපගන්න

සයිබර්ත්‍රෝනියාවෙන්
සාම හමුදා එවන
හඳේ මායමකට ‍රැවට
එහිම නතරවන

මෙගාත්‍රොන් දැලිපිහි කරකවන
ඒ පිහියෙන්ම මිනිසුන්ට කිරි කවන

ඔප්ටිමස් ප්‍රයිමයා අත නැති වුණ
තූතූ කර දැමූවා
හරි උස සෙන්ටිනල් තෙම

මේ සියලු සටන් මැද
පෙම් යුවළ
අත් බැදගෙනම එහේ මෙහේ දුවන

මේවා හරි ජාති සිනමාපට
ඔක්ටමස් ප්‍රයිම් නම්හරි උස


ලියා එව්වේ - කාංචනා අමිලානි (www.thinkland.net)

Wednesday, September 21, 2011

බැඳි පෙමක අරුම

මගේ මුලූ ජීවිතේම
මුලු ජීවිතේම
වෙනස් වුනා
ඔයා නිසා.
ඔව්
ඒ ඔයා නිසාම තමයි
ඔයයි දැං
මගේ ජීවිතේ.
මට වෙන කවුරුත් නෑ.
ඔයාම විතරයි.
ඔයාම විතරයි
මට හැමදේම..
හැමදාම...

ඒත් ඔයාට
එහෙම නෙවේ.

ඔයාට,
ඔයාගෙ ජීවිතේට
"මාව ලැබීම",
කියන එක,
ඔයාගෙ ජීවිතේට
තවත් එක දෙයක් ලැබීමක්
විතරක්
වෙන්න ඇති.

ඒක වෙන්න ඇති
මේ දේවල්
මට එක විදියකටත්
ඔයාට වෙනස්ම විදියකටත්
දැනෙන්නෙ.

ඒ වචන ටික සමහර විට
කොල්ලෙක් කියන දෙයක් වගේ
වෙන්න පුලුවන්.
ඒත් දැං කියන්නෙ
"කෙල්ලෙක්".

ඒ නිසා සමහර විට මේකෙ
කිසි වටිනාකමක්
නැතුව ඇති.
නිකන්
වචන ටිකක්
වෙන්න ඇති.

මොකද,
ඔයා
ඒක කියවල,
මට කිව්වෙ
"මට තේරුන් නෑ" කියල.


ලියා එව්වේ - හිම කුමාරි (http://himakumari.blogspot.com/)

Monday, September 19, 2011

බැස්කර්විල් බලු ‍රැළක්

රකුසු වෙස් ගෙන
මුඩුබිමට මා
නිතර එලවන
ආදි කල්පිත සත්වයෙකු ඇත
මගේ සිහිනෙක

කොටස් වශයෙන්ද
මා බය කරන
අඩ නින්දකින් වුව වැළපෙන
මේ දරුණු සාපය නිම කර
අකමැතිද එන්න මා සිහිනෙට

තූතන්කාමන්ටත් වඩා බලගතු
අයෙකි ඔබ නම් පෙම්වත
මෙතරමින් මා බය කළ
යකා නොපෙනන අයුරු ඔබ හට

සීනි බෝල කෑ විට
එහෙම වෙන බව කීවට
මුඩු බිමේ ඒ යකු හට
එක දතක් වත් නැත මගේ මතකෙට

බැස්කර්විල් දඩ බලු ‍රැළක් මට
ගෙනැත් දෙන්නට හැකිනෙ ඔබ හට

මගේ ඇද යට
එක්කො අයිනක
පාක් කරනට හැකිනෙ බලු ‍රැල
බුර බුරා උන් ඉදී එතකොට

අනේ පෙම්වත බෑ කියා හෙම
ගියොත් තරහයි මෙවරනම් මම

ලියා එව්වේ - කාංචනා අමිලානි (www.thinkland.net)

Friday, September 16, 2011

ලොකු වෙනසක්!

දවසක් මල්ලිගෙ යාළුවො කට්ටියක් පෝස්ටර් ගහන්න ගිහින් පාප්ප මදි වෙලා.
එතකොට රෑ දොළහත් පහුවෙලා.
අවට ගෙවල් සේරමත් අඳුරේ ගිලී තිබුණා.
වෙලාවට අපේ ගේ තිබුණෙ එතනට කිට්ටුවෙන්.
එයාල අපේ ගෙදරට දුවගෙන ඇවිත් පාන්පිටි ඉල්ලුවා.
ඊයෙ හැන්දෑවෙ රොටී පිච්චුවෙ ඉතිරි පිටි ටිකෙන් මල්ලියෙ කිව්වම මල්ලිලා මැලවිලා ගියා.
එළිවෙන්ඩ කලින් පෝස්ටර් ටික වැදිල තියෙන්ඩෝන අක්කෙ කිව්වම මට වාවන්නැතුව ගියා.
ඒත් මට දැනුණා මොනවද කරන්නෝනි කියලා.
රත්ති රසයි උකුයි නිසා වැඩි පාප්ප ප්‍රමාණයක් හදන්න පුළුවන් ඇතිනෙ කියල දැම්මෙත් කිරි පිටි පැකට් භාගයයි.
ඉතින් එදා මල්ලිගෙ යාළුවන්ගෙ පෝස්ටර් ව්‍යාපාරෙ වෙනුවෙන් ලොකු වෙනසක් කරන්න රත්ති අපිට උදව් වුණා.
මල්ලිගෙ යාළුවොත් දැන් මට කියන්නෙ නුවණක්කාර අක්කා කියලා.

ලියා එව්වේ - මගේ ජීවිතය

Wednesday, September 14, 2011

අසෝබන ආමන්ත්‍රණය

 එයා මට කතා කළේ 'මල් පෙත්ත' කියලා.මම එයාට කිව්වෙ 'කුඩා දිය පාර' කියලා.අපි අත් පටලගෙන හෙවන වෙච්ච පාරවල් දිගේ කාලයක් තිස්සෙ ඇවිද්දා.මෙහෙම ඇවිදිනකොට අපේ සපත්තු ගෙවෙනවා කියලා හොයා ගත්තෙ එයා.අපි ඒක පාර අයිනෙ ගහක් කෙ‍ටුවා අනිත් අයටත් දැනගන්න එක්ක.හැමෝම කිව්වෙ දැන් ඇවිදින එක නවත්තලා වාඩිවෙලා ඉන්න පුරුදුවෙන්න කියලා.අපි වාඩිවුණා.නුලකින් ඇගිලි බැදගත්තා.දැන් එයා මට කියන්නෙ 'මල්' කියලා.මම කිව්වෙ 'දිය පාර' කියලා.එකපාරටම තවත් කුඩා මල් පෙත්තක් සහ කුඩා දිය පාරක් ඉපදුනා.අපිට තව දුරටත් ආමන්ත්‍රණ කෙටි කරන්න වුණා.දැන් එයා 'පාර'.මම 'පෙත්ත'.දවසක් පොලිස් ජීප් එකකින් කට්ටියක් ඇවිත් අපි දෙන්නව කුදලගෙන ගියා.හේතුව සැමියා බිරියට 'පෙත්ත' කීමත් බිරිය සැමියාට 'පාර' කීමත් කියලා පොලිස් පොතේ ලියලා තිබ්බා.

ලියා එව්වේ - කාංචනා අමිලානි (www.thinkland.net)

Monday, September 12, 2011

ඔයානම් මහ දුෂ්ටයෙක්!

හෙලෝ...
සුදූ...
ම්...
කියන්න...
මතක්වෙන්නැහැනෙ කියන්න දෙයක්.
මොනවහරි මතක්කරල කියන්න.
ඔයා අද බිව්වෙ නැද්ද?
ටිකක් බිව්වා.
කොච්චරක්ද?
ඒක ඔයාට වැඩක් නැහැ. වෙන දෙයක් අහන්න.
අනේ මට ඒක දැනගන්න ඕනි.
ම්හු. වෙන දෙයක් අහන්න.
ඉතිං ඔයාට බැරිද මට කියන්න කොච්චරක් බිව්වද කියල?
බෑ. මට ඔයාව කන්න හිතෙනවා. ඒත් මං හරක් මස් කන්නැහැ.
ඔයානම් මහ දුෂ්ටයෙක්.
ඒ මොකද?
දැන් ඒ මොකද කියලත් අහනවා.
කෝ කියන්න මොනවහරි.
මං අද කේක් එකක් හැදුවා ඒත් මැද්ද ටිකක් අමුයි වගේ.
ෂික් කේක් කන්න බෑ.
එහෙනම් වඩේ?
ම්... නියමයි.
මං දවසක හදල දෙන්නම්කො.
සුදූ...
ම්...
මට ඔයාව කන්න හිතෙනවා. ඒත් මං හරක් මස් කන්නැහැ.
ඔයානම් මහ දුෂ්ටයෙක්!

ලියා එව්වේ - සූටික්කී

Friday, September 9, 2011

ග්‍රීස් යකා

"අපේ ගමේ හිටිය කියන ග්‍රීස් යකාව අහුවෙලා කියන්නේ..."
"ඔව් ඔව්, ඌට අතපය කැඩෙන්නම හොඳටම ගහලා තියෙනවා ගහක බැඳලා..."
"ඉතින් කවුද කොහොමද ඌව හොයාගෙන තියනවා කියන්නේ....?"
"අර අහවල් ඇමති තුමාගේ හොට් ලයින් එකට කවුද ඔත්තුව දීලා තියෙන්නේ. ඉතින් එතුමා වහාම ක්‍රියාත්මක වෙලා, හොඳට හොයලා බලලා පුද්ගලිකවම ගිහිල්ලා තමයි ඌව ගෙදරින් එලියට ඇදගෙන ඇවිල්ලා ගස් බැඳලා තියෙන්නෙ.........!"
"ඉතින් කොහොමද ඔප්පු කරන්නේ ඒ ග්‍රීස් යකාමයි කියලා....?"
"ආයෙත් අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නෑනේ, ඒක මේ ගමේ හැමෝම දන්නවා....!"
"ඒ කොහොමද බං ඒ...?"
"ඇයි බං... පහුගිය කාලේ හැම අවුරුද්දකම, සිංහල අවුරුද්දට තියෙන අවුරුදු උත්සවයේ ග්‍රීස් ගහේ නැගලා කොඩිය ගන්නේ ඌ තමයි. ඌ ඇවිල්ල මාර යකෙක්....!"

ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

Wednesday, August 31, 2011

තක්කඩි

මං කිව්වා යන්න කියලා..
හැම මොහොතෙම හැම තත්පරේම,
බස් නැවතුමේ මිනිස්සු අතරේ,
කැන්ටිමේ පෝලිම අස්සේ,
බලන හැම අතකම,
දකින හැම හීනෙකම,
හැංගිලා ඉඳන් කට කොනින් හිනා නොවී,
පා ඇඟිලි වලින් ඉස්සී නොබලා,
යනව කිව්ව දිහාටම..
ඉන්නව කිව්ව කෙනා ලඟටම…
මං කිව්වා එහෙම…
හිතා ගත්තා අමතක කරන්න,
උන දේවල් ඔක්කොම..
මචං, වරඳක් කලේ නෑ මම එයාට,
කවමදාවත්,
කරන්න හිතුවෙත් නෑ..
දැනගෙන හිටියේ නෑ එයාලා ගැන,
එයා කිව්වෙත් නෑ කවදාවත්..
මතකයි ඉස්සර අපි බැනපු හැටි,
පවුලක් මැදට පැනල ඒක අවුල් කරන තක්කඩින්ට…
සමහරවිට ඒ අයත් තක්කඩි නොවෙන්න ඇති,
මාත් තක්කඩියෙක් නොවෙන නිසා..
මං කතා කරනවා වැඩිද බං..?
වක්කරපං අන්තිම ටිකත් ඔය කෝප්පෙටම.

ලියා එව්වේ - බූටා

Monday, August 29, 2011

වංසෙ

මහාවංශෙ පරිච්ඡේද 37න් 11ක්ම තියෙන්නෙ දුටුගැමුණු රජතුමා ගැනලු.

ඇත්තද? ඒ මොකද ඒ?

එතුමනෙ ලංකාවෙ ඉතිහාසෙ සම්පූර්ණයෙන්ම වෙනස් කලේ. ඒ වගේම ගොඩක් ධාර්මික වැඩ කලේ. ඒකයි ඒ.

දුටුගැමුණු රජතුමා එහෙම කලා කියල කොහෙද තියෙන්නේ?

ඇයි මහාවංශෙම තියෙනවනෙ ඉතිං.

බොරූ.....

බොරු නෙවෙයි ඇත්ත. මහාවංශෙ බොරු කියලද කියන්නේ?

හ්ම්... වෙන්න ඇති. හැබැයි ඔය එළාර රජතුමත් ධාර්මික රජෙක්ලු. පෝයට සිල් ගත්තලු. වහු පැටියෙක්ව කරත්තෙට අහු කරල මැරුව කියල එයාගෙ පුතාවත් ඒ විධියටම මරවන්න තරම් සාධාරණයිලු. පාලන කාලය අවුරුදු 44ක් නේ.

කවුද කියන්නේ?

ඇයි ඒවත් මහාවංශෙ තමයි තියෙන්නෙ.

ඒව බොරු. ඔය මහා වංශෙත් එක්කෙනෙක් ලිව්ව වෙන්න බෑනෙ. කවුද දන්නෙ එළාරගෙ කට්ටිය සල්ලි දීල ලියවගත්තද කියලා.


ලියා එව්වේ - බ්ලොග්කාරයා (http://asinhalablogger.blogspot.com/)

Saturday, August 27, 2011

කොහොම කියන්නද

මට ඔයාට කියන්න දෙයක් තියනවා.
මේක ඔයාට නොකියම හිතේම තියන් ඉන්න ගොඩාක් උත්සාහ කළා.
ඒත් මට තවත් ඉන්න බෑ වගේ දැනෙනවා.
මං අද ඒක ඔයාට කියනවා.
ඒත් ඒක කිව්වම ඔයා මං ගැන මොන විදියට හිතයිද දන්නැහැ.
කෙල්ලෙක් කොල්ලෙක්ට මුලින්ම ආදරෙයි කියන එක අසාමාන්‍යයි වගේ දැනෙනවා තමයි.
ඒත් හැඟීම් තියෙන්නෙ පිරිමි අයට විතරක් නෙවෙයි කියල ඔයා විශ්වාස කරනව නේද?
ඔයාව නොදැකම මං ඔයාට ආදරය කරන්න අරන්.
මේක බලල මට හිනා වෙන්නවත් මගෙන් ඈත් වෙන්නවත් එපා.
මං මෙහෙම දෙයක් කිව්වෙ නෑ වගේ මාත් එක්ක සුපුරුදු විදියටම කතාකරන්න.
මට ඕනි වුණේ ඔයාට මං ආදරය කරනව කියල කියන්න විතරයි.
මට ඔයා ආදරය කළත් නැතත්.


ලියා එව්වේ - සූටික්කී

Thursday, August 25, 2011

ආදරය,වර්තනය හා ක්ෂිතිජය

ආදරය, මේ පුදුමාකාර වචනයෙ පොට වරද්ද ගත්ත එවුන් කොච්චර ඇද්ද. තමන් ආදරය කරපු එකා තමන්ව දාල ගියා නම්, ඌ හින්ද තම අනාථ වෙලත් නැත්නම් උගෙ කකුල් බදාගෙන ආදරය ඉල්ලන්න ඕන නැහැනෙ.

ජීවිතය හින්දි ‍ෆිල්ම් එකක් නෙමෙයි. උඹල තනිවෙලා විඳින දුක ඌට දැනිල මහ වැස්සක කුඩයක් ඉහලන්නෙ නැහැ උඹට. ළිඳේ වැ‍ටුන මිනිහා ගොඩ එන්න ඔනෙ ළිං කටින්මයි. ළිඳ ඇතුලට වෙලා අඬ අඬ හිටියට ලිඳේ වතුර වැඩි වෙන්නෙත් නෑ බොර වෙනවා විතරයි. ඌ උඹලට පාට පාට දේදුන්නක් මැවුවට උඹලට පේන්නෙ ආලෝක වර්තනය වෙලා එන දෘශ්ඨි මායාවක් විතරයි. ක්ෂිතිජ රේඛාවේ මිරිඟුව ලස්සනයි. හැබැයි උඹල දියඹට බැහැල ඒක හොයාගෙන පීනන්න එපා, හම්බවෙන එකක් නැහැ.


ලියා එව්වේ - පියසටහන් (www.piyasatahan.tk)

Tuesday, August 23, 2011

මෙගා

එහා ගෙදර ඇන්ටනාව
නිතර මෙහා පැත්තට නැවෙන

අම්මාටම උසුළු විසුළු කරන
අපිට නෑසෙන්න
හෙමිහිට

'කෝ දැන් නැෂනල් ජියොග්‍රැ‍ෆික්
ඇයි ඉංගිරිස් බයිස්කෝප් යන
ස්ටාර් මූවීස් '
අම්මා රකියි මුණිවත
ගෙතුළට වැදී
ලක්හඩ අහමින්

රාත්‍රියට සද්දෙ වැඩිවන
සංසලා සද්දෙන් එහා ගෙදරින් හිනහෙන
අම්මා එවිටත් ලක්හඬ අහන

'ටීවී නම් නැතුවත් කම් නැත
බලන්න තියෙන නිදහස
අර ඇන්ටනාව තමයි මට කරදර
ඊයේ පෙරේදා සිට
මටම හිනාවෙන '

ඩයලොග් ටීවී උදාරම් ලෙස
වහලයේ පැත්තක මළකඩ කන
'හිටපන් ගෙවනකන් කවුරුම හරි බිල'
දත් කූරු කමින්
ඇන්ටනාවට බණින

අම්මා වැඩිපුර ගෙතුළ ‍රැදෙන
කුරුල්ලන් බලන්නත්
දැන් එළියට නොයන
ඉදහිට සංසලාවත් මතක් කරන
මෙගා ළඟ අසරණ හරි පුංචි කත

ලියා එව්වේ - කාංචනා අමිලානි (www.thinkland.net)

Monday, August 22, 2011

තහනම් සෙවන

දොයිද?
නෑ තාම..
දොයි මත නැද්ද?
ටිකක්… බයි කෑවේ නැද්ද?
තා ටිකකින්..
හ්ම්ම්…
හ්ම්ම්ම්ම්ම්…
බක්ස්… හ්ම්ම් හ්ම්ම් කියන්නෙ?
මම නෙමෙයි ඔයානෙ බක්සි..
ඒක නෙමෙයි
මොකද්ද?
වැඩක් කියනවා කිව්වනේ..
මොකද්ද? මට මතක නෑනෙ
කියන්නකො අනේ..
ම්ම්ම්.. කෝ බලන්න මතක් කරලා.. එක්කො පස්සෙම කියන්නම් මතක් කරල
නරකයි
ඇයි?
ඔයා ඊයෙ කිව්වෙත් ඕකමනෙ, පෙරේදත්.. අද කිව්වෙ නැත්තං ආයේ කතා කරන්නෙ නෑ.. තරහම තරහයි
ඒක තමා මං කියන්නෙ නැත්තෙ
ඇයි?
ඔයා තරහවෙයි කියල
තරහ වෙන්නෙ නෑ, කියන්න
ඇත්තමද?
සත්තමයි..
හ්ම්ම්..
කියන්නකෝ
ඔන්න කිව්වා එහෙනං..
කියන්න
මට.. ඔයා ගැන.. ආදරේ හිතුනා.. ගොඩාක්.. දැං හුඟක් දවස්
…….
ඇයි සද්දෙ නැත්තෙ?
අනේ…!
ඇයි?
ඔයාට අමතක උනාද මගේ…..

