Showing posts with label මම. Show all posts
Showing posts with label මම. Show all posts

Friday, January 18, 2013

ඔබ හා මම

ලොවක් අවදි කර
නැගෙන හිරු
මඬල ඔබ
අඳුරු අහසට
අරුණළු රැගෙන එන
රන් රැස් දහරින්
තුරු මුදුන් සිප සනසන
නැවුම් මල් කැකුළු
පුබුදුවා නළවන
එකතු කර වැහි බිඳු
පාට දේදුනු අඳින
සැඳෑ වළාකුළු
රනින් සිත්තම් කරන


                        ඔබේ කාන්තියෙන් නැහැවෙන
                        පුංචිම තරුව මම
                        රෑ අහසෙ කොනක හිඳ
                        දීප්තිය විහිදුවන

වියළි මහ පොළොවට
ඇද වැටෙන වැස්ස ඔබ
මලානික ගහ කොල
හුස්ම පිඹ නැගිටුවන
පිපාසිත තණ පත් අග
පිණි බිංදු රඳවන
ඉරි තැලුණු මිහිකත
සනහා ගිම් නිවන
ඇල දොල වැව් පොකුණු
සුනිල් දියෙන් පුරවන
නෙත යොමන හැම අත
හරිත පැහැයෙන් බබලවන


                           සිහිලැල් දියෙන් සැනහෙන
                           සිඳුන උල්පත මම
                           ඔබෙන් නව පණ ලැබ
                           ජීවයෙන් උතුරන..

 
ලියා එව්වේ - සුන්දරී

Wednesday, December 19, 2012

මමද ආදරේ? මටද ආදරේ?

මම කාලයක් තිස්සෙ හිතින් ආදරය කරපු කෙල්ලත් එක්ක මම අන්තිමේදී යාලු වුනා...
ඒත් සම්බන්ධය තිබුනෙ හරියටම මාසදෙකයි දවසයි!
දවස් දෙකකට පස්සෙ අවුරුදු 5 ක ලව් එකක් කරගෙන යන කොල්ලෙක් මට කිව්ව...
"යාලු වෙනවනම් යාලු වෙයන් උඹ ආදරය කරන නෙමෙයි, උඹට ආදරය කරන කෙල්ලෙක් එක්ක නැත්නම් කවදාවත් හරියන්නෙ නම් නෑ"
ඊට අවුරුදු 3 යි මාස 5යි දවස් 23කට පස්සේ...
මට ආදරය කරන කෙනෙක් අන්තිමේදි මට හම්බ වුනා... අපි යාලු වුනා!
ඒක තිබුනෙ හරියටම මාස දෙකයි දවස් තුනයි!
එයා සම්බන්ධය නවත්වපු දවසෙ මට කිව්වෙ...
"මම ආයෙ කවදාවත්ම මට ආදරය කරන කෙනෙක් එක්ක මිසක් මම ආදරය කරන කෙනෙක් එක්ක යාළු නම් වෙන්නෙ නෑ"

ලියා එව්වේ - නිසල (http://nisalanirmana.blogspot.com/)

Wednesday, August 22, 2012

නාකි සීයයි මමයි

දැන් ඉස්සර වගේ ලියවෙන්නෙ නෑ...

අඩු තරමෙ මෙලෝ රහක් නැති එකක්වත් ලියවෙන්නෙ නෑ...

මට නිකමට හිතුණ.

ඒ එක්කම මම ගියේ අවුරුද්දකට පොඩ්ඩක් වැඩි අතීතෙකට. ඒ දවස්වල අමුතු ලස්සනක් තිබුණා. ඒ කාලෙ මට හැම සිද්ධියකම වචන සීයක් පෙණුන. යන එන ඕන තැනක සිද්ධ වෙන කතාවකට ගැලපෙන හැම සිද්ධියක්ම උවමනානම් වචන සීයකට දාන්න පුළුවන් නේද කියල මම කල්පනා කරමින් හිටිය.

