වෙලාව අටයි. බස් එක ස්ටෑන්ඩ් එකෙන්ම කට කපලා.
අද පොළ දවස. ගමට යන අන්තිම බස් එක.
මං යන්නෙ කිලෝමීටර් තුනයි. දවාලක නම් පයින් යනවා.
මේ කළුවරේ රබර් කට්ටිය පහු කරන එකනෙ හීනෙන්වත් හිතන්ඩ බැරි.
නැග්ග සෙනග අස්සෙන්ම. "ඉස්සරහට යන්ඩ ඉස්සරහට..." කොන්දොස්තරගේ කටින් මළකඩ විසි වුණා.
ආයෙ හෙලවෙන්ඩ බෑ. ලූනු, කරවල, දහඩිය, විට හප මුසු කුයිලකින් බස් එකම පිරිලා. දොර ළඟම දුංකොළ ගෝනියකුත්.
ළඟ බහින අය ඒකත් තරණය කරල එපැයි බැහැගන්න.
බාර් එක ළඟත් නැවැත්තුවා. හිස පහළට නැවුණු බේබද්දෝ තුන්දෙනෙකුත් ඉස්සරහ දොරෙන්ම නැග්ගා.
යන්තම් හිස එසවූ උන් එකෙකුගේ කටෙන් රත්තරං විසි වුණා.
"මේ පැත්තෙ ගෑණු කට්ටිය ඉන්නවා අපි අරහෙට හැරෙමු බං"
ලියා එව්වේ - මගේ ජීවිතය(http://jeevithaya.wordpress.com/)