ලියා එව්වේ - බූටා

Sunday, August 21, 2011

එම්බා බම්බලපිටිය


චපල අව් ‍රැල්ලකින් වැසුණු
එම්බා බම්බලපිටිය
කහ ඉරි මත ඇඳි මිරිඟුව මකනු
තොප මහා නරුමයෙකි
අපිව වතුර සොයන්නම
පොළඹවන

අත් අල්ලා එහා පැත්තට
බය වැඩි නම් අතැඟිලි අල්ලනු
බය වැඩිම නම් බඳ වටා අත දමනු

එම්බා බම්බලපිටිය
එම්. සීයේ වතුර බෝතල ඇත
කහ ඉරේ බොරු මිරිඟුවට
අපි පයින් ගසන්නෙමු
ලජ්ජා වනු ! ලජ්ජා වනු !
ඕනෑම නම් අපි පොප්කෝන් ගමු
තොල කට තෙමෙන්න වතුර බොමු

එම්බා බම්බලපිටිය

මේ ඉර බෑගයේ දමා ගනු
අර රතු බොත්තම ඔබා
වැසි මැෂිම ක්‍රියා කරවනු

අලුත් ඔඩෙල් කුඩයේ අලි යටින්
හොඬවැල යටින්
එකට වෙළී
අපි පාර පනිමු
අර පිස්සු කහ ඉරෙන්
අපිට විතරක්
රතුවට පෙනෙන


ලියා එව්වේ - කාංචනා අමිලානි (http://www.thinkland.net/)

ගල් වඩ්ඩා

"වරායකුත් හැදුවලු නේද....."

"ඔව්, හැදුවා තමයි, ඉතින් මොකද...?"

"ඒත් නැව් එන්නේ නෑල්ලුනේ..... මොකද ඒ?"

"තඩි ගලක් තියෙනවලු......?"

"කවුද එහෙම කියන්නේ....?"

"ඔය හැමෝම කියන්නේ.....!"

"ඉතින් ඔය ගල අයින් කරන එකනේ තියෙන්නේ.....!"

"අර අන්දරේගේ කාලෙත් රජ්ජුරුවන්ගේ කුඹුරක ගලක් තිබුනලු නේද..?"

"ඔව් ඔව් තිබුනැයි කියන්නේ......!"

"ඒක අයින් කලාද...?"

"කවුද දන්නේ.....?"

"ඉස්සර රාජ සභාවේ අන්දරේ හරි හිටියනේ ඉදිරිපත් වෙලා ගල අයින් කරන්න.... දැන් රාජ සභාවෙ එහෙම කවුරුත් නැද්ද......?"

"ගල අයින් කරන්න පුළුවං ගල් වඩ්ඩෙක්ද ?"

"ඔව් ඔව්"

"දැන් රාජ සභාවෙ ඉන්න හැමෝම අන්දරේලා තමයි, හැබැයි ඉන්න තරමක් ගල් වඩ්ඩෝ නෙමෙයි ගල් ආඳෝ... උන් ගල් අයින් කරන්න දන්නේ නෑ.... නියමෙට ගල උඩින් ලිස්සල නම් යයි.....!"



ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com/)

Saturday, August 20, 2011

දොස්තරගෙ උපදේශෙ

නෝන මහත්තයෙක් ආව දොස්තර මුණගැහෙන්න. මූන හොඳටම ඉදිමිලා. ඇහුවම මොකද වුනේ කියල "මගෙ මනුස්සය බීල ආවාම මට කම්බුලට ගහනව" කිව්ව. දොස්තර කිව්ව "ඕකට තියෙනවා ප්‍රතිකර්මයක්, මහත්තය බීල ගෙදර එන වෙලාවට කටේ වතුර පුරෝගෙන, වතුර කට වටේ කරකවමින් ඉන්න. මහත්තයට නින්ද ගියා කියල සැක ඇරෙන කං වතුර ටික කටින් හලන්න එපා" කියල.

සතියකින් නෝන මහත්තය ආව නැවත දොස්තර මහත්තයව මුණ ගැහෙන්න. නෝන හරි සන්තෝසෙන්, හරියට අලුත් නෝන කෙනෙක්, නැවත උපන්න වගේ. "ඩොක්ටර් වැඩේ නං හරියටම හරි, එයා ඊට පස්සෙ නං මට අත තිබ්බෙවත් නැහැ, ඒත් කොහොමද වතුරෙන් ඔය වැඩේ වුනේ?" කියල ඇහැව්ව.

දොස්තර කිව්වා "වතුරෙන් වුනේ, ඔයාගෙ කට වහල තිබ්බ එක"කියල.


ලියා එව්වේ - Observer (http://observer-nireekshaka-observer.blogspot.com)

Friday, August 19, 2011

මට නොදැනෙන ඔබට දැනෙන එකම දේ

ආදරේ ? ආදරේ කියන්නේ මොකක්ද ඇත්තටම හිතට දැනෙන දෙයක්ද අතට අහුවෙන දෙයක්ද කෑ ගහල අඩල ඉල්ලුවම ලැබෙන දෙයක්ද ආදරේට නිර්වචනයක් තියෙනවද ඇයි මම ආදරේ කියන්නේ මේකයි කියල කියන දේ ඔයාට ආදරේ වගේ දැනෙන්නේ නැත්තේ මං ඔයාට කිව්වම ආදරේ කියන්නේ ඕක නෙවෙයි කියලා ඔයා ඇයි කියන්නේ අපෝ ඔයා මහ හිතක් පපුවක් නැති කෙනෙක් ඔයාට ආදරේ දැනෙන්නේ නැ කියලා හැම තිස්සෙම මගේ ආදරේ හැගීම්වලින් කියන්න බෑ.ආදරේ කියන්නම ඔනේද සද්දෙන් මං ඔයාට ආදරෙයි කියලා.ඇත්තටම මට දැනෙන්නේ නැද්ද ආදරේ ඒකද තවමත් මං ආදරේ හොයන්නේ ම්ට තවම ආදරේ ලැබිල නැත්තේ කවුරුත් මට ආදරේ කරන්න කැමති නැත්තේ මට හරිම ප්‍රශ්නයක් - මොකක්ද ඇත්තටම ආදරේ කියන්නෙ ??


ලියා එව්වේ - කල්හාරී

Thursday, August 18, 2011

අපේ සමහරුන්ගේ බ්ලොග් කෙරුවාව....

එකෙක් හිටස් දහස පසුකර ඇත ඒකට පෝස්ට් එකකි. තවත් එකෙක්ගේ බ්ලොග් එකට තුන් මාසෙකි. එයට තව පෝස්ට් එකකි. මෙන්න එක අක්කා කෙනෙක්ගේ බව්වා ගෙදර ගෙනත් අදට අවුරුද්දක්ලු. ඒකට තව පෝස්ට් එකකි. ඔන්න තව අයියා කෙනෙක්ගේ නැන්දගේ දුවගේ තුන්වෙනි උපන්දිනේ අදලු. එකට තවත් පෝස්ට් එකක්. තව එකෙක්ට යාළුවෝ කට්ටිය ෆේස්බුක් එකේ මඩක් ගැහුවලු. ස්ක්‍රීන් ෂොට්ස් තොගයක් එක්ක තවත් පෝස්ට් එකක්. මෙන්න අමුතුම කවියක්. වචන ටිකක් විතරයි. හැබැයි ඒක නියමයි කියලා කමෙන්ට්ස් ගොඩායි. කමෙන්ට්ස් දාපු උන්ගෙන් කවියේ තේරුම ඇහුවා උන් දන්නෙත් නෑ. ලියපු එකාගෙන් අහුවා ඌටත් හරියට තේරෙන්නෙ නෑ. ඔන්න ඔහේ කමක් නෑ. එක්කෝ ඕන එකක් කියලා මමත් ගිහින් නියමයි කියලා දානවා.

ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

Monday, August 15, 2011

ඝණාත්මක චින්තනය

සමන් බදාද වෙනකල් හිටියෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙට යන්න. උදේම උවමනා ලියකියවිලි ටිකත් අරන් පිටත් වුණේ වැඩේ ඉක්මනට කරගන්න.

ඒත් කාර්යාල පරිශ්‍රයේ වැඩකරන අය කවුරුවත්ම නෑ. වැඩ කරගන්න ආපු මිනිස්සු දහ පහලොවක් තැන් තැන් වල.

කීප දෙනෙක් එක්ක සාකච්ඡාවක් දාගෙන හිටපු උගත් පෙනුමක් තිබුණ මහත්තයෙක් ගාවට කිට්ටු කරපු සමන් විස්තර ඇහුවා.

"අද මේ ඔපිස් එකේ අයට ධනාත්මක චින්තනේ ගැන දේශණයක්ලු මහත්තයෝ" මිනිහ කිව්ව.

හැබැයි ඒක විතරක් කියල නැවතුනේ නෑ.

"මම මේ වැඩේ කරගන්න ආපු තුන්වෙනි පාර. එක එක ප්‍රශ්ණ කියනවා... අනේ මුංගෙ ධනාත්මක චින්තනේ"

මිනිහ කෙල ගුලියක් බිමට ගැහුවා...

"මෙයාලගෙන් වැඩක් කරවගන්න එක ගලකින් පට්ටයක් ගන්නව වගේ..."

"මුන්ට තියෙන්නෙ ඝණාත්මක චින්තනයක්"


ලියා එව්වේ - hare :-) (http://www.hartstuff.com/)

Friday, August 12, 2011

කුණු අනිත්‍යයි

හෙට දින උදා වන අසිරිමත් පොහොය දිනේ සුදෝ සුදින් සැරසී පන්සල් යන්නට ඔබ සැරසේද?

හෙට දිනයේ සිල් ගන්නා විට ඔබේ ඔසරිය අඳුරු පැහැ යැයි අනෙකුත් සිල්වතියන්ගේ අවඥාවට ලක් වේ යැයි ඔබ දුකෙන්ද?

නැති කරන්න ඒ දුක.

අදම 'පින්' රෙදි සෝදන කුඩු යොදා සෝදා ඔබේ සුදු ඇඳුම සුදෝ සුදු පැහැයෙන් දිදුලවාගන්න.

අත්ථාහි අත්තනෝ නාථෝ කෝහි නාථෝ පරෝසියා හෙවත් තමන්ගේ විමුක්තිය සලසාගන්නේ තමාමය ලෙස බුදුරදුන් වදාල ලෙසින්

ඔබේ රෙදි ඔබම සෝදාගන්න...

'පින්' කුඩු නිසා ඔබේ දෑතට ලැබෙන සුමුදු බව අත් විඳින්න.

හෙට පන්සල් යන්න කලින් අවබෝධ කරගන්න ඔබ.

සියළු සංස්කාර ධර්මයන් මෙන්.... කුණුද අනිත්‍යයි.

මෙය ඉදිරි කාලයේදී මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීමකි.


ලියා එව්වේ - බ්ලොග්කාරයා (http://asinhalablogger.blogspot.com/)

Wednesday, August 10, 2011

ආ... ඒව එදාට විතරයි

ඔන්න එකමත් එක රටක හිටිය සුනිලුයි කමලුයි කියල යාළුවෝ දෙන්නෙනෙක්.

දෙන්න ගජ යාළුවො. දෙන්නගෙම රස්සාවල් වුණත් හවුලෙ තමයි වුණේ.

ඔන්න ඉතිං ඔය හවුල් අවුලක් නිසා දෙන්න තරහ වුණා. එදා ඉඳන් දෙන්න මූණවත් බැළුවෙ නෑ සෑහෙන්න කාලෙකින්.

පහුගිය සිංහල අවුරුද්දට දෙන්න ආයෙමත් බදාගෙන වැළඳගෙන යාළු වුණා. අවුරුදු දවස් දෙකේම හොඳට බිව්වා.

අවුරුද්ද පහු වුණා විතරයි මෙන්න දෙන්න ආයෙත් තරහ වෙලා.

කමල්‍ සුනිල්ට ආපු බිස්නස් එකක් හිමීට උස්සලා. ඒකට ආයෙත් දෙන්න තරහ වෙලා.

ඕක ගැන පැත්තක හිටපු අමල් ඇහුව කමල්ගෙන්.

අයියෝ... අවුරුද්දට ඉතිං තරහ මරහ තියාගන්න හොඳ නෑනේ මල්ලි... ඒ වුණාට අවුරුද්දෙන් පස්සෙ ආයෙත් බිස්නස් කරන්න එපැයි.

කමල් ඇඟට පතට නොදැනී කිව්වා.


ලියා එව්වේ - hare :-) (http://www.hartstuff.com/)

Monday, August 8, 2011

වෝකි ටෝකි

දැකල තියෙනව නේද පොලිස් අංකල්ලා ගාව තියෙන වෝකි ටෝකි? ඒක ඩුප්ලෙක්ස් පණිවුඩ හුවමාරු ක්‍රමයක්. එක වෙලාවකදි එක්කෙනෙක්ට විතරයි කතා කරන්න පුළුවන්.

ඔයාලගෙ ෆෝන් එකෙනුත් ලේසියෙන්ම ඒ වගේ වෝකි ටෝකියක් හදාගන්න පුළුවන්.

උවමනා වෙන්නෙ ෆෝන් එකයි (චයිනීස් එකක් නම් නියමයි) කතා කරන්න කෙනෙකුයි විතරයි.

ඉස්සෙල්ල මේ පෝස්ට් එක ඔයාට කතා කරන්න ඕන කෙනාටත් පෙන්නන්න.

ඊලඟට එයාට කෝල් එකක් ගන්න.

එයා ආන්සර් කරද්දි ඔයා ෆෝන් එක කණ ගාවට ගන්න.

ඔයා කතාකරද්දි ෆෝන් එක කට ගාවට ගන්න.

ඔය වගේ තමන් කතා කරද්දි කට ගාවටයි එයා කතා කරද්දි කණ ගාවටයි ෆෝන් එක මාරු කරන්න.

ඔය බස්වල යද්දි කස්ටිය වෝකි ටෝකි ටෝක්ස් දානව දැකල ඇතිනේ...


ලියා එව්වේ - බ්ලොග්කාරයා (http://asinhalablogger.blogspot.com/)

Friday, August 5, 2011

බච්චාවෝ...

ටවුම මැද තිබුණ පරණ රත් හඳුන් ගහක්.

ඒ ගහේ වයස කියන්න පුළුවන් කෙනෙක් හිටියෙ නෑ. ටවුමෙ කෞතුකාගාරෙ තියෙන අවුරුදු එකසිය පණහකට විතර කලින් ගත්තු පින්තූර වලත් ගහ ඒ වගේම තියෙනවා.

රවුන්ඩබවුට් එක වටේ පාර ලොකු කරන්න ඕන කියල ආණ්ඩුකාරයට හිතිලා ඒකට යෝග්‍යතා අධ්‍යයනෙ කැ‍ඳෙව්වා.

වැඩේ කරන්න නම් රත් හඳුන් ගහ කපන්න වෙනවා.

ගහ වගේද පාර? ඔන්න ගහ කපන්න තීරණය වුණා.

ඒකට පරිසරවේදියො සෙට් එක ඇවිස්සුණා. රත් හඳුන් ගහ වෙනුවෙන් සංවිධාන කීපයක්ම හැදුණා. දවස් කීපයක් ඇතුලත කට්ටිය හතලිහක් පණහක් සෙට් වුණා ගහ ගාවට.

එකෙක් "හඳුන් ගහ බේරාගනිමු" කියල ගහපු බෝඩ් ටිකක් අඟලෙ ඇණ වලින් ගහ වටේ ගැහුව.

පටන් ගත්ත කෑ ගැහිල්ල.


ලියා එව්වේ - hare :-) (http://www.hartstuff.com/)

Tuesday, August 2, 2011

නොමියෙන (මියැදුනු) පෙම

මාස ගානක් සීයට නොලිව්වත් ළඟදි ඇතිවුන සිදුවීමක් ආයිමත් මාව ලියන්න පෙළඹෙව්වා. මගේ පරණ පෝස්ට් එකක කිව්වා වගේ මගේ පලවෙනි ආදරේ අහිමි වෙලා දැනට අවුරුදු ගානක්. ඒත් මගේ හිතේ මමත් වැරදිකාරයෙක් කියන සිතිවිල්ල හැමදාම තිබුනා. ඒක නිවැරදි කරන්න පරක්කු වැඩි උනත් මොනවත් නොකරනවට වඩා මොනවාහරි කරන එක හොඳ නිසා පහුගිය 16 වෙනිදා තිබ්බ එයගේ උපන්දිනේට මම සුබපැතුවේ අඩුමගානේ මට ස්තූතියි කියලාවත් කියයි කියලා හිතාගෙන. ඒත් ඒ පිලිතුර මට තාමත් ආවේ නෑ. මම හිතුවා වගේම ඔයා මගෙන් ගොඩාක් ඈතට ගිහින් ඇති. මාව අමතක වෙන තරමටම. ඒත් මට ඔයාව අමතක නෑ. “First Love Newer Dies.” කොහේ හරි මම දැකලා තියනවා. මට තාම මතකයි.