ඒ වුණාට ඒක කරන එක ඒ හැටි ලේසි වුණේ නෑ. හැමදාම සීයට ටිකක් වැඩි වුණා. අමාරුම වැඩේ ලියාගෙන ගිහින් පස්සෙ ට්‍රිම් කරන එක.

ඒත් ඒ දවස්වල ඒක සෑහෙන ආතල්ජනක වැඩක් වුණා.

ඒ ඉස්සර...

දැන් ලියන්නෙ මේක...

වචන සීයක් පිරෙන්න ලියාගන්න තියෙන අමාරුව...

ලියා එව්වේ - hare :-)

Monday, August 20, 2012

සීයා

දුම්රිය කොටුව සිට මොරටුව බලා ධාවනය වෙමින් තිබුණි. එහි එක් අංගනයක හතර පස් දෙනෙකුට වඩා නොසිටියෙමු. කොනක ශාන්ත පෙනුමින් යුතු සීයා කෙනෙකු වාඩි වී සිටියේය. ඔහු නැගිටවිත් කීපදෙනෙකුගෙන්ම මුදල් ඉල්ලා සිටියත් කවුරුවත් ඔහුට මුදල් නොදුන්හ. කාර්යාලයට යාමටයි ගෙදර ඒමටයි හැර මා අතේද එතරම් මුදලක් නොතිබුණු බැවින් මාද බිම බලා ගතිමි.

දුම්රිය වේගයෙන් මුහුදු බඩ මාර්ගය දිගේ ඇදී යයි. මාද සුපුරුදු පරිදි මුහුද දෙසට හැරී එදෙස බලා සිටියෙමි.

එක් තත්පරයකට මාගේ දෑස් හිඟන සීයා ලඟ නතර විය. එම සීයා තම කදුඵු පිස දමමින් හඬනායුරු දුටුවෙමි. මා කොල්ලුපිටිය දුම්රියපොලෙන් බසින්නට පෙර අතේ තිබුණු සොච්චම ඔහු අතට දී ඔහු දිහා නොබලාම බැස ගියෙමි.

ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)

Wednesday, August 8, 2012

ඔයා.....

ඇත්තටම දැන් ඔයා ලග ඉන්නෙ මම මුලින් දැකපු අහිංසක කොල්ලා නම් නෙමෙයි.

1.හැම  කොල්ලම කෙල්ලෙක් එක්ක යාලු වෙන්න කලින් පෙන්නන්නේ තමන්ගේ ඇත්තම ස්වරූපය නෙමෙයිද?

2.කෙල්ල කොල්ලව දාලා යන්නේ නැති බව දැන ගත්තම කෙල්ලගේ අගය අඩු වෙනවද?

අද ඔයා ගැන හිතද්දි මට හිතුන ප්‍රශ්න ටිකක් තමයි මේ. මට  කියන්න තියෙන්නේ, කොල්ලා වරදක් කලාම රණ්ඩු නොවී ආදරෙන් තේරුම් කරලා දෙනව නම් ඒ කෙල්ල අවංකයි. ඒ වගේ කෙනෙකුගේ හිත නපුරුකම් කරලා රිද්දන්න එපා. සමහර විට ඔයාව දාලා යන්නත් ඉඩ තියෙනවා. එදාට ඔයාට නැති වෙනනේ මේ ලෝකේ ඔයාට ගොඩක්ම ආදරේ කරන කෙනා වෙන්න පුලුවන්. මතක තියා ගන්න අවංක ආදරයක් ලෝකේ හොයා ගන්න අමාරුයි කියලා

ලියා එව්වේ - මුතූ

Wednesday, July 25, 2012

මගේ පෙම්වතා

කියුවත් ඔබට මම ආදරේ පණට වඩා
ඔබ රිදවනවා ඒ බොරුවක් කියලා කියා
රිදුනත් මගේ හිත ඔබගේ වදන් අසා
ඔබ දන්නවා මා කීවේ ඇත්ත කියා

