Showing posts with label තරුනිසළයි. Show all posts
Showing posts with label තරුනිසළයි. Show all posts

Monday, March 4, 2013

බිග් මැච්

ආනන්ද නාලන්ද ගුටි බැට හුවමාරුව පසුදින උදයේත් රුපවාහිණි තිරයේ දිස් විය.

'නංගා මේ ටිවී එක ඕෆ් කරලා දාන්න.'

ජිතේන්ද්‍ර තම නැගණියට කීවේය.

'මචං අරුං අපේ එවුන්ට ගහලා, ඕක නිකං අතෑරලා බෑ අපිත් දෙන්න ඕනේ රිටන් එක.'

බිග් මැචයේ තුන්වන දිනය අවසානයේ ක්‍රීඩා පිටිය අහියස මාර්ගයේ මහා ගාලගෝට්ටියකි. එය වැලැක්වීමට ගිය පොලීසියටත්  විශේෂ පොලිස් බලකායටද ගුටි වර්ෂාවකින් පිලිතුරු ලැබිණි. 

'අම්මෝ'
තඩි පොල්ලක් තම හිස මතට පතිත වීම පමණක් ජිතේන්ද්‍රට මතකය.

පාසල් දෙකක බිග් මැචය මීට වසර තිහකට පෙර එසේ නිමා විය.

'සර් අපි වොශ් කරමුනේ.'

ජෝන්, ජිතේන්ද්‍රගේ කඩා වැටෙන අත පයද සීරුවෙන් තබා තම දෑතින්ම ඔහු ඔසවාගෙන නාන කාමරය දෙසට ඇදුනේය.


ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/

Tuesday, February 19, 2013

වස්සානයට පෙර

'මොකක්ද බං ඒ සද්දේ? කවුදෝ කෙඳිරි ගානව වගේ, ගෑණු කටහඬක්!'

අවාරේ සිරි පා වඳින්න, කුරුවිට පාරෙන් යන නඩයකට කැලෑව තුළ තිබුණු පුංචි පන්සලකින් මේ ශබ්දය ඇසුණි.

ඉන් එකෙක් පන්සලේ කාමරය තුළට එබිකම් කර බැලුවේය. ඒ දුටු දෙයින් ඔහුගේ ගතත් සිතත් සලිත විණි.

'ගමේ පන්සලෙත් මෙහෙමත් හාමදුරුවරු, මදැයි වන්දනා ගමනක් ඇවිල්ලා දැක ගත්ත දේ'

තවමත් මැදි වයසේ සිටි ඔහුගේ ගතින් දහඩිය රූරා වැටුණි. අඳනකඩය පමණක් ඇඳ සිටි ඔහු ඇගේ කකුල් ඉතා තදින් පිරිමදියි ඒ අතර කටින් යමක් මුමුණයි.

'දැං හරි'

ඔහු කෙළින් නැගී සිටියේය.

'හාමදුරුවනේ, එහෙනං මං නෝනෙව ගෙදර දාලා ඉක්මනට එන්නම්.‘

'උපාසක උන්නැහේගේ කැමැත්තක්. මං යනවා ඉතිරි පිටි ටික කොටන්න'

ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/

Wednesday, February 13, 2013

අත්

රක්ත වර්ණයෙන් පිරුණු දෙකොපුල්, සතුටින් ඉපිලීගිය මුව කමල .

මනාව දිගටිව තබා වර්ණ ගල්වා තිබූ නියපොතු, පුලුන් රොදක් තරම් සිනිඳු ඒ අත් අහා කෙතරම් සුන්දරද ඇය.

සුදුමැලි වූ ශෝකී මුහුණ .

අවපැහැගැන් වී කොටටම කපා තිබූ නියපොතු, ඉලිප්පුනු නහරවලින් යුත් ඒ ගොරෝසු අත්.