ලියා එව්වේ - සජිත් රූපසිංහ

Monday, August 1, 2011

නැද්ද කිසි ගරු සරුවක්?

බස් එකේ පුජ්‍ය පක්ෂයට වෙන් කරල තියෙන ආසන දෙකේ සීට් එකේ, ආසන දෙකම අල්ලගෙන ඩෝප් කාරයෙක් ෆුල් සැපට නිදි. මගදි නැග්ග හාමුදුරු නමක්, කොන්දොස්තර උන්නැහෙ ඩෝප් කාරයව ඇහැරවල, හාමුදුරුවන්ටත් ඩෝප් කාරය ලඟින්ම වාඩි වෙන්න ඉඩ සලස්සල දුන්න. ඩෝප් කාරය සීට් එකේ ඉඩ දුන්නෙ "දෙන්න හිතයි අපවත් වෙන්න" කියල හෙමීට කියාගෙන. ස්වාමීන් වහන්සෙ කිසි කතාවක් නැතිව ලැබුන ඉඩ ටිකේ ශාන්ත දාන්තව වාඩි වෙලා දැන් බස් එකේ යනව. මගදි බුදු පිළිමයක් දැක්ක ඩෝප් කාරය, නැගිටලම වැන්ද. ස්වාමීන් වහන්සෙ කිසි හැල හොල්මනක් නැතුව තමන්ගෙ පාඩුවෙ වැඩ ඉන්නව. ඩෝප් කාරය ඒ පාර හාමුදුරුවන්ගෙන් අහනව "අර ඔහෙලගෙ බොස් නේද, නැද්ද කිසි ගරු සරුවක් දක්කන්නෙ?" කියල.

ලියා එව්වේ - Observer (http://observer-nireekshaka-observer.blogspot.com)

Sunday, July 31, 2011

ඉදා උගුල්ලලා දාපන් මගෙ ඇස් දෙක...

උඹට ඔනේමනම්
මාව අමතක කරපන්
අමතකම කරපන්
ඒත් කමක් නැහැ මං තරහ නැහැ
මගේ දිහා බලන්නැතුව හිටපන්
බලන් නැතුවම හිටපන්
ඒත් කමක් නැහැ මං තරහ නැහැ
මාත් එක්ක කථානොකර හිටපන්
කතා නොකරම හිටපන්
ඒත් කමක් නැහැ මං තරහ නැහැ
මාත් එක්ක හිනානොවී හිටපන්
හිනා නොවීම හිටපන්
ඒත් කමක් නැහැ මං තරහ නැහැ
ඇති තරම් මාව අඩවපන්
ඒත් කමක් නැහැ මං තරහ නැහැ
ඇති තරම් මාව රිදවපන්
මට ජීවිතේ එපා කරවපන්
එපාම කරවපන්
ඒත් මට
උඹ දිහා බලන් නැතුව ඉන්න කියන්නනම් එපා
මට ඒක කොහොමවත් කරන්න බැහැ
ඊට වඩා හොදයි මගේ ඇස් දෙක උගුල්ලලා දැම්මනම්......
ඉදා උගුල්ලලා දාපන් මගෙ ඇස් දෙක......

ලියා එව්වේ - දසුන් මධුසංක (http://karumakkarayekugekadulu.blogspot.com/)

Saturday, July 30, 2011

දුයිෂෙන්

ගුරු ගීතයෙහි දුයිෂෙන් අතීතය සිහිපත් කරයී ..


සාමය මල් සුවඳක් වී සැම සිත් සිපගෙන හැමුවා

ගම්මානෙට නුහුරු නැවුම් සුවඳක් ඒ තුළ තිබුණා

කඳු පෙළ ගම වටකර සුවඳැති සුළඟට වැට බැන්ඳා

ඒ කඳු මැද පටු නිම්නය මා දැක පෙර මඟ කීවා


රෑ සිහිනෙන් දුටු ලෝකය ඔය දෑසින් මා දුටුවා

ගත ඩා බිඳු මිහිකත හා එක් වී පාසැල තැනුවා

ඔබ දෑතින් ගොම ඇතිරූ බිම මුදු පලසක් වූවා

සැදු පාසැල තනි වෙනවා නුඹ අද සමුගෙන යනවා


අල්තිනායි නුඹට ඉරක් හෙට අලුතින් පායනවා

මගේ පුංචි කුමාරියේ නුඹේ ලොවට එළි වෙනවා

පොප්ලර් ගස් යාය මැදින් ගම්මානෙට සඳ එනවා
දුම්රියපොළ දැන් පාළුයි රෑ වෙනවා මම යනවා


ලියා එව්වේ - රසික කාරියවසම් (http://wikasitha.blogspot.com/)

Friday, July 29, 2011

මම දාන්නෙ ලියපු දාට විතරයි

මේකයි සිද්ධිය... මම කාර්ය බහුලයි ගොඩක්. ඒ නිසා ඔය ලියන කරන ඒව කරන්න ඒ තරං වෙලාවක් නෑ. එහෙම වෙලා තියෙද්දි තව කමෙන්ට් කරන්නත් වෙලාවක් කොයින්ද? ඒ නිසා කරුණාකරල මගෙන් කමෙන්ට් එකක් බලාපොරෙත්තු වෙන්න එපා. ඒක මගේ කාලය කා දැමීමක්. අනික කිසිම වැදගැම්මක් නැති පෝස්ට් එකක් ලියල ඒකට කමෙන්ට් බලාපොරොත්තු වෙන එක එක්තරා විධියක මෝඩකමක්.

මම දන්නව මේ පෝස්ට් එකත් මෙලෝ රහක් නෑ කියල. ඒත් මේක ලියල දැම්මෙ ඔහෙලට මේ ටික කියන්න. මම කමෙන්ට් දාන්නෙ නෑ. මගෙන් කමෙන්ටුවක් බලාපොරොත්තු වෙන්නත් එපා.

හැබැයි ඉතිං මම පෝස්ට් එකක් ලියපු දවසකටනං මම වටේම තියෙන බ්ලොග් වලට දානව කමෙන්ට්.

නැත්තං කොහොමද බ්ලොග් එක හිට් කරගන්නේ...

ලියා එව්වේ - බ්ලොග්කාරයා (http://asinhalablogger.blogspot.com/)

Thursday, July 28, 2011

සම තැන

එක්තරා කාන්තා අයිතිවාසිකම් සංවිධානෙක නෝනල ටිකකටත් ඕනි උනා කාන්තා අයිතිවාසිකම් ගැන උද්ඝෝෂණයක් කරන්න...

ප්‍රධාන පාඨය වුනේ "කාන්තාවට සමතැන" කියන එක..

දන්නවනේ කාන්තා අයිතිවාසිකම් ගැන කථාකරන බොහෝ නෝනලා... ‍එයාලාගේ කොන්ඩෙ කපලා කණගාවට, අඳින්නේ කුර්තා.. අවුකණ්නාඩි එහෙම දාගෙන..

අපේ හාදයෙකුටත් මේකට ආරාධනාවක් ලැබිලා තිබුනා...

ඉතින් මිනිහත් කියපු වෙලාවට වඩා පැයක් විතර ප්‍රමාද වෙලා ලිප්ටන් වට රවුමට ගිහින් බැලුවළු.. තාම පටන්ගන්න පාටක් නැහැ... බැනර් ටිකත් ඔතපු විදියම...

අපේ හාදයා මේකේ ප්‍රධාන සංවිධායක නෝනට කිට්ටු කලාළු..

මොකද මැඩම් වැඩේ පටන් ගන්නේ නැද්ද ?

අනේ පටන් ගන්න ඔනේ මෙයා...

ඒත් බලන්නකෝ මේ බැනර් ටික දාගන්න කොල්ලෙක් හොයාගන්න නැහැ නේ....

නෝනා ඇඟට පතට නොදැනී යාළුවට කිව්වලු......

ලියා එව්වේ - බස්සා (http://jbasnayaka.blogspot.com/)

Wednesday, July 27, 2011

අපි වෙනුවෙන් අපි......

"ඔන්න බලන්න මුදලාලි, බඩු ටික ගත්තට දාගෙන යන්න හරිහමන් මනුස්සයෙක් නෑනේ ත්‍රීවිල් පාර්ක්‌ එකේ?"

"ඇයි නෝනා අර තියන ත්‍රීවිල් එක?"

"අපෝ ඌත් එක්ක ගියහැකිද මුදලාලි? මූණේ තියන මුසලකම. මූණ පුරා තුවාල කැරළි. වෙන එකක් එනකම් පොඩ්ඩක් බලනවා. හැබෑටම කව්ද ඒ? ලඟදි නේද මෙතෙන්ට ආවේ?"

"ඔය කුලී වැඩ කරපු පියදාසගේ ලොකු කොලුවනේ. හමුදාවේ හිටියේ. පුදුකුඩිඉරිප්පු වලදී මෝටාර් එකක්ද කොහෙද වැදිලා එලෝ මෙලෝ නැතුව හිටියේ. මයේ හිතේ කොල්ලා අවුරුද්දකට වඩා ඉස්පිරිතාලේ හිටියා. කට්ටිය හිතුවේ මැරෙයිම කියලා. ඔය මූණපුරා තියෙන්නේ ඒ වෙච්ච තුවාලවල කැලලි. හමුදාවෙන් විශ්‍රාම අරන් ගමට ආවට පස්සේ කොල්ලෝ ටික ඌව දාගත්තා ත්‍රීවිල් පාර්ක්‌ එකට. ඌත් ඉතින් ජිවත් වෙන්න එපැයි නෝනා...."

ලියා එව්වේ - ගොඩයා (http://godayan.blogspot.com/)

Tuesday, July 26, 2011

පොත් ලිස්ට් එක

"ශමාල්, ඉස්කෝලෙන් පුතාගේ පොත් ලිස්ට් එක එවලා......!"

"නෙත්මි, අපි හවසට ගිහින් ගමු, මොනවද ගන්න ඔනේ....?"

"අවුරුදු දෙකක්ම පුතා iPad එක පාවිච්චි කරානේ, අළුත් සොෆ්ට්වේයාර් දැන් ඒකෙ වැඩ කරන්නෙ නෑ. ලිස්ට් එකෙත් තියෙනවා ලේටස්ට්ම එක ගන්න කියලා....."

"වෙන මොනවද...?"

"ඊලඟ අවුරුද්දේ ඔක්කොම පාඩම් පොත් ටික...., ඒවා එන්නේ බ්ලූ-රේ ඩිස්ක් වල, විද්‍යාව, සමාජ අධ්‍යනය, ගණිතය වගේ ඒව ටිකත් ගන්න වෙනවා......!"

"අනික ශමාල්, පුතාට දැන් තියෙන ඩේටා ප්ලෑන් එක අළුත් පන්තියට මදි වෙයි, අප්ග්‍රේඩ් කරන්න වෙනවා. එක්සෑම් ඔක්කොම තියෙන්නෙ ඔන්ලයින්නේ....!"

"හ්ම්ම් නෙත්මි දන්නවද, මම අහලා තියෙනවා අපේ සීයලට පොඩි කාලේ තිබිලා තියෙන්නෙ ගල් ලෑල්ලද මොකක්ද කියලා එකක්ලු, ඒක ඔපෙරේට් කරලා තියෙන්නෙ බැට්රිවත් නැතුවලු....."

ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

Monday, July 25, 2011

තව ලියලා ඉවර නොමැත දෙවියනේ .....

මෙය මිල්ටන් පෙරේරා මහතාගේ ' වැඩකරලා ඉවර නොමැත දෙවියනේ '
යන ගීයේ තනුවට අනුව නිර්මාණය කර ඇත ............

තව ලියලා ඉවර නොමැත දෙවියනේ
මොකටද මා බ්ලොග් ලියන්න සෙට් උනේ
කතා ලියලා කොල්ලෝ ඇවිත් බනිනවා
කෙල්ලෝ ඇවිත් හිනා වෙවී බලනවා

දන්නේ කවුද අපේ කතා මං තරම්
කන්නේ බොන්නේ බ්ලොග් එක ලියනා ගමන්
පාඩම් කර රෑ 12 ට ලොග් උනා
උදේ අටට විභාගෙකුත් සෙට් උනා

තව ලියලා ඉවර නොමැත දෙවියනේ ..........//

දින පොතේ වැඩටම මගේ හිත ඇදෙයි
පාඩම් වැඩට වඩා බ්ලොග් එකට ආදරෙයි
ඇස් රතු වී ප්‍රතිපල මගේ නිල් වෙලා
බ්ලොග් කෙරුමේ හැටි දැන් මට තේරුනා

තව ලියලා ඉවර නොමැත දෙවියනේ .............//

ලියා එව්වේ - අයස් (http://ayasdiary88.blogspot.com/)

Sunday, July 24, 2011

සැන්ඩ්‍රා

ඔන්න උඹ බොරුවට හේතු කියනවා..,
යකෝ ගෑණිගේ බ්ලොගේ පෝස්ට් එකක් ගිහින් ඒ සුනංගුවෙන් කොමෙන්ට් කොටනවා..!
අපි මොකක් හරි ලියලා බලන්න කිව්වම තමා උඹට බොරු බිසීය..?

දැන් මට මොකද්ද කරන්න කියන්නේ..? හැම පෝස්ට් එකට ම එල පට්ට බෙට්ට කියල දාන්නද?

එහෙම නෙවෙයි, කොමෙන්ට් නොකලත් කමක්නෑ.., තියෙනදේ කියවලා උඹේ අදහස උඹ කැමති නම් විතරක් දාපන්.., අඩුගානේ දාලාතියෙන කොමෙන්ට්වත් කියවලා මොනාහරි දාපන්..!

දැන් ඇයි උඹ එහෙම කියන්න හේතුව..??

උඹ පෙරේදා රෑ මුතූගේ බ්ලොගේට කොමෙන්ටුවක් දැම්මා නේද??

ඔව්??

උඹේ මොකද්ද කොමෙන‍්ට් එකෙන් කිව්වේ..?

"හුරතලයට හැදිච්චි බැල්ලිපැටියා ලෙඩ උනාම දුක දැනීම සාමාන්‍ය දෙයක්. ඉක්මනටම ඔයාගේ බැල්ලීපැටියට හොඳවෙන්න කියලා පතනවා..!" කියලා..!

යකෝ "සැන්ඩ්‍රා" කියන්නේ ඒකිගේ පුංචිඅම්මා..!

ලියා එව්වේ - ලිෂාන් පුවක්ඕවිට (http://lishwish.blogspot.com)

Saturday, July 23, 2011

රතු පාට පුස් පැටියෙක්

බං බොරු කියන්නෙ නැ අම්මෙ..!!
මං රතු පාට පුස් පැටියෙක් වඩා ගත්තා..
ඒකයි මේ.. :(
මල්ලි පල්ලා.. ඇත්තමයි

ඒයි මෙන්නෝඕඕ කෙල්ල ලොකු ළමයෙක් වෙලා..

මල මගුලයි.. මං කිවා ගැනියේ උඹට.. ඔය අනම් මනම්
බයෝටික් තියෙන යෝගට් බඩට ඔබන්න එපා කියලා..
ඇහුවයැ ? දවසට 2-3 ක් ඔබනවා.. දැන් දියල්ලාකො පාර්ටි..
පාං ගෙඩියක්ම කීයද දැන් ?
මේ පාං කියා ගන්න බැරිව මං ඉන්නවා..
ඒ අස්සෙ කෙල්ල ලොකු ළමයෙක් වෙලා..

මොකද ලොකු ළමයෙක් උණාට පාර්ටි දෙන්න කියලා
සමෘදියවත් දෙනවයැ ?
ආසනික් දෙයියොම බලන්න ඔනේ මෙව්වා
අනේ මේ රූප පෙට්ටියේ අනම් මනම් පෙන්වන උන්ට නම්
වැහී නැති අකුණු වදින්ටොන..!

ඔහොම කැ ගහන්න එපා මනුස්සයෝ.....

ලියා එව්වේ - බනියා (http://freeanushka.blogspot.com/)

Friday, July 22, 2011

කෝලය

කියන්න තියෙන දේවල් ලියාගත්ත කොලේ පෙරල ගත්තා.
හරි හරි. ඔක්කොම දැන් කට පාඩම්.
ෆෝන් එක අතට අරගෙන නම්බර ඔබන්න පටන් ගත්තා.
ටීක්... ලබ් ඩබ් ටීක්... ලබ් ඩබ්
අම්මෝ නම්බර 10ක්ම තියෙනවානෙ.
දැන් නම් ඇඟට පනත් නෑ වගේ.
හරි කොළ පාට එකත් එබුවා.
ලබ් ඩබ් ලබ් ඩබ් ලබ් ඩබ්
අයියෝ මේක වැඩ කරන්නෙ නැද්ද. ආ හරි
බීප් බීප් ලබ් ඩබ් ලබ් ඩබ් බීප් බීප් ලබ් ඩබ් ලබ් ඩබ්...
දාඩියත් දාලා. මාර රස්නෙ දවසක්.
දැන් මොකක්ද කියන්නෙ.
බීප් බීප් ලබ් ඩබ් ලබ් ඩබ්.......
ටීක්.................
අයියෝ. සාර්ථක 15 වෙනි වතාවටත් ගත් කෝලය අසාර්ථක විය.

ප.ලි - දැන් ඉතින් තව කෝලමක් නටන්න වෙයි වගේ.

ලියා එව්වේ - අසුරයා (http://dinukathilanga.wordpress.com/)

Thursday, July 21, 2011

ආඩම්බරකාර තාත්තා....

අපේ ලොකු පුතා මාර වැඩක් කලා... ලබන මාසේ ශිෂ්‍යත්ව විභාගේ නිසා එයා මහන්සිවෙලා වැඩ කරනවා.. ඉස්කෝලෙදි පහුගිය ප්‍රශ්ණ පත්තර වලට හොඳට ලකුණු අරගෙන තිබුනා...

මං ඇහැව්වා ඔය පොත්වල අග උත්තර තියනවා නේද කියලා... (මොකද මමත් ඔය ඉස්කෝලෙට නේ ගියේ...)

එයා ඔව් කිව්වා.. මං බිරිඳට කිව්වා ඒ උත්තර තියෙන කොලටික ගලවලා දාන්න කියලා...