දන්නවා ආදරෙයි ඔබ මා හට ඔබෙ පණට වඩා
දැනුනු නිසයි මා මගෙ හිත පිදුවෙ එදා
කොපමණ බාධා ආවද අපෙ ආදරෙට එදා
මොන දේ වුනත් අදටත් ඔබ ලගයි මෙමා

කවියෙන් කියන්නම් ආදරේ ඇති තරම
ඔබ මගේ පණයි ඔබ දන්නවා ඒක
කිව්වත් විහිලුවට ආදරේ නෑ ඔබට
ඔබෙ සුදු ඉන්නවා ඔබ ලග හැමදාම

දුටු දින සිටම මා හට පෙම් බැදි ඔබට
ආදරෙ කරමි මගෙ දිවි පවතින තුරුම
දුක් කරදර ලගදි මට හෙවනැල්ලක් වූව
ඔබ වෙනුවෙන් කැප කරනෙමි මුලු දිවිය

ලියා එව්වේ - චතූ

Monday, June 25, 2012

ජීවිතේ ගැටගහන මන්තරේ

“කපුරුබෝල විසිපහක් දහයයි…”

දුම්රිය වේදිකාව ඔස්සේ පැමිණි වෙලෙන්දා මා ඉදිරියේ නැවතුණා…

“මහත්තයා කපුරුබෝල..?”

“එපා..!”

මුහුණට දමා ගැසු තනි වචනය ඔහුගේ කහට ගැසුණු දසන් වල වැදී ඉවතට විසිවුනේ එහි වූ අව්‍යාජ සිනාවට මඳකිනුත් හානියක් නොකරමින්…

“කපුරුබෝල විසිපහක් දහයයි…”

හඬගාමින් ඔහු මා පසුකර නික්මුණා…

උදෑසන ලැබුණු ක්‍රෙඩිට් කාඩ් බිල හරහා සියවෙනි වරටත් නෙත් යැවූ මම එය සාක්කුවට රුවා ගත්තේ ඉලක්කම් ගණනක පඩිපත මාසික ණයතුරුස් හා සමබර කිරීමට සිතින් උත්සාහා කරමින්…

“කපුරුබෝල විසිපහක් දහයයි…”

කලාතුරකින් කෙනෙකු බර අඩුකරන ලද කපුරුබෝල මල්ලත් රැගෙන වෙලෙන්දා ආපසු ගමනේ…

“මහත්තයා කපුරුබෝල..?”

“කපුරුබෝල නෙමෙයි… ඔහේ දන්න මන්තරේ මටත් කියනවකෝ..?”

“මොන මන්තරේද මහත්තයා…?”

ඔහු ඇසුවේ පුදුමයෙන්…

“ජීවිතේ ගැටගහන මන්තරේ..!”


ලියා එව්වේ - බීට්ල් (http://akurublog.blogspot.com)

Friday, June 15, 2012

ධනාත්මක චින්තනය

"අතෑරලා දාන්න..!"

මම තිගැස්සී ඔහු දෙස බැලුවා...

"මටද කිව්වේ..?"

"ඔව්..."

බස් නැවතුමේ මා හැරුණු කොට සිටියේ ඔහු විතරයි... දිගින් දිගටම අසාර්ථක වුණු වෙළඳ ගනුදෙනුවක් හඹා යෑමෙන් හෙම්බත්ව උන් මා සිත තුල වූ පෙරළිය ඔහු දැනගත්තේ කෙසේදැයි මා දැන සිටියේ  නැහැ..

"මම යකඩයක් වගේ මිනිහෙක්... යමක් හිතුවොත් කරලා තමයි පස්ස බලන්නේ... දුර්වලයෙක් වගේ අතාරින එක මගේ පොතේ නෑ..."

මම කියද්දී ඔහු සිනාසුනා...