අත්



අත්

මම එක එල්ලේ ඇගේ අත් දිහා බලා සිටියෙමි. වසර පහළොවකට පෙර ඇයගේ තරම් සියුමැලි අතක් මම කවරදාකවත් නොදැක තිබුනෙමි. ඒ අත්ල මොනතරම් සිනිඳුද මට අද වගේ මතකයි, මම ඒ අත් වලට වශී වුණෙමි එහෙත් අද කෝ ඒ අත්? මගෙයි දරුවන්ගෙයි වැඩපල කරලාම ඇගේ අත් අද ගොරෝසු වෙලා.

"ස්වාමීනි මේ දික්කසාද නඩුව මම ඉල්ලා අස් කර ගන්නවා."

ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)

Monday, February 11, 2013

කෝච්චිය

පාසල නිමවි මරදාන ඉස්ටේසමට එක් රොක් වෙන දඟකාර යුවතියන් ගෙනුත් කොලුගැටයන් ගෙනුත් මුලු ස්ටේසමම පිරී ගොසිනි. තැන් තැන් වල ආදරය කරනා පුංචි කොලු, කෙලි පැටික්කියන්ය. තවත් තැනෙක විහිලු තහලු කරගන්නා තරුණියන් රොත්තකි. තවත් තැනෙක ගැහැණු ළමයින්ට බැලම හෙලනා කොලුගැටයන්ය.

'පස්වන වේදිකාවට දැන් පැමිනෙණ  දුම්රිය කලුතර බලා පිටත් වේ. එය කලුතර දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත.'

යකඩ කටින් කියවුනු ඒ හඬ ඉස්ටේසම පුරා දෝංකාර දුන්නේය. කෝච්චිය ආයුතු වේලාවට වඩා පැයක් පමණ ප්‍රමාද වී තිබූ බැවින් තම නිවෙස් කරා යෑමට ලහි ලහියේ ලෑස්ති වුණු සියල්ලන්ම වේදිකාව මත සිට ගත්හ.

ඈතින් හූ කියාගෙනම කොච්චිය එනවා පෙනුණි.

'සමාවන්න එය කෝච්චියක් නොව එන්ජිමකි'
 
ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)

Friday, November 16, 2012

නාන තටාකයේ බණ්ඩා

බණඩා,  රටේ ප්‍රධාන අමාත්‍යංශයක ඉහළ තනතුරක් දරන පුද්ගලයෙකි. මොනතරම් ඉහළ තනතුරක් දැරුවද ගැමියෙකු වූ මොහු බුලත් කෑමේ පුරුද්ද අත් නොහැරියේය. තමන් ගැමියෙකු වීම ගැන ආඩම්බර වූයේය.

දිනක් බණ්ඩාට ඔහුගේ අමාත්‍යංශයේ කීපදෙනෙකුත් වෙනත් කාර්යාලයක කීපදෙනෙකුත් සමඟ විශේෂ වැඩමුඵුවකට සහභාගී වීම සඳහා ලන්ඩනය බලා පිටත් වීමට සිදු විය.

සියල්ලෝම ලන්ඩනයේ ප්‍රධාන පෙලේ හෝටලයකට සේන්දු වූහ. කතා කර ගත් පරිදි හොටලයේ නාන තටාකයට පැමිණ විනෝද වූහ. බණ්ඩාද තටාකයට බැස්සේය.

ඔහුට එය නාන තටාකයක් බව අමතක විය. ඔහුට එය පෙනුණේ ගමේ වැවක් ලෙසය ඔහු හොඳින් නාන ගමන් හොඳ හැටි තම ශරීරයේ කුනු අතුල්ලන්නට පටන් ගත්තේය. තටාකයේ සිටි එකා දෙන්නා බැගින් ඉන් නික්මෙනු බණ්ඩාට නොපෙනුනි.

ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)

Monday, September 24, 2012

පැවිද්දෙක් දුටිමි

දුම්රිය සෙමින් සෙමින් ස්ටේෂමට සේන්දු විය. දුම්රිය තුළට වැදුනු මා දෙනෙත් සෙවූයේ ආසනයකි. ඉදිරිපසම හිස්ව තිබුණු අසුනක මා අසුන් ගත්තෙමි.