මං කථාකරන අතරේ ලොකු පුතා වැඩක්... මං ඇහැව්වා මොනාද කරන්නේ කියලා... නැහැ තාත්ති මං මේ උත්තර තියෙන කොල ටික ස්ටේප්ලර් වලින්ම ගලවනවා කිව්වා... මං නිරැත්තරයි.... ටික වෙලාකින් එයා ගියා...බිරිඳ ආවා පුතා උත්තර කොල ටික ගලවලා දුන්නා කියාගෙන....

මට මං ගැන මාර දුකකුත්.... ලොකු පුතා ගැන මාර ආඩම්බරයකුත් ඇතිවුනා...

ලියා එව්වේ - බස්සා (http://jbasnayaka.blogspot.com/)

Wednesday, July 20, 2011

මම උන් වගේ වුනානම්.......

මම පොඩි කලේ අපේ අම්මා මට අපේ එහා ගෙදර උන්ගේ ළමයි පෙන්නලා කිව්වා අන්න ඒ වගේ හැදෙන්න කියලා. මොකද එතකොට උන් විද්‍යාඥයෝ දොස්තරලා ආකිටෙක්ට්ස්ලා. ඒත් මට උන් වගේ වෙන්න කිසිම උවමනාවත් තිබ්බේ නෑ. අම්මා කියපු එක ඔහේ අහගෙන හිටපු මම මමම වුනා උන් උන්ම වුනා.

අද වෙනකොට අවුරුදු කීපයක්ම ගිහිල්ලා.

උන්ගේ බඳින වයසත් පහුවෙලා. එකෙක් ගේ ගෑණි දාලා ගිහින්, තව එකෙන් බඳීන්නේ නෑලු, අනිත් කෙනාට හොයන එක්කෙන්ක්වත් හරි නෑලු.

දැන් අපේ අම්මා වැරදිලාවත් මට කියන්නේ නෑ උන් වගේ වෙන්න කියලා. අම්මා කියන්නෙ අඩුම ගානේ එහා ගෙදර මනුස්සයෙක්ගේ මූණ බලලා වචනය කතා නොකරන ඔය මහා උගත්තු පොල් පිත්තකින් කපාගන්න පුළුවන් කියලා.

ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.cඔම්/)

Tuesday, July 19, 2011

පැරණි රසංගයක් - නැවත ප්‍රචාරයක්

මහේස්ත්‍රාත් තුමා :- මේ විත්තිකාර ගැට කපන්නා, යුෂ්මතියගේ පසුම්බිය සොරා ගත්තා යැය් කියන අවස්තාවෙ පසුම්බිය තිබුනෙ කොහෙද?
පැමිණිලි කාරිය :- මගේ හැට්ටෙ ඇතුලේ, ලැම පෙදෙසෙ ස්වාමීනී
මහේස්ත්‍රාත් තුමා :- විත්තිකරු හැට්ටය තුලට අත දමන විට යුෂ්මතියට ඒ බව දැනුනෙ නැද්ද?
පැමිණිලි කාරිය :- අපොය් ඔව් ස්වාමීනී, හොඳට දැනුනා
මහේස්ත්‍රාත් තුමා :- මේ කියන අවස්තාවෙ යුෂ්මතිය කෑ ගැසීමෙන් හෝ වෙනයම් ආකාරයකින් බසයේ සිටි අනෙක් මගීන්ගෙ උපකාර ඉල්ලා හිටියද?
පැමිණිලි කාරිය :- (ලැජජාවෙන් ඇඹරෙමින්) අපෝ නැහැ ස්වාමීනී
මහේස්ත්‍රාත් තුමා :- යුෂ්මතිය, උපකාර නොඉල්ලීමට හේතුවක් තියෙනවද?
පැමිණිලි කාරිය :- (කේන්තියෙන්) මං හිතුවෙ නැහැ ස්වාමීනී මේ වේ## පුතා මගේ පර්ස් එකට විදින්න යනව කියල

ලියා එව්වේ - Observer (http://observer-nireekshaka-observer.blogspot.com)

Monday, July 18, 2011

සටන..

එකෙක් අත ඉඹලා දෙයි..
තව එකෙක් අතට අත දී දෙයි..
තව එකෙක් වැදලා දෙයි..
වැන්දාම නම් ලැජ්ජයි..
කවදාවත් දැකලා නැති..
එකෙක් ආ මලයා ගා දෙයි..
මාත් ආ අයියා ගායි.. අක්කා ගායි..
අතට අත දෙයි..
ගේ හරියේ කොළ පිරෙයි..
කඩදාසි, ඩේ කාඩ්, දු:ක: කාඩ්, etc
ගේ හැම තැනම..
හනික මා කෙල පිහිදාගයි..
නැත්නම් විස බීජ එයි..
ගේ හරියේ ඩෙටෝල්ද නැත..
නැත්නම් ඩිංගක් බොන්නවත් තිබිනි..
නැන්දාල ඇත.. මාමලාද ඇත.
එකෙක් එක පාටක්..
තව එකෙක් තව පාටක්..
පාට පාට ලෝකයක්..
මෙ ඔක්කොටම දෙන්නෙ කොහොමද ?
ඔක්කොටම තියෙන්නෙ XXX තුනයි...එක පාටයි..! ㋛
ඔක්කෝටම දීලා නිකා ඉන්නවා..
එතකොට හැමෝම මට හොද කියයි..
මටත් හෙන සතුටුයි..!

ලියා එව්වේ - බනියා (http://freeanushka.blogspot.com/)

Sunday, July 17, 2011

රුපියල් දහය

"ලොකු පුතේ ගිහින් පාං ගෙඩියක් ගේන්න..."

"අම්මේ, මට සව්කොල තුනක් ඕනෙ, සිසිර අයියා හදලා දුන්න සරුංගලේට...”

"සරුංගල්වල අලවන්න දෙන්න සල්ලි නෑ මට....."

බයිසිකල් රිම් එක කෝටුවකින් පැදගෙන මම දිව්වා කඩේට. එහා ගෙදර සුරංගි නංගිගේ තාත්තා අදත් බීලා, වැනි වැනි එනවා පාර දිගේ......

"පාරේ අයිනේ රුපියල් දහයක් වැටිලා... හුරේ... සව්කොල ගැත්තෑකි..."

"ඇන්ටී....!" අපේ දොර ගාව සුරංගි නංගී කෑ ගහනවා...

"මොකද පුතේ....?" අම්මා අහනවා.

"මල්ලි බඩගින්නේ අඬනවා. අම්මා හාල් හුණ්ඩුවක් තියෙනවනම් ඉල්ලං එන්න කිව්වා. හාල් ගන්න දීපු රුපියල් දහය තාත්තා නැති කරගෙන........"

ඉංග්‍රීසි කොඩිය අලෝපු කොම්බුවට රැලි කපන අතරේ මට යාන්තන් ඇහුනා..........

කොහෙන් හරි ආපු මැස්සෙක් පාප්ප පොල් කට්ටට වැටිලා දඟලන්න ගත්තා.........

ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

Friday, July 15, 2011

ඇටෙන්ඩන්ට් ඇන්ටි!

කාන්ති ඇන්ටි පන්සලේ පිංකමට නාපු එකට කුලඟන සමිතියෙ ගෑණු සෙට් එකට පුදුම අමාරුවක්...

පොසොන් පෝය වෙනුවෙන් කුළඟන සමිතියෙන් සංවිධානය වෙන පිංකම ගමේ ඇන්ටිල සෙට් එක මුළු ගමෙන්ම එක දමාගන්න අවස්ථාවක්.

සහභාගි වුණ අය සහභාගි නොවුණ අයව කපල දාන්නෙත් වැඩේ යන අතරෙදි තමයි.

කාන්ති ඇන්ටි පහුගිය සතියෙම ලෙඩෙක් ගාව හිටියෙ. එයාගෙ රස්සාව ‍පෞද්ගලික උපස්ථායිකා. ලොකු ගානක් ගන්න බැරි වුණාට එයා ඒක සෑහෙන්න සතුටින් කරන රස්සාවක්.

ඒ ගැන දන්න නාලිනී ඇන්ටි විතරක් කාන්ති ඇන්ටිගෙ පැත්තට කතා කලා.

ඔහොම කතා කරන්න එපා බං. උඹල මොනවද දන්නෙ. කාන්ති ඉන්නෙ අර පාළම ළඟ ගෙදර ලෙඩා ගාව.

ඒකි කරන්නෙ අපි හැමෝම කරනවටත් වඩා පිං ලැබෙන වැඩක්.


ලියා එව්වේ - hare :-) (http://www.hartstuff.com/)

Thursday, July 14, 2011

කටුසු කෙල්ල...

උඹට කියන්න මචං.. ඒකි පාට 3ක්..

ඇහ්? මොකෝ තින්ත හලාගෙනද?

නෑ නෑ... මූණයි අඬු ටිකයි සුදුම සුදු පාටයි බං, මං ඒත් බැලුවා මීයෝ කාලාද කියලා..

අම්මපා?

ඔව් යකෝ..! උඹ දන්නෙ නෑ මං ඒකි ඉඹින්නත් ගියා.. බට් මචං මාර කේස් එක..

මොකෝ කුණු වෙලාද?

නෑ මිනිහෝ..! ඒකිගේ බෙල්ල වෙන පාටක්නේ..

නැ...........?

නෑ නෙවේ ඔව්.. ඒකි බං පාට දෙකක කෙල්ලෙක්.. කටින් පෙණ දානවා..
මං ඒත් හිතුවේම පිස්සු බලු රෝගේවත්දෝ කියලා..

ඉතිං ඒකිට පික්සුද මචං ?

නෑ බුරුවෝ..!

ඒකි සබන් ජාතියක් දිය කරලා බීලානේ..

ආච්චි ගහයි ස්ටම්ප් එකෙන් කිවාලු.. නැහ්?

ඔව් බං.. විසබීජ 100% ඉවත් කරන, පාට වෙනස් කරන, කියපු නිසා මේකි බීලා..!


ලියා එව්වේ - බනියා (http://freeanushka.blogspot.com/)

Wednesday, July 13, 2011

හමුවීම සහ වෙනවීම

මචං බලපන් අපි කට්ටිය කොච්චර කලෙකින්ද අද මේ මුණගැහුනේ. ඉස්කෝලේ යන කාලේ වගේ නෙමෙයි බං දැන්. එක එක උන් එක එක දේවල්වල. උඹලා ඉගෙන ගන්නවා අපි ජොබ් කරනවා. කාටවත් නිවාඩු නෑ. මම දන්නවා මචං මගේ උපන්දිනේ දවසේ මොන වැඩේ තිබ්බත් මම කතා කළොත් උඹලා එන එක එනවා කියලා.

උඹලට කියන්න උඹලව මුණගැහුනු අන්තිම දවසේ ඉඳන් අද වෙනකම් කෙල්ලෝ දෙන්නක් මාත් එක්ක යාළුවෙලා ඉඳලා මට බූට් එක තිබ්බා මචං. මට නම් දැන් කෙල්ලෝ එපා වෙලා ඉන්නේ බං. උන්ට වියදම් කරනවට වඩා හොඳයි උඹලත් එක්ක සෙට් වෙන එක.

උගේ කතාව අහන ගමන් බෝතලේ අඩියේ තිබ්බ අන්තිම පොඩ්ඩත් අපි කට්ටිය වීදුරු වලට දාගත්තා.

ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

Tuesday, July 12, 2011

නැටි මාක්

රෑ දොලහට
මට හිස නමා ආචාර කෙරුමට එන
පුංචි සුරතල් මීරාළ
මොනවා දොඩනවාද
මේ සමයං රෑ මට

තාත්තාගේ පොත් රන් වටී
නොතේරෙන කුරුමිණි අඩු
ඇයි බලන්නේ ඔය තරමට

අම්මාගේ කාමරය
ඈ අත ඇරියේ සෙල්ලමට
මීයෙකුට මොකටද
අලි විසාලෙට ඔතරම් ඉඩ

මගේ ඇදවත ලිස්සන සුලු
මදුරු දැල බැදි තංගුස් නූල
සර්කස් පෙන්වන්න කදිම තැන

රෑ දොළහට
මී සර්කස්
කඩවසම් මී දෙනෙත
ආලයෙන් නොබලන්න
මිනිස් ගැහැනුන්
මීකතුරු ගැන දැන උගත්

මගේ ඇද පාමුල
අහිංසක ගිවිසුම මා ලියූ
කෙටි අස්සන
නැටි මාක් සමඟින්
තබා යනු

මිනිස් ගැහැනුන් ප්‍රයෝගකාරී
අල්ලා කූඩුවකලා
කුණු ඇළට වීසි කළ
පරණ පොතකුත් ඇති
කියවනු හැකි නම්

ඒ අසළ
පුංචියට


ලියා එව්වේ - කාංචනා අමිලානි

Monday, July 11, 2011

මචං මටත් ජොබක් සෙට් කරල දියංකො

කාලෙකට පස්සෙ එයා මාව බලන්න ආවා.

ඔයාට මතකද රසිකයා...!

අර "සෝශල් ෆැක්" එකේ අයිය නේද?

හ්ම්... ඌව හම්බුනා බස් එකේදී.

ඉතින්...

පව්, තාම ජොබක් set වෙලා නෑ, ගෙදරත් ටිකක් කරදරයි වගේ.

මට කියනව අපි ඉන්න තැන, පොඩි ජොබක් හරි කමක් නෑ, සෙට් කරල දෙන්නලු.

ඉතින්... බැරිද උදව්වක් කරන්න.

පිස්සුද?

මං නුරුස්සන බැල්මෙන් එයා දිහා බැලුව.

Helper කෙනෙක් වුනත් එහෙම නිකම්ම ගන්න බෑ.

ඒ කියන්නෙ අර කෝටු අල්ලන්නද?

ඒකට කියන්නෙ Surveying pole කියල.

ආ...

පස්සෙ කියනව කම්කරු වැඩක් හරි කමක් නෑලු.

කොහොමද ඒකා කම්කරු වැඩේට ගන්නෙ, එතන ඉන්නෙ ඔක්කොම අටවත් පාස් නැති උන්. අනික ඌ අපිත් එක්ක එකට හිටපු එකා.

හ්ම්...


ලියා එව්වේ - නදී

Sunday, July 10, 2011

ආදරයක් ඇතිවීම....

ආදරයක් ඇතිවීම කියන කාරනය අපිට සරලව පැහැදිලි කරන්න පුළුවන්ද?
කොහොමටවත් බෑ.
ගොඩක් අය හිතන් ඉන්නේ ආදරයක් ඇතිවෙන්න බලපාන්නේ ලස්සන කියලයි. ආදරය කියන්නේ කෙනෙක්ගේ ලස්සනමත පමණක්ම රඳා පවතින දෙයක් නෙමෙයි. ලස්සන කියන්නේ කෙනෙක් ගැන කැමැත්තක් ඇතිවෙන්න බලපාන සාධකයක්. ආදරයක් ඇතිවෙන්න ලස්සන ඇරුනාම තව කොච්චර සාධක තියෙනවද?
ඒ සාධක සියල්ලම අඩු වැඩි වශයෙන් එකතුවෙලා ආදරයක් ඇතිවෙන්න ඕන අවම අවශ්‍යතාව සම්පූර්ණ වුනාම කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙනවා. අවම අවශ්‍යතාව පුද්ගලයා මත රදා පවතිනවා.
ආදරයක් ඇතිවිම කෙසේ වෙතත් ආදරය පවත්වා ගන්න නම් අවශ්‍ය වෙන්නේ දෙන්නට දෙන්නා අතර තියන විශ්වාසයයි. කට්ටිය පණදාගෙන කියෙව්වා නේද? මේක ආදරයක් ඇතිවීම කියන කාරණය පිළිබඳ මගේ අදහසයි. ඔබේ අදහස වෙනස් ඇති.

ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

Saturday, July 9, 2011

100% වහ කොහෙද තියෙන්නේ

සීයකින් තියා දාහකින්වත් කියාගන්න බෑ මට මේක

මතකද ඔයා කිව්වා මට 100% ම ආදරෙයි කියලා... මං කිව්වා එතකොට

"අම්මෝ 100% සැර වැඩියි සෝඩා ටිකක් දාලා සැන්ඩි කරලා දෙන්න" කියලා

මං එහෙම කිව්වේ විහිලුවට.. මං තාමත් ඇල්කොහොල් කටේ වත් තියලා නැත්තේ නෑ.. ඒත් ඔයා මගේ ලෝකෙට ආවට පස්සේ මං ‍වෙනස් වුනා... ඔහේ පාවුන වලාකුලක් වගේ මගේ ජිවිතේ ඔයා හුලගක් වගේ ගොඩක් දුර ඇරන් ගියා.. ඔය පුංචි අත් වලින් මගේ ජීවතේ ලස්සනට හැදුවා.. ඒත් ඒහෙම කලේ මාව දාලා යන්නද.?

දැන් ආයෙමත් මං ඉස්සර වගේ වෙලා... ඔයා මාව මරලා දම්මනම් මීට වඩා හොදයි....

100% තියන බෝතලයක් මට එවන්න හැබැයි ඇල්කොහොල් නම් නෙවෙයි.... වහ

ලියා එව්වේ - අවුට්සයිඩර් ( www.pitastharaya.wordpress.com)

Friday, July 8, 2011

ලොව පැරණිම ගම් වර්ගය

ලෝකයේ පැරණිම ගම් වර්ගය පාවිච්චි කලේ මිනිස්සුන්ව එකිනෙකාට අලවල තියන්න....

සාමූහිකව ඉදිරියට යන්න පුළුවන් මිනිස් සමූහයක් බිහිවෙන්නෙ එහෙම හැමෝම එකට ඇලුණම කියල තමයි ඒ ගම් වල නිෂ්පාදකයො කල්පනා කලේ...

ලෝකයේ බොහෝ තැන් වල නිෂ්පාදකවරු මේ ගම් වර්ගය එක එක නම් වලින් නිෂ්පාදනය කලත් ඒව අතරින් ජනප්‍රිය වුණේ බොහොම ටිකයි...

හැබැයි වර්තමානයේ තත්ත්වය වෙනස්... ගම් වල රසායනය හොයාගත්තු නිෂ්පාදකයන්ගෙ අරමුණු මොනව වුණත් ගම් වර්ග මාකට් කරපු උදවිය ගම් වල රසායනික වෙනස්කම් කරල තියෙන නිසා දැන් තියෙන මේ වර්ගයේ ගම් මිනිස්සුන්ව අලවන්නෙ නෑ...

ඒව මිනිස්සුන්ව වෙන් කරනව...