ඉතිං ඔහේ හරිම දුර්වලයෙක් නේන්නම්... ඔහේට ශක්තියක් නෑ යමක් අතෑරලා ඒකේ ප්‍රථිපලයට ශක්තිමත්ව මූණ දෙන්න... පරාජයක් හිනාවෙන් පිළිගන්න... අලුත් අභියෝගයක් හඹායන්න...”

ඔහු කියවාගෙන ගියේ මම කට ඇරගෙන අහගෙන සිටිද්දීයි...

“අතෑරලා දාන්න..!”

ඔහු නැවතත් එසේ කියමින් නැවැත්වූ බස්රථය දෙසට පියමැන්නා...


ලියා එව්වේ - බීට්ල් (http://akurublog.blogspot.com)

Wednesday, March 28, 2012

සමාවෙන්න අනූ........

දන්නවද අනූ......
පුන්චි කාලේ මම හැදුනේ
ලොකු රස්සාවක් කරපු
මගේම නැන්දගේ ගෙදර...

එයාල මට ඉගෑන්නුවා
මාව මිනිහෙක් කලා
ඒ හැමදේටම අදටත් ගරු කරනව..

ඒත්....
මම පොල් කැඩුව
රෙදි, පිඟන්, වලන් සේදුවා..
හැතැක්ම ගානක් ගිහින් වතුර ගෙනාවා
අන්තිමට එයලා උණු බත් කද්දි පිළුණු බත් කෑවා
පාන්ගෙඩියේ වාටිය මට කන්න දුන්නා
මට දුක නෑ..

ඒත්.......
මට කවදාවත් මගේ දරුවට ඒ ටික වෙන්නදෙන්න බෑ

මම වැරැද්දක් කලා
මම ඔයාට ළන්වුනා
ඒ මම ඔයාට ආදරේ නිසා

ඒත් මට මගේ වගකීම් අමතක කරන්න බෑ..
මගේ සුරන්ගනාවි.....
ඒ ලස්සන ඈස් වලින් අහනවා
"අප්පච්චි මමත් ඔයා වගෙම අවාසනාවන්තද කියලා"

ඒක එහෙම වෙන්න දෙන්න බෑ....

සමාවෙන්න අනූ........ :((((((((


ලියා එව්වේ - නුවනි නිසල්යා ඉරුගල්බණ්ඩාර

Wednesday, March 14, 2012

එහෙම කිව්වා!!

“මම ආස නැහැ මිස් බදාදා ක්ලාස් එකට යන්න ඒකට වෙනුරිත් එනවා එයා එක්ක මගේ ප්‍රශ්ණයක් තියෙනවා” දවසක් දිලාන් එහෙම කීව්වා.

“බලන්න මිස් මට හොඳ බුට් එකක් ලැබුනා.. නිමාශාගෙන් මම එයාට ගොඩක් ආදරේ කලා මට දුකයි... අද ක්ලාස් යන්න බෑ” ඊයේ එහම කිව්වා

“අන්න දිලාන් ලක්ෂිකාට ලයින් දානවලු” මිතුරියක් එහෙම කිව්වා

“අද වෙනුරිගේ උපන්දිනේ එයාට දිලාන් තෑග්ගක්වත් දීලා නෑහැ මිස්... මැසේජ් එක්ක එවලා විශ් කරලා. ඊයෙත් දිලාන් ක්ලාස් කට් කලා අදත් කට් කලා ” වෙනුරිගේ මිතුරියන් එහෙම කිව්වා.

