Showing posts with label ලලින්ද්‍ර පෙරේරා. Show all posts
Showing posts with label ලලින්ද්‍ර පෙරේරා. Show all posts

Monday, December 20, 2010

මම ශිලා ලිපියක්..

අඳුර සටන් වැද
ආලෝකය පැරද පලා ගිය

ඒ සැන්දෑව
මහ රාත්‍රියක් වූයේ
ඔබේ දෙනෙත් නිසා ය!

ඒ සඳයැ
සොමිකරය
සිසිය
සිසිවන උවනත සම කළ ඒ සඳමය!
ඔබෙ දෙබැම නිසාය
දෙව්දුනු වන්
තුමුල නමුණුකුල සේම
නිම්නයෙන් නැගී ආ
ළමැද නිසාය
තිසරුන් වන්
සරාගී සඳ!

දොඹ ගස මුදුනින් නැගී
අතුපතර සැඟවී සෙමෙන්
ඉඟබිඟි කළේ
නුරා සරා
එසඳ මම බලා සිටියෙමි!

පෞරාණික ශිලා ලිපියක් වැනි මගේ මුහුණ
සිප සනහා ලූ ඔබ මන්ද මාරුතයක්
ගගන සැරිසරන මන්ද මාරුතයක්
සරැළි නගන චණ්ඩ සයුරු තෙර
සුමුදු ලෙස සිප සනසන
මන්ද මාරුතයක්

මම ශිලා ලිපියක්
අතීතයට හිමි අක්ෂර ගොඩක්
මහ රහසක් සඟව ගත්
මිනිස් ශිලා ලිපියක් මං...

ලියා එව්වේ - ලලින්ද්‍ර පෙරේරා

Wednesday, December 8, 2010

අලුත් නමකින් වැඩේ පටන් ගන්න.

"දැං මේ සංස්කෘතික වැඩ කරා කියලා…
කාලාන්තරයක් තිස්සේ සමාජය ඉදිරියේ…
විශේෂයෙන් වැඩකරන කම්කරු ජනතාව ඉදිරියේ…
කරපු අවිනීත ජඩ පාවාදීම් එක්කල ආයෙම ඒ ජන කොටස් පක්ෂය වටා‍ ගොනු කරගන්න
කවි ගැන, නාට්‍ය ගැන, චිත්තරපටි ගැන හරි සංවාද කරල වැඩක් වෙනවා කියල?
එලියේ අද දවසේ මේ මොහොතේ ජීවත් වෙන මිනිස්සු අල්ලන්න අමාරුයි."
"අමාරුයි නොවෙයි බැහැමයි. "
"පාවා දීම් කළේ පක්ෂය ගොඩනගන්න වෙන්න ඇති. නමුත් දැං ගොඩනැගිලා ද? නැහැනේ. ඒව බයිල!"
"ඒ හින්දා ඔය‍ ශ්‍රේෂ්ඨ අතීතයක් විතරක් තිබ්බ පක්ෂේ වහලා දාලා වෙනත් නමකින් ආයෙම පටන් ගන්න. "
"ඒකට මධ්‍ය ලක්ෂ්‍ය හරි කමක් නෑ
නව ලක්ෂ්‍ය හරි කමක් නෑ
මොකක් හරි අලුත් නමකින්
වැඩේ පටන් ගන්න."

ලියා එව්වේ - ලලින්ද්‍ර පෙරේරා

Monday, October 18, 2010

අනතුර...

"ඔහොම හාන්සි වෙන්න හෙල්ලෙන්නෙපා මහත්තෙයො උඩ බලාගංට...

....සතාසරුපයා ගොම්මනේ ඇදෙනවා රැලට. උන් එක එකා ඉව කරගන්නවා රාත්තිරියට උණුහුමට...පුරුදු පාරෙන් තමයි මංකඩ හරහා එන්නේ. ඔය ආර ගාව දෙතුන්දොහේ තුන්පත් රෑන එහා මෙහා යනවා දැං දැකපු අය කී දෙනෙක් ද? හැබෑවටම අලියා දස්සයා. ඌට තරම් මතකයක් නෑ කිසිම සීපාවෙකුට...දඩයමේ යන එකාගේ ගඳ උන්ට දැනෙනවා. කිසි සංගදියක් නෑ දඩමස් නොකන එකාට...හාරමාසෙකට ඉස්සෙල්ල විලියයියා මළෙත් අලියා ගහල. උන්නැහේ හේන් කොටනවා කියල වෙඩි බැඳං හතර‍වටේ කංසා වවමින් උන්නා වන්නිය මැද්දෑවේ...ඌරු හපුවෙක් තිබ්බෙ නෑ හතරගං හතේ...ඉතිං පඩිසං දුන්නා ඕං.. මහත්තයා පණ අතෑරල ඉන්න ඩිංගිත්තක් හෑල්ලුවෙන්... ඇඟ බුරුල් කොරගන්ට...මේං කෙලී ගෙනැල්ලා පත්තුව...