දැන් මේ ගම්වල නාමයෙන් මිනිස්සු එකිනෙකාට ද්වේෂ කරනව...

ඒත් ගම් වර්ගනම් තාම හොඳට මාකට් වෙනව...


ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Thursday, July 7, 2011

සුදු අයියයි මායි

මං එකපාරට ඇහැරුනා..
සුදු අයියා මගෙ ලගම දොයි
මං හොරෙන්ම එයාගෙ පපුවෙන් ඔලුව තියල
ඉන වටේට හීන්සැරේ අත් දෙකෙන් බදාගෙන
මගෙ ඇස්දෙක වහ ගත්තා
එතකොටම මට තේරුනා
සුදු අයියා ඇහැරුනා
ඒත් නැගිටින්න විදියක් නෑනෙ
සුදු මැණිකේ.... නැගිටින්නෑ...
එයා මාව පැත්තකින් තියන්නයි හදන්නෙ
ඒව්වා කොහෙද
මාත් හරිබරි ගැහිල දොයිය ගත්තා
එයත් ඒ පාර මාව බදාගෙන මගෙ නලල සිප ගත්තා
මං යන්තමින් සුදු අයිය දිහා බලල
තද කරල බදා ගත්තා
මං මයෙ මැණිකට ගොඩාක් ආදරෙයි..
එයා මගෙ ඇස් දෙක දිහා බලාගෙනම කිව්වා
මාත් ගොඩාක් ආදරෙයි
කියන්න ඔලුව ඉස්සුව..
ඩෝං..
මොකද ළමයො
බිත්තිය පෙරලන්න හදන්නෙ..
කියල අම්මා කියනව ඇහෙනව
අනේ... කියල මටම කියවුනා


ලියා එව්වේ - හිම කුමාරි (http://himakumari.blogspot.com/)

Wednesday, July 6, 2011

නෝ කතා, නෝ හිනා

චුටි කතාවක් මතක් වුනා. කෂ්ටිය අහල ඇතිනෙ සමහරු ඔය හිරි අරින්න, ඈනුන් අරින්න එහෙම අත් දෙක උඩට ඉස්සුවම උරහිස් ජොයින්ට් එකද කොහෙද පැනල අත් දෙක හරි, එකක් හරි, ආපහු පහල දාන්න බැරුව ලොක් වෙනව කියල. එහෙම සීන් එකක් වෙලා මං වැඩ කොරපු තැන කෙනෙක්ව අල්ලපු වැටේ තියෙන, ඉස්පිටිතාලෙට (අලව්වෙ) අරන් ගියා. එතන හිටියෙ, ලස්සන තරුණ දොස්තර නෝන කෙනෙක්, එයා ෆුල් ට්‍රය් එකක් දුන්න ලොක් එක ගලෝල බුවාගෙ අත් දෙක පහලට දාන්න…. ම්හු….. හරි ගියෙම නැහැ. ඔතනට ආපු ඇටෙන්ඩන්ට් පොරක් කලේ මොකද දන්නවද? ලෙඩාගෙ සරම කැඩුව. නෝ කතා, නෝ හිනා, අරූගෙ ලොක් නිකම්ම ගැලවිලා අත් දෙකම පහලට දාල සරම අල්ල ගත්ත.

ලියා එව්වේ - Observer (http://observer-nireekshaka-observer.blogspot.com)

Tuesday, July 5, 2011

ගමෙන් ගෙනාපු සිතුවිලි

මං හවසට කොළඹ අහස දිහා බලාගෙන ඉන්නවා. එත් මොකද්දෝ අඩුවක්. වෙලාවකට හිතෙනවා මේ වලාකුලුත් හරියට කොළඹ වගේම අමුතුයි කියල. ගමේ වලාකුළු වලට හැප්පෙන්න දොඩමලු වෙන්න ඕන තරම් කඳු තිබ්බ. එකට මෙහෙ වලාකුළු, මේ වලාකුළු වලට අරමුණක් නෑ. ඔහේ පාවෙනවා විතරයි. ඒවිතරක් නෙමේ ඉරත් එහෙමයි. කොළඹ ඉර දන්නේ නෑ කවදාවත් ගමේදී වගේ වගේ ලස්සනට බැහැල යන්න. ගමේදී ඉර බැහැල යද්දී මුළු අහසම ලස්සන පාටක් ගන්නවා. රත්තරන් පාට ගැහුන ඉර එලිය වෙල්යායට වැටෙනවා. ගමේදී වගේ අහසේ තරු මාත් එක එක්ක කතා කරන්නේ නෑ. මතක් කරන්නෙත් හිතට වද දෙන සිතුවිලි. ගමේදී හඬ එලියට ඔයාට වැටිලා රිදී පාට රටා මවනවා. කොළඹදී හද එළියත් අකිකරුයි.

ලියා එව්වේ - නුවන්තා දිල්හානි

Monday, July 4, 2011

අසාමාන්‍ය ආදර කතා

බලපන් අද කාලේ තියන නව කතා, කෙටි කතා, නාට්ටි ඒ මදිවට බ්ලොග් හැම ඒවයේම තියන ආදර කතා හරිම සාමාන්‍යයයි. හැම එකේම කොල්ලයි කෙල්ලයි දුෂඨයයි. කොල්ලා දුප්පත් නම් කෙල්ලෙ පෝසත් කෙල්ල පෝසත් නම් කොල්ලා දුප්පත්. ඒ මොකවත්ම නැත්තම් අඩුම ගානේ පවුල් දෙක මැච් වෙන්නේ නෑ. හැබැයි කොහොම වුනත් අන්තිමට එකතු වෙන්නේ ඒ කොල්ලයි කෙල්ලයිම තමයි.

ඉතිං බං එහෙනම් ඒ කතා සාමාන්‍ය ආදර කතා නෙමෙයි. ඒවා හරිම අසාමාන්‍ය ආදර කතා. පොඩ්ඩක් හිතලා බලපන් අපි දන්න ඇත්ත ආදර කතා වල කවදද පොහොසත් කෙල්ලෝ දුප්පත් කොල්ලන්ට කැමති වුනේ? පොහොසත් කොල්ලෝ කවදද දුප්පත් කෙල්ලන්ට සෙට් වුනේ? ඉතිං අද කාලේ තියෙන්නේ හරිම අසාමාන්‍ය ආදර කතා බං!

ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

Sunday, July 3, 2011

පාඩම

විශ්ව විද්‍යාලෙදී
කියලා දෙන දේවල් තේරෙන්නෙ නෑ, අද කරපුවා ගෙදර ගිහින් කරනවාමයි.

ගෙදරට යන පාර අතරමගදී
මහන්සියි. ටිකක් ඉඳලා කරනවා.

ගෙදරදී
ආපු ගමන් පාඩම් කරන්න බෑනේ. විනාඩි දහයක්, එෆ් බී පැත්තෙ යමු.
හැබැයි චැට් බෑ, ඊට පස්සෙ පාඩම්,..

ෆේස්බුකියෙදි
බලමු පොඩ්ඩක් ඔන්ලයින් කට්ටියව.. ඒත් චැට් බෑ,

චැට් එකේ
හායි, කෑවද,
පුංචි අම්මගේ දූ.....
එහෙමද?..

බෑ බෑ මොකක්ද මේ විකාරේ. අටයි, කාලාම පාඩම් කරනවා.

කෑම කාලා ඇවිත්
අරයගේ ෆොටෝ එක බලන්න බැරි වුනානේ, ෆේස්බුක් ටිකා....ක්

ආයෙමත් චැට්
හායි, දන්නවද වැඩක්..
අරමළු... මෙහෙමළු.. බායි...

හපොයි.. 10යි, දැන් මොන පාඩම්ද?
මේක කරන්න බෑ.. මෙහෙම හිටියොත්.....
නෑ.... නෑ .....
හෙට ඉදන් නම් අනිවාර්යෙන් කරනවාමයි.


ලියා එව්වේ - ප්‍රාර්ථනා(http://prarthana-nimnaya.blogspot.com/)

Saturday, July 2, 2011

කරුණාව

ආරාධනාවක් බාරදෙන්න ආපු පිරිස තරඟයට වගේ ලොක්කාගේ ගුණ වරුණාව. බිත්තියේ
පේළියට එල්ලෙන පිංතූර රාමුවල ලොක්කා එක්ක අහිංසක පෙනුමැති සත්තු
කොටුවෙලා, ඊට පහළින් ලියා ඇති වචන පේළි එකිනෙක කියවමින් ඉන්න අතර...
ෂ්... ෂ්... සද්දය ඇහුනේ.

පියන් මහත්තයා කෘමීනාශක කෑන් එකක් අතේ තියාගෙනම උඩු බැලිව වැටිලා දඟළන
කැරපොත්තා දිහා බලාගෙන උන්නේ වීරයෙක් වගේ. පිළිගැනීමේ නිලධාරිනිය ඔළුව
බදාගෙන දුවගෙන ආවේ "අයියෝ සේන මොනාද මේ කලේ... ලොකු මහත්තයා සතෙකුටවත්
හිංසා කරනවට කැමැති නැහැ කියලා ඔයා හොඳටම දන්නවනේ..."

"න්...ඈ... නෝනා"

"දැන් කතා වැඩක් නෑ. එයර් ෆ්‍රෙෂ්නර් ටිකක් ගහලා දාන්න ඔය ජරා ගඳ යන්නත් එක්කලා."

ඒවුනාට සතාව දැක්කා නම් කන්න හදන්නේ මාව නොවැ... නොකිව්වත් සේනට හිතෙන්නැති.

ලියා එව්වේ - ගල්මල්-Coral (http://galmal.blogspot.com/)

Friday, July 1, 2011

පව ගෙවීම

"මචං කිනා, ගිවියා උඹලා දෙන්නට කියන්න මම මේකිට බොක්කෙන්ම මගෙ හදවතෙන්ම ආදරේ කලා, ඒත් බලපං බං මාව දාල් යන්න තරම් මෙයා නපුරු උනා බං, කොල්ලො මම මෙයාට බොරු කියල ඇති හැබැයි මම වෙන කෙල්ලෙක් පස්සෙ ගියේ නෑ, මට එකට දහයක් ගන්න පුලුවන්, මචං සල්ලි ලොකු නෑ බං, මනුස්සකම වටිනවා, මම ඒක දන්නවා ඇමතිකෙනෙක්ගෙ පුතෙක් කියල මම පාරේ ගිය එවුන්ට සහෝදර ප්‍රේමෙ නොපෙන්වලා තියනවද? අර විද්දට මම කුනුහරුපෙන් බැනලා තියනවා, බලපන් මචං මට තියෙන්නෙ ඔච්චරයි, යාලුවො සෙට් එකුයි, ඈ බොල මහරජා නෙමේ යකා ආවත් මම යන්නෑ, මට යන්නත් බෑ,

කියපල්ලා මම කරපු වැරැද්ද????

මමයි බෝතලෙයි<3!"

මිනිහා කිව්වෙ, පව් තාම ඔන්ලයින් නෑ

ලියා එව්වේ - මලිත් කුෂාන් (http://www.goldzone-tc.blogspot.com/)

Thursday, June 30, 2011

අපි ඔක්කොම පිස්සෝ!

ගොඩක් උන්ට තියෙන්නේ ලොකු ලොක්කෙක් සල්ලි කාරයෙක් වෙන පිස්සුව. හැබැයි ගොඩක් උන්ට කිව්වට මම හිතන්නේ හැමෝටම තියෙන්නේ ඒ පිස්සුව. අන්තිමට ඒ පිස්සුව පස්සෙම පන්නගෙන ගිහිල්ලා කොහොම හරි මොක් හරි රස්සාවක් හොයා ගත්තා කියමුකෝ ඊළඟට එන්නේ වාහනයක් ගන්න ගෙයක් හදන පිස්සුව.
එක එක උන්ට එක එක පිස්සු!

සමහර වෙලාවට කාගෙන් හරි ඇහුවාම උඹ ඒකිත් එක්ක යාළුද කියලා ඌ අහනවා උඹට පිස්සුද කියලා. එහෙම අහපු එකා මෙන්න ටික දවසකින් ඒකිත් එක්ක යාළුවෙලා. එවෙලට ගිහින් උගෙන් අහන්න හිතෙනවා උඹට පිස්සුද කියලා.

බලාගෙන ගියාම කිසිම ගැලපීමක් නැති කිසිම තේරුමක් නැති මේ ලිපිය ලියන මමයි කිසිම තේරුමක් දන්නේ නැතිව මේක කියවන ඔබයි අපි ඔක්කොම පිස්සෝ.

ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

Wednesday, June 29, 2011

මෙ ඔබ අමතන්නෙ ***** නගර සභාවයි

බ්‍රම්..... බෘම්..... (වාහනයක හඩ ඇසෙයි)
කන හිරි වට්ටන පීකර් හඩක්ද ඇසෙයි (ලාවට)

මෙ ඔබ අමතන්නෙ ***** නගරසභාවෙ ප්‍රාචාරක අංශයයි (ලාවට ඇසේ)
ඉදිරි සතිය තුල පැවෙත්වෙන ජාතික දියවැඩියා දිනය නිමිත්තෙන් නොමිලේ පැවැත්වෙන (මහ හඩින් ඇසේ)
දියවැඩියා පරික්ෂනයට සහභාගි විමට ඔබටත් අවස්ථා.... (ආයෙත් ලාවට ඇසේ)

සහභාගිවිම සදහා ******************************* (ඇසෙන්නේම නැත)

ඔන්න ඔහොමයි අපෙ පැත්තෙ නගර සහාවෙ ප්‍රචාරක අංශේ
සම්පුර්ණ විස්තරය අසා ගැනිම අවශ්‍ය නම් වහාම යතුරු පැදියක නැග ප්‍රචාරක අංශය හඹා යන්න...
අමතක නොකර හිස් ආවරණයද පලදින්න... මන්ද ප්‍රචාරක අංශය ඉතා වේගවත්ය....
ගමේ එක කොනකට මුල් වචන ටිකද අනෙක් කොනට අවසානයද ප්‍රචාරය කරන නගර සභාව මාරයි!

ඔන්න ඔහොමයි ඉතිං නගර සභාවෙ පරචාරක අංශේ දැනුම


ලියා එව්වේ - තොප්පියා (www.thoppiya.info)

Tuesday, June 28, 2011

නොම්මරේ

මචන්,
ඈ?
අඩෝ අලුත් නොම්මරයක් හම්බ වුනා,
කවුද දුන්නේ?
මට කවීශයා දුන්නේ,
ඉතින්?
වාසනාවක් තිබ්බොත් විතරයි ගන්න පුලුවන්,
ඒ කිව්වේ,
කෝ වේටින් වැටෙනවා,
මට පැහැදිලි මදි,
ඒ තරමට කෝල් ඒකිට,
උඹ කතා කලාද?
ඔව් 23පාරක් වේටින් වැටුනට පස්සේ 24වෙනි පාර ආන්සර් කලා,
ඉතින්?
ඉතින් තමා පට්ට වොයිස් එක මචන් සෙක්සි පෙරෙනවා,
මටත් දීපන් කෝ නොම්මරේ
ආ 071xxxxx25.

මේ ඒක නෙවී,
ඔව්?
ඊයේ මට කවීශයා කතා කලා.., ඌ මොනවත් කිව්වේ නැද්ද?
නෑ?
මම අලුතින් ෆෝන් එකකුයි සිම් එකකුයි ගත්තා,
කෝ,
මේ..!
මේකේ වොයිස් චෙන්ජින් එහෙමත් තියෙනවා, චයිනීස් ඩුවල් සිම් එකක්.
අහ්!
දීපන් නොම්මරේ මම සෙව් කරගන්න.
ආ ලියාගනින්..,

071xxxxx25!

*කනවා ඈ..?

ලියා එව්වේ - ලිෂාන් පුවක්ඕවිට (http://lishwish.blogspot.com)

Saturday, June 25, 2011

කුකරි ලෙසන්

“මචං අරුණ කොල් එකක්”

මම දුරකතනය ළගට ගියා එහා පැත්තේ මගේ අසල්වැසියා.

“ඔව් මිස්ටර් පෙරේරා ඇයි හද්ස්සියේ”

“මිස්ටර් අරුණ කලබල වෙන්න එපා ඔයාගේ ගේ ගිනි අරන්”

“මොනවා...... අමාට මොකද එයා හොදින්ද..”

“අමා හොදින්.. කට්ටිය ඇවිත් නිවනවා...”

“මම දැන්ම එන්නම්”

වරු නිවාඩුවක් අරන් මගේ මොටර් බයිසිකලේට නැගුනා. මොහොතකින් දුම් ජාලාවකින් වැසුණු අවුරුදු ගණනක් තනිවම වෙහෙසිලා හදාගත්ත මගේ ගෙපැල ලග.

“අනේ අරුණ...” හැඩුම්බර මුහුනින් ආවේ මගේ බිරිද..

“අමා ඔයා හොදින් නේද...මොකක්ද සිද්ද වුනේ..”

“අනේ අරුණ.. හැමදාමත් ඔයා උයන නිසා මම හිතුවා අද උයන්න.. ටී වී එකේ ලයිව් කුකින් සෙග්මන්ට් ඒකක් බලාගනෙ උයද්දි... ඇඩ්වර්ටීස්මන්ට් යන අතරේ ගෑස් එක පිපිරුවා..

“හපොයි දෙවියනේ” මට කියවුනා


ලියා එව්වේ - සුදු හංසී (http://kaveej.blogspot.com/)

Wednesday, June 22, 2011

වෙඩි තැබීම

මහසෙනගක් රැස්වෙලා. නඩුවක්.. කාගෙද? පහුගිය දිනක නගරේ මරලා දාලා තිබුණු නගරාධිපතිතුමාගේ මිනීමරුවා අහුවෙලා. අලුත් නගරාධිපති නඩුව අහනවා. මහා සෙනගක් බලන් ඉන්නවා.

නගරාධිපති - උඹලම නේද හිටපු නගරාධිපති තුමාව පත්කරේ. මට මතකයි තෝ අන්තිම දවසේ එතුමා කරතියාගෙනත් ගියා අපේ එකා දින්නා කිය කිය.. බොරුද මම කියන්නේ.


මිනීමරුවා: ඇත්ත.. මම ඌ කරතියාගෙන ගියේ අපි වගේ මිනිස්සුන් වෙනුවෙන්...