“ඇයි දිලාන් තෑගි දෙන්න ඔනි...? ” මම ඇහුවා

“ඇයි මිස් දන්නේ නැද්ද දැන් අවුරුදු ගානක් වෙනවා මේ දෙන්නාගේ Affair එකට” හැමෝම එහෙම කිව්වා


ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Monday, March 12, 2012

යාලුවෝ

“හැමදාම පරක්කු වෙන්න එපා චූටිබේබි… ලොකුබේබි වගේ කොලීජිය ඇරුණ ගමන් ආවනම් මෙලහට අපි ගෙදර…”

සිරිදාස කියද්දී නංගී ඔලොක්කුවට හිනාවුණා…

“ලොකුබේබිට වගේද සිරිදාස මට… යාළුවෝ කීදෙනෙක්ද? සේරටම බායි කියලා එන්න එපැයි… අක්කට ඉන්නේ යාළුවෝ දෙන්නයි… සඳලියි නිම්ශයි… නිම්ශයි සඳලියි…”

නංගී මහහඬින් හිනාවෙවී කියද්දී සිරිදාස ඒ දිහා බැලුවේ මූණ නොරොක් කරන්…

“ඔන්න සිරිදාස..!!”

මම කෑගහද්දි පැත්තෙන් ආපු වාහනයක් අපේ වාහනේ හැපුනේ ඇසිල්ලකින්…

වාසනාවට කාටවත් තුවාලයක් නැහැ…

“බලනවකෝ මගේ ස්ටේටස් එකට යාලුවන්ගෙ කමෙන්ට්ස් ගොඩ..!”
අපි පොලිසියෙන් එනකල් වාහනයේ ඉන්න ටිකට නංගී අනතුර ගැන මූණුපොතෙත් දාලා…
මම දුකෙන් ඉවත බලාගනිද්දි අපේ වාහනේ ගාව ත්‍රීවීලරයක් නැවැත්තුවා...

කලබලෙන් එලියට බැස්සේ සඳලි..!

ඒත් එක්කම තව ත්‍රීවීලරයක් ආවා...


ලියා එව්වේ - බීට්ල් (http://akurublog.blogspot.com)

Monday, March 5, 2012

කෝ.. දෙන්න ඒක ආපහු මට දෙන්න....

මෙහෙම කියද්දි ඔයා බලනවද මොකක්ද ඉල්ලන්නේ කියලා.. මොකක්ද දන්නවද මම ඉල්ලන්නේ... එදා අපේ දිහා ඇවිත් යනකොට අරන් ගිය, මගේ හිත මට ආපහු දෙන්න කියලා.

ඒත් ඉතින් මම දන්නවා ඔයා මගේ හිත අරන් ගියේ බැරි වීමකින් කියලා.. බැරි වීමකින් අරන් ගියත්, ඒ මගේ හිත දෙවියනේ.. මම ආසයි මගේ හිත ඔයා ලඟම තියෙනවට.. ඒත් ඔයා තාම දන්නේ නෑ ඔයා යද්දී මගෙ හිත අරන් ගිය බවක්.. නොදැන ඔයා ලඟ මගේ හිත තියෙද්දී නොදැනුවත්ව ඔයා මගේ දුප්පත් හිත රිදවනවා.

මම ඒක ආපහු ඉල්ලන්නේ මටම කියා ගන්න නෙවෙයි. දන්වද...... ඔයා දැනුවත්ව ඔයාටම ආයිත් දෙන්න.. ඒත් තවමත් මම දන්නේ නැහැ ඔයා ඒක බාර ගනියිද නැද්ද කියලා..



ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Monday, February 27, 2012

මම මිය ගිහින්

පාළු සීතල රෑක අදුරු වලකුළු අතරේ දිව ඉහිල ගිය අපේ හුස්ම පොඳ. මීදුම් පටල වල තැවරුනු සුසුම් රැළි... ඔය තුරුලෙන් දැණුනු උණුසුම.. ගෙල පුරා දිව ගිය ඔය දෙතොල් පහස. ඔය කෙස්රැළි පුරා දිවගිය මගේ දැඟිලි ඇයි රතු පාට.... හිනැහි හිනැහි උන්න ඔය ඇසුත් උඩදාගෙන.