ඉදිරි පස අසුනේ මට මුහුණලා සිටියේ තම දෑස් බිමට නැඹුරු කර ගත් පැවිද්දෙකි. තැන් තැන් වල අණ්ඩ දමා තිබුණු සිවුරත්, විවර්ණ වුණු කුඩයත්, පාවහන් පවා නොපැලඳ සිටි උන්වහන්සේගේ මුහුණින් විහිදුනේ පුදුමාකාර කාන්තියකි. මුළු ශරීරයෙන්ම අමුතුම දිස්නයක් විහිදුණි. දකිනාවුනගේ නෙත් සිත් ආකර්ශණය කර ගත් ඒ රුව තුල පැවතුනේ පුදුමාකාර ප්‍රසන්න පෙනුමකි. ශාන්තියකි !

උන් වහන්සේ කැලණිය දුම්රිය ස්ථානයෙන් බැස යන තුරුම මා උන් වහන්සේ දිහා ඇසි පිය නොහෙළා බලා සිටියා යැයි වැටහුණේ එවිටය. කිසිදු දිනෙක එතරම් ශාන්තියක් මා සිතට දැනී නොමැත.


ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)

Monday, September 17, 2012

ජාතික ගීය

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් අවසානයේදී ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේය. එහි සතුට සැමරීම සඳහා  කාර්යාලයේ සේවකයින් සියළුම දෙනාට පසු දින උදයේ දහයට කාර්යාල භූමියට  පැමිනෙණ ලෙස වසර ගනණක් ඕස්ට්‍රේලියාවේ හැදී වැඩුණු කළු සුද්දකුගෙන් ඊ මේල් පණිවිඩයක් ලැබුණේය.

දහයට විනාඩි පහක් තියා කාර්යාල සේවකයින් විශාල ප්‍රමාණයක් කාර්යාල භූමිය තුළ එක් රැස්ව සිටියහ.

මෙය දුටු කළු සුද්දාට තම දෑස් පවා අදහාගත නොහැකි විය. ඔහුගේ සතුට උතුරා ගියේය. ඔහු විනාඩි පහක  හැඟුම් බර ඉංග්‍රිසි ස්තූති කථාවක්ද පැවැත්වූයේය. එයට ලංකාවේ හැදී වැඩුණු කළු සුද්දියන් කීපදෙනෙකුද සිටියහ.

වේලාව හරියටම දහය විය. ඔහු ඕස්ට්‍රේලියානු ජාතික ගීය කියන්නට කට හැරියේය.

“ශ්‍රි ලංකා මාතා........”

ඔහු බිම බලාගෙන කාර්යාලය තුළට වැදුණේය.


ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)

Monday, September 10, 2012

පෑන් කේක්


බණ්ඩාරණායක ගුවන්තොටුපලේ සිට ගුවනට නැගුනු ඉතියෝපියන් එයාර්ලයින් ගුවන් සේවය බෙනින් බලා පියෑඹුවේය. ගුවනේ පැය පහකට වඩා පියාසර කිරීමත් ගුවන් සේවයේ අඩු මඟී සේවයත් ඔහුට  පැය දහතුනක ගමන එපා කර තිබුණි. ඒ අතර දැඩි කුසගින්නෙන්ද පෙළුණු ඔහු එයද ඉවසා ගෙන සිටියේය.

ඉන් ටික වේලාවකට පසු නොදැනුවත්වම ඔහුට නින්ද ගොස් තිබුණි. පැය කීපයකට පසු ගුවන් සේවිකාවක විසින් ඔහු ඇහැරවීය.

එක් ගුවන් සේවිකාවක් කුඩා පිඟන් වල පෑන් කේක් බෙදමින් එමින් සිටියාය. මොහුටද පිඟානක් ලැබුණි. මොහුද හරි බරි ගැහෙමින් පෑන් කේකය කටේ ඔබා ගන්නට සිතා අතින් එය ගන්නට සැරසුණි. එහා අසුනේ සිටි තැනැත්තා පෑන් කේකය දිග හැර එක් වරක් ගසා තම මූණ පිසදා ගත්තේය.



ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)

Friday, August 31, 2012

සුදුවත ඇඳි කත

බෙල්ලන්විල පන්සලේ පෙරහැරට පාසල් රතු කුරුස සංගමේ ශිෂ්‍යයින්ට රාජකාරි පවරා තිබුණි. ශිෂ්‍යයින් දෙදෙනකු පමණක් විහාර භූමියේ තබා අන් සියල්ලෝම උත්කර්ෂවත් අන්දමින් ඇරඹුනු පෙරහැරේ ගියහ.

රාත්‍රී දොළහමාරට පමණ සුදු වස්ත්‍රයකින් සැරසුණු කාන්තාවක් අතේ කපුරු කැබැල්ලක්ද දල්වාගෙන ශිෂ්‍යයින් දෙස නොබලා උන් පසු කරමින් විහාර භූමිය තුලට ගියාය. කොලුවන් දෙදෙන ඔවුනොවුන්ගේ මුණූ බලා ගත්හ. උන්ගේ සිත් චකිතයකින් වෙලුණි.

විනාඩි කීපයකට පසු හතර පස් දෙනෙකු මොවුන් සිටිනා දෙසට දිව ආහ.

"පුතා මේ පැත්තට ගෑණු කෙනෙක් එහෙම ආවද?"

"ඔව් අංකල් අර පැත්තට ගියා." එකෙකු තම ඇඟිල්ල දිගු කර ඇය ගිය දෙස පෙන්නුවේය.

"හොඳ වෙලාවට තව ටිකෙන් ඉවරයි."

"ඇයි අංකල්?" එකෙක් ඇසුවේය.

"එයාට යකෙක් වැහිලනේ පුතා"


ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)

Monday, August 20, 2012

සීයා

දුම්රිය කොටුව සිට මොරටුව බලා ධාවනය වෙමින් තිබුණි. එහි එක් අංගනයක හතර පස් දෙනෙකුට වඩා නොසිටියෙමු. කොනක ශාන්ත පෙනුමින් යුතු සීයා කෙනෙකු වාඩි වී සිටියේය. ඔහු නැගිටවිත් කීපදෙනෙකුගෙන්ම මුදල් ඉල්ලා සිටියත් කවුරුවත් ඔහුට මුදල් නොදුන්හ. කාර්යාලයට යාමටයි ගෙදර ඒමටයි හැර මා අතේද එතරම් මුදලක් නොතිබුණු බැවින් මාද බිම බලා ගතිමි.

දුම්රිය වේගයෙන් මුහුදු බඩ මාර්ගය දිගේ ඇදී යයි. මාද සුපුරුදු පරිදි මුහුද දෙසට හැරී එදෙස බලා සිටියෙමි.

එක් තත්පරයකට මාගේ දෑස් හිඟන සීයා ලඟ නතර විය. එම සීයා තම කදුඵු පිස දමමින් හඬනායුරු දුටුවෙමි. මා කොල්ලුපිටිය දුම්රියපොලෙන් බසින්නට පෙර අතේ තිබුණු සොච්චම ඔහු අතට දී ඔහු දිහා නොබලාම බැස ගියෙමි.

ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)

Monday, July 23, 2012

සෙනෙහෙ බර අයියණ්ඩි


"මගේ නංගීට රස්සාවක් ලැබුණා. ඇඳගෙන යන්න හොඳ ඇඳුමක්වත් නෑ නෝනාගේ පරණ අඳින්න පුලුවන් ඇඳුමකුයි සෙරෙප්පු ජෝඩුවකුයි තියෙනවා නම් මට දෙන්න, පිං සිද්ද වෙයි." හරිම දුක් මුසු ලීලාවෙන් ඔහු කියවගෙන ගියා.

 පරණ අඳින්න පුලුවන් ඇඳුම් ටිකක් මං ඔහු අතට දුන්නා.

නෝනා මට ගෙදර යන්න කීයක්වත් නෑ. කීයක් හරි දෙන්න පුලුවන්ද?"

"මගේ ළඟ දෙදාහේ කොළයක් තියෙන්නේ මාරු සල්ලි නෑනේ. මාරු කරලා ගෙනත් දෙනවා නම් මං දෙන්නම්."