නගරාධිපති: එතකොට එහෙම පත්කරපු එතුමා මරලා දැම්මේ මොකටද?


මිනීමරුවා: ...ඒත් මිනිස්සු වෙනුවෙන්


නගරාධිපති: එහෙමද?.. ආරක්ෂකයනි මුට ප්‍රසිද්ධියේ වෙඩි තියන්න අණ කරනවා


මිනීමරුවා - හ්ම්ම්.. අපි මැරුණේ ටික කාලෙකට කලින්.. දැන් වෙඩි තියපල්ලා.. ඒත් හිටපු නගරාධිපතියා අපිට වෙඩි තිව්වේ කලින්.. දැන් මැරෙන්න දෙයක් ඉතුරුවෙලා නෑ අපිට


ලියා එව්වේ - Janaranga Dewasurendra (http://www.hearttoheartsrilanka.blogspot.com/)

Tuesday, June 21, 2011

විප්ලවය? බම්බුව තමයි!

කුමාරයි මමයි හෝල්ට් එක මගඇරලා මුල්ලකට ගියේ තිත තියපු භාණ්ඩයක් එක්ක.

අපි නිහඬවම ඒ ආශ්වාදය වින්දා.

ප්‍රොෆෙෂනල් හිඟන ඇඳුමක් ඇඳගෙන වයසක මනුස්සයෙක් වෙව්ලමින් ආවා...

"අනේ මහත්තයෝ.. තේ එකක් බොන්න කීයක් හරි..."

ඒ මිනිහ අත පෑවා.

මම අහක බලාගත්තා.

කුමාර සාක්කුවෙන් විස්සක් ඇදල අරන් ඒ මිනිහට දුන්නා. මිනිහ කුමාරට වැඳල යන්න ගියා.

"උඹට පිස්සුද බං?" මම ඇහුවා.

"ඇයි?"

"උන්ට ඔහොම කලාම තවත් හිඟන්නු වැඩි වෙනවා."

"ඉතිං?"

"ඉතිං කියන්නේ? අපි හිඟන්නු නැති සමාජයක් හදන්නයි ඕන..."

"බම්බුව තමයි...!!!"

කුමාර කිණ්ඩියට හිනා වුණා.

"උඹගෙ ඔය හිඟන්නු නැති සමාජෙ හැදෙනකල් අර මනුස්සය බඩගින්නෙ ඉන්නද...?"

කුමාර විස්සෙ කොටේ විසි කලා.

"උන්ට ඕන අද දවසෙ ජීවත් වෙන්න"



ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Monday, June 20, 2011

යෙහෙළියගේ මංගල්‍ය දා

"යමු අපිත් එක්කම"

හැඩකාර තරුණයකුගෙන් ඔහුගේ වාහනයේම වෙඩින් හෝල් එකට යන්නට අපටත් ආරධනා ලැබුණා.
දෙපාරක් නොහිතපු මධු මටත් කලින් කාරයට ගොඩ උණා. ධාරණිපාත වරුසාවේ මාර්ග නීති නොතකා අසීලාචාර වේගයෙන් රථය ඉදිරියට ඇදුනේ මගේ ඇගේ ලේ වතුර කරමින්.....

"මචං කෝකටත් සීට් බෙල්ට දාගමු, යන විදිහට අවසානය හිතා ගන්නවත් බෑ"

දෙතුන් වතාවක් දෙපැත්තට වැදුණු මාවත්, එකපාරටම ගහපු බ්‍රේක් නිසා ඩැෂ් බෝඩ් එකේ වදින්නට ගිය ආත්තම්මාත් නිසා මම කිව්වා.

"මළත් මොකෝ මෙවන් කොල්ලෙක් ලඟ"

මධු බලන් හිටියෙම රියදුරු අසුනෙ වුන් තරුණයා දිහාමයි.

ඉදිරියෙන් ගිය වෙඩින් කාර් එකෙන් හදිස්සියෙම බැසගත් පුන්චි කෙළි පැටියෙක් ලඟ අපේ කාර් එක නතර උණා.

"තාත්තී අම්මිගෙන් හදිස්සි කෝල් එකක්ලු"


ලියා එව්වේ - අහිංසකි (http://ahinsaki.blogspot.com/)

Sunday, June 19, 2011

අනතුර

තවත් එක දවසක්.. ඒත් අද මට ඒ මුහුණ දකින්න බැරි උනොත් ආයි සති ගානකට බලන්න වෙන්නේ නැහැ.. සුපුරුදු විදියට බස් නැවතුමට පල්ලම් බහිද්දි ඈතින් පෙණුනේ ඇයව.. මම දකින්න ආසම කරන ඒ සුන්දර මුහුණ... මාස ගනනක් කියා ගන්න බැරිව හිතේ තෙරපෙන හැඟුම් සමුදාය එක පාරට හිතට එබිකම් කලා වගේ මම ඒ මුහුණ දිහා බලාගෙන පාර පැන්නා..

චරා...ස්...

මගේ කණ ලඟින් ඇහුණු බ්රේක් සද්දෙට ගැස්සිලා මම වටපිට බැලුවා කාර් එකේ රියැදුරා කිසි දෙයක් හිතා ගන්න බැරිව මා දිහාම බලා ඉදැද්දි.. පිටිපස්සෙන් ආපු බයිසිකලේ තරුණයා සෙනඟ මැද මටයි කාර් රියැදුරාටයි බැනවැදුනා. ආපහු පාරේ අනිත් පැත්තට ඇවිත් බලද්දි ඇය ලේන්සුවෙන් මුහුණ වහගෙන හොරෙන් හිනාවෙනවා.

ලියා එව්වේ - සුදු හංසී (http://kaveej.blogspot.com/)

Saturday, June 18, 2011

රිදවීමක්ද?

ඇයි ඔයා කතා නොකරන්නෙ..
අනේ කතා කරන්න
ඔයාගෙ කට හඬ ඇහෙන්නෙ නැතුව
මට නින්ද යන්නෙ නෑ..
අනේ එක පාරක්...
මට ගුඩ් නයිට්,
හොඳට නිදාගන්න කියල කියන්න
මට ඒ ඇති..
දැනගනීවි
ඔව් සේරම දැනගනීවි
ඒකට කමක් නෑ..
කවදහරි කියන්න වෙනවනෙ..
ලෝකයාගෙන් හංගන්න බෑනෙ..
කමක් නෑ
ඒ හැම දෙයින්ම කමක් නෑ..
එක පාරක් ඔයා මගෙත් එක්ක..
වචනයක් කතාකරන්න...
ඇයි කතා නොකරන්නෙ..
මම ඔයා කියපු දේ
ඇහුවෙ නැති නිසාද..
ඉතිං දෙයියනේ...
ඔයා දන්නවනෙ හේතුව
ඇයි මේ තවත් කේන්තියෙන්..
ඔයා දන්නව
ඔයා තරහින් ඉන්නකොට
මට දුකයි කියල..
මම නිදියන් නෑ කියල..
ඉතිං
ඇයි මට මෙහෙම
රිද්දන්නෙ කියන්න..
මම මේ තරම්ම
ඔයාට ආදරේ කරන නිසාද...


ලියා එව්වේ - හිම කුමාරි (http://himakumari.blogspot.com/)

Friday, June 17, 2011

නුඹ

මට ඔයා නැතිව ජීවත් වෙන්න පුළුවනි.
නමුත් ඒ ජීවිතේ නිකම්ම නිකම් ජීවිතයක්.
හරියට ට්වයිලයිට් පොතේ එන වැම්පයර් කෙනෙක් වගේ.
නුඹ තමයි මගේ ආත්මය.
මතකද එදා ඔයා මට කිව්වා, මේ සසර පවතිනතුරු කවදාවත් වෙන්වී යන්නේ නෑ කියල.
ඒ වචන එහෙමමයි. එත් ඔයා අද මගෙ ළඟ නෑ.
රුපියල් සත පසුපස හඹා යන ලෝකයේ...
සැබෑ ආදරයක් පවතිනු ඇතැයි මා කෙදිනකවත් සිතුවේ නෑ...
නමුත් කොහේදෝ සිටන් ඇවිත් නුඹ ඒ සිතුවිලි වෙනස් කළා.
නුඹට මතකද ඒ කාලය ?
සීමා වළලු වලින් මිදී ගතකල ඒ සුමිහිරි මොහොතවල් කවදා යලි විඳින්නද?
කරුණාකරලා මට මගේ ආත්මය ආපහු දෙන්න.
නැතිනම් ඔයා ගිය පාරේම මාත් එනවා...
ඒ දුම්රියටම යට වෙන්න...

ලියා එව්වේ - ලකී (http://sinhalarata.tk/)

Thursday, June 16, 2011

එයා ඇත්තටම මට ගැලපෙන්නේ නැද්ද?

නෑ නෑ එයා මට ගැලපෙන්නේ නෑ.

හැඩරුව, හැසිරීම ඒ කිසි දෙයක් ගැලපෙන්නේ නෑ. ඒ ඇරත් එයා ඉංග්‍රීසි පැටර්න් එකට හැදුනු කෙල්ලෙක්. මම කැමති ගමේ තාලෙට හැදුනු කෙල්ලන්ට. එයා එච්චර ලස්සනත් නෑ. එයා කෙට්ටුම කෙට්ටුයි මම කැමති ටිකක් ගැඟපත තියන කෙල්ලන්ට. ඒ නිසා එයා මට ගැලපෙන්නෙම නෑ.

එයා අඳීන පළදින විදිහටත් මම කැමති නෑ. හැමදෙම කරන්නේ ඉංග්‍රීසි පැටර්න් එකටමයි. නෑ නෑ නෑ මට එයා පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නෑ. මම හොයන්නේ ඒ වගේ කෙල්ලෙක් නෙමෙයි.

ඒත් මොන කරුමයක්ද මන්දා එයා මට පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නැති වෙලත් එයා කොල්ලෙක් එක්ක යාළු වුනා කිව්ව වෙලේ ඉඳන් මගේ හිතේ මොකකදෝ ලොකූ වේදනාවක් තියනවා වගේ දැනෙන්නේ ඇයිද මන්දා.

ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

Wednesday, June 15, 2011

පුංචි ගෙඹි පැටව්

උදේ ඉදන් වැටුණු මහ වැස්ස අපේ හමුවට බාධාවක් උනේ නැහැ. කඳුකර පාරේ ඔයාගේ
අතේ එල්ලීගෙන ඇවිදන් යෑම මට හැමදාමත් සුන්දර අත්දැකීමක්. අපි ඇවිදන් ගියේ
කඳු මුදුනේ තියෙන සුන්දර මිටියාවතට.. කහ මල් වලින් වැහුණු කොළපාට තණ
නිල්ලේ වාඩි වෙලා මුමුනන්න.

තවතින්න.. අර... බලන්න..

තෙත් මාවතේ එක් තැනක පේලිය පැනගෙන එක චූටි ගෙඹි පැටව් ටිකක්.

ම‍ට ඊළඟ ආත්මේ මේ වගේ නිදහසේ පැන පැන යන ගෙඹි පැටියෙක් වෙන්න ඔනි..

සෙන්ටිමීටරයක් තරම් පොඩි ඒ පැටව් දිහා බලන් ඉන්න ගමන් ඔයා කීවා..

මාත් එහෙනම් ගෙම්බියෙක් වෙනවා...

අපිව පහුකරන් ගිය මොන්ටේරෝ රිය වංගුවෙන් හැරිලා නොපෙනී යද්දි.. මියගිය
අසරණ ගෙඹි පැටවුන් දිහා බලාගෙන ඔයා ලොකු හුස්මක් ගත්තා.

ලියා එව්වේ - සුදු හංසී (http://kaveej.blogspot.com/)

Tuesday, June 14, 2011

එකම හදවතක් තුල...

සමහරක් දවස්වලට අපි පැයක් දෙකක් කියවනව. සමහර දවස්වලට විනාඩි පහක් කියවන්න තරංවත් දේවල් අපට නෑ.

"අපි දෙන්නගෙ ලෝකය පුංචි වෙලා..."

ඔයාගෙන් මැසිවිල්ලක්...

"නෑ... අපේ ලෝකෙ ස්ථායී නෑ... ඒක ලොකු වෙනව. ආයෙ පොඩි වෙනව...."

මම හිත නොරිදවගෙන සංවාදය පවත්වගන්න හේතු ගේනව...

"කවදහරි නැතිම වෙලා යයිද?"

"නැතිම වෙලා ගියත් ආයෙ ඇති වෙයි..."

"නැති වුණොත්?"

"ආයෙ ඇති වෙනකල් ඉමු."

"හ්ම්..."

අපේ ලෝකයට භූ කම්පන එන්න වගේ තියෙනකොට මම හැම වෙලේම දාර්ශණික කතාවක් දාල ඒක මගඇරියා.

ඒත් හැමදාම ඒක කරගෙන යන්න මට බැරි වුණා.

අන්තිමේ මට උදව්වට ආවෙ හදවතක්...

“ඔයා දන්නවද? අපි ඉන්නෙ එකම හදවතක් ඇතුලෙ.... දන්නවනෙ හදවත හැකිලෙන දිගඇරෙන ස්ථායී නැති වස්තුවක් කියල.”


ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Monday, June 13, 2011

අහේතුක චෝදනා

ආ මම හම්බ වෙනකම් හිටියේ...
ඇයි මොනා හරි කියන්න තියෙනවාද?
තමුන් ඕනවට වඩා උඩ පනින්න ලෑස්ති වෙන්න එපා, වැඩිය නැටුවොත් එහෙම කරනවා හොද වැඩක්..
දැන් මම මොකක්ද කලේ?
නිකම් බොරුවට ලොක්කා වෙන්න හදන්න එපා. දගලන්නේ නැතිව ඉන්නවා...
දැන් කවද්ද මම එහෙම කලේ?
අනේ මේ නිකම් බොරුවට කියවන්නේ නැතිව ඉන්නවා. තමුන්ට වැඩිය උඩ පනින්න තියන්නේ නෑ, පරිස්සම් වෙලා ඉන්නවා..
පිස්සුද?
මේ විකාර නැතිව ඉන්නවා..
මම බලාගන්නම් තමුන් ගැන...
මගෙත් එක්ක එල්ලී එල්ලී එන්නේ මම මොනවා කලාටද?
තමුන් බබා.. විකාර කියවන්නේ නැතිව ඉන්නවා.. මම ආයේ කියන්නේ නෑ..
අනේ මන්දා මොනාද මේ කියලා
අහේතුක චෝදනා අබියස මම අන්දමන්ද වුයෙමි. කිසිත් නොකර චෝදනාවන්ට ලක්වුයෙමි.

ලියා එව්වේ - හසී (http://hashikahettige.blogspot.com/)

Sunday, June 12, 2011

හිඟන සීයා

හැමදාමත් පාර අද්දර තැපැල් කන්තෝරුව අසල වාඩි වී සිටිනා හිඟන සීයා දක්නට නොසිටියේය. සති කීපයක් එය ඔහුගේ නවාතැන විය. ටිකක් විපරමින් වට පිට බැලුවෙමි. හොඳින් ඇඳ පැළඳ ගත් දෙදෙනකු ඔහු ද රැගෙන දුම්රියපළ වෙත යනු දුටුවෙමි. මට දුකක් දැනුණි.

මම හැමදාමත් කොච්චියෙන් බැස එන විට කීයක් හෝ මුදලක් ඔහු අතට දී ඒමට පුරුදු වී සිටියෙමි. එය ගත් ඔහු "දුවට දෙවි පිහිටයි" කියා ආශීර්වාද කළේය. මා අත මුදල් නැතිදාට සිනහවකින් සංග්‍රහ කිරීමට අමතක නොකළෙමි.

"අර මෙතන හිටපු හිඟන මිනිහාගේ පුතා ඒ මනුස්සයාව ගෙදර එක්කං ගියා." එතැන සිටි මිනිසකු කියනා හඬ මට ඇසුණි.

ඔහු යන දෙස බලා සිටි මට විශාල සතුටක් දැනුණි.

ලියා එව්වේ - තරුනිසළයි (http://tharunisalai.blogspot.com/)

Saturday, June 11, 2011

සුදු රෝස මල් මිට

කන්‍යාරාමයේ සයිප්‍රස් ගස් අතරින් මතුවුණු ඒ තෙ‍ත ඇස් රහසින් රසවිඳ අවසන මම ඇයට සමාන්තරව ගමන් කලෙමි.
"ජොඈන් ඇයි කලබලෙන් වගේ"
"හෙට පල්ලියේ විෂේශ පූජාවක් තියෙනවා ඒකට ලැහැස්ති වෙන්න ඔනි"
"පූජාවට මමත් එන්නද?"
"හා" ඒ තෙත ඇස් සිනාසුනි
"පූජාවෙන් පස්සේ මට කතා කරන්න ඔනි.. ඔයා ආසම මල කියන්න"
"සුදු රෝස"

ඇයට සමුදී පසුදින දේවමෙහෙයට නුවුම් රෝස මල් මිටක් ඇතැතිව ගියෙමි. කෙසේ හෝ සිතේ වු සෙනෙහස ඇයට අද කිව යුතුමය.

ගීතිකා නද මැදින් පල්ලියේ උස් දොරපියන් අතරින් ගොස් පසුපස අසුන් ගතිමි.. මම පල්ලියකට ආ පළමු දිනය අදයි.

රෝස මල් මිට ගිලිහි වැටුණි.. කන්‍යා සොයුරියක් ලෙසින් සැරසී අල්තාරය අසල ඇය දෙවියන් යදිමින් උන්නාය..

ලියා එව්වේ - සුදු හංසී (http://kaveej.blogspot.com/)

Friday, June 10, 2011

මට පිස්සු නෑ....


පාර්ක් එකේ අපි උන්නෙ අපේම ලෝකයක..
ගාර්ඩ් අයියලා කොච්චර බැන්නත්
අපි අපේ ලෝකෙක තනිවෙලා උන්නෙ
මේ ලොකේ අපි දෙන්නාගේ විතරක් නම්
කාගෙන් වත් කරදරයක් නෑනේ කියලා...
ඔයා හැමදාම කියන්නෙ ගල් බංකුව උඩට වෙලා
මං ඔයාගේ තොල් පෙති වල රස බැලුවාම...
ඒ උණුසුම් හාදු වලට ඔයත් හරි ආසාවෙන් පණ පෙව්වා..
එත් ලැජ්ජාවට ඇඹරෙනවා වල් කොල්ලා කියලා..

