Friday, November 29, 2019

අයිති කරගැනීම

ඔහු ඇඳ මත වැතිර හිටියේ හිසත් කොට්ටයත් අතර දෙඅත් හොවාගෙන කාමරය පුරා රැඳුණු ඇගේ සුවඳ විඳිමින්...

මේ හැඟීමට කියන්නෙ අයිති කරගැනීමේ ආසාව කියලා. ඒක අවසානයේ ඉතිරි කරන්නෙ දරාගන්න අමාරු වේදනාවක්. හදවත රිද්දන ඔළුව විකාර කරන සිහිය අවුල් කරන වේදනාවක්.
ඒත් වේදනාවක් බව දැන දැනත් ඒ හැඟීම හඹා යන එක මනුස්ස ස්වභාවයද?

බොහොම හුරු ඒ අත්දැකීම ඇයට කොහොම පැහැදිලි කරන්නද?

නැතිනම් ඇය දැනටත් ඒ බව තේරුම් අරන්ද?

ඈ හිටියේ පිටව යන්න සූදානම් වෙමින් තුවාය ඇඳ විට්ටමේ වනා ඇඳුම් ඇඟලන්නට පටන්ගනිමින්...

ඔහුගේත් ඇයගේත් ලෝකය පවතින්නෙ අද හවස් වෙනකල් විතරයි.

ඊට පස්සෙ වෙනත් අය එක්ක බෙදාගත්තු තමන්ගේ නිරස ස්ථිර ලෝකවලට ඔවුන්ට යන්න වෙනව.




ලියා එව්වේ - Hare :-)

Thursday, November 28, 2019

වඳවීමෙන් ගැලවීමට...


"අන්තිමේ උඹ ආව නේද?"

ගැඹුරු හඬක් තිබුණ මිනිහා ඉමාන්ගෙන් ඇහුවා. ඉමාන්ට තව දුරටත් වේදනාවක් නොදැණෙන පාවෙනසුළු සැහැල්ලු බවක් දැනෙමින් තිබුණා. ඔහු දිය පාර දිහාට හෙමින් ඇවිද්දා.

"උඹල නැත්තටම නැති වෙන්නෙ නෑ උන්ගෙ ගොදුරක් වුණානං...."

මිනිහා දිගටම කියෙව්වා. ඔහු සතු වුණේ හිස් බැල්මක්. ඒ බැල්ම තුල ඔහු ලෝකයම තේරුම් අරගත් බව පෙණුනා.

"හරක්, කුකුල්ලු, ඌරො ඔක්කොම තව කාලෙකට නැති වෙලා යන්නෙ නෑ. උන් ජීවත් වෙන්නෙම ගොදුරු වෙන්න බලාගෙන..."

මිනිහා ඉමාන්ගෙ පිට අතගෑවා.

"උඹලවත් කෑමට ඇති කලානං කාලෙකට නැතිවෙන්නෙ නෑ..."


ඉමාන් යනු පසුගිය නොවැම්බර් 23 දින මිය ගිය මැලේසියාවේ වාසය කල අවසන් සුමාත්‍රියානු රයිනෝයි. ලෝකයේ සුමාත්‍රියානු රයිනෝවන් තවත් ඇත්තේ 80කටත් අඩු ගණනක්.


ලියා එව්වේ - Hare :- )

Monday, July 17, 2017

ඇයයි රළයි මමයි

මුහුදත් ගැහැණිය බඳුය. විටෙක නිශ්චලය. එවිට මුහුදු පෘෂ්ටය කන්නාඩියක් මෙන් දිලිසේ. විටෙක චණ්ඩය. එවිට නෞකාවකුදු එය තරණය කිරීමට නිර්භීත නොවේ. විටක වෙරල ඉක්මවා ගොඩබිම ආක්‍රමණය කරයි. වැඩි කලබලයක් නැතිව හඬ නංවමින් සිටි.