දෙන්න  මං මාරු කරලා ගෙනත් දෙන්නම්. දැං කාලේ  ඉන්න හොරු නිසා අපි වගේ දුප්පත් අහිංසක මනුස්සයෙක්ටවත් මිනිස්සු කිසි දෙයක් දෙන්නේ නෑ.

ඔහු ඉවත් වීමට පෙර මෙසේද කීවේය.

"නෝනා, මං ගියාට පස්සේ දැන ගනීවී මං කවුද කියලා."

ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)

Wednesday, May 30, 2012

ෆේස් බුක් ප්‍රේමය.


"බන්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පොත් ප්‍රදර්ශණය නැරඹීමට හා පොත් මිලදී ගැනීමට  විශාල පිරිසක් අවට සැරිසරමින් සිටියහ. විනෝජ් උසස් පෙළේ ඉගෙනුම ලබනා කොලුගැටයෙකි. ඔහු තම මිතුරාත් සමඟ එතැනට විත් සිටියේ මූණු පොතින් හමුවූ තම අලුත් පෙම්වතිය මුණ ගැසීමටය.

වේලාව තත්පරයෙන් තත්පරය ලං විය. ඒ අතර සුන්දර කෙල්ලන්ගේ මුහුණු පෙනී නොපෙනී ගියේය.

"හෙලෝ ඔයා විනෝජ් නේද?" යැයි පමනට වඩා ශරීරයෙන් විශාල කළුම කළු කෙල්ලක් ඔහුගෙන් ඇසුවාය. ඇය ඇඳ සිටියේ විනෝජ්ගේ ප්‍රේමවන්තිය කියූ ආකාරයටමය. කට හඬඳ දුරකථනයෙන් ඇසුනු ඒ හඬමය.

"බුදු අම්මෝ….." කියා ගෙනම විනෝජ් සෙනග පීරාගෙන ඉදිරියට දිව්වේය. සිදු වූ දේ වටහා ගත නොහැකි වූ ඔහු මිතුරා ඔහු පසු පසින් තරඟයට මෙන් දිව්වේය.

ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)

Wednesday, May 23, 2012

වැලන්ටයින්ස් ඩේ...

"මචං අර දේවි එකේ කෙල්ල කනත්ත ළඟ හෝල්ට් එකට එනවා කියලා මෙසේජ් එකක් දාලා තිබුණා බං. අතේ සතේ නෑ, අම්මාගෙන් ඉල්ලුවාම බස් එකට මිසක වැඩිපුර සතයක් දෙන්නෙ නෑ කිව්වා. මොනවා කරන්නද කියලා තේරෙන්නේ නෑ“

අගනුවර ප්‍රධාන පෙළේ පාසලක කොලු ගැටයන් දෙදෙනෙකුගේ බරපතල ප්‍රශ්නයකි.

"හම්ම්ම්...... හරි මචන් මම කියන්නම් අපි යමු කනත්තට."

තම සගයා පත් වී ඇති බරපතල ප්‍රශ්නය වටහා ගත් අනෙකා කමල් වන තම සගයාවද ඇදගෙන කනත්ත තුලට රංගුවේය.

උදයේ හතට පමණ සුදු පාට පාසල් නිල ඇඳුමෙන් සැරසී, කොන්ඩය කරල් දෙකකට ගොතා පියකරු, සිනාපිරි මුහුණින් ඈ බස් නැවතුම් පොලට ආවාය.

"හිරුණි හැපි වැලන්ටයින්ස් ඩේ!"

කමල් ලස්සන රෝසමලක් ඈ අත තැබුවේය

ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)

Sunday, June 12, 2011

හිඟන සීයා

හැමදාමත් පාර අද්දර තැපැල් කන්තෝරුව අසල වාඩි වී සිටිනා හිඟන සීයා දක්නට නොසිටියේය. සති කීපයක් එය ඔහුගේ නවාතැන විය. ටිකක් විපරමින් වට පිට බැලුවෙමි. හොඳින් ඇඳ පැළඳ ගත් දෙදෙනකු ඔහු ද රැගෙන දුම්රියපළ වෙත යනු දුටුවෙමි. මට දුකක් දැනුණි.