හික් හික්.. හරිම සුන්දරයි නේද ඒ අතීතය?
ඔයාගේ ඇඳුම මාරම ලස්සනයි අද...
පහන් එළියට ඇඳුම දිලිසෙනවා
මට හිතෙනවා දැන් ඔයාගේ දුඹුරු පාට තොල් පෙත්තෙ
රස බලන්න වෙනදා වගේම..
ඒත් කොහොම කරන්නද ?
එව්වා ෆෝමලිං රහ ඇති
මිනිස්සු හිතයි මට පිස්සු කියලා..
නෑ මට පිස්සු නෑ...!



ලියා එව්වේ - බනියා (http://freeanushka.blogspot.com/)

Thursday, June 9, 2011

google +1

දන්නවනේ google +1 ගැන. නොදන්නවනම් මේ කියන්න යන්නෙ ‍ඒක ගැන. google +1 කියන්නෙ අපට අන්තර්ජාලෙ භාවිතා කරන හැමදේකදිම පාවිච්චි කරන්න පුළුවන් ලකුණු දීමේ ක්‍රමයක්. ඒ කියන්නෙ google +1 පාවිච්චි කරන අඩවියක එහෙ මෙහෙ කැරකෙද්දි බොහොම හොඳ තත්ත්වයේ නිෂ්පාදනයක් අපට හම්බ වුණොත් අපට පුළුවන් ඒකට +1 එකක් එකතු කරන්න. එතකොට ඒ නිෂ්පාදනයට ඒක තියෙන ස්ථානයේදීම ලකුණක් එකතු වෙනවා. හරියට අර ‍ෆේස් බුක් එකේ ලයික් එක වගේ.

ඒ එක්කම අපි එහෙම ලකුණු දීපු තැන් අපේ google profile එකේ පෙන්නනවා. එතකොට නිතරම අපේ profile එක ඇසුරු කරන කෙනෙක්ට අපි ලකුණු දුන්නේ මොනවටද කියල දැනගන්නත් පුළුවන්.

හැමෝටම gmail ගිණුමක් තියෙන නිසා වැඩේ නැගල යයි.


ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Wednesday, June 8, 2011

ආයෙ නම් එන්න එපා කවදාවත්....

ආදරේ කියන්නෙ ජීවිතේ එකදෙයක් විතරයි කියල කියා දුන්නෙ ඔයයි මට..

එත් ඔයා දන්නෙ නැහැ ඒ දෙයට මම මගේ ජීවිතේ තුල ගොඩාක් ලොකු වටිනකමක් දීල තියන බව...

අදටත් ඔයා ඒක දන්නෙ නැහැ වගේම කවදාවත් ඔයාට ඒක තේරෙණ එකකුත් නැහැ…

මගේ ජීවිතේ සතුට ඔයා කියල කිව්වම ඔයා පුදුම වුනා මතකයි... පුදුම වෙන්න දෙයක් නෑ මොකද මගේ හිත මං වෙනකාටවත් දීල තිබුනෙ නැහැනෙ ඔයා වගේ...

ඔයා ඔයාගෙ අතීතයේ ජීවත් වෙනගමන් මගේ ජීවිතේට ළං උනේ ඇයි...? මගේ ආදරේ විහිලුවට ගත්තෙ ඇයි?
කමක් නෑ මම හැමදාම කලා වගේ ඔයා වෙනුවෙන් ඒ හැම දුකක්ම අද විඳ දරා ගන්නම්...

මොකද ඔයා කියන විදියට මට ඇත්තටම පිස්සුනෙ නේද..?



ලියා එව්වේ - දීපිකා කුමාරි (http://paatapaatasithiwili.blogspot.com/)

Tuesday, June 7, 2011

ෆොටෝෂොප් වල ඖෂධීය සාරය

අක්කා ෆාමසියට ආවා. සුදුවෙන ක්‍රීම් එකක් ඉල්ලුවා. රුපියල් තුන්දාහෙ ඉඳන් රුපියල් හැට වෙනකන් ක්‍රීම් වර්ග. අක්කාට පිස්සු වගේ. හැබැයි ඉතින් වැඩිපුර ජනප්‍රිය එකසිය විසිපහේ ක්‍රීම් එකනෙ. ඉන්ටවිව් එකකින් තේරෙන්න, නිළියක් වෙන්න, බැංකුවෙන් ඉක්මනට වැඩක් කරගන්න, නිවේදකයෙක් වෙන්න, කසාදයක් බඳින්න, මේ හැමදේටම හොඳම දේ තමයි ඒ ක්‍රීම් එක.

අක්කාගෙ එකම හීනෙත් නිළියක් වෙන එකනෙ. ඉතින් අක්කාත් ගත්තා ක්‍රීම් එකක්.

සීතා අක්කගෙ ලොකු මල්ලි හොඳ ඇඩ් කොම්පැණියක ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්. එයාට ආවා හදන්න කියලා පත්තරේට ඇඩ් එකක්. මේ අර අක්කා ගාන ක්‍රීම් එකනෙ. එකසිය විසිපහේ ක්‍රීම් එකට පියවරෙන් පියවර සුදු කරන්න එකම නිළියව.

බැලින්නම් මේ සුදු වෙන්නෙ ඖෂධීය සාරයෙන් නෙවෙයි ෆොටෝෂොප් වලින්...


ලියා එව්වේ - නීනු (http://neranji-sulakkana.blogspot.com/)

Monday, June 6, 2011

අපේ ආච්චිට 100 පිරුණ දා...

ආච්චි කෙල්ල වගේ හිටියට පහුගියදා 100ක් පිරුණි. පාටියක් දාන්නට සිතුවත් ආච්චි වලත් එකයි ගොඩත් එකයි කියපු නිසා වැඩේ අතහැර දැම්මේ සිතේ මතු වූ මලපැනීමත් සමගය. ආච්චිගේ 100ට පාටියක් දුන්නා නම් අපේ කුජීත යාළුවෝ සෙට්එක රැස් කරගෙන පිස්සුවක් නැටීමට ඉඩ තිබුණි. ඒත් එයම ආච්චිගේ අවසානය වීමටද ඉඩ තිබුණු බැවින් වැඩේ අතහැර දැම්මෙමු.

"මට සීයක් වෙන එක හීනයක් වගේ බොල" ආචිචි හිනාවක් දමයි.

"ආච්චි සෙන්චරිය දාපු එක අපිටත් හීනයක් වගේ තමයි" මුණුපුරොත් හිනාව දායි.

"ඇයි බොල ඒ?"

"ඇයි පහුගිය ටිකේ අමාරුවුණ හැටියට අපි හිතුවේ එල්.බී.ඩබ්ලිව් වෙයි කියලා" මුණුපුරෝ හෙමින් කියති.

කොතරම් විහිළු කලද අප සැමගේ පැතුම අපේ ආච්චි දිගුකාලයක් යෙහෙන් වැජඹේවා යන්නයි.



ලියා එව්වේ - ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර (http://www.apeisawwa.blogspot.com/)

Sunday, June 5, 2011

නම් තැබීම...

මේ කතාවේ පසුබිම, අවරුදු 35 කට විතර ඉස්සර බණ්ඩාරවෙල. ඒ කාලේ මං වගේ ලංගම ඉංජිනේරු අංශෙ වැඩ කොරපු, මං ඇප්රෙන්ටිස් ෂිප් එක කොරපු තැනින්ම අවුට් වෙච්ච, අපේ සෙට් එකක් ගෙදරක බෝර්ඩ් වෙලා හිටිය. ගෙදර හිටියේ, ගෙදර අයිතිකාර අම්මයි එයාගේ තරුණ වයසෙ දුවල හතර දෙනයි. ගෙදර හිටිය ස්ත්‍රී පරාණ පහට අරුන් දාල තිබුන නම්...

(1) අම්ම = මහානාම (ගෘහ මුලිකය නිසා)
(2) ලොකු දුව = බද්දිය (ගෙදර කුස්සිය ඉන් චාර්ජ්. කොටින්ම බත් දීම)
(3) දෙවෙනි දුව = කොණ්ඩඥ්ඥ (දිග කොණ්ඩයක් තිබූ නිසා)
(4) තෙවැනි දුව = අස්සජි (පෝනි ටේල් එක නිසා)
(5) බාලම දුව = වප්ප (පොඩි පහේ වපරයක් තිබූ නිසා)



ලියා එව්වේ - Observer (http://observer-nireekshaka-observer.blogspot.com)

Saturday, June 4, 2011

ද කවිය!

ලෝකෙම ප්‍රසිද්ධ මහා ප්‍රාඥයෙක් කවියක් ලිව්වා.

ඒක හරිම සංකීර්ණයි. බැලූ බැල්මට නිකංම නිකං නොගැලපෙන වචන ගොඩක් විතරක් වුණාට ඒ කවි පේලි අතර හිතාගන්න බැරි ගැඹුරක් තිබුණා.

හැමෝම කවිය ගලපගන්න උත්සාහ කලා. කවිය ගැන එක එක මත හැමදාම එක එක විචාරකයො ලිව්වා.

“ඒක බොහොම හොඳ කවියක්.”

පත්තර වලින් ඒ කවියෙ කෑල්ලෙන් කෑල්ල වර්ණනා කලා. ඒ වුණාට ඒ ටක්කෙටම විශ්වාසෙ පිට නෙවෙයි. කාටවත් කවිය තේරිල තිබුණෙ නෑ. ඒත් හැමෝම ඒක ගැන හොඳ කිව්වා.

සති කීපයක් වෙරිමතින් හිටපු ප්‍රාඥයා එකපාරම ඇහැරුණා. මිනිහ දැක්ක හැමෝම තමන් ගැන කියවන්න අරන් විත්තිය. මිනිහ බැලුවා කවිය දිහා...

“අහ්... මේකෙ අර්ථය තේරෙන්න උවමනාම වචන පේලිය මම ලියල නෑනේ...”



ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Friday, June 3, 2011

බෞද්ධකම..

"මචං ප්‍රාණඝාතය කියන්නේ දරුණුම අකුසලයක්..."
"මදුරුවෙක් මැරුවත් ඒකත් පවක්"
"මමනම් සතෙක් මරණවා තියා ඒ ගැන හිතන්නෙවත් නෑ...."
"සත්තු මරණවා දැකලා සතුටු වෙන එකත් ලොකු පවක්ලු... එක ආත්මෙක මාළු අල්ලන
සීන් එකකට සතුටු වෙලා බුදුහාමුදුරුවොන්ටත් හොඳ වෙන්නේ නැති හිසේ
කැක්කුමක් තිබුනලුනේ..."
දන්සැලට සෙට් වුන ගමන් තරඟෙට එක එකා බෞද්ධකම එලියට දානවා...
"අඩෝ උඹලට අද දවස මතකද..."
හදිස්සියේම රවියා කෑ ගහලා ඇහුවා...
"අද... අද දහ අටනේ..."
"ඔව්.. ඉතින්..."
"ඕකනේ කියන්නේ ***ලට මේ දවසත් අමතකයි කියන්නේ.... දහඅට තමයි යකෝ අර **යා මැරුවේ..."
"අම්ම ගහයි..."
සෙට් එකම මහ හයියෙන් ප්‍රීති ඝෝෂා කරන්ට ගත්තා...
සෙලිබ්‍රේට් කරන්ට බඩු මඳි හින්දා දෙන්නෙක් බඩු ගේන්ට ලයනල්ලගෙ ගෙදරට ගියා...


ලියා එව්වේ - පුතා (http://dubaiwattakka.blogspot.com/)

Thursday, June 2, 2011

බෝතලයක්..

ඇනිවසරියක්! අම්මට සාරි ගෙනාපු ගෑනු අස්සෙම, තාත්තට ඔතාපු බෝතල් තෑගි දීපු උනුත් එමටයි.

ඕපාදූප, පොඩි උන්ගේ දැඟලිලි, මධුවිත ගැස්සෙන වීදුරු හැප්පෙන සද්ද වගේම "බඩුවක් දිහා බැලුවොත් නෑයෙක්.. බෝතල් මුල්ලට සෙට් උනොත් කේලම්.." මූඩ් එකෙන් මමත් ඔහේ හිටියා.

අහලින් පහලින් ඉගිල්ලෙන පැටිස් පිඟානක් දැක්කම එකක් හපහප බිත්තිය හේත්තු වෙලා හිටපු එක ඇරෙන්න කරන්න දෙයක් තිබුනෙම නෑ.
තාත්තා පාටි දවස් වලට ටීවී එක බිත්තිය පැත්තට හරෝනවා ඔක්කොම උන් එතන තැක් ගැහෙන නිසා.

කරගන්නම දෙයක් නැතුව ඉන්නකොට තාත්තා අවා.
"මෙන්න මේක කාමරෙන් තියාගන්නව!"
ශිවාස් රීගල් බාගයක් අතට ලැබුනා.
කුස්සියෙන් කොකාකෝලා එකක් කාමරේට ගියා.
තව පැටිස් හත අටකුත්.
කාමරේ හිටපු පොඩි උන් එලියට දිව්වා.


ලියා එව්වේ - මුචලින්ද (http://muchalindha.blogspot.com/)

Wednesday, June 1, 2011

මූණේ ලස්සන හදවතේ නැත්නම්..

හදිස්සියේ මාව මුණගැහෙන්න වුවමනායි කියපු නිසා ගියා ශාන්ලගේ ගෙදර.
" බලපන් මචං ශාමි මාව දාලා ගියා. මාව එයාට බෝරිංලු. පහුගිය ටිකේම අපි අතර ප්‍රශ්න තිබ්බා"
 එහෙම කියලා කතාව පටන් ගත්ත එකාගේ හිතේ තිබ්බ දුක පැය 3,4ක් තිස්සේ දොරේ ගැලුවා.
"උඹට කිවනේ එකී හරියන්නේ නෑ උඹට.ඒකිගේ මූණ ලස්සන වුනාට හදවත එහෙම නෑ බං. ඒකිගේ ලස්සනින් ඒකි කොල්ලෝ නටවනවා". 
"ඒක තමයි බං මට ඒකි ගැන දුක. ලස්සන තියෙනකම් ඒකි ඔය සෙල්ලම කරයි. ඒත් ලස්සන නැතිවෙන කාලෙකට කව්ද ඒකිව ආදරෙන් බලාගන්නේ "
 කඳුළු පිරිච්ච ඇස් පිහින ගමන් මගේ මිත්‍රයා ඇහුවා. රතු වෙච්ච ඒ ඇස්දෙකේ ඇය  වෙනුවෙන් තාමත් ආදරය පිරිලා ඉතිරිලා තියනවා මම දැක්කා.

ලියා එව්වේ - ගොඩයා (http://mamagodaya.blogspot.com/)

Tuesday, May 31, 2011

දවසට 3 වරක් දත් මදිමු..

සරබර ගාලා සද්දයක් ඇහුනා
හානේ මගේ දකුණු කකුලේන් ඇහුනේ
නැනැ දකුණු කකුලේ සාක්කුවේන්
අඩේ.. ටොෆියක්නේ....!
මුදලාලි පොඩිවා නැතිව ටොෆියක්දීලා

මහ රැට පැණි රහා කන්ට හොද නැ..
මයිකල් මාමායි ඩෙනිස් මලයයි කිවා රැට දත්මදින්ටලු..
අනේ මට බැ රැට දත් මදින්න..! මං උදෙත් මැද්දානේ..
රැට මදින්නෙ මොන මංගල්ලයකටද ?

එහෙම කියලා කොහොමද දරුවො ?
කටේ පණුවෝ දත් සැට් එක බෝර ගහන්න විදිනවා වගේ විදින්න ගනීවී
අවුරුදු 5 ක පොඩි එකෙක්ට වගේ අපේ අම්මා මට හැමදාම ඔක කියනවා
හික් හික් හික්
දවසට දෙපාරක් දත් මදින්ටොන..
නැත්නම් මයිකල් මාමලාගේ ජොබ් එක වතුරෙනේ..!
හානේ... දවසට දෙපාරක් නෙවේ අපි 3 පාරක්ම දත් මැදලා

ටුත් පෙස්ට් ඉවරකරගම්මු..!

ලියා එව්වේ - බනියා (http://freeanushka.blogspot.com/)

Monday, May 30, 2011

වචන 100කින් කියන්න දෙයක් මටත් තියෙනවා

නැවුම් බ්ලොග් කරුවෙකුගේ නැවුම් සිතුවිලි සිය වචනයකින්

වටින් ගොඩින් එලිය වැටෙනවා.. මුලු රෑම නිදාගත්තෙ නැති උනත් හිතට ගතට මහන්සියක් නෑ. බ්ලොගින් වලට ඇවිත් සති තුනයි. බ්ලොග් කලාවට හිතේ තියෙන ආසාව එන්න එන්නම වැඩි වෙනවා.. සති තුනකදී ගොඩක් දේවල් කලා.. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. බ්ලොග් කෙරුවාව දැන් ජීවිතේ කොටසක්...

ඇඩ්සෙන්ස් වලින් කීයක් හරි හොයාගන්න පුලුවන් සයිට් එකක් හදන්න හිතාගෙන ආපු මම මේ සීමා මායිම් නැති ඉලෙක්ට්‍රොනික අවකාශයේ කවදාවත් දකින්න නොහිතපු දෙයක් දැක්කා .. ඒ තමයි මනුස්සකම.. මුලින් සල්ලි හොයගෙන ආපු මමමද මේ සල්ලි පැත්තකට දාල මනුස්සකම, අදහස්, දැනුම බෙදාගන්න හදන්නෙ කියලා වෙලාවකට හිතෙනවා.. නොදැකපු මනුස්සයයෙක්ගෙන් මනුස්සකම අත්විදිනවා කියන්නෙ කොච්චර සුන්දර දෙයක්ද?


ලියා එව්වේ - චතූ (http://yasanthaonline.blogspot.com/)

Sunday, May 29, 2011

ඉර

රතුම රතුපාටට අහසේ තිලක තියලා හිරු සාගරේ අග්ගිස්සට වෙලා අන්තිම වතාවට ලෝකෙ දිහා බලන වෙලාවේ මම ඔයාගේ උරිස්සට හේත්තුවෙලා..

මුහුදු හුළඟ මගේ කොණ්ඩේ හොඳටම අවුල් කරලා..

දැන් නම් නියම පිස්සි... මගේ ඔළුව අත ගගා ඔයා ආදරෙන් මුමුණනවා මට ඇහුණා....