අපිට ප්‍රයෝග පෙන්වන බයිසිකල් රෝදයට යටවුනු ඔබේ දෙපා මම දැක්කේ දැන්. ඊයේ වෙගන් කැරකෙන රොදේ නතර කරන්න දිගුකල අතත් එක්ක රොදේ වටේ වටයක් කැරකිලා ආපු මට තාමත් තේරුම් ගන්න බැරි ඇයි ඔබ ඔය තරමටම නිහඬ කියලා..

නමක් නොදන්න කවදාවත් නොදැකපු කෙනෙක් ඔයාව අරන් යන්න හදද්දි.. මඟ අහුරපු මගේ සිරුර දෙබෑ කරන් ගියපු කෙනා කෙලින්ම ගියේ රෝහලට...



ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Monday, February 20, 2012

රොන්ග් නම්බර්

"ඔයා මට ඊයෙත් කතා කරනව කියල කතා කරේ නෑනෙ. හරීඊඊඊ නරකයි. මම කොච්චර වෙලා ෆෝන් එක ළඟට වෙලා බලන් හිටියද.."

"කොහෙ කතා කරන්නද? ඔයාලගෙ තාත්තා ආන්සර් කරොත් මම මොනා කියන්නද?"

"අපේ තාත්තට බයයිනේ.. (සමච්චල් සිනා)"

"මම? පිස්සුද? ඔයාට ප්‍රශ්නයක් උනොත් කියලයි බය"

"නෑ එහෙම නෑ. ඔයා හවස ගෙදර ෆෝන් එකට කතා කරන්නකො හොඳේ.."

"ම්ම් බලමුකො. තාත්තා ගත්තොත්?"

"තාත්තා ගත්තොත් ඔයා වැරදි නොම්බරේකට කතා කරා වගේ මොනාහරි කියලා තියන්නකො"

-------------------------------------------------------

ට්‍රිං.... ට්‍රිං.... ට්‍රිං.... ට්‍රිං....

"(ගැඹුරු කටහඬින්) හෙලෝ.."

"..............."

"(තරහින්) හෙලෝ.. හෙලෝ.."

"(සිහින් කටහඬින්) හෙලෝ.."

"කාටද කතා කරන්න ඕනෙ?"

"ම්ම්.. හෙලෝ.. අ.. මේ.. රෝන්ග් නම්බර් එකක්ද.."

"මොකක්? කව්ද ඔය කතා කරන්නෙ?"

"ඌප්ස්."

දඩස්.



ලියා එව්වේ - පිණිබිඳු (http://lakmisher.blogspot.com/)

Thursday, February 2, 2012

අරුනෝදය

හිනා කිංකිණි අතර මාව අතරමන් වෙලා,  අද අරුනෝදිගේ විවහය., මගේ පාසැල් මිතුරිය, එක බත් පත කාපු, එක පෑන හුවමාරු කරන් ලියපු, ඇය විවාහ වෙද්දි අදටත් මම තනියම.
නංගී... ඇයි මේ  තනියම..?  විහාරාත් ඉන්නවා එතනට යමු. අරුනොද්ගේ ඇස්  කතාකලා..
කමක්නෑ.. මෙහෙම හොඳයි..
එහෙනම් මම ඉන්නම් ඔයා ලඟ...
 “විහාරා එයි.. අයියා යන්න...
ම් දිලිසෙන දෑස් යන්න ගියා.. මම තනියම..
ට්‍රීං ට්‍රීං...කෙටි පණිඩුඩයක්...
ආදරෙයි.. සංකී....මේ කවුද..?
ආනේ.. සංකී.. දැනුයි දැක්කේ...
ඉතින්.. විහාරා.. කවදද ඔයාගේ වෙඩින් එක..
මම බැන්දා..
අරුනොද් අයියව.. හානේ.. කොච්චර හොඳද..
පිස්සුද කෙල්ලේ.. මම බැන්දේ මගේ මස්සිනාව
අරුනෝද්....??
එයයි SMS කලේ... නම්බර් එක දුන්නේ මම

ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Friday, October 28, 2011

අවියෝජනීය බන්ධන

මම: අම්මේ කෙල ගිලින්න බෑ උගුර රිදෙනවා.