බැම්මේ ඉහලින් වාඩිවී මාත් මට පියවරක් පහලින් තිබු බැම්මේ වාඩිවී ඈත් සිටින අතර අපේ දෑත් සිර නොවී, ඒත් මිදෙන්නටත් නොහැකිව වෙලී තිබුණි. ඇය හිස මාගේ දකුණු බාහුවේ තබා මදක් දකුණු පැත්තකට ඇල කර මහා සැනසුමකින් සුළං හඬ අසමින් අඩසඳ පායා තිබූ රාත්‍රියේ පෙනෙන නොපෙනන රළ බිඳුම බලා සිටියාය.

මම ඇයට හොරා හෝරා ගණනක් ඇය දෙස බලා සිටියෙමි.

ඇය එක්වරම හිස ඔසවා මා දෙස බැලුවාය.

මම මුහුද දෙස බැලීමි.


ලියා එව්වේ - ප්‍රභාත් විතානගේ |  saimaas.blogspot.com

Wednesday, March 15, 2017

මොහොතකට පෙර...

ඔවුන් කාමරයෙන් පිටව ගියේ විදුලි පහන නිවාගෙනය.

මේසය අසල වැටි සිටි මිනිසා කෙඳිරියක් නංවමින් උඩුබැලි අතට හැරෙන්නට විය. උණ්ඩ කිහිපයකින් පසාරු වී ගොස් ඇති සිරුරේ ප්‍රාණය වැඩි වෙලාවක් නොරැඳෙන බව ඔහුට දැනුණි.

හෙතෙම ජැකට්ටුවේ දකුණු සාක්කුවට අත දමා බැලිය. තැලුණු සිගරට් පැකට්ටුව තුල යම්තමින් පොඩි වූ සිගරට්ටුවක් සුරක්ෂිතව ඇති බව දැනුනි. සැනසුමට පත්ව එය මුවේ රුවාගෙන අනෙක් සාක්කුවෙන් ලයිරටය ගෙන දැල්වීමට දැරූ ප්‍රයත්න කිහිපයකින් පසුව හොඳින් හුස්මක් ගෙන හෙතෙම සියලු ශක්තිය යොදා සිගරට්ටුව පත්තු කළේය.

නමුත් ඔහු ආග්‍රහණය කලේ සුපුරුදු දුම්කොළ හා තුනී කඩදාසි දැල්වෙන සුවඳක් නොව ස්පොන්ජයක් පිළිස්සෙන සුවඳකි. ඔහුගේ මුවට නීරස කහට රසයක් දැනුණි.

ඉකි බිඳුමක් කාමරයෙන් නික්මිණි.


ලියා එව්වේ - ප්‍රභාත් විතානගේ |  saimaas.blogspot.com

Monday, April 4, 2016

මං අකමැති බෝනික්කන්ට.

ඉස්සර මං කැමතිම බෝනික්කන්ට. හැබැයි අපේ අක්කා ආසා වීරයන්ට. අක්කා හැම හවසකම මාව ළං කරගෙන වීරයො ගැන ලස්සන කතන්දර කියාදෙනවා. අන්තිමේදි අක්කාට කතන්දරයක වගේ වීරයෙක් හම්බුණා. දුෂ්ටයො එක්ක යුද්ධ කළා. හපන්කම් කළා. අක්කා ඒ ගැන සතුටු වුණා.

හැබැයි වීරයා ටික කාලෙකින් අතුරුදහන් වුණා. සමහරවිට තවත් යුද්ධයක් ඇති.

ඒ වුණත්  වීරයා අතුරුදහන් වුණ දුකට අක්කාට වමනෙ යන්න ගත්තා. ඒ නිසා අම්මා අක්කාගෙ කම්බුලට ගැහුවා. ඊට පස්සෙ තමයි අක්කාගෙ බඩ ඉදිමෙන්න ගත්තෙ. ටික කාලෙකින් අක්කා බෝනික්කෙක් එළියට දැම්මා. බෝනික්කාව දකිනකොට මිනිස්සු හිනා වුණා. ඒ අය හිනා වෙනකොට අක්කා ඇඬුවා. අඬලාම එපාවෙච්ච දවසක අක්කා හුස්ම ගන්නෙකත් අත්හැරියා. ඒ නිසා දැන් මං අකමැතිම බෝනික්කන්ට.

ලියා එව්වේ - නීනු (http://neranji-sulakkana.blogspot.com/) 

Related Posts Plugin for WordPress, Blogger...