මම කිසිම සද්දයක් නැතුව ඔයා ගේ උණුහුම විඳින්න ඇස් පියාගෙන..

ඔයා නිදිද? මට පාළුයි නැගිටින්නකෝ ඉතිං.....

මම නෑහුන ගානට ඇස් දෙක තවත් තද කරලා පියා ගත්තා..

ඔයා හෙමින් ඔළුව පාත් කරලා එකපාරටම මගේ නළලට උම්මා එකක් දුන්නා..

අනේ තව එකක්

මං ඇස් පියා ගෙනම කිව්වා

කට්ට කෙල්ල

ඉරත් හිනා වෙවි මුහුදු පතුලට යන ගමන ඉක්මන් කරන හැටි නෙත් කොනට මට පෙනුනා....


ලියා එව්වේ - උපේක්ෂා (http://gurupara.wordpress.com/)

Saturday, May 28, 2011

සිහින මාලිගාව

අපි දෙන්නා හැදුව සිහින මාලිගාව බිඳිලා යන්න ගියේ තත්පර කීයද?

ඔයාගේ ඔය සීතල අත්දෙක මගේ මුහුණට තියලා තද කරගන්ත ඒ තත්පර විස්ස තිහ මට මාව කවුද කියලා අමතක කෙරෙව්වා. රත්තරන් මම ඔයාට ආදරේ ඒක නිසා.

ඒක හරිම පූජනීයයි.

මුහුණට වැටිලා හුළඟේ ඔහේ පාවෙලා යන දඟකාර කෙහෙරැල්ල දිහා බලාගෙන මට ශතවර්ෂ ගානක් ගෙවන්න පුළුවන්. මගේ දඟකාරි ලඟ මගේ හිත නතර වෙලා. ඔයත් එක්ක අත් අල්ලගෙන සිරීපාදෙ නගින්න. පේරාදෙනිය මල්වත්තේ ඇවිදින්න. ඔය උකුල උඩ ඔළුව තියාගෙන ඇස්දෙක පියාගෙන ඉන්න. මම තාමත් පෙරුම් පුරනවා.

මගේ ජීවිතේ තියෙන සතුට රැඳිලා තියෙන අංශු මාත්‍රයම තියෙන්නේ ඔයාගේ ලඟ.

තාමත් මගේ රත්තරන්ට මම ආදරේ මගේ පණටත් වඩා...


ලියා එව්වේ - බ්ලොග්කාරයා (http://asinhalablogger.blogspot.com/)

Friday, May 27, 2011

උඹ ඕනවට වඩා වැඩියි

මොන බංබුවක්ද.....

දැන් කතා හය හතක්ම ලියුවා.. ඒ ඔක්කොම වචන එකසිය පනහකටත් වැඩියි.

ආසාවෙන් ලියලා ගණන් කලාම නේද ඉතින් එකසිය ගානට තදවෙන්නේ..

බැරිම තැන විශේෂණ පද අයින් කලා, අර පද මේ පද හැමදේම අයින් කලා. ඕලෙවල් වල සාරාංශකරණය කලා වගේ කපලා දැම්මා වචන. ඒත් වචන දහය පහලොවකට වඩා අඩු කරගන්න බැරි උනා.. බැරිම තැන දමලා ගහලා නිකන් හිටියා...

''උඹ ඕනවට වඩා වැඩියි''

''කඩනවා තොගේ අත ආයි මුකුත්ම ලියන්න බැරි වෙන්න''

ඉස්කෝලේදි ප්‍රින්සිපල්ට පෙත්සං ගහලා අහුවෙලා කිව්වේ එහෙමයි.

මට හිතෙනවා දැන් ඒක ඇත්ත කියලා. මං ඕනවට වඩා වැඩියි, මගේ වැඩත් ඕනාවට වඩා වැඩියි. ලියන්න ගිහාම කෝච්චිය වගේ..

පොඩි දෙයක් ලියන්නම බැහැනේ..


ලියා එව්වේ - දසුන් මධුසංක

Thursday, May 26, 2011

පිනට වැඩ..

ඔයාට පිස්සුද?
ඇය මා දෙස බලා සිටියේ අමුතු සතෙක් දෙස බලා සිටින්නා සේය.
ඇයි?
ඇයි කියන්නේ? ඇයි එක එකාට පිනට වැඩකරලා දෙන්නේ? ඔයා ඔහොම ඉන්න ඕනි කෙනෙක්ද?
ඇය අනාගතය ගැන සිහින දකිමින් සිටියාය. ඇයගේ අනාගතයේ ෆුල්ඔප්ෂන් ගෙයක්, හොඳ ඉස්කෝලෙකට යන ලමයි දෙන්නෙක් මැරිමැරී ඉපදේ.
ඒක මගේ ආසාව. ඔයාට ඒක තේරුම් ගන්න බෑ. තමන් තෘප්තිමත් දේ කාටවත් කරන්න බෑ. අඩුගානේ මම ඒකට උත්සාහ කරනවා. 
ඇය මුහුද දෙස බලා සිටී. පරාජය පිලිගෙන සෙයකි.
දුරකථනය සාක්කුව තුල දෙදරයි.
අයියේ. හෙට වීඩියෝ Shoot එකක් තියෙනවා‍ පිලිමතලාවේ.
මම එන්නම්.. 
ආයි හම්බ කරලා දෙන්න යනවා නේද? ඔයා හැදෙන්නේ නෑ. 
ඇය දඟකාර සිනාවක් පා මගේ උරහිසට බරවිය..

ලියා එව්වේ - ආගන්තුකයා (http://ambarox.blogspot.com)

Wednesday, May 25, 2011

කොල්ලෙක්ට හිත ගිහින්...

එහා මේසේ කොල්ලො සෙට් එකම අපෙ දිහා සැරින් සැරේ හොරෙන් බලද්දි මම හිටියෙ නිකංවත් උන් දිහා නොබල.

එකෙක්වත් ගණන් නොගෙන.

අන්ජුයි, තිළිණියි, සුලායි එක්ක කෝක් කෑන්වලට වගකියමින්.

ඒ වෙලාවෙයි දැක්කෙ බොහොම අහම්බෙන් ඒ කොල්ලො අතරෙ හිත ගිය ඇස් දෙකක්.

ජෙල් ගාපු උල් කොණ්ඩෙ, කියුට් ඇඟක්... බිමට බරවෙලා තියෙන මූනෙ අමුතුම ලස්සන හිනාවක්.

එ විධියට හිනාවෙන නළුවා මම මතක් කලේ. හොලිවුඩ්? බොලිවුඩ්? මතක නෑ...

මම එයා දිහා බලන් හිටියා.

හොරෙන්. කාටවත් නොදැණෙන විධියට.

එයා ඔළුව උස්සලා බලන්නෙම නෑ...

ෆෝන් එකෙන් කොටනවා කොටනවා... වට පිටාව ගැන කිසිම අවධානයක් නෑ...

චැට් කරනවද කොහෙද...

මට පේන්නෙ මෙයා ට්විටර්, ෆේස්බුක්, බස් සේරම ෆෝන් එකේ දාගෙන.

ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Monday, May 23, 2011

ඔයා දැම්මොත් මමත් දාන්නම්

හායි කොහොමද ඉතින්... අපියි එයයි ගැන ඔයාල කියෙව්වද? ඒව ගැන කතාකරන්න අපි බයයි නිසා නොකියෙව්වට කමක් නෑ.

හැමවෙලේම අපි ඉතිං හොඳ දෙයක් බෙදගෙන්නනෙ උත්සාහෙ. ඒකෙදි ඔය පට්ට හරි එල හරි කියල දාන කමෙන්ට් එකත් වටිනවා. ඒවයින්නෙ ආයෙ ලියන්න ශක්තිය සපයන්නෙ. ඔය පණ්ඩිතයො මොනව කිව්වත් බ්ලොග්කාරයෙක්ට කමෙන්ටුවක් කියන්නෙ ලොකු දෙයක්.

හැබැයි ඉතිං වැඩේ සාධාරණ වෙන්න ඕන. මම කමෙන්ට් එකක් දාන්නෙ එක විධියක ආයෝජනේකට! ඒ කිව්වෙ ඒ බ්ලොග් එකේ අයිතිකාරයව මගේ එකට ගෙන්නගන්න. නැතිව වැලේ වැල් නැති පෝස්ට් වලට කමෙන්ට් දාන්න මට පිස්සුද? මට ඕන හිට්ස්!

ඉතිං ඔයාගෙ බ්ලොග් එකේ මගෙ කමෙන්ට් එකක් ඕන නම් මගේ එකේ ඔයාල කමෙන්ට් කරන්න ඕන හරිය.


ලියා එව්වේ - බ්ලොග්කාරයා (http://asinhalablogger.blogspot.com/)

Saturday, May 21, 2011

ආදරේ බැටරියක් වගේ

අපි දෙන්න අළුත් බැටරියක් වගේ සක්‍රියයි ඉස්සර...

ඒ දවස්වල අපිට බොහොම දේවල් තිබුණා නොනවත්වාම කියවන්න.

ලොකු විභව අන්තරයක් තිබුණ අපි දෙන්න අතරෙ...

රෑ දෙගොඩහරියක් වෙනකල් ඉලෙක්ට්‍රෝන ගලපු ගැලිල්ල ගැන හිතද්දිත් පුදුමයි...

දැණුනෙවත් නැති ගානයි...

ඒත්...

තේරෙණවද...?

දැන් බැටරිය පරණ වෙලා... පුංචි බල්බ් එකක් පත්තුකරගන්නත් අපිට ලොකු වෙලාවක් යනව.

ඒක වුණේ අපි දෙන්නගෙම අවිඥානය ඇතුලේ.

කාලයක් තිස්සේ ජීවිතේ අපිව එතනට ගෙනත්...

නැත්තං අපි ඉටිපන්දම් වලින් සැනසෙන්න පුරුදු වෙලාද මන්දා...

අපි ඔය ඉටිපන්දම් වලටත් ලේසියෙන්ම හුරුවෙන්න ඉඩ තියෙනවා.

ඒත් ඒක එහෙම වෙන එකනම් හොඳ නෑ...

අන්තිමේ කළුවර ඉතිරි වෙලා අනිත් හැමදේම නැති වෙයි.

මොකද ඔයා කියන්නේ...?

අපි රිචාජ් කරන්න පුළුවන් බැටරියක් දාගමුද?


-
ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Friday, May 20, 2011

වචන වැඩියිලු....

ආදරනීය වස්තු,

මීට සතියකට විතර කලින් මම පලවෙනි පාරට 100ට ලියන්න ගත්තා. අපි දෙන්නගේ ආදරේ ගැන ලියලා ලියන හැම ලිපියක්ම පටන් ගන්නවා කියලයි මම හිතන් ඉදියේ. ඉතින් මම ලිව්වා. අපේ ආදරය ගැන. ඔයා මට ආදරේ කරපු එක ගැන..

අද උදේ පාන්දරම බලනකොට 100න් email එකක්. හිත ගොඩක් සතුටින් පිරිලා ගියා. හනි හනිකට email එක මම කියෙව්වේ වෙනදටත් නැති ඕනෑ කමකින්..

ඔබගේ ලිපියේ වචන ප්‍රමාණය සියයකට වඩා වැඩි බව සියක් ගණනයෙන් ප්‍රකාශ විය. එම නිසා කණගාටුවෙන් උවද ලිපිය භාර ගත නොහැක. හැකි නම් නිර්මාණය වචන 100කට ගොනුකර නැවත එවන්න.

සීය ගණින අපි

ඇත්ත,
කවදාවත් අපේ ආදරේ වචන 100කට ගොනු කරන්න බෑ.

ලියා එව්වේ - රත්ගමයා (http://sun-ge-lookaya.blogspot.com/)

Thursday, May 19, 2011

ඔහු සහ අප

ඔහු කියා දුන්නේ ගොඩ අඩු කරගැනීමටය.

අපි හැමදාම ගොඩ වැඩි කරගන්නේ කෙසේදැයි මාන බලන්නෙමු.

ඔහු සතුරන්ටද මෛත්‍රී කරන්නට ආදර්ශමත් විය.

අපි සතුරන් නසා ප්‍රීතියෙන් සමරන්නෙමු.

ඔහු නැවත ඉපදීම නැමැති මුදුන් පරාලය සින්දේය.

අපි පෙර ආත්මත් ඉදිරි ආත්මත් පටලවාගෙන මේ ආත්මයේ දුක් විඳින්නෙමු.

ඔහු පංච සීලය සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගය සරල ජීවිතයකට මගක් ලෙස විග්‍රහ කළේය.

අපි ඒවා කටපාඩම් කර උදේ සවස මෙනෙහි කරමින් ඉන් පරිබාහිර දේම කරමින් සිටින්නෙමු.

ඔහු අන් මතයන් ඉවසීය.

අපි ඔහුගේ නාමයෙන් අන්මත දරන්නන් සුන්නද්ධූලි කරන්නෙමු.

ඔහු සියල්ල නැසෙනසුළු බව ප්‍රත්‍යක්ෂ කළේය.

අපි එය කිසිදා නොපිළිගෙන රැකීම උදෙසාම රකිනා දෙය විනාශයට රැගෙන යන්නෙමු.

ලැයිස්තුවනම් තව බොහෝ දිගය.


ලියා එව්වේ - බ්ලොග්කාරයා (http://asinhalablogger.blogspot.com/)

Wednesday, May 18, 2011

ගුගල්ලාගේ වෙසක් තිළිණය

බ්ලොගර් මත බ්ලොග් ලිවීම කරපු හැමෝටම පහුගිය දවසක දෙකකදි මුහුණ දෙන්න වුණ සිදුවීම අමතක නැතිව ඇති. ලංකාවෙ අපි කරක් ගහන ෆේස්බුක් එකේ ස්ටේටස් මැසේජ්, ට්විටරයේ ට්වීට් එක්ක ගුගල්ලගෙම බස් එකේ පෝස්ට් දමමින් හැමෝම ඒ ගැන දුක් වුණා.

හරියට කන්න ලැබුණෙ නෑ වගේ හැමෝම හිටියෙ. හැමෝටම දැණුන යාළුවෙක් නැතිවුණා වගේ දුකක්. කියවන්න දේකුත් ඒ දවසට දෙකට තිබුණෙ නෑ වැඩිය. සිංහල බ්ලොග්වලින් ගොඩක්ම තියෙන්නෙ බ්ලොගර් උඩ ලියවෙන ඒව නිසා ඒ එකක්වත් අප්ඩේට් වු‍ණේ නෑ. ආසාවට කමෙන්ට් එකක් දාගන්න විධියක් තිබුණෙ නෑ.

ඇත්තටම ගුගල්ලට උවමනා කරල තියෙන්නෙ හැමෝටම වෙසක් තිළිණයක් දෙන්න. අනිත්‍ය මෙනෙහි කරවන්න, ඉවසීම ප්‍රගුණ කරන්න.

ඒ ගැන හැමෝම ගුගල්ලාට පිං දෙමු.



ලියා එව්වේ - රජී (http://rajisometimes.blogspot.com/)

Tuesday, May 17, 2011

ටීවී එකෙන් එන්නෑලු!

සමුද්‍රා මේ පාර වෙසක් පෝයට පන්සලේ සිල් ගන්න හිතුවෙ කාලෙකින්. හැමදාම කාර්යාලෙ පීඩනයකින් පෙලෙන හිතට සිල් ගැනීමෙන් පොඩි සහනයක් ලැබෙයි කියලයි එයා හිතුවෙ.

මේ පාර සිල් වැඩසටහන ටීවී එකෙන් සජීවීව දෙනව කියල ආරංචියක් තිබුණා.

ඒක තමන්ට කරදරයක් වෙයි කියල හිතපු සමුද්‍රා සිල්ගන්න හිටපු සෙනග පීරගෙන ගිහින් බෝ මළුව කෙලවරක හෙවණක සුදු රෙද්ද එලාගත්ත.

හැම පෝයටම සිල් ගන්න ආච්චිල කණ්ඩායම තමයි ධර්මාසනය කිට්ටුවෙන්ම ඉඳගෙන හිටියෙ.

පන්සලේ පුංචි හාමුදුරුවො ඇවිත් කියපු දෙයක් නිසා ඒ ආච්චිල කලබල වුණා. කීප දෙනෙක්ම නැගිට්ටා.

මැගිලින් ආච්චිත් එතනින් නැගිටල කඩිමුචියෙ සමුද්‍රා කිට්ටුවට ආව.

“මේ මම හැමදාම සිල් ගන්න තැන. ඔයා ටිකක් එහාට වෙන්න දුව. ටීවී එකෙන් එන්නෑලු”

ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Monday, May 16, 2011

ඔබ ආදරේ කරන්නේ ඇයි..

මාතෘකාව ----->      ඔබ ආදරේ කරන්නේ ඇයි???

අන්තර්ගතය-------->

ශ්‍රී ලාංකීය බුද්ධිමත් තරුන ප්‍රජාව ගෙන් මෙම ප්‍රශ්නය විමසුවොත්??


  1. විවාහ ජීවිතයට පිවිසෙන්න සුදුසුම සහකාරිය සෙවීමට.
  2. කම්මැලි වෙලාවට ෆෝන් එකෙන් මල් කඩන්න.
  3. facebook එකේ In a relationship with _____________ කියලා add කරගන්න
  4. film එකක් බලන්න තනියම යන කම්මැලි හින්දා
  5. classes ඉවරවෙලා ගෙදර යන ගමන් කතා කර කර යන්න.
  6. ඇත්තටම එයාගෙ ගතිගුන වලට හිත ඇදිච්ච හින්දා
  7. රති සුව විදින්න <චී>  (තේරෙන්න කිව්වොත් rooms ගානේ යන්නේ???)
  8. වෙනත් (උඹලට උඹලිලට ඕන දෙයක් කොටන්ට.

**"අස්තිර වූ ස්ත්‍රී රූපයේ ස්තිර වූ ප්‍රේමයක්...
විරලත්වය සොයා වන්නා වූ ඔබගේ මාවතක ඉදිරියට
චාටර් වීම් නෝන්ඩිවීම් පජාතවීම් කාඩ් කුඩුවීම්
දූරීම්භූත වේවා යයි පතමි..."**

ලියා එව්වේ - යසියා (http://yasiwett.blogspot.com)

Related Posts Plugin for WordPress, Blogger...