උගුර: එක එක දේවල් කනකොට නිකමටවත් ගිලෙන්නෙ කොහොමද කියල හිතුවද? ටිකක් විඳවනවා මාව මතක හිටින්ඩ.

අම්මා: ඔය නහය බුරුල් කරන්න වෙන්නැති. මේ තිප්පිලි ඇටේ හපන්න. නාරං ගෙඩියකුත් මිරිකල දෙන්නං.

මම: හච්චෝස්! හච්චෑස්! අබ්බේ හෙබ්බිරිස්සාව ඉඩ්ඩ බෑ ඩහය.

නහය: මාව මතක් වුණාද? තව ටිකක් සුරුස් සුරුස් ගානවා මතක හිටින්ඩ.

අම්මා: ඉඟුරු කොත්තමල්ලි ටිකක් හදල දෙන්නං. ඒකෙන් ඇරිල යයි.

මම: ඉන්න බැරියෝ කන රිදෙනවෝ. අම්මේ......

කන: හැමදේම ඇහෙන්නෙ කනෙන් කියල කවද්ද ඕනැකමින් හිතුවෙ? විඳවනවා මතක හිටින්ඩත් එක්ක.

අම්මා: මේ සුදුළුණු ගෙඩිය කනේ රඳවං ඉන්න. ළමයෝ උගුර රිදෙන්නෙ හෙම්බිරිස්සාව හැදෙන්න. සෙමට කන් කැක්කුම. මමම ඉන්නෙපැයි සාත්තුවට.
 
ලියා එව්වේ - මගේ ජීවිතය

Tuesday, October 18, 2011

සතුට

අහස රතු පාටට හැරුනා. තවත් දවසක් ගෙවිල ගියා නේද කියල මට හිතුනා.
ඔයා හිටියේ සතුටින්. ආ ගිය ගමන්, යාලුවොත් එක්ක කතා කරපු දේවල්, ඔක්කොම ගිරවෙක් වගේ කියෙව්වා.
"ඇයි  අද වැඩිය කතා නැත්තේ?" හිටි හැටියේම ඔයා  ඇහුවා.
මගේ දුක තවත් හංගන්නේ නැතුව කියනවා කියල හිතුනා.
"අද අපේ යාළුවො ටික මාර වැඩක්නේ කලේ..." ඔයා තවත් කතාවක් පටන් ගත්තා. මාත් අහගෙන හිටියා.
ඇත්ත... ඔයාගේ සතුට දැකල මටත් සතුටු දැනුනා. එත්.... මගේ හිත....
"දවසෙම යාළුවො එක්ක හිටියට ඔයා දුකින් නෙවෙයි නේද ඉන්නේ?"  හිටිහැටියේම ඔයා ඇහුවා.
"අනේ නෑ." කම්මුල් දිගේ වැටුණු කඳුළු ඔයා දකීවි කියල මම ඉවත බලා ගත්තා.
ඔයා තවත් මොනවද කියනවා මට ඇහුනා.


ලියා එව්වේ - Starry Angel (www.tharuatharin.blogspot.com)

Thursday, September 29, 2011

ඇයි උඔට ඉන්නෙ

“මොකද බන් කරන්නේ?”

“පොතක් කියවනවා”

“අපෝ බන්. මේ මහ රෑ මලක් කඩාගෙන ඉන්නෙ නැතුව පොත් කියවන්න? උඹට පිස්සු”

“මල ඉවරයි බන්. එදා අපි දෙන්න කතා කර කර ඉද්දි උඹ ආවනෙ. මම කිව්ව ආයෙ මාත් එකක් කතා කරන්නත් එපා පංති එන්නත් එපා කියල. ඒක දුර දිග ගිහින් වැඩේ ඉවර කලා”