මම හැමදාමත් කොච්චියෙන් බැස එන විට කීයක් හෝ මුදලක් ඔහු අතට දී ඒමට පුරුදු වී සිටියෙමි. එය ගත් ඔහු "දුවට දෙවි පිහිටයි" කියා ආශීර්වාද කළේය. මා අත මුදල් නැතිදාට සිනහවකින් සංග්‍රහ කිරීමට අමතක නොකළෙමි.

"අර මෙතන හිටපු හිඟන මිනිහාගේ පුතා ඒ මනුස්සයාව ගෙදර එක්කං ගියා." එතැන සිටි මිනිසකු කියනා හඬ මට ඇසුණි.

ඔහු යන දෙස බලා සිටි මට විශාල සතුටක් දැනුණි.

ලියා එව්වේ - තරුනිසළයි (http://tharunisalai.blogspot.com/)

Monday, April 11, 2011

පස්සෙන් බහින්න

දවසක් මායි නංගියි බස් එකේ යනවා. පුරුද්දට වගේ කතා කරනවට වඩා හිනා වෙනවා. හිනා වෙනවා කිව්වට වඩා හිනා යනවා කිව්වාම තමයි හරි. බස් ගමන් අපි දෙන්නට එහෙමයි හොඳේ.

බස් කොන්දොස්තර බරටම වැඩ. වටේම ඉන්න මිනිස්සුන්ට බනිනවා. හිටපු ගමන් බනත් දෙසනවා.

අපි බහින්න ලංවෙන හෝල්ට් එකත් ආවා. නංගියි මමයි බස් එකේ ඉස්සරහ දොර පැත්තට හෙමින් සේන්දු වුනා. මොකද අපි ඒ දොර කිට්ටුව හිටපු නිසා. බස් එක නවත්තන්න ඔන්න මෙන්න.... එකපාරටම කොන්දා කෑ ගහන්න පටං ගත්තා "ඔය නෝනලාට තෙරෙන්නෙ නැද්ද? පස්සෙන් බහින්න... පස්සෙන් බහින්න"

"ඇයි දෙයියනේ මෙච්චර අගේට කකුල් දෙකක් තියෙද්දි මොකටද පස්සෙන් බහින්නේ" මං ඇඟට නොදැනී එහෙම කියල බස් එකෙන් බැස්සා....

ලියා එව්වේ - තරුනිසළයි (http://tharunisalai.blogspot.com/)

Wednesday, April 6, 2011

ආයෙමත් ඇවිදින්

"ගෙදර කවුද?"

නිවස තුළින් වසර හැටක පමණ පිරිමි කෙනකු එළියට ආවේය.

"මම ආවේ මිස්ටර් කොඩිකාර හම්බවෙන්න" යැයි ඇය මඳ සිනහවක් පෑවාය.

"මම ලිහිණි වේවැල්වල" ඇය ඇයව හඳුන්වා දුන්නාය.

ලිහිණි, කොඩිකාරට වඩා වසර විසි පහකින් ලාබාල ගැහැණියකි. මීට වසර දහ තුනකට පෙර නැති වූ ඒ ප්‍රේමය නැවතත් ඔහු සොයා ඇවිදින්. වසර දෙකක පමණ කාළයක් දුරකථනයෙන් පෙම්බස් දෙඩුවත් කවදාවත් එකිනෙකා නොඳුටු ඔවුන් දෙදෙන හමු වූයේ අදයි.

“මට ඔයාව දකින්න ආස හිතුනා ඉතින් මං ආවා" යයි කියා ඇය මඳ සිනහවක් පෑවාය.

"එහෙනම් මම යන්නම්" කියා ඇය දණ ගසා ඔහුට වැන්දාය.

"බුදුසරණයි" ඔහුට කියවුනි.

"මම යන්නම්" කියා එම නිවස දෙස නොබලාම ඇය යන්නට ගියාය.


-
ලියා එව්වේ - තරුනිසළයි (http://tharunisalai.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...