අයියනායක දෙයියන්නේ පිහිටයි...තුන්සරණින් මේං... "

ලියා එව්වේ - ලලින්ද්‍ර පෙරේරා

Friday, October 15, 2010

හිස් තැනක්..

හිස් තැනක් පුරව ගන්න ගැහැණියක් සහ පිරිමියෙක්!

ඕන නම් නිල් අහස පසුබිමෙන්. හමා යන සුළඟක්? ඔව් කෙහෙරැලි කරකවාගෙන යන...

"අපිට තව ඕන තරම් කාලය තියෙනවා සුදු ඔයා ඔය තරම් කල්පනා කරන්න එපා..."

"මම කල්පනා කරනවා නොවෙයි. මට දුකයි ඔයා ගැන..."

"ඒත්... මේවා දෙයියන්ගේ කැමැත්ත..."

"ඔව් එහෙම හිතමු. ඒත් ... ඔයා කවදාවත් දැනං හිටියේ නැහැ නේද මට මේ ව‍ගේ දෙයක් වෙයි කියලා?"

"එහෙම දේවල් දැන ගන්න ඕනත් නැහැ. මම ඔයාට ආදරෙයි. ඒ දේ විතරයි මම දැනං හිටියේ..."

"මට ඔයා ගැන දුකයි..."

"ඉතිං දුක් වෙන්න එපා. මට මුලු ලෝකෙටත් වඩා ඔයා වටිනවා..."

"ඔයා මාව කවදාවත් දාලා යන්නේ නැහැ නේද?"

"නැහැ. කවදාවත් නැහැ."

ලියා එව්වේ - ලලීන්ද්‍ර පෙරේරා

Sunday, October 3, 2010

මල් කිනිත්තක්...

කැලෑ මණ්ඩිය හේන් ගොවිතැන් ඉඩම් පිහිටි සීමාවෙන් මායිම් වන අලි වැට අද්දරින් පියවර තබද්දී ඈතින් පිහිටි කටුමැටි වරිච්චි බිත්තිවලින් වට වුනු පොල්ලතු සෙවිලි කළ කුඩා පාසැල මීදුම අස්සෙන් මතු වී පෙණුනි.
 ළමා ලපටි  හොටු නාවර පෙරා ගෙන කිළුටු වස්ත්ර්යෙන් සැරසී අවුල් වූ හිස කෙසින් යුතුව කබල් ලෑලි බංකු මතත් බිමත් ලැග සිටි දසුන මගේ දෑස් සැණෙකින් නිලංකාර කරන්නට සමත් විය.
 මගේ අත්බෑගයත් කුඩයත් සුළඟේ පාවී ගොස් පාසැල් මිදුලේ පතිත විය‍.‍
 මගේ දෑත් වෙව්ලන්නට ගත්තේය. දෙදණ අප්රාදණික විය.
 මම කුමක් මේ දරුවන්ට උගන්වන්පනේ දැයි අහස දෙස බලා කකියන  හදවතින් විලාප නගමින් කෑකොස්සන් ගසන්නට වීමි.
 “ආයුබෝවන් ටීචර්!”
 පුංචි දරුවෙක් මල් කිනිත්තක් වෙලා...

ලියා එව්වේ - ලලින්ද්‍ර පෙරේරා

Thursday, September 16, 2010

මීඩියා කයිය.

පත්තරයකුයි ටීවී චැනලයකුයි කයියට වැටුණා.

"අග්‍රවාල් කොම්පැනියේ විසාල ස්ට්‍රයික් එකක්ලු. රස්සාවෙන්‍ දොට්ට දමනවලු එකසිය ගාණක්? මම නම් පිටු දෙකක් පුරා දැම්මා."

"අග්‍රවාල් තමයි අපට වැඩියෙම ඇඩ් දෙන්නේ. ඇදලා ප්‍රෝග්‍රෑම් දැම්මොත් ඇඩ් කපල දායි. "

"මම අර ජොබ් නැති වෙච්ච අයගේ ඉන්ටවීව් ටිකක් පත්තරේට දමන්නම්. උඹ අග්‍රවාල් ලොක්කා එක්කල ඉන්ටවීව් එකක් විකාශනය කරපන් රස්සාවල් නැති කරපු එක ගැන සාධාරණීකරණය කරල අපේ පත්තරේට බැනලා."

"එහෙනම් උඹ අපේ චැනල් එකටත් බැනල ලියපන්. අපිත් නිවුස් වලටයි සංවාද වැඩසටහනෙනුයි උඹලයි පත්තරේට බැනල දාන්නම්."

"ඔව් එතකොට පත්තරෙන් ස්ට්‍රයික්කාරයෝ ටික උඩ දමන එක නවත්තන්න අග්‍රවාල් කොම්පැනියෙන් අපේ පත්තරේට ඇඩ් ලැබෙද්දි ස්‍ට්‍රයික්කාරයින්ට බම්බු ගහන්න කියලා අපි‍ දෙගොල්ලම ගොඩ යමු. ".

ලියා එව්වේ - ලලින්ද්‍ර පෙරේරා

Related Posts Plugin for WordPress, Blogger...