“උඹ හරකෙක්. එච්චර ලස්සන, ඉගෙන ගන්න පුලුවන්, ඩීසන්ට් කෙල්ලෙක් කොහෙන් හොයන්නද”

“ඒක එහෙම තමා. ඒකි පව් බන්. ඒකිට මට වඩා හොඳ කොල්ලෙක් හොයාගන්න පුලුවන්”

“උඹට පිස්සුම තමා. මට එදා උඹල දෙන්න කතා කර කර ඉද්දි ඊරිසියාවෙ බෑ. මම ප්‍රර්ථනා කලා මටත් උඹේ වගේ පට්ට කෙල්ලෙක් සෙට් වෙන්න කියල”

“ඇයි උඹට ඉන්නෙ”

ලියා එව්වේ - isuru71 (http://isuru71.wordpress.com)

Wednesday, September 21, 2011

බැඳි පෙමක අරුම

මගේ මුලූ ජීවිතේම
මුලු ජීවිතේම
වෙනස් වුනා
ඔයා නිසා.
ඔව්
ඒ ඔයා නිසාම තමයි
ඔයයි දැං
මගේ ජීවිතේ.
මට වෙන කවුරුත් නෑ.
ඔයාම විතරයි.
ඔයාම විතරයි
මට හැමදේම..
හැමදාම...

ඒත් ඔයාට
එහෙම නෙවේ.

ඔයාට,
ඔයාගෙ ජීවිතේට
"මාව ලැබීම",
කියන එක,
ඔයාගෙ ජීවිතේට
තවත් එක දෙයක් ලැබීමක්
විතරක්
වෙන්න ඇති.

ඒක වෙන්න ඇති
මේ දේවල්
මට එක විදියකටත්
ඔයාට වෙනස්ම විදියකටත්
දැනෙන්නෙ.

ඒ වචන ටික සමහර විට
කොල්ලෙක් කියන දෙයක් වගේ
වෙන්න පුලුවන්.
ඒත් දැං කියන්නෙ
"කෙල්ලෙක්".

ඒ නිසා සමහර විට මේකෙ
කිසි වටිනාකමක්
නැතුව ඇති.
නිකන්
වචන ටිකක්
වෙන්න ඇති.

මොකද,
ඔයා
ඒක කියවල,
මට කිව්වෙ
"මට තේරුන් නෑ" කියල.


ලියා එව්වේ - හිම කුමාරි (http://himakumari.blogspot.com/)

Wednesday, August 31, 2011

තක්කඩි

මං කිව්වා යන්න කියලා..
හැම මොහොතෙම හැම තත්පරේම,
බස් නැවතුමේ මිනිස්සු අතරේ,
කැන්ටිමේ පෝලිම අස්සේ,
බලන හැම අතකම,
දකින හැම හීනෙකම,
හැංගිලා ඉඳන් කට කොනින් හිනා නොවී,
පා ඇඟිලි වලින් ඉස්සී නොබලා,
යනව කිව්ව දිහාටම..
ඉන්නව කිව්ව කෙනා ලඟටම…
මං කිව්වා එහෙම…
හිතා ගත්තා අමතක කරන්න,
උන දේවල් ඔක්කොම..
මචං, වරඳක් කලේ නෑ මම එයාට,
කවමදාවත්,
කරන්න හිතුවෙත් නෑ..
දැනගෙන හිටියේ නෑ එයාලා ගැන,
එයා කිව්වෙත් නෑ කවදාවත්..
මතකයි ඉස්සර අපි බැනපු හැටි,
පවුලක් මැදට පැනල ඒක අවුල් කරන තක්කඩින්ට…
සමහරවිට ඒ අයත් තක්කඩි නොවෙන්න ඇති,
මාත් තක්කඩියෙක් නොවෙන නිසා..
මං කතා කරනවා වැඩිද බං..?
වක්කරපං අන්තිම ටිකත් ඔය කෝප්පෙටම.

ලියා එව්වේ - බූටා

Related Posts Plugin for WordPress, Blogger...